ප්‍රධාන සම්මන්ත්‍රණය
“මගේ ප්‍රීතිය තරම් විශිෂ්ඨ හා මිහිරි කිසිවක් එහි තිබිය නොහැක”
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


“මගේ ප්‍රීතිය තරම් විශිෂ්ඨ හා මිහිරි කිසිවක් එහි තිබිය නොහැක”

දිනපතා පසුතැවිලි වීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම ප්‍රීතිය අත්විඳීමට මාර්ගයයි.

ගැලවුම්කරුවාණන්ගේ ලෞකික දේවසේවය පුරාවටම, උන්වහන්සේ දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට—විශේෂයෙන් දුක්විඳින හෝ වැටී සිටි අයට මහත් අනුකම්පාවක් පෙන්නුවා. පව්කාරයන් සමඟ ඇසුරු කිරීම සහ ඔවුන් සමඟ ආහාර ගැනීම සම්බන්ධයෙන් පරිසිවරුන් විසින් විවේචනය කළ විට, හුරුපුරුදු උපමා තුනක් ඉගැන්වීමෙන් යේසුස්වහන්සේ ප්‍රතිචාරය දැක්වුවා.1 මේ සෑම උපමාවකින්ම උන්වහන්සේ අවධාරණය කළේ මඟහැරී ගිය අය සොයා යාමේ වැදගත්කම සහ ඔවුන් නැවත පැමිණෙන විට දැනෙන සතුට ගැනයි. නිදසුනක් වශයෙන්, නැතිවූ බැටළුවන් පිළිබඳ උපමාවේදී උන්වහන්සේ මෙසේ පැවසුවා, “පශ්චාත්තාප වන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි [මහත්] ප්‍රීතියක් වන්නේය.”2

අද මගේ ආශාව තමයි ප්‍රීතිය සහ පසුතැවීම අතර සම්බන්ධය ශක්තිමත් කිරීම—වඩාත් විශේෂයෙන්, අප පසුතැවිලි වන විට ලැබෙන ප්‍රීතිය සහ ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව ඔවුන්ගේ ජීවිතවල යොදාගැනීමටත් අන් අයට ආරාධනා කරන විට අපට ලැබෙන ප්‍රීතියේ හැඟීම් ගැන කතා කිරීම.

අපි සිටින්නේ, අපට ප්‍රීතිය ඇති වන පිණිසය

ශුද්ධලියවිලිවල සාමාන්‍යයෙන් ප්‍රීතිය යන වචනයෙන් අදහස් කරන්නේ තෘප්තිමත් අවස්ථාවන් හෝ සන්තෝෂයේ හැඟීම් පවා ඉක්මවා යාමක්. මෙම සන්දර්භය තුළ ප්‍රීතිය යනු දේව ගුණාංගයක් වන අතර, අප නැවත දෙවියන්වහන්සේ ඉදිරියෙහි වාසය කරන විට එහි පූර්ණත්වය අපට සොයාගන්නට පුළුවන්.3 එය මේ ලෝකයට ලබා දිය හැකි ඕනෑම සතුටක් හෝ සැනසීමකට වඩා ගැඹුරු, උසස්, කල්පවත්නා සහ ජීවිතය වෙනස් කරන දෙයක්.

