ප්‍රධාන සම්මන්ත්‍රණය
මගේ මනස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මේ සිතුවිල්ලට නතු වුණා
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


මගේ මනස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මේ සිතුවිල්ලට නතු වුණා

ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සිතුවිල්ලට නතු වෙමින් සිටින විට, ඔබට ස්වර්ගීය මගපෙන්වීමෙන් පමණක් නොව ස්වර්ගීය බලයෙන්ද ආශිර්වාද ලැබෙන බවට මම පොරොන්දු වෙනවා.

මෙම සුන්දර පාස්කු සමයේදී, “Guide us, O thou great Jehovah”1 [මග පෙන්වන්න යෙහෝවා ] යන මෙම ප්‍රබල ගීතිකාවේ යාච්ඤාව මම ප්‍රතිරාවය කරනවා.

මොර්මොන්ගේ පොතේ ඇති කැපී පෙනෙන කථාවක් ඇල්මා නම් ප්‍රමුඛ පවුලක තරුණයෙකු ගැන කියනවා, ඔහුව පිළිම වන්දනා කරන නොඇදහිලිවන්තයෙකු ලෙස ශුද්ධලියවිලිවල විස්තර කරනවා.2 ඔහු චතුර ලෙස සහ දක්ෂ ලෙස කතා කළ අතර, ඔහුව අනුගමනය කිරීමට අන් අයව ඒත්තු ගැන්වීමට චාටු බස් භාවිතා කළා. පුදුමාකාර ලෙස, ඇල්මා සහ ඔහුගේ මිතුරන් ඉදිරියේ දේවදූතයෙක් පෙනී සිටියා. ඇල්මා පොළොවට වැටී දුර්වල වූ අතර, අසරණව සිටි ඔහුව ඔහුගේ පියාගේ නිවසට ගෙන ගියා. ඔහු දින තුනක් කෝමා තත්වයක මෙන් තත්වයක සිටියා.3 අවට සිටි අයට ඔහු සිහිසුන්ව සිටින ලෙස පෙනුණත්, දෙවියන්වහන්සේගේ ආඥා නොසලකා හැරීමේ ජීවිතය ගැන සිතමින් ඔහුගේ ප්‍රාණය ශෝකයෙන් සිටින අතරතුර ඔහුගේ මනස ඉතා ක්‍රියාශීලී වූ බව ඔහු පසුව පැහැදිලි කළා. ඔහුගේ මනස “[ඔහුගේ] බොහෝ පාපයන් සිහි වීමෙන් වේදනාවෙන් සිටි”4 බවත්, “සදාතන වේදනාවෙන් වධ වින්ද”5 බවත් ඔහු විස්තර කළා.

බලාපොරොත්තු රහිත ගැඹුරු තත්වයක සිටි ඔහුට, “දෙවියන්වහන්සේගේ පුත්‍රයෙකු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් අයෙකු ලෝකයේ පාපයට වන්දිගෙවීම උදෙසා පැමිණීම සම්බන්ධව”5ඔහුගේ කුඩා කාලයේදී උගන්වා ඇති බව සිහිපත් වුණා. ඊළඟට ඔහු ඉතා කල්පනාකාරී ප්‍රකාශයක් කළා: “මගේ මනස මෙම සිතිවිල්ලේ බැඳෙමින් තිබියදී, මම මාගේ හදවත තුළ හැඬුවෙමි: අහෝ යේසුනි, ඔබවහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය, මා කෙරෙහි කරුණා වුව මැනව.”7 ඔහු ගැලවුම්කරුවාණන්ගේ දිව්‍යමය බලය ඉල්ලා ආයාචනා කරන විට, ආශ්චර්යමත් දෙයක් සිදු වුණා, ඔහු මෙසේ කිව්වා: “මා මෙය සිතූ විට, මට තවදුරටත් මාගේ වේදනාවන් සිහිපත් නොවීය.”8 ඔහුට සැනෙකින් සාමය සහ ආලෝකය දැනුණා. “මගේ ප්‍රීතිය තරම් විශිෂ්ඨ හා මිහිරි කිසිවක් [නොතිබිය හැකිය],”9 යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

ඇල්මාගේ මනස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍යයට නතුවුණා. අපි භෞතික අර්ථයෙන් “නතු කරගැනීම” යන වචන භාවිතා කරන්නේ නම්, අපට මෙසේ කියන්න පුලුවන්, “ඔහු වැටෙමින් සිටියදී ඔහු ආරක්ෂක වැට නතු කරගත්තා” ඒ කියන්නේ ඔහු හදිසියේම අත දිගු කර ආරක්ෂිතව තදින් සවි කර ඇති දෙයකට තදින් සම්බන්ධ වූ බවයි.

