ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේගේ යහපත්කම හා ශ්‍රේෂ්ඨත්වය සැලකිල්ලෙන් සිතා බලන්න
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේගේ යහපත්කම හා ශ්‍රේෂ්ඨත්වය සැලකිල්ලෙන් සිතා බලන්න

ස්වර්ගික පියාණන්වහන්සේගේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ උන්වහන්සේලා ඔබ වෙනුවෙන් කර ඇති දේ සෑම දිනකම සිහිපත් කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා.

කාලයෙන් කාලයට, එමෙන්ම විශේෂයෙන්ම දුෂ්කර කාල වලදී පවා, පුද්ගලයන් වශයෙන්, පවුල් වශයෙන් සහ ජනතාවක් වශයෙන් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කිරීමටත් එමෙන්ම උන්වහන්සේ අප වෙනුවෙන් කර ඇති දේ සලකා බැලීමටත් අනාගතවක්තෘවරුන් අපව දිරිමත් කර තිබෙනවා.1 මෙම මගපෙන්වීම ශුද්ධලියවිලි පුරාම දක්නට ලැබෙන නමුත් මෝර්මොන්ගේ පොතෙහි විශේෂයෙන් කැපීපෙනෙනවා. එහි මුල් පිටුව පැහැදිලි කරන ලෙස, මෝර්මොන්ගේ පොතේ එක් අරමුණක් නම් “ස්වාමින්වහන්සේ ඔවුන්ගේ පියවරුන් උදෙසා කළ මහත් දේ ඊශ්‍රායෙල් වංශයේ ඉතිරි අයට පෙන්වීමයි.”2 මෝර්මොන්ගේ පොතේ අවසානයේ මොරෝනිගේ මෙම ආයාචනය ඇතුලත් වෙනවා: “බලන්න, මම නුඹලාට අවවාද කිරීමට කැමැත්තෙමි, එනම් නුඹලා මෙම දේවල් කියවන විට … මනුෂ්‍ය දරුවන් හට ආදම්ගේ මැවීමේ සිට මෙම දේවල් නුඹ ලබාගන්නා කාලය දක්වා පහතට වුවත් ස්වාමින්වහන්සේ කෙතරම් කරුණාවන්තදැයි සිහිකරන්න, තවද එය නුඹගේ හදවත තුළ මෙනෙහි කරන්න.”3

දෙවියන්වහන්සේගේ යහපත්කම මෙනෙහි කරන ලෙස අනාගතවක්තෘවරුන්ගේ ආයාචනයේ ස්ථිරභාවය සිත් ඇදගන්නා සුළුය.4 එයින් ඇඟවෙන්නේ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට උන්වහන්සේගේ සහ උන්වහන්සේගේගේ ආදරණීය පුත්‍රයාණන්ගේ යහපත්කම සිහිපත් කිරීමට අවශ්‍ය වන්නේ, උන්වහන්සේලාගේ තෘප්තිය උදෙසා බව නොවෙයි, නමුත් නමුත් එවැනි මතකයක් අප කෙරෙහි ඇති කර ඇති බලපෑම නිසයි. උන්වහන්සේලාගේ කරුණාව සලකා බැලීමෙන්, අපගේ ඉදිරිදර්ශනය සහ අවබෝධය විශාල වෙනවා. උන්වහන්සේලාගේ දයානුකම්පාව ගැන මෙනෙහි කිරීමෙන්, අපි වඩාත් නිහතමානී, යාච්ඤාශීලී සහ ස්ථිර බවට පත්වෙනවා.

