ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 97


97 වන කොටස

1833 අගෝස්තු 2, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. අනාගතවක්තෘවරයා තොරතුරු සඳහා ස්වාමින්වහන්සේගෙන් කළ විමසීමට ප්‍රතිචාර වශයෙන්, මෙම එළිදරව්ව විශේෂයෙන් මිසුරි හි ජැක්සන් ප්‍රාන්තයේ සයොනයෙහි ශුද්ධවන්තයන්ගේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරයි. මිසුරි හි සභාවේ සාමාජිකයින් මේ අවස්ථාවේදී දැඩි පීඩා වලට යටත් වූ අතර, 1833 ජූලි 23, ජැක්සන් ප්‍රාන්තයෙන් පිටවීමට ගිවිසුමක් අත්සන් කිරීමට බලකර තිබුණි.

1–2, සයොනයේ බොහෝ ශුද්ධවන්තයින් (මිසුරි හි, ජැක්සන් ප්‍රාන්තයේ) ඔවුන්ගේ ඇදහිලිවන්තකම උදෙසා ආශිර්වාද ලබති; 3–5, පාර්ලි පී. ප්‍රැට් හට සයොනයේ පාසල තුළ ඔහුගේ වෙහෙසවීම් උදෙසා ප්‍රශංසා කෙරේ; 6–9, තම ගිවිසුම් පිළිපදින්නන්ව ස්වාමින්වහන්සේ විසින් පිළිගනු ලබන්නේය; 10–17, සයොනයේ නිවසක් ගොඩනැගිය යුතුය එය තුළ හදවතින් පවිත්‍ර වූ අය දෙවියන්වහන්සේව දකින්නෝය; 18–21, සයොනය හදවතින් පවිත්‍ර වූවන්ගෙන් සැදුම්ලත්ව ඇත; 22–28, සයොනය ඇදහිලිවන්ත නම් ඇය ස්වාමින්වහන්සේගේ දඬුවමෙන් බේරී යන්නීය.

1 මාගේ මිත්‍රයෙනි සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මම මාගේ හඬින් මාගේ ආත්මයේ හඬින් වුවත්, නුඹලාට කතා කරන්නෙමි, එනම් සයොන දේශය තුළ නුඹලාගේ සහෝදරයන් සම්බන්ධව මාගේ කැමැත්ත මම නුඹලා හට පෙන්වන පිණිසය, ඔවුන්ගෙන් බොහෝ අයවළුන් සැබවින්ම යටහත්ව තවද ප්‍රඥාව ඉගෙනගැනීමට සහ සත්‍යය සෙවීමට උනන්දුවෙන් සොයන්නෝය.

2 සැබවක්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එවැන්නන් ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුහු ලබාගන්නෝය; මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, නිහතමානී සියල්ලන් මත එමෙන්ම මා කැමති සියල්ලන් මත දයාව පෙන්වන්නෙමි, එනම් මම ඔවුන්ව විනිශ්චය වෙතට ගෙන එන විට මම ධර්මිෂ්ඨ වන පිණිසය.

3 බලන්න, සයොනයේ පාසල සම්බන්ධව මම නුඹලා හට පවසන්නෙමි, ස්වාමින්වහන්සේ වන, මම, සයොනයේ පාසලක් එහි තිබීම ගැනද, තවද එසේම මාගේ සේවක පාර්ලි පී. ප්‍රැට් සමඟද මම ඉතා ප්‍රසන්න වෙමි, මක්නිසාද ඔහු මා තුළ පවතින නිසාය.

4 තවද එපමණකින් ඔහු මා තුළ දිගටම පවතින්නේද මා ඔහුට වෙනත් ආඥාවන් දෙන තුරු, ඔහු සයොන දේශය මත පාසලේ සභාපතිත්වය නොකඩවා දරන්නේය.

5 තවද පාසලේ සහ සයොනයේ සභාවේ උපදේශනය උදෙසා සියලු ශුද්ධලියවිලි සහ අභිරහස් තේරුම්කිරීම පිණිස, මම ඔහුට ආශිර්වාදයන් බොහොමයක් සමඟ ආශිර්වාද කරන්නෙමි.

