ප්‍රධාන සම්මන්ත්‍රණය
අනාගතවක්තෘවරුන්ට අඛණ්ඩව එළිදරව් සහ අපගේ ජීවිත මෙහෙයවීම සඳහා පුද්ගලික එළිදරව් ලබීමේ ආශිර්වාදය
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අනාගතවක්තෘවරුන්ට අඛණ්ඩව එළිදරව් සහ අපගේ ජීවිත මෙහෙයවීම සඳහා පුද්ගලික එළිදරව් ලබීමේ ආශිර්වාදය

අඛණ්ඩ එළිදරව්ව ලැබී ඇති අතර එය ස්වාමින්වහන්සේ විසින් පිහිටුවා ඇති නාලිකා හරහා තවමත් ලැබෙමින් පවතිනවා.

අනාගතවක්තෘවරුන්ට අඛණ්ඩව එළිදරව් සහ අපගේ ජීවිත මෙහෙයවීම සඳහා පුද්ගලික එළිදරව් ලබීමේ ආශිර්වාදය පිළිබඳව අද මම කථා කරනවා.

සමහරවිට අපට ස්වාමින්වහන්සේගේ අරමුණු නොදන්නා විට පවා එළිදරව් ලැබෙනවා. 1994 ජුනි මාසයේදී වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් ප්‍රේරිතවරයෙකු ලෙස කැඳවීමට ටික කලකට පෙර, ඔහුව කැඳවනු ලබන බවට සුන්දර එළිදරව් අත්දැකීමක් මට තිබුණා. මම ප්‍රාදේශීය නියෝජිතයෙකු වූ අතර මට එම දැනුම ලබාදීමට කිසිදු හේතුවක් තිබුණ බවක් පෙණුනේ නෑ. නමුත් අපි 1960 දශකයේ මුල් භාගයේ එංගලන්තයේ තරුණ ධර්මදූතයින් ලෙස සහකරුවන් වූ අතර මට ඔහු කෙරෙහි ඉමහත් ප්‍රේමයක් තිබුණා. මෙම අත්දැකීම මා කෙරෙහි දැක්වූ සියුම් දයාවක් ලෙස මා සැලකුවා. මෑත වසර වලදී, අප තරුණ ධර්මදූතයින් ලෙස සිටියදී මගේ කණිෂ්ඨ සහකරු වූ අපූරු ධර්මදූත සහකරුවාට දොළොස්දෙනාගේ කණිෂ්ඨයෙකු වීමට ස්වාමින්වහන්සේ මාව සූදානම් කරන්නේ දැයි මම කල්පනා කළා.1 මම සමහර වේලාවට තරුණ ධර්මදූතයින්ට ඔවුන්ගේ කණිෂ්ඨ සහකරුවන් සමග කරුණාවන්ත වන ලෙස අනතුරු අඟවන්නේ, මොකද ඔවුන් තම ජ්‍යෙෂ්ඨ සහකරුවා වන්නේ කවදාදැයි ඔවුන් නොදන්නා බැවිනුයි.

මෙම නැවත පිහිටවූ සභාව මෙහෙයවනු ලබන්නේ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් බවට මට ස්ථිර සාක්ෂියක් තිබෙනවා. තම ප්‍රේරිතයන් ලෙස කැඳවිය යුත්තේ කාටද, ඔවුන් කැඳවිය යුත්තේ කුමන අනුපිළිවෙලටද යන්න උන්වහන්සේ දන්නවා. තම ජ්‍යෙෂ්ඨ ප්‍රේරිතවරුන්ව සභාවේ අනාගතවක්තෘවරයා සහ සභාපති වීමට සූදානම් කරන්නේ කෙසේදැයි උන්වහන්සේ දන්නවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම සම්බන්ධයෙන් අපගේ ආදරණීය අනාගතවක්තෘ සභාධිපති රසල් එම්. නෙල්සන් ලොවට ගැඹුරු ද්විශතවාර්ෂික ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම ඇසීම අද උදෑසන අප ලද ආශිර්වාදයක්.2 සභාපති නෙල්සන් විසින් කරන ලද මෙම මූලික ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව එහි මූලාරම්භය, පැවැත්ම සහ අනාගතය සඳහා මගපෙන්වීම අඛණ්ඩව එළිදරව් කිරීමේ මූලධර්මයට බැඳී ඇති බවයි. නව ප්‍රකාශය නියෝජනය කරන්නේ ප්‍රේමණීය පියෙකු තම දරුවන් සමග කළ සන්නිවේදනයයි.

