ප්‍රධාන සම්මන්ත්‍රණය
මෙතෙක් කී විශිෂ්ටතම පාස්කු කතාව
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


මෙතෙක් කී විශිෂ්ටතම පාස්කු කතාව

මොර්මොන්ගේ පොත දෙස නව ආලෝකයකින් බලන්න, ඒවගේම මරණයෙන් නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේගේ යථාර්ථය පිළිබඳ ගැඹුරු සාක්ෂිය සලකා බලන්න.

පාස්කු ඉරිදා පළමු සභාපතිත්ව ලිපිය

සති කිහිපයකට පෙර ඔබේ කොට්ඨාශයේදී හෝ ශාඛාවේදී, පළමු සභාපතිත්වය විසින් එවන ලද ලිපියක් කියවූ බව ඔබට මතක ඇති. ලබන ඉරිදා—පාස්කු ඉරිදා—සියලුම කොට්ඨාශ සහ ශාඛා සක්‍රමේන්තු රැස්වීම සඳහා පමණක් රැස්විය යුතු බවත්, මෙම වැදගත්ම නිවාඩුව සැමරීම සඳහා පවුල් වශයෙන් නිවසේ නමස්කාරය සඳහා අමතර කාලයක් ඉතිරි කළ යුතු බවත් එම ලිපිය නිවේදනය කළා.1

පළමු සභාපතිත්ව ලිපිය මගේ අවධානයට ලක් වුණා, ඒවගේම එය වසර ගණනාවක් පුරා අපගේ පවුල පාස්කු උත්සවය සැමරූ ආකාරය ගැන මෙනෙහි කිරීමට හේතු වුණා. අපගේ සැමරුම් ගැන මම සිතන තරමටම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින සියලුම ඇදහිලිවන්තයන් සඳහා මෙම උත්සවයේ සැබෑ අරුත අප නොදැනුවත්වම කෙටි කරනවාදැයි මම කල්පනා කළා.

නත්තල් සහ පාස්කු සම්ප්‍රදායන්

පාස්කු උත්සවයට සාපේක්ෂව නත්තල සැමරූ ආකාරය අතර වෙනස ගැන මෙනෙහි කිරීමට එම සිතුවිලි මට හේතු වුණා. දෙසැම්බර් මාසයේදී, අපි කෙසේ හෝ “ජිංගල් බෙල්ස්”, නත්තල් මේස් සහ තෑගි, අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම, අපගේ ප්‍රියතම නත්තල් කැරොල් සහ ගීතිකා ගායනා කිරීම සහ ශුද්ධලියවිලි විවෘත කර ලූක් 2 වැනි නත්තල් කතා කියවීම වැනි—වෙනත්, වඩාත් කල්පනාකාරී සම්ප්‍රදායන් සමඟින් විනෝදාස්වාදයක් ඇතුළත් කිරීමට සමත් වෙනවා. අපි සෑම වසරකම විශාල පැරණි බයිබලයකින් මෙම ආදරණීය කතාව කියවන විට, අපගේ පවුලේ අය කරන්නෙත් සමහරවිට ඔබේ පවුලේ අය කරන දේම වෙන්න පුළුවන්—අපගේ හිස සහ උරහිස් මත තුවා ඇඳගෙන, යෝසෙප්, මරියා සහ ළදරු යේසුස්වහන්සේට නමස්කාර කිරීමට පැමිණි බොහෝ අය නියෝජනය කිරීමට නාන සළු ඇඳගෙන, අපි ගැලවුම්කරුවාණන්ගේ උපත පිළිබඳ ඒ උතුම් නත්තල් කතාව නැවත රඟ දක්වනවා.

කෙසේ වෙතත්, පාස්කු උත්සවයේදී අපගේ පවුලේ සැමරුම් තරමක් වෙනස්. පාස්කු උත්සවයේ අර්ථාන්විත, ක්‍රිස්තුස්වහන්සේව කේන්ද්‍ර කරගත් එම කොටස සැමරීම සඳහා අපගේ පවුලේ අය “සභාවට යාම” මත වැඩිපුර විශ්වාසය තබා ඇති බව මට හැඟෙනවා; ඉන්පසු අපි පවුලක් ලෙස, පාස්කු උත්සවයට සම්බන්ධ වෙනත් සම්ප්‍රදායන් බෙදාගන්නට එක් රැස්වෙනවා. කලින් අපේ දරුවන්, දැන් අපේ මුණුබුරන් පාස්කු බිත්තර සොයන්නට ඔවුන්ගේ පාස්කු කූඩ හාරන ආකාරය බලා සිටින්නට මම ප්‍රිය කළා.