6 තවද පාසලේ ඉතිරි වූවන්ට, ස්වාමින්වහන්සේ වන, මම, දයාව දැක්වීමට කැමැත්තෙමි; එසේවුවද, එහි තරවටු කළයුතු වූවන් ඇත, තවද ඔවුන්ගේ ක්‍රියාවන් දන්වනු ලබන්නේය.

7 පොරොව ගස්වල මුල් ලඟ තබා ඇත; තවද එනම් යහපත් ඵල නොදරන සෑම ගසක්ම කපනු ලැබ ගින්නෙහි දමනු ලබන්නේය. ස්වාමින්වහන්සේ වන, මම, එය ප්‍රකාශකර ඇත්තෙමි.

8 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ඔවුන් අතරෙන් සියල්ලෝ ඔවුන්ගේ හදවත් අවංක බවත්, තවද බිඳුනාවූ බවත් දන්නාවූ අයද, තවද ඔවුන්ගේ ආත්මයන් පසුතැවුණු බවත්, තවද පරිත්‍යාග කිරීම් තුළින් ඔවුන්ගේ ගිවිසුම් පිළිපැදීමට කැමතිවූ අයවද—එසේය, ස්වාමින්වහන්සේ වන, මම, ආඥා කරන සෑම පරිත්‍යාගයක්ම—ඒවා මා විසින් පිළිගෙන ඇත්තේය.

9 මක්නිසාද, ස්වාමින්වහන්සේ වන, මම, පවිත්‍ර වූ ඇලක් ලඟ, එනම් මහත් වටිනා ඵල දරන, යහපත් දේශයක සිටවූ ඉතාමත් සඵලවත් වූ ගසක්, පෙරට ගෙන ඒමට ඔවුන්ට සලස්වන්නෙමි.

10 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් සයොන දේශය තුළ මම නුඹලා හට දෙනු ලැබුවාවූ ආදර්ශයට අනුව, මා වෙනුවෙන් නිවසක් ගොඩනැගීම මාගේ කැමැත්ත වන්නේය.

11 එසේය, මාගේ ජනතාවගේ දසයෙන් කොටස මගින්, එය ඉක්මණින් ගොඩනගන්නට සලස්වන්න.

12 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන්ගේ අත් වලින් බලාපොරොත්තු වන මෙය, දසයෙන් කොටස සහ පරිත්‍යාගයයි, එනම් එහි සයොනයේ ගැලවීම උදෙසා මා වෙනුවෙන් නිවසක් ගොඩනැගීම පිණිසය—

13 එනම් සියලු ශුද්ධවන්තයන්ට ස්තූතිවන්ත වීමට ස්ථානයක්ය, තවද දේවසේවය තුළ සේවයට කැඳවනු ලැබූ අයට ඔවුන්ගේ සියලු විවිධ කැඳවීම් සහ තනතුරු සඳහා උපදෙස් දෙන ස්ථානයක්ය;

14 එනම් ඔවුන්ගේ දේවසේවයේ කටයුතු ගැන, න්‍යායිකව, මූලධර්මානුකූලව, දහම අනුව, සහ පොළොව මත දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමබන්ධ සෑමදෙයක්ම අනුව, අවබෝධයෙන් පරිපූර්ණ වන පිණිස, එම රාජ්‍යයේ යතුරු නුඹලා මත ප්‍රදානය කර ඇත්තේය.

15 තවද එපමණකින් මාගේ ජනතාව මා උදෙසා ස්වාමින්වහන්සේගේ නාමයෙන් ගෘහයක් ගොඩනගන්නේද, තවද කිසියම් අපවිත්‍ර දෙයක් එය තුළට ඒමට ඉඩ නොදෙන්නේද, එනම් එමගින් එය අපවිත්‍ර නොවන්නේද, මාගේ මහිමය ඒ මත පවතින්නේය;

16 එසේය, තවද මාගේ අභිමුඛය එහි වන්නේය, මක්නිසාද මම එය තුළට පැමිණෙන්නෙමි, තවද ඒ තුළට පැමිණෙන පවිත්‍ර හදවත් ඇති සියල්ලෝ දෙවියන්වහන්සේව දකින්නෝය.

17 එහෙත් එය අපවිත්‍ර වන්නේ නම් මම එය තුළට නොපැමිණෙන්නෙමි, තවද මාගේ මහිමය එහි නොවන්නේය; මක්නිසාද මම අශුද්ධ වූ දේවමාළිගා තුළට නොපැමිණෙන්නෙමි.

