ප්‍රධාන සම්මන්ත්‍රණය
මෙල්කිසදෙක් පූජකවරය සහ යතුරු
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


මෙල්කිසදෙක් පූජකවරය සහ යතුරු

සභාවේ පූජකත්ව බලය ක්‍රියාත්මක වන්නේ එම පූජකත්වයේ යතුරු රඳවාගෙන සිටින පූජක නායකයෙකුගේ මගපෙන්වීම යටතේයි.

දෙවියන්වහන්සේගේ පූජකත්වය ගැන වැඩිදුර කථා කිරීමට මම තෝරාගත්තා, මේ වන විටත් කථිකයන් තිදෙනෙකු විසින් කථා කරන ලද මාතෘකා වලින්, පූජකත්වය තරුණියන්ට, තරුණයින්ට හා කාන්තාවන්ට ආශිර්වාද කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපට ඉගැන්වූවා.

පූජකත්වය යනු දිව්‍යමය බලයක් සහ අධිකාරියක් වන අතර එය දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ගේ යහපත සඳහා යොදාගැනෙනවා. පූජකත්වය යනු පූජක තත්වයකට පත්කර ඇති අය හෝ එහි අධිකාරය ක්‍රියාත්මක කරන අය නොවේ. පූජකත්වය දරන පිරිමින් පූජකත්වය නොවේ. වෙන්කළ පුරුෂයන්ව පූජකත්වය ලෙස අප හැඳින්විය යුතු නැතත්, ඔවුන් පූජකත්වය දරන්නන් ලෙස හැඳින්වීම සුදුසුයි.

පූජකත්වයේ බලය සභාවේ මෙන්ම පවුල් සංවිධානයේද පවතිනවා. නමුත් පූජකත්වයේ බලය සහ පූජකත්ව අධිකාරිය පවුල තුළ ක්‍රියාත්මක වනවාට වඩා වෙනස් ආකාරයකින් සභාව තුළ ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල ස්වාමින්වහන්සේ විසින් ස්ථාපිත කර ඇති මූලධර්මයන්ට අනුකූල වෙනවා. දෙවියන්වහන්සේගේ සැලැස්මේ පරමාර්ථය නම් උන්වහන්සේගේ දරුවන්ව සදාකාල ජීවනයට ගෙනයාමයි. එම සැලැස්මට ලෞකික පවුල් අත්‍යවශ්‍යයි. සභාව පවතින්නේ සදාකාලයටම පවුල් සබඳතා පවත්වාගෙන යාමට අවශ්‍ය දහම, අධිකාරිය සහ වත්පිළිවෙත් ලබාදීමටයි. මේ අනුව, පවුල් සංවිධානය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව අතර අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වන සම්බන්ධතාවයක් තිබෙනවා. පූජකත්වයේ ආශිර්වාද, එනම් ශුභාරංචියේ පූර්ණත්වය සහ බව්තීස්මය, තහවුරු කිරීම සහ ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලැබීම, දේවමාළිගාවේ බලයෙන් සැරසීම සහ සදාකාලික විවාහය වැනි වත්පිළිවෙත් පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට එකසේ ලබාගත හැකියි.1

අප මෙහි කථා කරන පූජකත්වය වන්නේ ශුභාරංචිය නැවත පිහිටුවීම ආරම්භයේදීම නැවත පිහිටුවන ලද මෙල්කිසදෙක් පූජකත්වයයි. ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කව්ඩ්රි, පේත්‍රැස්, යාකොබ් සහ යොහාන් විසින් වෙන්කරනු ලැබූ අතර, ඔවුන් “රාජ්‍යයේ යතුරු ඇති බවත්, කාලයාගේ ඇවෑමෙන් බෙදාහරින බවත්” ප්‍රකාශ කළා (දහම සහ ගිවිසුම 128:20). මෙම ජ්‍යේෂ්ඨ ප්‍රේරිතවරුන්ට එම බලය ලැබුණේ ගැලවුම්කරුවාණන්ගෙන්මයි. පූජකත්වයේ අනෙකුත් සියලුම අධිකාරීන් හෝ කාර්යාල මෙල්කිසදෙක් පූජකත්වයට එකතු කරන ලද දේවලුයි (දහම සහ ගිවිසුම 107:5 බලන්න), මන්ද එය “සභාපතිවරය දැරීමට සුදුසුකම් දෙයි, තවද ලෝකයේ සියළු කාල වලදී සභාව තුල තනතුරු දැරීමට බලය සහ අධිකාරිත්වය එහි ඇත”(දහම සහ ගිවිසුම 107:8).

