ප්‍රධාන සම්මන්ත්‍රණය
ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට දේවසේවයේ යෙදීමට උගන්වයි
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට දේවසේවයේ යෙදීමට උගන්වයි

අපගේ ගැලවුම්කරුවාණන්ගේ උපකාරය ඇතුව, අපට උන්වහන්සේගේ වටිනා බැටළුවන්ට ප්‍රේම කිරීමටත්, උන්වහන්සේ කැමති පරිදි ඔවුන්ට දේවසේවය කිරීමටත් පුළුවන්.

ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසුවා:

“මම යහපත් එඬේරාය; යහපත් එඬේරා බැටළුවන් උදෙසා ජීවනය දෙනු ඇත. …

“පියාණන්වහන්සේ මා අඳුනන්නාක්මෙන්ද, මා පියාණන්වහන්සේ අඳුනන්නාක්මෙන්ද, මම බැටළුවන් උදෙසා මාගේ ප්‍රාණය දෙමි.”1

මෙම ශුද්ධලියවිලි පදයේ ග්‍රීක් අනුවාදයේ, යහපත් යන වචනයේ තවත් තේරුමක් වන්නේ “ලස්සන, විශිෂ්ට” යන්නයි. ඉතින් අද මම යහපත් එඬේරා, ලස්සන එඬේරා, විශිෂ්ට එඬේරා, වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්න කැමතියි.

අලුත් ගිවිසුමේ උන්වහන්සේව හඳුන්වන්නේ “මහත් එඬේරා,”2 “ප්‍රධාන එඬේරා”3 සහ “[අපේ] ආත්මවල එඬේරාද රැකවලා”4 ලෙසයි.

පරණ ගිවිසුමේ යෙසායා මෙසේ පැවසුවා “එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍ය කරන සේක.”5

මොර්මොන්ගේ පොතේ උන්වහන්සේව හඳුන්වන්නේ “යහපත් එඬේරා”6 සහ “ශ්‍රේෂ්ඨ සහ සැබෑ එඬේරා” ලෙසයි.7

දහම සහ ගිවිසුම් තුළ, උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා, “එසේහෙයින්, මම නුඹලා මධ්‍යයේ වන්නෙමි, තවද මම යහපත් එඬේරා වන්නෙමි.”8

අපේ කාලයේදී, සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කර තිබෙනවා: “යහපත් එඬේරා උන්වහන්සේගේ ගාලේ සියලු බැටළුවන් ආදරයෙන් රැකබලා ගන්නා අතර අපි උන්වහන්සේගේ සැබෑ යටි එඬේරුන් වෙමු. ගැලවුම්කරුවාණන් අපෙන් බලාපොරොත්තු වන පරිදි, උන්වහන්සේගේ ප්‍රේමය බෙදාගෙන අපේ ප්‍රේමයත් එකතු කොට, මිතුරන්ට සහ අසල්වාසීන්ට—ඔවුන්ට ආහාර ලබාදීම, රැකබලා ගැනීම සහ පෝෂණය කිරීම අපගේ වරප්‍රසාදයයි.”9

මෑතක දී සභාපති නෙල්සන් මෙසේ කියා තිබෙනවා: “ස්වාමින්වහන්සේගේ සැබෑ හා ජීවමාන සභාවේ සැමවිටම විශේෂ ලක්‍ෂණයක් වන්නේ, දෙවියන්වහන්සේගේ එක් එක් දරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට දේවසේවය කිරීම සඳහා සංවිධානාත්මක, සෘජු උත්සාහයයි. එය උන්වහන්සේගේ සභාව වන බැවින්, උන්වහන්සේ කළ ආකාරයට, අපි උන්වහන්සේගේ සේවකයන් ලෙස එකිනෙකාට දේවසේවය කළ යුතුයි. අපි උන්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේගේ බලය සහ අධිකාරීත්වය සහිතව සහ උන්වහන්සේගේ ආදර-කරුණාව තුළින් දේවසේවය කරමු.”10

