ප්‍රධාන සම්මන්ත්‍රණය
මොර්මොන්ගේ පොතේ එළිදැක්වීම
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


මොර්මොන්ගේ පොතේ එළිදැක්වීම

ඓතිහාසික කරුණු සහ මෝර්මොන්ගේ පොතෙහි විශේෂ සාක්ෂිකරුවන් සාක්ෂි දරන්නේ එහි එළිදැක්ම සැබවින්ම ආශ්චර්යමත් බවයි.

එක් අවස්ථාවක සභාවේ වැඩිහිටියන් සමග රැස්වීමකදී ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා මෙසේ ප්‍රකාශ කළා: “මෝර්මොන්ගේ පොත සහ එළිදරව් කිරීම් ඉවතට ගන්න, එවිට අපේ ආගම කොහේද? අපට කිසිවක් නැත.”1 මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, පළමු දර්ශනයෙන් පසු, මෝර්මොන්ගේ පොතේ ආශ්චර්යමත් එළිදැක්ම මෙම කාලපරිච්ඡේදයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමේ දෙවන මූලික සන්ධිස්ථානයයි. දෙවියන්වහන්සේ තම දරුවන් කෙරෙහි ඇති ප්‍රේමය, අපගේ ඇදහිල්ලේ “ප්‍රධාන ගල” වන—ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරාර්ථකාමී සහ දිව්‍යමය වන්දිගෙවීමේ පරිත්‍යාගය පිළිබඳ—සහ උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් ඉක්බිතිව නෙපිවරුන් අතර විශේෂිත වූ දේවසේවය පිළිබඳව මොර්මොන්ගේ පොත සාක්ෂි දරනවා.2 ඊශ්‍රායෙල් වංශයේ ඉතිරි කොටස උන්වහන්සේගේ අවසාන දවසේ කාර්යය වලින් එකක් බවට පත්වන බවත්, ඔවුන්ව සදහටම ඉවත නොදමන බවත් එය සාක්ෂි දරනවා.3

මේ අන්තිම දවස්වල මේ ශුද්ධලියවිල්ලේ එළිදැක්වීම අධ්‍යයනය කරන විට, ජෝසෆ් අනාගතවක්තෘවරයා ශුද්ධ දේවදූතයෙකුගෙන් රන් තහඩු ලබාගැනීමේ සිට “දෙවියන්වහන්සේගේ දීමනාව සහ බලය මගින්”4 එය පරිවර්තනය කිරීම, එය ආරක්ෂා කිරීම සහ ස්වාමින්වහන්සේගේ හස්තයෙන් එහි ප්‍රකාශයට පත්කිරීම දක්වාම—සමස්ත කාර්යය ආශ්චර්යමත් බව අපට වැටහී තිබෙනවා.

මෝර්මොන්ගේ පොත එළිදැක්වීම ආරම්භ වූයේ ජෝසෆ් ස්මිත්ට මොරෝනි දේවදූතයාගේ අතින් රන් තහඩු ලැබීමට බොහෝ කලකට පෙරයි. අනාගතවක්තෘවරුන් අපේ කාලයේ මෙම පූජනීය පොතේ පැමිණීම ගැන අනාවැකි පැවසුවා.5 එය පැමිණෙන විට මිනිසුන් දෙවියන්වහන්සේගේ වචනය ගැන වාද කරමින් සිටින, මුද්‍රා තැබූ පොතක් ගැන යෙසායා කතා කළා. නිහතමානී අය “ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රීතිය වර්ධනය කරගනිද්දී, සහ මනුෂ්‍යයන් අතර දුප්පතුන් ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධවූ තැනැන්වහන්සේ ගැන ප්‍රීති වෙද්දී,” “ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව විනාශ වීමට සහ ඔවුන්ගේ දූරදර්ශී මිනිසුන්ගේ අවබෝධය සැඟවීමට” හේතුවෙමින්, මෙම තත්වය දෙවියන්වහන්සේට “පුදුමාකාර කාර්යයක් හා පුදුමයක්” කළ හැකි සම්බන්ධයක් සපයනවා.6 යූදාගේ සැරයටිය (බයිබලය) සහ එප්‍රායිම්ගේ සැරයටිය (මෝර්මොන්ගේ පොත) එකක් ලෙස එකට ගෙන ඒම ගැන එසකියෙල් කතා කළා. එසකියෙල් (පරණ ගිවිසුමේ) සහ ලෙහි (මෝර්මොන්ගේ පොතෙහි) යන දෙදෙනාම පෙන්නුම් කරන්නේ බොරු ඉගැන්වීම් හසුකරගැනීමට, සාමය ඇති කිරීමට සහ ගිවිසුම් පිළිබඳ දැනුමක් අප වෙත ගෙන ඒමට ඒවා “එකට වැඩිය යුතු” බවයි.7