ඊට පෙර දිනක, සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල් මට අද ඇති හැඟීම් ප්‍රකාශ කළා. ඔහු මෙසේ ප්‍රකාශ කළා: “සියල්ලටම වඩා, අපි වඩාත් කෘතඥ විය යුත්තේ ස්වර්ගය සැබවින්ම විවෘතව තිබීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාව එළිදරව් කිරීමේ පර්වතය මත පිහිටුවා තිබීමයි. අඛණ්ඩ එළිදරව් ඇත්තෙන්ම ජීවමාන ස්වාමින් හා ගැළවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ජීව රුධිරයයි.”3

අනාගතවක්තෘ ඊනොක් අප ජීවත්වන දවස් කල්තියා දුටුවා. ජයගනු ලබන මහා දුෂ්ඨකම ස්වාමින්වහන්සේ ඊනොක්ට දැන්වූ අතර සිදුවිය හැකි “මහත් පීඩාවන්” ගැන එළිදරව් කළා. කෙසේවෙතත්, “නමුත් මාගේ සෙනග ආරක්ෂා කරන්නෙමි” කියා ස්වාමින්වහන්සේ පොරොන්දු වුණා.”4 “මම ධර්මිෂ්ඨකම ස්වර්ගයෙන් පහළට එවන්නෙමි; මාගේ ඒකජාතකයාණන් ගැන සාක්ෂි දීමට මම සත්‍යය පොළොවෙන් එවන්නෙමි.”5

අපගේ ආගමේ ප්‍රධාන ගල වන මෝර්මොන්ගේ පොත පොළොවෙන් පිටතට පැමිණියේ ස්වාමින්වහන්සේ ඊනොක්ට කළ ප්‍රකාශය ඉටුකිරීම සඳහා බව, ස්භාපති එස්රා ටෆ්ට් බෙන්සන් මහත් බලයෙන් ඉගැන්වූවා. ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට පෙනීසිටි පියාණන් සහ පුත්‍රයාණන්, සහ දේවදූතයන් සහ අනාගතවක්තෘවරුන් “රාජධානියට අවශ්‍ය බලයන් නැවත ලබාදීමට ස්වර්ගය විසින් නියම කරන ලදි.”6

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට එළිදරව්වෙන් එළිදරව්වට ලැබුණා. මෙම සම්මන්ත්‍රණයේදී ඒ සමහරක් ගැන ආමන්ත්‍රණය කර තිබෙනවා. ජෝසෆ් අනාගතවක්තෘවරයාට ලැබුණු බොහෝ එළිදරව් කිරීම් දහම සහ ගිවිසුමේ අප වෙනුවෙන් සංරක්ෂණය කර තිබෙනවා. මෙම අවසාන කාලපරිච්ඡේදයේ, සභාවේ සියලුම සම්මත ශුද්ධලියවිලි වල ස්වාමින්වහන්සේගේ මනස හා කැමැත්ත අඩංගු වෙනවා.7

මෙම ශ්‍රේෂ්ඨ පදනම් ලියවිලි වලට අමතරව, ජීවමාන අනාගතවක්තෘවරුන්ට දිගින් දිගටම ලැබෙන එළිදරව් අපට ආශිර්වාදයක්. අනාගතවක්තෘවරුන් “උන්වහන්සේ වෙනුවෙන් කථා කිරීමට බලය ඇති, ස්වාමින්වහන්සේගේ නියෝජිතයන්ය.”8

සමහර එළිදරව් කිරීම් අනුස්මරණීය ලෙස ඉතා වැදගත් වන අතර තවත් සමහරක් අත්‍යවශ්‍ය දිව්‍ය සත්‍යයන් පිළිබඳ අපගේ අවබෝධය වැඩිදියුණු කරන අතර අපගේ දවස සඳහා මගපෙන්වීමක් ලබාදෙනවා.9

1978 ජුනි 8 වන දින සභාවේ සුදුසු පිරිමි සාමාජිකයින්ට පූජකත්ව සහ දේවමාළිගා ආශිර්වාදය ලබාදෙමින් සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල් වෙත කළ එළිදරව්ව ගැන අපි අතිශයින් කෘතඥ වෙනවා.10

