ප්‍රධාන සම්මන්ත්‍රණය
උන්වහන්සේට සවන්දෙන්න
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


උන්වහන්සේට සවන්දෙන්න

අප අවිනිශ්චිතතාවයෙන් හා භීතියෙන් වටවී සිටින විට, අපට වඩාත්ම උපකාරවත් වන්නේ උන්වහන්සේගේ පුත්‍රයාණන්ට ඇහුම්කන්දීම බව අපගේ පියාණන්වහන්සේ දන්නවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, තාක්‍ෂණය භාවිතයෙන් මෙම ඉරිදා උදෑසන නමස්කාර කිරීමට සහ අපට එකට හමුවීමට හැකිවීම ගැන මම කොතරම් ස්තූතිවන්ත වෙනවාද. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පොළොවට නැවත පිහිටුවා ඇති බව දැනගැනීමට ලැබීම අපට කොතරම් භාග්‍යයක්ද!

පසුගිය සති කිහිපය තුළ, අපගෙන් බොහෝදෙනෙක් අපගේ පෞද්ගලික ජීවිතයේ බාධාවන් අත්විඳ තිබෙනවා. භූමිකම්පා, ගිනි, ගංවතුර, වසංගත සහ ඒවායේ ප්‍රතිඵල නිසා චර්යාවන් කඩාකප්පල් වී ඇති අතර ආහාර, වැවිලි හා ඉතුරුම් හිඟයක් ඇතිවී තිබෙනවා.

මේ සියල්ල මධ්‍යයේ, මෙම කැළඹිලි කාලය තුළ ප්‍රධාන සම්මන්ත්‍රණයට අප හා එක්වෙමින් ස්වාමින්වහන්සේගේ වචනය ඇසීමට තෝරාගැනීම ගැන අපි ඔබට ප්‍රශංසා කරනවා සහ ස්තූතිවන්ත වෙනවා. පීඩා සමග වැඩි වන අන්ධකාරය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය කවරදාටත් වඩා දීප්තියෙන් බබළවනවා. බලවත් කැළඹීම් ඇති මේ කාලය තුළ අපට එකිනෙකාට කළ හැකි යහපත් දේ ගැන සිතා බලන්න. ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබ තුළ ඇති ප්‍රේමය හා ඇදහිල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම සොයාගැනීමට යමෙකුට උත්ප්‍රේරකයක් විය හැකියි.

පසුගිය අවුරුදු දෙක තුළ, නෙල්සන් සහෝදරිය සහ මම ලොව පුරා ඔබ දහස් ගණනක් මුණගැසී තිබෙනවා. එළිමහන් ක්‍රීඩාංගණ වල සහ හෝටල් උත්සවශාලා වල අපි ඔබ සමග රැස්වුණා. ඒ සෑම ස්ථානයකම, මම ස්වාමින්වහන්සේ විසින් තෝරාගනු ලැබූවන් ඉදිරියේ සිටින බවත්, ඊශ්‍රායෙලය එක්රැස් කිරීම මගේ ඇස් ඉදිරිපිට සිදුවන බවත් මට හැඟී ගියා.

අප ජීවත්වන්නේ “අපේ මුතුන්මිත්තන් මහත් උනන්දුවෙන් බලා සිටි දවසේයි.”1 නෙපි අනාගතවක්තෘවරයා දර්ශනයෙන් පමණක් දුටු දේ සජීවීව දැක බලාගැනීමට අපට ඉදිරිපස ආසන තිබෙනවා, එය නම් “දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන්ගේ බලය”, “මුළු පොළොව මත විසිරී සිටින ස්වාමින්වහන්සේගේ ගිවිසුමේ ජනතාව මත පතිත වීම; සහ ඔවුහු ධර්මිෂ්ඨ භාවයෙන් සහ බලවත් මහිමයෙන් දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධ වීමයි.”2

ඔබ, මාගේ සහෝදර සහෝදරියනි, නෙපි දුටු පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් අතර සිටිනවා. ඒ ගැන සිතන්න!