ත්‍යාගශීලිත්වය සහ අනුකම්පාව සඳහා කෘතඥතාව අපව වෙනස් කරන්නේ කෙසේද කියා හිටපු රෝගියෙකු සමග ඇතිවූ ඛේදජනක අත්දැකීමක් පෙන්නුම් කරනවා. 1987 දී, හෘද බද්ධ කිරීමක් අවශ්‍ය වූ තෝමස් නීල්සන් නම් විශිෂ්ට පුද්ගලයෙකුව මට හඳුනගන්නට ලැබුණා. 63 හැවිරිදි වියේ පසුවූ ඔහු එක්සත් ජනපදයේ, යූටා හි, ලෝගන් හි ජීවත් වුණා. දෙවන ලෝක යුධ සමයේ හමුදා සේවයෙන් පසු ඔහු ඩොනා විල්ක්ස් සමග ලෝගන් යූටා දේවමාළිගාවේදී විවාහ වුණා. ඔහු ජවසම්පන්න හා සාර්ථක ගඩොල් පෙදරේරුවෙකු බවට පත්වුණා. පසුකාලීනව ඔහු විශේෂයෙන්ම ඔහුගේ වැඩිමහල් මුණුබුරා වන ජොනතන් සමග පාසල් නිවාඩු කාලය තුළ වැඩකිරීම ප්‍රිය කළා. ටොම්, ජොනතන් තුල ඔහුගේ වැනි ගුණාංග බොහෝ දුටු නිසා දෙදෙනා විශේෂ බැඳීමක් ඇති කරගත්තා.

පරිත්‍යාගශීලි හදවතක් එනතෙක් බලාසිටීම නිෂ්ඵල බව ටොම්ට සිතුණා. විශේෂයෙන්ම ඔහු ඉවසිලිවන්ත මිනිසෙකු නොවෙයි. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් හා අධිශ්ඨානයෙන් ඉලක්ක තබා ඒවා සපුර ගැනීමට ඔහුට සෑමවිටම හැකිවී තිබුණා. හෘදයාබාධයකින් පොරබදමින්, ඔහුගේ ජීවිතය රඳවාගෙන සිටි ටොම් ක්‍රියාවලිය වේගවත් කිරීමට මා කරන්නේ කුමක්ද කියා සමහරවිට මගෙන් ඇසුවා. විහිළුවෙන් මෙන්, හදවතක් ඔහුට ඉක්මනින් ලබාගත හැකිවනු පිණිස පරිත්‍යාගිකයෙක් සොයාගත හැකි මාවත් ඔහු මට යෝජනා කළා.

ප්‍රීතිමත් නමුත් භයානක දවසක, ටොම්ට හදවතක් ලබාගත හැකි ගැලපෙන පරිත්‍යාගිකයෙක් හමුවුණා. ප්‍රමාණය හා රුධිර වර්ගය ගැලපුනු අතර, පරිත්‍යාගශීලියා තරුණ, වයස අවුරුදු 16 ක කෙනෙක්. පරිත්‍යාගශීලියාගේ හදවත අයිති ටොම්ගේ ආදරණීය මුණුබුරා වන ජොනතන්ටයි. එදින ආරම්භයේ, ජොනතන් ගමන් කරමින් සිටි මෝටර් රථය පසුකර යන දුම්රියක ගැටීමෙන් ඔහු මාරාන්තික තුවාල ලබා තිබුණා.

මම රෝහලේ ටොම් සහ ඩොනා බැලීමට ගිය විට, ඔවුන් කැළඹීමට පත්ව සිටියා. ටොම්ගේ මුණුපුරාගේ හදවත භාවිතා කිරීමෙන් ටොම්ගේ ජීවිතය දීර්ඝ කළ හැකි බව දැනගෙන ඔවුන් කුමක් සිතමින් සිටියේ දැයි සිතීම දුෂ්කරයි. මුලදී, ජොනතන්ගේ ශෝකයට පත් දෙමව්පියන්ගෙන්, එනම් ඔවුන්ගේ දියණියගෙන් සහ බෑණාගෙන් හදවත ලබාගැනීම ගැන සලකා බැලීම ඔවුහු ප්‍රතික්ෂේප කළා. ජොනතන්ගේ මොළය මියගොස් ඇති බව ටොම් සහ ඩොනා දැන සිටියා, එමෙන්ම ටොම් වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ හදවතක් ඉල්ලා ඔවුන් කළ යාච්ඤා ජොනතන්ගේ අනතුරට හේතු නොවන බවත් ඔවුන් තේරුම්ගත්තා. නැත, ජොනතන්ගේ හදවත මේ අවශ්‍ය මොහොතේ ටොම්ට ආශිර්වාද කළ හැකි තෑග්ගක්. මෙම ඛේදවාචකයෙන් හොඳ දෙයක් සිදුවිය හැකි බව ඔවුන් වටහාගත් අතර ඉදිරියට යාමට තීරණය කළා.

