ප්‍රධාන සම්මන්ත්‍රණය
ආරක්ෂිතව නිවසට රැස්කර ඇත
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ආරක්ෂිතව නිවසට රැස්කර ඇත

පියාණන්වහන්සේගේ සැලැස්ම යටතේ වෙන කවරදාටත් වඩා ඉශ්‍රායෙලය තිරය දෙපසින්ම එක්රැස් කිරීමේ සුවිශේෂී ස්ථානයක අපි සිටිනවා.

අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා වන සභාපති රසල් එම්. නෙල්සන් විසින් ගැඹුරින් අවධාරණය කර ඇත්තේ විසිරී සිටින ඉශ්‍රායෙලය එක්රැස් කිරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට උපකාර කිරීම අපගේ සුවිශේෂී වගකීම බවයි.1 අපගේ ආත්මයන්ගේ පියාණන් තම දරුවන් ආරක්ෂිතව නිවසට රැස් කරගැනීමට කැමතියි.

අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ දරුවන්ව අපගේ ස්වර්ගික නිවස වෙත ආරක්ෂිතව රැස් කරගැනීමේ උන්වහන්සේගේ සැලැස්ම ලෞකික සාර්ථකත්වය, ආර්ථික තත්ත්වය, අධ්‍යාපනය, ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙන්නෙ නෑ. පියාණන්වහන්සේගේ සැලැස්ම පදනම් වී ඇත්තේ ධර්මිෂ්ඨකම, උන්වහන්සේගේ ආඥා පිළිපැදීම සහ පූජනීය නියෝග ලබා ගැනීම සහ අප ඇති කරගන්නා ගිවිසුම්වලට ගරු කිරීම මතයි.2

අප සියලු දෙනාම සහෝදර සහෝදරියන් වන අතර “දෙවියන්වහන්සේට සියල්ලෝම සමානය” යන දිව්‍යමය ආනුභාව ලත් දහම මෙම එක්රැස් කිරීමේ ශ්‍රේෂ්ඨ කාර්යයට පාදක වෙනවා. විවිධ ආර්ථික සහ වාර්ගික තත්වයන් වල සිටින මිනිසුන් වඩාත් යහපත් ජීවිත අත්විඳිනවාට හද ගැඹුරින් ආශා කරන අය සමඟ මෙම දහම එකඟ වෙනවා. අපි එවැනි උත්සාහයන් සඳහා අත්පොළසන් දී එක් වෙනවා. එපමණක් නොව, දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් උන්වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ ශුභාරංචිය තුළින් උන්වහන්සේ පිරිනමන සදාකාලික ආශිර්වාද ලබාගන්නවාට අපි කැමතියි.3 දහම සහ ගිවිසුම් සඳහා ස්වාමින්වහන්සේගේ පෙරවදනෙහි උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා, “දුර සිටින ජනයෙනි නුඹලා උවමනාවෙන් සවන්දෙන්න; තවද සයුරේ දූපත් මත සිටින නුඹලා, එක්ව සවන්දෙන්න.4

දහම සහ ගිවිසුම් හි පළමු පදයටම “සයුරේ දූපත්” මත සිටින ජනයාව ඇතුළත් කරගෙන ඇති ආකාරයට මම කැමතියි. මුහුදේ දූපත් වල සේවය කිරීමට සහ ජීවත් වීමට මට නිශ්චිත කැඳවීම් තුනක් ලැබී තිබුණා. මම මුලින්ම බ්‍රිතාන්‍ය දූපත් වලට තරුණධර්මදූතයෙකු ලෙසත්, දෙවනුව පිලිපීන දූපත් වල නව ප්‍රධාන අධිකාරීවරයෙකු ලෙසත්, පසුව බොහෝ පොලිනීසියානු දූපත් ඇතුළු පැසිපික් දූපත් වල ප්‍රාදේශීය සභාපතිවරයා ලෙසත් සේවය කළා.