ඔබ ජීවත්වන ස්ථානය කුමක් වුවත් ඔබගේ තත්වයන් කුමක් වුවත්, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබගේ ගැලවුම්කරුවාණන් වන අතර දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඔබේ අනාගතවක්තෘවරයායි. සාන්තුවරයන්ගෙන් “කිසිවක් අත්හිටුවනු නොලබන”3 මේ අන්තිම කාලපරිච්ඡේදයේ අනාගතවක්තෘවරයා වීමට පොළොවේ අත්තිවාරමට පෙර ඔහුව කලින් නියම කරනු ලැබ තිබෙනවා. අඛණ්ඩව සිදුකෙරෙන මෙම නැවත පිහිටුවීමේ ක්‍රියාවලියේදී ස්වාමින්වහන්සේගෙන් එළිදරව් දිගටම ගලා එනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පොළොවට නැවත පිහිටුවා දී තිබීමෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?

එයින් අදහස් වන්නේ ඔබට සහ ඔබේ පවුලට සදහටම මුද්‍රාවිය හැකි බවයි! එයින් අදහස් කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අධිකාරිය ඇති අයෙකුගෙන් ඔබ බව්තීස්ම වී සහ උන්වහන්සේගේ සභාවේ සාමාජිකයෙකු ලෙස තහවුරු වී ඇති නිසා, ඔබට ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර මිත්‍රත්වය භුක්තිවිඳිය හැකි බවයි. උන්වහන්සේ ඔබට මගපෙන්වමින් ආරක්ෂා කරයි. එයින් අදහස් කරන්නේ ඔබට කිසිවිටෙකත් සැනසීමක් නැතිව හෝ ඔබට උපකාර කිරීමට දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශ නොවී නොසිටින බවයි. එයින් අදහස් කරන්නේ ඔබ අත්‍යවශ්‍ය වත්පිළිවෙත් ලබාගෙන දෙවියන්වහන්සේ සමග ගිවිසුම් ඇතිකරගෙන ඒවා පිළිපදින විට පූජකත්ව බලයට ඔබට ආශිර්වාද කළ හැකි බවයි. විශේෂයෙන්ම කුණාටුව ඇවිළෙන මේ කාල වලදී, මේ සත්‍යයන්, අපේ ආත්මයන්ට මොනතරම් නැංගුරමක්ද.

මෝර්මොන්ගේ පොත ප්‍රධාන ශිෂ්ටාචාර දෙකක සම්භාව්‍ය නැගීම හා වැටීම විස්තර කරනවා. ඔවුන්ගේ ඉතිහාසය පෙන්නුම් කරන්නේ බහුතරයකට දෙවියන්වහන්සේව අමතක වීම, ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කිරීම, සහ මාංශයේ බලය, ජනප්‍රියත්වය සහ සැප සම්පත් සෙවීම කොතරම් පහසුද යන්නයි.4 අතීත අනාගතවක්තෘවරුන් “ජනතාව විශ්වාස නොකළ, ඔවුන් කෙරෙහි වූ මහා හා පුදුමාකාර දේවල්”5 නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙනවා.

එය අපේ කාලයේත් වෙනසක් නෑ. වසර ගණනාවක් පුරා, පොළොව පුරා කැපවූ දේශනා කූඩු වලින් විශාල හා පුදුමාකාර දේවල් අසන්නට ලැබුණා. එහෙත් බොහෝ මිනිසුන් මෙම සත්‍යයන් වැලඳනොගන්නේ—ඔවුන් ඒවා සොයන්නේ කොහෙන්දැයි නොදන්නා නිසා6 හෝ සම්පූර්ණ සත්‍යය නොමැති අයට ඔවුන් සවන්දෙන නිසා හෝ ඔවුන් ලෞකික කටයුතු වලට පක්ෂව සත්‍යය ප්‍රතික්ෂේප කළ නිසායි.

සතුරා දක්ෂයි. සහස්‍ර ගණනාවක් තිස්සේ ඔහු හොඳ නපුර ලෙස පෙනෙන්නටත් නපුර හොඳ ලෙස පෙනෙන්නටත් සලස්වා තිබෙනවා.7 ඔහුගේ පණිවිඩ ඝෝෂාකාරී, නිර්භීත හා පුරසාරම් දෙඩීමට නැඹුරු වෙනවා.

