ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේගේ දහම කෙරෙහි විශ්වාසය තැබීම
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේගේ දහම කෙරෙහි විශ්වාසය තැබීම

අපි ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගිවිසුම්ගත සම්බන්ධතාවයක පදනම මත අපගේ නිවාස ගොඩනගා ගත් විට, අපි ක්‍රිස්තුස්වහන්සේගේ දහම තුළ විශ්වාසය තබනවා.

වයෝවෘද්ධ අනාගතවක්තෘ නෙපි ඔහුගේ මේසය අසල, ඔහු ඉදිරියෙහි රන් තහඩු තබාගෙන, ඔහුගේ අතේ පන්හිඳක් අතැතිව සිටින ආකාරය මට මගේ මනසින් පෙනෙනවා.

නෙපි ඔහුගේ අවසන් කැටයම් වාර්තාව අවසන් කිරීමට කටයුතු කරමින් සිටියා. ඔහු මෙසේ ලිව්වා, “දැන්, මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, මම මාගේ ප්‍රකාශයන් වල අවසානයක් කරන්නෙමි.”1 නමුත් වැඩි කල් යන්නට මත්තෙන්, ඔහුගේ වාර්තාවට ආපසු ගොස් අවසාන පණිවිඩයක් ලියන ලෙස ආත්මයාණන් නෙපිගෙන් ඉල්ලා සිටියා. ශුද්ධාත්මයාණන්ගේ බලගතු බලපෑම යටතේ, එම ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයා නැවතත් ඔහුගේ පන්හිඳ අතට ගෙන මෙසේ ලිව්වා, “එමනිසා මා ක්‍රිස්තුස්වහන්සේගේ දහම ගැන කතා කළ යුතු වචන ටිකක් හැර මා දැනටමත් ලියා ඇති දේවල් මට සෑහේ.”2

එම “වචන කිහිපය”3 සඳහා සහ ඒවා ලිවීමට ආත්මයාණන් නෙපිව පෙළඹවීම ගැන අපි සදාකාලිකව කෘතඥ වෙනවා. ක්‍රිස්තුස්වහන්සේගේ දහම පිළිබඳ නෙපිගේ ලියවිලි එය ගැඹුරින් අධ්‍යනය කරන අයට වටිනා නිධානයක්. එහි ගැලවුම්කරුවාණන්ගේ බව්තීස්මය4 පිළිබඳ දර්ශනයක් සහ එහි පුත්‍රයාණන්ගේ කටහඬ අඩංගු වන අතර, එම හඬ උන්වහන්සේව අනුගමනය කිරීමට5 සහ “[අප] දුටු [උන්වහන්සේ] කළ දේවල් කිරීමට”6 සියලුදෙනාටම ආරාධනා කරනවා. ක්‍රිස්තුස්වන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව, තම පාපයන් ගැන අවංකවම පසුතැවිලි වී ගැලවුම්කරුවාණන්ව අනුගමනය කර බව්තීස්මයේ වතුරට යන අයට “ශුද්ධාත්මයාණන්වහන්සේව [ලැබෙන බවටත්], එවිට ගින්නෙන් හා ශුද්ධාත්මයාණන්ගේ බව්තීස්මය පැමිණෙන”7 බවටත් වූ නෙපිගේ සාක්ෂිය එහි අඩංගු වෙනවා. පියාණන්වහන්සේගේ හඬ සාක්ෂි දරන ආකාරයත් අපිට මෙසේ ඇසෙනවා: “එසේය, මාගේ ප්‍රියාදරයාගේ වචන සත්‍යය මෙන්ම විශ්වාසවන්තය. අවසානය දක්වා දරාගන්නා ඔහුව ගලවාගනු ලබන්නේය.”8