මෙම ප්‍රදේශ තුනම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය වෙත ඇදහිලිවන්තයන් සාර්ථකව එක්රැස් කර තිබෙනවා. ධර්මදූතයින් ප්‍රථම වරට බ්‍රිතාන්‍ය දූපත් වෙත පැමිණියේ 1837 දී. මෙය ජෝසෆ් ස්මිත් විසින් කර්ට්ලන්ඩ් දේවමාළිගාව කැප කිරීමෙන් වසරකට පසුව සිදුවුණා, එහිදී මෝසෙස් විසින් “තවද පොළොවේ සතර දිග්භාගයෙන් ඉශ්‍රායෙලය එක්රැස් කිරීමටද, තවද උතුරු දේශය වෙතින් ගෝත්‍ර දහයට මගපෙන්වීමටද එම යතුරු”5 පවරා දී තිබුණා. බ්‍රිතාන්‍ය දූපත් වල මුල් සාර්ථකත්වය ඉතා ජනප්‍රියයි. 1851 වන විට, සභාවේ සාමාජිකයන්ගෙන් අඩකට වඩා අය බ්‍රිතාන්‍ය දූපත් වල ජීවත් වූ බව්තීස්ම වී ආගමට හැරුණු අයයි.6

1961 දී, වැඩිහිටි ගෝර්ඩන් බී. හින්ක්ලි විසින් පිලිපීන දූපත් වෙත ගොස් පූර්ණ කාලීන ධර්මදූත ප්‍රයත්නයන් ආරම්භ කළා. එකල සිටියේ එක් පිලිපීන මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු පමණයි. පුදුමයට කරුණ නම්, අද පිලිපීන දූපත් වල සභාවේ සාමාජිකයින් 850,000 කට වඩා සිටිනවා. මම පිලිපීන ජනතාව අගය කරනවා; ඔවුන්ට ගැලවුම්කරුවාණන් කෙරෙහි ගැඹුරු සහ ස්ථිර ආදරයක් තිබෙනවා.

පොලිනීසියානු දූපත් වෙත සිදුවෙමින් පවතින ධර්මදූත ප්‍රයත්නය සමහර විට එතරම් ප්‍රසිද්ධ නෑ. එය 1844 දී ඇඩිසන් ප්‍රැට් දැන් ප්‍රංශ පොලිනීසියාව ලෙස හඳුන්වන ස්ථානයට ගිය විට ආරම්භ වුණා.7 බොහෝ පොලිනීසියානුවන් ඒ වන විටත් සදාකාලික පවුල් ගැන විශ්වාස කළ අතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් ලෙස පිළිගෙන තිබුණා. අද පොලිනීසියානු දූපත් වල පොලිනීසියානුවන්ගෙන් සියයට 25ක් පමණ සභාවේ සාමාජිකයන්.8

මම වරක් හත්-වන පරම්පරාවේ සාමාජිකයෙකු වූ ඈත ටාහිටියානු දූපතක 17 හැවිරිදි ගැහැණු ළමයෙකුට සවන් දුන්නා. සභාවේ මුල් සාමාජිකයන් සෝල්ට් ලේක් නිම්නයට පැමිණීමට වසර දෙකකට පෙර 1845 දී ටුබුවායිහිදී සභාවට හැරුණු ඇගේ මුතුන් මිත්තන්ට ඇය උපහාර දැක්වූවා.9

සියලුම මිනිසුන්ට ශුභාරංචිය ලැබීමට සහ එයට ප්‍රතිචාර දැක්වීමට කාලයක් සහ සමයක් ඇති බව අපගේ දහම පැහැදිලිව පෙන්වා දෙනවා. මෙම උදාහරණ විශාල පින්තූරයක කොටසක් පමණයි. සභාපති නෙල්සන් නැවත නැවතත් මෙසේ අවධාරණය කර තිබෙනවා “ඉශ්‍රායෙලය එක්රැස් කිරීම අද මිහිපිට ඇති ශ්‍රේෂ්ටතම අභියෝගය, … කාරණය, සහ … කාර්යයි.”10

මොර්මොන්ගේ පොත එළියට පැමිණීම සහ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට එළිදරව් සහ පූජකවර යතුරු ලබාදීම ඇතුළු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ නැවත පිහිටුවීම සිදුවන තෙක්, “ඉශ්‍රායෙලය රැස්කිරීම” යන්නෙහි අවබෝධය අසම්පූර්ණ සහ සීමිත වී තිබුණා.11

“ඉශ්‍රායෙලය” යන සුවිශේෂී නාමය යාකොබ්ට ප්‍රදානය කර තිබූ නාමයයි.12 එය ඊසාක් සහ යාකොබ් හරහා ආබ්‍රහම්ගේ පරම්පරාව නියෝජනය කිරීම සඳහා යොදාගත්තා. ආබ්‍රහම් පියාට දී ඇති මුල් පොරොන්දුව සහ ගිවිසුම ආබ්‍රහම් 2:9–10 හි දක්වා තිබෙනවා, එහි කොටසක් මෙසේ කියනවා:

“තවද මම නුඹගෙන් ශ්‍රේෂ්ඨ ජාතියක් සාදන්නෙමි, …

“තවද මම නුඹගේ නාමය තුළින් [සියලු ජාතීන්] ආශිර්වාද කරන්නෙමි; මක්නිසාද මෙම ශුභාරංචිය ලබාගන්නා සියල්ලන්ව නුඹගේ නාමයෙන් හඳුන්වනු ලබන අතර, තවද නුඹගේ වංශය ලෙස ගණන්ගනු ලබන්නේය, තවද ඔවුන් නැගිට, ඔවුන්ගේ පියා ලෙස නුඹට ප්‍රශංසා කරනු ලබන්නෝය.”

පෙර ආත්මික ජීවිතයේ ස්වර්ගයේ මන්ත්‍රණ සභාව අතරතුර, ගැලවීමේ සැලැස්ම සාකච්ඡා කර එය ස්ථිර කළා. ලෝකයේ පදනමට පෙර පිහිටුවන ලද සහ එම එක් රැස් කිරීම මත පුරෝකථනය කරන ලද පූජකවරයේ ඇතැම් නීති සහ නියෝග එයට ඇතුළත් වුණා.13 තෝරාගැනීමේ නිදහස යන ප්‍රධාන මූලධර්මය ද එයට ඇතුළත්.

සාවුල්, දාවිත් සහ සොලමොන්ගේ පාලන කාලය ඇතුළුව, බලවත් සෙනඟක් ලෙස සිට සියවස් කිහිපයකට පසු, ඉශ්‍රායෙලය බෙදී ගියා. යුදා ගෝත්‍රය සහ බෙන්යමින්ගේ ගෝත්‍රයේ කොටසක් යුදාගේ රාජ්‍යය බවට පත් වුණා. ඉතිරි අය, ගෝත්‍ර දහය ලෙස හඳුන්වාගමින්, ඔවුන් ඉශ්‍රායෙල් රාජ්‍යය බවට පත් වුණා.14 වසර 200 ක වෙන වෙනම පැවැත්මකින් පසු, ඉශ්‍රායෙලයේ පළමු විසිරීම සිදු වූයේ ක්‍රි.පූ. 721 දී ඉශ්‍රායෙලයේ මෙම ගෝත්‍ර දහය අසිරියානු රජු විසින් වහල්භාවයට ගෙන යන විටයි.15 පසුව ඔවුන් උතුරු රටවලට ගියා.16

ක්‍රි.පූ. 600දී මොර්මොන්ගේ පොත ආරම්භයේදී, ලෙහි පියා ඉශ්‍රායෙල්වරුන්ගේ ජන සමූහයක් අමෙරිකාව වෙත ගෙන ගියා. ඉශ්‍රායෙල් හි කොටසක් වූ ලෙහි එම විසිරී යාම තේරුම් ගත්තා. ඉශ්‍රායෙල් වංශය “ඔලිව ගසක් මෙන් සන්සන්දනය කළ යුතුය, එම අතු කඩා දමා පොළොවේ මුහුණත මත විසුරුවා හරිනු ලැබුවාක් මෙන් විය යුතුය,” කියා නෙපි විසින් ඔහුව උපුටා දක්වා තිබෙනවා.17

මෙම නව ලෝකය, මොර්මොන්ගේ පොතෙ හි දක්වා ඇති නෙපිවරුන්ගේ සහ ලාමන්වරුන්ගේ ඉතිහාසය, ආසන්න වශයෙන් ක්‍රි.ව. 400 දී අවසන් වෙනවා. ලෙහි පියාගෙන් පැවත එන්නන් අමෙරිකාව පුරාම පැතිරී සිටිනවා.18

මෙය මොර්මොන් විසින් 3 නෙපි 5:20 හි පැහැදිලිව විස්තර කර තිබෙනවා, එහි මෙසේ කියවෙනවා: “මම මොර්මොන් ය, තවද ලෙහිගෙන් කෙලින්ම පැවත එන්නෙක්මි. මට මාගේ දෙවියන්වහන්සේ සහ මාගේ ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ආශිර්වාද කිරීමට කාරණයක් ඇත්තේය, එනම් උන්වහන්සේ අපගේ පියවරුන්ව යෙරුසලම් දේශයෙන් පිටතට ගෙන ආ සේක.”19.