පරිසිවරු සහ ලියන්නන් ස්වාමින්වහන්සේට විරුද්ධව, “මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමග කන්නේය”11 යනුවෙන් මැසිවිලි නැඟූ විට, නැතිවූ බැටළුවාගේ උපමාව, නැතිවූ කාසියේ උපමාව සහ නාස්තිකාර පුත්‍රයාගේ උපමාව ලෙස අප දැනගත් ලස්සන කථා තුනක් උන්වහන්සේ ඉදිරිපත් කළා.

ශුභාරංචි කතුවරයා වන ලූක් විසින් මෙම කථා තුන හඳුන්වා දෙන විට, ඔහු උපමාව යන වචනය බහු වචන වලින් නොව ඒකවචනයෙන් භාවිතා කිරීම සිත්ගන්නා කරුණක්.12 ස්වාමින්වහන්සේ කතන්දර තුනක්, විවිධ අංක ඉදිරිපත් කරන කතන්දර, බැටළුවන් 100 ක්, කාසි 10 ක් සහ පුතුන් දෙදෙනෙක් සමඟ එක් අද්විතීය පාඩමක් උගන්වන බව පෙනෙනවා.

කෙසේ වෙතත් මේ සෑම කතාවකම ප්‍රධාන අංකය වන්නේ අංක එක. එම සංඛ්‍යාවෙන් අපට ගත හැකි පාඩමක් තමයි, ඔබ වැඩිහිටි ගණපූරණයේ සිටින වැඩිහිටියන් සහ අනාගත වැඩිහිටියන් 100 දෙනෙකු සඳහා යටි එඬේරෙකු හෝ තරුණ ගැහැණු ළමුන් 10 දෙනෙකුට උපදේශකයෙකු හෝ ප්‍රාථමික දරුවන් 2 දෙනෙකුට ගුරුවරයෙකු විය හැකි නමුත් ඔබ සැම විටම, සෑම විටම දේවසේවය කිරීමට, ඔවුන්ව රැකබලා ගැනීම සහ ඔවුන් එක් එක්කෙනාට ආදරය කිරීම කළ යුතුයි. “මොන තරම් මෝඩ බැටළුවෙක්ද” හෝ “ඇත්තටම මට ඒ කාසිය අවශ්‍ය නැහැ” හෝ “ඔහු මොනතරම් කැරලිකාර පුත්‍රයෙක්ද” කියා ඔබ කිසිවිටක කියන එකක් නෑ. ඔබට සහ මට “ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමය”13 අප සමඟ තිබේ නම්, නැතිවූ බැටළුවන්ගේ කතාවේ මිනිසා ලෙස, අපි, “එකුන්සියය වනයේ හැර, නැතිවූ එකා පස්සේ ගොස්, ඌ සම්බවෙන තුරු [සොයමු.]”14 එසේත් නැතිනම් නැතිවූ කාසියේ කතාවේ කාන්තාව ලෙස, අපි “පහනක් දල්වා, ගෙය අතුගා, ඒක සම්බවෙන තුරු උත්සාහයෙන් [සොයමු].”15 “ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමය” අප සමඟ තිබේ නම්, නාස්තිකාර පුත්‍රයාගේ කතාවේ පියාගේ ආදර්ශය අපි අනුගමනය කරනවා, ඒ පුත්‍රයා “නැගිට තමාගේ පියා ළඟට ගියා. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹ[ගත්තා].”16

එක බැටළුවෙකු පමණක් අහිමි වූ මිනිසාගේ හදවතේ හදිසි බව අපට දැනිය හැකිද? නැතිනම් එක කාසියක් පමණක් අහිමි වූ කාන්තාවගේ හදවතේ ඇති හදිසිතාව? එසේත් නැතිනම් නාස්තිකාර පුත්‍රයාගේ පියාගේ හදවතේ ඇති විස්තර කළ නොහැකි ආදරය සහ දයාව?