එම වටිනා එළිදරව්ව ලැබුණු විට සහභාගී වූ දොළොස්දෙනාගෙන් බොහෝදෙනෙකු සමග මම සේවය කර තිබෙනවා. ඔවුන් සෑම කෙනෙකුම, පෞද්ගලික සංවාද වලදී, සභාපති කිම්බල් සහ ඔවුන් අත්විඳි බලවත් හා එක්සත් අධ්‍යාත්මික මගපෙන්වීම සනාථ කර තිබෙනවා. බොහෝ අය කියා සිටියේ එය එම කාලයට පෙර හෝ පසුව ලැබුණු බලවත්ම එළිදරව්ව බවයි.11

මෑත කාලීන අනාගතවක්තෘවරුන් තුළින් සැලකිය යුතු එළිදරව් කිරීම් පැමිණ තිබෙන නිසා, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූර්ණයෙහි දැනට සේවය කරන අයට අපගේ කාලයේ ආශිර්වාද ලැබී තිබෙනවා.12 විශේෂයෙන් පවුල් වලට තම නිවෙස්වල ඇදහිල්ලේ අභයභූමි ගොඩනැගීමටත්, විසිරී ඇති ඊශ්‍රායලය තිරය දෙපස රැස් කිරීමටත්, පූජනීය දේවමාළිගා වත්පිළිවෙත් කටයුතු වල නියැලී සිටින සාමාජිකයින්ට ආශිර්වාද කිරීමටත් සම්බන්ධ එළිදරව් ලබාදීම මගින්, සභාපති රසල් එම්. නෙල්සන් ස්වාමින්වහන්සේ විසින් පත්කරන ලද නියෝජිතයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

අපේ නිවෙස් වලට ආශිර්වාද කිරීම සඳහා වැදගත් වෙනස්කම් 2018 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී ප්‍රකාශයට පත්කළ විට, “දේවමාළිගාවේ පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූර්ණයේ සාකච්ඡාවේදී, … අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා එළිදරව් සඳහා ස්වාමින්වහන්සේට ආයාචනා කිරීමෙන් පසුව … , සියලුදෙනාටම ප්‍රබල තහවුරු කිරීමක් ලැබූ” බව මම සාක්ෂි දරනවා.13

එවකට පූජනීය දේවමාළිගා වත්පිළිවෙත් වලට අදාළ වෙනත් එළිදරව් කිරීම් ලැබී තිබුණද ඒවා ප්‍රකාශයට පත්කර හෝ ක්‍රියාත්මක කර නෑ.14 මෙම මගපෙන්වීම ආරම්භ වූයේ සභාපති රසල් එම්. නෙල්සන්ට පුද්ගලික අනාවැකිමය එළිදරව්වක් ලැබීමෙන් සහ ක්‍රියාවලියට සහභාගී වූවන්ට මුදු මොළොක් හා ප්‍රබල තහවුරු කිරීමක් සමගිනුයි. සහන සමිතිය, තරුණ කාන්තා සහ ප්‍රාථමික සංවිධාන වල මුලසුන හොබවන සහෝදරියන් සඳහා සභාපති නෙල්සන් විශේෂයෙන් සම්බන්ධ වුණා. දේවමාළිගාවේදී, ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ ගණපූර්ණයට සහ පළමු සභාපතිත්වය සඳහා වූ අවසාන මගපෙන්වීම ගැඹුරුව අධ්‍යාත්මික හා බලවත් වුණා. ස්වාමින්වහන්සේගේ මනස, කැමැත්ත සහ හඬ අපට ලැබී ඇති බව අපි එකිනෙකා දැනසිටියා.15

අඛණ්ඩ එළිදරව්ව ලැබී ඇති බවත් ස්වාමින්වහන්සේ විසින් පිහිටුවා ඇති නාලිකා හරහා එය ලැබෙමින් පවතින බවත් මම ඉතා අවංකව ප්‍රකාශ කරනවා. සභාපති නෙල්සන් අද උදෑසන ඉදිරිපත් කළ නව ප්‍රකාශය සියලු ජනයාට ආශිර්වාද කිරීම සඳහා එළිදරව්වක් බව මම සාක්ෂි දරනවා.

