ප්‍රධාන සම්මන්ත්‍රණය
පසු-දවස්වල ශුද්ධවන්තයන් ලෙස ජීවත් වෙමින්—ක්‍රිස්තුස්වහන්සේ වෙත එන්න
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


පසු-දවස්වල ශුද්ධවන්තයන් ලෙස ජීවත් වෙමින්—ක්‍රිස්තුස්වහන්සේ වෙත එන්න

අපට විශ්වාස කළ හැක්කේ කා කෙරෙහිද කියා අප දන්නා නිසා, අපට අසීරු කාර්යයන් කළ හැකිවන අතරම අනෙක් අයටද එසේම කිරීමට උපකාර කළ හැකියි.

මොර්මොන්ගේ පොත ගැන ඔබේ බලවත් සහ දිවැසිවර සාක්ෂියට ස්තූතියි, වැඩිහිටි සෝරෙස්. මෝර්මොන්ගේ පොතේ මුල් පිටපතේ පිටුවක් ඇල්ලීමට මට මෑතකදී සුවිශේෂී අවස්ථාවක් ලැබුණා. මෙම විශේෂිත පිටුවේ, මෙම කාලපරිච්ඡේදයේ පළමු වතාවට, නෙපිගේ මෙම නිර්භීත වචන වාර්තා වෙලා තිබුණා: “තවද එය මෙසේ සිදුවිය, මම නෙපි මගේ පියාට මෙසේ කීවෙමි: මම ගොස් ස්වාමින්වහන්සේ මට ආඥා කළ දේ කරන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ආඥා කළ දේ සම්පූර්ණ කරනු පිණිස මාර්ගයක් පිළියෙල කොට මිස උන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ට ආඥා නොපමුනුවන බව දන්නෙමුව.”1

රූපය
මෝර්මොන්ගේ පොතේ මුල් අත් පිටපත්

මා මෙම පිටුව රඳවාගෙන සිටින විට, “දෙවියන්වහන්සේගේ දීමනාව සහ බලය”2 මගින් මෝර්මොන්ගේ පොත පරිවර්තනය කළ, 23 හැවිරිදි ජෝසෆ් ස්මිත්ගේ උත්සාහය ගැන මා තුළ ඉමහත් අගය කිරීමකින් පිරීගියා. ලාබන්ගෙන් පිත්තල තහඩු ලබාගැනීමේ ඉතා අසීරු කාර්යය ඉටුකරන ලෙස ඉල්ලා සිටි, තරුණ නෙපි කෙනෙකුගේ වචන වලටද මාහට අගය කිරීමක් දැණුනා.

තමා දිගටම ස්වාමින්වහන්සේ කෙරෙහි අවධානය යොමුකළහොත්, ස්වාමින්වහන්සේ ඔහුට ආඥා කළ දේ ඉටුකිරීමට ඔහු සමත් වන බව නෙපිද දැනසිටියා. පරීක්ෂාවන්, ශාරීරික පීඩා සහ ඔහුගේ ආසන්නතම පවුලේ සමහරුන් පාවාදීම පවා වින්දද ඔහු තම ජීවිත කාලය පුරාම ගැලවුම්කරුවාණන් කෙරෙහි එක් අරමුණකින් සිටියා.

තමාට විශ්වාස කළ හැක්කේ කාවදැයි නෙපි දැනසිටියා.3 “අහෝ කාලකණ්නි මිනිසා වන මම! එසේය මගේ මාංශය නිසා මගේ හදවත දුක්වෙයි,”4 ලෙස කීමෙන් ටික කලකට පසු, මගේ දෙවියන්වහන්සේ මගේ ආධාරකයාණෝය; උන්වහන්සේ මට වනාන්තරයෙහි මගේ පීඩාවන් මධ්‍යයේ මගපෙන්වා ඇත; තවද උන්වහන්සේ බලවත් ජලයේ ගැඹුර මත මාව ආරක්ෂා කර ඇත” ලෙස නෙපි පැවසුවා.5

ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, අපගේ ජීවිතයේ අභියෝග හා පීඩා වලින් අප බේරී නෑ. තනිවම උත්සාහ කළහොත්, එය අති විශාල හා සමහර විට කළ නොහැකි විය හැකි දුෂ්කර දේ කිරීමට අපෙන් බොහෝ විට බලාපොරොත්තු වෙනවා. “මා වෙතට එන්න”6 යන ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය අප පිළිගන්නා විට, නෙපි හා ජෝසෆ් වෙනුවෙන් උන්වහන්සේ කළ සේම, උන්වහන්සේ අවශ්‍ය සහයෝගය, සැනසීම සහ සාමය ලබාදෙනවා. අපගේ ගැඹුරු පරීක්ෂාවන්හිදී පවා, අප උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේගේ කැමැත්ත පිළිගන්නා විට උන්වහන්සේගේ ප්‍රේමයේ උණුසුම් ලෙස වැලඳගැනීම අපට දැනිය හැකියි. උන්වහන්සේගේ විශ්වාසවන්ත ගෝලයන් සඳහා වෙන්කර ඇති ප්‍රීතිය අපට අත්විඳිය හැකියි, මන්ද, “ක්‍රිස්තුස්වහන්සේ ප්‍රීතියයි.”7

2014 දී, පූර්ණකාලීන ධර්මදූතයක සේවය කරන අතරතුර, අපේ පවුල අනපේක්ෂිත සිදුවීමකට මුහුණදුන්නා. දිගු පුවරුවක කඳු බෑවුමක් තරණය කරමින් සිටියදී, අපේ බාල පුතා වැටී ඔහුගේ මොළයට ජීවිත තර්ජනයක් වන හානියක් සිදුවුණා. ඔහුගේ තත්වය නරක අතට හැරෙද්දී, වෛද්‍ය නිලධාරීන් ඔහුව හදිසියෙන් ශල්‍යකර්මයකට යොමුකළා.

අපේ පවුලේ අය හිස් රෝහල් කාමරයක බිම දණ ගසා, අපි අපේ හදවත් දෙවියන්වහන්සේට වත්කළා. මෙම ව්‍යාකූල සහ වේදනාකාරී මොහොත මධ්‍යයේ, අපගේ ස්වර්ගික පියාණන්ගේ ප්‍රේමය හා සාමයෙන් අප පිරීගියා.

අනාගතය කෙබඳු වේදැයි හෝ අපගේ පුතා නැවත ජීවතුන් අතර සිටිනු අපි දකියි දැයි අපි දැනගෙන සිටියේ නෑ. ඔහුගේ ජීවිතය දෙවියන්වහන්සේගේ අතේ ඇති බව, සහ එහි ප්‍රතිඵල සදාකාලික දෘෂ්ටිකෝණයකින් බලන විට ඔහුගේ සහ අපගේ යහපත උදෙසා ක්‍රියා කරනු ඇති බව, අපි ඉතා පැහැදිලිව දැනසිටියා. ආත්මයාණන්ගේ දීමනාව තුළින්, ඕනෑම ප්‍රතිඵලයක් පිළිගැනීමට අපි සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටියා.

එය පහසු වුණේ නෑ! අපි පූර්ණකාලීන ධර්මදූතයින් 400 කට අධික පිරිසක් සඳහා මුලසුන හොබවන අතරතුර, මෙම අනතුර නිසා මාස දෙකක රෝහල් ගතවීමක් සිදුවුණා. අපේ පුතාට සැලකිය යුතු මතක ශක්තියක් අහිමිවුණා. ඔහුගේ සුවවීමට දිගු හා දුෂ්කර භෞතික, කථන සහ වෘත්තීය චිකිත්සක සැසි ඇතුළත් වුණා. අභියෝග තවමත් පැවතුනා, නමුත් කාලයත් සමග අපි ප්‍රාතිහාර්යයක් දුටුවා.

අප මුහුණදෙන සෑම අභියෝගයකටම අප බලාපොරොත්තු වන ප්‍රතිඵලයක් නොලැබෙන බව අපි පැහැදිලිව තේරුම්ගත්තා. කෙසේවෙතත්, අප ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමුකරද්දී, අපට සාමය දැනෙනු ඇති අතර දෙවියන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් කුමක් වුවත්, උන්වහන්සේගේ කාලය තුල සහ උන්වහන්සේගේ ආකාරයට අනුව ඒවා අපට පෙනෙනවා.

වර්තමාන තත්වයක් හොඳින් අවසන් වන කිසිඳු ආකාරයක් අපට දැකගත නොහැකි අවස්ථා ඇතිවන අතර නෙපි මෙන් “මාගේ මාංසය නිසා මාගේ සිත ශෝක වේ”8 යනුවෙන් ප්‍රකාශ කළ හැකි අවස්ථා තිබිය හැකියි. අපට ඇති එකම බලාපොරොත්තුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විය හැකි අවස්ථා තිබිය හැකියි. උන්වහන්සේ කෙරෙහි එම බලාපොරොත්තුව හා විශ්වාසය තිබීම මොනතරම් ආශිර්වාදයක්ද. ඔහුගේ පොරොන්දු සැමවිටම තබාගන්නා කෙනා ක්‍රිස්තුස්වහන්සේයි. උන්වහන්සේ වෙතට එන සියල්ලන්ට උන්වහන්සේගේ විවේකය සහතිකයි.9

ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම හා අවධානය යොමුකිරීම තුළින් ලැබෙන සාමය සහ සැනසීම දැනීම අපගේ නායකයින් සියලුදෙනාගේ දැඩි ආශාවයි.