අල්මාගේ කාරණයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාවේ මෙම ප්‍රබල සත්‍යය වෙත ළඟා වූයේ ඔහුගේ මනසයි. එම සත්‍යය කෙරෙහි ඇදහිල්ලෙන් ක්‍රියා කරමින්, දෙවියන්වහන්සේගේ බලයෙන් සහ කරුණාවෙන්, ඔහු බලාපොරොත්තු සුන්වීමෙන් මිදී බලාපොරොත්තුවෙන් පිරී ගියා.

අපගේ අත්දැකීම් ඇල්මාගේ තරම් නාටකාකාර නොවිය හැකි වුවත්, ඒවා එලෙසම සදාකාලිකව වැදගත් වෙනවා. අපගේ මනසද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සහ උන්වහන්සේගේ දයාන්විත පරිත්‍යාගය පිළිබඳ “මෙම සිතුවිල්ල නතු කරගෙන” තිබෙන අතර, අපගේ ප්‍රාණයන්ට ඉන්පසුව ලැබෙන ආලෝකය සහ ප්‍රීතිය දැනී තිබෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සිතුවිල්ල සුරක්ෂිත කිරීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මෙම ප්‍රමුඛ චින්තනය අපගේ අපගේ මනසට නිරන්තරයෙන් හා උනන්දුවෙන් ගලා යාමට ඉඩ සලසමින්,10 අප සිතන සහ කරන දේ සම්බන්ධයෙන් අපට මගපෙන්වමින්, සහ ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමයේ මිහිරි ප්‍රීතිය ගෙන එමින්, එම සිතුවිල්ල අපගේ ප්‍රාණයේ කුටි තුළට දමා එය සවිඥානිකව හැඩගස්වා, ශක්තිමත් කර, සුරක්ෂිත කරනු කරනු ලැබේවා කියා මෙම පාස්කු සමයේ මම යාච්ඤා කරනවා.11

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයෙන් අපගේ මනස පුරවා ගැනීම යනු අපට ඇති එකම සිතුවිල්ල උන්වහන්සේ බව නොවේ. නමුත් එයින් අදහස් කරන්නේ අපගේ සියලු සිතුවිලි උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම්, සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව සහ මහිමාන්විත නැවත නැගිටීම තුළ මායිම් කර ඇති බවයි. උන්වහන්සේ පිළිබඳ අපගේ සිතුවිලි සැමවිටම පවතින නිසා, සහ “[අප] තුළ ඇති සියල්ල උන්වහන්සේට නමස්කාර කරන නිසා, යේසුස්වහන්සේ කිසිදා අමතක වන මුල්ලක නෙවෙයි ඉන්නෙ!”12 අපි යාච්ඤා කර, අපව උන්වහන්සේට ළං කළ අත්දැකීම් අපගේ මනසෙහි පෙරහුරු කරමු. අපගේ කාර්යබහුල ජීවිත හරහා වේගයෙන් දිවෙන ගණන් කළ නොහැකි දෛනික සිතුවිලි මෘදු ලෙස සමනය කිරීම සඳහා දිව්‍යමය රූප, ශුද්ධලියවිලි සහ දේවානුභාවයෙන් යුත් ගීතිකා අපි අපගේ මනසට සාදරයෙන් පිළිගනිමු. උන්වහන්සේ කෙරෙහි ඇති අපගේ ප්‍රේමය මේ ලෞකික ජීවිතයේ දුකෙන් හා ශෝකයෙන් අපව ආරක්ෂා කරන්නේ නෑ, නමුත් එය අපගේම ශක්තියෙන් ඔබ්බට ගිය ශක්තියකින් අභියෝග හරහා ගමන් කිරීමට අපට ඉඩ සලසනවා.