අලුතින් කැඳවනු ලැබූ ධර්මදූත නායකයින් වෙත කරන ලද ප්‍රකාශයකදී සභාපති රසල් එම්. නෙල්සන් ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ ඒකීය වැදගත්කම අවධාරණය කළා: “සියල්ලටම වඩා, අපට අවශ්‍ය වන්නේ අපගේ ධර්මදූතවරුන්ගේ හදවත් වල, ඔවුන්ගේ ඇට මිදුළු වලට කා වැදී … ක්‍රිස්තුස්වහන්සේගේ දහම කැටයම් කර තිබීමයි.”9

මගේ ශුභාරංචිය දේශනා කරන්න තුළින් ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ වැදගත් අංග පහක් සාරාංශ කරනවා. එහි මෙසේ කියනවා,: “ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින්ද, පසුතැවිලි වීම, බව්තිස්මය, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබීම, සහ අවසානය දක්වා විඳ දරාගැනීම තුළින්ද නැවත පිහිට වූ ශුභාරංචිය ලබාගැනීමට උපකාර කිරීම තුළින්, අනෙක් අයට ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණෙන ලෙස [අපි] ආරාධනා කරන්නෙමු.”10

නමුත් ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ වැදගත්කම ඇත්තේ ධර්මදූතයින්ට පමණක් නොවේ! ඒවගේම එය එහි ප්‍රධාන අංග පහේ හුදු සාරාංශ පුනරාවර්තනයකට වඩා බොහෝ ගැඹුරුයි. එය ශුභාරංචියේ නීතිය ආවරණය කරනවා. ඒ තමයි සදාකාල ජීවනය සඳහා වූ විශිෂ්ට සැලැස්ම.

සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුස්වහන්සේගේ දහම අපගේ ඇටමිදුළුවල මුල් බැස ගැනීමට වූ සභාපති නෙල්සන්ගේ ආරාධනය පිළිගැනීමට නම්, අධ්‍යයනයෙන්, යාච්ඤාවෙන් සහ ඇදහිලිවන්ත ජීවිතයක් තුළින් සහ නොකඩවා පසුතැවිලි වීමෙන් අප ස්වාමින්වහන්සේ වෙතට අපගේ හැරීම ගැඹුරු කරගත යුතුයි. ක්‍රිස්තුස්වහන්සේගේ දහම “[අපගේ] හදවත් [වල] මාංසමය වගු”11 තුළ, නෙපි විසින් රන් තහඩු මත කැටයම් කළ තරමටම ගැඹුරින් සහ ස්ථිරව කැටයම් කිරීමට අපි ශුද්ධාත්මයාණන්ට ආරාධනා කළ යුතුයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සභාපති නෙල්සන් මෙසේ ඇසුවා, “ලෝකය ජය ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?” අනෙකුත් දේවල් අතර, ඔහු මෙහෙම කිව්වා, “එයින් අදහස් කරන්නේ මිනිසුන්ගේ දර්ශනවලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ දහම කෙරෙහි විශ්වාසය තැබීමයි.” 12

විශ්වාසය තැබීම යන වචනය නිර්වචනය කර ඇත්තේ “යමෙකුගේ හෝ යම් දෙයක චරිතය, හැකියාව, ශක්තිය හෝ සත්‍යය මත සහතික වූ විශ්වාසයක්” ලෙසිනුයි.13 ඒ කෙනා යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි, ඒ දේ උන්වහන්සේගේ දහමයි.

ක්‍රිස්තුස්වහන්සේගේ දහම තුළ හිතාමතාම විශ්වාසය තැබීම අපගේ ජීවිත ගත කරන ආකාරය වෙනස් කරන්නේ කොහොමද?