කෙසේවෙතත්, අපගේ ස්වර්ගික පියාණන්ගේ පණිවිඩ කැපීපෙනෙන ලෙස වෙනස්. උන්වහන්සේ සරලව, නිහඬව හා ඉතා පැහැදිලිව සන්නිවේදනය කරන්නේ අපට උන්වහන්සේව වරදවා වටහාගත නොහැකි ලෙසයි.8

නිදසුනක් වශයෙන්, උන්වහන්සේ තම එකම පුත්‍රයාණන්ව පොළොවේ සිටින මනුෂ්‍යයන්ට හඳුන්වාදුන් සෑම අවස්ථාවකම, උන්වහන්සේ එසේ කර ඇත්තේ අපූර්ව ලෙස වචන කිහිපයකින් පමණයි. පේත්‍රැස්, යාකොබ් සහ යොහාන්ට අන්‍යරූප විලාස වීමේ කන්දේදී දෙවියන්වහන්සේ පැවසුවේ “මේ මාගේ ආදරණීය පුත්‍රයාය: ඔහුට සවන්දෙන්න” කියායි.9 පුරාණ බවුන්ටිෆුල් හිදී නෙපිවරුන්ට උන්වහන්සේගේ වචන වූයේ “බලන්න මාගේ ප්‍රියාදර පුත්‍රයා, ඔහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමි, ඔහු තුළ මාගේ නාමය මහිමවත් කර ඇත්තෙමි—නුඹලා ඔහුට ඇහුම්කන් දීපල්ලා.”10 ජෝසෆ් ස්මිත්ට, මෙම කාලපරිච්ඡේදය විවෘත කළ ගැඹුරු ප්‍රකාශයේ, දෙවියන්වහන්සේ සරලව පැවසුවේ, “මේ මාගේ ආදරණීය පුත්‍රයාය. ඔහුට සවන්දෙන්න!11

දැන්, මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම අවස්ථා තුනෙහි දැන් සඳහන් කර ඇති කාරණය සලකා බලන්න, පියාණන්වහන්සේ පුත්‍රයාණන් හඳුන්වාදීමට මොහොතකට පෙර, ඊට සම්බන්ධ වූවන් භීතියෙන් හා යම් දුරකට මංමුලා සහගතව සිටි බව සලකන්න.

අන්‍යරූප විලාස වීමේ කන්ද මත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වලාකුළකින් වටවී සිටිනු දුටු ප්‍රේරිතවරු භයවුණා.

නෙපිවරු භය වූයේ ඔවුන් දින කිහිපයක් තිස්සේ විනාශයෙන් හා අන්ධකාරයෙන් පීඩා විඳි බැවින්.

ජෝසෆ් ස්මිත් ස්වර්ග විවර වීමට මොහොතකට පෙර අඳුරේ බලවේගයක ග්‍රහණයේ සිටියා.

අප අවිනිශ්චිතතාවයෙන් හා භීතියෙන් වටවී සිටින විට, අපට වඩාත්ම උපකාරවත් වන්නේ උන්වහන්සේගේ පුත්‍රයාණන්ට ඇහුම්කන්දීම බව අපගේ පියාණන්වහන්සේ දන්නවා.

මන්ද, අප උන්වහන්සේගේ පුත්‍රයාණන්ට ඇහුම්කන් දීමට උත්සාහ කරන විට—ඇත්තෙන්ම සවන්දෙන විට— ඕනෑම අවස්ථාවක කුමක් කළයුතු දැයි දැනගැනීමට අපට මගපෙන්වනු ලැබෙයි.

දහම සහ ගිවිසුමේ මුල්ම වචනය උවමනාවෙන් සවන්දෙන්න යන්නයි.12 එයින් අදහස් කරන්නේ “කීකරුවීමේ අභිප්‍රාය ඇතිව සවන්දීමයි”.13 උවමනාවෙන් සවන්දෙන්න යන්නෙන් අදහස් කරන්නේ “උන්වහන්සේට සවන්දීම”—එනම් ගැළවුම්කරුවාණන් පවසන දේ ඇසීම සහ උන්වහන්සේගේ උපදෙස් පිළිපැදීමයි. “උන්වහන්සේට සවන්දෙන්න”—යන වචන දෙකෙන්—දෙවියන්වහන්සේ මේ ජීවිතයේ සාර්ථකත්වය, සතුට හා ප්‍රීතිය සඳහා රටාව අපට ලබාදෙනවා. අපි ස්වාමින්වහන්සේගේ වචන අසා, ඒවාට උවමනාවෙන් සවන්දී, උන්වහන්සේ අපට කී දේට අවනත විය යුතුයි!

