ප්‍රධාන සම්මන්ත්‍රණය
අනාවැකි ඉටුවීම
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අනාවැකි ඉටුවීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම මගින් ඉටුකර ඇති අනාවැකි බොහෝයි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, කිසිම සැකයකින් තොරව, පූජනීය වනයක පියාණන් වන දෙවියන්වහන්සේව සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැකීමේ ජෝසෆ් ස්මිත්ගේ පළමු දැක්ම සමරන මෙම ඓතිහාසික ප්‍රධාන සම්මන්ත්‍රණයේදී කථා කිරීමට ලැබීම මට ගෞරවයක්. එම දර්ශනය ශුභාරංචිය නැවත පිහිටුවීමේ විශිෂ්ට ආරම්භයක් වූ අතර මෝර්මොන්ගේ පොතෙහි සිට පූජකත්ව අධිකාරිය සහ යතුරු නැවත පැමිණීම, ස්වාමින්වහන්සේගේ සැබෑ සභාව සංවිධානය කිරීම, දෙවියන්වහන්සේගේ දේවමාළිගා, පසු-දවස්වල මෙම කාර්යය මෙහෙයවන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් දක්වා දිගහැරුමක් වෙනවා.

දිව්‍යමය සැලැස්මට අනුව, ශුද්ධාත්මයාණන් විසින් ඉදිරියට ගෙනයන ලදුව, දෙවියන්වහන්සේගේ පුරාණ අනාගතවක්තෘවරුන්, නැවත පිහිටුවීම සහ අපේ කාලයේ සිදුවීමට යන දේ, අවසාන කාලපරිච්ඡේදය සහ කාලයේ පූර්ණත්වය පිළිබඳව අනාවැකි පළකළා. එම ක්‍රියාවන්ම මුල්කාලීන දිවැසිවරුන්ගේ “ප්‍රාණයන් උණුසුම් කළා.”1 යෙසායා “පුදුමාකාර වැඩක් හා පුදුමයක්” ලෙස හැඳින්වූ, පොළොවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ අනාගතය ගැන පරම්පරා ගණනාවක් පුරා, ඔවුන් පුරෝකථනය කර, සිහින මවා, පරිකල්පනය කර, අනාවැකි කිව්වා.2

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ඇතුළු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම මගින් ඉටුකර ඇති අනාවැකි බොහෝයි. කෙසේවෙතත්, අද මම ඉස්මතු කරන්නේ මගේ ප්‍රියතම ඒවාලින් කිහිපයක් පමණයි. මේවා මට ඉගැන්වූයේ මගේ ආදරණීය ප්‍රාථමික ගුරුවරුන් සහ මගේ දේවදූත මවගේ දණහිසෙන්.

රූපය
සිංහ ගුහාව තුළ දානියෙල්

ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා දෙවියන්වහන්සේගේ දේවදූතයන්ගේ මැදිහත් වීමෙන් සිංහයන් දුරුකළ දානියෙල්, අපගේ දවස දර්ශනයෙන් දුටු අයෙක්. ස්වාමින්වහන්සේගේ සභාව අන්තිම දවස්වල “අත් නොමැතිව කන්දෙන් කපා දැමූ” කුඩා ගලක් මෙන් නැගී එන බව, බැබිලෝනීය රජු වූ නෙබුකද්නෙශර්ගේ සිහිනයක් අර්ථකථනය කරමින් දානියෙල් අනාවැකි පළකළා.3 “දෑත් නොමැතිව” යන්නෙන් අදහස් වන්නේ දිව්‍යමය මැදිහත්වීමකින් යන්නයි, ස්වාමින්වහන්සේගේ සභාව මුළු පොළොවම පුරවන තුරු විශාලත්වය වැඩිවෙමින් වර්ධනය වෙමින් “කිසිවිටෙකත් විනාශ නොවනු ඇත… [නමුත්] සදහටම පවතිනු ඇත.”4

රූපය
දානියෙල් සිහින අර්ථකථනය කරමින්

ලොව පුරා විසිරී සිටින සභාවේ සාමාජිකයන් අද සම්මන්ත්‍රණය නරඹමින් හා සවන්දෙමින් සිටින බැවින් දානියෙල්ගේ වචන ඉටුවන බවට එය ප්‍රබල සාක්ෂියක්.