ස්වාමින්වහන්සේගේ මේසයේ මංගල්‍යය සඳහා සැමට ආරාධනයක් අපි ඉදිරිපත් කරනවා

ඔවුන්ගේ සාක්ෂි සමග පොරබදමින් සිටින, ක්‍රියාශීලී නොවූ, හෝ ඔවුන්ගේ නම් සභාවේ වාර්තා වලින් ඉවත්කර ඇති අය සමග නැවත එක්වීමට අපගේ හෘදයාංගම ආශාව අපිත් ප්‍රකාශ කරනවා. අප සියල්ලන්ම කළ යුතු දේ ඉගෙනගැනීමට ස්වාමින්වහන්සේගේ මේසයේ “ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත” ඔබ සමග භුක්තිවිඳීමට අපි කැමැත්තෙන් සිටිනවා.16 අපිට ඔබව අවශ්‍යයි! සභාවට ඔබව අවශ්‍යයි! ස්වාමින්වහන්සේට ඔබව අවශ්‍යයි! අපගේ හෘදයාංගම යාච්ඤාව නම් ලෝකයේ ගැලවුම්කරුවාණන්ට නමස්කාර කිරීම සඳහා ඔබ අප හා එක්වීමයි. ඔබගෙන් සමහරෙකුට ක්‍රිස්තුස්වහන්සේට සමාන නොවන වරදක්, අකාරුණික ක්‍රියාවක් හෝ වෙනත් හැසිරීමක් ලැබී ඇති බව අපි දන්නවා. සමහරුන්ට ඔවුන්ගේ ඇදහිල්ලට පූර්ණ වශයෙන් අගය කළ නොහැකි, තේරුම්ගත නොහැකි හෝ විසඳාගත නොහැකි අභියෝග ඇතිව තිබූ බව අපි දන්නවා.

අපගේ වඩාත්ම ශක්තිමත් සහ විශ්වාසවන්ත සාමාජිකයන් සමහරක් ඔවුන්ගේ ඇදහිල්ලට යම් කාල පරිච්ඡේදයක් සඳහා අභියෝගයක් විඳ තිබෙනවා. සභාව අතහැර අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට එරෙහිව මිසුරි උසාවියකදී සාක්ෂි දුන් ඩබ්ලිව්. ඩබ්ලිව්. ෆෙල්ප්ස්ගේ සත්‍ය වාර්තාවට මම ප්‍රිය කරනවා. පසුතැවිලිවීමෙන් පසු ඔහු ජෝසෆ්ට මෙසේ ලිව්වා: “මම මගේ තත්වය දන්නවා, ඔබ එය දන්නවා, දෙවියන්වහන්සේ එය දන්නවා, මගේ මිතුරන් මට උදව් කරනවා නම් මට ගැලවීමට අවශ්‍යයි.”17 ජෝසෆ් ඔහුට සමාවදී ඔහුව නැවත කාර්යයට යොමුකර, “මුලින් මිතුරන් නැවත මිතුරන් වේ” කියා ආදරයෙන් ලිව්වා.18

සහෝදර සහෝදරියනි, ඔබගේ තත්වය කුමක් වුවත්, සභාව සහ එහි සාමාජිකයන් ඔබව නැවත සාදරයෙන් පිළිගන්නා බව කරුණාකර දැනගන්න!

අපගේ ජීවිත මෙහෙයවීම සඳහා පුද්ගලික එළිදරව්

නිහතමානීව ස්වාමින්වහන්සේගෙන් මගපෙන්වීම සොයනා සියල්ලන්ට පුද්ගලික එළිදරව් තිබෙනවා. එය අනාගතවක්තෘ එළිදරව් තරම්ම වැදගත්. ශුද්ධාත්මයාණන්ගේ පෞද්ගලික, අධ්‍යාත්මික එළිදරව්ව නිසා බව්තීස්ම වීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ස්ථීර වීමට අවශ්‍ය සාක්ෂි මිලියන ගණනක් ලැබී තිබෙනවා.

පුද්ගලික එළිදරව් යනු බව්තීස්මයෙන් පසුව අප “ශුද්ධාත්මයාණන්ගේ පිළිගැනීමෙන් පරිශුද්ධ වූ විට” ලැබුණු ගැඹුරු ආශිර්වාදයයි.19 මට වයස අවුරුදු 15 දී වූ විශේෂ අධ්‍යාත්මික එළිදරව්වක් මට මතකයි. මගේ සහෝදරයා ධර්මදූතයක සේවය කරනවාට අකමැති වූ අපගේ ආදරණීය පියාට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන මගේ වටිනා සහෝදරයා ස්වාමින්වහන්සේගෙන් මගපෙන්වීමක් ඉල්ලමින් සිටියා. මම අවංක චේතනාවෙන් යාච්ඤා කළ අතර ශුභාරංචියේ සත්‍යතාව පිළිබඳව පෞද්ගලිකව එළිදරව්වක් ලැබුණා.