පළමුවන දර්ශනය අත්විඳ වසර තුනහමාරකට පසු 1823 සැප්තැම්බර් 21 වන දින සවස් වරුවේ, ජෝසෆ්ගේ අවංක යාච්ඤා වල ප්‍රතිඵලයක් ලෙස, පුරාණ ඇමරිකාවේ නෙපිවරුන්ගේ අවසාන අනාගතවක්තෘ මොරෝනි දේවදූතයා ඔහුට තුන් වතාවක් පෙනීසිටියා. රාත්‍රිය පුරා ඔවුන්ගේ හමුවීම් අතරතුර, ඇමරිකානු මහාද්වීපයේ ලියන ලද පුරාණ අනාගතවක්තෘවරුන්ගේ පොළඹවන සුලු වචන ලොවට පරිවර්තනය කිරීම සහ ප්‍රකාශනය කිරීම සඳහා—ඔහුට සම්පූර්ණ කිරීමට දෙවියන්වහන්සේට පුදුමාකාර වැඩක් ඇති බව මොරෝනි ජෝසෆ්ට පැවසුවා.8 ඊලඟ දවසේ, සියවස් ගණනාවකට පෙර මොරෝනිගේ ජීවිතයේ අවසානයේ ඔහු විසින් තහඩු තැන්පත් කරන ලද, ජෝසෆ්ගේ නිවසින් බොහෝ ඈතින් නොවූ ඒ ස්ථානයට ඔහු ගියා. එහිදී ජෝසෆ් මොරෝනිව නැවත දුටුවා, අනාගතයේදී තහඩු ලබාගැනීමට සූදානම් වන ලෙස ඔහු උපදෙස් දුන්නා.

ඊලඟ අවුරුදු හතර තුළ, සෑම වර්ෂයකම සැප්තැම්බර් 22 වන දින, ස්වාමින්වහන්සේගේ රාජ්‍යය අවසාන දිනවල පාලනය කළ යුතු ආකාරය පිළිබඳ දැනුම පිළිබඳව ජෝසෆ්ට මොරෝනිගෙන් අමතර උපදෙස් ලැබුණා. මෙම කාලපරිච්ඡේදයේදී සිදුවිය හැකි සිදුවීම් වල පුදුම බව හා මහිමය දිගහැරෙමින්, ජෝසෆ්ගේ සූදානමට දෙවියන්වහන්සේගේ දූතයන් බැහැදැකීම්ද ඇතුලත් වුණා.9

1827 දී එමා හේල් සමග ඔහුගේ විවාහය එම සූදානමේම කොටසක් වුණා. අනාගතවක්තෘවරයාගේ ජීවිත කාලය පුරාම සහ දේවසේවයේ යෙදීමට ඇය වැදගත් කාර්යභාරයක් ඉටුකළා. ඇත්තවශයෙන්ම, 1827 සැප්තැම්බර් මාසයේදී එමා ජෝසෆ් සමග තහඩු සඟවා තිබූ එම කන්දට ගිය අතර, මොරෝනි දේවදූතයා එම වාර්තාව ජෝසෆ්ගේ අතට භාරදෙන විට ඇය ඔහු එනතුරු බලාසිටියා. තහඩු මොරෝනි අතට භාරදෙන තෙක් ඒවා ආරක්ෂාකාරීව තබාගැනීමට ඔහුගේ සියලු උත්සාහයන් කැපකළහොත් තහඩු ආරක්ෂා වන බවට ජෝසෆ්ට පොරොන්දුවක් ලැබුණා.10

