ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 86


86 වන කොටස

1832 දෙසැම්බර් 6, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව ලැබූයේ අනාගතවක්තෘවරයා බයිබලය පරිවර්තනයේදී මුල්පිටපත් විමසමින් සහ සංශෝධනයේ යෙදී සිටියදීය.

1–7, ස්වාමින්වහන්සේ තිරිඟු සහ කිරිඳි උපමාවේ තේරුම ලබාදෙයි; 8–11, මාංශයට අනුව නීත්‍යානුකූල උරුමක්කාරයන් වූ අයවළුන්ට ඇති පූජකවර ආශිර්වාදයන් උන්වහන්සේ විස්තර කරයි.

1 සැබවක්, මාගේ සේවකයන් වූ නුඹලාට ස්වාමින්වහන්සේ, තිරිඟු සහ කිරිඳි උපමාව සම්බන්ධයෙන් මෙසේ පවසන සේක:

2 බලන්න, සැබවක් මම පවසන්නෙමි, කෙත ලෝකය වන්නේය, තවද ප්‍රේරිතවරුන් බීජ වපුරන්නන්ය;

3 තවද ඔවුන් නිදාගත් පසුව සභාවේ මහත් පීඩාකරුවා, ඇදහිල්ල අත්හළ තැනැත්තා, එම වේෂ්‍යාව, එනම් සියලුම ජාතීන්ට ඇයගේ කුසලානයෙන් බීමට සලස්වන, එනම් ඔවුන්ගේ හදවත් වල සතුරා වූ සාතන් රජකරමින් සිටින, එම බැබිලෝනිය වුවත්—බලන්න, තවද ඔහු කිරිඳි වපුරන්නේය; එසේහෙයින්, කිරිඳි තිරිඟු මිරිකමින් සභාව වනාන්තරය වෙතට පලවා හරින්නේය.

4 එහෙත් බලන්න, අවසන් දවස් වලදී, ස්වාමින්වහන්සේ වචනය පෙරට පමුණුවන්නට අරම්භ කරන දැන් වුවත්, දළු එළියට පැමිණෙන්නේය තවද එය තවමත් සියුම්ය—

5 බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එම දේවදූතයන් ස්වාමින්වහන්සේ වෙතට දහවලේ සහ රාත්‍රියේ හඬන්නෝය, ඔවුන් සූදානම්ව තවද ගොයම කපා දැමීමට පෙරට යෑමට නැවතී සිටින්නෝය;

6 එහෙත් ස්වාමින්වහන්සේ ඔවුන්ට මෙසේ පවසන සේක, කොළ තවම මෘදුව තිබියදී කිරිඳි උදුරා නොදමන්න (මක්නිසාද නුඹලාගේ ඇදහිල්ල දුර්වලය), එනම් ඒ නුඹලා එලෙසම තිරිඟු විනාශ නොකරන පිණිසය.

7 එසේහෙයින්, තිරිඟු සහ කිරිඳි වලට අස්වැන්න හොඳින් මෝරන තුරු එකට වර්ධනය වීමට ඉඩදෙන්න; ඉන්පසු නුඹලා කිරිඳි වෙතින් තිරිඟු පළමුව රැස්කර ගන්නෝය, තවද තිරිඟු රැස්කරගැනීමෙන් පසුව, බලන්න තවද බලව, කිරිඳි ගොඩ වලට බැඳ, තවද කෙතෙහි ගින්දර දමා දවාලීමට ඉතිරි වන්නේය.

8 එසේහෙයින්, නුඹලාගේ පියවරුන්ගේ පරම්පරාවත් සමඟ පූජකවරය පැවතී ඇති, නුඹලා හට ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක—

9 මක්නිසාද මාංශයට අනුව නුඹලා නීත්‍යානුකූල උරුමක්කාරයෝය, තවද නුඹලාව දෙවියන්වහන්සේ තුළ කිස්තුස්වහන්සේ සමඟ ලෝකයෙන් සඟවන ලද්දේය—

10 එසේහෙයින් නුඹලාගේ ජීවිතය සහ පූජකවරය ඉතිරිව ඇත, තවද ලෝකය පටන්ගැනීමේ සිට සියලුම ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයන්ගෙන් කතා කර ඇති සියලු දේවල් නැවත පිහිටුවන තුරු නුඹලා තුළින් සහ නුඹලාගේ පරම්පරාව තුළින් එය ඉතිරිව තිබිය යුතුම වන්නේය.

11 එසේහෙයින්, අන්‍ය ජාතීන්ට ආලෝකයක්ව, තවද මෙම පූජකවරය තුළින්, මාගේ ඉශ්‍රායෙල් ජනතාවට ගැලවුම්කරුවෙකුද වෙමින්, මාගේ යහපතෙහි නුඹලා පවතින්නේ නම් නුඹලා ආශිර්වාද ලද්දෝය. ස්වාමින්වහන්සේ එය පැවසූ සේක. ආමෙන්.