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වීමට උත්සහ කරන විට, උන්වහන්සේට සවන්දීමට අප දරන උත්සාහයන් වෙන කවරදාටත් වඩා හිතාමතා කළ යුතුයි. උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ ඉගැන්වීම් සහ උන්වහන්සේගේ සත්‍යතාවන්ගෙන් අපගේ දෛනික ජීවිතය පුරවාගැනීමට දැනුවත් හා ස්ථාවර උත්සාහයක් අවශ්‍ය වෙනවා.

අපට හුදෙක් සමාජ මාධ්‍ය ඔස්සේ හමුවන තොරතුරු මත විශ්වාසය තැබිය නොහැකියි. අන්තර්ජාලය හරහා සහ අලෙවිකරණ සංතෘප්ත ලෝකයක වචන බිලියන ගණනක් සමග, සතුරාගේ ඝෝෂාකාරී, අශිෂ්ට උත්සාහයන් මගින් නිරන්තරයෙන් රිංගා ඇති අතර, අපට උන්වහන්සේට සවන්දීමට යා හැක්කේ කොතැනටද?

අපට ශුද්ධලියවිලි වෙත යා හැකියි. ඒවා අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් උන්වහන්සේගේ ශුභාරංචිය ගැනත්, උන්වහන්සේගේ වන්දිගෙවීමෙහි විශාලත්වය ගැනත්, අපගේ පියාණන්ගේ සතුට හා මිදීමේ විශාල සැලැස්ම ගැනත් උගන්වනවා. බලවත් කැළඹීම් වැඩිවන මේ දිනවල, අධ්‍යාත්මික පැවැත්ම සඳහා දෙවියන්වහන්සේගේ වචනයෙහි දිනපතා ගිලීම ඉතා වැදගත් වෙනවා. අපි දිනපතා ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත පෝෂණය වන විට, ක්‍රිස්තුස්වහන්සේගේ වචන අපට, මුහුණදෙනු ඇතැයි අප කිසිවිටෙකත් නොසිතූ දුෂ්කරතා වලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය අපට කියාදෙනවා.

දේවමාළිගාවේදීත් අපට උන්වහන්සේට සවන්දිය හැකියි. ස්වාමින්වහන්සේගේ ගෘහය ඉගෙනීමේ නිවසක්. එහිදී ස්වාමින්වහන්සේ උන්වහන්සේගේම ආකාරයෙන් උගන්වනවා. එහිදී සෑම වත්පිළිවතකින්ම ගැලවුම්කරුවාණන් ගැන උගන්වනු ලැබෙනවා. එහිදී අපි තිරයෙන් වෙන්වී ස්වර්ගය සමග වඩාත් පැහැදිලිව සන්නිවේදනය කරන්නේ කෙසේදැයි ඉගෙනගන්නවා. එහිදී විරුද්ධවාදියාට තරවටු කර අපව සහ අප ආදරය කරන අයව ශක්තිමත් කිරීමට ස්වාමින්වහන්සේගේ පූජකත්ව බලය ලබාගන්නේ කෙසේද කියා අප ඉගෙනගන්නවා. එහි රැකවරණය පතන්නට අප සෑමකෙනෙකුම කොතරම් උනන්දුවෙන් සිටිය යුතුද.

මෙම තාවකාලික COVID-19 සීමාවන් ඉවත්කළ විට, කරුණාකර දේවමාළිගාවේ නමස්කාර කිරීම හා සේවය කිරීම සඳහා නියමිත වේලාව නියම කරගන්න. එම කාලයෙහි සෑම මිනිත්තුවක්ම ඔබට සහ ඔබේ පවුලේ අයට වෙන කිසිවකට කළ නොහැකි ආකාරයෙන් ආශිර්වාද කරයි. ඔබ එහි සිටින විට ඔබට ඇසෙන සහ දැනෙන දේ මෙනෙහි කිරීමට කාලය ගන්න. ඔබේ ජීවිතයට සහ ඔබ ආදරය කරන හා සේවය කරන අයගේ ජීවිත වලට ආශිර්වාද කිරීම සඳහා ස්වර්ග විවෘත කරන්නේ කෙසේදැයි ඔබට කියාදෙන ලෙස ස්වාමින්වහන්සේගෙන් ඉල්ලන්න.