ශුභාරංචියේ මගේ ආදරණීය සහකරුවනි, වර්තමානයේ බොහෝ සොයාගැනීම් සිදුවන්නේ පුරාවිද්‍යාත්මක කැණීම් වලදී හෝ ඉදිකිරීම් ව්‍යාපෘතියකදී අහම්බෙන් වගෙයි. කෙසේවෙතත්, ජෝසෆ් ස්මිත්ව දේවදූතයෙකු විසින් තහඩු වෙත යොමුකෙරුනා. එම ප්‍රතිඵලයම ආශ්චර්යයක්.

මෝර්මොන්ගේ පොත පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියද ආශ්චර්යයක්. පුරාණ භාෂාවක් ඉගෙනගැනීමෙන් විද්වතුන් විසින් පැරණි ග්‍රන්ථ පරිවර්තනය කරන සාම්ප්‍රදායික ආකාරයෙන් මෙම පූජනීය පුරාණ වාර්තාව “පරිවර්තනය” කර නෑ. භාෂා දැනුමක් ඇති අයෙකුගේ “පරිවර්තනයකට” පටහැනිව ස්වාමින්වහන්සේ විසින් සපයන ලද භෞතික උපකරණ වල ආධාරයෙන් සිදුවූ “එළිදරව්වක්” ලෙස අප මෙම ක්‍රියාවලිය දෙස බැලිය යුතුයි. ජෝසෆ් ස්මිත් එය දෙවියන්වහන්සේගේ බලය තුළින්, “ඔහු මෝර්මොන්ගේ පොත හයිරොග්ලිෆ්ස් වලින් පරිවර්තනය කළ බවත්, ඒ පිළිබඳ දැනුම ලෝකයට අහිමිය, ඒ අපූරු සිදුවීමේ, නූගත් තරුණයෙක්ව, ලෞකික ප්‍රඥාවට එරෙහිව සටන් කරමින් සහ නව එළිදරව්වක් සමග දහඅට වන සියවසේ වැඩිවූ නොදැනුවත්කම සමග [ඔහු] තනිව නැගී සිටි ළ බවත්” මෙසේ ප්‍රකාශ කළා.11 ජෝසෆ් ස්මිත් ඒවා පරිවර්තනය කිරීමට ගතකළ ආශ්චර්යමත් කෙටි කාලය සලකා බැලීමේදී තහඩු හෝ එළිදරව් පරිවර්තනය කිරීමේදී ස්වාමින්වහන්සේගේ උපකාරයද පැහැදිලි වෙනවා.12

මෝර්මොන්ගේ පොත පරිවර්තනය කිරීමේදී දෙවියන්වහන්සේගේ බලය ප්‍රකාශ වූ බව ජෝසෆ්ගේ ලියන්නන් සාක්ෂි දුන්නා. ඔලිවර් කව්ඩ්‍රි වරක් මෙහෙම කිව්වා: “මේ දවස් කිසිදා අමතක කළ නොයුතුය—එනම්, ස්වර්ගයේ ආනුභාවයෙන් නියම කරන ලද කටහඬක් යට වාඩිවී සිටීම, මෙම ළයෙහි අතිශයින්ම කෘතඥතාව අවදි කළේය! ඔහු මෝර්මොන්ගේ පොත පරිවර්තනය කරන විට … දිනෙන් දින මම ඔහුගේ කටින් එන දේ ලිවීමට, බාධා නොකරම, නොකඩවාම උත්සාහ කළෙමි.”13