අපි ක්‍රිස්තුස්වහන්සේගේ දහම තුළ විශ්වාසය තැබීම කළා නම්, උන්වහන්සේගේ සෑම වචනයක් අනුවම ජීවත් වීමට තරම් අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාසය තබනවා14 අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව15, උන්වහන්සේගේ දේවසේවය සහ උන්වහන්සේගේ ඉගැන්වීම්, සහ උන්වහන්සේගේ මහිමාන්විත මරණයෙන් නැවත නැගිටීම ඇතුළු උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම පිළිබඳව ජීවිත කාලය පුරාම අධ්‍යයනය කරනවා. අපි උන්වහන්සේගේ පොරොන්දු සහ උන්වහන්සේ ඒ පොරොන්දු ලබා දී ඇති කොන්දේසි අධ්‍යයනය කරනවා.16 අප අධ්‍යයනය කරන විට, අප ස්වාමින්වහන්සේ කෙරෙහි වැඩි ප්‍රේමයකින් පිරී යනවා.

අපි ක්‍රිස්තුස්වහන්සේගේ දහම තුළ විශ්වාසය තබනවා නම්, අපි නිහතමානී, රහසිගත යාච්ඤාවෙන් සෑම දිනකම අපගේ ස්වර්ගික පියාණන් වෙත ළඟා වෙනවා, ඒ තුළින් අපට උන්වහන්සේගේ පුත්‍රයාණන් වන ත්‍යාගය සහ අපගේ සියලුම ආශිර්වාද සඳහා කෘතඥතාව පළ කරන්න පුළුවන්.17 අපගේ ගිවිසුම් ගැන මෙනෙහි කිරීමට සහ ඒවා තබා ගැනීමට අපගේ කැපවීම අලුත් කිරීමට ශුද්ධාත්මයාණන්ගේ එළිදරව් සහයෝගීතාව18 සඳහා අපගේ කැමැත්ත උන්වහන්සේ සමඟ පෙළගැස්වීම19 සඳහා අපට යාච්ඤා කරන්න පුළුවන්.20 අපගේ අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන්21 සඳහා යාච්ඤා කිරීමට, ඔවුන්ව ස්ථිර කිරීමට, සහ ආදරය පෙන්වීමට අපට පුළුවන්, ඒවගේම සමාව දීමේ පවිත්‍ර කිරීමේ බලය සඳහා22 සහ පරීක්ෂාවට එරෙහි වීමට ශක්තිය ඉල්ලා23 යාච්ඤා කරන්න පුළුවන්. දෙවියන්වහන්සේ සමඟ ඔබේ සන්නිවේදනය වැඩිදියුණු කිරීමට සෑම දිනකම උත්සාහ කරමින්, ඔබේ ජීවිතයේ යාච්ඤාවට ප්‍රමුඛස්ථානයක් දෙන ලෙස මම ඔබට ආරාධනා කරනවා.

අපි ක්‍රිස්තුස්වහන්සේගේ දහම තුළ විශ්වාසය තබනවා නම්, අපට ලෝකයේ මිදුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කළ හැකි වන පරිදි, අපි ලෝකයේ දිලිසෙන දේවල් පසෙකට දමයි.24 අපි සමාජ මාධ්‍ය; අන්තර්ජාල ක්‍රීඩා; නාස්තිකාර, අධික හෝ නුසුදුසු විනෝදාස්වාදය; මේ ලෝකයේ වස්තු සහ නිෂ්ඵල දේවල ආකර්ෂණය; සහ මිනිසුන්ගේ ව්‍යාජ සම්ප්‍රදායන්ට සහ නොමග ගිය දර්ශනවලට තැන දෙන වෙනත් ක්‍රියාකාරකම් සඳහා ගත කරන කාලය සීමා කරයි නැතිනම් ඉවත් කර දමයි. අපට සත්‍යය සහ කල්පවතින සම්පූර්ණත්වය ලැබෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ තුළ පමණයි.