සභාවේදී, විශාල පූජකත්ව බලය, මෙල්කිසදෙක් පූජකත්වය වන අතර සහ අඩු හෝ ආරෝනික පූජකත්වය ක්‍රියාත්මක වන්නේ එම පූජකත්වයේ යතුරු රඳවාගෙන සිටින සභානායකවරයෙකු හෝ සභාපතිවරයෙකු වැනි පූජක නායකයෙකුගේ මගපෙන්වීම යටතේයි. සභාවේ පූජකත්වයේ බලය ක්‍රියාත්මක කිරීම තේරුම්ගැනීමට අප පූජකත්ව යතුරු වල මූලධර්මය තේරුම්ගත යුතුයි.

රාජධානියේ මෙල්කිසදෙක් පූජකත්ව යතුරු පෙත්‍රැස්, යාකොබ් සහ යොහාන් විසින් ප්‍රදානය කරන ලද නමුත් පූජකත්ව යතුරු නැවත පිහිටුවීම එයින් සම්පූර්ණ වූයේ නෑ. පූජකත්වයේ යතුරු කිහිපයක් පසුව පැමිණියා. ඔහයෝ කර්ට්ලන්ඩ්හි මෙම කාලපරිච්ඡේදයේ පළමු දේවමාළිගාව කැපකිරීමෙන් පසුව, සභාපති අයිරින් පොළඹවන සුලු අයුරින් කලින් විස්තර කර ඇති පරිදි, අනාගතවක්තෘවරුන් තිදෙනෙකු වන මෝසෙස්, එලියාස් සහ එලියා, ඊශ්‍රායෙල්වරුන් එක්රැස් කිරීම හා ස්වාමින්වහන්සේගේ දේවමාළිගාවල වැඩ වලට අදාළ යතුරුද ඇතුළුව “මෙම කාලපරිච්ඡේදයේ යතුරු” නැවත පිහිටෙව්වා (දහම සහ ගිවිසුම 110 බලන්න).

යතුරු වල ක්‍රියාකාරිත්වයට වඩාත්ම හුරුපුරුදු උදාහරණය වන්නේ පූජකත්ව වත්පිළිවෙත් වල ක්‍රියාකාරිත්වයයි. වත්පිළිවෙතක් යනු ගිවිසුම් ඇති කරගැනීම සහ පොරොන්දු වූ ආශිර්වාද සංකේතවත් කරන බැරෑරුම් ක්‍රියාවකි. සභාවේදී, සියලුම වත්පිළිවෙත් ක්‍රියාත්මක කරනු ලබන්නේ එම වත්පිළිවෙත් සඳහා යතුරු ඇති පූජක නායකයාගේ අධිකාරීත්වය යටතේයි.

වත්පිළිවෙතක්, පූජකත්ව තනතුරක් වෙත වෙන්කළ පුද්ගලයින් විසින් පූජකත්වයේ යතුරු තබාගෙන සිටින අයෙකුගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනු ලැබෙනවා. නිදසුනක් වශයෙන්, ආරෝනික පූජකත්වයේ විවිධ තනතුරු දරන්නන්, ආරෝනික පූජකත්වයේ යතුරු දරන සභානායකවරයාගේ මගපෙන්වීම සහ යතුරු යටතේ සක්‍රමේන්තුව යන වත්පිළිවෙත ක්‍රියාත්මක කරනවා. දේවමාළිගාවේ කාන්තාවන් ක්‍රියාත්මක කරන පූජකත්ව වත්පිළිවෙත් සඳහාද එම මූලධර්මයම අදාළ වෙනවා. කාන්තාවන්ට පූජකත්වයේ තනතුරක් නොතිබුණද, දේවමාළිගාවේ වත්පිළිවෙත් සඳහා යතුරු තබාගෙන සිටින දේවමාළිගාවේ සභාපතිවරයාගේ අවසරය යටතේ ඔවුන් ශුද්ධවූ දේවමාළිගා වත්පිළිවෙත් සිදුකරනවා.