අපගේ ජීවමාන අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන්, ලෝකය සහ ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් සඳහා ස්වාමින්වහන්සේගේ දර්ශනය සන්නිවේදනය කරමින් සිටිනවා: “ලොවට අපගේ පණිවිඩය සරල හා අවංකය: තිරය දෙපස සිටින දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් වෙතට පැමිණෙන ලෙසත්, ශුද්ධ දේවමාළිගාවේ ආශිර්වාදය ලබාගැනීමටත්, ප්‍රීති විඳීමටත්, සදාකාල ජීවනයට සුදුසුකම් ලැබීමටත් අපි ආරාධනා කරමු.”10

“ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන්න” යන මෙම ආරාධනය ගැන පසු-දවස්වල ශුද්ධවන්තයින්ට නිශ්චිත අදහස් තිබෙනවා.11 ගැලවුම්කරුවාණන්ගේ සභාවේ සාමාජිකයන් වශයෙන්, අපි උන්වහන්සේ සමග ගිවිසුම් ඇති කරගත් අතර උන්වහන්සේගේ ආත්මිකව උපත ලැබූ පුතුන් හා දියණියන් බවට පත්ව සිටිනවා.12 ස්වාමින්වහන්සේ වෙතට පැමිණීමට අන් අයට ආරාධනා කිරීමේදී ස්වාමින්වහන්සේ සමග වැඩ කිරීමට අපට අවස්ථාව ලබාදී තිබෙනවා.

අප ක්‍රිස්තුස්වහන්සේ සමග වෙහෙස මහන්සි වී වැඩ කරන විට, අපගේ වඩාත් ගැඹුරු අවධානය යොමුකළ යුත්තේ අපගේම නිවෙස් තුළයි. පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් අභියෝගයන්ට මුහුණදෙන අවස්ථා තිබෙන්නට පුළුවන්. ලෝකයේ හඬවල්, සහ සමහරවිට ඔවුන්ගේම ආශාවන්, සත්‍යය ප්‍රශ්න කිරීමට හේතුවිය හැකියි. ගැලවුම්කරුවාණන්ගේ ආදරය සහ අපගේ ආදරය යන දෙකම දැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා අප කළ හැකි සෑමදෙයක්ම කළ යුතුයි. “Love One Another” යන අපේ ආදරණීය ගීතිකාව බවට පත්වුණු ශුද්ධලියවිලි පදය මට මතක් වෙනවා “ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නේ නම්, ඔබ මාගේ ශ්‍රාවකයන් බව මනුෂ්‍යයන් දැනගනු ඇත” ලෙස එය අපට උගන්වනවා.13

සත්‍යය ප්‍රශ්න කරන අයට අප දක්වන ප්‍රේමය තුල, සියලු ප්‍රීතියේ සතුරා අප විසින්ම ශුභාරංචියේ පූර්ණත්වය දිගටම පවත්වා ගෙන ගොස් එහි සත්‍යතාවන් උගන්වන්නේ නම්, අප ආදරය කරන අයව පාවාදෙන බවක් අපට හැඟෙන්නට සලස්වයි.

ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට හෝ ක්‍රිස්තුස්වහන්සේ වෙතට නැවත පැමිණීමට අන් අයට උදව් කිරීමට අපට ඇති හැකියාව බොහෝ දුරට තීරණය වන්නේ ගිවිසුම් මාවතේ රැඳීසිටීමට ඇති අපගේ පෞද්ගලික කැපවීමෙන් අප තබනා උදාහරණය තුලිනුයි.

අපගේ සැබෑ ආශාව අප ආදරය කරන අයව ගලවාගැනීම නම්, අප ක්‍රිස්තුස්වහන්සේගේ සභාව හා උන්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය වැලඳගෙන ස්ථිරව සිටිය යුතුයි.