යේසු ඔබ ගැන සිතුම්,

තුටින් හද පිරේ;

මිහිරි වේ මා සිත් හැඟුම්,

මා අභියෙස් ඔබේ.13

මතක තබා ගන්න, ඔබ ස්වර්ගික පියාණන්වහන්සේගේ ආත්මීය දරුවෙක්. ප්‍රේරිත පාවුල් පැහැදිලි කරන පරිදි, අපි තමයි “දෙවියන්වහන්සේගේ දරුවන්.”14 ඔබ පොළොවට පැමිණීමට බොහෝ කලකට පෙර ඔබේම පුද්ගල අනන්‍යතාවයෙන් ජීවත් වී තිබෙනවා. අපේ පියාණන්වහන්සේ අපට පොළොවට පැමිණීමට, ඉගෙනීමට සහ උන්වහන්සේ වෙතට ආපසු යාමට පරිපූර්ණ සැලැස්මක් නිර්මාණය කළා. උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීමේ සහ මරණයෙන් නැවත නැගිටීමේ බලයෙන් අපි සොහොනෙන් ඔබ්බට ජීවත් වන පිණිස උන්වහන්සේ තම ආදරණීය පුත්‍රයාණන්ව එව්වා; ඒවගේම අප උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියා කිරීමට සහ අපගේ පව් ගැන පසුතැවිලි වීමට කැමැත්තෙන් සිටින විට,15 අපට සමාව ලැබෙන අතර සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ලැබෙනවා.16

අපගේ මනස සහ ආත්මයට සුවිශේෂී අවධානයක් ලබා දීම

මෙම ලෞකික ජීවිතයේදී, අපගේ මනසට සහ ආත්මයට සුවිශේෂී අවධානයක් අවශ්‍ය වෙනවා.17 අපට ජීවත් වීමට, තෝරා ගැනීමට සහ හොඳ සහ නරක හඳුනා ගැනීමට ඉඩ සලසන්නේ අපගේ මනසයි.18 දෙවියන්වහන්සේ අපගේ පියාණන් බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවත්, උන්වහන්සේලාගේ ඉගැන්වීම් මේ ලෝකයේ සහ සොහොනෙන් ඔබ්බට අපගේ සදාකාලික ජීවිතයේ ප්‍රීතිය සඳහා අපගේ මාර්ගෝපදේශය බවත් සනාථ කරන සාක්ෂිය ලබාගන්නේ අපේ ආත්මයයි.

ඇල්මාගේ මනස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මේ සිතුවිල්ලට නතු වුණා. එය ඔහුගේ ජීවිතය වෙනස් කළා. ප්‍රධාන සම්මන්ත්‍රණය යනු ස්වාමින්වහන්සේ කැමති අප කුමක් කරනවාටද සහ අප කවුරුන් වනවාටද කියා තේරුම් ගැනීමට කාලයක්. එය අපගේ දියුණුව ගැන මෙනෙහි කිරීමට ද කාලයක්. මගේ පැවරුම් මාව ලෝකය පුරා ගෙන ගොස් ඇති නිසා, සභාවේ ධර්මිෂ්ඨ, කැපවූ සාමාජිකයන් තුළ වැඩි වන ආත්මික ශක්තියක් මම නිරීක්ෂණය කළා.

වසර පහකට පෙර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව යන සැබෑ නාමය භාවිතා කරමින් අප කරන සෑම දෙයකදීම ගැලවුම්කරුවාණන්ව වඩාත් ප්‍රමුඛස්ථානයට පත් කරන ලෙස අපෙන් ඉල්ලා සිටියා.19 අපි උන්වහන්සේගේ නම වඩාත් උනන්දුවෙන් කතා කරනවා.

වසර හතරකට පෙර, අපගේ සක්‍රමේන්තු රැස්වීමේ කාලය අඩු කිරීමෙන්, අපි ස්වාමින්වහන්සේගේ සක්‍රමේන්තුවට සහභාගී වීම කෙරෙහි අපගේ අවධානය වැඩි කළා. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන වැඩිපුර සිතමින් සිටින අතර උන්වහන්සේව සැමවිටම මතක තබා ගැනීමට අපගේ පොරොන්දුව ගැන වඩාත් බැරෑරුම් ලෙස සිතනවා.20

ලෝක ව්‍යාප්ත වසංගතය නිසා හුදකලා වීම සහ එන්න, මා අනුගමනය කරන්න යන ගැලවුම්කරුවාණන්ගේ ඉහැන්වීම් උපකාරයෙන්, සතිය පුරාවට ගැලවුම්කරුවාණන්ට අපගේ නමස්කාරයට උපකාර කරමින්, අපගේ නිවෙස් තුළ ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් වඩාත් ප්‍රමුඛතාවක් ගත්තා.

“උන්වහන්සේට සවන් දෙන්න”21 යන සභාපති රසල් එම්. නෙල්සන්ගේ උපදෙස් අනුගමනය කිරීමෙන්, අපි ශුද්ධාත්මයාණන්ගේ මිමිණුම් හඳුනා ගැනීමට සහ අපගේ ජීවිත තුළ ස්වාමින්වහන්සේගේ හස්තය දැකීමට අපගේ හැකියාව ශෝධනය කරගන්නවා.

