ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 59


59 වන කොටස

1831 අගොස්තු 7, ජැක්සන් ප්‍රාන්තය, මිසුරි හි, සයොනයේදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්වට පෙර, ස්වාමින්වහන්සේ නියම කළ පරිදි, භූමිය පරිශුද්ධ කළ අතර, අනාගත දේවමාළිගාව සඳහා භූමිය කැපකරන ලදි. මෙම එළිදරව්ව ලැබුණු දිනයේදී, ජෝසෆ් නයිට් ජ්‍යේෂ්ඨගේ බිරිඳ වන පොලී නයිට්, සයොනයේ මිය ගිය පළමු සභා සාමාජිකයා වූවාය. මුල් සාමාජිකයන් මෙම එළිදරව්ව විස්තර කළේ “සබත පැවැත්විය යුතු ආකාරය සහ නිරාහාර හා යාච්ඤා කළ යුතු ආකාරය පිළිබඳව ශුද්ධවන්තයන්ට උපදෙස් දීම” ලෙසයි.

1–4, සයොනයේ ඇදහිලිවන්ත ශුද්ධවන්තයන් ආශිර්වාදිත වනු ඇත; 5–8, ඔවුන් ස්වාමින්වහන්සේට ප්‍රේම කරමින්ද, සේවය කරමින්ද, උන්වහන්සේගේ ආඥාවන් පිළිපැදිය යුතු වේ; 9–19, ස්වාමින්වහන්සේගේ දවස ශුද්ධව පැවැත්වීම මගින්, ශුද්ධවන්තයෝ ලෞකිකව සහ ආත්මිකව ආශිර්වාදිත වන්නෝය; 20–24, ධර්මිෂ්ඨයන්ට මෙම ලෝකයේ සමාදානයද පැමිණෙන ලෝකයේ සදාකාල ජීවනයද පොරොන්දු වේ.

1 බලන්න, මාගේ ආඥාවන්ට අනුව, මාගේ මහිමය උදෙසා ඒකායන අරමුණක් ඇතිව මෙම දේශයට පැමිණ සිටින්නාවූ ඔවුන්, ආශිර්වාද ලද්දෝ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

2 මක්නිසාද ජීවත් වන්නෝ පොළොව උරුමකර ගන්නෝය, එසේම මරණයට පත්වන්නෝ ඔවුන්ගේ සියලු වෙහෙසවීම් වලින් විශ්‍රාම ලබන්නෝය, තවද ඔවුන්ගේ ක්‍රියා ඔවුන් කැටුව යන්නේය; තවද මා විසින් ඔවුන්ට සූදානම් කරන ලද, මාගේ පියාණන්ගේ මාළිගා වල ඔවුහු කිරුළක් ලබන්නෝය.

3 එසේය, සයොන දේශයේ ඔවුන්ගේ දෙපා තබා නැගී සිටින ඔවුන්ද, මාගේ ශුභාරංචියට කීකරු වූවන්ද, ආශිර්වාද ලද්දෝය; මක්නිසාද ඔවුහු ඔවුන්ගේ විපාක පිණිස පොළොවේ යහපත් දේවල් ලබන්නෝය, තවද එය එහි ශක්තියෙන් ඉදිරියට ගෙන එන්නේය.

4 තවද ඔවුහු ආශිර්වාද සමඟින් ඉහළින් කිරුළු පළඳවනු ලබන්නෝය, එසේය, තවද ආඥාවන් ස්වල්පයක් සමඟින් නොවන්නේය, තවද ඔවුන්ගේ කාලයේදී එළිදරව් සමඟ වන්නේය—ඔවුන් මා ඉදිරියේ ඇදහිලිවන්ත සහ උද්‍යෝගී වන්නන්ය.

5 එසේහෙයින්, මම ඔවුන් හට මෙසේ කියමින්, ආඥාවක් දෙන්නෙමි: නුඹලාගේ දෙවි වූ ස්වාමින්වහන්සේට නුඹලාගේ මුළු හදවතින්ද, නුඹලාගේ මුළු බලයෙන්ද, මනසින් සහ ශක්තියෙන්ද ප්‍රේම කරන්න; තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලා උන්වහන්සේට සේවය කළ යුතු වන්නෝය.

6 නුඹලා නුඹලාට මෙන් නුඹගේ අසල්වැසියාට ප්‍රේම කළ යුතුය. නුඹලා සොරකම් නොකළ යුතුය, එමෙන්ම කාමමිථ්‍යාචාරය නොකළ යුතුය, මිනී නොමැරිය යුතුය, හෝ එවැනි ආකාර කිසිවක් නොකළ යුතුය.

7 නුඹලා නුඹලාගේ දෙවි වූ ස්වාමින්වහන්සේට සියලු දේවල් හිදී ස්තූති දිය යුතුය.

8 නුඹලා නුඹලාගේ දෙවි වූ ස්වාමින්වහන්සේට, බිඳුනු හදවතකින්ද, පසුතැවුණු ආත්මයකින්ද වුවත්, ධර්මිෂ්ඨකමින් පූජා ඔප්පු කළ යුතුය.