බද්ධ කිරීමේ ක්‍රියාපටිපාටිය හොඳින් සිදුවුණා. එයින්පසු, ටොම් වෙනස් මිනිසෙක් වුණා. මෙම වෙනස යහපත් වූ සෞඛ්‍යය තත්වය හෝ කෘතඥතාවද ඉක්මවා ගියා. සෑම උදෑසනකම ඔහු ජොනතන් ගැනත්, ඔහුගේ දියණිය සහ බෑණා ගැනත්, තමාට ලැබුණු තෑග්ග සහ එම තෑග්ගෙහි සම්බන්ධය මෙනෙහි කරන බවත් ඔහු මට පැවසුවා. ඔහුගේ සහජ හොඳ හාස්‍යය හා චිත්ත ශක්තිය තවමත් සෑමවිටම පෙනෙන්නට තිබුණද, ටොම් වඩාත් බැරෑරුම්, කල්පනාකාරී සහ කරුණාවන්ත අයෙකු බව මම නිරීක්ෂණය කළා.

බද්ධ කිරීමෙන් පසු, ටොම් ඔහු ජීවත් නොවන්නට තිබූ තවත් වසර 13 ක් ජීවත්වුණා. ත්‍යාගශීලීභාවයෙන් හා ප්‍රේමයෙන් තම පවුලේ අයගේ සහ වෙනත් අයගේ ජීවිත ස්පර්ශ කිරීමට මේ වසර කීපය ඔහුට ඉඩදී ඇති බව ඔහුගේ අවමංගල්‍යය හසුනේ සඳහන් වුණා. ඔහු බොහෝදෙනෙකුට පෞද්ගලික ප්‍රතිලාභියෙකු වූ අතර සැමට සුභවාදී සහ අධිෂ්ඨානය පිළිබඳ ආදර්ශයක් වුනා.

ටොම්ට මෙන්, අප සෑම කෙනෙකුටම අප විසින්ම අප හට ලබාදිය නොහැකි තෑගි ලැබී තිබෙනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය තුලින් ලැබෙන ගැලවීම ඇතුලු, ඒ අපගේ ස්වර්ගික පියාණන්ගෙන් සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ගෙන් ලැබෙන තෑගියි. 5 අපට මෙලොව ජීවිතය ලැබී තිබෙනවා; අපට මෙලොවින් පසුත් අපි තෝරාගන්නවානම්—ශාරීරික ජීවිතය සහ සදාකාලික ගැලවීම හා උත්කර්ශය ලැබෙනවා—ඒ සියල්ල ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසායි.

අප මෙම තෑගි භාවිතා කරන විට, ප්‍රතිලාභ ලබන විට හෝ මෙම තෑගි ගැන සිතන සෑම අවස්ථාවකදීම පවා, ඒවායේ පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාගය, ත්‍යාගශීලිත්වය සහ අනුකම්පාව ගැන සලකාබැලිය යුතුයි. ලබාදෙන්නන්ට ගරු කිරීම අප කෘතඥ වෙනවාට වඩා වැඩි යමක් කරනවා. උන්වහන්සේලාගේ දීමනා ගැන මෙනෙහි කිරීම අපව වෙනස් කළ හැකි මෙන්ම වෙනස් කළ යුතුයි.

