ප්‍රධාන සම්මන්ත්‍රණය
ජීවිතයේ කුණාටු වලින් රැකවරණය සෙවීම
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ජීවිතයේ කුණාටු වලින් රැකවරණය සෙවීම

අපේ ජීවිත වලට පහර දෙන කුණාටු නොසලකා, අප සියලුදෙනාටම අවශ්‍ය වන රැකවරණය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමයි.

90 දශකයේ මැද භාගයේදී, මගේ විශ්වවිද්‍යාල කාලය තුළ, මම චිලී හි සන්තියාගෝ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සිව්වන සමාගමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළා. එහි සේවය කරන අතරතුර, රාත්‍රී ආරක්ෂක භටයාගේ කොටසක් ලෙස ගිනි නිවන ස්ථානයේම මම වාසය කලා. අවුරුද්ද අවසානයේදී, අලුත් අවුරුදු දිනයේ ගිනි නිවන ස්ථානයේ සිටිය යුතු බව මට පැවසුවේ, සෑමවිටම වාගේ එදින හදිසි තත්වයක් පැවතිය හැකි නිසායි. පුදුමයට පත්වී, මම, “ඇත්තද?” කියා පිළිතුරු දුන්නා.

මධ්‍යම රාත්‍රියේදී, සන්තියාගෝ නගරයේ ගිනිකෙළි ආරම්භ වන විට, මගේ සහයකයන් සමග බලා සිටීම මට හොඳාකාරවම මතකයි. අපි අලුත් අවුරුද්දට සුබ පැතුම් පතමින් එකිනෙකාව බදාගන්න පටන්ගත්තා. හදිසියේම ගිනි නිවන ස්ථානයේ සීනුව නාදවීමට පටන්ගත්තේ, හදිසි අවස්ථාවක් ඇති බව අඟවමින්. අපි අපේ උපකරණ අරගෙන ගිනි එන්ජිමට පැන්නා. හදිසි අවස්ථාව සඳහා යන ගමනේදී, නව වසර සමරන මිනිසුන් සමූහයක් පසුකර යන විට, ඔවුන් බොහෝදුරට නොසැලකිලිමත් හා අපරික්ශාකාරී බව මම දුටුවා. ඔවුන් සැහැල්ලුවෙන් හා සතුටින් උණුසුම් ගිම්හාන රාත්‍රිය භුක්තිවිඳිමින් සිටියා. එහෙත් අසල කොතැනක හෝ, අපි උදව් කිරීමට ඉක්මන් වූ මිනිසුන් බරපතල කරදරයක වැටී සිටියා.

අපගේ ජීවිත ඇතැම් විට සාපේක්ෂව මෘදුව පැවතියත්, අප විඳදරාගැනීමට අපට ඇති හැකියාවෙහි සීමාවන් තල්ලු කරන අනපේක්ෂිත අභියෝග හා කුණාටු වලට අප මුහුණදෙන කාලය අප සෑම කෙනෙකුටම පැමිණෙනු ඇති බව තේරුම්ගැනීමට මෙම අත්දැකීම මට උපකාර වුනා. ශාරීරික, මානසික, පවුල් සහ රැකියා අභියෝග; ස්වාභාවික විපත්; ජීවිතයේ හෝ මරණයේ වෙනත් කාරණා මේ ජීවිතයේදී අප මුහුණදෙන කුණාටු පිළිබඳ උදාහරණ කිහිපයක්.

මෙම කුණාටු වලට මුහුණදෙන විට, අපි බොහෝ විට බලාපොරොත්තු සුන්වීමේ හෝ භීතියේ හැඟීම් අත්දකිනවා. අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල—“ඇදහිල්ල යනු භීතියට විශ නාශක ඖෂධයක්” කියා සභාපති රසල් එම්. නෙල්සන් පැවසුවා (“Let Your Faith Show,” Liahona, May 2014, 29). මිනිසුන්ගේ ජීවිත වලට බලපාන කුණාටු මා දැක ඇති නිසා, කුමන ආකාරයේ කුණාටුවක් අපට පහර දුන්නත්—එයට විසඳුමක් තිබේද යන්න හෝ අවසානයක් පෙනීමට තිබේද යන්න නොසලකා—ඇත්තේ එක් රැකවරණයක් පමණක් වන බවත්, එය සියලු වර්ග වල කුණාටු සඳහා සමාන වන බවත් මම නිගමනය කළා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ විසින් සපයන ලද මෙම තනි රැකවරණය අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමයි.