කැපවූ ප්‍රේරිත පේත්‍රැස් “ලෝකය ආරම්භවූ දා සිට සියල්ල නැවත පිහිටුවිය යුතු කාලය” විස්තර කළා.5 “යේසුස් ක්‍රිස්තුස්වහන්සේම ප්‍රධාන ගල වෙමින්”7 කාලයාගේ ඇවෑමෙන් දෙවියන්වහන්සේ “ක්‍රිස්තුස්වහන්සේ තුළ සෑමදෙයක්ම එක්රැස් කරන”6 බව, ප්‍රේරිත පාවුල් ලියා තිබෙනවා. ඉතාලියේ රෝම දේවමාළිගාවේ කැපකිරීමට සහභාගිවූ විට එම අනාවැකි මට තදින්ම දැනුණා. පේත්‍රැස් සහ පාවුල් කළාක් මෙන්, ලෝකයේ මිදුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සියලු අනාගතවක්තෘවරුන් හා ප්‍රේරිතයන් සාක්ෂි දරනවා. සභාව එම ප්‍රතිෂ්ඨාපනයේ ජීවමාන උදාහරණයක්, සහෝදර සහෝදරියනි, අපගේ සාමාජිකයන් බොහෝ කලකට පෙර එම දිව්‍ය අනාවැකි වල සාක්ෂිකරුවන් වෙනවා.

රූපය
අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් රෝම ඉතාලි දේවමාළිගාවේ

ඊජිප්තුවේ යෝසෙප් මෙම අවසාන කාලය පිළිබඳ අනාවැකි පැවසුවා: “දිවැසිවරයෙකු ස්වාමින්වහන්සේ වූ දෙවියන්වහන්සේ නගාසිටුවන සේක, මාගේ ඉඟටියේ ඵලයට ඉතා අගනා දිවැසිවරයෙකුය.”8 “තවද, ඔහු මාගේ [ස්වාමින්වහන්සේගේ] කාර්යය කරනු ඇත්තේය.”9 නැවත පිහිටුවීමේ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්, ඒ අනාගතය දකින්නායි.

සර්වබලධාරියාණන්ගේ දේවදූතයෙක් මෙම වචන සමග නැවත පිහිටුවීමේ වැදගත් අංග එකතු කරන බව යොහාන් එළිදරව්කරු අනාවැකි පළකළා: “මිහිපිට වාසය කරන අයට, සෑම ජාතියකටම, ඥාතීන්ට, භාෂාවන්ට සහ මිනිසුන්ට දේශනා කිරීමට සදාකාලික ශුභාරංචියක් අතැතිව, තවත් දේවදූතයෙක් ස්වර්ගය මැදින් පියාසර කරන අයුරු මම දුටුවෙමි.”10 මොරෝනි ඒ දේවදූතයායි. මෝර්මොන්ගේ පොතේ සටහන් කර ඇති පරිදි ඔහු අපේ දවස දුටුවා. ඔහු නැවත නැවතත් පෙනී සිටිමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක් වන:මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීම ඇතුලු, තම දේවසේවය සඳහා ජෝසෆ් ස්මිත්ව සූදානම් කළා.

