ප්‍රධාන සම්මන්ත්‍රණය
මෙම ගෘහය මාගේ නමට ඉදිකිරීමට ඉඩදෙන්න
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


මෙම ගෘහය මාගේ නමට ඉදිකිරීමට ඉඩදෙන්න

(දහම සහ ගිවිසුම 124:40)

Kicker to come

මීට වසර 200 කට පෙර පූජනීය වනයේදී, තරුණ ජෝසෆ් ස්මිත්, සදාකාල පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැක කථා කළා. දේවත්වයේ සැබෑ ස්වභාවය සහ මෙම අපූරු දර්ශනය පසු-දවස්වල “කාලයේ පූර්ණත්වයේ කාලපරිච්ඡේදය” තුළ සිදුවූ විට, අඛණ්ඩ එළිදරව් ගැන ජෝසෆ් උන්වහන්සේලාගෙන් ඉගෙනගත්තා.1

අවුරුදු තුනකට පමණ පසු, 1823 සැප්තැම්බර් 21 දින සවස ඉතා උනන්දුවෙන් කළ යාච්ඤාවට ප්‍රතිචාර වශයෙන්, ජෝසෆ්ගේ නිදන කාමරය “දහවල් කාලයට වඩා එළිය” වන තෙක් ආලෝකය පිරී ගියා.2 ඔහුගේ ඇඳ අසල පුද්ගලයෙක් පෙනීසිටි අතර, ඔහු පිරිමි ළමයාව ඔහුගේ නමින් හැඳින්වූ අතර, “ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙන් එවන ලද පණිවිඩකරුවෙකු බවත් ඔහුගේ නම මොරෝනි” බවත් ප්‍රකාශ කළා.3 මෝර්මොන්ගේ පොත එළියට පැමිණීම ගැන ඔහු ජෝසෆ්ට උපදෙස් දුන්නා.

පසුව කිං ජේම්ස් අනුවාදයේ භාවිතා වන භාෂාවේ සුළු වෙනසක් සහිතව මොරෝනි පැරණි ගිවිසුමේ මලාකි පොතෙන් මෙසේ උපුටා දැක්වූවා: “බලන්න, ස්වාමින්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සහ භයානක දවස පැමිණීමට පෙර, අනාගතවක්තෘ එලියාගේ හස්තයෙන්, මම නුඹට පූජකත්වය හෙළිකරන්නෙමි. … තවද ඔහු පියවරුන්ට දුන් පොරොන්දු දරුවන්ගේ හදවත් තුළ රෝපණය කරන අතර දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙත හරවනු ඇත. එය එසේ නොවේ නම්, උන්වහන්සේගේ පැමිණීමෙන් මුළු පොළොවම මුළුමනින්ම නාස්තිවී යනු ඇත.”4

වැදගත් වන්නේ, එලියාගේ මෙහෙවර පිළිබඳව ජෝසෆ් ස්මිත්ට මොරෝනි දුන් උපදෙස් අවසාන දිනවල දේවමාළිගාව සහ පවුල් ඉතිහාසය පිළිබඳ කටයුතු ආරම්භ කිරීම පිළිබඳ වන අතර “ලෝකය ආරම්භවූ දා සිට දෙවියන්වහන්සේ සිය ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුවින් කථා කළ සියල්ල යථා තත්වයට පත් කිරීමේ” ප්‍රධාන අංගයක් පිළිබඳ වුණා.5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගේ දේවමාළිගා වල අපට ඇති ගිවිසුම්, වත්පිළිවෙත් සහ ආශිර්වාද ගැන අපි එකට ඉගෙනගන්නා විට ශුද්ධාත්මයාණන්ගේ උපකාරය ඉල්ලා මම යාච්ඤා කරනවා.

එලියාගේ නැවත පැමිණීම

මූලික ප්‍රශ්ණයක් අසමින් මම ආරම්භ කරන්නම්: එලියාගේ නැවත පැමිණීම වැදගත් වූයේ ඇයි?

“එලියා මෙල්කිසදෙක් පූජකත්වයේ මුද්‍රා තැබීමේ බලය දැරූ බව පසු-දවස්වල එළිදරව් වලින් අපි ඉගෙනගන්නවා”6 එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාලයට පෙර එසේ කළ අවසාන අනාගතවක්තෘවරයාද ඔහුයි.