පන්ති වල, තම නිවසේ, කොට්ටාශයේ හෝ ධර්මදූත ක්ෂේත්‍රයේ වේවා, ශුභාරංචිය ඉගැන්වීම සඳහා කැඳවනු ලැබූ ස්ත්‍රීන් හා පුරුෂයන් යතුරු තබාගෙන සිටින අයෙකුගේ මගපෙන්වීම යටතේ පූජකත්ව අධිකාරිය සඳහා තවත් උදාහරණයක්. කොට්ටාශයේ හෝ ස්ටේකයේ යතුරු දරන පූජක නායකයාගේ වෙන්කිරීම සහ මගපෙන්වීම යටතේ ඔවුන්ගේ නායකත්වයේ පූජකත්ව අධිකාරිය ක්‍රියාත්මක කරන කොට්ටාශයේ නායකත්ව තත්ව දරන්නන් තවත් උදාහරණයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ පූජකත්වයේ බලය හා අධිකාරිය ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි.2

පූජකත්ව අධිකාරිය ක්‍රියාත්මක වන අතර එහි ආශිර්වාද පසු-දවස්වල සාන්තුවරයන්ගේ පවුල් තුළද ඉටුවෙනවා. පවුල් යනුවෙන්, මා අදහස් කරන්නේ පූජකත්වය දරන පිරිමියෙකු සහ විවාහක කාන්තාවක් සහ ඔවුන්ගේ දරුවනුයි. මරණය හෝ දික්කසාදය වැනි පරමාදර්ශී සම්බන්ධතා වල වෙනස්කම්ද මම ඒ සඳහා ඇතුළත් කරනවා.

පූජකත්වය ක්‍රියාත්මක කළ හැක්කේ එම කාර්යය සඳහා යතුරු දරන්නාගේ මගපෙන්වීම යටතේ පමණක් වන මූලධර්මය සභාව තුළ මූලික වන නමුත් මෙය පවුල තුළ අදාළ වන්නේ නෑ. නිදසුනක් වශයෙන්, පියෙකු තම පවුල තුළ පූජකත්වයේ මුලසුන හොබවන්නේ සහ ක්‍රියාත්මක වන්නේ ඔහු දරන පූජකත්වයේ අධිකාරියෙන්. ඔහුගේ විවිධ පවුල් කටයුතු ඉටුකිරීම සඳහා පූජකත්වය දරන කෙනෙකුගේ මගපෙන්වීම හෝ අනුමැතිය ඔහුට අවශ්‍ය නෑ. ඔහුගේ පවුලේ සාමාජිකයින්ට උපදෙස් දීම, පවුල් රැස්වීම් පැවැත්වීම, ඔහුගේ බිරිඳට හා දරුවන්ට පූජකත්ව ආශිර්වාද ලබාදීම හෝ පවුලේ සාමාජිකයින්ට හෝ වෙනත් අයට සුවවීමේ ආශිර්වාද ලබාදීම මෙයට ඇතුළත්.3 සභාවේ අධිකාරීන් පවුලේ සාමාජිකයින්ට උගන්වන නමුත් පවුල තුළ පූජකත්ව අධිකාරිය ක්‍රියාත්මක කිරීමට යොමුවන්නේ නෑ.

පියෙකු නොමැති විටත් මව පවුලේ නායකයා වන විටත් එම මූලධර්මයම අදාළ වෙනවා. ඇය සිය නිවසේ මුලසුන දරන අතර දේවමාළිගාවේ බලයෙන් සැරසීම හා මුද්‍රා තැබීම තුළින් පූජකත්වයේ බලය සහ ආශිර්වාද තම පවුල තුළට ගෙන ඒමට ඇය දායක වෙනවා. පූජකත්වයේ යම් තනතුරක් දරන පුද්ගලයෙකුට පමණක් ලබාදිය හැකි පූජකත්ව ආශිර්වාදය ලබාදීමට ඇයට බලය නොමැති අතර, පවුල් නායකත්වයේ අනෙකුත් සියලු කාර්යයන් ඇයට කළ හැකියි. එසේ කිරීමෙන් ඇය පවුලේ නායකත්ව තනතුරේ මුලසුන හොබවා දරුවන්ගේ යහපත උදෙසා පූජකත්වයේ බලය ක්‍රියාත්මක කරනවා.4