රූපය
මොරෝනි ජෝසෆ් ස්මිත්ට දර්ශනය වෙමින්

වෙනත් අනාගතවක්තෘවරුද අපේ දවස ගැන පුරෝකථනය කළා. එලියා “පියවරුන්ගේ හදවත දරුවන්ටත්, දරුවන්ගේ හදවත ඔවුන්ගේ පියවරුන්ටත් හැරවීම” ගැන මලාකි කතා කළා.11 එලියා පැමිණ ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, අද අපට ක්‍රියාත්මක වන දේවමාළිගා 168 ක් තිබෙනවා. සෑම දේවමාළිගාවක්ම පූජනීය ගිවිසුම් ඇති කරගැනීමටත්, තමන් සහ ඔවුන්ගේ මියගිය මුතුන් මිත්තන් වෙනුවෙන් ආශිර්වාද ලත් වත්පිළිවෙත් ලබාගැනීමටත් සුදුසු සාමාජිකයන්ගෙන් පිරී තිබෙනවා. මලාකි විසින් විස්තර කරන ලද මෙම පූජනීය කාර්යය “මැවුම්කරුවාණන්ගේ දරුවන්ගේ සදාකාලික ඉරණම පිළිබඳ සැලැස්මේ කේන්ද්‍රයයි.”12

අප ජීවත්වන්නේ ඒ අනාවැකි කී කාලයේයි; යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සම්බන්ධයෙන් උපදෙස් දීමට සිටින ජනතාව අපියි; සදාකාලික ශුභාරංචියේ සත්‍යයන්, ගිවිසුම් සහ පොරොන්දු අසන සහ වැලඳගන්නා දෙවියන්වහන්සේගේ දරුවන් අප රැස් කළ යුතුයි. “අද පොළොවේ ශ්‍රේෂ්ඨතම අභියෝගය, ශ්‍රේෂ්ඨතම හේතුව සහ ශ්‍රේෂ්ඨතම කාර්යය” ලෙස සභාපති නෙල්සන් එය හඳුන්වනවා.13 ඒ ප්‍රාතිහාර්යය පිළිබඳ මම මගේ සාක්ෂිය දරනවා.

රූපය
ඩර්බන් දකුණු අප්‍රිකානු දේවමාළිගාව කැපකිරීම

සභාපති රසල් එම්. නෙල්සන්ගේ පැවරුම අනුව, මේ වසරේ පෙබරවාරි මාසයේදී, මම ඩර්බන් දකුණු අප්‍රිකානු දේවමාළිගාව කැපකළා. එය මගේ මුළු ජීවිත කාලයම මතක තිබෙන දිනයක්. “මම නුවරකින් එක්කෙනෙක්ද වංශයකින් දෙදෙනෙක්ද වුවත්”—ලෙස බොහෝ කලකට පෙර යෙරෙමියා අනාවැකි පැවසූ පරිදි ශුභාරංචියට පැමිණි සාමාජිකයන් සමග මම සිටියා.14 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම, ලොව පුරා සිටින අප සියල්ලන්ම—දෙවියන්වහන්සේගේ පුතුන් හා දියණියන් ලෙස, ශුභාරංචියේ සහෝදර සහෝදරියන් ලෙස—එක්සත් කරනවා. අපි, අපේ පෙනුම හෝ ඇඳුම් පැළඳුම් කෙසේවුනත්, ශුද්ධවූ දේවමාළිගා වත්පිළිවෙත් කරමින් සහ ඒවා තබමින් උන්වහන්සේගේ පවුලට එක්වීමට, අරම්භයේ සිටම මෙම සැලැස්ම සහිත ස්වර්ගයේ පියාණන් කෙනෙක් සිටින එක ජනතාවක්.

1834 දී ඔහයො, කර්ට්ලන්ඩ්හි පාසැල් නිවසක පැවති පූජකත්වයේ කුඩා රැස්වීමකට ජෝසෆ් අනාගතවක්තෘවරයා මෙසේ අනාවැකි පළකළා, “අද රාත්‍රියේ ඔබ මෙහි දකින්නේ පූජකවරුන් අතළොස්සක් පමණයි, නමුත් මෙම සභාව උතුරු හා දකුණු ඇමරිකාව පුරවනු ඇත—ලෝකයම පුරවනු ඇත.”15

