ප්‍රධාන සම්මන්ත්‍රණය
ඇදහිල්ලෙන් ඉදිරියට යන්න
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඇදහිල්ලෙන් ඉදිරියට යන්න

සාමය හා ස්වාමින්වහන්සේ කෙරෙහි වැඩි ඇදහිල්ලක් සඳහා මම ඔබට ආශිර්වාද කරනවා.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම ඓතිහාසික සම්මන්ත්‍රණයේ අවසානයට පැමිණෙන මේ අවස්ථාවේ අපි ස්වාමින්වහන්සේට අපගේ කෘතඥතාව පළකරනවා. සංගීතය අතිවිශිෂ්ට වී ඇති අතර, පණිවිඩ සිත් ඇදගන්නා සුළුයි.

මෙම සම්මන්ත්‍රණය අතරතුර, අපි කැපීපෙනෙන අවස්ථා රාශියක් අත්විඳ තිබෙනවා. මෙම ද්විශතවාර්ෂික සංවත්සරයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පූර්ණ ලෙස නැවත පිහිටුවීමේ යථාර්ථය ප්‍රකාශයට පත්කරමින් අපි ලොවට ප්‍රකාශයක් හඳුන්වාදී තිබෙනවා.

අපි හෝසන්නා ඝෝෂාව සමග නැවත පිහිටුවීම සැමරුවා.

සභාවේ නිල තොරතුරු සහ ද්‍රව්‍ය, දෘශ්‍ය ලෙස හඳුනාගැනීම සඳහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල සංකේතවත් කරන නව සංකේතයක් අපි එළිදැක්වූවා.

වර්තමාන වසංගතය පාලනය කිරීම, රැකබලා ගන්නන් ආරක්ෂා කිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජීවිතය සාමාන්‍ය තත්වයට පත්කිරීම සඳහා අපි නිරාහාරව හා යාච්ඤා කරන ගෝලීය දිනයක් ඉල්ලාසිටියා. මෙම උපවාසය අප්‍රියෙල් 10 වන සිකුරාදා දින පැවැත්වෙනවා. එය මොනතරම් හොඳ සිකුරාදා දවසක් වේවිද!

ඊළඟ ඉරිදා පාස්කු ඉරිදා වන අතර, අපි අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම හා නැවත නැගිටීම නැවත සිහිපත් කරනවා. උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා, උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම නමැති ත්‍යාගය මෙතෙක් ජීවත්වූ සියල්ලන්ට ලැබෙනවා. උන්වහන්සේගේ සදාකාල ජීවනය නමැති ත්‍යාගය උන්වහන්සේගේ ශුද්ධ දේවමාළිගා වල සිදුකර ඇති වත්පිළිවෙත් සහ ගිවිසුම් වලට විශ්වාසවන්තව සුදුසුකම් ලබන සියල්ලන්ට පැමිණෙනවා.

මෙම 2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණයේ බොහෝ සිත්ගන්නාසුලු අංගයන්—සහ අප දැන් ආරම්භ කරන පරිශුද්ධ සතිය—දිව්‍යමය වශයෙන් නියම කර ඇති වචන දෙකකින් සාරාංශගත කළ හැකියි: “උන්වහන්සේට සවන්දෙන්න.”1 එම වචන කථා කළ ස්වර්ගික පියාණන්වහන්සේ කෙරෙහිත්, උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහිත් ඔබේ අවධානය යොමුවී, සිදුවූ සියල්ල ඔබේ මතකයන් තුළ විශාල වේවායි අපි යාච්ඤා කරනවා. ගැලවුම්කරුවාණන්ගේ වචන වලට සත්‍ය ලෙස සවන්දීමට, උවමනාවෙන් සවන්දීමට සහ ඒවා පිළිපැදීමට ඔබ නැවතත් ආරම්භ කරන ලෙස අපි යාච්ඤා කරනවා.2 එයින් භීතිය අඩුවීම සහ විශ්වාසය වැඩි වීමක් සිදුවනු ඇතැයි මම පොරොන්දු වෙනවා.