අපව මවනු ලැබුවේ ප්‍රීතිය ලැබීමටයි. එය ප්‍රේමණීය ස්වර්ගික පියෙකුගේ දරුවන් ලෙස අපගේ අපේක්ෂිත ඉරණමයි. උන්වහන්සේ කැමතියි උන්වහන්සේගේ ප්‍රීතිය අප සමඟ බෙදා ගැනීමට. අප සෑම කෙනෙකු සඳහාම දෙවියන්වහන්සේගේ සැලැස්ම වන්නේ අපට “ප්‍රීතිය ලැබිය හැකි වීම”4 බව අනාගතවක්තෘ ලෙහි ඉගැන්වුවා. අප ජීවත් වන්නේ වැටුණු ලෝකයක නිසා, විඳදරාගැනීමේ ප්‍රීතිය හෝ සදාකාලික ප්‍රීතිය බොහෝ විට අපට ළඟා විය නොහැකි බවක් පෙනෙනවා. එහෙත්, ඊළඟ පදයේම, “මෙසියස්වහන්සේ [පැමිණියේ] …, [අපව] වැටීමෙන් මුදවා ගන්නා පිණිස” බව පැහැදිලි කරමින් ලෙහි එම කතාව දිගටම කරගෙන ගියා.5 ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් සහ උන්වහන්සේ තුළින් ලැබෙන මිදීම, මෙම ප්‍රීතිය ලබාගැනීම යතාර්ථයක් කරනවා.

ශුභාරංචි පණිවිඩය බලාපොරොත්තුවේ පණිවිඩයක්, “මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචියක්,”6 එමෙන්ම සියලු දෙනාටම මේ ජීවිතයේ සාමය සහ ප්‍රීතියේ අවස්ථාවන් අත්විඳිය හැකි, එමෙන්ම ඉදිරි ජීවිතයේදී ප්‍රීතියෙන් පූර්ණත්වය ලබා ගත හැකි මාධ්‍යයක්.7

අප කතා කරන ප්‍රීතිය ඇදහිලිවන්තයන්ට තෑග්ගක් වන නමුත් එය පැමිණෙන්නේ මිලක් සමඟයි. ප්‍රීතිය ලාභදායී හෝ අහම්බෙන් ලබා දෙන දෙයක් නොවේ. ඒ වෙනුවට, එය මිල දී ගනු ලබන්නේ “[යේසුස්] ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ රුධිරයෙන්.”8 සැබෑ, දිව්‍යමය ප්‍රීතියේ වටිනාකම අප සැබවින්ම වටහා ගත්තේ නම්, ඕනෑම ලෞකික වස්තුවක් පරිත්‍යාග කිරීමට හෝ එය ලැබීමට අවශ්‍ය ජීවිතයේ වෙනස්කම් කිරීමට අපි පසුබට වන්නේ නෑ.

මොර්මොන්ගේ පොතේ බලවත් නමුත් නිහතමානී රජෙකු මෙය තේරුම් ගත්තා. ඔහු මෙසේ ඇසුවා “මම දෙවියන්වහන්සේගෙන් ඉපදීමටද, මෙම නපුරු ආත්මයමාගේ හදවතෙන් උදුරා දැමීමට, තවද උන්වහන්සේගේ ආත්මය ලබාගැනීමට එනම් මම ප්‍රීතියෙන් පූර්ණ වීමටද, එනම් අන්තිම දවසේදී මා ඉවතට නොදැමීමට මම කුමක් කළ යුතුද? බලන්න ඔහු කීවේය, මම මට අයත් සියළු දේ දෙන්නෙමි, එසේය, එනම් මම මෙම බලවත් ප්‍රීතිය ලබාගන්නා පිණිස මම මාගේ රාජධානිය අත්හරින්නෙමි.”9

එම රජුගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, ධර්මදූතවරයෙකු වූ ආරොන් පැවසුවේ, “නුඹ මේ දේවල් වලට ආශා වන්නේ නම්, … දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්න … [තවද] ඔබේ සියලු පාපවලට පසුතැවිලි වන්න.”10 පසුතැවීම ප්‍රීතිය සඳහා මාර්ගයකි,11මන්ද එය ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යන මාර්ගයයි.12