ජෝසෆ් 1827 දී තහඩු ලබාගත් මොහොතේ සිට ඔහුගෙන් ඒවා සොරකම් කිරීමට උත්සාහයන් කර තිබූ බව, ඓතිහාසික මූලාශ්‍ර වලින් හෙළිවෙනවා. “ඔහුගෙන් තහඩු ලබාගැනීම සඳහා වඩාත්ම වෙහෙස මහන්සි වී වැඩ කරන ලද බව” සහ “ඒ අරමුණ සඳහා නව නිපැයුම් කළ හැකි සෑම උපක්‍රමයක්ම ඒ සඳහා යොමුවූ බව” ඔහු තේරුම්ගත්තා.14 අවසානයේ, පරිවර්තන කටයුතු කරගෙන යාමට, මැරයන් සහ තහඩු සොරකම් කිරීමට කැමති පුද්ගලයින්ගෙන් ආරක්ෂිත ස්ථානයක් සොයාගැනීමට, ජෝසෆ්ට සහ එමාට නිව්යෝර්ක්හි මැන්චෙස්ටර් සිට පෙන්සිල්වේනියාවේ හාර්මනි වෙත යාමට බල කෙරුණා.15 එක් ඉතිහාසඥයෙක් පවසන පරිදි: “මේ අනුව තහඩු මත ජෝසෆ්ගේ භාරකාරත්වයේ පළමු දුෂ්කර අවධිය අවසන් වුණා. … එහෙත්, එම වාර්තාව තවමත් සුරක්‍ෂිත වූ අතර, ඒවා ආරක්ෂා කිරීමට ඔහු දැරූ අරගල වලදී, පැමිනෙන්නට ඇති කාලයේදී ඔහුට හොඳින් සේවය කළ හැකි, දෙවියන්වහන්සේ හා මනුෂ්‍යයාගේ මාර්ග ගැන ජෝසෆ් බොහෝ දේ ඉගෙනගෙන ඇති බවට සැකයක් නැත.”16

තහඩු බැලීමට ස්වාමින්වහන්සේ සාක්ෂිකරුවන් තෝරාගන්නා බව, මෝර්මොන්ගේ පොත පරිවර්තනය කරන අතරතුරේදී ජෝසෆ් දැනගත්තා.17 “සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුගේ මුවින් සෑම වචනයක්ම ස්ථාපිත වනු ඇත” යනුවෙන් ස්වාමින්වහන්සේම පැවසූ අවස්ථාවේදී මෙය ස්ථාපිත කර තිබෙනවා.”18 ඔලිවර් කව්ඩ්රි, ඩේවිඩ් විට්මර් සහ මාටින් හැරිස් මෙම කාලපරිච්ඡේදයේදී දෙවියන්වහන්සේගේ පුදුමාකාර කාර්යයන් ස්ථාපිත කිරීමේ ජෝසෆ්ගේ ආරම්භක සගයන් වූ අතර මෝර්මොන්ගේ පොත පිළිබඳ විශේෂ සාක්ෂියක් දරන්නට කැඳවූ පළමු සාක්ෂිකරුවන්ද වුණා. ස්වාමින්වහන්සේ ඉදිරියෙන් පැමිණි දේවදූතයෙක්, ඉපැරණි වාර්තාව ඔවුන්ට පෙන්වූ බවත්, තහඩු වල කැටයම් කර ඇති අකුරු ඔවුන් දුටු බවත් ඔවුහු සාක්ෂි දුන්නා. දෙවියන්වහන්සේගේ ත්‍යාගය හා බලය මගින් එම පුරාණ වාර්තාව පරිවර්තනය කර ඇති බව ප්‍රකාශ කරමින් ස්වර්ගයේ සිට දෙවියන්වහන්සේගේ හඬ ඇසුණු බවද ඔවුහු සාක්ෂි දුන්නා. ඉන්පසු එය මුළු ලෝකයටම සාක්ෂි දෙන ලෙස ඔවුන්ට අණක් ලැබුණා.19