අපෙන් කිසිවෙකුත් මෙම කුණාටු වලට මුහුණදීමෙන් නිදහස් වන්නේ නෑ. මොර්මොන්ගේ පොතෙහි අනාගතවක්තෘවරයෙකු වන, හිලමන් අපිට මෙසේ ඉගැන්වූවා: “සිහිකරන්න, එනම් නුඹලා නුඹලාගේ අත්තිවාරම ගොඩනැගිය යුත්තේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයා වූ ක්‍රිස්තුස්වහන්සේ වූ අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය මතය; එනම් යක්ෂයා ඔහුගේ බලවත් කුණාටුවන්, එසේය, සුළි සුළඟින් ඊතලයන් පමුණුවන විට, එසේය, දුක්ඛිතකමේ ආගාධයට සහ අනන්ත වේදනාවට පහතට ඇදගෙන යාමට එයට නුඹලා මත බලයක් නොවන්නේය, මක්නිසාද නුඹලා ගොඩනගා තිබෙන්නාවූ එම පර්වතය හෙයිනි, එය ස්ථීර අත්තිවාරමක්ය, එම අත්තිවාරම මත මනුශ්‍යයා ගොඩනගන්නේ නම් ඔහු නොවැටෙන්නෝය” (හිලමන් 5:12).

කුණාටු විඳදරාගැනීම පිළිබඳ තමාගේම අත්දැකීම් ඇති වැඩිහිටි රොබට් ඩී. හේල්ස්, පැවසූ පරිදි, “දුක් වේදනා විශ්වයට පොදුය; දුක් වේදනා වලට අප ප්‍රතික්‍රියා කරන ආකාරය පුද්ගලිකය. දුක් වේදනා අපව මාර්ග දෙකෙන් එකක ගෙන යා හැකිය. එය ඇදහිල්ල සමග ඒකාබද්ධ වූ ශක්තිමත් කිරීමේ හා පිරිසිඳු කිරීමේ අත්දැකීමක් විය හැකිය, නැතහොත් ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය පිළිබඳව අපට විශ්වාසයක් නොමැති නම් එය අපගේ ජීවිත වල විනාශකාරී බලවේගයක් විය හැකිය” (“Your Sorrow Shall Be Turned to Joy,” Ensign, Nov. 1983, 66).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම ලබාදෙන රැකවරණය භුක්තිවිඳීමට නම්, අපට උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් තිබිය යුතුය—එය සීමාසහිත, ලෞකික දෘශ්ඨිකෝණයක සියලු වේදනා වලට වඩා ඉහළට නැගීමට අපට ඉඩ සලසන ඇදහිල්ලක් විය යුතුය. අප කරන සෑම කටයුත්තකදීම අප උන්වහන්සේ වෙතට පැමිණියහොත් උන්වහන්සේ අපගේ බර සැහැල්ලු කරන බවට උන්වහන්සේ අපට පොරොන්දු වී ඇත.

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න,” උන්වහන්සේ පැවසීය, “මම ඔබ සැමට සහනය දෙමි”.

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; මක්නිසාද මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින්: නුබලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය.

“මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය” (මත්ව් 11:28–30; තවත් බලන්න මොසායා 24:14–15).

එය මෙසේ පවසා ඇත “ඇදහිල්ල ඇති කෙනෙකුට පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවේ. ඇදහිල්ල නොමැති කෙනෙකුට, පැහැදිලි කිරීමක් කළ නොහැකිය.” (මෙම ප්‍රකාශය තෝමස් ඇක්වයිනාස් වෙත ආරෝපණය කර ඇති නමුත් බොහෝ විට ඔහු ඉගැන්වූ දේවල ලිහිල් අක්ෂර වින්‍යාසයකි.) කෙසේවෙතත්, ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව අපට ඇත්තේ සීමිත අවබෝධයක් වන අතර, බොහෝවිට අපට ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු නැත. මෙහෙම වෙන්නේ ඇයි? මෙය මට සිදුවන්නේ ඇයි? මෙයින් මම ඉගෙනගත යුත්තේ කුමක්ද? පිළිතුරු අපෙන් මගහැරෙන විට, අපගේ ගැලවුම්කරුවාණන් ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට ලිබර්ටි බන්ධනාගාරයේදී ප්‍රකාශ කළ වචන සම්පූර්ණයෙන්ම අදාළ වන්නේ එවිටයි:

“මාගේ පුත්‍රය, ඔබේ ආත්මයට සැනසීම ලැබේවා; ඔබේ විපත්තිය හා දුක් පීඩා සුළු මොහොතකට පමණි.

“එසේනම්, ඔබ එය හොඳින් විඳදරාගන්නේ නම්, දෙවියන්වහන්සේ ඉහලදී ඔබව උත්කෘෂ්ඨත්වයට පත්කරනු ඇත” (දහම සහ ගිවිසුම 121:7–8).

