ප්‍රධාන සම්මන්ත්‍රණය
හෝසන්නා සහ හාලේලූයියා—ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ: නැවත පිහිටුවීමේ හා පාස්කුවේ හදවත
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


හෝසන්නා සහ හාලේලූයියා—ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ: නැවත පිහිටුවීමේ හා පාස්කුවේ හදවත

මෙම හෝසන්නා සහ හාලේලූයියා සමයේදී හාලේලූයියා ගායනා කරන්න—මක්නිසාද උන්වහන්සේ සදහටම රජකම් කරන සේක!

ආදරණීය සහෝදර සහෝදරියනි: හෝසන්නා සහ හාලේලූයියා සමග, අපි අඛණ්ඩ නැවත පිහිටුවීමේ හා පාස්කු ඉරිදා සමයේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහ්න්සේව සමරනවා. පරිපූර්ණ ප්‍රේමයෙන්, අපගේ ගැළවුම්කරුවාණන් අපව මෙසේ සනසවනවා: “මා තුළ ඔබට සමාදානය ලැබේවා! ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ: නමුත් ධෛර්යවන්ත වන්න; මම ලෝකය ජයගත්තෙමි.”1

මීට වසර කිහිපයකට පෙර, ගොන්ග් සහෝදරිය සහ මට ආදරණීය පවුලක් මුණගැසුණු විට, ඔවුන්ගේ කුඩා දියණිය, අයිවි, ලැජ්ජාවෙන් ඇගේ වයලීන පෙට්ටිය ගෙන ආවා. ඇය වයලීන අලුව ඔසවා, තදකර ලාටු දැමුවා. ඉන්පසු ඇය අලුව නැවත පෙට්ටියෙහි තබා, ගෞරවයෙන් වාඩි වූවා. නව ආරම්භකයකු වන ඇය වයලීනය පිළිබඳ තමා දන්නා සියල්ල බෙදාගත්තා. දැන් අවුරුදු ගණනාවකට පසු, අයිවි වයලීනය ලස්සනට වාදනය කරනවා.

රූපය
අයිවි සහ ඇයගේ වයලීනය

මේ ලෞකික කාල පරිච්ඡේදයේදී, අපි හැමෝම ටිකක් අයිවි සහ ඇගේ වයලීනය වගේ. අපි ආරම්භයෙන් පටන්ගන්නවා. පුහුණුවීම් හා නොපසුබට උත්සාහයත් සමග අපි වර්ධනය වී දියුණු වෙනවා. කාලයත් සමගම, අපි උන්වහන්සේ සමග උන්වහන්සේගේ මිදිවත්තේ වෙහෙස මහන්සිවී2 උන්වහන්සේගේ ගිවිසුම් මාර්ගය අනුගමනය කරන විට, තෝරාගැනීමේ නිදහස සහ ලෞකික අත්දැකීම් අපගේ ගැලවුම්කරුවාණන් හා සමාන වීමට අපට උපකාර කරනවා.

මෙම ද්විශතවාර්ෂික සංවත්සරය ඇතුළුව සංවත්සර, නැවත පිහිටුවීමේ රටාවන් ඉස්මතු කරනවා.3 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අඛණ්ඩ නැවත පිහිටුවීම සැමරීමේදී, අපි පාස්කු උත්සවය සඳහාද සූදානම් වෙනවා. මේ දෙකෙහිම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම ගැන අපි ප්‍රීති වෙනවා. උන්වහන්සේ ජීවත්වෙනවා—එදා පමණක් නොව දැනුත්; සමහරුන් සඳහා පමණක් නොව, නමුත් සියල්ලන්ම සඳහා. බිඳුණු හදවත් ඇති අයව සුවකිරීමටත්, වහලුන් බේරාගැනීමටත්, අන්ධයන්ට පෙනීම ලබාදීමටත්, තැළුණු අයට නිදහස ලබාදීමටත් උන්වහන්සේ පැමිණ තිබෙනවා ඒවගේම නැවත පැමිණෙනවා.4 ඒ අපි හැමෝමයි. අපගේ අතීතය, වර්තමානය හෝ අපේ අනාගතය පිළිබඳ අපේක්ශාවන් කුමක් වුවත් උන්වහන්සේගේ මුදවාගැනීමේ පොරොන්දු අදාළ වෙනවා.