තරුණ ඇල්මා එම කැපීපෙනෙන එක් වෙනස්වීමක්. ඇල්මා “දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගසමින් සිටියදී”6 දේවදූතයෙක් පෙනීසිටියා. සභාවට පීඩා කිරීම සහ “ජනතාවගේ හදවත් එයින් ඉවතට සොරකම් කිරීම”8 ගැන දේවදූතයා ඇල්මාට “අකුණු මෙන් හඬක්”7 සමග තරවටු කළා. දේවදූතයා මෙම අවවාදය ද එකතු කළා: “යන්න, නුඹගේ පියවරුන්ගේ වහල්භාවය සිහිකරන්න …; ඔවුන් උදෙසා [දෙවියන්වහන්සේ] කොපමණ බලවත් දේවල් කළ සේක්දැයි සිහිකරන්න.”9 හැකි සෑම අවවාදයකින්ම දේවදූතයා අවධාරණය කළේ එයයි.

ඇල්මා පසුතැවිලි වී මතකතබාගත්තා. පසුව ඔහු තම පුත් හිලමන් සමග දේවදූතයාගේ අවවාදය බෙදාගත්තා. ඇල්මා මෙසේ උපදෙස් දුන්නා, “එනම් නුඹලා මා කළාක් මෙන් කරමින් අපගේ පියවරුන්ගේ වහල්භාවය සිහිපත් කළ යුතුවීම මම කැමැත්තෙමි, මක්නිසාද ඔවුහු වහල්භාවයේ සිටියහ, තවද ආබ්‍රහම්ගේ, … ඊසාක්ගේ, … යාකොබ්ගේ දෙවියන්වහන්සේද මිස කිසිවෙකුට ඔවුන්ව ගලවාගත නොහැකි විය; තවද උන්වහන්සේ සත්‍යයෙන්ම ඔවුන්ව ඔවුන්ගේ පීඩිතකමින් බේරාගත් සේක.”10 “මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමි” යනුවෙන් ඇල්මා සරලව පැවසුවා.11 වහල්භාවයෙන් මිදීම හා “සෑම ආකාරයකම පීඩා හා කරදර” වලදී සහයෝගය සිහිපත් කිරීමෙන් අපි දෙවියන්වහන්සේව සහ උන්වහන්සේගේ පොරොන්දු වල සහතිකය දැනගැනීමට පැමිණෙන බව ඇල්මා තේරුම්ගත්තා.12

ඇල්මාගේ මෙන් විශ්මජනක අත්දැකීමක් ඇත්තේ අපෙන් කිහිපදෙනෙකුට පමනක් වුවත්, අපගේ වෙනස්වීම ඒ හා සමානවම ගැඹුරු විය හැකියි. ගැළවුම්කරුවාණන් පුරාණයේදී මෙලෙස පොරොන්දු වුණා:

“මම අලුත් සිතක් නුඹලාට දී, අලුත් ආත්මයක් නුඹලා තුළ තබා, නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි.

“මාගේ ආත්මය නුඹලා තුළ තබා ඇත. …

“…නුඹලා මාගේ සෙනඟව සිටිනවා ඇත, මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.”13

මරණයෙන් නැවත නැගිටි ගැළවුම්කරුවාණන් මෙම වෙනස ආරම්භ වන ආකාරය නෙපිවරුන්ට පැවසුවා. උන්වහන්සේ මෙසේ පවසන විට ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ ප්‍රධාන අංගයක් හඳුනාගත්තා:

තවද මාගේ පියාණන්වහන්සේ මා එවූයේ එනම් මා කුරුසිය මත ඔසවනු ලබන පිණිසය; තවද මා කුරුසිය මත ඔසවනු ලැබූ පසුව, එනම් සියලුම මනුෂ්‍යයන් මා වෙතට ලංකරගැනීමට හැකිවන්නේය. …

