ප්‍රධාන සම්මන්ත්‍රණය
උදව් සඳහා ස්වර්ග විවෘත කිරීම
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


උදව් සඳහා ස්වර්ග විවෘත කිරීම

අපි ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ක්‍රියාත්මක කරමු!

මෙය මොනතරම් සුවිශේෂී හා පුදුමාකාර සැසියක්ද! ආදරණීය ලෝඩි සහ එන්සෝ, ඔබට ස්තූතියි. ඔබ සභාවේ විශිෂ්ඨ තරුණ පිරිමින් හා තරුණ කාන්තාවන්ව ඉතාමත් හොඳින් නියෝජනය කළා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, සභාවේ නැවත පිහිටුවීම ගැන අද බොහෝ දේ අප ඇසුවා—ඒ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය පොළොවේ දේවසේවයේදී පිහිටුවන ලද සභාවමයි. මෙම නැවත පිහිටුවීම ආරම්භ වූයේ මීට වසර 200 කට පෙර මෙම වසන්තයේදී, පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තරුණ ජෝසෆ් ස්මිත්ට පෙනී සිටීමෙනුයි.

මෙම ශ්‍රේෂ්ඨ දර්ශනයෙන් වසර දහයකට පසු, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා සහ තවත් පස්දෙනෙකු ස්වාමින්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ ආරම්භක සාමාජිකයන් ලෙස කැඳවනු ලැබුවා.

1830 අප්‍රියෙල් 6 වන දින රැස්වූ එම කුඩා කණ්ඩායමේ සිට සාමාජිකයින් මිලියන 16 කට වැඩි පිරිසකගේ ගෝලීය සංවිධානයක් දක්වා එය පැමිණ තිබෙනවා. මිනිසුන්ගේ දුක් වේදනා සමනය කිරීම සහ මානව වර්ගයාගේ අභිවෘද්ධිය සැපයීම සඳහා මෙම සභාව ලොව පුරා ඉටුකරන යහපත් දේ පුළුල් ලෙස දන්නා කරුණක්. නමුත් එහි මූලික පරමාර්ථය නම් පුරුෂයින්ට, ස්ත්‍රීන්ට සහ දරුවන්ට ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට සහ සියලු ආශිර්වාද සඳහා සුදුසුකම් ලැබීමට උපකාර කිරීමයි—එනම් දෙවියන්වහන්සේ හා ඔවුන්ගේ ආදරණීයයන් සමග සදාකාල ජීවනය ලැබීමයි.1

1820 දී දියත් කළ සිද්ධිය අපි සමරන විට, ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයකු ලෙස අප ගරු කරන අතරම, මෙය ජෝසෆ් ස්මිත්ගේ සභාව හෝ මෝර්මොන්ගේ සභාව නොවන බව මතකතබාගැනීම වැදගත්. මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවයි. උන්වහන්සේගේ සභාව හරියටම හැඳින්විය යුතු ආකාරය උන්වහන්සේ නියම කළා: “මක්නිසාද මාගේ සභාව අන්තිම දවස්වල හඳුන්වනු ලැබෙන්නේ මෙලෙසයි, එනම් යේසුස් ක්‍රිස්තුවහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ලෙසයි.”2

සභාවේ නම සඳහන් කරන ආකාරයට අවශ්‍ය කාරණා නිවැරදි කිරීමක් ගැන මම මීට පෙර කතා කළා.3 එතැන් පටන්, මෙම නිවැරදි කිරීම සාක්ෂාත් කරගැනීම සඳහා බොහෝ දේ කර තිබෙනවා. මෙම ප්‍රයත්නයන් මෙහෙයවීම සඳහා බොහෝදේ කර ඇති, සභාපති එම්. රසල් බැලර්ඩ්ට සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූර්ණයට මෙන්ම අද සවස මම නිවේදනය කරන වෙනත් මුලපිරීමකට සම්බන්ධ අයටද මම කෘතඥ වෙනවා.