ඔබේ නිවෙස්, ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් වාසය කරන ඇදහිල්ලේ සැබෑ අභයභූමි බවට පත්කිරීමට ඔබ තුළ ඇති ආශාවට ස්තූතියි. එන්න, මා අනුගමනය කරන්න, අපගේ ශුභාරංචි අධ්‍යයන විෂය මාලාව, ඔබේ ජීවිතයට දිගටම ආශිර්වාද කරයි. මෙම උත්සාහය තුළ ඔබ නිරන්තරයෙන් දරන උත්සාහයන්—ඔබ විශේෂයෙන් සාර්ථක නොවන බව ඔබට හැඟෙන අවස්ථාවන්හිදී පවා— ඔබේ ජීවිතය, ඔබේ පවුලේ අය සහ ලෝකය වෙනස් කරයි. අප කොතැනක සිටියත් ස්වාමින්වහන්සේගේ ධෛර්ය සම්පන්න අනුගාමිකයන් බවට පත්ව, උන්වහන්සේ උදෙසා නැගී සිටිමින් කතා කරන විට අප ශක්තිමත් වෙනවා.

දැන් අපි දේවමාළිගා ගැන කතා කරමු. අපට ලොව පුරා කැපවූ දේවමාළිගා 168 ක් තිබෙනවා. අනෙක් ඒවා සැලසුම් කිරීමේ හා ඉදිකිරීමේ විවිධ අදියර වල පවතිනවා. නව දේවමාළිගාවක් ගොඩනැගීමට සැලසුම් අපි නිවේදනය කළ විට, එය අපගේ ශුද්ධවූ ඉතිහාසයේ කොටසක් බවට පත්වෙනවා.

අපගේ සියලු දේවමාළිගා ටික කාලයකට වසා ඇති විට නව දේවමාළිගා ප්‍රකාශ කිරීම අමුතු දෙයක් ලෙස පෙනෙන්නට පුලුවන්.

මීට සියවසකට පමණ පෙර සභාපති විල්ෆර්ඩ් වුඩ්රෆ් 1893 දී ලබාදුන් සෝල්ට් ලේක් දේවමාළිගාව සඳහා ඔහුගේ කැපවීමේ යාච්ඤාවේ සටහන් කර ඇති පරිදි අප මුහුණදෙන අද වැනි තත්වයන් කල්තියාම දැක තිබුණා. ඔබගෙන් සමහරෙක් මෑතකදී සමාජ මාධ්‍යවල මෙම අපූරු යාච්ඤාවේ උපුටාගැනීම් දැක ඇති.

දෙවියන්වහන්සේගේ බලවත් අනාගතවක්තෘවරයෙකුගේ මෙම ආයාචනා අසන්න: “ඔබේ සෙනඟට මේ ශුද්ධ මන්දිරයට ඇතුළු වීමට අවස්ථාවක් නොලැබෙන විට … දුෂ්කරතා වලින් වටවී, ඔව්හු පීඩිතවී පීඩා විඳින විට … ඔබේ ශුද්ධවූ මන්දිරය දෙසට ඔවුන්ගේ මුහුණු හරවා ගැලවීම, උපකාරය, ඔවුන් වෙනුවෙන් ඔබේ බලය පුළුල් වන පිණිස ඉල්ලා සිටිනු ඇත, දයාවෙන් ඔබගේ ශුද්ධ වාසස්ථානයෙන් බැස බැලීමට … සහ ඔවුන්ගේ මොරගැසීමට සවන්දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. නැතහොත්, ඔබේ සෙනගගේ දරුවන්, ඉදිරි වර්ෂ වලදී, කිසියම් හේතුවක් නිසා, මෙම ස්ථානයෙන් වෙන්කරනු ලැබුවහොත්, … ඔවුන්ට සහන සහ ගැලවීම ලබාදෙන පිණිස ඔව්හු ඔවුන්ගේ දුක් වේදනා හා ශෝකයේ ගැඹුරින් ඔබට හඬා වැලපෙන්නෝය, ඔවුන්ගේ හඬට සවන්දෙන ලෙසත්, ඔවුන් ඉල්ලන ආශිර්වාද ඔවුන්ට ලබාදෙන ලෙසත් අපි නිහතමානීව ඉල්ලාසිටිමු.”3