මෑත වසර වලදී මම සභාවේ සාමාජිකයන් හමුවීමට ලොව පුරා සංචාරය කර තිබෙනවා. දොළොස්දෙනාගේ ගණපූර්ණයෙහි සිටින මගේ සහෝදරයන්ට ඒ හා සමානම පැවරුම් ලැබී තිබෙනවා. කෙසේවෙතත්, අපගේ ආදරණීය අනාගතවක්තෘ සභාපති නෙල්සන්ගේ කාලසටහනට අනුකූලව කටයුතු කළ හැක්කේ කාටද, ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සාක්ෂි දැරීම සඳහා සභාවේ සභාපතිවරයා ලෙස ඔහුගේ පළමු වසර දෙක තුළ ඔහු කළ සංචාර, “රටවල් තිස්දෙකක සහ එක්සත් ජනපද ප්‍රදේශ වල”16 සාන්තුවරයන් හමුවීමට ඔහුව ගෙන ගොස් තිබෙනවා.

මට තරුණයෙක් හැටියට මගේ ධර්මදූත කැඳවීම ලැබුණු ආකාරය මට මතකයි. මගේ පියා, සහෝදරයා සහ මස්සිනා මෙන් ජර්මනියේ සේවය කිරීමට මට අවශ්‍ය වුණා. කිසිවෙකු ගෙදර එනතෙක් බලා නොසිටි මම, තැපැල් පෙට්ටියට දිව ගොස් කැඳවීම විවෘත කළා. නිව්යෝර්ක් නගරයේ පිහිටි නැගෙනහිර ප්‍රාන්ත ධර්මදූත මූලස්ථානයට මා කැඳවා ඇති බව මම කියෙව්වා. මම කලකිරුණා, ඒ නිසා මම ඇතුළට ගොස් සැනසිල්ල සඳහා මගේ ශුද්ධලියවිලි විවෘත කළා. මම දහම සහ ගිවිසුමේ මෙහෙම කියවන්නට පටන්ගත්තා: “බලන්න, තවද අහෝ, මට මෙම ස්ථානයෙහි, මෙම පළාත් අවට බොහෝ ජනතාවක් ඇත්තේය; තවද මෙම නැගෙනහිර දේශයන්හි පලාත් අවට අසල එලදායි දොරක් විවෘත කරලන්නෙමි.”17 1833 දී ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට දුන් එම අනාවැකිය, මට එළිදරව්වක්. ස්වාමින්වහන්සේ මට සේවය කිරීමට අවශ්‍ය නිශ්චිත ධර්මදූතයට මා කැඳවා ඇති බව එවිට මම දැනගත්තා. ස්වර්ගයේ සිටින අපගේ පියාණන් ජෝසෆ් ස්මිත්ට කතා කොට, “මේ මාගේ ආදරණීය පුත්‍රයාය. ඔහුට සවන්දෙන්න!”18 කියූ විට ඇතිවූ නැවත පිහිටුවීම සහ එහි නාට්‍යාකාර ආරභය පිළිබඳ උගන්වමින් මම ඒ මහිමාන්විත අවුරුදු දෙක ගතකළා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපතට වසර 700 කට පෙර, යෙසායා ලබාදුන් අනාවැකිය මුළු සභාවටම ඉතාමත්ම වැදගත්: “මතු දවස් වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවන ලදුව හෙල් වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.”19

අද මගේ මනසින්, රූපවාහිනිය, අන්තර්ජාලය හෝ වෙනත් ක්‍රම මගින් ඉලෙක්ට්‍රොනිකව මෙම ක්‍රියාදාමයන්ට සම්බන්ධ අපගේ සාමාජිකයින් සහ මිතුරන් මිලියන ගණනක් මම සිතින් මවාගන්නවා. අපි වාඩිවී සිටින්නේ “කඳු මුදුනේ”20 සිටිනවා වගෙයි. “මෙය නිවැරදි ස්ථානයයි”21 යන අනාවැකිමය වචන කථා කළේ බ්‍රිගම් යන්ග් විසින්. සාන්තුවරයන්, ඔවුන්ගෙන් සමහරක් මගේම පුරෝගාමී මුතුන් මිත්තන්, පාෂාණ කඳුකරයේ සයොනය ස්ථාපිත කිරීමට කටයුතු කළේ “පොළොවේ ජාතීන් නියම කරන තැනැත්තාගේ කැමැත්තෙන් හා සතුටෙන්.”22