“තවද මෙම කාරණය නිසා මා ඔසවනු ලැබ ඇත්තේය; එසේහෙයින් පියාණන්වහන්සේගේ බලයට අනුව මම සියලු මනුෂ්‍යයන්ව මා වෙතට ඇදගන්නෙමි.”14

ඔබට ගැලවුම්කරුවාණන් වෙතට ඇදී යාමට අවශ්‍ය වන්නේ කුමක්ද? තම පියාණන්ගේ කැමැත්තට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ යටත් වීම, මරණයට එරෙහිව උන්වහන්සේ ලැබූ ජයග්‍රහණය, ඔබගේ පාප හා වැරදි උන්වහන්සේ මතට ගැනීම, ඔබ වෙනුවෙන් මැදිහත්වීමට පියාණන්ගේ බලය ලැබීම, සහ ඔබ සඳහා උන්වහන්සේගේ මුදවාගැනීම ගැන සලකා බලන්න.15 ඔබව උන්වහන්සේ වෙතට ඇදගැනීමට මේ දේවල් ප්‍රමාණවත් නොවේද? මට නම් ඒවා ප්‍රමාණවත්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ඔබව සුවකිරීමට, සමාව දීමට, පවිත්‍ර කිරීමට, ශක්තිමත් කිරීමට, පිරිසිඳු කිරීමට හා සුපිරිසිඳු කිරීමට විවෘත වූ දෑත් සමග බලාපොරොත්තුවෙන් හා කැමැත්තෙන් සිටියි.”16

මේ දේවල් අපට නව හදවතක් ලබාදිය යුතු අතර ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට තෝරාගැනීමට අපව පෙළඹවිය යුතුයි. එහෙත් නව හදවත් පවා “ඉබාගාතේ යෑමට ඉඩ ඇත… [අපි] ප්‍රේම කරන දෙවියන්වහන්සේව අත්හැරීමට ඉඩ ඇත.17 මෙම ප්‍රවණතාවයට එරෙහිව සටන් කිරීම සඳහා, අපට ලැබී ඇති තෑගි සහ ඒවාට අන්තර්ගත දේ පිළිබඳව අප දිනපතා මෙනෙහි කළ යුතුයි. බෙන්යමින් රජතුමා මෙලෙස උපදෙස් දුන්නා, “මතකතබාගන්නා පිණිස මම නුඹලාට කියන්නෙමි, දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයද … එමෙන්ම ඔබ කෙරෙහි උන්වහන්සේගේ යහපත්කම සහ විඳදරාගැනීමද නුඹලා මතකතබාගන්නවාට මම කැමැත්තෙමි.”18 අප එසේ කරන්නේ නම්, අප විශිෂ්ඨ ස්වර්ගීය ආශිර්වාද සඳහා සුදුසුකම් ලබනවා.

දෙවියන්වහන්සේගේ යහපත්කම සහ දයාව ගැන මෙනෙහි කිරීම අපට අධ්‍යාත්මික වශයෙන් පිළිගැනීමක් ලබාගැනීමට උපකාරී වෙනවා. අනෙක් අතට, වැඩිදියුණු වූ අධ්‍යාත්මික සංවේදීතාව ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් සියලු දේවල සත්‍යතාව දැනගැනීමට අපට ඉඩ සලසනවා.19 මෝර්මොන්ගේ පොතේ සත්‍යවාදීභාවය පිළිබඳ; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පුද්ගලික ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බව දැනසිටීම; සහ මෙම අවසාන දිනවල උන්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවා ඇති බව පිළිගැනීමේ සාක්ෂියක් මෙයට ඇතුළත් වෙනවා.20