ශුද්ධාත්මයාණන්ගේ භූමිකාව

පුද්ගලික එළිදරව් පදනම් වී ඇත්තේ ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන අධ්‍යාත්මික සත්‍යයන් මතයි.20 ශුද්ධාත්මයාණන් යනු විශේෂයෙන් ගැලවුම්කරුවාණන් පිළිබඳ, සියලු සත්‍යයන් එළිදරව් කරන්නා සහ සාක්ෂි දරන්නෙක්. ශුද්ධාත්මයාණන් නොමැතිව, යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව අපට ඇත්තටම දැනගත නොහැකියි. උන්වහන්සේගේ මූලික කාර්යභාරය වන්නේ පියාණන් සහ පුත්‍රයාණන් සහ උන්වහන්සේලාගේ නාමයන් සහ උන්වහන්සේලාගේ මහිමය පිළිබඳව සාක්ෂි දැරීමයි.

ශුද්ධාත්මයාණන්ට සෑම කෙනෙකුටම බලවත් ලෙස බලපෑම් කළ හැකියි.21 යමෙකු බව්තීස්ම වී ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලබාගන්නේ නම් මිස මෙම බලපෑම අඛණ්ඩ වන්නේ නෑ. ශුද්ධාත්මයාණන්වහන්සේ පසුතැවිලි වීමේ හා සමාවදීමේ ක්‍රියාවලියේදී පවිත්‍ර කිරීමේ නියෝජිතයෙකු ලෙසද සේවය කරනවා.

ආත්මයාණන්වහන්සේ පුදුමාකාර ආකාර වලින් සන්නිවේදනය කරනවා. ස්වාමින්වහන්සේ මෙම සුන්දර විස්තරය භාවිතා කළා:

“ශුද්ධාත්මයාණන්වහන්සේ විසින්, නුඹගේ මනසෙහි සහ හදවතේ මම නුඹට කියමි, එය ඔබ කෙරෙහි පැමිණ ඔබේ හදවතේ වාසය කරනු ඇත.

දැන්, බලන්න, මෙය එළිදරව්වේ ආත්මයය.”22

එහි බලපෑම ඇදහිය නොහැකි තරම් බලවත් වියහැකි නමුත්, එය බොහෝවිට නිහඬව නිශ්චල කුඩා කටහඬක් ලෙස පැමිණෙනවා.23 අපගේ මනසට සාමය කථා කිරීම,24 අපගේ මනසෙහි වාසයකිරීම,25 අපගේ මනස ආලෝකවත් කිරීම26 සහ අපගේ මනසට හඬක් වීම27 ඇතුළු ආත්මයාණන්වහන්සේ අපගේ මනසට බලපෑම් කරන ආකාරය පිළිබඳ බොහෝ උදාහරණ ශුද්ධලියවිලි වල ඇතුළත්.

එළිදරව් ලැබීමට අපව සූදානම් කරන සමහර මූලධර්ම වලට ඇතුළත් වන්නේ:

  • අධ්‍යාත්මික මගපෙන්වීම සඳහා යාච්ඤා කිරීම. ගෞරවාන්විතව හා නිහතමානීව අප සෙවිය යුතු සහ ඉල්ලිය යුතු අතර28 ඉවසිලිවන්ව හා යටහත්පහත් විය යුතුයි.29

  • දේවානුභාවය සඳහා සූදානම් වීම. මේ සඳහා අප ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් වලට එකතුවිය යුතු අතර උන්වහන්සේගේ ආඥාවන්ට අනුකූල විය යුතුයි.

  • සක්‍රමේන්තුවට සුදුසු ලෙස සහභාගි විය යුතුයි. අප මෙය කරන විට, දෙවියන්වහන්සේගේ ශුද්ධවූ පුත්‍රයාණන්ගේ නාමය අප වෙතට භාරගන්නා බවත්, අපි උන්වහන්සේව සිහිපත් කර උන්වහන්සේගේගේ ආඥා පිළිපදින බවත් අපි ගිවිසුම් තබා සාක්ෂි දරනවා.