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා මෙසේ පැහැදිලි කළා, “එලියාගේ ආත්මය, බලය සහ කැඳවීම නම්…; දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අයත් සියලු වත්පිළිවෙත්… ලබාගැනීමට… මෙල්කිසදෙක් පූජකත්වයේ පූර්ණත්වයේ යතුර රඳවාගැනීමට ඔබට බලය ඇති බව තහවුරු කිරීමය, එනම් පියවරුන්ගේ හදවත් දරුවන් දෙසටද, දරුවන්ගේ හදවත් පියවරුන්ටද, ස්වර්ගයේ සිටින අයටද හැරවීම පිණිසය.”7

මෙම පරිශුද්ධ මුද්‍රා තැබීමේ අධිකාරිය අවශ්‍ය වන්නේ මේ සඳහාය එනම් “ඔබ පොළොවෙහි බැඳ තබන සියල්ල ස්වර්ගයෙහි බැඳ තබනු ඇත: ඔබ පොළොවෙහි ලිහිල් කරන සියල්ල ස්වර්ගයෙහිද මුදාහරිනු ඇත.”8

ජෝසෆ් තවදුරටත් මෙසේ පැහැදිලි කළා, “දෙවියන්වහන්සේ මේ පරම්පරාව ගලවාගන්නට පැමිණෙන්නේ කෙසේද? උන්වහන්සේ අනාගතවක්තෘ එලියා එවනු ඇත. … පියවරුන්ගේ හදවත් දරුවන්ටත්, දරුවන්ගේ හදවත් පියවරුන්ටත් මුද්‍රා තැබීමේ ගිවිසුම් එලියා හෙළිකරනු ඇත.”9

අන්‍යරූප විලාස වීමේ කන්ද මත එලියා මෝසෙස් සමග පෙනීසිටිමින් පේත්‍රැස්, යාකොබ් සහ යොහාන්ට මෙම බලය පැවරුවා.10 1836 අප්‍රියෙල් 3 වන දින කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී එලියා මෝසෙස් සහ එලියාස් සමග පෙනීසිටිමින් එම පූජකත්ව යතුරුම ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කව්ඩ්‍රි වෙත ප්‍රදානය කළා.11

ගැලවුම්කරුවාණැන්ගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීම සඳහා 1836 දී එලියා විසින් මුද්‍රා තැබීමේ අධිකාරිය නැවත පිහිටුවීම අවශ්‍ය වූ අතර පවුල් ඉතිහාස පර්යේෂණ සඳහා ලෝක ව්‍යාප්ත උනන්දුවක් ඇති කළා.

හදවත් වෙනස් කිරීම, හැරවීම සහ පිරිසිඳු කිරීම

හදවත යන වචනය සම්මත කෘතිවල 1,000 වතාවකට වඩා භාවිතා කර තිබෙනවා. මෙම සරල නමුත් වැදගත් වචනය බොහෝවිට පුද්ගලයෙකුගේ අභ්‍යන්තර හැඟීම් නිරූපණය කරනවා. අපගේ හදවත්—අපගේ ආශාවන්, සෙනෙහස, චේතනා, අභිප්‍රායන් සහ ආකල්පවල එකතුව—අප කවුරුන්ද යන්න නිර්වචනය කර අප කුමක් විය යුතුද යන්න තීරණය කරනවා. ස්වාමින්වහන්සේගේ කාර්යයේ හරය නම්, ශුභාරංචි ගිවිසුම් හා පූජකත්ව වත්පිළිවෙත් තුළින් හදවත් වෙනස් කිරීම, හැරවීම සහ පිරිසිඳු කිරීමයි.

අමතක නොවන පුද්ගලික හෝ පවුල් අත්දැකීමක් ලබාගැනීම සඳහා පමණක් අපි ශුද්ධ දේවමාළිගා ගොඩනගන්නේ හෝ ඒවාට ඇතුල්වන්නේ නෑ. ඒ වෙනුවට, ලැබුණු ගිවිසුම් සහ දේවමාළිගා වල සිදුකරන වත්පිළිවෙත් අපගේ හදවත් විශුද්ධ කිරීමටත්, දෙවියන්වහන්සේගේ පුතුන් හා දියණියන් උසස් කිරීමටත් අත්‍යවශ්‍ය වෙනවා.

ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් පවා—පියවරුන්ට දුන් පොරොන්දු දරුවන්ගේ හදවත් තුළ රෝපණය කිරීම—දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙත හැරවීම, පවුල් ඉතිහාස පර්යේෂණ පැවැත්වීම සහ දේවමාළිගා වත්පිළිවෙත් සිදුකිරීම තිරයෙන් දෙපසම සිටින පුද්ගලයන්ට ආශිර්වාද කරන කාර්යයන් වෙනවා. අප මෙම පරිශුද්ධ කාර්යයේ උනන්දුවෙන් නිරත වන විට, දෙවියන්වහන්සේට සහ අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීම හා සේවය කිරීම යන ආඥා වලට අපි කීකරු වෙනවා.12 එවැනි පරාර්ථකාමී සේවය ඇත්තෙන්ම “උන්වහන්සේට සවන්දෙන්න!”13 සහ ගැලවුම්කරුවාණන් වෙතට එන්නට අපට උපකාර කරනවා.14

වඩාත්ම පරිශුද්ධ ගිවිසුම් හා පූජකත්ව වත්පිළිවෙත් ලැබෙන්නේ ස්වාමින්වහන්සේගේ ගෘහය වන—දේවමාළිගාවක පමණයි. ඉගෙනගත් හා දේවමාළිගාවේ කරන සෑම දෙයක්ම අවධාරණය කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය සහ ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රීතිය පිළිබඳ මහා සැලැස්ම තුළ උන්වහන්සේගේගේ භූමිකාවයි.

ඇතුළත සිට පිටතට

සභාපති එස්රා ටෆ්ට් බෙන්සන් “මිනිසාගේ අමරණීයභාවය හා සදාකාල ජීවනය ගෙන ඒම” මිදුම්කරුවාණන් ඉටුකරනා වැදගත් රටාවක් විස්තර කළා.15 ඔහු කිව්වා, “ස්වාමින්වහන්සේ ඇතුළත සිට පිටතට ක්‍රියා කරයි. ලෝකය ක්‍රියාත්මක වන්නේ පිටත සිට ඇතුලටය. ලෝකය මිනිසුන් මුඩුක්කු වලින් ඉවතට ගෙන යනු ඇත. ක්‍රිස්තුස්වහන්සේ මිනිසුන්ගෙන් මුඩුක්කු ඉවත් කරයි, පසුව ඔවුන් ඔවුන්වම මුඩුක්කු වලින් ඉවතට ගනී. ලෝකය මිනිසුන්ගේ පරිසරය වෙනස් කිරීමෙන් ඔවුන්ව හැඩගස්වනු ඇත. ක්‍රිස්තුස්වහන්සේ මිනිසුන්ව වෙනස් කරයි, පසුව ඔවුන් ඔවුන්ගේ පරිසරය වෙනස් කරති. ලෝකය මිනිස් හැසිරීම් හැඩගස්වනු ඇත, නමුත් ක්‍රිස්තුස්වහන්සේට මිනිස් ස්වභාවය වෙනස් කළ හැකිය.”16

අධ්‍යාත්මික නැවත ඉපදීම හා පරිවර්තනය වීමේ ක්‍රියාවලිය තුළ ගිවිසුම් හා පූජකත්ව වත්පිළිවෙත් ප්‍රධාන වෙනවා; ස්වාමින්වහන්සේ අප එකිනෙකා සමග ඇතුලත සිට පිටතට ක්‍රියාකරන මාධ්‍යයන් ඒවායි. ස්ථිර ලෙස ගෞරවයට පාත්‍රවූ, සැමවිටම සිහිපත් කරන, සහ “ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්… හදවතේ මාංසමය මේසවල”17 ලියා ඇති ගිවිසුම් මගින් ලෞකිකත්වයට හා සදාකාලයටම ආශිර්වාද සහතික කරනු ලැබෙන අතර අරමුණක් සපයනවා. සුදුසුලෙස ලබාගත් සහ අඛණ්ඩව සිහිපත් කරන වත්පිළිවෙත් දේවභක්තියේ බලය අපගේ ජීවිත තුළට නොනවත්වා ගලා යා හැකි ස්වර්ගීය නාලිකා විවෘත කරනවා.