පැහැදිලිවම ඉශ්‍රායෙලයේ කාලානුක්‍රමික ඉතිහාසයේ උච්චතම අවස්ථාව වන්නේ අපගේ ස්වාමින්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත, පණිවිඩය, දේවසේවය සහ මෙහෙවරයි.20

ගැලවුම්කරුවාණන්ගේ සදාකාලය හැඩගැස්වීමේ මරණය සහ මරණයෙන් නැවත නැගිටීමෙන් පසුව, ක්‍රි.ව. 70 සහ ක්‍රි.ව. 135 අතර යුදා හි දෙවන සුප්‍රසිද්ධ විසිරීම සිදු වූ අතර, රෝම පීඩනය සහ පීඩා හේතුවෙන්, යුදෙව්වන් එවකට ලෝකය පුරා විසිරී ගියා.

සභාපති නෙල්සන් මෙසේ උගන්වා තිබෙනවා, “ස්වාමින්වහන්සේ ගිවිසුමේ දරුවන් එක්රැස් කිරීමට පටන් ගත් බවට ලකුණක් ලෙස මොර්මොන්ගේ පොත ඉදිරියට පැමිණියා.”21 මේ අනුව, දෙවියන්වහන්සේගේ දීමනාව සහ බලය තුළින් අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් විසින් පරිවර්තනය කරන ලද මොර්මොන්ගේ පොත, ලෙහිගේ පරම්පරාවට, විසිරුණු ඉශ්‍රායෙලයට, සහ ඉශ්‍රායෙලයේ ගෝත්‍ර වලට පිටතින් එකතු වූ අන්‍ය ජාතිකයින්ට යොමු වී තිබෙනවා. 1 නෙපි 22 වෙනි පරිච්ඡේදයේ ශීර්ෂයේ කොටසකින් මෙසේ කියවෙනවා, “ඉශ්‍රායෙලය මුළු පොළවේ මුහුණත මත විසිරුවා හරිනු ඇත—අන්තිම දවස්වලදී අන්‍ය ජාතිකයන් ඉශ්‍රායෙල්වරුන්ව ශුභාරංචියෙන් රැකබලාගෙන පෝෂණය කරනු ඇත.” මොර්මොන්ගේ පොතේ මුල් පිටුවේ කියවෙන ආකාරයට “යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව යුදෙව්වන්ට සහ අන්‍ය ජාතීන්ට ඒත්තු ගැන්වීම” එම පොතේ එක් අරමුණක්. නැවත පිහිටුවීම සහ මොර්මොන්ගේ පොත සමඟ, “ඉශ්‍රායෙලය එක්රැස් කිරීම” යන සංකල්පය විශාල වශයෙන් පුළුල් වී තිබෙනවා.22

පෙළපත නොතකා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිගන්නා අය එක්රැස් වූ ඉශ්‍රායෙලයේ කොටසක් බවට පත්වෙනවා.23 එම එක් රැස්වීම සහ බොහෝ දේවමාළිගා ගොඩනඟා ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, පියාණන්වහන්සේගේ සැලැස්ම යටතේ වෙන කවරදාටත් වඩා ඉශ්‍රායෙලය තිරය දෙපසින්ම එක්රැස් කිරීමේ සුවිශේෂී ස්ථානයක අපි සිටිනවා.

සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල්, ඉශ්‍රායෙලය සැබවින්ම එක්රැස් කිරීම ගැන කතා කරමින් මෙසේ ප්‍රකාශ කළා: “දැන්, ඉශ්‍රායෙලයේ එක්රැස්වීමට ඇතුළත් වන්නේ සත්‍ය සභාවට එක්වීම සහ … සත්‍ය දෙවියන්වහන්සේ පිළිබඳ දැනුමට පැමිණීමයි. … එබැවින්, නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිගෙන, දැන් ඔහුගේම භාෂාවෙන්ම ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට සහ ඔහු ජීවත් වන ජාතීන් තුළ ශුද්ධවන්තයන් සමඟ නමස්කාර කිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයෙක්, ඉශ්‍රායෙලය එක්රැස් කිරීමේ නීතියට අවනත වී මේ අන්තිම දවස්වල ශුද්ධවන්තයන්ට පොරොන්දු වී ඇති ආශිර්වාද සියල්ලෙහි උරුමක්කාරයෙක් වෙනවා.24