පාපයට සමාව ලැබීමට සහ ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයෙන්27 වෙනස් වීමට—අවංක පසුතැවීම25 අපි අපගේ ජීවිතයේ අඛණ්ඩ හා ප්‍රීතිමත්26 කොටසක් බවට පත් කරගනියි. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පසුතැවිලි වීම මගින් අපට ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමට ප්‍රවේශය ලබා දෙනවා. සභාපති ඩැලන් එච්. ඕක්ස් උගන්වා ඇත්තේ ගැලවුම්කරුවාණන් සමාව දෙන විට, උන්වහන්සේ “[අපව] පාපයෙන් පවිත්‍ර කරනවාට වඩා වැඩි යමක් කරයි. උන්වහන්සේ අපට නව ශක්තියක් ද ලබා දෙයි.”28 දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට සහ අපගේ ජීවිතයේ සදාකාලික අරමුණ ඉටු කර ගැනීමට අප සෑම කෙනෙකුටම මෙම ශක්තිය අවශ්‍ය වෙනවා.

යේසුස්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ දහම තුළ අපට ශක්තිය ලැබෙනවා. උන්වහන්සේ මෙහෙම කිව්වා, “සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් මෙය මාගේ දහම වන්නේය, තවද කවරෙකු වුවත් මෙය මත ගොඩනැගෙන්නේද, තවද නිරයේ දොරටු ඔවුන්ට විරුද්ධව ජයගන්නේ නැත.”29

ඇදහිලිවන්ත මිනිසුන්ගේ ජීවිත තුළ මෙම පොරොන්දුව ඉටු වූ බව අපි දකිනවා. මට මීට අවුරුද්දකට විතර කලින් ට්‍රැවිස් සහ කේසිව හමුවීමට වරප්‍රසාද ලැබුණා. ඔවුන් 2007 දී සිවිල් ලෙස විවාහ වී තිබුණා. ඒ අවස්ථාවේදී ට්‍රැවිස් සභාවේ සාමාජිකයෙක් නොවේ. කේසි, ක්‍රියාශීලී පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ නිවසක හැදී වැඩුණත්, ඇගේ යෞවන කාලය තුළ ඇය ඇයගේ ඇදහිල්ලෙන් ඈත් වී ඇගේ පදනමෙන් ඈත් වී සිට තිබුණා.

2018 දී, ට්‍රැවිස්ට ධර්මදූතයින් මුණගැසී, 2019 දී ඔහු බව්තීස්ම වුණා. ට්‍රැවිස් කේසි සඳහා ධර්මදූතයෙකු බවට පත් වූ අතර ඇය ජීවිතය වෙනස් කරන පරිවර්තනයක් ද අත්වින්දා. ඔවුන් 2020 සැප්තැම්බර් 9 වන දින දේවමාළිගාවේ මුද්‍රා වුණා. බව්තීස්ම වී වසර දෙකකට පමණ පසු ට්‍රැවිස්ට සභානායකත්වයේ සේවය කිරීමට කැඳවීමක් ලැබුණා.

ට්‍රැවිස්ට දුර්ලභ රෝගයක් තියෙනවා, එය ඔහුගේ අභ්‍යන්තර අවයවවල ගැටිති පොකුරු අඛණ්ඩව සාදනවා. නැවත නැවත ඇතිවන ගැටිති ඉවත් කිරීම සඳහා ඔහු බොහෝ ශල්‍යකර්මවලට භාජනය වී තියෙනවා, නමුත් මේ රෝගය සුව කළ නොහැකියි. ඔහුට ජීවත් වීමට ඇත්තේ අවුරුදු 10කට වඩා අඩු කාලයක් බව වසර කිහිපයකට පෙර ට්‍රැවිස්ට පවසා තිබෙනවා.

කේසිට ඇස් සම්බන්ධ දුර්ලභ ජානමය රෝගයක් ඇති අතර එය සම්පූර්ණ අන්ධභාවය ඇති වන තෙක් දෘෂ්ටි ක්ෂේත්‍රය ආපසු හැරවිය නොහැකි ලෙස පටු වීමට හේතු වෙනවා.