දේවමාළිගාවේ නමස්කාර කිරීම දැනට කළ නොහැකි නිසා, පවුල් ඉතිහාස පර්යේෂණ සහ සුචිගත කිරීම් ඇතුළුව පවුල් ඉතිහාසයට ඔබේ සහභාගීත්වය වැඩි කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. දේවමාළිගාවේ සහ පවුල් ඉතිහාසයේ ඔබ වැඩ කරන කාලය වැඩි කරන විට, උන්වහන්සේට සවන්දීමේ හැකියාව වැඩිකර වැඩිදියුණු වන බවට මම පොරොන්දු වෙනවා.

ශුද්ධාත්මයාණන්ගේ මිමිනුම් හඳුනාගැනීමේ හැකියාව අප විසින් ශෝධනය කරන බැවින් අපිට උන්වහන්සේව වඩාත් පැහැදිලිව ඇසෙනවා. ආත්මයාණන් ඔබට කතා කරන්නේ කෙසේදැයි දැනගැනීම මේ අවස්ථාවට වඩා වෙනත් කිසිඳු අවස්ථාවක අත්‍යවශ්‍ය වී නෑ. ශුද්ධවූ ත්‍රිත්වය තුළ පණිවිඩකරුවාණන් වන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේයි. පියාණන්වහන්සේ හා පුත්‍රයාණන්ගෙන් ඔබට ලැබීමට අවශ්‍ය සිතුවිලි උන්වහන්සේ ඔබේ මනසට ගෙන එනවා. සැනසිලිදායකයාණෝ උන්වහන්සේයි. උන්වහන්සේ ඔබේ හදවතට සාමයේ හැඟීමක් ගෙන එනවා. උන්වහන්සේ සත්‍යය ගැන සාක්ෂි දරන අතර ස්වාමින්වහන්සේගේ වචනය ඇසෙන විට සහ කියවන විට සත්‍යය කුමක්දැයි සනාථ කරනවා.

පුද්ගලික එළිදරව් ලබාගැනීම සඳහා ඔබගේ අධ්‍යාත්මික හැකියාව වැඩිකිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කරන ලෙස මම ඔබෙන් කළ ඉල්ලීම මම නැවත අලුත් කර සිටිනවා.

එසේ කිරීමෙන් ඔබේ ජීවිතය සමග ඉදිරියට යා යුතු ආකාරය, අර්බුදකාරී කාල වලදී කුමක් කළ යුතුද යන්න සහ සතුරාගේ පරීක්ෂාවන් සහ රැවටීම් හඳුනාගෙන ඒවා වළක්වාගන්නේ කෙසේද යන්න දැනගැනීමට ඔබට හැකිවෙයි.

අවසාන වශයෙන්, අනාගතවක්තෘවරුන්ගේ, අනාගතය දකින්නන්ගේ හා එළිදරව් කරන්නන්ගේ වචන වලට අපි අවනත වන විට අප උන්වහන්සේට සවන්දෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නියමකළ ප්‍රේරිතයන් නිතරම උන්වහන්සේ ගැන සාක්ෂි දරනවා. අපගේ ලෞකික අත්දැකීම් වල හද කම්පා කරවන ප්‍රහේලිකාව හරහා අප ගමන් කරන විට ඔවුන් මාර්ගය පෙන්වාදෙනවා.

ගැළවුම්කරුවාණන් පැවසූ දේ සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් තුළින් උන්වහන්සේ දැන් පවසන දේට ඔබ වඩාත් හිතාමතා ඇහුම්කන්දී, උවමනාවෙන් සවන්දී, පිළිපදින විට කුමක් සිදුවේද? පරීක්ෂාවන්, අරගල සහ දුර්වලතා සමග කටයුතු කිරීමට ඔබට අමතර බලයක් ලැබෙනු ඇතැයි මම පොරොන්දු වෙනවා. ඔබගේ විවාහය, පවුල් සබඳතා සහ දෛනික වැඩ කටයුතු වලදී ප්‍රාතිහාර්යයන් මම පොරොන්දු වෙනවා. ඔබේ ජීවිතයේ කැලඹීම් වැඩි වුවද ප්‍රීතිය දැනීමේ හැකියාව වැඩිවනු ඇතැයි මම පොරොන්දු වෙනවා.