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ උන්වහන්සේලා අප වෙනුවෙන් කර ඇති දේ අප සිහිපත් කරන විට, ටොම්, ජොනතන්ගේ සිත සුළු කොට තැකුවේ නැතිවාක් මෙන් අපිත් එය සුළු කොට තැකීමක් නොකරමු. ප්‍රීතිමත් හා ගෞරවාන්විත ආකාරයකින්, තමාට ජීවිතය දීර්ඝ කළ ඛේදවාචකය ටොම්ට සෑමදිනකම සිහිපත් වුණා. අපට ගැලවීම හා උත්කර්ශ විය හැකි බව දැනගැනීමේදී උත්කෘෂ්ටභාවය තුළ ගැලවීම හා උත්කර්ශය විශාල පිරිවැයකින් පැමිණි බව අප මතකතබාගත යුතුයි.21 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නොමැතිව අප විනාශ වී යන නමුත් ස්වර්ගික පියාණන්වහන්සේට දිය හැකි උතුම්ම ත්‍යාගය උන්වහන්සේ සමග අපට ලැබිය හැකි බව අපට වැටහෙන බැවින් අපට ගෞරවයෙන් යුතුව ප්‍රීතිවිය හැකියි.22 ඇත්තවශයෙන්ම, මෙම ගෞරවය අපට “මෙලොව සදාකාල ජීවනය” පිළිබඳ පොරොන්දුව භුක්තිවිඳීමටත්, අවසානයේදී “සදාකාල ජීවනය… අමරණීය මහිමය” ලැබීමටත් ඉඩ සලසනවා.23

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ යහපත්කම සලකා බලන විට, උන්වහන්සේලා කෙරෙහි අපගේ විශ්වාසය වැඩි වෙනවා. දෙවියන්වහන්සේ අපගේ පියාණන් බවත් අප උන්වහන්සේගේ දරුවන් බවත් අප දන්නා බැවින් අපගේ යාච්ඤාවන් වෙනස් වෙනවා. අපි උත්සහ කරන්නේ උන්වහන්සේගේ කැමැත්ත වෙනස් කිරීමට නොවෙයි, නමුත් අපගේ කැමැත්ත උන්වහන්සේ සමග පෙළගැස්වීමට සහ අපි ඒවා ඉල්ලීමේ කාරණාව මත, උන්වහන්සේ ලබාදීමට කැමති ආශිර්වාද අප වෙනුවෙන් ලබාගැනීමටයි.24 අපි වඩාත් මෘදු, වඩා පිරිසිඳු, වඩා ස්ථීර, වඩාත් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට කැමති වෙමු.25 මෙම වෙනස්කම් අපට අමතර ස්වර්ගීය ආශිර්වාද සඳහා සුදුසුකම් ලබාදෙනවා.

සෑම යහපත් දෙයක්ම පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් බව පිළිගැනීමෙන්, අපගේ ඇදහිල්ල වඩාත් ඵලදායී ලෙස අපි අන් අයට සන්නිවේදනය කරනවා.26 කළ නොහැකි කාර්යයන් හා තත්වයන්ට මුහුණදෙන විට අපට ධෛර්යය ලැබෙයි.27 ගැළවුම්කරුවාණන්ව අනුගමනය කිරීම සඳහා අප විසින් කර ඇති ගිවිසුම් තබාගැනීමේ අපගේ අධිෂ්ඨානය අපිව ශක්තිමත් කරයි.28 විනිශ්චය නොකර අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට, අපේ දරුවන්ට ප්‍රේම කිරීමට හා ධර්මිෂ්ඨකමින් ඔවුන්ව ඇති දැඩි කිරීමට, අපගේ පව් වලින් සමාව ලබාගැනීමට සහ සැමවිටම ප්‍රීතිවන්නට, අපි දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරීයයි.29 දෙවියන්වහන්සේගේ යහපත්කම සහ දයාව සිහිපත් කිරීමේ විශිෂ්ට ඵල මේවායි.