දේවමාළිගා දුසිමක් පමණ පිළිබඳ නිවේදන සහ ඒවායෙහි නිම කිරීමත් සමඟ, අපි නිතර නිතර ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු වී උන්වහන්සේගේ පොරොන්දු වූ ආශිර්වාද ලබාගන්නවා. අපගේ ගැලවුම්කරුවාණන්ගේ සහ මිදුම්කරුවාණන්ගේ අතිවිශිෂ්ට සුන්දරත්වය අපට වඩා බලවත් ලෙස දැනෙමින් තිබෙනවා.

සභාපති නෙල්සන් මෙසේ පැවසුවා: “බලවත් [ගෝලයෙකු] වීමට පහසු හෝ ස්වයංක්‍රීය කිසිවක් නැත. අපගේ අවධානය යොමු කළ යුත්තේ ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ සුභාරංචිය මතය. සෑම සිතුවිල්ලක් තුළම උන්වහන්සේ දෙස බැලීම මානසිකව ප්‍රබල වෙන්න පුළුවන්.”22

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමෙන්, අප අවට සිටින අනෙක් සියලුම අය දෙස අපි උන්වහන්සේ කෙරෙහි ඇති අපගේ ප්‍රේමය තුළින් බලනවා. අවම වැදගත්කමින් යුත් බාධාවන් මැකී යනවා, ඒවගේම උන්වහන්සේගේ ආලෝකයට සහ චරිතයට නොගැලපෙන දේවල් අපි ඉවත් කරනවා. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මෙම සිතිවිල්ලට හොඳින් නතු වී දිගින් දිගටම සිටින විට, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා, උන්වහන්සේගේ ආඥා පිළිපදින විට, ඔබට මගපෙන්වීමෙන් පමණක් නොව ස්වර්ගීය බලයෙන්ද—එනම් ඔබගේ ගිවිසුම්වලට ශක්තිය, ඔබගේ දුෂ්කරතාවලට සමාදානය, සහ ඔබේ ආශිර්වාද වලට ප්‍රීතිය ගෙන දෙන බලයෙන් ආශිර්වාද ලබන බවට මම ඔබට පොරොන්දු වෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිකිරීම

සති කිහිපයකට පෙර කැතී සහ මම, මැට් සහ සාරා ජොන්සන්ගේ නිවසට ගියා. බිත්තියේ ඔවුන්ගේ වටිනා පවුලේ පින්තූරයක්, ගැලවුම්කරුවාණන්ගේ අලංකාර රූපයක් සහ දේවමාළිගාවේ නිදර්ශණයක් තිබුණා.

ඔවුන්ගේ දියණියන් හතර දෙනා වන මැඩී, රූබි, ක්ලෙයාර් සහ ජූන් ඔවුන් තම මවට කොතරම් ආදරය කරනවාද යන්න ගැන සතුටින් කතා කළා.

ඉස්සර කාලයේ ජීවත් වූ පවුලේ සාමාජිකයන්ගේ බව්තීස්ම සඳහා ගැහැණු ළමයින්ට සහභාගී විය හැකි වන පරිදි, සාරා වසරකට වැඩි කාලයක් තිස්සේ පවුලේ සැමට දේවමාළිගාවට යාම සඳහා සෙනසුරාදා දිනයේ සහභාගී වීම් නිතිපතා සැලසුම් කර තිබුණා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී, සාරා දෙසැම්බර් මාසයේ අවසාන සතිය සඳහා සෙනසුරාදා වෙනුවට බ්‍රහස්පතින්දා දිනයේ එම පවුලේ දේවමාළිගා ගමන සැලසුම් කළා. “මම හිතනවා ඔයාට ඒ ගැන ප්‍රශ්නයක් නෑ කියලා,” ඇය මැට්ට පැවසුවා.