රූපය
2002 ඔලිම්පික් උළෙලේදී සෝල්ට් ලේක් දේවමාළිගාව

මිලියන ගණනක් නරඹන්නන් ආකර්ෂණය කර ඇති පූජනීය භූමියේ මම අද හිටගෙන සිටිනවා. 2002 දී සෝල්ට් ලේක් නගරයේ ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වූවා. සමාරම්භක උත්සවයේදී ටැබර්නකල් ගීතිකා කණ්ඩායම ගායනා කළ අතර, සභාව විසින් රටවල් ගණනාවක අමුත්තන් සහ සහභාගිවන්නන් සඳහා ප්‍රසංග හා වැඩසටහන් ඉදිරිපත් කළා. ලොව පුරා රාත්‍රී ප්‍රවෘත්ති විකාශනයේ පසුබිම තුළ දේවමාළිගාව දැකීම මට සැමවිටම මතකයි.

රූපය
සභාව සහ NAACP නායකයින්

වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපදයේ ජනාධිපතිවරු, රජවරු, විනිසුරුවන්, අගමැතිවරු, තානාපතිවරු සහ බොහෝ රටවල නිලධාරීන් සෝල්ට් ලේක් නගරයට පැමිණ අපගේ නායකයින් හමුවී තිබෙනවා. ජාතිය මත පදනම්ව වෙනස්කම් කිරීමකින් තොරව සමාන අයිතිවාසිකම් වෙනුවෙන් කැපවී සිටින එක්සත් ජනපද සංවිධානයක් වන වර්ණ ගැන්වූ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වූ ජාතික සංගමයේ නායකයින්ට සභාපති නෙල්සන් සත්කාරකත්වය සැපයූවා. සභාපති නෙල්සන් මේ මිතුරන් හා නායකයන් සමග එක්ව ලෝකයේ වඩා ශිෂ්ඨ සම්පන්නභාවයක් සහ වාර්ගික සමගිය ඉල්ලා සිටින විට, ඔවුන් සමග උරෙන් උර සිටි අයුරු මට මතකයි.23

තවත් බොහෝදෙනෙක් දේවමාළිගා චතුරශ්‍රයට පැමිණ සභාවේ නායකයන් සමග සාකච්ඡා කර තිබෙනවා. නිදසුනක් වශයෙන්, පසුගිය වසරේ, කිහිපයක් පමණක් නම් කරනවා නම්, එක්සත් ජාතීන්ගේ 68 වන සිවිල් සමාජ සමුළුව, ගෝලීය රැස්වීමක් සහ නිව්යෝර්ක් නගරයෙන් පිටතදී පැවැත්වූ පළමු අවස්ථාව අපි විසින් පිළිගත්තා. වියට්නාමයේ ආගමික කටයුතු පිළිබඳ කමිටුව, කියුබාව, පිලිපීනය, ආර්ජන්ටිනාව, රුමේනියාව, සුඩානය, කටාර් සහ සෞදි අරාබියේ තානාපතිවරුන් සමග අපි හමුවී තිබෙනවා. මුස්ලිම් ලෝක ලීගයේ මහලේකම්වරයාවද අපි පිළිගත්තා.

මා විස්තර කරන්නේ, අන්තිම දවස්වල ජාතීන් “ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්දට” ගලා එනු ඇත ලෙස යෙසායාගේ අනාවැකියේ ඉටුවීමක් පිළිබඳවයි.24 මහා සෝල්ට් ලේක් දේවමාළිගාව එම තේජසේ හා මහිමයේ කේන්ද්‍රයේ පිහිටා තිබෙනවා.