ප්‍රීතිය පැමිණෙන්නේ අවංක පසුතැවිල්ලෙනි

සමහරුන්ට, ප්‍රීතියේ මාවත ලෙස පසුතැවීම ගැන සිතීම පරස්පර විරෝධී ලෙස පෙනෙන්නට පුළුවන්. පසුතැවිලි වීම සමහර අවස්ථාවලදී වේදනාකාරී හා දුෂ්කර වෙන්න පුළුවන්. අපගේ සමහර සිතුවිලි සහ ක්‍රියා—අපගේ සමහර විශ්වාසයන් පවා—වැරදි බව පිළිගැනීම ඒ සඳහා අවශ්‍ය වෙනවා. පසුතැවිලි වීමට වෙනසක් ද අවශ්‍ය වන අතර, එය විටෙක අපහසුතාවයක් ද වෙන්න පුළුවන්. නමුත් සතුට සහ සැනසීම කියන්නෙ එකම දෙයක් නොවේ. උදාසීනත්වයේ පාපය ඇතුළුව—පාපය—අපගේ ප්‍රීතිය සීමා කරනවා.

ගීතිකාකරු මෙසේ කියනවා, “රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදයේදී ප්‍රීතිය පැමිණෙන්නේය.”13 අපි අපේ පව් ගැන පසුතැවිලි වන විට, පසුව ඇති වන මහත් ප්‍රීතිය කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. රාත්‍රීන් දිගු බවක් පෙනෙයි, නමුත් උදෑසන පැමිණෙනවා, ඒවගේම, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම අපව පාපයෙන් සහ දුක් වේදනාවලින් නිදහස් කරන විට අපට දැනෙන සාමය සහ ප්‍රබෝධමත් ප්‍රීතිය කෙතරම් විශිෂ්ටද?

මගේ ප්‍රීතිය තරම් විශිෂ්ඨ හා මිහිරි කිසිවක් එහි තිබිය නොහැක

මොර්මොන්ගේ පොතේ ඇල්මාගේ අත්දැකීම සලකා බලන්න. ඔහු “සදාතන වේදනාවෙන් වධ වින්ද” අතර ඔහුගේ පව් නිසා ඔහුගේ ආත්මය “ප්‍රකාශ කළ නොහැකි බියකට” පත් වුණා. නමුත් ඔහු දයාව සඳහා ගැලවුම්කරුවාණන් වෙත හැරී ගිය පසු, ඔහුට “තවදුරටත් [ඔහුගේ] වේදනාවන් සිහිපත් [වුනේ නෑ].”14

“ඔහු මෙසේ පැවසුවා “තවද අහෝ, මොනතරම් ප්‍රීතියක්ද, තවද මම දුටුවේ මොනතරම් පුදුමාකාර ආලෝකයක්ද? එසේය, මගේ ප්‍රීතිය තරම් විශිෂ්ඨ හා මිහිරි දෙයක් එහි තවත් තිබිය නොහැක.”15

පසුතැවිලි වීම තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන අයට ලබා ගත හැකි ප්‍රීතිය මෙයයි.16 සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූවා:

“පසුතැවීම විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලයට වූ අපගේ ලඟාවීම විවෘත කරනවා. …

“අපි පසුතැවීමට තෝරාගන්නා විට, අපි තෝරාගන්නේ වෙනස්වීමටයි! අපගේ හොඳම පිටපත වීමට අපිව වෙනස් කරන්නට අපි ගැලවුම්කරුවාණන්ට ඉඩදෙනවා. ආත්මිකව වර්ධනය වීමට සහ—උන්වහන්සේගේ මිදීම තුළ වූ ප්‍රීතිය ලබාගැනීමට අපි තෝරාගන්නවා. අපි පසුතැවීමට තෝරාගත්විට, අපි තව තවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට තෝරාගන්නවා!17