සාරාට පිළිකාවක් ඇති බව හඳුනාගෙන තිබුණත් ඇය තව අවුරුදු දෙක තුනක් ජීවත් වනු ඇතැයි වෛද්‍යවරු අපේක්ෂා කළා. ඇයට ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත්, ඇය මුළු හදවතින්ම ගැලවුම්කරුවාණන්ට ප්‍රේම කළ බවත්, “ජයග්‍රහණය දැනටමත් උන්වහන්සේ විසින් දිනාගෙන ඇති බවත්” පවසමින් සාරා ඇගේ ප්‍රබල සාක්ෂිය, සක්‍රමේන්තු රැස්වීමකදී බෙදාගෙන තිබුණා. දෙසැම්බර් මාසය ගෙවීගෙන යද්දි, අනපේක්ෂිත ලෙස සාරාගේ සෞඛ්‍යය වේගයෙන් පිරිහුණු අතර, ඇයව රෝහලට ඇතුළත් කළා. දෙසැම්බර් 29 වන දින, බ්‍රහස්පතින්දා හිමිදිරි පාන්දර, ඇය නිහඬව සිය ලෞකික ජීවිතය සම්පූර්ණ කළා. මැට් මුළු රාත්‍රිය පුරාම සාරාගේ ලඟ සිටියා.

ඔහුගේ හදවත බිඳී හා ශාරීරිකව හා චිත්තවේගීයව සම්පූර්ණයෙන්ම වෙහෙසට පත් වී තිබූ විට, ඔහු තම දියණියන් සමඟ ශෝක වෙමින් නිවසට පැමිණියා. මැට් ඔහුගේ දුරකථනය දෙස බැලූ විට, එදින සවස පැවැත්වීමට නියමිතව තිබූ අසාමාන්‍ය බ්‍රහස්පතින්දා දේවමාළිගා සහභාගී වීම පිළිබඳ සාරා සැලසුම් කර තිබූ මතක් කිරීම ඔහු දුටුවා. මැට් මෙසේ පැවසුවා, “මම එය මුලින්ම දුටු විට, මම හිතුවේ, මේක හරියන්නෙ නෑ කියලා.”

නමුත් පසුව මැට්ගේ මනස මෙම සිතුවිල්ලට නතු වුණා: “ගැලවුම්කරුවාණන් ජීවමානයි. අපිට පවුලක් ලෙස සිටීමට උන්වහන්සේගේ ශුද්ධ ගෘහයට වඩා වෙන කිසිම තැනක් නෑ.”

රූපය
ජොන්සන් පවුල

මැට්, මැඩී, රූබි, ක්ලෙයාර් සහ ජූන්, සාරා විසින් ඔවුන් සඳහා සැලසුම් කර තිබූ සහභාගි වීම සඳහා දේවමාළිගාවට ගියා. ඔහුගේ කම්මුල් දිගේ කඳුළු ගලමින් තිබියදී, මැට් තම දියණියන් සමඟ බව්තීස්මයන් ඉටු කළා. සාරා සමඟ ඔවුන්ගේ ආදරය සහ සදාකාලික බැඳීම ඔවුන්ට ගැඹුරින් දැනුණු අතර, ගැලවුම්කරුවාණන්ගේ අතිමහත් ආදරය සහ සැනසිලිදායක සාමය ඔවුන්ට දැනුණා. මැට් මුදු මොළොක් ලෙස මෙසේ බෙදාගත්තා, “මට ගැඹුරු ශෝකයක් සහ දුකක් දැනුනත්, මම මගේ පියාණන්වහන්සේගේ ගැලවීමේ අපූරු සැලැස්ම දැනගෙන ප්‍රීතියෙන් කෑගසනවා.”

මෙම පාස්කු සමයේදී, ගැලවුම්කරුවාණන්ගේ අසමසම වන්දිගෙවීමේ පූජාව සහ උන්වහන්සේගේ මහිමාන්විත මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ සම්පූර්ණ හා නිරපේක්ෂ සත්‍යය ගැන මම සාක්ෂි දරනවා. ඔබගේ මනස ස්ථිරව හා සදාකාලිකවම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සිතුවිල්ල මත පවතින විට, සහ ඔබ ඔබගේ ජීවිතය වඩාත් සම්පූර්ණයෙන් ගැලවුම්කරුවාණන් වෙත යොමු කරන විට, උන්වහන්සේගේ බලාපොරොත්තුව, උන්වහන්සේගේ සාමය සහ උන්වහන්සේගේ ප්‍රේමය ඔබට දැනෙනු ඇතැයි මම ඔබට පොරොන්දු වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. “Guide Us, O Thou Great Jehovah,” Hymns, no. 83.

  2. බලන්න මොසායා 27:8.

  3. ලන්න ඇල්මා 36:10.

  4. ඇල්මා 36:17.

  5. ඇල්මා 36:12.

  6. ඇල්මා 36:17.