නමුත් පළමු සභාපතිත්ව ලිපිය අවදි කිරීමේ ඇමතුමක් වුණා. මේ මිහිමත මෙතෙක් සිදු වූ වැදගත්ම සිදුවීම වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ මරණයෙන් නැවත නැගිටීම අප සමරන විට—ස්වාමින්වහන්සේට ලැබිය යුතු නමස්කාරය සහ ගෞරවය ඇතුළත් කිරීමට වග බලාගන්නට ඔවුන් අප සැමට ආරාධනා කළා පමණක් නොවේ, නමුත් ඔවුන් අපේ පවුලේ අය සහ මිතුරන් සමඟ එය සැමරීමට වැඩි කාලයක් ලබා දුන්නා.

රූපය
මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන්

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ මෙම වදන් පාස්කු උත්සවය ආශ්‍රිත සිදුවීම්වල වැදගත්කමට අමතර සන්දර්භයක් එකතු කරනවා: “අපේ ආගමේ මූලික මූලධර්ම වන්නේ උන්වහන්සේ මිය ගොස්, තැන්පත් කර, සහ තුන්වන දිනයේ මරණයෙන් නැවත නැගිට, ස්වර්ගය කරා ගිය බවට වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව ප්‍රේරිතවරුන් සහ අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂියයි; ඒ වගේම අපේ ආගමට අදාළ අනෙකුත් සියලුම දේවල් එයට අදාළ වන කොටස් පමණයි.”2

පාස්කු සමයේදී අපේ පවුලට වඩා හොඳින් කළ හැකි දේවල් ගැන ලේසා සහ මම සාකච්ඡා කර තිබෙනවා. සමහර විට අප අපෙන්ම අසා ඇති ප්‍රශ්නය අප සියල්ලන්ටම මෙනෙහි කළ හැකි ප්‍රශ්නයක්: නත්තල් කතාව වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය පිළිබඳ පොහොසත් සම්ප්‍රදායේ පූර්ණත්වයට සමාන වන ලෙස, පාස්කු කතාව වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමේ සැමරීම සහ ඉගැන්වීම අපි කරන්නේ කොහොමද?

අපි හැමෝම උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ක්‍රිස්තුස්වහන්සේව වැඩි වැඩියෙන් කේන්ද්‍ර කරගත් පාස්කු උත්සවයක් සඳහා පසුදවස් වල ශුද්ධවන්තයන් අතර වැඩෙන උත්සාහයක් ගැන මම නිරීක්ෂණය කළා. අපගේ සමහර ක්‍රිස්තියානි ඥාති සොහොයුරන් විසින් සමරන ගොක් ඉරිදා සහ මහ සිකුරාදාට වඩා විශාල සහ කල්පනාකාරී පිළිගැනීමක් මෙයට ඇතුළත් වෙනවා. ලොව පුරා රටවල සංස්කෘතීන් සහ භාවිතයන් තුළ දක්නට ලැබෙන ක්‍රිස්තුස්වහන්සේව කේන්ද්‍ර කරගත්, අපට සුදුසු පාස්කු සම්ප්‍රදායන් ද අපට අනුගමනය කරන්න පුළුවන්.

අලුත් ගිවිසුමේ විශාරද එන්. ටී. රයිට් මෙසේ යෝජනා කළා: “කලාව, සාහිත්‍යය, ළමා ක්‍රීඩා, කවි, සංගීතය, නැටුම්, උත්සව, සීනු, විශේෂ ප්‍රසංග වැනි දේවල් යොදාගෙන, අපි පාස්කු උත්සවය නිර්මාණාත්මක නව ආකාරවලින් සැමරීමට පියවර ගත යුතුයි. … මේක තමයි අපේ ලොකුම උත්සවය. නත්තල ඉවත් කරන්න, බයිබලානුකුලව ඔබට මතෙව් සහ ලූක්ගේ පොත්වල ඉදිරියෙන් පරිච්ඡේද දෙකක් අහිමි වෙනවා, වෙන කිසිවක් අහිමි වෙන්නෙ නෑ. පාස්කුව ඉවත් කරන්න, ඔබට අලුත් ගිවිසුමක් නැති වෙනවා; ඔබට ක්‍රිස්තියානි දහමක් නැති වෙනවා.”3