මෙම 2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය ලෝකය වෙනස් කළ සිදුවීමක් සැමරීමට වූ අපගේ අවස්ථාවයි. ජෝසෆ් ස්මිත්ගේ පළමු දර්ශනයෙහි 200 වන සංවත්සරය පිළිබඳ අප කලින් බලාපොරොත්තු වූ පරිදි, පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ මන්ත්‍රණ සභාව මෙම සුවිශේෂී සිදුවීම නිසි ලෙස සැමරීමට අපට කුමක් කළ හැකිද යන්න කල්පනා කළා.

එම දේව දර්ශනය විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීමට මුලපිරූ අතර මෙම පරිපූර්ණ කාලපරිච්ඡේදයේ ප්‍රවේශයට එය ඉවහල් වුණා.

ස්මාරකයක් ඉදිකළ යුතුදැයි අපි කල්පනා කළා. නමුත් එම පළමු දර්ශනයේ අද්විතීය ඓතිහාසික හා ජාත්‍යන්තර බලපෑම අප සලකා බැලූ විට, ග්‍රැනයිට් හෝ ගලෙන් නොව වචන වලින් ස්මාරකයක් නිර්මාණය කිරීම ගැන අපට පැහැදීමක් ඇති වුණා—ගෞරවනීය හා පරිශුද්ධ ප්‍රකාශයක වචන—ලිවීමෙන්, “ගල් මේස වල” කැටයම් කිරීමට නොව නමුත් ඒ අපගේ හදවතේ “මාංසමය මේස වල” තැන්පත් කිරීමටයි.14

සභාව සංවිධානය කළ දින සිට, ප්‍රකාශන පහක් පමණක් නිකුත් කර ඇති අතර, අවසාන වරට ඉදිරිපත් කර ඇත්තේ “පවුල: ලෝකයට ප්‍රකාශය” යන 1995 දී සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශනයයි.

ලෝක ඉතිහාසයේ මෙම වැදගත් කාලය ගැනත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට සූදානම් වීම සඳහා විසිරුණු ඊශ්‍රායෙලය එක්රැස් කිරීම සඳහා ස්වාමින්වහන්සේගේ කාර්යය ගැනත් දැන් අපි කල්පනා කර බලන විට, අපි, පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ මන්ත්‍රණ සභාව, පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරනවා. එහි මාතෘකාව “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පරිපූර්ණත්වය නැවත පිහිටුවීම: ලෝකය සඳහා ද්විශතවාර්ෂික ප්‍රකාශය.” එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ මන්ත්‍රණ සභාව විසින් රචනා කර ඇත. එහි දිනය 2020 අප්‍රියෙල්. අද දිනට සූදානම් වීම සඳහා, මීට පෙර මෙම ප්‍රකාශය, ජෝසෆ් ස්මිත් මුලින්ම පියාණන්වහන්සේව සහ පුත්‍රයාණන්වහන්සේව දුටු, පූජනීය වනයෙදී මම පටිගත කළෙමි.

“ලෝකයේ සෑම ජාතියකම තම දරුවන්ට දෙවියන්වහන්සේ ප්‍රේම කරන බව අපි තරයේ ප්‍රකාශ කරමු. පියාණන් වන දෙවියන්වහන්සේ විසින් දිව්‍ය උපත, අසමසම ජීවිතය, සහ තම ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම අපට ලබාදී ඇත. පියාණන්වහන්සේගේ බලයෙන්, යේසුස්වහන්සේ මරණයෙන් නැවත නැගිට මරණයට එරෙහිව ජයග්‍රහණය ලබාගත් සේක. උන්වහන්සේ අපගේ ගැළවුම්කරුවාණන්ය, අපගේ ආදර්ශකයාණන්ය, එමෙන්ම අපගේ මිදුම්කරුවාණන්ය.

“අවුරුදු දෙසීයකට පෙර, 1820 දී ලස්සන වසන්ත උදෑසනක, තරුණ ජෝසෆ් ස්මිත්, කුමන සභාවට සම්බන්ධ වියයුතු දැයි දැනගැනීමට සොයමින්, ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ඔහුගේ නිවස අසල වනයට යාච්ඤා කිරීමට ගියේය. ඔහුගේ ප්‍රාණයේ ගැලවීම පිළිබඳව ඔහුට ප්‍රශ්න තිබූ අතර දෙවියන්වහන්සේ ඔහුට මගපෙන්වනු ඇතැයි විශ්වාස කළේය.