රූපය
යෙරුසලමට විජයග්‍රාහීව පිවිසීම

හෙට ගොක් ඉරිදායි. සාම්ප්‍රදායිකව, පාම් ගස් යනු අපගේ ස්වාමින්වහන්සේ තුල ප්‍රීතිය ප්‍රකාශ කිරීම සඳහා වූ පරිශුද්ධ සංකේතයක්, ක්‍රිස්තුස්වහන්සේගේ යෙරුසලමට විජයග්‍රාහී පිවිසුමේදී, “බොහෝ මිනිසුන්… පාම් ගස්වල අතු රැගෙන උන්වහන්සේ හමුවීමට පිටත්ව ගියා.”5 (මෙම හැරී ඇන්ඩර්සන් සිතුවමේ මුල් පිටපත සභාපති රසල් එම්. නෙල්සන්ගේ කාර්යාලයේ ඔහුගේ මේසය පිටුපස එල්ලා ඇති බව දැනගැනීමට ඔබ උනන්දු විය හැකිය.) එළිදරව් පොතේ දෙවියන්වහන්සේට හා බැටළුපැටවාණන්ට ප්‍රශංසා කරන අය එසේ කරන්නේ “සුදු වස්ත්‍ර හැඳ අතේ පාම් අතු සහිතවයි.”6 “ධර්මිෂ්ඨකමේ වස්ත්‍ර” සහ “මහිමයේ ඔටුනු” සමග, කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ කැපවීමේ යාච්ඤාවට පාම් ඇතුලත් කරගෙන තිබුණා.7

ගොක් ඉරිදා දවසේ වැදගත්කම, සමූහයා යේසුස්වහන්සේට පාම් සහිතව ආචාර කිරීම ඉක්මවා යනවා. ගොක් ඉරිදා දින, යේසුස්වහන්සේ යෙරුසලමට ඇතුළු වූයේ ඇදහිලිවන්තයන් අනාවැකි ඉටුකිරීමක් ලෙස එය පිළිගන්නා ආකාරයටයි. සෙකරියා8 සහ ගීතිකාකරු අනාවැකිමය ලෙස පුරෝකථනය කළ පරිදි, අපගේ ස්වාමීන්වහන්සේ කොටළුවෙකු පිට නැගී යෙරුසලමට ඇතුළු වූ විට සමූහයා “ඉතා උසස් තැනැන්වහන්සේට හෝසන්නා” කියමින් හඬනැගුවා.9 හෝසන්නා හි තේරුම “දැන් ගලවාගන්න” යන්නයි.10 ඉන්පසු, දැන්, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් පැමිණෙන තැනැත්තාට ආශිර්වාද වේවා” කියා අපි ප්‍රීති වෙනවා.11

ගොක් ඉරිදාට පසු සතිය පාස්කු ඉරිදායි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “උන්වහන්සේ ගෙවිය නොයුතු ණයක් ගෙවීමට පැමිණියේ, අපට ගෙවිය නොහැකි ණයක් ගෙවිය යුතු නිසාය” යනුවෙන්, සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූවා.12 ඇත්තවශයෙන්ම, ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින්, දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට “ශුභාරංචියේ නීති හා නියෝග වලට කීකරු වීමෙන් ගැලවීම ලැබිය හැකියි.”13 පාස්කුවේ අපි හාලේලූයියා ගායනා කරනවා. හාලේලූයියා යන්නෙහි තේරුම “යෙහෝවා දෙවි ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න” යන්නයි.14 හැන්ඩෙල්ගේ මෙසායා කතා වස්තුවෙහි “හාලේලූයියා සමූහ ගායන පද” උන්වහන්සේ “රජවරුන්ගේ රජ සහ ස්වාමිවරුන්ගේ ස්වාමින්” බවට ආදරණීය පාස්කු ප්‍රකාශයකි.15

ගොක් ඉරිදා සහ පාස්කු ඉරිදා අතර ඇති පූජනීය සිදුවීම් වන්නේ හෝසන්නා සහ හාලේලූයියා කතාවයි. හෝසන්නා යනු දෙවියන්වහන්සේට ගැලවීම සඳහා අපගේ ආයාචනයයි. ගැලවීමේ සහ උත්කර්ශයේ බලාපොරොත්තුව වෙනුවෙන් හාලේලූයියා, ස්වාමින්වහන්සේට අපගේ ප්‍රශංසාව පළ කරනවා. හෝසන්නා සහ හාලේලූයියා හි ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පාස්කු ඉරිදා හා පසු-දවස්වල නැවත පිහිටුවීමේ හදවත ලෙස අපි හඳුනාගන්නවා.