කේසි ඇගේ අනාගතය ගැන මා සමඟ කතා කළා. ඇය වැන්දඹුවක් ලෙස, අන්ධ පුද්ගලයෙක් ලෙස, එමෙන්ම මූල්‍ය ආධාරයක් නොමැතිව වැඩෙන දරුවන් හතර දෙනෙකු ඇති දැඩි කිරීම සඳහා තනිවීමට සිදුවන කාලය ගැන අපේක්ෂාවෙන් සිටියා. මම කේසිගෙන් ඇහුවා කොහොමද මේ වගේ අඳුරු අනාගතයකට මුහුණ දෙන්නෙ කියලා. ඇය සාමකාමීව සිනහසෙමින් මෙසේ පැවසුවා, “මම මගේ ජීවිතයේ මේ වගේ කිසි දිනෙක සතුටින් හෝ බලාපොරොත්තු තබාගෙන ඉඳලා නෑ. අපි දේවමාළිගාවේදී ලැබුණු පොරොන්දු ගැන දැඩි සේ විශ්වාස කරනවා.”

ට්‍රැවිස් දැන් සභානායකවරයෙක්. මීට මාස දෙකකට පෙර ඔහු තවත් විශාල ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. නමුත් ඔහු සුභවාදීව සහ සාමකාමීව සිටිනවා. කේසිගේ පෙනීම නරක අතට හැරී තිබෙනවා. ඇයට දැන් මගපෙන්වන බල්ලෙක් සිටින අතර ඇයට රිය පැදවීමට නොහැකියි. නමුත් තම දරුවන් ඇති දැඩි කරමින් සහ තරුණ ගැහැණු ළමුන්ගේ සභාපතිත්වයේ උපදේශකවරියක් ලෙස සේවය කරමින් ඇය තෘප්තිමත් ලෙස සිටිනවා.

ට්‍රැවිස් සහ කේසි ඔවුන්ගේ නිවස ගොඩනගමින් තිබෙන්නේ පර්වතය මත. ට්‍රැවිස් සහ කේසි ක්‍රිස්තුස්වහන්සේගේ දහම සහ දෙවියන්වහන්සේ “[ඔවුන්ගේ] පීඩාවන් [ඔවුන්ගේ] ප්‍රයෝජනය සඳහා කැප කරන”30 බවට වූ පොරොන්දුව කෙරෙහි විශ්වාස කරනවා. දෙවියන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම තුළ, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් දුක් විඳීම, අප ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ වීම හා සම්බන්ධ වෙනවා.31 පර්වතයක් මත තම නිවස ගොඩනගා ගත් උපමාවේ32 ප්‍රඥාවන්තයා මෙන්, වර්ෂාව වැටී, ගංවතුර පැමිණ, සුළඟ හමා, ට්‍රැවිස් සහ කේසි ගොඩනඟා ඇති නිවසට පහර දුන් විට, එය වැටුණේ නෑ, මොකද එය ගොඩනගා තිබුණේ පර්වතයක් මත.33

අපගේ ජීවිත තුළ වර්ෂාව, ගංවතුර සහ සුළඟ ඇති වීමේ හැකියාව ගැන යේසුස්වහන්සේ කතා කළේ නෑ; නමුත් කුණාටු ඇති වන බවට ඔහු සහතික වුණා. උපමාවේ ඇති විචල්‍යය වන්නේ කුණාටු එයිද යන්න නොව උන්වහන්සේ ඉගැන්වූ දේ ඇසීමට සහ කිරීමට යන දෙකටම උන්වහන්සේගේ ආදරණීය ආරාධනයට අප ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්නයි.34 එයින් බේරීමට වෙනත් කිසිඳු මාර්ගයක් නෑ.