පසුතැවීම ප්‍රීතිය ගෙන දෙන්නේ එය ශුද්ධාත්මයාණන්ගේ බලපෑම ලැබීමට අපගේ හදවත් සූදානම් කරන නිසයි. ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වීම යනු ප්‍රීතියෙන් පිරී සිටීමයි. ඒවගේම ප්‍රීතියෙන් පිරී සිටීම යනු ශුද්ධාත්මයාණන්ගෙන් පිරී සිටීමයි.18 අපගේ ජීවිතයට ආත්මයාණන්ව ගෙන ඒමට අප දිනපතා වැඩ කරන විට අපගේ ප්‍රීතිය වැඩි වෙනවා. අනාගතවක්තෘ මොර්මොන් මෙසේ උගන්වා තිබෙනවා, “එසේ වුවද, ඔවුහු නිතර නිරාහාරව සිටිමින් යාච්ඤා කළහ, තවද වඩාත් ශක්තිමත්ව වර්ධනය වෙමින් ඔවුන්ගේ යටහත් කමෙහි ශක්තිමත් වූහ, තවද ස්ථිරව සහ වඩාත් ස්ථීරත්වයෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළ ඔවුන්ගේ ප්‍රාණයන් ප්‍රීතියෙන් සහ සහනයෙන් ද, පූර්ණ විය.”19 ස්වාමින්වහන්සේ උන්වහන්සේව අනුගමනය කිරීමට ක්‍රියා කරන සියල්ලන්ටම මෙසේ පොරොන්දු වෙනවා, “මාගේ ආත්මය නුඹලා හට මම දෙන්නෙමි, එය නුඹලාගේ මනස ආලෝකමත් කරනු ඇත, එය නුඹලාගේ ප්‍රාණයන් ප්‍රීතියෙන් පුරවනු ලබන්නේය.”20

පසුතැවිලි වීමට අන් අයට උපකාර කිරීමේ ප්‍රීතිය

අවංක පසුතැවිල්ලෙන් ලැබෙන ප්‍රීතිය අපට දැනුණු පසු, එම ප්‍රීතිය අන් අය සමඟ බෙදා ගැනීමට අපට අවශ්‍ය වෙනවා. අප එසේ කරන විට අපගේ ප්‍රීතිය වැඩි වෙනවා. ඇල්මාට සිදුවූයේ එයයි.

ඔහු මෙසේ කිව්වා, “එසේය, තවද මෙය මාගේ මහිමයයි, එනම් සමහරවිට මම දෙවියන්වහන්සේගේ හස්තයෙහි යම් ප්‍රාණයක් පසුතැවිල්ලට ගෙන ඒමට උපකරණයක් වීමයි; තවද මෙය මාගේ ප්‍රීතියයි.

“තවද බලන්න, සත්‍ය ලෙසම පසුතැවිලි වූ මාගේ සහෝදරයන් ද, තවද ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමින්වහන්සේගේ පැමිණීමද මම දකින විට, එවිට මගේ ප්‍රාණය ප්‍රීතියෙන් පිරී යයි; එවිට ස්වාමින්වහන්සේ මා වෙනුවෙන් කළ දේවල් මම සිහි කරන්නෙමි, එසේය එවිට උන්වහන්සේ මා වෙත දිගු කර ඇත්තා වූ උන්වහන්සේගේ එම කරුණාවේ හස්තය මම සිහි කරන්නෙමි.”21

අනෙක් අයට පසුතැවිලි වීමට උපකාර කිරීම ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ කෘතඥතාවයේ ස්වභාවික ප්‍රකාශනයක්; එය මහත් ප්‍රීතියට හේතුවක්. ස්වාමින්වහන්සේ මෙසේ පොරොන්දු වී තිබෙනවා:

“එසේ නම්, ඔබ … මට එක ආත්මයක් ගෙන එන්නේ නම්, මාගේ පියාණන්ගේ රාජ්‍යයේදී උන්වහන්සේ සමඟ ඔබේ ප්‍රීතිය කෙතරම් මහත් වන්නේද!