පසු-දවස්වල නැවත පිහිටුවීම ආරම්භවන්නේ දේව දර්ශනයකින්—එනම් පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තරුණ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට දර්ශනය වීමෙන්. ජෝසෆ් අනාගතවක්තෘවරයා මෙසේ කිව්වා, “ඔබට මිනිත්තු පහක් ස්වර්ගය දෙස බැලිය හැකිනම්, මෙම විෂය පිළිබඳව මෙතෙක් ලියා ඇති සියල්ල කියවීමෙන් ඔබ දැනගන්නවාට වඩා දැනගත හැකියි.”16 මන්ද ස්වර්ග යලිත් විවරවී ඇති හෙයින්, “සදාකාලික පියාණන් වන දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා ශුද්ධාත්මයාණන්වහන්සේ”17—දිව්‍යමය ත්‍රිත්වය කෙරෙහි අපි විශ්වාස කරන බව අපි දන්නවා.

නැවත පිහිටුවීමේ මුල් දින වලදී 1836 අප්‍රියෙල් 3 වන පාස්කු ඉරිදා, කර්ට්ලන්ඩ් දේවමාළිගාව කැපකළ පසු ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පෙනීසිටියා. එහිදී උන්වහන්සේව දුටු අය උන්වහන්සේ ගැන සාක්ෂි දැරුවේ, ගින්නෙහි සහ ජලයෙහි ප්‍රතිවිරෝධී අනුපූරකයක් ලෙසයි: “උන්වහන්සේගේ දෑස් ගින්දර දළුමෙන්ය; උන්වහන්සේගේ හිසෙහි කෙස්, පිරිසිඳු හිම මෙන් සුදුව තිබිනි; උන්වහන්සේගේ පෙනීම සූර්යයාගේ දීප්තියට වඩා බැබලින; තවද උන්වහන්සේගේ හඬ මහත්වූ ජලයන් ගලායන ශබ්දය මෙන් වූ, යෙහෝවාවහන්සේගේ හඬය.”18

එම අවස්ථාවේදී අපගේ ගැලවුම්කරුවාණන් මෙසේ ප්‍රකාශ කළා, “මම පළමුවෙනියාද අන්තිමයාද වන්නෙමි; ජීවත්වන තැනැන්වහන්සේ මම වෙමි, මරණු ලැබූ තැනැන්වහන්සේ මමය; පියාණන්වහන්සේ සමග නුඹලාගේ නීතිවේදියා මමය.”19 නැවතත්, ප්‍රතිවිරෝධී අනුපූරක ලෙස—පළමු හා අවසාන, ජීවත්ව සිටින සහ ඝාතනය කරන ලද. උන්වහන්සේ ඇල්ෆා සහ ඔමේගා, ආරම්භය හා අවසානයය,20 අපගේ ඇදහිල්ලේ කතුවරයා සහ නිම කරන්නාය.21

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දර්ශනය වීමෙන් පසු මෝසෙස්, එලියාස් සහ එලියාද පැමිණියා. දිව්‍ය මගපෙන්වීම අනුව, පැරණි ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරුන් විසින් පූජකත්වයේ යතුරු සහ අධිකාරය නැවත ලබාදෙනු ලැබුවා. මේ අනුව, දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ආශිර්වාද කිරීම සඳහා උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාව තුළ “මෙම කාලපරිච්ඡේදයේ යතුරු කැපවී තිබෙනවා”.22

කර්ට්ලන්ඩ් දේවමාළිගාවට එලියාගේ පැමිණීම මලාකිගේ පරණ ගිවිසුමේ අනාවැකියද ඉටුකළා, එලියා “ස්වාමින්වහන්සේගේ ශ්‍රේෂ්ඨ හා භයානක දවස පැමිණීමට පෙර” ආපසු එනු ඇත.23 එසේ කිරීමෙන්, එලියාගේ දර්ශනය අහම්බෙන් නොව, නමුත් යුදෙව් පාස්කු සමය සමග සමපාත වුණා, එම සම්ප්‍රදාය ගෞරවාන්විතව එලියාගේ නැවත පැමිණීම අපේක්ෂා කරනවා.