සභාවේ නායකයන් සහ අංශ, ආශ්‍රිත ආයතන සහ මිලියන සංඛ්‍යාත සාමාජිකයන්—සහ වෙනත් අය දැන් සභාවේ නිවැරදි නම භාවිතා කරනවා. සභාවේ නිල ශෛලී මාර්ගෝපදේශය සකස් කර තිබෙනවා. සභාවේ ප්‍රධාන වෙබ් අඩවිය දැන් ChurchofJesusChrist.org වේ. විද්‍යුත් තැපැල්, පාලන ප්‍රදේශ වල නම් සහ සමාජ මාධ්‍ය නාලිකා සඳහා ලිපින යාවත්කාලීන කර තිබෙනවා. අපගේ ආදරණීය ගායනා කණ්ඩායම දැන් “දේවමාළිගා චතුරශ්‍රයේ ටැබර්නකල් ගීතිකා කණ්ඩායම” වෙනවා.

ස්වාමින්වහන්සේගේ නාමය උන්වහන්සේගේ සභාවේ නාමයෙන් ඉවත් කරන විට, අපගේ නමස්කාරයේ සහ අපගේ ජීවිතයේ කේන්ද්‍රීය කේන්ද්‍රස්ථානය ලෙස අපි නොදැනුවත්වම උන්වහන්සේව ඉවත් කරන බැවින්, අප මෙම අසාමාන්‍ය උත්සාහයන් වෙත ගොස් තිබෙනවා. අපි බව්තීස්මයේදී ගැලවුම්කරුවාණන්ගේ නාමය අප මතට ගත් විට, අපගේ සිතුවිලි හා ක්‍රියාවන් මගින්, යේසුස්වහන්සේ, ක්‍රිස්තුස් බව සාක්ෂි දීමට අපි බැඳී සිටිනවා.4

“ස්වාමින්වහන්සේගේ සභාවේ නිවැරදි නාමය නැවත පිහිටුවීමට අපි අපේ උපරිමය කරනවා නම්” උන්වහන්සේ “උන්වහන්සේගේ බලය හා ආශිර්වාදය පසු-දවස්වල ශුද්ධවන්ත ප්‍රධානීන් මතට අප කෙදිනවත් දැක නැති ආකාරයට වත්කරනු ඇති,” බව මීට පෙර, මම පොරොන්දු වුනා.5 මම අද එම පොරොන්දුව අලුත් කරනවා.

උන්වහන්සේව සිහිපත් කිරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ස්වාමින්වහන්සේගේ සභාව ලෙස හඳුනාගැනීමට අපට උපකාර කිරීම සඳහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ කේන්ද්‍රීය ස්ථානය සංකේතවත් කරන සංකේතයක් හඳුන්වාදීමට අපි සතුටු වෙනවා.

මෙම සංකේතයට සභාවේ නම මුල් ගලක් තුළ අඩංගු වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රධාන මුල් ගලයි.6

රූපය
මුල් ගල සහිත වචන සලකුණ

සංකේතයේ මධ්‍යයේ තෝර්වල්ඩ්සන්ගේ Christus කිරිගරුඬ පිළිමයේ නිරූපණයක්ද වනවා. මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ, ජීවමාන ස්වාමින්වහන්සේ තමා වෙතට එන සියල්ලන් වැලඳගැනීමට දෑත් දිගුකරන බව එය නිරූපණය කරනවා.

සංකේතාත්මකව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආරුක්කුවක් යට සිටගෙන සිටිනවා. උන්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමෙන් පසු තුන්වන දින මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ ගැළවුම්කරුවාණන් ලෙස සොහොනෙන් ඉස්මතු වන බව ආරුක්කුව අපට මතක් කර දෙනවා.