අපි ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගිවිසුම්ගත සම්බන්ධතාවයක පදනම මත අපගේ නිවාස ගොඩනගා ගත් විට, අපි ක්‍රිස්තුස්වහන්සේගේ දහම තුළ විශ්වාසය තබනවා, ඒවගේම අපි උන්වහන්සේ වෙතට පැමිණෙන විට, සදාකාල ජීවනය පිළිබඳ උන්වහන්සේගේ පොරොන්දුව අපට තිබෙනවා. ක්‍රිස්තුස්වහන්සේගේ දහම විශ්වාස කරන මිනිසුන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව ඉදිරියට ගොස් අවසානය දක්වා විඳදරාගන්නවා. ස්වර්ග රාජ්‍යයේ ගැලවීම ලැබීමට වෙනත් මාර්ගයක් නෑ.35

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවමාන, මරණයෙන් නැවත නැගිටි යථාර්ථය පිළිබඳ මගේ පෞද්ගලික සාක්ෂිය මම බෙදාගන්නවා. අපගේ පියාණන් වන දෙවියන්වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළාද යත්, පාපයෙන් අපව මුදවා ගැනීමටත්36, දුකින් අපව සුව කිරීමටත් උන්වහන්සේ තම පුත්‍රයාණන්ව එවූ බව මම සාක්ෂි දරනවා.37 උන්වහන්සේ අපගේ කාලය තුළ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු ලෙස සභාපති රසල් එම්. නෙල්සන්ව කැඳවා ඇති බවත්, උන්වහන්සේ ඔහු හරහා අපට කතා කරමින් අපට මගපෙන්වන බවත්, මම සාක්ෂි දරනවා.

ක්‍රිස්තුස්වහන්සේගේ දහම විශ්වාස කිරීමටත්, මිදුම්කරුවාණන්ගේ පර්වතය මත ඔබේ ජීවිත ගොඩනගා ගැනීමටත් මම මගේ මුළු හදවතින්ම ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේ කෙදිනකවත් ඔබව අසමත් කරන්නේ නෑ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. 2 නෙපි 30:18.

  2. 2 නෙපි 31:2; අවධාරණය කිරීම් සහිතයි.

  3. බලන්න 2 නෙපි 31–32.

  4. බලන්න 2 නෙපි 31:7–8.

  5. බලන්න 2 නෙපි 31:10.

  6. 2 නෙපි 31:12.

  7. 2 නෙපි 31:13.

  8. 2 නෙපි 31:15.

  9. In Marianne Holman Prescott, “Elder Russell M. Nelson: ‘Epistles of the Lord,’Church News, July 1, 2015, thechurchnews.com.

  10. Preach My Gospel: A Guide to Missionary Service (2018), 1. “ධර්මදූත අරමුණ” ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ අංග පහ පිළිඹිබු කරයි. 2 නෙපි 31–32 හි ඇති ඉගැන්වීමට ක්‍රිස්තුස්වහන්සේගේ වචනය තදින් අල්ලාගෙන සිටීම (බලන්න 2 නෙපි 31:19–20; 32:3); ආඥා පිළිපැදීම (බලන්න 2 නෙපි 31:7, 10, 18); යාච්ඤාව (බලන්න 2 නෙපි 32:8–9); සහ එහි හරය තුළ, අපට ගැලවීම ලැබිය හැකි එකම මාර්ගය ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාවයි යන දහම (බලන්න 2 නෙපි 31:21) වැනි ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ කොටසක් වන තවත් වැදගත් අංග කිහිපයක් ඇතුළත් වේ. 2 නෙපි 31:5–21; 3 නෙපි 11:31–39; 3 නෙපි 27:13–21; සහ මොසායා 6:59–62 හි ක්‍රිස්තුස්වහන්සේගේ දහම පිළිබඳ වඩාත් ගැඹුරු සාකච්ඡාවන් දක්නට ලැබුවද, ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ කාරණා ශුද්ධලියවිලි පුරා දක්නට ලැබේ.

  11. 2 කොරින්ති 3:3.

  12. රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන විවේකය සොයාගන්න,” ලියාහෝනා, නොවැ. 2022; අවධාරණය කිරීම් සහිතයි.

  13. Merriam-Webster.com Dictionary, “trust.”

  14. බලන්න දහම සහ ගිවිසුම් 84:44.

  15. බලන්න මතෙව් 11:29.