“ඉශ්‍රායෙලය එක්රැස් කිරීම දැන් හැරීමට සම්බන්ධයි.”25

පැහැදිලි කාචයකින් බලන කල, ස්වාමින්වහන්සේගේ ගිවිසුම් ආශිර්වාදවල පූර්ණත්වය ලබාගැනීමට, ඉශ්‍රායෙලයට ප්‍රේම කිරීමේ, බෙදාගැනීමේ, ආරාධනා කිරීමේ සහ උපකාර කිරීමේ මහත් වරප්‍රසාදය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයින්ට තිබෙනවා. මෙයට අප්‍රිකානුවන් සහ යුරෝපානුවන්, දකුණු සහ උතුරු අමෙරිකානුවන්, ආසියානුවන්, ඕස්ට්‍රේලියානුවන් සහ මුහුදු දූපත් වල සිටින අය ඇතුළත්. “මක්නිසාද සැබවින්ම ස්වාමින්වහන්සේගේ හඬ සියලු මනුෂ්‍යයන්ටය.”26 “ලෝකයේ ජාතීන්ගේ ශුද්ධවන්තයන්ගේ සභාවන්ට ධර්මිෂ්ඨයන් එක්රැස් වන තුරු මෙම එක්රැස්වීම දිගටම පවතිනු ඇත.”27

සභාපති රසල් එම්. නෙල්සන් තරම් ඍජුව මෙම එක්රැස්වීම ගැන කිසිවෙකුත් කතා කර නෑ: “දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගැනීමට සහ ඒවායේ අත්‍යවශ්‍ය බව්තීස්ම සහ දේවමාළිගා නියෝග ලබාගැනීමට පියවරක් ගැනීමට—තිරයේ ඕනෑම පැත්තක—ඕනෑම කෙනෙකුට උපකාර වන ඕනෑම දෙයක් ඔබ ඕනෑම අවස්ථාවක කරන විට, ඔබ ඉශ්‍රායෙලය එක්රැස් කිරීමට උදව් වෙනවා. එය ඒ තරම්ම සරලයි.”28

අද සභාවේ තත්වය මොකක්ද? මම 1960 දී ධර්මදූත සේවයක් කිරීමට පටන් ගත් 62 වසර තුළ, අනාගතවක්තෘවරයාගේ කැඳවීම යටතේ සේවය කරන පූර්ණ කාලීන ධර්මදූතයින්ගේ සංඛ්‍යාව 7,683 සිට 62,544 දක්වා වැඩි වී තිබෙනවා. ධර්මදූත සංඛ්‍යාව 58 සිට 416 දක්වා වැඩි වී තිබෙනවා. සාමාජිකයින් සංඛ්‍යාව ආසන්න වශයෙන් 1,700,000 සිට ආසන්න වශයෙන් 17,000,000 දක්වා වැඩි වී තිබෙනවා.

Covid-19 වසංගතය ශුභාරංචිය බෙදා ගැනීමට අපට ඇති සමහර අවස්ථාවන්ට තාවකාලිකව බලපෑවා. එය නව තාක්‍ෂණය භාවිතා කිරීමට අත්දැකීම් ද ලබා දුන් අතර, එය මෙම එක්රැස්වීම බෙහෙවින් වැඩි දියුණු කළා. සාමාජිකයන් සහ ධර්මදූතයින් විසින් විසිරී සිටින ඉශ්‍රායෙලය එක්රැස් කිරීමේ උත්සාහයන් දැන් පුළුල් කරමින් සිටීම ගැන අපි කෘතඥ වෙනවා. මෙම වර්ධනය සෑම තැනකම, විශේෂයෙන්ම දකුණු අමෙරිකාව සහ අප්‍රිකාවේ දිගටම සිදුවෙමින් පවතිනවා. ධර්මදූත සේවයේ වර්ධනය සඳහා සභාපති නෙල්සන්ගේ බලවත් ආරාධනයට ලොව පුරා බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වා තිබීම ද අපි අගය කරනවා. එසේ වුවත්, ආදරය කිරීම, බෙදාගැනීම සහ ආරාධනා කිරීම සඳහා අපගේ කැපවීම විශාල වශයෙන් පුළුල් කරන්න පුළුවන්.