බොහෝ භක්තිමත් යුදෙව් පවුල් ඔවුන්ගේ පාස්කු මේසයේ එලියාට ස්ථානයක් තැබූවා. ඔහුට ආරාධනා කිරීමට හා පිළිගැනීමට බොහෝදෙනෙක් කෝප්පයක් කට දක්වාම පිරෙව්වා. සමහරු, සාම්ප්‍රදායික පාස්කු ආහාර සමයේදී, ආරාධනා කරනු ලබන තුරු බලා සිටින එලියා, පිටතින් සිටගෙන ඇත්දැයි බැලීමට සමහරවිට අර්ධ වශයෙන් විවෘතව තබන දොර අසලට, දරුවෙකුව යවනවා.24

අනාවැකි ඉටුකිරීමේදී සහ පොරොන්දු වූ සියල්ල නැවත පිහිටුවීමේ කොටසක් ලෙස,25 පාස්කු ඉරිදා සහ පාස්කු උත්සවය ආරම්භයේදී එලියා පොරොන්දු වූ පරිදි පැමිණියා. පොළොවේ හා ස්වර්ගයේ පවුල් බැඳ තැබීමට ඔහු මුද්‍රා තැබීමේ බලය ගෙන ආවා. මොරෝනි, ජෝසෆ් අනාගතවක්තෘවරයාට ඉගැන්වූ පරිදි, එලියා “පියවරුන්ට දුන් පොරොන්දු දරුවන්ගේ හදවත් තුල රෝපණය කරන අතර දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙත හරවනු ඇත. එය එසේ නොවේ නම්, ”මොරෝනි තවදුරටත් පැවසුවා, “[ස්වාමින්වහන්සේගේ] පැමිණීමෙන් මුළු පොළොවම මුළුමනින්ම නාස්තිවී යනු ඇත.”26 ශුද්ධාත්මයාණන්ගේ ප්‍රකාශනයක් වන එලියාගේ ආත්මය අපගේ පරම්පරා වලට—අතීතයට, වර්තමානයට හා අනාගතයට—අපගේ පෙළපත්, ඉතිහාස හා දේවමාළිගාවේ සේවය වෙත අපව තවත් ළංකරනවා.

පාස්කු උත්සවය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න කෙටියෙන් අපි සිහිපත් කරමු. අවුරුදු 400 ක වහල්භාවයෙන් ඊශ්‍රායෙල් දරුවන් මුදාගැනීම පාස්කු උත්සවයෙන් සිහිපත් කරනවා. ගෙම්බන්, උකුණන්, මැස්සන්, ගවයන්ගේ මරණ, ගඩු, ගල් වර්ෂා, හිම කැට සහ ගින්න, පළඟැටියන් සහ ඝන අන්ධකාරයේ වසංගත වලින් පීඩා විඳීමෙන් පසු මෙම ගැලවීම සිදුවූ ආකාරය නික්මයාම පොතෙහි විස්තර කෙරෙනවා. අවසාන වසංගතයෙන් තර්ජනයට ලක්වූයේ දේශයේ කුලුඳුලාගේ මරණයි, නමුත් ඊශ්‍රායෙල් වංශයේ නිවැසියන් කැළැල් නැති පළමු බැටළු පැටවෙකුගේ ලේ ඔවුන්ගේ දොරවල්වල උළුවස්ස මත තැබුවිට—එය ඊශ්‍රායෙල් වංශයට සිදුවූයේ නෑ.27

මරණයේ දූතයා, බැටළු පැටවාගේ සංකේතාත්මක රුධිරයෙන් සලකුණු කරන ලද ගෙවල් පසුකර ගියා.28 එය පසුකර යාම හෝ පාස්කුව, නියෝජනය කරන්න්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් ජයගැනීමයි. ඇත්තවශයෙන්ම, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ වන්දිගෙවීමේ රුධිරය අපගේ යහපත් එඬේරාට සෑමතැනකම හා තත්වයකම සිටින තම සෙනගව ආරක්ෂා සහිතව තිරයෙන් දෙපසම උන්වහන්සේගේ රැලට එක්රැස් කිරීමට බලය ලබාදෙනවා.

මෝර්මොන්ගේ පොත නැවත පිහිටුවීම් දෙකක් සම්බන්ධව එනම්—“බලය හා ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම”29—පාස්කු ඉරිදා දවසේ සාරය ලෙස විස්තර කරනවා.