බොහෝ අය ඇත්ත වශයෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කළත්, ප්‍රධාන ප්‍රශ්ණය වන්නේ අප උන්වහන්සේව විශ්වාස කරනවාද සහ උන්වහන්සේ අපට උගන්වන හා අපෙන් ඉල්ලා සිටින දේවල් අප විශ්වාස කරනවාද? යන්නයි. සමහර විට කෙනෙකුට මෙසේ සිතිය හැකියි “මට සිදුවන දේ ගැන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දන්නේ කුමක්ද? මට සතුටුවීමට අවශ්‍ය කුමක්ද කියා උන්වහන්සේ දන්නේ කොහොමද?” ඇත්තවශයෙන්ම, යෙසායා අනාගතවක්තෘවරයා මෙසේ පැවසුවේ අපගේ මිදුම්කරුවාණන් සහ මැදිහත්කරුවාණන් පිළිබඳවය:

“උන්වහන්සේ මනුශ්‍යයන් විසින් සුළුකොට එපා කරනු ලැබූසේක; වේදනා ඇත්තාවූ, දුකදන්නාවූ මනුශ්‍යයෙක්ය.

“සැබවින්ම උන්වහන්සේ දරාගත්තේ අපේ දුකය, දරාගත්තේ අපේ ශෝකයය. …

“එහෙත් උන්වහන්සේ තුවාල ලැබුයේ අපගේ අපරාධ නිසාය, උන්වහන්සේ පොඩිකරනු ලැබුයේ අපගේ අයුතුකම් නිසාය: අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුනේය; තවද උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ” (යෙසායා 53:3–5).

ප්‍රේරිත පේත්‍රැස්ද ගැළවුම්කරුවාණන් ගැන අපට මෙසේ පවසමින්, ඉගැන්වූවා, “අප පාප වලින් නැසී ධර්මිෂ්ඨකමින් ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේම ශරීරයෙන් එම ගස පිටදී අපගේ පාපයන් ඉසිලූ සේක: උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුවකරනු ලැබුවහුය” (1 පේත්‍රැස් 2:24).

පේත්‍රැස්ගේ දිවි පිදීමේ කාලය ආසන්න වෙමින් තිබුණද, ඔහුගේ වචන භීතියෙන් හෝ අශුභවාදී හැඟීම් වලින් පිරී තිබුනේ නැත; ; ඒ වෙනුවට, ඔහු සාන්තුවරයන්ට ඉගැන්වූයේ “විවිධාකාර පරීක්ෂාවන්ගෙන් බර වූවත්” “ප්‍රීති වන්න” කියායි. “[අපගේ] ඇදහිල්ලේ පරීක්ශාව, … සෝදිසි කරන්නේ ගින්නෙන් වුවද,” එය මගපාදන්නේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවත්, මහිමයත්, ගෞරවයත් පැමිණෙන පිණිස” සහ “[අපගේ] ආත්ම වල ගැලවීමට” බව මතකතබාගනීමට පේත්‍රැස් අපට උපදෙස් දී ඇත (1 පේත්‍රැස් 1:6–7, 9).

පේත්‍රැස් තවදුරටත් මෙසේ පැවසුවා:

“ප්‍රේමවන්තයෙනි, නුඹලාව සෝදිසි කිරීම සඳහා පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක් මෙන් පුදුම නොවෙල්ලා:

“නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව් වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක්විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිවෙයල්ලා” (1 පේත්‍රැස් 4:12–13).

සභාපති රසල් එම් නෙල්සන් මෙසේ ඉගැන්වීය, “ඕනෑම තත්වයක් යටතේ සාන්තුවරයන්ට සතුටු විය හැකිය. … අපගේ ජීවිතයේ අවධානය යොමුවී ඇත්තේ දෙවියන්වහන්සේගේ ගැලවීමෙ සැලැස්ම … හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය මත නම්, අපගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ—හෝ සිදුනොවන දේ කුමක් වුවත් අපට ප්‍රීතිය දැනිය හැකියි. ප්‍රීතිය පැමිණෙන්නේ උන්වහන්සේ තුලින් සහ උන්වහන්සේ නිසාය. සියලු ප්‍රීතියේ උල්පත උන්වහන්සේය” (“Joy and Spiritual Survival,” Liahona, Nov. 2016, 82).