තමන් වෙනුවෙන් රන් තහඩු දැකීමටත්, මෝර්මොන්ගේ පොතෙහි සත්‍යය හා දේවත්වය පිළිබඳ විශේෂ සාක්ෂිකරුවෙකු ලෙසත්, ස්වාමින්වහන්සේ ආශ්චර්යමත් ලෙස තවත් සාක්ෂිකරුවන් අටදෙනෙකු කැඳවූවා. තහඩු සහ ඒවා වල කැටයම් අක්ෂරද ඔවුන් දුටු බවද, ඒවා හොඳින් පරීක්ෂා කර බැලූ බවද ඔවුන් සාක්ෂි දුන්නා. විපත්, පීඩා, සියලු ආකාරයේ දුෂ්කරතා සහ ඔවුන්ගෙන් සමහර අය පසුව ඔවුන්ගේ ඇදහිල්ලෙහි පසුබෑම මධ්‍යයේ වුවද, තෝරාගත් මෙම මෝර්මොන්ගේ පොතේ සාක්ෂිකරුවන් එකොළොස්දෙනා කිසිවිටෙකත් ඔවුන් තහඩු දුටු බවට ඔවුන්ගේ සාක්ෂි ප්‍රතික්ෂේප කළේ නෑ. මොරෝනිගේ සංචාරය සහ රන් තහඩු පිළිබඳ දැනුමෙන් ජෝසෆ් ස්මිත් තවදුරටත් තනිව සිටියේ නෑ.

සාක්ෂිකරුවන්ට තහඩු පෙන්වීමෙන් පසු තම පුතා නිවසට පැමිණ ප්‍රීතියෙන් ඉපිල ගිය බව ලුසී මැක් ස්මිත් වාර්තා කළා. “මට දරාගත නොහැකි තරමේ බරකින් මිදුනාක් මෙන් මට හැඟෙනවා, එය මාගේ ආත්මය ප්‍රීති කරනවා, මම තවදුරටත් ලෝකය තුල තනිවී නෑ” ලෙස ජෝසෆ් තම දෙමාපියන්ට ඒ ගැන ව්ස්තර කළා.20

මෝර්මොන්ගේ පොතේ පරිවර්තන අවසානයකට පැමිණි විට, එය මුද්‍රණය කිරීමේදී ජෝසෆ් ස්මිත්ට විශාල විරෝධයන්ට මුහුණදෙන්නට සිදුවුණා. නිව්යෝර්ක් පැල්මයිරාහි එග්බර්ට් බී. ග්‍රැන්ඩින් නම් මුද්‍රණකරුවාට මුද්‍රණය කිරීමට ඔහුට ඒත්තුගැන්වීමට හැකි වූයේ, මාටින් හැරිස් මහත් ඇදහිල්ලකින් හා කැපකිරීමකින් යුතුව තම ගොවිපල මුද්‍රණ වියදම් සඳහා ඇපකරයක් ලෙස උකසට තැබීමෙන් පසුව පමණයි. මෝර්මොන්ගේ පොත ප්‍රකාශයට පත්කිරීමෙන් පසුත් දිගින් දිගටම එල්ල වූ විරෝධතා හේතුවෙන් මාටින් හැරිස් තම ගොවිපලෙන් අක්කර 151 ක් (0.6 km2) ඇදහිලිවන්තව විකුණා ප්‍රකාශන පිරිවැය පියවාගත්තා. ඔහුගේ දේපළ වලට ආශා නොකරන ලෙසත් “සත්‍යය සහ දේව වචනය” අඩංගු පොතේ මුද්‍රණ වියදම ගෙවන ලෙසත් ජෝසෆ් ස්මිත්ට ලබාදුන් එළිදරව්වක් තුළින් ස්වාමින්වහන්සේ මාටින් හැරිස්ට උපදෙස් දුන්නා.21 1830 මාර්තු මාසයේදී, මෝර්මොන්ගේ පොතේ මුල් පිටපත් 5,000 ප්‍රකාශයට පත්කරන ලද අතර, අද වන විට පිටපත් මිලියන 180 කට වැඩි ප්‍රමාණයක් භාෂා සියයකට අධික සංඛ්‍යාවකින් මුද්‍රණය කර තිබෙනවා.