පළමුව, මරණයෙන් නැවත නැගිටීමට අපගේ “නිසි හා පරිපූර්ණ රාමුව”—“සෑම අවයවයක්ම සහ සන්ධියක්ම” “හිසෙහි හිසකෙසක්වත් පවා නැති නොවන”30 ශාරීරික නැවත නැගිටීම ඇතුලත් වෙනවා. මෙම පොරොන්දුව අත් පා අහිමි වූ, දැකීමට, ඇසීමට හෝ ඇවිදීමට හෝ නිර්දය රෝග, මානසික රෝග හෝ වෙනත් අඩුවූ ධාරිතාවයක් නිසා අහිමි සිතුවිලි නිසා පෙළෙන අයට බලාපොරොත්තුවක් ලබාදෙනවා. උන්වහන්සේ අපව සොයාගන්නවා. උන්වහන්සේ අපව සම්පූර්ණ කරනවා.

පාස්කු ඉරිදා සහ අපගේ ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ දෙවන පොරොන්දුව නම් “සියල්ල අධ්‍යාත්මිකව නිසි පිළිවෙලට යථා තත්වයට පත්කිරීම” යන්නයි.31 මෙම අධ්‍යාත්මික නැවත පිහිටුවීම අපගේ ක්‍රියාවන් හා ආශාවන් පිළිබිඹු කරයි. වතුර මත ඇති පාන් මෙන්,32 “යහපත් දේ”, “ධර්මිශ්ඨ,”, “යුක්තිසහගත” සහ “දයානුකම්පිත” දේ එය නැවත පිහිටුවයි.33 “සාධාරණ ලෙස කටයුතු කරන්න, ධර්මිෂ්ඨව විනිශ්චය කරන්න, නොකඩවා යහපත කරන්න”35 කියා ඔහු අපෙන් ඉල්ලා සිටිද්දී, නැවත පිහිටුවීම යන වචනය ඇල්මා අනාගතවක්තෘවරයා 22 වතාවක්34 භාවිතා කිරීම පුදුමයක් නොවේ.

“දෙවියන් උන්වහන්සේ විසින්ම ලෝකයේ පව් වෙනුවෙන් වන්දිගෙවූ නිසා”36 ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීම මගින් ඇති දේ පමණක් නොව, විය හැකි දේද නැවත සම්පූර්ණ කළ හැකියි. උන්වහන්සේ අපගේ වේදනා, දුක් වේදනා, අසනීප, සෑම ආකාරයකම අපගේ පරීක්ෂාවන් දන්නා නිසා,37 උන්වහන්සේට දයාවෙන් අපගේ දුර්වලතා අනුව අපට උපකාර කළ හැකියි.38 දෙවියන්වහන්සේ “පරිපූර්ණ, යුක්තිසහගත දෙවියන්වහන්සේ හා දයානුකම්පිත දෙවිකෙනෙකු” වන නිසා, දයාවේ සැලැස්මට “යුක්තියේ ඉල්ලීම් සතුටු කළ හැකිය.”39 අපි පසුතැවිලි වී අපට හැකි සෑමදෙයක්ම කරමු. උන්වහන්සේ අපව සදාකාලිකව “උන්වහන්සේගේ ප්‍රේමයේ හස්තයෙන්” වටකරගනී.40

අද අපි නැවත පිහිටුවීම හා නැවත නැගිටීම සමරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය අඛණ්ඩව නැවත පිහිටුවීම ගැන මම ඔබ සමග සතුටු වෙනවා. මීට වසර 200 පෙර මෙම වසන්තයේදී ආරම්භ වූ පරිදි, ස්වාමින්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයා සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව—ලෙස උන්වහන්සේගේ නාමයෙන් හඳුන්වන සභාවෙන්—සහ පුද්ගලික එළිදරව්වෙන් හා ශුද්ධාත්මයාණන්ගේ ස්වර්ගීය දීමනාවෙන් ලැබෙන දේවානුභාවයෙන් ආලෝකය සහ එළිදරව් අඛණ්ඩව පැමිණෙනවා.