මෙම මූලධර්ම ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් සහ මගපෙන්වීම ලබාගැනීමට, හඳුනාගැනීමට සහ අනුගමනය කිරීමට අපව සූදානම් කරනවා. මෙයට “සදාකාල ජීවනය [සහ]… ප්‍රීතිය ගෙනදෙන … සාමකාමී දේවල්” ඇතුළත් වෙනවා.30

ශුභාරංචියේ සත්‍යයන් සහ ශුද්ධලියවිලි නිතිපතා අධ්‍යයනය කර අප සොයන මගපෙන්වීම් අපගේ මනසෙහි මෙනෙහි කරන විට, අපගේ අධ්‍යාත්මික සූදානම බෙහෙවින් වැඩි වෙනවා. නමුත් ඉවසිලිවන්ත වීමට හා ස්වාමින්වහන්සේගේ වේලාව කෙරෙහි විශ්වාසය තැබීමට මතක තබාගන්න. උන්වහන්සේ “හිතාමතාම අපව පාසැලට තෝරාගන්නා විට” සර්වඥාන ස්වාමින්වහන්සේ විසින් මගපෙන්වීම දෙනු ලැබෙයි.31

අපගේ කැඳවීම් සහ පැවරුම් සඳහා එළිදරව්

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ කැඳවීම් හා පැවරුම් සඳහාද එළිදරව් ලබාදෙනු ඇත. මගේ අත්දැකීම් අනුව, බොහෝවිට සැලකිය යුතු අධ්‍යාත්මික මගපෙන්වීමක් ලැබෙන්නේ අපගේ වගකීම් ඉටුකිරීමේදී අන් අයට ආශිර්වාද කිරීමට අප උත්සාහ කරන විටයි.

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගුවන් යානයක් අල්ලාගැනීමට ටික වේලාවකට පෙර තරුණ සභානායකවරයෙකු ලෙස විවාහක යුවළකගෙන් බලාපොරොත්තු සුන්වූ ඇමතුමක් ලැබීම මට මතකයි. ඔවුන් පැමිණීමට පෙර මට ඔවුන්ට ආශිර්වාද කළ හැක්කේ කෙසේද කියා මම ස්වාමින්වහන්සේ සමග ආයාචනා කළා. ගැටලුවේ ස්වභාවය සහ මා ලබාදිය යුතු ප්‍රතිචාරය එවිට මට එළිදරව් වුණා. ඉතා සීමිත කාලයක් තිබියදීත්, සභානායකවරයා ලෙස මා කැඳවීමේ පරිශුද්ධ වගකීම් ඉටුකිරීමට එම එළිදරව් කිරීමේ මගපෙන්වීම මට ඉඩ ලබාදුන්නා. ලොව පුරා සිටින සභානායකවරුන්ද මේ ආකාරයේ අත්දැකීම් මා සමග බෙදාගන්නවා. ස්ටේක සභාපතිවරයෙකු වශයෙන්, මට වැදගත් එළිදරව් ලැබුණා පමණක් නොව, ස්වාමින්වහන්සේගේ අරමුණු ඉටුකරගැනීම සඳහා අවශ්‍ය පෞද්ගලික නිවැරදි කිරීම්ද ලැබුණා.

ස්වාමින්වහන්සේගේ මිදිවත්තේ අපි නිහතමානීව වෙහෙස මහන්සිවී වැඩ කරන විට අප සෑම කෙනෙකුටම එළිදරව් කිරීමේ මගපෙන්වීම ලබාගත හැකිබව මම ඔබට සහතික වෙනවා. අපගේ මගපෙන්වීම් බොහෝමයක් ලැබෙන්නේ ශුද්ධාත්මයාණන්ගෙන්. සමහරවිට සහ සමහර අරමුණු සඳහා එය ස්වාමින්වහන්සේගෙන් කෙලින්ම පැමිණෙනවා. මෙය සත්‍යයක් බව මම පෞද්ගලිකව සාක්ෂි දරනවා. සභාව සඳහා මගපෙන්වීම් සමස්තයක් වශයෙන් සභාවේ සභාපතිවරයා හා අනාගතවක්තෘවරයා වෙත පැමිණෙනවා.

නූතන ප්‍රේරිතවරුන් වශයෙන් අපට අපගේ වර්තමාන අනාගතවක්තෘ සභාපති නෙල්සන් සමග වැඩ කිරීමේ සහ ගමන් කිරීමේ වරප්‍රසාදය ලැබී තිබෙනවා. ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා ගැන විල්ෆර්ඩ් වුඩ්රෆ් පැවසූ දේ මම අර්ථ නිරූපණය කරන්නම්; සභාපති නෙල්සන්ටත් එය ඒ හා සමානවම සත්යයි. “දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔහු සමග කළ ක්‍රියා සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔහුට කළ එළිදරව් කිරීම් සහ එම එළිදරව් කිරීම්වල ඉටුවීම” මම දැක තිබෙනවා.32

අද මගේ නිහතමානී ආයාචනය නම්, අප සෑම කෙනෙකුම අපගේ ජීවිත මෙහෙයවීම සඳහා අඛණ්ඩ එළිදරව්වක් සෙවීමයි, එමෙන්ම අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පියාණන් වන දෙවියන්වහන්සේට නමස්කාර කරන විට ආත්මයාණන්වහන්සේව අනුගමනය කරන්න, එම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම සාක්ෂි දරනවා, ආමෙන්.