ඓතිහාසික කරුණු සහ මෝර්මොන්ගේ පොතෙහි විශේෂ සාක්ෂිකරුවන් සාක්ෂි දරන්නේ එහි එළිදැක්ම සැබවින්ම ආශ්චර්යමත් බවයි. එසේ වුවද, මෙම පොතේ බලය එහි විශ්මයජනක ඉතිහාසය මත පමණක් නොව එහි ප්‍රබල, එම අසමසම පණිවිඩය, මගේද ඇතුළුව, අසංඛ්‍යාත ජීවිත වෙනස්කර තිබෙන අසමසම පණිවිඩය මත පදනම් වෙනවා!

මම තරුණ සෙමනේරි ශිෂ්‍යයෙක්ව සිටියදී පළමු වරට මුලු මෝර්මොන්ගේ පොතම කියෙව්වා. මගේ ගුරුවරුන්ගේ නිර්දේශය පරිදි, මම එය කියවීමේ ආරම්භය එහි හඳුන්වාදීමේ පිටු වලින් ආරම්භ කළා. මොර්මොන්ගේ පොතේ මුල් පිටුවල අඩංගු පොරොන්දුව තවමත් මගේ මතකයේ දෝංකාර දෙනවා: “[ඔබේ] හදවතින් මෙනෙහි කරන්න, ඉන්පසු ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සදාකාල පියාණන් වන දෙවියන්වහන්සේගෙන් මේ පොත සත්‍ය දැයි ඇදහිල්ලෙන් විමසන්න. මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන අයට ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් එහි සත්‍යතාව සහ දිව්‍යමයභාවය පිළිබඳ සාක්ෂියක් ලැබෙනු ඇත.”22

එම පොරොන්දුව මනසේ තබාගෙන, එහි සත්‍යතාව ගැන වැඩි විස්තර දැනගැනීමට උනන්දුවෙන් උත්සාහ කරන අතර, යාච්ඤාවේ ආත්මයෙන් යුතුව, මම සතිපතා පවරා ඇති සෙමනේරි පාඩම් සම්පූර්ණ කරන විට, මෝර්මොන්ගේ පොත ටිකෙන් ටික අධ්‍යයනය කළා. ඇල්මා තම ජනයාට දේව වචනය දේශනා කිරීමේදී විස්තර කළ පරිදි, උණුසුම් හැඟීමක් ක්‍රමයෙන් මගේ ආත්මය තුල ඉදිමී මගේ හදවත පුරවා, මගේ අවබෝධය අවබෝධ කරගැනීමටත්, වඩ වඩාත් ප්‍රීතිමත් වීමටත් පටන්ගත් බව, ඊයේ මෙන්, මට මතකයි.23 එම හැඟීම අවසානයේදී මගේ හදවතේ මුල් බැසගත් දැනුම බවට පත්වූ අතර මෙම පූජනීය පොතේ ඇති වැදගත් සිදුවීම් හා ඉගැන්වීම් පිළිබඳ මගේ සාක්ෂියේ පදනම බවට පත්වුණා.

මෙම සහ තවත් මිල කළ නොහැකි පෞද්ගලික අත්දැකීම් තුලින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මාගේ ඇදහිල්ල සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ මගේ සාක්ෂිය පවත්වා ගෙන යන ප්‍රධාන ගල බවට මෝර්මොන්ගේ පොත පත්වුණා. එය ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍ය වන්දිගෙවීමේ පරිත්‍යාගය පිළිබඳව මට සාක්ෂි සපයන එක් කුළුණක් බවට පත්වුණා. මගේ ඇදහිල්ල දුර්වල කිරීමට සහ මගේ මනස තුල අවිශ්වාසය ඇති කිරීමට සතුරා ගත් උත්සාහයට එරෙහිව එය මගේ ජීවිත කාලය පුරාම පලිහක් බවට පත්වූ අතර ගැලවුම්කරුවාණන් පිළිබඳ මගේ සාක්ෂිය ලොවට නිර්භීතව ප්‍රකාශ කිරීමට මට ධෛර්යය ලබාදෙනවා.