පාස්කුව, බයිබලය සහ මොර්මොන්ගේ පොත

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත, දේවසේවය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණයෙන් නැවත නැගිටීම ගැන බයිබලය අපට උගන්වන සෑම දෙයක් සඳහාම අපි එය අගය කරනවා. පාස්කු දින උදෑසන උද්‍යාන සොහොනේදී ස්වර්ගීය දේවදූතයෙකු විසින් ප්‍රකාශ කරන ලද “උන්වහන්සේ නැගුටුණු සේක” යනුවෙන් ප්‍රකාශ කළ වචන තුනට වඩා, සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා වැඩි බලාපොරොත්තුවක් සහ සදාකාලික ප්‍රතිවිපාක ඇතුළත් වචන තුනක් තවත් නෑ.”4 පාස්කු උත්සවය සහ යුදයේ සහ ගලීලයේ ගැලවුම්කරුවාණන්ගේ පාස්කු දේවසේවයේ කතාව ආරක්ෂා කරන අලුත් ගිවිසුමේ ශුද්ධලියවිලි වලට අපි බෙහෙවින් කෘතඥ වෙනවා.

ලේසා සහ මම අපගේ පවුලේ පාස්කු උත්සවය ක්‍රිස්තුස්වහන්සේව තව තවත් කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්ත කිරීමට ක්‍රම සොයමින් දිගින් දිගටම කල්පනා කරමින් සිටියදී, අපි අපගේ පවුලට හඳුන්වා දිය හැකි ශුද්ධලියවිලි පාඨ කියවීමේ සම්ප්‍රදාය කුමක්ද යන්න සාකච්ඡා කළා—ඔබ කැමති නම් පාස්කු උත්සවයට ගැලපෙන ලූක් 2 වගේ කතාවක්.

ඉන්පසු අපට මෙම ස්වර්ගීය ප්‍රකාශවීම ලැබුණා: අලුත් ගිවිසුමේ ඇති පාස්කු ඉරිදා පිළිබඳ වැදගත් පදවලට අමතරව, පසුදවස් වල ශුද්ධවන්තයන් ලෙස අපට වඩාත් කැපී පෙනෙන පාස්කු තෑග්ගක් තිබෙනවා! ඒ අද්විතීය සාක්ෂියේ තෑග්ගක්, සමහර විට, ක්‍රිස්තියානි දහමේ ඇති සියලුම අතිවිශිෂ්ට පාස්කු ශුද්ධලියවිලි අඩංගු, පාස්කු ආශ්චර්යයේ තවත් සාක්ෂියක්. මම ඇත්තෙන්ම කතා කරන්නෙ මොර්මොන්ගේ පොත ගැන, ඒවගේම වඩාත් නිශ්චිතව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ නැවත නැගිටි මහිමයෙන් යුතුව, නව ලෝකයේ සිටින වැසියන්ට පෙනී සිටීමේ වාර්තාව ගැන.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මොර්මොන්ගේ පොත විස්තර කළේ “ඕනෑම පොතකට වඩා නිවැරදි”5 පොතක් ලෙසයි, 3 නෙපි 11 න් ආරම්භ වී එය ගැලවුම්කරුවාවාණන්ගේ පාස්කු දේවසේවය වන, මරණයෙන් නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේ නෙපිවරුන්ව බැහැදැකීම පිළිබඳ විශිෂ්ට කතාව එය කියනවා. මෙම පාස්කු ශුද්ධලියවිලි, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ සාක්ෂි දරනවා.

මෙම පරිච්ඡේදවලදී, ක්‍රිස්තුස්වහන්සේ ගෝලයන් දොළොස්දෙනෙකුව කැඳවනවා, උන්වහන්සේ තම කන්ද උඩ දේශනාවේ ඉගැන්වූ බොහෝ දේ උගන්වනවා, උන්වහන්සේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව ඉටු කළ බව ප්‍රකාශ කරනවා, ඒවගේම අවසාන දින වල ඉශ්‍රායෙලයේ එක් රැස්වීම ගැන අනාවැකි කියනවා. උන්වහන්සේ ලෙඩුන්ව සුව කර මිනිසුන් වෙනුවෙන් යාච්ඤා කරන්නේ තේජාන්විත ආකාරයකින් “තවද කිසිම දිවකට කතා කළ නොහැකි, එහි කිසි මනුෂ්‍යයන්ගේ හදවත් වලට සිතිය නොහැකි ඉතා බලවත් සහ පුදුමාකාර දේවල් යේසුස්වහන්සේ කතා කරනවා අපි දුටුවෙමු, ඇසුවෙමු; තවද එම අවස්ථාවේ පියාණන්වහන්සේ වෙතට උන්වහන්සේ අප වෙනුවෙන් යාච්ඤා කිරීම ඇසුණු කිසිවෙකුට අපගේ ප්‍රාණයන් පිරවූ ප්‍රීතිය සිතාගත නොහැකි විය.”6