18 තවද, දැන්, බලන්න, සයොනය මෙම දේවල් කරන්නේ නම් ඇය සමෘධිමත් වන්නීය, තවද ඇය ඇයවම ව්‍යාප්ත කරමින් තවද ඉතා මහිමවත්, ඉතා ශ්‍රේෂ්ඨ, සහ ඉතා භයානක බවට පැමිණෙන්නීය.

19 තවද පොළොවේ ජාතීහු ඇයට ගෞරව කරමින්, තවද මෙසේ කියනු ඇත: සැබවින්ම සයොනය දෙවියන්වහන්සේගේ නගරයයි, තවද සැබවින්ම සයොනය වැටීමට නොහැකිය, එලෙසම ඇයගේ ස්ථානයෙන් වෙනස් කිරීමටද නොහැකිය, මක්නිසාද දෙවියන්වහන්සේ එහි සිටින සේක, තවද ස්වාමින්වහන්සේගේ හස්තයද එහිය;

20 තවද ස්වාමින්වහන්සේ තම බලයේ ශක්තියෙන් ඇයගේ ගැලවීමේ සහ ඇයගේ උස් කොටුවේ සිටීමට දිව්රා ඇති සේක.

21 එසේහෙයින්, සැබවක්, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, සයොනයට ප්‍රීති ප්‍රමුදිත වීමට දෙන්න, මක්නිසාද මෙය සයොනයයි—හදවතින් පවිත්‍ර වූවන් සිටින ස්ථානයයි; එසේහෙයින්, සියලු දුෂ්ටයෝ වැලපෙන අතරතුර, සයොනයට ප්‍රීති ප්‍රමුදිත වීමට ඉඩදෙන්න.

22 මක්නිසාද බලන්න, තවද බලව, පලිගැනීම ඉක්මණින් අභාක්තිකයන් වෙතට සුළිකුණාටුව මෙන් පැමිණෙන්නේය; තවද කවුරුන් එයින් බේරෙන්නේද?

23 ස්වාමින්වහන්සේගේ දඬුවම රාත්‍රියේ සහ දහවලේ සිදුවන්නේය, තවද එහි වාර්තාව සියලු ජනතාවට පීඩා කරන්නේය; එසේය, එය ස්වාමින්වහන්සේ පැමිණෙන තුරු නොනවතින්නේය;

24 මක්නිසාද ස්වාමින්වහන්සේගේ උදහස ඔවුන්ගේ පිළිකුල්කම් සහ ඔවුන්ගේ සියලු දුෂ්ට ක්‍රියා වලට විරුද්ධව ඇවිලී ඇත්තේය.

25 එසේවුවද, මම ඇයට ආඥා කළ කවරාකරවූ සියලු දේවල් කිරීමට ඇය වගබලාගන්නේ නම් සයොනය බේරී යන්නේය.

26 එහෙත් මම ඇයට ආඥා කළ කවරාකාරවූ දෙයක් හෝ කිරීමට ඇය වගබලාගන්නේ නැතිනම්, මම ඇයගේ සියලු ක්‍රියාවන්ට අනුව, බලවත් පීඩාවක් සමඟින්, වසංගතයක් සමඟින්, රෝගාබාධ සමඟින්, කඩුවක් සමඟින්, පලිගැනීමක් සමඟින්, සහ දැවීයන්නාවූ ගින්දරක් සමඟින් ඇයව බැහැදකින්නෙමි.

27 එසේවුවද, මෙය ඇයගේ කන් වලට වරක් කියවන්නට සලස්වන්න, එනම් ස්වාමින්වහන්සේ වන, මම, ඇයගේ පිදුම් පිළිගෙන ඇත්තෙමි; තවද ඇය තවදුරටත් පව් නොකරන්නේ නම් මෙම දේවලින් කිසිවක් ඇය මත නොපැමිණෙන්නේය;

28 තවද මම ඇයට ආශිර්වාදයන් සමඟ ආශිර්වාද කරන්නෙමි, තවද ඇය මතද, තවද ඇයගේ පරම්පරාවන් මතද, සදාකාලයෙන් සදාකාලයට, බොහෝ ආශිර්වාද ගුණනය කරන්නෙමි යැයි, ස්වාමින් වූ නුඹගේ දෙවියන්වහන්සේ පවසන සේක. ආමෙන්.