අප දේවමාළිගාවට පැමිණෙන්නේ ලෝකයේ නපුරෙන් සැඟවීමට හෝ එයින් ගැලවීමට නොවේ. ඒ වෙනුවට, අපි දේවමාළිගාවට පැමිණෙන්නේ නපුරු ලෝකය ජය ගැනීමටයි. පූජකත්ව වත්පිළිවෙත් ලබාගැනීමෙන් සහ පූජනීය ගිවිසුම් ඇතිකර ගැනීමෙන් හා පැවැත්වීමෙන් අපගේ ජීවිතයට “දේව භක්තියේ බලයට”18 අපි ආරාධනා කරන විට, ලෞකිකත්වයේ පෙළඹවීම් සහ අභියෝග ජයගැනීමටත් යහපත්වීමටත් යහපත කිරීමටත් අපට නොමැති ශක්තියකින් අපි ආශිර්වාද ලබනවා.19

මෙම ගෘහයේ කීර්තිය පැතිරෙනු ඇත

මෙම කාලපරිච්ඡේදයේ පළමු දේවමාළිගාව ඔහයෝ කර්ට්ලන්ඩ් හි ඉදිකරන ලද අතර 1836 මාර්තු 27 වන දින කැපකළා.

කැපකිරීමෙන් සතියකට පසු ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට කළ එළිදරව්වකදී ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා,

“තවද මාගේ සියළු ජනතාවගේ හදවත් ප්‍රීතිප්‍රමෝදිත වීමට දෙන්න, ඔවුන් ඔවුන්ගේ මහත් බලයෙන්, මාගේ නාමයට මෙම ගෘහය ගොඩනැගීය.

“එසේය, වගුරුවනු ලබන්නාවූ ආශිර්වාදයන්හි, සහ මේ ගෘහයේදී මාගේ සේවකයින් බලයෙන් සැරසුණු බලයෙන් සැරසීමේ, ප්‍රතිඵලය නිසා, දහස් ගණනකගේ සහ දස දහස් ගණනකගේ හදවත් බොහෝ සෙයින් ප්‍රීතිවන්නෝය.

“තවද මෙම ගෘහයේ කීර්තිය පිටස්තර දේශයන්හි විසිරයන්නේය; තවද මාගේ ජනතාවගේ හිස්මත වගුරුවන ආශිර්වාදයන්හි ආරම්භය මෙය වන්නේය.”20

කරුණාකර මෙම වාක්‍ය ඛණ්ඩ සටහන් කරන්න, දහස් ගණනකගේ සහ දස දහස් ගණනකගේ හදවත් බොහෝ සෙයින් ප්‍රීතිවන්නෝය, තවද මෙම ගෘහයේ කීර්තිය පිටස්තර දේශයන්හි විසිරයන්නේය. මෙම සිත් ඇදගන්නාසුළු ප්‍රකාශයන් සිදුවූයේ සභාවේ සාමාජිකයන් අතළොස්සක් සහ එක් දේවමාළිගාවක් පමණක් තිබූ 1836 අප්‍රියෙල් මාසයේදීයි.

අද 2020 දී අපට මෙහෙයුම් සිදුවන දේවමාළිගා 168 ක් තිබෙනවා. අතිරේක දේවමාළිගා හතළිස් නවයක් ඉදිවෙමින් පවතී හෝ ප්‍රකාශයට පත්කර තිබෙනවා. ස්වාමින්වහන්සේගේ ගෘහයන් ඉදිකරනු ලබමින් ඇත්තේ “මුහුදේ දූපත්”21 වල සහ දේවමාළිගාවකට අවසරයක් දීමට නුසුදුසු ලෙස බොහෝදෙනා කලින් සලකා බැලූ රටවල් සහ ස්ථාන වලයි.