9 තවද නුඹලා ලෝකයෙන් කිළුටු නොවන ලෙස සම්පූර්ණයෙන් තමාව ආරක්ෂා කරගත යුතුය, නුඹලා මාගේ ශුද්ධ වූ දවසේ යාච්ඤා ගෘහයට ගොස් නුඹලාගේ සක්‍රමේන්තුව ඔප්පු කළ යුතුය;

10 මක්නිසාද සැබවක් නුඹලාගේ වෙහෙසවීම් වලින් විශ්‍රාම ගැනීමට, තවද මහෝත්තම වූ තැනැන්වහන්සේට නුඹලාගේ ස්තූති යාගයන් පූජා කරන්නට, නියම කළ දිනය මෙය වන්නේය;

11 එසේවුවද නුඹලාගේ බාරයන් ධර්මිෂ්ඨකමින් සියලු දවස් වලදී සහ සියලු කාලයන්හිදීත් ඔප්පු කරනු ලබන්නෙහුය;

12 නමුත් ස්වාමින්වහන්සේගේ දවසේ මෙය සිහිකරන්න, නුඹලා තවද මහෝත්තම වූ තැනැන්වහන්සේ වෙතට නුඹලාගේ පූජාවන් සහ නුඹලාගේ සක්‍රමේන්තු ඔප්පු කරමින්, ස්වාමින්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සහෝදරයන්ට නුඹලාගේ පාප පාපොච්ඡාරණය කළ යුතුය.

13 තවද මෙම දවසේ නුඹලා වෙන කිසිවක් නොකළ යුතුය, එනම් නුඹලාගේ නිරාහාරව සිටීම පරිපූර්ණ වන පිණිස, නැතහොත්, වෙනත් වචන වලින්, එනම් නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස, හදවතේ ඒකත්වයෙන් නුඹලාගේ ආහාර සූදානම් කෙරෙන්නට සලස්වන්න.

14 සැබවක්, මෙය නිරාහාරය සහ යාච්ඤාව වන්නේය, නැතහොත් වෙනත් වචන වලින්, ප්‍රීති ප්‍රමෝධය සහ යාච්ඤාවය.

15 තවද එපමණකින් මෙම දේවල් නුඹලා ස්තූතිවන්තව, සහ ප්‍රීතිමත් හදවතින් සහ මුහුණුවරෙන් බොහෝ හඬනගා සිනහාවෙන් තොරව, මක්නිසාද එය පාපයක් වන්නේය, නමුත් ප්‍රසන්න හදවතකින් සහ ප්‍රීතිමත් මුහුණුවරකින් යුතුව කරන තරමටම—

16 සැබැවින්ම මම පවසන්නෙමි, එනම් එපමණකින් නුඹලා මෙය කරන්නේද, පොළොවේ සම්පූර්ණත්වය නුඹලාගේ වන්නේය, පොළොවේ මෘගයන් සහ අහසේ පක්ෂීන්, එනම් ගස් මත නගින්නන් සහ පොළොව මත ඇවිදින්නන්;

17 එසේය, තවද පැළෑටිද, පොළොවෙන් පැමිණෙන යහපත් දේවල්ද, ආහාර හෝ වස්ත්‍ර සඳහා වුවද, නැතහොත් ගෘහයන් සඳහා, හෝ ධාන්‍යාගාර සඳහා, හෝ පළතුරු වතු සඳහා, හෝ උද්‍යාන සඳහා, හෝ මිදි වතු සඳහා වුවද;

18 එසේය, පොළොවෙන් පැමිණෙන සියලු දේවලට, එහි වාරයක් වන්නේය, ඒවා මනුෂ්‍යයාගේ පාවිච්චිය සහ ප්‍රයෝජනය උදෙසා මවා ඇත්තේ, ඇස ප්‍රසන්න කිරීමට සහ හදවත සතුටු කිරීම යන දෙකම සඳහාය.

19 එසේය, මක්නිසාද ආහාර සහ වස්ත්‍ර සඳහා, රස විඳීම සහ සුවඳ සඳහා, ශරීරය සවිමත් කිරීමටද ආත්මය ප්‍රබෝධමත් කිරීමටදය.

20 තවද දෙවියන්වහන්සේ මනුෂ්‍යයා හට සියලු දේවල් දී තිබීම උන්වහන්සේට ප්‍රසන්නය; මක්නිසාද ඒවා සාදා තිබෙන්නේ විනිශ්චයක් සමඟින්, අධික කමෙන් හෝ පැහැරගැනීමෙන් තොරව, පාවිච්චි කිරීමටය.

21 තවද කිසිවකින් මනුෂ්‍යයා දෙවියන්වහන්සේව අමනාප කරන්නේ නැත, නැතහොත් සියලු දේවලදී උන්වහන්සේගේ හස්තය ඇති බව පිළිනොගන්නන් සහ උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු නොවන්නන් හැර, කිසිවකුටත් විරුද්ධව උන්වහන්සේගේ උදහස ඇවිලෙන්නේ නැත.

22 බලන්න, මෙය නීතියට සහ අනාගතවක්තෘවරුන්ට අනුවය; එසේහෙයින්, මෙම කාරණය සම්බන්ධයෙන් තවදුරටත් මට කරදර නොකරන්න.

23 නමුත් ඉගෙනගන්න එනම් ධර්මිෂ්ඨකමින් ක්‍රියාකරන ඔහු ඔහුගේ විපාකය ලෙස, මෙම ලෝකයේ සමාදානයද, එමෙන්ම මතු ලෝකයේ සදාකාල ජීවනයද පවා ලබන්නේය.

24 ස්වාමින්වහන්සේ වන, මම, එය ප්‍රකාශ කළෙමි, තවද ආත්මයාණන්වහන්සේ සාක්ෂි දරන සේක. ආමෙන්.