මෙම ධර්මදූත ප්‍රයත්නයේ අත්‍යවශ්‍ය අංගයක් තමයි, අප කොතැනක සිටියත් සෑම සාමාජිකයෙකුගේම ආලෝකය එක් වී එය ආදර්ශමත් බවේ පහන් කණුවක්29 බවට පත්වීම.30 අපට සැඟවී සිටින්න බැහැ. කරුණාව, ධර්මිෂ්ඨකම, ප්‍රීතිය සහ සියලු ජනයා කෙරෙහි අවංක ප්‍රේමය පිළිබඳ අපගේ ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ආදර්ශය ඔවුන්ට මගපෙන්වන ආලෝක පහන් කණුවක් වෙනවා පමණක් නොවේ, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය තුළ ගැලවීමේ සහ උත්කර්ෂයේ නියෝග තුළ ආරක්ෂිත වරායක් ඇති බවටද අවබෝධයක් ඇති කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීමේදී කැපී පෙනෙන ආශිර්වාද ඇති බව කරුණාකර තේරුම් ගන්න. ප්‍රීතිය සහ සාමය, පව් කමා කිරීම, පරීක්ෂාවලින් ආරක්ෂා වීම සහ දෙවියන්වහන්සේගෙන් ලැබෙන බලය පවත්වා ගැනීම ගැන ශුද්ධලියවිලි කතා කරනවා.31 මෙම ලෞකික ජීවිතයෙන් ඔබ්බට බලන විට, “අන්ධකාරයේ සහ පාපයේ බැමි වලට යටත්ව සිටින්නාවූ මළවුන්ගේ ආත්මයන්ගෙන් යුත් මහත් වූ ලෝකය තුළ සිටින්නාවූ අය අතර”32 ශුභාරංචිය බෙදාගැනීමට අපි සූදානම් වී සිටියි.

සෑම දරුවෙකුටම, තරුණ පිරිමි ළමයෙකුටම, තරුණ ගැහැණු ළමයෙකුටම, පවුලකටම, ගණපූරණයකටම, සහන සමිතියකටම සහ පන්ති වලට, ස්වාමින්වහන්සේ විසින් සහ අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා විසින් උපදෙස් ලබා දී ඇති පරිදි ඉශ්‍රායෙලය එක්රැස් කිරීමට උපකාර කිරීම සඳහා, අපි තනි තනිව සහ සාමූහිකව මෙම අපූරු උපදෙස් පිළිගන්නා ආකාරය සමාලෝචනය කිරීමට හැකිවේවා කියා අද දවසේ මම නිශ්චිතව යාච්ඤා කරනවා.

අපි තෝරා ගැනීමේ නිදහසට ගරු කරනවා. මෙම ලෞකික ලෝකයේ, බොහෝ අය ඉශ්‍රායෙලයේ එක්රැස්වීමට ප්‍රතිචාර නොදක්වන අතර ඒ සඳහා සහභාගී වෙන එකක් නෑ. බොහෝ දෙනෙක් එසේ කරයි, නමුත් දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ලැබූ අය අනෙක් අයට දෙවියන්වහන්සේ වෙතට පැමිණීමට උපකාර වන ආලෝක පහන් කණුවක ආදර්ශයක් වීමට වහා උත්සාහ කරනු ඇතැයි ස්වාමින්වහන්සේ අපේක්ෂා කරනවා. මෙමගින් ලොව පුරා සිටින අපගේ සහෝදර සහෝදරියන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ අතිවිශිෂ්ට ආශිර්වාද සහ නියෝග භුක්ති විඳීමට සහ ආරක්ෂිතව නිවසට රැස් වීමට ඉඩ සලසනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යත්වය සහ ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේගේ අප සඳහා වූ සැලැස්ම පිළිබඳ මම මගේ ස්ථිර සහ නිශ්චිත අපෝස්තලික සාක්ෂිය දරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න රසල් එම්. නෙල්සන්, “පිළිගැනීමේ පණිවිඩය,” ලියහෝනා, 2021 මැයි, 7.

  2. බලන්න දහම සහ ගිවිසුම් 20:37.

  3. බලන්න 2 නෙපි 26:33.

  4. දහම සහ ගිවිසුම් 1:1. දහම සහ ගිවිසුම් 1:4 හි ස්වාමින්වහන්සේ තවදුරටත් මෙසේ පවසයි: “තවද මෙම අවසන් දවස්හිදී මා විසින් තෝරාගන්නා ලද, මාගේ ගෝලයන්ගේ මුඛයන් මගින් එන, අනතුරු හැඟවීමේ හඬ සියලු මනුෂ්‍යයන් හටය.”

  5. දහම සහ ගිවිසුම් 110:11.