ඊට වෙනස්ව ගැලවුම්කරුවාණන් මෙසේ අනතුරු ඇඟවූවා, “තවද කිසිවකින් මනුෂ්‍යයා දෙවියන්වහන්සේව අමනාප කරගන්නේ නැත, උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු නොවන්නන් හැර කිසිවකුටත් විරුද්ධව උන්වහන්සේගේ උදහස ඇවිලෙන්නේ නැත.”30 අපි දෙවියන්වහන්සේව අමතක කළ විට දෙවියන්වහන්සේට අපහාසයක් වනු ඇතැයි මම සිතන්නේ නෑ. ඒ වෙනුවට, මම හිතන්නේ උන්වහන්සේ දැඩි ලෙස කලකිරෙනවා. උන්වහන්සේව සහ උන්වහන්සේගේ යහපත්කම සිහිපත් කිරීමෙන් උන්වහන්සේට සමීප වීමට අපට අවස්ථාව අහිමිවී ඇති බව උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ අපවෙත ළංවීම සහ උන්වහන්සේ පොරොන්දු වූ නිශ්චිත ආශිර්වාද අපට අහිමිවී යනවා.31

ස්වර්ගික පියාණන්වහන්සේගේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ උන්වහන්සේලා ඔබ වෙනුවෙන් කර ඇති දේ සෑම දිනකම සිහිපත් කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේලාගේ යහපත්කම ගැන ඔබ සලකා බැලීමෙන් ඔබේ ඉබාගාතේ යන හදවත උන්වහන්සේලා සමග වඩාත් තදින් බැඳ තබන්න.32 උන්වහන්සේලාගේ දයානුකම්පාව ගැන මෙනෙහි කරන්න, එවිට ඔබ අමතර අධ්‍යාත්මික සංවේදීතාවකින් ආශිර්වාද ලැබෙයි, ඒවගේම ක්‍රිස්තුස්වහන්සේට වඩාත් සමාන වෙයි. උන්වහන්සේලාගේ සංවේදනය ගැන මෙනෙහි කිරීම, “දෙවියන්වහන්සේ සමග කිසිදා නොනවතින සතුටක වාසය කරන්නට” “ස්වර්ගයට ඔබව පිළිගනු ලබන තෙක්” “අවසානය දක්වා විශ්වාසවන්තව සිටීමට” ඔබට උපකාර කරයි. 33

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ තම ආදරණීය පුත්‍රයාණන් ගැන සඳහන් කරමින් “ඔහුට සවන්දෙන්න!” කියා පැවසුවා.34 ඔබ එම වචන ක්‍රියාත්මක කර උන්වහන්සේට සවන්දෙන විට, ප්‍රීතියෙන් හා ගෞරවාන්විතව, මතකතබාගන්න, ගැලවුම්කරුවාණන් ඔබට නැවත පිහිටුවීමට නොහැකි දේ නැවත පිහිටුවීමට ප්‍රිය කරයි, ඔබට සුවකළ නොහැකි තුවාල සුවකිරීමට උන්වහන්සේ ප්‍රිය කරයි, නැවත සෑදිය නොහැකි ලෙස කැඩී ඇති දේ නිවැරදි කිරීමට උන්වහන්සේ ප්‍රිය කරයි,35 ඔබට ඇති ඕනෑම අසාධාරණයකට උන්වහන්සේ වන්දිගෙවයි,36 එමෙන්ම බිඳුණු හදවත් ස්ථිර කිරීමට උන්වහන්සේ ප්‍රිය කරයි.37

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගෙන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ලද ත්‍යාගයන් ගැන මා කල්පනා කර ඇති පරිදි, උන්වහන්සේලාගේ අසීමිත ප්‍රේමය සහ ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලු දරුවන් කෙරෙහි උන්වහන්සේලාගේ තේරුම්ගත නොහැකි අනුකම්පාව ගැන මම දැනගත්තා.38 මෙම දැනුම මා වෙනස් කර ඇති අතර, එය ඔබවද වෙනස් කරනු ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.