පියවරුන් තම පවුල තුළ ඔවුන්ගේ පූජකත්වය මහිමයට පත්කරන්නේ නම්, එය සභාවේ මෙහෙවර ඔවුන්ට කළ හැකි වෙනත් ඕනෑම දෙයකට වඩා ඉටුකරනවා. මෙල්කිසදෙක් පූජකත්වය දරන පියවරුන් තම බලය ක්‍රියාත්මක කළ යුත්තේ “ඒත්තු ගැන්වීමෙන්, බොහෝ ඉවසිලිවන්තව, මෘදුකමින් හා නිහතමානීව හා නොබිඳෙන්නාවූ ප්‍රේමයෙන්” (දහම සහ ගිවිසුම 121:41). සියලුම පූජකත්ව අධිකාරිය ක්‍රියාත්මක කිරීම සඳහා එම උසස් ප්‍රමිතිය පවුල තුළ වඩාත් වැදගත් වෙනවා. පූජකත්වය දරන්නන් ආඥා පිළිපැදිය යුතු අතර එමගින් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ආශිර්වාද කිරීමට පූජකත්වයේ බලය ඔවුන්ට ලැබෙනවා. ඔවුන් ආදරණීය පවුල් සබඳතා වර්ධනය කරගත යුතු අතර එවිට පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගෙන් ආශිර්වාද ඉල්ලා සිටීමට අවශ්‍ය වනවා. එමෙන්ම දෙමව්පියන් පවුල තුළ වැඩි පූජක ආශිර්වාද දිරිමත් කළ යුතුයි.5

විනාශකාරී වසංගතයක් සමග අපගේ ලෞකික කාරණා වලින් අපි කෙටි රැකවරණයක් අපේක්ෂා කරන විට, මෙම සම්මන්ත්‍රණ රැස්වීම් වලදී, අපට සදාකාලයේ ශ්‍රේෂ්ඨ මූලධර්ම උගන්වා තිබෙනවා. අපගේ ශරීර “ආලෝකයෙන් පිරීයන” පිණිස, මෙම සදාකාලික සත්‍යයන් ලබාගැනීම සඳහා අපගේ ඇස “සූක්ෂමව” තබාගන්නා ලෙස මම සෑම කෙනෙකුවම දිරිගන්වනවා.(3 නෙපි 13:22).

ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ දේශනාවේදී සමූහයන්ට, බයිබලයේ හා මෝර්මොන්ගේ පොතේ, ලෞකික ශරීර ආලෝකයෙන් හෝ අන්ධකාරයෙන් පිරී තිබිය හැකි බව ඉගැන්වූවා. ආලෝකයෙන් පිරී සිටීම ඇත්තටම අපට අවශ්‍යයි, එමෙන්ම අපගේ ගැලවුම්කරුවාණන් අපට මෙය ලඟාකරගත හැකි ආකාරය ඉගැන්වූවා. සදාකාලික සත්‍යයන් පිළිබඳ පණිවිඩ වලට අප සවන්දිය යුතුයි. අපගේ ශරීරයට ආලෝකය ලබාගන්නා ඇස යන උදාහරණය උන්වහන්සේ භාවිතා කළා. අපගේ ඇස “සූක්ෂම” නම්—වෙනත් වචන වලින් කිවහොත්, අපි ආලෝකය සහ අවබෝධය ලබාගැනීම කෙරෙහි අවධානය යොමුකරන්නේ නම්—උන්වහන්සේ මෙසේ විස්තර කළා, “නුඹගේ මුලු ශරීරයම සම්පූර්ණ ආලෝකයක් වන්නේය” (මතෙව් 6:22; 3 නෙපි 13:22). නමුත් අපගේ “ඇස නපුරු නම්”—එනම් අප නපුර සොයමින් එය අපගේ ශරීර තුළට ගෙන ගියහොත්—උන්වහන්සේ මෙසේ අනතුරු ඇඟෙව්වේය “ඔබේ මුළු ශරීරයම අන්ධකාරයෙන් පිරී යනු ඇත” (23 පදය). වෙනත් වචන වලින් කිවහොත්, අපගේ ශරීරයේ ආලෝකය හෝ අන්ධකාරය රඳා පවතින්නේ අපට උගන්වන සදාකාලික සත්‍යයන් අප දකින හෝ—ලබාගන්නා—ආකාරය මතයි.

සදාකාලික සත්‍යයන් සෙවීමට හා ඉල්ලා සිටීමට ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය අප අනුගමනය කළ යුතුයි. ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ සෑම කෙනෙකුටම ඔවුන් සොයන සත්‍යයන් ඉගැන්වීමට කැමැත්තෙන් සිටින බවට උන්වහන්සේ පොරොන්දු වෙයි (3 නෙපි 14:8 බලන්න). අප මෙය ප්‍රාර්ථනා කර ඒවා ලබාගැනීමට අපගේ ඇස සූක්ෂමව තබාගන්නේ නම්, සදාකාලික සත්‍යයන් අපට “විවෘත” වන බව ගැලවුම්කරුවාණන් පොරොන්දු වෙනවා (3 නෙපි 14:7–8).