  6. 1851 දී, සභාවේ මුළු සාමාජිකයන් සංඛ්‍යාව 52,165 ක් විය. සභාවේ වාර්තා සහ එංගලන්තයේ සහ වේල්සයේ “1851 ආගමික සංගණනයට” අනුව එම ස්ථාන වල සාමාජිකයින් 28,000 කට වඩා සිටියහ (බලන්න Robert L. Lively Jr., “Some Sociological Reflections on the Nineteenth-Century British Mission,” in Mormons in Early Victorian Britain, ed. Richard L. Jensen and Malcolm R. Thorp [1989], 19–20).

  7. බලන්න Saints: The Story of the Church of Jesus Christ in the Latter Days, vol. 1, The Standard of Truth, 1815–1846 (2018), 494–95, 514–15, 573.

  8. ටොංගා: සියයට 45; සමෝවා: සියයට 31; අමෙරිකානු සමෝවා: සියයට 22.5; සහ ප්‍රංශ පොලිනීසියාව: සියයට 7.

  9. බලන්න Saints, 573–74.

  10. Russell M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), HopeofIsrael.ChurchofJesusChrist.org.

  11. මෙම අද්විතීය හා බලගතු දහම මොර්මොන්ගේ පොතේ අඩංගු වන අතර සංක්ෂිප්තව ඇදහිල්ලේ කරුණු වල දහවන වගන්තියේ, ආරම්භයේ මෙසේ සඳහන් වෙනවා, “ඉශ්‍රායෙල් ජනතාව සත්‍යයෙන්ම රැස්වෙන බව සහ ගෝත්‍ර දහය නැවත පිහිටුවන බව අපි විශ්වාස කරන්නෙමු” (බලන්න James E. Talmage, The Articles of Faith, 12th ed. [1924], 314–44).

  12. උත්පත්ති 32:28 හි වාර්තා කර ඇති ශුද්ධලියවිලිමය වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා, “නුඹ දෙවියන්වහන්සේ සමගත් මනුෂ්‍යයන් සමගත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.”

  13. බලන්න Joseph Smith, in “History, 1838–1856, volume D-1,” 1572, josephsmithpapers.org; see also Joseph Smith, “Discourse, 11 June 1843–A, as Reported by Wilford Woodruff,” [42–43], josephsmithpapers.org; Joseph Smith, “Discourse, 11 June 1843–A, as Reported by Willard Richards,” [241], josephsmithpapers.org.

  14. බලන්න Bible Dictionary, “Israel, Kingdom of”; James E. Talmage, The Articles of Faith, 315. රෙහොබෝවම් සහ ඔහුගේ යටත්වැසියන් යුදා රාජධානිය ලෙස හැඳින්වූ අතර නූතන ඉශ්‍රායෙලයේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇත.

  15. බලන්න 2 රාජාවලිය 17:23.

  16. බලන්න දහම සහ ගිවිසුම් 133:26; තවත් බලන්න දහම සහ ගිවිසුම් 110:11.

  17. 1 නෙපි 10:12. අම්මොන් පසුව මෙසේ පැවසුවේය, “ඉශ්‍රායෙල් වෘක්ෂයේ අත්තක් වූ, තවද එහි ශරීරයෙන් වෙන් වී වෙනත් දේශයක තනි වී සි​ටි මෙම ජනතාව ගැන සැලකිලිමත් වූ දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා” (ඇල්මා 26:36).

  18. සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල්, ලාමන්වර ඉශ්‍රායෙලය ගැන කතා කරමින්, සයොනය යනු මුළු අමෙරිකාවම බව ඉගැන්වීය. ඔහු මෙසේ පැවසුවේය, “අපි ඉශ්‍රායෙලයේ සිටින අතර අපි රැස්වෙමින් සිටින්නෙමු” (The Teachings of Spencer W. Kimball, ed. Edward L. Kimball [1982], 439).

  19. තම පවුල රැගෙන පාළුකරයට යන ලෙස ලෙහි පියාට උපදෙස් දුන් විට, ඒ සඳහා අවම වශයෙන් හේතුව වූයේ යෙරුසලමේ විනාශයයි (බලන්න 1 නෙපි 2). සොලමොන්ගේ දේවමාළිගාව විනාශ කිරීම, යෙරුසලමේ වැටීම සහ යූදා ගෝත්‍රයේ වහල්භාවය ක්‍රි.පූ 586 දී පමණ සිදු විය.