රූපය
නව සභා සංකේතය

නැවත පිහිටවූ ශුභාරංචිය ජීවමාන, මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ සමග අප දිගු කලක් තිස්සේ හඳුනාගෙන ඇති බැවින් මෙම සංකේතය බොහෝදෙනෙකුට හුරුපුරුදු විය යුතුයි.

මෙම සංකේතය දැන් සභාවේ නිල සාහිත්‍යය, ප්‍රවෘත්ති සහ සිදුවීම් සඳහා දෘශ්‍ය හඳුනාගැනීමක් ලෙස භාවිතා කරනු ලැබෙයි.7 මෙය ගැලවුම්කරුවාණන්ගේ සභාව බවත්, උන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් වශයෙන් අප කරන සියල්ලම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය කේන්ද්‍රගත කරන බවත් එය මතක්කර දෙනු ලැබෙයි.

දැන්, මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, වැඩිහිටි ගොන්ග් ඉතා දක්ෂ ලෙස උගන්වා ඇති පරිදි, හෙට ගොක් ඉරිදායි. ඉන්පසු පාස්කුව සමග අවසන් වන විශේෂ සතියට අපි ඇතුල් වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, COVID-19 වසංගතය මුලු ලෝකයම කලබලයට පත්කළ දිනක ජීවත්වන අතර, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කිරීම හෝ ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කිරීම හෝ ක්‍රිස්තුස්වහන්සේ නියෝජනය කරන සංකේතයක් භාවිතා කිරීම පමණක් නොකරමු.

අපි ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ක්‍රියාත්මක කරමු!

ඔබ දන්නා පරිදි, සභාවේ සාමාජිකයන් සෑම මසකම එක් දිනක් උපවාසයේ නීතිය පිළිපදිනවා.

නිරාහාරව සිටීම පිළිබඳ මූලධර්මය පැරණියි. එය ඈත අතීතයේ සිටම බයිබලානුකුල වීරයන් විසින් අනුගමනය කරනු ලැබ තිබෙනවා. මෝසෙස්, දාවිත්, එස්රා, නෙහෙමියා, එස්තර්, යෙසායා, දානියෙල්, ජොයෙල් සහ තවත් බොහෝදෙනෙක් නිරාහාරව සිටියා ඒවගේම නිරාහාරය ගැන දේශනා කළා.8 යෙසායාගේ ලියවිලි තුළින්, ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා: “දුෂ්ටකම් ලිහිල් කිරීමට, අධික බර ඉවත්කිරීමට සහ පීඩිතයන්ට නිදහස් වීමට? මා තෝරාගත් උපවාසය මෙය නොවේද?”9

ප්‍රේරිත පාවුල් කොරින්තියේ සාන්තුවරයන්ට අවවාද කළේ “නිරාහාරයට හා යාච්ඤාවට යටත් වන්න” කියායි.10 “යාච්ඤාවෙන් හා නිරාහාරව සිටීමෙන් මිස හැර නමුත්” සමහර දේවල් පිටතට නොයන්නේය ලෙස ගැළවුම්කරුවාණන්ම ප්‍රකාශ කළා.11

මම මෑතකදී සමාජ මාධ්‍ය වීඩියෝවකින් මෙසේ පැවසුවා “වෛද්‍යවරයකු හා ශල්‍ය වෛද්‍යවරයකු ලෙස, COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා පැය 24 පුරාම වැඩ කරන වෛද්‍ය වෘත්තිකයන්, විද්‍යාඥයින් සහ සෑමදෙනාම කෙරෙහි මට ශ්‍රේෂ්ඨ අගය කිරීමක් තිබෙනවා.”12

දැන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සභාපති සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙකු ලෙස, මම මෙය දන්නවා “මක්නිසාද උන්වහන්සේට සියලු බලය, සියලු ප්‍රඥාව, තවද සියලු තේරුම්ගැනීම ඇත්තේය; උන්වහන්සේ සියල්ල වටහාගන්නා සේක, ගැලවීම වෙතට වුවත්, පසුතැවිලි වෙමින් උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන්නන්ටද උන්වහන්සේ කරුණාවන්ත තැනැන්වහන්සේය.”13