නෙපිගේ කතාව වෙත ආපසු යාමේදී, ඔහුගේ දෙමව්පියන් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට ඇති නැඹුරුව සහ ඔවුන්ගේ ගිවිසුම් රකින ආදර්ශය මගින්, නෙපි ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට ඇති නැඹුරුව කෙරෙහි බලපා ඇති බව අපි දන්නවා. ජීවන වෘක්ෂය පිළිබඳ ලෙහිගේ දර්ශනය තුල මෙය මනාව නිරූපණය කෙරෙනවා. වෘක්ෂයේ මිහිරි හා ප්‍රීතිමත් ඵල අනුභව කිරීමෙන් පසු ලෙහි “[ඔහුට] [ඔහුගේ] පවුල සොයාගැනීම පිණිස, [ඔහුගේ] දෑස් අවට යොමුකළේය.”14 සාරියා, සෑම් සහ නෙපි “ඔවුන් යා යුත්තේ කොතැනටදැයි නොදන්නා සේ” සිටගෙන සිටිනවා ඔහු දුටුවා.15 ලෙහි ඉන්පසු මෙසේ කිව්වා, “මම ඔවුන්ට සංඥා කලෙමි; තවද ඔවුන් මා වෙත පැමිණිය යුතු බව හා තවද ඵලය අත්විඳිය යුතු බවත් මම ඔවුන්ට උස් හඬකින් පැවසුවෙමි.”16 ලෙහි ජීවන වෘක්ෂයෙන් ඉවත්ව නොගිය බව කරුණාවෙන් සලකන්න. ඔහු ස්වාමින්වහන්සේ සමග අධ්‍යාත්මිකව රැඳී සිටිමින් ඔහු ඵලය අනුභව කරන ස්ථානයට පැමිණෙන ලෙස තම පවුලේ අයට ආරාධනා කළා.

ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් තුළින් උන්වහන්සේගේ සභාව වෙන්කිරීමෙන් ශුභාරංචියේ ප්‍රීතිය අත්හැරීමට සතුරා සමහරුන්ව පොළඹවනවා. උන්වහන්සේගේ සභාවේ ස්වාධීනව, අපගේම අධ්‍යාත්මිකත්වය තුළින්, අපට තනිවම ගිවිසුම් මාවතේ ස්ථිරව සිටිය හැකි බව උන්වහන්සේ අපට විශ්වාස කිරීමට සලස්වනවා.

මෙම අවසාන දින වලදී, ක්‍රිස්තුස්වහන්සේගේ ගිවිසුම් මාර්ගයේ රැඳීසිටීමට උන්වහන්සේගේ ගිවිසුම් දරුවන්ට උපකාර කිරීම සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවා තිබෙනවා.

දහම සහ ගිවිසුමේ අපි මෙලෙස කියවනවා, “බලන්න, මෙය මාගේ දහමයි—කවරෙකු වුවත් පසුතැවිලි වී මා වෙතට පැමිණෙන්නේද, එය මාගේ සභාවය.”17

ක්‍රිස්තුස්වහන්සේගේ සභාව තුළින්, සාන්තුවරයන්ගේ ප්‍රජාවක් ලෙස අපගේ අත්දැකීම් තුළින් අපි ශක්තිමත් වෙනවා. උන්වහන්සේගේ හඬ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්, දිවැසිවරුන් හා එළිදරව් කරන්නන් තුළින් අපට ඇසෙනවා. වැදගත්ම දෙය නම්, ශුද්ධවූ වත්පිළිවෙත් වලට සහභාගී වීමෙන් පමණක් හඳුනාගත හැකි ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ වැදගත් ආශිර්වාද උන්වහන්සේගේ සභාව තුළින් අපට ලැබෙනවා.

දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම අවසාන දවස් වල නැවත පිහිටවූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව, පොළොවේ ක්‍රිස්තුස්වහන්සේගේ සභාවයි.

අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ පසු-දවස්වල ශුද්ධවන්තයන් ලෙස ජීවත්වන විට, උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ ප්‍රීතිය හා උන්වහන්සේගේ සමාදානය පිළිබඳ අමතර මිනුමකින් අපට ආශිර්වාද ලැබෙනු ඇති බවට මම සාක්ෂි දරනවා. නෙපි ලෙස, අපට විශ්වාස කළ හැක්කේ කා කෙරෙහිද කියා අප දන්නා නිසා, අපට අසීරු කාර්යයන් කළ හැකිවන අතරම අනෙක් අයටද එසේම කිරීමට උපකාර කළ හැකියි.18 ක්‍රිස්තුස්වහන්සේ අපහේ ආලෝකයයි, අපගේ ජීවනයයි, එමෙන්ම අපගේ ගැලවීමයි.19 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.