සටහන්:

  1. 1960 දී තරුණ පිරිමි ළමුන් සඳහා ධර්මදූත සේවය සඳහා වූ වයස අවුරුදු 20 සිට 19 දක්වා අඩු කළ විට, මම අවසාන අවුරුදු 20 න් එක් අයෙක් වීමි; වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් පළමු 19 හැවිරිදි අයගෙන් කෙනෙකි.

  2. බලන්න “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය නැවත පිහිටුවීම: ලෝකයට ද්විශතවාර්ෂික ප්‍රකාශයක්,” රසල් එම්. නෙල්සන්, “උන්වහන්සේට සවන්දෙන්න,” ලියහෝනා, මැයි 2020, 91. පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූර්ණය විසින් මෙම කාලපරිච්ඡේදයේදී ඉදිරිපත් කරන ලද මෙම ප්‍රකාශය තවත් පස් දෙනෙකු සමග සම්බන්ධ වේ.

  3. Teachings of Presidents of the Church: Spencer W. Kimball (2006), 243; මතෙව් 16:13–19 ද බලන්න.

  4. මෝසෙස් 7:61.

  5. මෝසෙස් 7:62. ස්වාමින්වහන්සේ තවදුරටත් මෙසේ වදාළ සේක: “පොළොවේ හතර කොනින් මා තෝරාගත් අයව එක්රැස් කිරීමට, ධර්මිෂ්ඨකම සහ සත්‍යය තුලින් මම ගංවතුරක් මෙන් පොළොව අතුගා දැමීමට සලස්වන්නෙමි” (මෝසෙස් 7:62; ගීතාවලිය 85:11 ද බලන්න).

  6. Ezra Taft Benson, “The Gift of Modern Revelation,” Ensign, Nov. 1986, 80.

  7. බලන්න Ezra Taft Benson, “The Gift of Modern Revelation,” 80.

  8. Hugh B. Brown, “Joseph Smith among the Prophets” (Sixteenth Annual Joseph Smith Memorial Sermon, Logan Institute of Religion, Dec. 7, 1958), 7.

  9. බලන්න Hugh B. Brown, “Joseph Smith among the Prophets,” 7. සෑම අවස්ථාවකදීම, එළිදරව් කිරීම් පෙර අනාගතවක්තෘවරුන්ට දී ඇති දේව වචනයට අනුකූල වේ.

  10. බලන්න Official Declaration 2; 2 නෙපි 26:33 ද බලන්න. “කළු, සුදු, බැඳීම් සහ නිදහස්, පිරිමි සහ ගැහැණු” ඇතුළුව “සියල්ලෝම දෙවියන්වහන්සේට එක හා සමානයි” යන එළිදරව්ව මෝර්මොන්ගේ පොතේ දක්වා ඇති මූලධර්මය ක්‍රියාත්මක කරයි (2 නෙපි 26:33). මෙම අපූර්ව එළිදරව්ව සෝල්ට් ලේක් දේවමාළිගාවේ පූජනීය ඉහළ කාමරයේදී පළමු සභාපතිත්වය මන්ත්‍රණ සභාව සහ ප්‍රේරිතයින් දොළොස්දෙනාගේ ගණපූර්ණය හරහා ලැබ තහවුරු කරන ලදි.

  11. බොහෝ ප්‍රේරිතයන් පෙන්වා දුන්නේ එළිදරව්ව කෙතරම් බලවත් හා පරිශුද්ධද යන්න විස්තර කිරීමට භාවිතා කරන ඕනෑම වචන ප්‍රමාණවත් නොවන බවත්, යම් ආකාරයකින් එළිදරව්වේ ගැඹුරු හා බලවත් ස්වභාවය හීන වන බවත්ය.