  7. ඇල්මා 36:18. මොර්මොන්ගේ පොතේ “නතු විය” යන වචනය යොදාගත් අනෙක් අවස්ථාව “යකඩ වැටේ කෙළවර නතු කරගත්” අය ගැන කතා කරයි (1 නෙපි 8:24, 30).

  8. ඇල්මා 36:19.

  9. ඇල්මා 36:21.

  10. “ජීවිතයේ ශ්‍රේෂ්ඨතම සටන සටන් කරනු ලබන්නේ ඔබේම ආත්මයේ නිහඬ කුටි තුළය” (David O. McKay, in Conference Report, Apr. 1967, 84).

  11. “[සිතුවිලි] සියලු ක්‍රියාවන්ට අනුග්‍රහය දක්වයි. අපගේ සිතුවිලි ස්විච් පුවරුවයි, අපගේ ක්‍රියාවන් පාලනය කරන පාලක පැනලයයි” (Boyd K. Packer, That All May Be Edified [1982], 33).

    සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වූයේය: “අපට නපුරු ආශාවන් යටපත් කර ධර්මිෂ්ඨ ආශාවන් ආදේශ කළ හැකිය. මෙයට අධ්‍යාපනය සහ පුහුණුව අවශ්‍ය වේ. සභාපති ජෝසෆ් එෆ්. ස්මිත් මෙසේ ඉගැන්වූයේය ‘අපගේ ආශාවන් පිළිබඳ අධ්‍යාපනය … දුරදිග යන වැදගත්කමකි’” (Pure in Heart [1988], 149).

  12. “Praise to the Lord, the Almighty,” Hymns, no. 72.

  13. “Jesus, the Very Thought of Thee,” Hymns, no. 141.

  14. ක්‍රියා 17:29.

  15. බලන්න දහම සහ ගිවිසුම් 58:42-43.

  16. දහම සහ ගිවිසුම් 14:7 බලන්න.

  17. “දෙවියන්වහන්සේ හැර නුඹගේ සිතිවිලි සහ නුඹගේ හදවතේ අදහස් දන්නා වෙන කිසිවෙක් නොවන බව නුඹ දැනගන්නා පිණිස, මම නුඹට කියමි” (දහම සහ ගිවිසුම් 6:16).

  18. “යහපත් මනුෂ්‍යයා තමාගේ සිතෙහි වූ යහපත් සම්පතෙන් යහපත් දේද නපුරු මනුෂ්‍යයා නපුරු සම්පතෙන් නපුරු දේද පිටතට ගෙනෙන්නේය: මක්නිසාද මුඛය කථාකරන්නේ සිතේ පූර්ණකමෙන්ය” (ලූක් 6:45).

  19. රසල් එම්. නෙල්සන්, “සභාවේ නිවැරදි නම,” ලියහෝනා, නොවැ. 2018, 87–89.

  20. සක්‍රමේන්තු යාච්ඤාවේදී සෑම සතියකම අපගේ ගිවිසුම නම් අපි “සැමවිටම උන්වහන්සේව සිහි කරමු” යන්නයි (මොරෝනි 4:3; දහම සහ ගිවිසුම් 20:77). “මතක තබාගන්න, මතක තබාගන්න” යන වචනය එක ලඟින් දෙවරක් භාවිතා කරමින් මොර්මොන්ගේ පොත අපව දිරිමත් කරයි (මොසායා 2:41; ඇල්මා 37:13; හිලමන් 5:9) ආත්මිකව මතක තබා ගැනීම ශුද්ධාත්මයාණන්ගේ බලය හරහා පැමිණේ: “ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවන සේක” (යොහන් 14:26).

  21. රසල් එම්. නෙල්සන්, “උන්වහන්සේට සවන්දෙන්න,” ලියහෝනා. 2020 මැයි, 90.

  22. රසල් එම්. නෙල්සන්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජිවිත වෙත ඇදගැනීම,” ලියහෝනා, මැයි 2017, 41. සභාපති නෙල්සන් ද මෙසේ පැවසුවා, “[පසුදවස් වල ශුද්ධවන්තයන්ට] දැනෙන ප්‍රීතියට අපගේ ජීවිතයේ තත්වයන් හා අපගේ ජීවිතයේ කේන්ද්‍රය සමග එතරම් සම්බන්ධයක් නෑ, නමුත් එයට අපගේ ජීවිතයේ අවධානයට සෑම සම්බන්ධයක්ම තිබෙනවා” (“Joy and Spiritual Survival,” Liahona, Nov. 2016, 82).