සැබවින්ම, කුණාටුව අතරතුර ජීවත් වී මෙම දේවල් අදාළ කරගන්නවාට වඩා අප කුණාටුවක් මධ්‍යයේ නොසිටින විට මේ දේවල් පැවසීම පහසුය. නමුත් ඔබේ සහෝදරයා වශයෙන්, අපගේ ජීවිත වලට පහර දෙන කුණාටු නොසලකා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම අප සැමට අවශ්‍ය රැකවරණය බව දැනගැනීම කොතරම් වටිනවාදැයි, ඔබ සමග බෙදාගැනීමට අවංකවම මට අවශ්‍ය බව ඔබට හැඟෙනවා ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

අපි සියළුදෙනාම දෙවියන්වහන්සේගේ දරුවන් බව, උන්වහන්සේ අපට ආදරය කරන බව, සහ අපි තනියම නොවන බව මම දන්නවා. ඔබේ බර සැහැල්ලු කර ගැනීමටත්, ඔබ සොයන රැකවරණය වීමටත් උන්වහන්සේට හැකි බව දැක බලා ගන්නා ලෙස මම ඔබට ආරාධනා කරනවා. අන් අය ප්‍රාර්ථනා කරන රැකවරණය සොයාගැනීමට පැමිණ ඔවුන්ට උදව් කරන්න. ජීවිතයේ කුණාටු වලට එරෙහි වීමට ඔබට උපකාරී වන, මෙම රක්‍ෂිතයේ අප සමග පැමිණ සිටින්න. ඔබ පැමිණියහොත් ඔබට පෙනෙනු ඇති බවට, ඔබ උදව් කරනු ඇති බවට සහ ඔබ රැඳී සිටිනු ඇති බවට මගේ සිතේ කිසිදු සැකයක් නැත.

අනාගතවක්තෘ ඇල්මා තම පුත් හිලමන්ට පහත සඳහන් දේ සාක්ශි දැරුවා: “කවරෙකු වුවත් ඔහුගේ විශ්වාසය දෙවියන්වහන්සේ තුළ තබන්නේද, ඔවුන්ගේ පරික්ශාවන් තුළදීද, ඔවුන්ගේ පීඩා වලදීද උපකාර ලබන්නේය, තවද අවසන් දවසේදී ඔසවනු ලබන බවද මම දන්නෙමි” (ඇල්මා 36:3).

ගැලවුම්කරුවාණන්ම මෙසේ පැවසීය:

“ඔබේ හදවත් සනසනු ලැබේවා … ; සියලු මාංසය මාගේ අතෙහිය; නිශ්චලව සිට මා දෙවියන් බව දැනගන්න. …

“එබැවින්, මරණයට පවා බිය නොවන්න; මක්නිසාද මෙලොවදී ඔබේ ප්‍රීතිය සම්පූර්ණ නැත, නමුත් මා තුළ ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ වේ” (දහම සහ ගිවිසුම 101:16, 36).

අවස්ථා ගණනාවකදී මගේ හදවත ස්පර්ශ කර ඇති “Be Still, My Soul,” යන ගීතිකාව අපගේ ආත්ම වලට සැනසිලිදායක පණිවිඩයක් සපයනවා. එහි පද පහත සඳහන් අයුරින් කියවෙනවා:

නිශ්චලව සිටින්න, මාගේ ආත්මය: පැය ඉක්මනින් පැමිණේ

අප සදහටම ස්වාමින්වහන්සේ සමග සිටින,

කලකිරීම, දුක සහ භය නැතිවූ විට,

ශෝකය අමතක වී, ප්‍රේමයේ පිරිසිඳු ප්‍රීතිය නැවත පිහිටුවන තුරු.

නිශ්චලව සිටින්න, මාගේ ආත්මය: වෙනස් වීම සහ කඳුළු පසුවූ විට,

ආරක්ශිතව අහ ආශිර්වාදිතව අවසානයේදී අප හමුවෙමු. (Hymns, no. 124)

අප ජීවිතයේ කුණාටු වලට මුහුණදෙන විට, අපගේ රැකවරණය ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම මත අපගේ විශ්වාසය තැබීමට අප උපරිම උත්සහයන් දරනවා නම්, අප සොයන සහනයෙන්, සැනසීමෙන්, ශක්තියෙන්, හික්මීමෙන් සහ සාමයෙන් අපට ආශිර්වාද කරනු ඇත, අපගේ හදවත් වල ස්ථිරත්වයෙන් යුතුව මිහිපිට අපගේ කාලය අවසානයේදී “යහපත් වූ විශ්වාස වූ දාසය, ඔබ හොඳින් කළා: නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වන්න” යයි ස්වාමින්වහන්සේගේ වචන අපට ඇසෙනු ඇත (මතෙව් 25:21). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.