මගේ බිරිඳ මාරියා ඉසබෙල් සහ මම මධ්‍යම අමෙරිකාවේ ග්වාතමාලා නගරයේ සේවය කළා. සභාවේ ඇදහිලිවන්ත සාමාජිකාවක් වන ජූලියා හමුවීමට මට එහිදී අවස්ථාව ලැබුණා. ඇගේ පවුල ගැන ඇයගෙන් ඇසීමට මට හැඟීමක් ඇති වුණා. ඇගේ මව 2011 දී පිළිකාවක් හේතුවෙන් මිය ගොස් තිබුණා. ඇගේ පියා ඔහුගේ ස්ටේකයේ ඇදහිලිවන්ත නායකයෙකු වූ අතර, සභානායකවරයෙකු ලෙස සහ වසර ගණනාවක් ඔහුගේ ස්ටේක සභාපතිවරයාගේ උපදේශකයෙකු ලෙස සේවය කර තිබුණා. ඔහු ස්වාමින්වහන්සේගේ සැබෑ යටි එඬේරෙක් වුණා. බැහැදැකීමට, දේවසේවයේ යෙදීමට සහ සේවය කිරීමට ඔහු දරන වෙහෙස මහන්සිය ගැන ජූලියා මට කිව්වා. ස්වාමින්වහන්සේගේ අනර්ඝ බැටළුවන් පෝෂණය කිරීම හා රැකබලා ගැනීම සම්බන්ධයෙන් ඔහු සැබවින්ම ප්‍රීති වුණා. ඔහු නැවත විවාහ වී සභාවේ ක්‍රියාකාරීව සිටියා.

වසර කිහිපයකට පසු, ඔහු දික්කසාද වූ අතර දැන් ඔහුට නැවත වරක් තනිවම සභාවට යාමට සිදු වී තිබෙනවා. ඔහුගේ දික්කසාදය නිසා ඇතැමුන් තමාව විවේචනය කරන බව ඔහුට හැඟී ගිය අතර ඔහුට ඔහුව එතනට ගැලපෙනවා කියා සිතුනේ නෑ. සෘණාත්මක ආත්මයකින් ඔහුගේ හදවත පිරී ගිය නිසා ඔහු සභාවට යාම නැවැත්තුවා.

වෙහෙස මහන්සි වී වැඩ කරන, ආදරණීය සහ දයානුකම්පිත මිනිසෙක් වූ මෙම අපූරු යටි එඬේරා ගැන ජූලියා ඉතා ඉහළින් කතා කළා. ඇය ඔහු ගැන විස්තර කරන විට හදිසි හැඟීමක් මා තුළ ඇති වූ බව මට හොඳින් මතකයි. මට ඕන වුනේ ඒ මනුස්සයා වෙනුවෙන්, ඒ අවුරුදු ගාන පුරාවටම ගොඩක් අයට ගොඩක් දේවල් කරපු මනුස්සයෙක් වෙනුවෙන් යමක් කරන්න.

ඇය මට ඔහුගේ ජංගම දුරකථන අංකය ලබා දුන් අතර මම ඔහුව පෞද්ගලිකව හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඔහුට ඇමතීමට පටන් ගත්තා. සති කිහිපයක් පුරා සහ බොහෝ දුරකථන ඇමතුම් අසාර්ථක වූ පසු, දිනක් ඔහු අවසානයේ දුරකථනයට පිළිතුරු දුන්නා.