“ඔහුගේ යාච්ඤාවට පිළිතුරු වශයෙන්, පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ජෝසෆ්ට පෙනී සිටිමින්, බයිබලයේ පුරෝකථනය කර ඇති පරිදි ‘සියල්ල නැවත පිහිටුවීම’ (ක්‍රියා 3:21) ආරම්භ කළ බව නිහතමානී බවින් යුතුව, අපි ප්‍රකාශ කරන්නෙමු. මෙම දර්ශනයේදී, මුල් ප්‍රේරිතවරුන්ගේ මරණයෙන් පසු, ක්‍රිස්තුස්වහන්සේගේ අලුත් ගිවිසුමේ සභාව පොළොවෙන් අහිමි වූ බව ඔහු දැනගත්තේය. එහි නැවත පැමිණීමට ජෝසෆ් උපකාරී වනු ඇත.

“පියාණන්වහන්සේගේ සහ පුත්‍රයාණන්වහන්සේගේ මගපෙන්වීම යටතේ, ස්වර්ගීය පණිවිඩකරුවන් ජෝසෆ්ට උපදෙස් දීමට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවීමට පැමිණි බව අපි සහතික කරන්නෙමු. මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ යොහාන් බව්තීස්ත විසින් පව් සමාව සඳහා ගිල්වීමෙන් බව්තීස්ම වීමේ බලය නැවත ලබාදෙන ලදි. මුල් ප්‍රේරිතයන් දොළොස්දෙනාගෙන් තිදෙනෙක් වන—පේත්‍රැස්, යාකොබ් සහ යොහාන්— විසින් ප්‍රේරිත ධුරය සහ පූජකත්ව අධිකාරියේ යතුරු නැවත පිහිටුවන ලදි. මරණය ඉක්මවා යන සදාකාලික සම්බන්ධතාවන් තුළ සදාකාලිකව පවුල් සමග එක්වීමේ බලය නැවත පිහිටවූ එලියා ඇතුලු, තවත් අයද එලෙසම පැමිණියහ.

“මෝර්මොන්ගේ පොත—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමකි: යන පුරාණ වාර්තාවක් පරිවර්තනය කිරීම සඳහා ජෝසෆ් ස්මිත්ට දෙවියන්වහන්සේගේ දීමනාව හා බලය ලබාදුන් බව අපි තවදුරටත් සාක්ෂි දරන්නෙමු. මෙම පූජනීය පිටපතේ පිටු අතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමෙන් ඉක්බිතිව බටහිර අර්ධගෝලයේ මිනිසුන් අතර උන්වහන්සේගේ පුද්ගලික දේවසේවය පිළිබඳ විස්තරයක් ඇතුළත් වේ. එය ජීවිතයේ අරමුණ උගන්වන අතර, එම අරමුණු සඳහා කේන්ද්‍රීය වන ක්‍රිස්තුස්වහන්සේගේ දහම පැහැදිලි කරයි. සියලුම මනුෂ්‍යයන් ස්වර්ගයේ සිටින ප්‍රේමණීය පියෙකුගේ පුතුන් හා දියණියන් බවත්, අපගේ ජීවිත සඳහා දිව්‍යමය සැලැස්මක් උන්වහන්සේ සතුව ඇති බවත්, උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, පැරණි දිනවල මෙන්ම අදටත් කතා කරන බවත්, බයිබලයට අනුබද්ධ ශුද්ධලියවිල්ලක් ලෙස මෝර්මොන්ගේ පොත සාක්ෂි දරයි.

“1830 අප්‍රියෙල් 6 වන දින, සංවිධානය කරන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව, ප්‍රතිසංස්කරණය කර ඇති ක්‍රිස්තුස්වහන්සේගේ අලුත් ගිවිසුමේ සභාව බව අපි ප්‍රකාශ කරන්නෙමු. මෙම සභාව එහි ප්‍රධාන මුල් ගල වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ ජීවිතය හා උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම සහ සත්‍යයෙන්ම මරණයෙන් නැවත නැගිටීම තුළ නැංගුරම් ලා ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත වරක් ප්‍රේරිතවරුන්ව කැඳවා ඔවුන්ට පූජකත්වය ලබාදී ඇත. උන්වහන්සේ වෙතට හා උන්වහන්සේගේ සභාව වෙතට පැමිණෙන ලෙසත්, ශුද්ධාත්මයාණන්වහන්සේව සහ ගැලවීමේ ආඥා පිළිගන්නා ලෙසත්, එමෙන්ම සදාකාලික ප්‍රීතිය ලබාගන්නා ලෙසත්, උන්වහන්සේ අප සැමට ආරාධනා කරන සේක.

“පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් මෙම නැවත පිහිටුවීම ආරම්භ කර දැන් අවුරුදු දෙසීයක් ගතවී ඇත. ලොව පුරා මිලියන ගණනක් මෙම අනාවැකිමය සිදුවීම් පිළිබඳ දැනුමක් වැළඳගෙන ඇත.

“පොරොන්දු වූ නැවත පිහිටුවීම අඛණ්ඩ එළිදරව් තුළින් ඉදිරියට යන බව අපි සතුටින් ප්‍රකාශ කරන්නෙමු. දෙවියන්වහන්සේ ‘ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ල ඒකරාශී කරන’ (එපීස 1:10) නිසාවෙන්, පොළොව නැවත කිසිදිනෙක මේ හා සමාන නොවනු ඇත.

“ ස්වර්ගයන් විවෘතව ඇති බව—අප දන්නා පරිදිම— දැනගැනීමට, ගෞරවාන්විතව හා කෘතඥතාවෙන් යුතුව, උන්වහන්සේගේ ප්‍රේරිතයන් වශයෙන් අපි සියල්ලන්ටම ආරාධනා කරන්නෙමු. දෙවියන්වහන්සේ තම ආදරණීය පුතුන් හා දූවරුන් උදෙසා උන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කරන බව අපි සහතික කරන්නෙමු. නැවත පිහිටුවීම පිළිබඳ පණිවුඩය යාච්ඤාපූර්වකව අධ්‍යයනය කර ඇදහිල්ලෙන් ක්‍රියා කරන අයට එහි දේවත්වය පිළිබඳ සහ අපගේ ස්වාමින් හා ගැළවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පොරොන්දු වූ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමේ අරමුණ පිළිබඳ තමන්ගේම සාක්ෂියක් ලබාගැනීමට ආශිර්වාද ලැබෙනු ඇති බවට අපි සාක්ෂි දරන්නෙමු.”15

ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පූර්ණ ලෙස නැවත පිහිටුවීම පිළිබඳව අප ලොවට ප්‍රකාශ කළ අපගේ ද්විශතවාර්ෂික ප්‍රකාශය එයයි. එය භාෂා 12 කට පරිවර්තනය කර ඇත. වෙනත් භාෂා වලටද ඉක්මනින් පරිවර්තනය කරනු ඇත. එය වහාම සභාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, එයින් ඔබට පිටපතක් ලබාගත හැකිය. එය පුද්ගලිකව සහ ඔබේ පවුලේ සාමාජිකයන් හා මිතුරන් සමග අධ්‍යයනය කරන්න. සත්‍යයන් ගැන මෙනෙහි කර, ඒවාට සවන්දී, ඒවාට උවමනාවෙන් සවන්දී, ඒවා සමග ඇති ආඥා සහ ගිවිසුම් වලට අවනත වුවහොත් එම සත්‍යයන් ඔබේ ජීවිතයට ඇති කරන බලපෑම ගැන මෙනෙහි කරන්න.

ස්වාමින්වහන්සේ මේ අවසාන කාලපරිච්ඡේදය විවෘත කිරීමට තෝරාගත්, කලින් නියම කරන ලද අනාගතවක්තෘවරයා, ජෝසෆ් ස්මිත් බව මම දන්නවා. ඔහු තුළින් ස්වාමින්වහන්සේගේ සභාව නැවත පොළොවට පිහිටුවනු ලැබුවා. ජෝසෆ් ඔහුගේ සාක්ෂිය ඔහුගේ ලේ වලින්ම මුද්‍රා කළා. මම ඔහුට කෙතරම් ආදරය කරනවාද එමෙන්ම ගෞරව කරනවාද!

දෙවියන්වහන්සේ ජීවමානයි! යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයි! උන්වහන්සේගේ සභාව නැවත පිහිටුවා තිබෙනවා! උන්වහන්සේ සහ උන්වහන්සේගේ පියාණන් වන, අපගේ ස්වගික පියාණන්වහන්සේ, අපි දිහා බලාගෙන ඉන්නවා. මම මෙලෙස සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.