මාගේ ආදරණීය මිත්‍රවරුනි, මෝර්මොන්ගේ පොත පිළිබඳ මගේ සාක්ෂිය මගේ හදවතට පේළියෙන් පේළියට24 ප්‍රාතිහාර්යයක් ලෙස ඉදිරිපත් වුණා. මෙම සුවිශේෂී ශුද්ධලියවිලි පොතේ අඩංගු දෙවියන්වහන්සේගේ වචනය වඩාත් හොඳින් වටහාගැනීම සඳහා, අවංක හදවතකින්, මා නිරන්තරයෙන් සොයන විට අද දක්වාම මෙම සාක්ෂිය දිගටම වර්ධනය වෙනවා.

අද දින මගේ කටහඬ ඇසෙන සැමට, මෝර්මොන්ගේ පොතේ අදහාගත නොහැකි එළිදැක්වීම ඔබේ ජීවිතයේ කොටසක් කරගන්නා ලෙස මම ඔබට ආරාධනා කරනවා. ඔබ යාච්ඤාපූර්වකව හා නොකඩවා එහි වචන අධ්‍යයනය කරන විට, ඔබට එහි පොරොන්දු සහ පොහොසත් ආශිර්වාද ඔබේ ජීවිතයේ ලබාගත හැකි බව මම ඔබට පොරොන්දු වෙනවා. එහි පිටු හරහා දෝංකාර දෙන පොරොන්දුව මම නැවත වරක් සහතික කරනවා: “ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සදාකාලික පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් මෙම දේවල් සත්‍ය දැයි අසන්න; නුඹ අවංක හදවතකින්, සැබෑ උවමනාවකින්, ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ලෙන් අසනවානම්,” උන්වහන්සේ කරුණාවන්තව “ශුද්ධාත්මයාණන්ගේ බලය මගින්, එහි සත්‍යය නුඹ වෙත ප්‍රකාශ කරනු ඇත”25 උන්වහන්සේ මා සහ ලොව පුරා සිටින බොහෝ අය වෙනුවෙන් කර ඇති පරිදි, උන්වහන්සේ ඔබට පෞද්ගලිකව පිළිතුරු ලබාදෙන බවට මට සහතික විය හැකියි. ජෝසෆ් ස්මිත්ගේ අත්දැකීම් ඔහුට වූවා මෙන්, පළමු සාක්ෂිකරුවන්ට මෙන්ම මෙම පූජනීය පොතේ අඛණ්ඩතාව සහ විශ්වාසනීයත්වය පිළිබඳ සාක්ෂියක් ලබාගැනීමට උත්සාහ කළ සියලු දෙනාටම මෙන්, ඔබගේ අත්දැකීම් මහිමාන්විත හා පරිශුද්ධ වෙයි.

මෝර්මොන්ගේ පොත ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනය බවට මම සාක්ෂි දරනවා. මෙම පරිශුද්ධ වාර්තාව “ශුභාරංචියේ මූලධර්ම ඉදිරිපත් කරන බව, ගැලවීමේ සැලැස්ම ගෙනහැර දක්වන බව, මේ ජීවිතයේ සාමය සහ අනාගත ජීවිතයේ සදාකාලික ගැලවීම ලබාගැනීම සඳහා කළ යුතු දේ මිනිසුන්ට පවසන බව” මම සාක්ෂි දරනවා.26 අපේ කාලයේ ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැන හඳුනාගැනීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා මොර්මොන්ගේ පොත දෙවියන්වහන්සේගේ මෙවලම බව මම සාක්ෂි දරනවා. දෙවියන්වහන්සේ ජීවත් වන බවත්, අපට ප්‍රේම කරන බවත්, උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැළවුම්කරුවාණන් බවත්, අපේ ආගමේ ප්‍රධාන ගල බවත්, මම සාක්ෂි දරනවා. මම මේ දේවල් කියන්නේ අපගේ ගැලවුම්කරුවාණන්, අපගේ ස්වාමියා සහ අපගේ ස්වාමින්වහන්සේ වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.