ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 78


78 වන කොටස

1832 මාර්තු 1, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. එම දිනයේදී, අනාගතවක්තෘවරයා සහ අනෙකුත් නායකයන් සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට රැස්ව සිටියහ. මිසුරි වෙත ගොස්, මෙම උත්සහයන් අධීක්ෂණය කරන “සමාගමක්” නිර්මාණය කිරීමෙන්, සයොනය ස්ථාපිත කිරීමට සහ දුප්පතුන්ගේ යහපත සඳහා අරමුදල් උත්පාදනය කිරීමෙන්, සභාවේ වෙළඳ හා ප්‍රකාශන උත්සාහයන් සංවිධානය කරන ලෙස අනාගතවක්තෘවරයාට, සිඩ්නි රිග්ඩන්ට, සහ නිවෙල් කේ. විට්නි හට මෙම එළිදරව්ව මගින් මුලින්ම උපදෙස් දෙන ලදි. එක්සත් සමාගම ලෙස හැඳින්වෙන මෙම සමාගම, 1832 අප්‍රියෙල් මාසයේදී සංවිධානය කරන ලද අතර 1834 දී විසුරුවා හරින ලදි (82 වන කොටස බලන්න). එය විසුරුවා හැර ටික කලකට පසු, ජෝසෆ් ස්මිත්ගේ මගපෙන්වීම යටතේ, “දුප්පතුන් සඳහා ගබඩා ගෘහයේ කටයුතු” යන වාක්‍ය ඛණ්ඩය එළිදරව්වේ “වෙළඳ හා ප්‍රකාශන ආයතන” වෙනුවට ආදේශ කළ අතර “සැලසුම” යන වචනය “සමාගම” යන වචනය වෙනුවට ආදේශ විය.

1–4, ශුද්ධවන්තයන් විසින් ගබඩා ගෘහයක් සංවිධානය කොට පිහිටුවාගත යුතුය; 5–12, ඔවුන්ගේ දේපළ වල ප්‍රඥාවන්ත භාවිතය ගැලවීමට මගපෙන්වන්නේය; 13–14, පොළොවේ බලයන්ගෙන් සභාව නිදහස් විය යුතු වන්නේය; 15–16, මිකායෙල් (ආදම්) ශුද්ධ වූ තැනැන්වහන්සේගේ (ක්‍රිස්තුස්වහන්සේගේ) මගපෙන්වීම යටතේ සේවය කරන්නේය; 17–22, ඇදහිලිවන්තයන් ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන් සියලු දේවල් උරුම කරගන්නෝය.

1 ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ හට කතා කරමින්, මෙසේ පැවසූ සේක: මාගේ සභාවේ උසස් පූජකවරයට නියම කරනු ලැබූ, නුඹලාවම එක්රැස් කරගත්තාවූ නුඹලා, මා හට උවමනාවෙන් සවන්දෙන්න යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක;

2 තවද එනම් මා ඉදිරියේ නුඹලා ඉදිරිපත් කරන ලද එම දෙය තුළ ගැලවීම නුඹලා හට වන පිණිස, නුඹලාගේ කන් වලට ප්‍රඥාවේ වචන කතා කරන, ඉහළින් නුඹලාව නියම කරනු ලැබූ උන්වහන්සේගේ උපදේශයන්ට සවන්දෙන්න යැයි, ස්වාමින් වූ දෙවියන්වහන්සේ පවසන සේක.

3 මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, කාලය පැමිණ ඇත්තේය, තවද දැන් එය ආසන්නය; තවද බලන්න, තවද බලව, මෙම ස්ථානයේ සහ සයොන දේශය තුළ දෙතැන්හිදීම, මාගේ ජනතාවගේ දුප්පතුන්ගේ කාරණා උදෙසා ගබඩා ගෘහයක් සකස්කොට පිහිටුවාලීම සඳහා, මාගේ ජනතාවගේ සංවිධානයක් එහි තිබීම අත්‍යවශ්‍ය වන්නේය—

4 මක්නිසාද එය මෙම කාරණය දියුණු කිරීම සඳහා, මනුෂ්‍යයාගේ ගැලවීම උදෙසාද, තවද ස්වර්ගයේ වැඩසිටින නුඹලාගේ පියාණන්ගේ මහිමය උදෙසාද, නුඹලා කැපකර ඇති මාගේ සභාව වෙතට වූ ස්ථිර සහ සදාකාලික ස්ථාපිත කිරීම සහ සැලසුම සඳහා වන්නේය;

5 එනම් නුඹලා ස්වර්ගීය දේවල් ලබාගැනීම උදෙසා, එසේය, පොළොවේ දේවල්හි මෙන්ම, ස්වර්ගීය දේවල්හි බැඳීම් වල සමානව සිටිය යුතු වීමටය.

6 මක්නිසාද නුඹලා පොළොවේ දේවල් තුළදී සමාන නොවන්නේ නම් ස්වර්ගීය දේවල් ලබාගැනීමේදී නුඹලාට සමාන විය නොහැකි වන්නෝය;

7 මක්නිසාද සෙලෙස්ටියල් රාජ්‍යයේ නුඹලාට ස්ථානයක් මා විසින් දීම නුඹලා කැමති වන්නේද, මා නුඹලාගෙන් ඉල්ලා සිටි සහ ආඥා කළ දේවල් කිරීමෙන් නුඹලා නුඹලාවම සූදානම් කරගත යුතුම වන්නෝය.