සහෝදර සහෝදරියනි, අප පීඩා විඳින කාල වලදී, දේවමාළිගා වසා ඇති විට, ඔබගේ ගිවිසුම් වලට ගරු කරන විට ඔබේ දේවමාළිගා ගිවිසුම් වල බලය හා දායාදය ඔබට තවමත් ලබාගත හැකියි. දේවමාළිගා වසා ඇති මේ කාලය, දේවමාළිගාව සඳහා සුදුසු ජීවිතයක් ගතකිරීමට හෝ දේවමාළිගාවට සුදුසු වීමට කරුණාකර භාවිතා කරන්න.

ඔබේ පවුලේ අය සහ මිතුරන් සමග දේවමාළිගාව ගැන කතා කරන්න. දේවමාළිගාවේ අප කරන සෑම දෙයකම කේන්ද්‍රය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, ඔබ දේවමාළිගාව ගැන වැඩියෙන් සිතන විට ඔබ උන්වහන්සේ ගැන වැඩියෙන් සිතනු ඇත. ඔබ බලයෙන් සැරසී ඇති—එසේත් නැතිනම් ඔබ බලයෙන් සැරසීමට ඇති, එම බලය සහ දැනුම පිළිබඳව වැඩිදුර දැනගැනීමට අධ්‍යයනය කර යාච්ඤා කරන්න.

පහත දැක්වෙන ස්ථාන වල නව දේවමාළිගා අටක් ඉදිකිරීමට සැලසුම් කිරීම පිළිබඳව අද අපි සතුටු වෙනවා: ආර්ජන්ටිනාවේ බහියා බ්ලැන්කා; තලහසී, ෆ්ලොරිඩා; ලුබුම්බෂි, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය; පිට්ස්බර්ග්, පෙන්සිල්වේනියාව; නයිජීරියාවේ බෙනින් සිටි; සිරකූස්, යූටා; ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය; සහ මහජන චීන සමූහාණ්ඩුවෙහි ෂැංහයි.

මෙම ස්ථාන අටේම, දේවමාළිගා සමගිය හා එක් එක් ප්‍රජාවට අලංකාර එකතු කිරීමක් වනු පිණිස, සභාවේ ගෘහ නිර්මාණ ශිල්පීන් ප්‍රාදේශීය නිලධාරීන් සමග කටයුතු කරයි.

ඩුබායි හි දේවමාළිගාව සඳහා සැලැස්ම පැමිණෙන්නේ ඔවුන්ගේ කාරුණික ආරාධනයට අපගේ කෘතඥපූර්වක ප්‍රතිචාරයක් වශයෙන්.

ෂැංහයි සඳහා වන සැලැස්ම සඳහා සම්බන්ධය ඉතා වැදගත්. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ, මහජන චීන සමූහාණ්ඩුවේ දේවමාළිගාවට යාමට සුදුසු සාමාජිකයින් චීනයේ හොංකොං දේවමාළිගාවට සහභාගී වී තිබෙනවා. නමුත් 2019 ජූලි මාසයේදී, එම දේවමාළිගාව වසා දමා තිබුණේ දිගුකාලීනව සැලසුම් කර තිබූ අලුත්වැඩියා කිරීම් සඳහායි.