දැනට බලයෙන් සැරසීමේ පිළිවෙත භාෂා 88 කින් ඉදිරිපත් කර ඇති අතර දෙවියන්වහන්සේගේ බොහෝ දරුවන්ට ආශිර්වාද කිරීමට දේවමාළිගා ඉදිවන විට, එය තවත් බොහෝ භාෂා වලින් ලබාගත හැකිවෙනවා. ඉදිරි වසර 15 තුළ, දේවමාළිගා වත්පිළිවෙත් ලබාගත හැකි භාෂා ගණන දෙගුණයක් වෙනවා.

මේ වසරේදී අපි දේවමාළිගා 18 ක් ඉදිකිරීමට පොළොව කඩමින් පටන්ගන්නවා. ඊට වෙනස්ව, 1830 දී සභාව සංවිධානය කිරීමේ සිට 1980 දී සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල් විසින් ටෝකියෝ ජපන් දේවමාළිගාව කැපකිරීම දක්වා පළමු දේවමාළිගා 18 ඉදිකිරීමට වසර 150 ක් ගතවුණා.

සභාපති රසල් එම්. නෙල්සන්ගේ ජීවිත කාලය තුළ සිදුවූ දේවමාළිගා වැඩ වේගවත් කිරීම ගැන සලකා බලන්න. 1924 සැප්තැම්බර් 9 වන දින සභාපති නෙල්සන් උපත ලබන විට සභාවට මෙහෙයුම් දේවමාළිගා හයක් තිබුණා.

වසර 60 කට පසු 1984 අප්‍රියෙල් 7 වන දින ඔහු ප්‍රේරිතවරයෙකු ලෙස පත්වූ විට දේවමාළිගා 26 ක් ක්‍රියාත්මක වූ අතර වසර 60 කින් එය දේවමාළිගා 20 කින් වැඩිවුණා.

සභාපති නෙල්සන් සභාවේ සභාපති ලෙස වෙන්වූ විට, දේවමාළිගා 159 ක් ක්‍රියාත්මක වූ අතර, ඔහු දොළොස්දෙනාගේ ගණපූර්ණයෙහි සාමාජිකයෙකු ලෙස සේවය කරමින් සිටි වසර 34 ක් තුළ දේවමාළිගා 133 කින් වැඩිවී තිබුණා.

2018 ජනවාරි 14 වන දින සභාවේ සභාපති ධුරයට පත්වූදා සිට සභාපති නෙල්සන් නව දේවමාළිගා 35 ක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පවත්නා දේවමාළිගා වලින් සියයට අනූ හයක් කැපකර ඇත්තේ සභාපති නෙල්සන්ගේ ජීවිත කාලය තුළයි; ඔහු ප්‍රේරිතයෙකු ලෙස පත්වූ දා සිට සියයට අසූ හතරක් කැපකර තිබෙනව.

වඩාත්ම වැදගත් දේ කෙරෙහි සැමවිටම අවධානය යොමුකරන්න

ස්වාමින්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ සාමාජිකයන් වශයෙන්, අවසාන දිනවල උන්වහන්සේගේ කාර්යයේ වේගවත් බව ගැන අපි සියල්ලෝම මවිත වෙනවා. තවත් බොහෝ දේවමාළිගා පැමිණෙනවා.

බ්‍රිගම් යන්ග් මෙසේ අනාවැකි කිව්වා, “මෙම කාර්යය ඉටුකිරීම සඳහා එක් දේවමාළිගාවක් පමණක් නොව දහස් ගණනක් තිබිය යුතුය, එසේම පුරුෂයන් හා ස්ත්‍රීන් දහස් ගණනක් දසදහස් ගණනක් එම දේවමාළිගා වලට ගොස් ස්වාමින්වහන්සේ එළිදරව් කරනතාක් දුරට ජීවත්වූ මිනිසුන් වෙනුවෙන් සේවය කරනු ඇත.”22

තේරුම්ගත හැකි ලෙස, සෑම නව දේවමාළිගාවක්ම නිවේදනය කිරීම මහත් ප්‍රීතියක් හා ස්වාමින්වහන්සේට ස්තූති කිරීමට හේතුවක්. කෙසේවෙතත්, අපගේ මූලික අවධානය යොමුවිය යුත්තේ අපගේ හදවත් වෙනස් කළ හැකි සහ ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ භක්තිය ගැඹුරු කළ හැකි ගිවිසුම් හා වත්පිළිවෙත් කෙරෙහි මිස හුදෙක් ගොඩනැගිල්ලේ පිහිටීම හෝ අලංකාරය කෙරෙහි නොවෙයි.