ඊට වෙනස්ව, අපගේ සිතුවිලි ව්‍යාකූල කිරීමට හෝ දෙවියන්වහන්සේගේ පූජකත්වයේ ක්‍රියාකාරකම් වැනි වැදගත් කාරණා සම්බන්ධයෙන් අපව නොමග යැවීමට සාතන් උනන්දු වෙනවා. ගැලවුම්කරුවාණන් අනතුරු ඇඟවූයේ එවැනි “බැටළු වේශයෙන් එන බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ආරක්ෂා වෙයල්ලා, නුමුත් ඇතුළතින් ඔවුන් කෲර වූ වෘකයන්ය” (3 නෙපි 14:15). ඔහු අපට මෙම පරීක්ෂණය ලබාදුන්නේ අපව ව්‍යාකූල කළ හැකි විවිධ ඉගැන්වීම් අතරින් සත්‍යය තෝරාගැනීමට අපට උපකාර කිරීම සඳහායි: උන්වහන්සේ මෙසේ ඉහැන්වූවා “ඔවුන්ගේ ඵල වලින් ඔබ ඔවුන්ව දැනගනු ඇත” (3 නෙපි 14:16). “යහපත් ගසක දුෂ්ට ඵලවත් දුෂ්ට ගසක යහපත් ඵලවත් හටගන්නට බැරිය” (18 පදය). එමනිසා, අප උගන්වන මූලධර්ම වල ප්‍රතිඵල—“ඵල”—දෙස බැලිය යුතුයි, එමෙන්ම ඒවා උගන්වන පුද්ගලයින් දෙස බැලිය යුතුයි. සභාවට සහ එහි මූලධර්ම හා ප්‍රතිපත්ති හා නායකත්වයට එරෙහිව අප අසා ඇති බොහෝ විරෝධතා වලට හොඳම පිළිතුර එයයි. ගැලවුම්කරුවාණන් ඉගැන්වූ පරීක්ෂණය අනුගමනය කරන්න. ඵල—එම ප්‍රතිඵල දෙස බලන්න.

ශුභාරංචියේ ඵල සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ සභාව ගැන සිතන විට, සභාව, එහි ජීවත්වන සාමාජිකයින්ගේ ජීවිත කාලය තුළ, අන්තර්මවුන්ටන් බටහිර ප්‍රාදේශීය සභාවන්ගෙන්, එහි සාමාජිකයින් මිලියන 16 දෙනෙකුටත් වැඩියෙන් බහුතරයක් එක්සත් ජනපදය හැර වෙනත් රටවල වාසය කරන්නන්ට ව්‍යාප්ත වූ ආකාරය ගැන අපි සතුටු වෙනවා. එම වර්ධනයත් සමග, සභාවේ සාමාජිකයන්ට උපකාර කිරීමේ හැකියාව වැඩිවී ඇති බව අපට හැඟී තිබෙනවා. ආඥා පිළිපැදීමට, නැවත පිහිටුවන ලද ශුභාරංචිය දේශනා කිරීමේ වගකීම් ඉටුකිරීමට, ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට සහ ලොව පුරා දේවමාළිගා තැනීමට අපි සහාය වෙනවා.

අපව මෙහෙයවනු ලබන්නේ අනාගතවක්තෘවරයෙකු වන අතර, ඔහුගේ නායකත්වයේ වසර දෙක තුළ අපට දැනුණු ප්‍රගතිය සාක්ෂාත් කරගැනීම සඳහා ස්වාමින්වහන්සේ විසින් ඒ නායකත්වය භාවිතා කර තිබෙනවා. මෙම අභියෝගාත්මක කාල වලදී නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ අපගේ දියුණුව තවදුරටත් වර්ධනය කරගන්නේ කෙසේද යන්න අපට උගන්වන සභාපති නෙල්සන්ගෙන් ඇසීමට දැන් අපට ආශිර්වාද ලැබෙනවා.

මේ කාරණා වල සත්‍යතාව ගැන මම සාක්ෂි දෙන අතර, අපගේ අනාගතවක්තෘවරයා වෙනුවෙන් යාච්ඤා කිරීමට ඔබ හා එක්වෙනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.