  12. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ලියහෝනා මැයි 2017, 145. 1995 සැප්තැම්බර් 23 වන දින යූටාහි සෝල්ට් ලේක් නගරයේ පැවති පොදු සහන සමිති රැස්වීමේදී සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි විසින් මෙම ප්‍රකාශය ප්‍රකාශයට පත් කරන ලදි. බලන්න Thomas S. Monson, “Welcome to Conference,” Liahona, Nov. 2012, 4–5. සභාපති මොන්සන් ධර්මදූත සේවය සඳහා අඩු වයස් අවශ්‍යතාවයක් ප්‍රකාශයට පත් කළේය.

  13. ක්වින්ටින් එල්. කුක්, “ස්වර්ගික පියාණන්වහන්සේට හා ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ගැඹුරු හා සදාකාලික පරිවර්තනය,” ලියහෝනා, නොවැ. 2018, 11.

  14. පූජනීය දේවමාළිගා වත්පිල්ළිවෙත් වලට අදාළ එළිදරව් කිරීම් 2019 ජනවාරි 1 වන දින සිට සියලුම දේවමාළිගා වලදී ක්‍රියාත්මක කරන ලදි. දේවමාළිගා වත්පිළිවෙත් පිළිබඳ නිශ්චිත තොරතුරු සාකච්ඡා කරනු ලබන්නේ දේවමාළිගා තුළ පමණක් බව වටහාගැනීම වැදගත්ය. කෙසේවෙතත්, මූලධර්ම උගන්වනු ලැබේ. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් දේවමාළිගා ගිවිසුම් හා වත්පිළිවෙත් වල වැදගත්කම සහ ඒවා තුළින් “දේවභක්තියේ බලය අපගේ ජීවිත තුළට ගලා යා හැක්කේ කෙසේද” යන්න මනාව ඉගැන්වීය (“මේ ගෘහය මාගේ නාමයට ගොඩනගන්න,” ලියහෝනා, මැයි 2020, 86).

  15. මෙම ක්‍රියාවලිය සහ රැස්වීම් 2018 ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ අප්ප්‍රියෙල් මාසවල සෝල්ට් ලේක් දේවමාළිගාවේදී සිදුවිය. පළමු සභාපතිත්වයට සහ ප්‍රේරිතයින් දොළොස්දෙනාගේ ගණපූර්ණය සඳහා අවසන් එළිදරව්ව 2018 අප්‍රියෙල් 26 වන දින සිදුවිය.

  16. බලන්න 2 නෙපි 32:3.

  17. Saints: The Story of the Church of Jesus Christ in the Latter Days, vol. 1, The Standard of Truth, 1815–1846 (2018), 418.

  18. Saints, 1:418.

  19. 3 නෙපි 27:20.

  20. ශුද්ධාත්මයාණන්වහන්සේ දේවත්වයේ සාමාජිකයෙකි (1 යොහාන් 5:7; දහම සහ ගිවිසුම 20:28 බලන්න). මිනිසාගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් උන්වහන්සේට ශාරීරික ආත්මයක් ඇත (දහම සහ ගිවිසුම 130:22 බලන්න). උන්වහන්සේගේ බලපෑම සෑම තැනකම තිබිය හැකිය. උන්වහන්සේ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා අපගේ ගැළවුම්කාරයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමග අරමුණකින් එක්ව ඇත.

  21. ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය එමෙන්ම ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය සහ ශුද්ධාත්මයාණන් අතර වෙනස පිළිබඳ පුළුල් අවබෝධයක් සඳහා, බලන්න 2 නෙපි 32; දහම සහ ගිවිසුම 88:7, 11–13; “Light of Christ,” Bible Dictionary. See also Boyd K. Packer, “The Light of Christ,” Liahona, Apr. 2005, 8–14.

  22. දහම සහ ගිවිසුම 8:2–3.

  23. හිලමන් 5:30; දහම සහ ගිවිසුම 85:26 බලන්න.

  24. දහම සහ ගිවිසුම 6:23 බලන්න.

  25. දහම සහ ගිවිසුම 128:1 බලන්න.

  26. දහම සහ ගිවිසුම 11:13 බලන්න.

  27. ඊනොස් 1:10. බලන්න.

  28. මතෙව් 7:7–8 බලන්න.

  29. මොසායා 3:19 බලන්න.

  30. දහම සහ ගිවිසුම 42:61.

  31. Neal A. Maxwell, All These Things Shall Give Thee Experience (2007), 31.

  32. Wilford Woodruff, in Teachings of Presidents of the Church: Joseph Smith (2007), 283.