8 තවද දැන්, සැබවක් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, එනම් මෙම සැලැස්මේ එක්රැස්ව සිටින නුඹලා විසින්, සියලු දේවල් මාගේ මහිමය උදෙසා කිරීම යෝග්‍ය වන්නේය;

9 නැතහොත්, වෙනත් වචන වලින්, මාගේ සේවක නිවෙල් කේ. විට්නි සහ මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ මාගේ සේවක සිඩ්නි රිග්ඩන් හට සයොනයේ සිටින එම ශුද්ධවන්තයන් සමඟ මන්ත්‍රණ සභාවේ වාඩිවීමට ඉඩදෙන්න;

10 නැතහොත් සාතන් ඔවුන්ගේ හදවත් සත්‍ය වෙතින් හැරවීමට සොයන්නේය, එනම් ඔවුන් උදෙසා සූදානම් කරන ලද එම දේවල් තේරුම්නොගෙන අන්ධභාවයට පැමිණෙන පිණිසය.

11 එසේහෙයින්, බිඳිය නොහැකි සදාකාලික ගිවිසුමක් හෝ බැඳීමක් මගින් නුඹලාවම සූදානම් කර සංවිධානය කරගැනීම සඳහා, මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි.

12 තවද එය බිඳ දමන ඔහු ඔහුගේ තනතුර සහ සභාවේ ස්ථානය නැතිකර ගන්නේය, තවද මිදීමේ දවස වනතුරු සාතන්ගේ පීඩාවන් වෙතට භාරදෙනු ලබන්නේය.

13 බලන්න, මම නුඹලාව සූදානම් කරන එම සූදානමද, තවද එම අත්තිවාරමද, මම නුඹලා හට දෙනු ලබන ආදර්ශයද මෙය වන්නේය, ඒ මා විසින් නුඹලාට දෙනු ලබන එම ආඥාවන් සම්පූර්ණ කිරීම පිණිස වන්නේය;

14 එනම් මාගේ සපයාදීම තුළින්, නුඹලා මත පතිත වන පීඩාවන් වලදී වුවත්, එනම් සෙලෙස්ටියල් ලෝකය යට අනෙක් සියලුම සත්වයන්ටත් වඩා ස්වාධීනව සභාව නැගී සිටින පිණිසය.

15 එනම් මා විසින් නුඹලාට සූදානම් කළ ඔටුන්න වෙතට නුඹලා පැමිණෙන පිණිසත්, තවද බොහෝ රාජ්‍යයන් මත පාලකයන් කරනු ලැබීමටත් යැයි, ආදම්-ඔන්ඩි-ආමන් හි අත්තිවාරම් පිහිටවූ, සයොනයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ වූ, ස්වාමින් වූ දෙවියන්වහන්සේ පවසන සේක;

16 උන්වහන්සේ මිකායෙල්ව නුඹලාගේ කුමරා ලෙස පත්කළ, තවද ඔහුගේ පාද පිහිටුවනු ලැබූ, තවද ඔහුව ඉහළින් ස්ථානගත කළ, තවද දින වල ආරම්භයක් නොමැති හෝ ජීවිතයට අවසානයක් නොමැති, ශුද්ධ වූ තැනැන්වහන්සේගේ උපදේශයන් සහ මගපෙන්වීම යටතේ ගැලවීමේ යතුරු ඔහු හට දුන් තැනැන්වහන්සේය.

17 සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා කුඩා දරුවන්ය, තවද නුඹලා උදෙසාම උන්වහන්සේගේ ස්වකීය හස්තයෙන් සූදානම් කළ පියාණන්වහන්සේගේ ආශිර්වාදයන් කෙතරම් ශ්‍රේෂ්ඨ දැයි නුඹලා තවමත් තේරුම්ගෙන නොමැත්තෝය;

18 තවද නුඹලාට සියලු දේවල් දැන් දැරිය නොහැක්කේය; එසේවුවද, ධෛර්යමත්ව සිටින්න, මක්නිසාද මම නුඹලාට මගපෙන්වන්නෙමි. රාජ්‍ය නුඹලාගේය තවද එහිවූ ආශිර්වාදයන්ද නුඹලාගේය, තවද සදාකාලික පොහොසත්කමද නුඹලාගේය.

19 තවද සියලු දේවල් ස්තූතිවන්තව ලබාගන්නාව මහිමවත් කරනු ලබන්නේය; තවද එසේය සිය ගුණයකින් වූවාට වඩා වැඩියෙන් වුවද, මෙම පොළොවේ දේවල් ඔහුට එකතු කර දෙනු ලබන්නේය.

20 එසේහෙයින්, මම නුඹලා හට ආඥා කළ එම දේවල් කරන්න යැයි, ඔහු නුඹලාව ගැනීමට පෙර සියල්ල සූදානම් කළ ආමන්ගේ පුත්‍රයාණන් වූ, නුඹලාගේ මිදුම්කරුවාණන්වහන්සේ පවසන සේක;

21 මක්නිසාද නුඹලා කුළුඳුලාණන්ගේ සභාවය, තවද උන්වහන්සේ නුඹලාව වලාකුළක් තුළ ඉහළට ගන්නා සේක, තවද සෑම මනුෂ්‍යයෙකුවම ඔහුගේ කොටසට පත්කරනු ලබන්නේය.

22 තවද එනම් ඇදහිලිවන්ත සහ ප්‍රඥාවන්ත භාරකරුවෙකු වන ඔහු සියලු දේවල් උරුම කරගන්නේය. ආමෙන්.