එබැවින්, රෝගාබාධ වසංගත අනුපාතයකට ළඟාවන විට මෙන් ගැඹුරු විපත් කාල වලදී, අපට කළ හැකි ස්වාභාවිකම දෙය නම්, අපගේ ස්වර්ගික පියාණන් සහ උන්වහන්සේගේගේ පුත්‍රයා වන—සුවකිරීමේ ස්වාමියාණන්ට—පොළොවේ ජනයාට ආශිර්වාද කිරීම සඳහා උන්වහන්සේලාගේ පුදුමාකාර බලය පෙන්වීමට ඉල්ලා සිටීමයි.

මගේ වීඩියෝ පණිවුඩයේ, 2020 මාර්තු 29 වන ඉරිදා උපවාසයට එක්වන ලෙස මම සැමට ආරාධනා කළා. ඔබගෙන් බොහෝ දෙනෙක් වීඩියෝව දැක උපවාසයට සම්බන්ධ වන්නට ඇති. සමහරුන් එසේ නොවන්නට පුළුවන්. දැන් අපට ස්වර්ගයේ උපකාර තවමත් අවශ්‍යයි.

ඉතින් අද රෑ, මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, බොහෝ නිරාහාරව හා යාච්ඤාවට කැපවූ මොසායාගේ පුතුන්ගේ ආත්මයෙන්,14 සහ අපගේ 2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස, මම තවත් ලොව පුරා උපවාසයක් ඉල්ලා සිටිනවා. සෞඛ්‍යය තත්වයන්ට ඉඩදිය හැකි සියල්ලන්ටම, අපි නැවත වරක් නිරාහාරව සිට යාච්ඤා කරමින්, අපගේ ඇදහිල්ල එකතු කරමු. මෙම ගෝලීය වසංගතයෙන් මිදීමට අපි යාච්ඤාශීලීව අයැද සිටිමු.

වර්තමාන වසංගතය පාලනය කිරීමට, රැකබලා ගන්නන් ආරක්ෂා කිරීමට, ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ජීවිතය සාමාන්‍ය තත්වයට පත්කිරීමට අපේ ඇදහිල්ලේ නැති අය ඇතුළු සියලුදෙනාටම අප්‍රියෙල් 10 වන මහ සිකුරාදා නිරාහාරව යාච්ඤා කරන ලෙස මම ආරාධනා කරනවා.

අපි නිරාහාරව සිටින්නේ කොහොමද? ආහාර වේල් දෙකක් හෝ පැය 24 ක කාලයක් සිරිතයි. නමුත් ගැළවුම්කරුවාණන් ඔබ වෙනුවෙන් කළ උත්තරීතර පරිත්‍යාගය ඔබට මතක ඇති පරිදි, ඔබ වෙනුවෙන් කැපකිරීමක් යනු කුමක්දැයි ඔබ තීරණය කළ යුතුයි. ලොව පුරා සුවය ඉල්ලා ආයාචනා කිරීමේදී අපි එක්සත් වෙමු.

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් අපට සවන්දීමට සලස්වන සුදුසුම දිනය මහ සිකුරාදා විය හැකියි!

ආදරණීය සහෝදර සහෝදරියනි, මම ඔබ කෙරෙහි ඇති ගැඹුරු ප්‍රේමයත්, අප නිරතව සිටින කාර්යයේ දේවත්වය පිළිබඳ මගේ සාක්ෂියත් මම ප්‍රකාශ කරනවා. මේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවයි. උන්වහන්සේ එහි මුදුනේ සිටගෙන අප කරන සියල්ල මෙහෙයවනවා. උන්වහන්සේ තම සෙනගගේ ආයාචනා වලට ප්‍රතිචාර දක්වන බව මම දන්නවා. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.