මෙම පාස්කු සමයේ, ඔබ සමග, දෙවියන්වහන්සේ, අපගේ සදාකාල පියාණන් සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයා වන ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව මම සාක්ෂි දරනවා. මනුෂ්‍යයන් විසින් කුරිරු ලෙස කුරුසියේ ඇණ ගසනු ලැබූ අතර පසුව උන්වහන්සේ නැවත නැගිටිනු ලැබුවා. නමුත් උන්වහන්සේගේ අත්, පාද සහ පැත්තෙහි කුරුසියේ ඇණ ගැසීමේ සලකුණු තවමත් පවතින්නේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ උත්ථාන ස්වරූපයෙන් පමණයි. “මම නුඹව මාගේ දෑත්වල අල්ලේ කොටාගෙන ඇත” ලෙස පැවසිය හැක්කේ උන්වහන්සේට පමණයි.41 මෙසේ පැවසිය හැක්කේ උන්වහන්සේට පමණයි: “ඔසවනු ලැබූ කවරෙකුද ඔහු මම වන්නෙමි. කුරුසිපත්වු එම යේසුස් මම වන්නෙමි. මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන්නෙමි.”42

කුඩා අයිවි සහ ඇගේ වයලීනය මෙන්, අපි යම් ආකාරයකින් තවමත් ආරම්භ කරමින් සිටිනවා. සැබවින්ම, “දෙවියන්වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමිණෙන්නේය.”43 මේ කාල වලදී, අපි උන්වහන්සේව සොයන විට හා එකිනෙකා වෙත ලඟාවන විට, අපට දෙවියන්වහන්සේගේ යහපත්කම සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය අප තුළ වර්ධනය වීමට ඇති දිව්‍යමය හැකියාවන් පිළිබඳ බොහෝ දේ ඉගෙනගත හැකියි. නව ආකාර වලින් සහ ස්ථාන වලින්, පේළියෙන් පේළියට, කරුණාවෙන් කරුණාවට, තනිව සහ එකට අපට කළ හැකි සහ පත්විය හැකියි.

සෑමතැනකම සිටින ආදරණීය සහෝදර සහෝදරියනි, අපි එකට මුණගැසී ඉගෙනගන්නා විට, ඔබගේ ඇදහිල්ල හා යහපත්කම මට ශුභාරංචිය පිළිබඳ වික්‍රමජනක හැඟීමක් හා කෘතඥතාවයක් ලබාදෙනවා. ඔබගේ සාක්ෂිය සහ ශුභාරංචි ගමන මගේ සාක්ෂිය සහ ශුභාරංචි ගමන පොහොසත් කරනවා. ඔබගේ උත්සුකයන් හා ප්‍රීතිය, දෙවියන්වහන්සේගේ නිවැසියන් සහ ශුද්ධවන්තයින්ගේ ප්‍රජාව කෙරෙහි ඇති ඔබේ ආදරය සහ නැවත පිහිටුවන ලද සත්‍යය සහ ආලෝකය පිළිබඳ ඔබේ ජීවමාන අවබෝධය, ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමග එහි හදවතේ තබා නැවත පිහිටවූ ශුභාරංචිය පිළිබඳ මගේ පූර්ණත්වය වැඩි කරනවා. “වලාකුළු සහ හිරු එළිය තුළින්, ස්වාමින්වහන්සේ, මා සමග සිටී” කියා අපි එක්ව විශ්වාස කරනවා.44 බර හා සැලකිලිමත්කම මධ්‍යයේ, අපට බොහෝ ආශිර්වාද ගණන් කළ හැකි බව එකමුතුව අපි දන්නවා.45 දෛනික විස්තර සහ කුඩා හා සරල දේවල් තුලින්, අපගේ ජීවිත තුළ ඉස්මතු වන විශාල දේ අපට දැකගත හැකියි.46

“තවද එය මෙසේ සිදුවන්නේය එනම් ධර්මිෂ්ඨ අය සියළුම ජාතීන් අතරින් පිටතට රැස්කරගනු ලබන්නේය, තවද සදාකාලික ප්‍රීතියක් සමගින් ගීතීකා ගයමින්, සයොනයට පැමිණෙන්නෝය.”47 මෙම හෝසන්නා සහ හාලේලූයියා සමයේදී හාලේලූයියා ගායනා කරන්න—මක්නිසාද උන්වහන්සේ සදහටම රජකම් කරන සේක! දෙවියන්වහන්සේට හා බැටළු පැටවාණන්ට හෝසන්නා කියා කෑගසන්න! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.