“දැන්, ඔබ මා වෙත ගෙන ආ එක් ප්‍රාණයකින් ඔබේ ප්‍රීතිය එතරම් මහත් වේ නම්, ඔබ බොහෝ ප්‍රාණයන් මා වෙතට ගෙන ආවොත් ඔබේ ප්‍රීතිය කොතරම්ද!”22

පසුතැවිලි වන ප්‍රාණය තුළ උන්වහන්සේගේ ප්‍රීතිය කොතරම් උතුම්ද

අපගේ ජීවිත තුළ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පූජාවේ ආශිර්වාද ලැබෙන සෑම අවස්ථාවකම උන්වහන්සේට දැනිය යුතු ප්‍රීතිය සිතින් මවා ගැනීමට උත්සාහ කිරීම ප්‍රයෝජනවත් බව මට හිතෙනවා.23 සභාපති නෙල්සන් විසින් උපුටා දක්වන ලද පරිදි,24ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියූ ඔහුගේ ලිපියේ මෙම මුදු මොළොක් අවබෝධය බෙදාගත්තා: “සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස්වහන්සේ දෙසම [බලමු], … උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩ හිඳගත්සේක.”25 අපි බොහෝ විට ගෙත්සෙමන හා කල්වාරියේ වේදනාව සහ දුක් වේදනා ගැන කතා කරනවා, නමුත් ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් තම ජීවිතය පූජා කරන විට උන්වහන්සේ අපේක්ෂා කළ යුතු මහත් ප්‍රීතිය ගැන අපි කතා කරන්නේ කලාතුරකින්. පැහැදිලිවම, උන්වහන්සේගේ වේදනාව සහ දුක් වේදනා අප වෙනුවෙන් වූ අතර, උන්වහන්සේ එසේ කළේ අපි දෙවියන්වහන්සේගේ අභිමුඛයට උන්වහන්සේ සමඟ නැවත යාමේ ප්‍රීතිය අපට අත්විඳිය හැකි වන පිණිසයි.

පුරාණ අමෙරිකාවේ මිනිසුන්ට ඉගැන්වීමෙන් පසු, ගැලවුම්කරුවාණන් ඔවුන් කෙරෙහි තම මහත් ආදරය ප්‍රකාශ කළේ මෙසේ පවසමින්:

“දැන්, බලන්න, මාගේ ප්‍රීතිය බලවත් ය, තවද එසේම පියාණන්වහන්සේද, සියලු ශුද්ධ වූ දේවදූතයෝද, නුඹලා නිසා … ; ප්‍රීති වන්නාහ. …

[නුඹලා] තුළ මට ප්‍රීතියේ පූර්ණත්වයක් ඇත්තේය.”26

ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ප්‍රීතිය ලබාගන්න

සහෝදර සහෝදරියනි, මම ශුද්ධ වූ තෑග්ගක් ලෙස සලකන මගේ පෞද්ගලික සාක්ෂිය බෙදාගැනීමෙන් අවසන් කරන්නම්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බව මම සාක්ශි දරනවා. උන්වහන්සේ අප සෑම කෙනෙකුටම ආදරය කරන බව මම දන්නවා. උන්වහන්සේගේ “කාර්යය සහ [උන්වහන්සේගේ] මහිමය”27 වන උන්වහන්සේගේ ඒකීය අවධානය යොමු වන්නේ, උන්වහන්සේ තුළ පූර්ණ ප්‍රීතියක් ලබා ගැනීමට අපට උපකාර කිරීම සඳහායි. දිනපතා පසුතැවිලි වීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම ප්‍රීතිය අත්විඳීමට මාර්ගය වන බවට මම පුද්ගලික සාක්ෂිකරුවෙක්.28 අප මෙලොව සිටින්නේ ඒ නිසයි. දෙවියන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ ප්‍රීතියේ මහත් සැලැස්ම සකස් කළේ ඒ නිසයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සැබවින්ම “මාර්ගය ද, සත්‍යය ද, ජීවනය ද”29 එමෙන්ම “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ මනුෂ්‍යයාට ගැලවීම ලැබිය හැකි ස්වර්ගය යට දී ඇති එකම නාමය ද” වෙනවා.30 මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.