ස්වාමින්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ සාමාජිකයන් වශයෙන් අප මත රැඳී ඇති මූලික බැඳීම් නම් (1) “උන්වහන්සේට සවන්දීම!”23 සහ ගිවිසුම් හා වත්පිළිවෙත් මගින් අපගේ හදවත් වෙනස් කරගැනීම, සහ (2) තිරය දෙපස සිටින මුළු මිනිස් පවුලට දේවමාළිගා ආශිර්වාද ලබාදීම සඳහා දිව්‍යමය වශයෙන් පත්කරන ලද වගකීම ප්‍රීතියෙන් ඉටුකිරීමයි. උන්වහන්සේගේ මගපෙන්වීම හා උපකාරයෙන් ඇත්තවශයෙන්ම අපි මෙම පූජනීය යුතුකම් ඉටුකරනවා.

සයොනය ගොඩනැගීම

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා මෙසේ ප්‍රකාශ කළා, “සයොනය ගොඩනැගීම සෑම යුගයකම දෙවියන්වහන්සේගේ සෙනග උනන්දුවක් දක්වන හේතුවක්; එය අනාගතවක්තෘවරුන්, පූජකයන් සහ රජවරු සුවිශේෂී සතුටින් වාසය කළ තේමාවක්; අප ජීවත්වන දවස දක්වා ඔවුන් ප්‍රීතිමත් අපේක්ෂාවෙන් බලා සිටියා; ඔවුන් අපේ දවස ගැන ගායනා කර ලිවීමට හා පුරෝකථනය කර ඇති ස්වර්ගීය හා ප්‍රීතිමත් අපේක්ෂාවන්ගෙන් ඉහළට එසවී තිබෙනවා; නමුත් ඔවුන් එය නොදැක මියගියා; … පසු දවස්වල තේජස දැක බලාගැනීමට, සහභාගී වීමට සහ උපකාර කිරීමට අපට ඉතිරිව තිබෙනවා,… එම ශ්‍රේෂ්ඨ අරමුණු ඉටුකරගැනීමට, ස්වර්ගීය පූජකත්වය ලෞකිකයන් සමග එක්වී තිබෙනවා; … ඒ දෙවියන්වහන්සේ සහ දේවදූතයන් අතීත පරම්පරා ගණනාවක් තිස්සේ ප්‍රීතියෙන් කල්පනා කළ කාර්යයක්; පුරාණ ආදිපීතෘවරුන්ගේ හා අනාගතවක්තෘවරුන්ගේ ආත්ම වලට ඉහළට විසිකළ කාර්යයක්; අන්ධකාරයේ බලයන් විනාශ කිරීම, එය පොළොව අලුත්වැඩියා කිරීම, දෙවියන්වහන්සේගේ මහිමය සහ මිනිස් පවුලේ ගැලවීම ගෙන ඒමට නියම කර ඇති කාර්යයක්”24

පියාණන් සහ පුත්‍රයාණන් ජෝසෆ් ස්මිත්ට පෙනී සිටි බවත්, එසේම එලියා මුද්‍රා තැබීමේ බලය නැවත ලබාදුන් බවත්, මම සාක්ෂි දරනවා. “උන්වහන්සේට සවන්දෙන්න!”25 කිරීමෙන් දේව භක්තියේ බලය අපගේ ජීවිත තුළ ලැබෙන විට, පූජනීය දේවමාළිගාවේ ගිවිසුම් හා වත්පිළිවෙත් වලින් අපව ශක්තිමත් කර අපගේ හදවත් පවිත්‍ර කරගත හැකියි. මෙම පසු-දවස්වල කාර්යය අන්ධකාරයේ බලයන් විනාශ කර මිනිස් පවුලේ ගැලවීම ගෙනදෙන බව මම සාක්ෂි දරනවා. මෙම සත්‍යයන් ගැන මම සාක්ෂි දරන්නේ, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ නාමයෙන්, ආමෙන්.