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නෙපිවරුන්ට පෙනී සිටිමින්

මෙම පාස්කුවේ, අපගේ පවුලේ අය ඔබට හුරුපුරුදු 3 නෙපි 11 හි පළමු පද 17 වෙත අවධානය යොමු කිරීමට නියමිතයි. බවුන්ටිෆුල් දේශයේ දේවමාළිගාව වටේ සිටි විශාල ජනකායක්, පියාණන් වන දෙවියන්වහන්සේගේ හඬ ඇසූ අයුරු සහ ලස්සනම පාස්කු ආරාධනය කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගයෙන් බැස එන අයුරු ඔබට මතක ඇති.

“නැගිට තවද මා වෙතට ඉදිරියට පැමිණෙන්න, … තවද එසේම එනම් මාගේ අත්වල සහ පාදවල ඇණ සලකුණු බලන්න, … එනම් ඒ මම සියලු පොළොවට දෙවියන්වහන්සේද ලෝකයේ පාපය උදෙසා මරණු ලැබූ බවද නුඹලා දැන ගන්නා පිණිසය.

“තවද … ජන සමූහය පෙරට ගියහ … ඔවුහු එකිනෙකා බැගින් පෙරට ගියහ … තවද ඔවුන්ගේ ඇස් වලින් දකිමින් ඔවුන්ගේ අත්වලින් ස්පර්ශ කළෝය, තවද ඔවුන් උදෙසාම සාක්ෂි දැරීය. …

“ඔවුහු එක් හඬකින් මෙසේ කියමින් මොර ගැසූහ:

“හෝසන්නා! මහෝත්තම දෙවියන්වහන්සේගේ නාමයට ආශිර්වාද වේවා! තවද ඔව්හු යේසුස්වහන්සේගේ පාමුල වැටී, උන්වහන්සේට නමස්කාර කළහ.”7

දේවමාළිගාවේදී නෙපිවරු මරණයෙන් නැවත නැගිටි ස්වාමින්වහන්සේගේ දෑත් ස්පර්ෂ කළ ආකාරය ගැන සිතා බලන්න! අපගේ නත්තල් සම්ප්‍රදායේ ලූක් 2 මෙන් 3 නෙපි හි මෙම පරිච්ඡේද අපගේ පාස්කු සම්ප්‍රදායේ කොටසක් බවට පත් කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම, මොර්මොන්ගේ පොත මෙතෙක් පවසා ඇති විශිෂ්ටතම පාස්කු කතාව බෙදා ගන්නවා. එය කිසිදා නොකියූ විශිෂ්ටතම පාස්කු කතාව නොවේවා.

මොර්මොන්ගේ පොත දෙස නව ආලෝකයකින් බැලීමට සහ එය උත්ථාන වූ ක්‍රිස්තුස්වහන්සේගේ යථාර්ථය මෙන්ම ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ පොහොසත්කම හා ගැඹුර පිළිබඳව දරණ ගැඹුරු සාක්ෂිය සලකා බැලීමට මම ඔබට ආරාධනා කරනවා.

මොර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරයි

අපට මෙසේ අසන්න පුළුවන්: පාස්කු ඉරිදා මොර්මොන්ගේ පොතේ ශුද්ධලියවිලි පද කියවීම අපගේ සහ අපගේ ආදරණීයයන්ගේ ජීවිත වලට අර්ථවත් ආකාරයකින් ආශිර්වාද කරන්නේ කෙසේද? එය කෙනෙකුට තේරුම්ගන්නට බැරි තරම් ආශිර්වාද කරනවා. අපි මොර්මොන්ගේ පොත කියවා අධ්‍යයනය කරන ඕනෑම වේලාවක අපට සුවිශේෂී ප්‍රතිඵල අපේක්ෂා කරන්න පුළුවන්.

මෑතකදී, මම සහ ලේසා, අසනීපයෙන් ජීවිතය කෙටි වූ ඇදහිලිවන්ත කාන්තාවක් වූ ආදරණීය මිතුරියකගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වුණා. අපි ඇගේ පවුලේ අය සහ සමීප මිතුරන් සමඟ එකතු වී, අපගේ ජීවිතය පොහොසත් කළ මේ සුන්දර ප්‍රාණයේ සොඳුරු මතකයන් හුවමාරු කරගත්තා.