රූපය
සෝල්ට් ලේක් දේවමාළිගාවේ කොත

අපගේ පසුබිම විශ්මයජනක වුවත් මිනිසුන් ආකර්ෂණය කර ඇත්තේ භූ දර්ශනය නොවේ; එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සහ එහි ජනයාගේ ආත්මය, වර්ධනය, යහපත්කම සහ ත්‍යාගශීලිත්වය තුළ ප්‍රදර්ශනය කෙරෙන නිර්මල ආගමේ සාරයයි; “ක්‍රිස්තුස්වහන්සේගේ හේතුව” ලෙස ජෝසෆ් ස්මිත් හැඳින්වූ, දෙවියන්වහන්සේට ප්‍රේම කරන අපගේ ප්‍රේමය; උසස් අරමුණක් සඳහා වූ අපගේ කැපවීමයි.25

ගැලවුම්කරුවාණන් නැවත පැමිණෙන්නේ කවදාදැයි අපි දන්නේ නෑ, නමුත් මෙය අපි දන්නවා. බොහෝ කලකට පෙර අනාවැකි පැවසූ සියල්ලේම කොටසක් වීමට ලැබීම ගෞරවයක් සහිතව, උන්වහන්සේ පිළිගැනීමට සුදුසු වෙමින්, අප හදවතින්ම හා මනසින් සූදානම්ව සිටිය යුතුයි.

සභාපති රසල් එම්. නෙල්සන් යනු පොළොවේ ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා බවත්, ඔහුගේ පැත්තෙන් දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබූ ප්‍රේරිතවරුන්, අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් සිටින බවත් මම සාක්ෂි දරනවා. එමෙන්ම, මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, නැවත පිහිටුවීම දිගටම සිදුවෙනවා.

සත්‍ය යැයි මම සාක්ෂි දරන, ජෝසෆ් ස්මිත්ගේ මෙම අනාවැකිය සමග මම අවසාන කරන්නම්: “කිසිඳු අතකට මෙම කාර්යය ඉදිරියට යාම වැළැක්විය නොහැක; පීඩා කෝපයෙන් පැමිණිය හැකිය, මැරයන් ඒකාබද්ධ විය හැකිය, හමුදාව එක්රැස් විය හැකිය, නින්දා අපහාස විය හැකිය, නමුත් එය සෑම මහාද්වීපයකටම විනිවිද යන තෙක්, සෑම දේශගුණයකටම ගොස්, සෑම රටක්ම අතුගා දමා, සෑම කනටම හඬ නගන තුරු, දෙවියන්වහන්සේගේ අරමුණු ඉටුවන තුරු, දෙවියන්වහන්සේගේ සත්‍යය නිර්භීතව, උදාරව හා ස්වාධීනව ඉදිරියට යනු ඇත, එවිට එම කාර්යය අවසාන බව ශ්‍රේෂ්ඨ යෙහෝවා පවසනු ඇත.”26 ජෝසෆ් ස්මිත්ගේ මෙම අනාවැකි ඉටුවෙමින් පවතින බවට මම සාක්ෂි දෙනවා.

අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා, සභාපති රසල් එම්. නෙල්සන්, ප්‍රේරිතවරුන් සහ අනෙකුත් සභා නායකයින්ගේ ආනුභාව ලත් උපදෙස් අනුගමනය කරන විට, අපේ දවස ගැන පුරෝකථනය කළ පුරාණ අනාගතවක්තෘවරුන්ට ඔබ අවනත වන විට, ඔබේ හදවතේ සහ ප්‍රාණයේ ගැඹුරේ, ආත්මයාණන් හා නැවත පිහිටුවීමේ කාර්යය සමග ඔබ පිරී යනු ඇති බවට, මම පොරොන්දු වෙනවා. ඔබගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ හස්තය ඔබ දකිනු ඇතැයි, උන්වහන්සේගේ පෙළඹවීම් ඇසෙනු ඇතැයි සහ උන්වහන්සේගේ ප්‍රේමය දැනෙනු ඇතැයි මම පොරොන්දු වෙනවා. උන්වහන්සේගේ අසමසම ප්‍රේමයට සාක්ෂි වශයෙන්, උන්වහන්සේගේ ශුභාරංචිය සහ සභාව නැවත පිහිටුවීම පිළිබඳව කෘතඥතාවෙන් යුතුව, යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්, ආමෙන්.