චීන සාමාජිකයින්ට—සහ ඔවුන්ගේ මුතුන් මිත්තන් සඳහා—දේවමාළිගාවේ වත්පිළිවෙත් වලට අඛණ්ඩව සහභාගී වීමට, ෂැංහායි හි, විනීත බහුකාර්ය රැස්වීම් ස්ථානයක් චීන සාමාජිකයින්ට මාර්ගයක් ලබාදෙනවා.4

සෑම රටකම, මෙම සභාව එහි සාමාජිකයන්ට නීතියට ගරු කිරීම, කීකරු වීම සහ පවත්වාගෙන යාම උගන්වනවා.5 පවුලේ වැදගත්කම, හොඳ දෙමව්පියන් වීම සහ ආදර්ශවත් පුරවැසියන් වීම අපි උගන්වනවා. මහජන චීන සමූහාණ්ඩුවේ නීති හා රෙගුලාසි වලට අප ගරු කරන හෙයින්, සභාව ආගමට හරවන ධර්මදූතයින් එහි යවන්නේ නෑ, දැනටත් අපි දැන් එසේ කරන්නේ නෑ.

විදේශික හා චීන සභා වෙන වෙනම රැස්වීම් පැවැත්වීම දිගටම කරගෙන යනු ලබයි. සභාවේ නෛතික තත්ත්වය එහි නොවෙනස්ව පවතිනවා. පහසුකම් භාවිතයේ ආරම්භක අදියරේදී, ප්‍රවේශය ලැබෙන්නේ කලින් වෙන්කරවා ගැනීමෙන් පමණයි. ෂැංහයි හි ස්වාමින්වහන්සේගේ නිවස වෙනත් රට වලින් පැමිණෙන සංචාරකයින් සඳහා ගමනාන්ත ස්ථානයක් නොවනු ඇත.

මෙම නව දේවමාළිගා අට මරණයේ තිරය දෙපස සිටින බොහෝ මිනිසුන්ගේ ජීවිත වලට ආශිර්වාද කරනු ඇත. දේවමාළිගා යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීමේ ප්‍රධාන අංගයක්. දෙවියන්වහන්සේගේ යහපත්කම හා ත්‍යාගශීලිත්වය තුළ, උන්වහන්සේ දේවමාළිගාවේ ආශිර්වාද සෑම තැනකම තම දරුවන්ට සමීප කරනවා.

නැවත පිහිටුවීම අඛණ්ඩව සිදුවන විට, දෙවියන්වහන්සේ තම රාජ්‍යයට අදාළ ශ්‍රේෂ්ඨ හා වැදගත් බොහෝ දේ මිහිපිට හෙළිකරන බව මම දන්නවා.6 රාජධානිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවයි.

ආදරණීය සහෝදර සහෝදරියනි, මම ඔබ කෙරෙහි මගේ ආදරය ප්‍රකාශ කරනවා. මෙම ආතතියෙන් යුත් හා අවිනිශ්චිත කාලය තුළ සහ මා වෙත පවරා ඇති අධිකාරියට ආයාචනා කරමින්, ප්‍රේරිතවර ආශිර්වාදයක් ඔබට පිරිනැමීමට මම කැමතියි.

සාමය හා ස්වාමින්වහන්සේ කෙරෙහි වැඩි ඇදහිල්ලක් සඳහා මම ඔබට ආශිර්වාද කරනවා.7

පසුතැවිලි වී සෑමදිනකම මදක් හෝ උන්වහන්සේ මෙන් වීමට මම ඔබට ආශිර්වාද කරනවා.8

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමේ අනාගතවක්තෘවරයා බව දැනගැනීමට මම ඔබට ආශිර්වාද කරනවා.

ඔබ හෝ ඔබගේ ආදරණීයයන් අතර අසනීපයක් ඇත්නම්, ස්වාමින්වහන්සේගේ කැමැත්තට අනුකූලව සුවකිරීමේ ආශිර්වාදයක් මම තබනවා.

ඔබ එකිනෙකා කෙරෙහි මාගේ ප්‍රේමය ප්‍රකාශ කිරීම නැවත වරක් එක් කරමින්, මම ඔබට ආශිර්වාද කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ නාමයෙන්, ආමෙන්.