මම මිනී පෙට්ටිය අසලින් මදක් ඈතින් සිට අනෙක් අය සමඟ කතා බහ කරමින් සිටින අතරවාරයේ, ප්‍රාථමික වයසේ පසුවන කුඩා දැරියන් දෙදෙනෙක් මිනී පෙට්ටිය ළඟට පැමිණ තම ආදරණීය නැන්දණියට අවසන් ගෞරව දැක්වීම සඳහා තම දෙපයේ ඇඟිලිවලින් එසවී—ඇස් වලින් ඒ දෙස බැලීමට ළඟා වන අයුරු මම දුටුවා. වෙන කවුරුත් ළඟ නැති නිසා, ලේසා ඒ අසලට ගොස් ඔවුන් ලඟට නැමී ඔවුන්ව සැනසීමට හා ඉගැන්වීමට කටයුතු කළා. ඔවුන් හොඳින්ද කියාත්, දැන් ඔවුන්ගේ නැන්දා ඉන්නෙ කොහෙද යැයි ඔවුන් දන්නවාද කියාත් ඇය ඔවුන්ගෙන් ඇහුවා. ඔවුන් ඔවුන්ගේ දුක බෙදාගත් නමුත්, පසුව දෙවියන්වහන්සේගේ මෙම වටිනා දියණියන්, ඔවුන්ගේ ඇස්වල පිරී ඇති විශ්වාසයකින්, ඔවුන්ගේ නැන්දා දැන් සතුටින් සිටින බව ඔවුන් දන්නා බවත්, ඇය යේසුස්වහන්සේ සමඟ සිටින බවත් පැවසුවා.

මෙම මුදු මොළොක් වයසේදී, ඔවුන් ප්‍රීතියේ මහා සැලැස්ම තුළ සාමය සොයා ගත් අතර, ඔවුන්ගේම ළමා ආකාරයෙන්, ගැලවුම්කරුවාණන්ගේ මරණයෙන් නැවත නැගිටීමේ ගැඹුරු යථාර්ථය සහ සරල සුන්දරත්වය ගැන සාක්ෂි දුන්නා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ සදාකාල ජීවනය කෙරෙහි ඇදහිල්ලේ බීජයක් රෝපණය කරන ප්‍රේමණීය දෙමාපියන්, පවුල සහ ප්‍රාථමික නායකයින්ගේ කල්පනාකාරී ඉගැන්වීම් නිසා, ඔවුන් මෙය ඔවුන්ගේ හදවත් තුළ දැන සිටියා. ඔවුන්ගේ වයසින් ඔබ්බට, මෙම තරුණ ගැහැණු ළමයින් තේරුම් ගත් බොහෝ සත්‍යයන් අප වෙත පැමිණෙන්නේ මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන්ගේ පාස්කු පණිවිඩය සහ දේවසේවය සහ මොර්මොන්ගේ පොතේ පවසා ඇති පරිදි අනාගතවක්තෘවරුන්ගේ වචන මගිනුයි.

සභාපති රසල් එම්. නෙල්සන් ලෝක නායකයන් ඇතුළු අපගේ ඇදහිල්ලට අයත් නොවන කෙනෙකුට මොර්මොන්ගේ පොත තෑග්ගක් ලෙස දෙන විට, ඔහු බොහෝ විට 3 නෙපි වෙත පිටු පෙරලා මරණයෙන් නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේ නෙපිවරුන්ට දර්ශනය වීම ගැන කියවන බව මම නිරීක්ෂණය කර තිබෙනවා. එසේ කිරීමෙන්, ජීවමාන අනාගතවක්තෘවරයා ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරීමේ නියම තත්වයේ සිටිනවා.

අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන තුරු උන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස සිටින්න බැහැ. මොර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් සාක්ෂියක් වන්නේ එහි පරිශුද්ධ පිටු පුරා එක් අනාගතවක්තෘවරයෙකුගෙන් පසු තවත් කෙනෙක් බැගින් ක්‍රිස්තුස්වහන්සේ එන බවට පමණක් නොව උන්වහන්සේ පැමිණි බවටත් සාක්ෂි දරන නිසයි.