  16. බලන්න රසල් එම්. නෙල්සන්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජීවිත වෙත ඇදගැනීම,” ලියහෝනා, මැයි 2017, 39: “අපි පටන්ගන්නේ උන්වහන්සේ ගැන ඉගෙනීමෙනි. … ගැලවුම්කරුවාණන්ගේ දේවසේවය සහ මෙහෙවර ගැන අපි වැඩි වැඩියෙන් දන්නා තරමට—උන්වහන්සේගේ දහම සහ උන්වහන්සේ අප වෙනුවෙන් කළ දේ අපි වැඩි වැඩියෙන් තේරුම් ගන්නෙමු. … මාතෘකා මාර්ගෝපදේශයේ ඇති යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ශුද්ධලියවිලිමය උපුටා දැක්වීම් [ඔබේ] පුද්ගලික මූලික විෂය මාලාව බවට පත් කරගැනීමට මම [ඔබට ආරාධනා] කරනවා.”

  17. බලන්න මතෙව් 6:6–13.

  18. බලන්න 3 නෙපි 19:9.

  19. බලන්න 2 නෙපි 4:35; 3 නෙපි 19:24; දහම සහ ගිවිසුම් 46:30.

  20. බලන්න රසල් එම්. නෙල්සන්, “දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනම,” ලියහෝනා, නොවැ. 2021, 95: “ඔබ ඇති කරගත් ගිවිසුම් ඔබේ මනසෙහි පෙරහුරු කිරීමට නියමිත වේලාවක් නියම කරගන්නා ලෙස මම ඔබට ආරාධනා කරමි.”

  21. බලන්න දහම සහ ගිවිසුම් 107:22.

  22. බලන්න මොසායා 4:10.

  23. බලන්න මතෙව් 6:13.

  24. බලන්න මතෙව් 6:19–21, 33.

  25. බෙන්ජමින් රජ අවංක පසුතැවිල්ල විස්තර කළේ මෙසේය: “තවද නැවතත්, එනම් නුඹලාගේ පාපයන් ගැන පසුතැවිලි වී, තවද ඒවා අත්හල යුතු බව විශ්වාස කරන්න, තවද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාවම යටහත් කරගන්න, තවද උන්වහන්සේ නුඹලාට සමාව දෙන පිණිස හදවතේ අවංක කමින් ඉල්ලන්න; තවද දැන්, නුඹ මේ සියලු දේවල් විශ්වාස කරන්නේ නම් ඒවා පවත්වන්නට වගබලාගන්න” (මොසායා 4:10).

  26. බලන්න රසල් එම්. නෙල්සන්, “අධ්‍යාත්මික ගමයතාවයේ බලය,” ලියහෝනා, මැයි 2022, 98–99: “ස්වභාවික මිනිසා ඉවත් කිරීමේ සතුට අත්විඳීමට අදම පටන් ගන්න. ගැලවුම්කරුවාණන් සැමවිටම අපට ප්‍රේම කරන නමුත් විශේෂයෙන්ම අප පසුතැවිලි වන විට අපට ප්‍රේම කරනවා. … පසුතැවිලි වීමේ ප්‍රීතිය සහ සහනය අත්විඳින්න.”

  27. බලන්න ඇල්මා 5:14–15.

  28. Dallin H. Oaks, “Our Message for Missionaries” (worldwide missionary broadcast, Jan. 20, 2016); see also Dallin H. Oaks, “Sin and Suffering,” Ensign, July 1992, 73.

  29. 3 නෙපි 11:39; අවධාරණය කිරීම් සහිතයි.

  30. 2 නෙපි 2:2.

  31. බලන්න මතෙව් 5:8–9.

  32. බලන්න 3 නෙපි 14:24–27.

  33. බලන්න 3 නෙපි 14:24–25.

  34. බලන්න 3 නෙපි 14:24.

  35. බලන්න 2 නෙපි 31:20–21.

  36. බලන්න යොහාන් 3:16–17.

  37. බලන්න යොහාන් 16:20.