    “ක්‍රි.පූ. 720 දී පමණ ඉශ්‍රායෙලය යටත් කර ගත් අතර, එහි ගෝත්‍ර 10ක් පිටුවහල් කරන ලදි. … “[යෙරුසලමේ] සොලමොන්ගේ දේවමාළිගාවට විදේශ බලවේග විසින් ප්‍රහාර කිහිපයක් එල්ල කරන ලදි, අවසානයේ, ක්‍රි.පූ. 586 දී, බැබිලෝනියන් රජුගේ හමුදාව විසින් එය මුළුමනින්ම විනාශ කරන ලදි” (David B. Green, “The History of the Jewish Temple in Jerusalem,” haaretz, Aug. 11, 2014, බලන්න 2 රාජාවලිය 25:8–9.

  20. බලන්න Tad R. Callister, The Infinite Atonement (2000).

  21. Russell M. Nelson, “Children of the Covenant,” Ensign, May 1995, 33; see also “Covenants,” Liahona, Nov. 2011, 88.

  22. බලන්න Russell M. Nelson, in R. Scott Lloyd, “Seminar for New Mission Presidents: ‘Swift Messengers’ to Scattered Israel,” Church News, July 13, 2013, thechurchnews.com. සභාපති නෙල්සන් ප්‍රකාශ කර ඇත්තේ මෙම එක්රැස්වීම “භෞතික පිහිටීම පිළිබඳ කාරණයක් නොවේ; එය පුද්ගල කැපවීම පිළිබඳ කාරණයක් කියාය. මිනිසුන්ට තම නිජබිම් හැර නොගොස් ‘ස්වාමින්වහන්සේගේ දැනුමට’ [3 නෙපි 20:13] යා හැක” (“The Gathering of Scattered Israel,” Liahona, Nov. 2006, 81). තවත් බලන්න 3 නෙපි 21:1–7.

  23. අපගේ දහම පැහැදිලි ය; ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ගෝත්‍ර ඔවුන්ගේ කැරැල්ල නිසාත් ඔවුන්ගේ අධර්මිෂ්ඨකම නිසාත් ඔවුන්ව විසුරුවා හැරිය සේක. කෙසේ වෙතත්, ස්වාමින්වහන්සේ ලෝකයේ ජාතීන්ට ආශිර්වාද කිරීම සඳහා තමන් තෝරාගත් සෙනඟ එම ජාතීන් අතර විසුරුවා හැරීම ද භාවිතා කළ සේක. (බලන්න Guide to the Scriptures, “Israel—The Scattering of Israel,” scriptures.ChurchofJesusChrist.org.)

  24. Spencer W. Kimball, The Teachings of Spencer W. Kimball, 439.

  25. Summary heading in Spencer W. Kimball, The Teachings of Spencer W. Kimball, 438. තවත් බලන්න “All Are Alike unto God,” ed. E. Dale LeBaron (1990), a collection of 23 conversion stories by Black African Latter-day Saints. ජූලියා එම්. මවිම්බ්ලා සහෝදරිය සභාවට සම්බන්ධ වී ඉශ්‍රායෙලය යන වචනය දැනගැනීමට පෙර, ඇය පොත පැත්තකට විසි කර මෙසේ පවසනු ඇතැයි සිතුවාය, “ඒක සුද්දන්ට, එය අපට නොවේ. එය අප සඳහා නොවේ. අපි තෝරාගත් අය නෙවේ.’ මම ධර්මිෂ්ඨව ජීවත් වෙනවා නම් මම අයිති රජ පවුලකට බව අද මම දන්නවා. මම ඉශ්‍රායෙල් ජාතිකයෙක්, මම දේවමාළිගාවේ මගේ නියෝග ඉටු කරන විට, අපි සියලුදෙනාම එකම පවුලක් ලෙස මේ පොළොවේ සිටින බව මට හැඟුණා” (in “All Are Alike unto God,” 151).

  26. දහම සහ ගිවිසුම් 1:2.

  27. Spencer W. Kimball, The Teachings of Spencer W. Kimball, 438.

  28. Russell M. Nelson, “Hope of Israel.”

  29. ප්‍රේරිත පාවුල් තම තරුණ මිතුරා වූ තිමෝතිට පැවසුවේ “ඇදහිලිවන්තයන්ට ආදර්ශයක් වන්න” කියායි (1 තිමෝති 4:12).

  30. බලන්න 3 නෙපි 18:24.

  31. බලන්න මොසායා 18:8–13; 3 නෙපි 18:25; දහම සහ ගිවිසුම්s 18:10–16; 31:5; 62:3.

  32. දහම සහ ගිවිසුම් 138:57.