මට ඔහුගේ දියණිය වන ජූලියා මුණගැසුණු බවත්, ඔහු වසර ගණනාවක් තිස්සේ ස්වාමින්වහන්සේගේ වටිනා බැටළුවන්ට සේවය කළ, දේවසේවය කළ සහ ප්‍රේම කළ ආකාරය ගැන මා සිත් ගත් බවත් මම ඔහුට කීවා. ඔහු එවැනි අදහස් දැක්වීමක් අපේක්ෂා කළේ නෑ. මම ඔහුට කීවේ මට ඔහු සමඟ ඇසට ඇසට, මුහුණට මුහුණ හමුවීමට අවශ්‍ය බවයි. එවැනි රැස්වීමක් යෝජනා කිරීමේ මගේ අරමුණ ඔහු මගෙන් ඇසුවා. “මට ඇත්තටම එවැනි අපූරු කාන්තාවකගේ පියා හමුවීමට අවශ්‍යයි” කියා මම පිළිතුරු දුන්නා. පසුව තත්පර කිහිපයක් දුරකථනය පුරා නිශ්ශබ්දතාවයක් ඇති වුණා—තත්පර කිහිපයක් මට සදාකාලික බවක් සේ දැනුණා. ඔහු සරලව පැවසුවේ “කවදාද කොහේද?”

මම ඔහුව මුණගැසුණු දවසේ, ස්වාමින්වහන්සේගේ වටිනා බැටළුවන්ව බැහැදැකීම, දේවසේවය කිරීම සහ සේවය කිරීම පිළිබඳ ඔහුගේ අත්දැකීම් කිහිපයක් මා සමඟ බෙදාගන්නා ලෙස මම ඔහුට ආරාධනා කළා. ඔහු සංවේදී කතා කිහිපයක් විස්තර කරමින් සිටින විට, ඔහුගේ කටහඬේ ස්වරය වෙනස් වී යටි එඬේරෙකු ලෙස ඔහුට බොහෝ වාරයක් දැනුණු ආත්මය නැවත පැමිණෙන බව මම දුටුවා. දැන් ඔහුගේ දෑස් කඳුලින් පිරී තිබුණා. මෙය මට සුදුසු මොහොත බව මම දැන සිටියත්, කුමක් කිව යුතුදැයි මම දැන සිටියේ නෑ. “පියාණනි මට උදව් කරන්න” කියලා මම හිතින් යාච්ඤා කළා.

එකපාරටම මට මාවම මෙසේ කියනවා ඇහුණා, “ෆ්ලෝරියන් සහෝදරයා, ස්වාමින්වහන්සේගේ සේවකයෙක් විදිහට මම ඔබ වෙනුවෙන් නොසිටීම ගැන සමාව ඉල්ලනවා. කරුණාකර, අපට සමාව දෙන්න. අපි ඔබට ආදරය කරන බව පෙන්වීමට අපට තවත් අවස්ථාවක් දෙන්න. අපිට ඔබව අවශ්‍යයි. ඔබ අපට වැදගත්.”

ඊළඟ ඉරිදා ඔහු ආපසු පැමිණියා. ඔහු ඔහුගේ සභානායකවරයා සමඟ දිගු සංවාදයක නිරත වූ අතර දිගටම ක්‍රියාශීලීව සිටියා. මාස කිහිපයකට පසු ඔහු මිය ගියා—නමුත් ඔහු නැවත පැමිණ තිබුණා. ඔහු ආපසු පැමිණ තිබුණා. අපගේ ගැලවුම්කරුවාණන්ගේ උපකාරය ඇතුව, අපට උන්වහන්සේගේ වටිනා බැටළුවන්ට ප්‍රේම කිරීමටත්, උන්වහන්සේ කැමති පරිදි ඔවුන්ට දේවසේවය කිරීමටත් හැකි බව මම සාක්ෂි දරනවා. ඉතින්, ග්වාතමාලා නගරයේ සිටි ඔවුන්ගෙන් තවත් එක් වටිනා බැටළුවෙකුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත තම ගාලට ගෙනාවා. ඒ වගේම දේවසේවය ගැන මට අමතක කරන්න බැරි පාඩමක් උන්වහන්සේ කියා දුන්නා. යහපත් එඬේරාගේ, ලස්සන එඬේරාගේ, විශිෂ්ට එඬේරාගේ, එනම් ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.