උන්වහන්සේ නිසා

මම මේ ඔසවාගෙන ඉන්නේ මොර්මොන්ගේ පොතේ පළමු සංස්කරණයේ පිටපතක්. එහෙම කරන හැම වෙලාවෙම එය මට ආශ්වාදයක් ලබා දෙනවා. මගේ වැඩිහිටි ජීවිතයේ වැඩි කාලයක් පුරා, මෙම පූජනීය ශුද්ධලියවිලි පොත පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීමට තරුණ ජෝසෆ් ස්මිත් කළ දේ ගැන මම ප්‍රීතියෙන් පිරී, ප්‍රබෝධමත් වී, සහ වසඟ වී සිටිනවා. සිදු වූ ප්‍රාතිහාර්යයන් මෙනෙහි කිරීම පුදුම සහගතයි.

නමුත් මේ පොත පිළිබඳ මට ආශ්වාදයක් ගෙනෙන්නේ එය නොවේ. මොකද, මේ පොළොවේ මෙතෙක් ප්‍රකාශයට පත් කරන ලද අන් කිසිවකට වඩා මෙම පොත, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය, දේවසේවය, ඉගැන්වීම්, වන්දිගෙවීම සහ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ සාක්ෂි දරනවා. මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මෙම පොතෙන් නිතිපතා අධ්‍යයනය කිරීම ඔබේ ජීවිතය වෙනස් කරයි. එය නව අවස්ථා වෙත ඔබේ ඇස් විවෘත කරයි. එය ඔබේ බලාපොරොත්තුව වැඩි කර ඔබව පිවිතුරු ප්‍රේමයෙන් පුරවයි. සියල්ලටම වඩා, එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ගොඩනඟා ශක්තිමත් කරනු ඇති අතර, උන්වහන්සේ සහ අපගේ පියාණන්වහන්සේ ඔබව හඳුනන බවත්, ඔබට ආදරය කරන බවත්, ඔබ ආපසු නිවසට, ස්වර්ගීය නිවසට යනවාට කැමැත්තෙන් සිටින බවත් දැනගැනීමේ නුවණකින් ඔබට ආශිර්වාද කරයි.

ආදරණීය සහෝදර සහෝදරියනි, පුරාණ අනාගතවක්තෘවරුන් විසින් පුරෝකථනය කරන ලද, “ගැලවුම්කරුවාණන් ගැන දැනගැන්ම සියලු ජාතීන්, ඥාතීන්, භාෂාවන් සහ සෙනඟ මුළුල්ලෙහිම පැතිර යන”8 කාලය පැමිණ තිබෙනවා. මොර්මොන්ගේ පොතේ ඇති යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂිය තුළින් මෙම අනාවැකියේ ඉටුවීම අපගේ ඇස් ඉදිරිපිටම අපි දකිනවා.

රූපය
ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

ඒ බව පෙන්වීමට කිසිඳු පොතක් මේ පොතට වඩා වැඩි යමක් කරන්නේ නෑ:

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා සියල්ල වෙනස් වුණා.

  • උන්වහන්සේ නිසා සියල්ල යහපත් වුණා.

  • උන්වහන්සේ නිසා ජීවිතය—විශේෂයෙන්ම වේදනාකාරී අවස්ථා කළමණාකරණය කරන්න පුළුවන් වී තිබෙනවා.

  • උන්වහන්සේ නිසා සියල්ල කළ හැකියි.

පියාණන් වන දෙවියන්වහන්සේ විසින් හඳුන්වා දී, මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවෙකු ලෙස උන්වහන්සේගේ බැහැදැකීම ඉතාමත් මහිමාන්විත හා ජයග්‍රාහී පාස්කු පණිවිඩයක්. මරණයේ බැමි බිඳ දැමූ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ පුද්ගලික සාක්ෂියක් ලබා ගැනීමට එය අපගේ පවුලේ සාමාජිකයින්ට උපකාර කරයි.

මොර්මොන්ගේ පොත පිළිබඳව සහ ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍යතාව පිළිබඳ මගේ සාක්ෂිය සමඟ මම අවසන් කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න පළමු සභාපතිත්ව ලිපිය, 2023 පෙබ. 15

  2. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 49; emphasis added.

  3. N. T. Wright, Surprised by Hope: Rethinking Heaven, the Resurrection, and the Mission of the Church (2008), 256.

  4. මතෙව් 28:6

  5. Teachings: Joseph Smith, 64.

  6. 3 නෙපි 17:17.

  7. බලන්න 3 නෙපි 11:1–17.

  8. මොසායා 3:20.