ප්‍රධාන සම්මන්ත්‍රණය
පසුදවස් සඳහා ජීවමාන අනාගතවක්තෘවරයෙක්
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


පසුදවස් සඳහා ජීවමාන අනාගතවක්තෘවරයෙක්

ස්වර්ගික පියාණන්වහන්සේ විසින් අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් තම දරුවන්ට සත්‍යය හෙළි කිරීමේ රටාව තෝරාගෙන තිබෙනවා.

පොඩි කාලෙ සෙනසුරාදා දවසේ මම කරපු හැම දෙයක්ම වික්‍රමාන්විත දෙයක් වගේ පෙනුන නිසා මම ඒ දවසට ආදරේ කළා. නමුත් මම මොන දේ කළත්, ඒ සියල්ලටම කලින් කළේ වඩා වැදගත්ම දෙයක් වුණු— රූපවාහිනියේ කාටූන් නැරඹීමයි. එවැනි සෙනසුරාදා දිනක උදෑසන, මම රූපවාහිනිය අසල සිටගෙන නාලිකා මාරු කරමින් සිටියදී, මා සොයා ගැනීමට බලාපොරොත්තු වූ කාටූනය වෙනුවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ප්‍රධාන සම්මන්ත්‍රණය විකාශනය වන බව මම සොයා ගත්තා. රූපවාහිනිය දිහා බලාගෙන කාටූන් එකක් නෑ කියලා විලාප නඟද්දී මම දැක්කා කොණ්ඩෙ සුදු මිනිසෙක් කබායක් සහිත ඇඳුමක් ඇඳගෙන ලස්සන පුටුවක වාඩි වෙලා ඉන්නවා.

එයාගේ මොකක් හරි වෙනසක් තිබ්බ නිසා මම මගෙ ලොකු අයියාගෙන් ඇහුවා “කවුද ඒ?” කියලා.

ඔහු මෙහෙම කිව්වා, “ඒ තමයි සභාපති ඩේවිඩ් ඕ. මැකේ; ඔහු අනාගතවක්තෘවරයෙක්.”

එම පුද්ගලයා අනාගතවක්තෘවරයෙක් කියලා දැනගත්තහම මට යමක් දැනුණු බව මතකයි. ඊට පස්සේ මම කාටූන් වලට වසඟ වුණු කොල්ලෙක් නිසා මම නාලිකාව වෙනස් කළා. නමුත් එම කෙටි, අනපේක්ෂිත එළිදරව්මය මොහොතේදී මට දැනුණු දේ මට කිසිදා අමතක වෙලා නෑ. අනාගතවක්තෘවරයෙකු සමඟ, සමහර විට ඒ ගැන දැන ගැනීමට ගත වන්නේ මොහොතක් පමණයි.1

පොළොවේ ජීවමාන අනාගතවක්තෘවරයෙකු සිටින බව එළිදරව්වක් මගින් දැන ගැනීමෙන් සියල්ල වෙනස් කරනවා.2 එය කෙනෙකුව පොලඹවන්නේ, අනාගතවක්තෘවරයෙකු අනාගතවක්තෘවරයෙකු ලෙස කථා කරන්නේ කවදාද යන විවාදයට සහ, එලෙසම අනාවැකිමය උපදෙස් තෝරා බේරා ප්‍රතික්ෂේප කිරීමේදී යමෙකුව සාධාරණීකරණය කරගැනීමේ විවාදයට උනන්දුවක් නොදැක්වීමටයි.3 අපට ජීවමාන අනාගතවක්තෘවරයෙකුගේ අවවාදය සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට නොහැකි වූ විටකදී පවා, එවැනි හෙළිදරව් කරන ලද දැනුමක් මගින් එය විශ්වාස කිරීමට එම කෙනාට පෙළඹවීමක් දැනෙනවා.4 ඇත්ත වශයෙන්ම, ස්වර්ගයේ සිටින පරිපූර්ණ හා ආදරණීය පියෙකු අනාගතවක්තෘවරයෙකු හරහා තම දරුවන්ට සත්‍යය හෙළි කිරීමේ රටාව තෝරාගෙන තිබෙනවා, ඔහු එවැනි පූජනීය කැඳවීමක් කිසි විටෙකත් නොපැතූ සහ ඔහුගේම අසම්පූර්ණකම ගැන දැන ගැනීමට අපගේ උදව් අවශ්‍ය නැති අයෙක්.5 අනාගතවක්තෘවරයෙකු යනු දෙවියන්වහන්සේ විසින් පෞද්ගලිකව සූදානම් කර, කැඳවා, නිවැරදි කර, දේවානුභාවය ලබා දී, තරවටු කර, පරිශුද්ධ කර සහ ස්ථිර කළ අයෙක්.6 අනාවැකිමය උපදෙස් පිළිපැදීමේදී අප කිසිවිටකත් අධ්‍යාත්මික අවදානමකට ලක් නොවන්නේ ඒ නිසයි.

අපි කැමති වුණත් නැතත්, මේ අන්තිම දවස්වල ඉපදීමට, පෙර ආත්මික ජීවිතයේදී යම් ආකාරයකින් අපි හැමෝවම තෝරාගෙන තියෙනවා. මෙම පසු දවස් හා බැඳුණු යතාර්ථයන් දෙකක් තියෙනවා. පළමු යථාර්ථය තමයි ක්‍රිස්තුස්වහන්සේගේ සභාව මිහිමත නැවත පිහිටුවනු ලබන බව. දෙවන යථාර්ථය තමයි, දේවල් සැබවින්ම අභියෝගාත්මක වනු ඇති බව. අන්තිම දවස්වල සිදුවන දේවල් ගැන ශුද්ධලියවිලි මෙහෙම කියනවා “මහත් හිම කුණාටුවක් පොළොවේ වැවිලි විනාශ කිරීමට පෙරට යනු ඇත,”7 වසංගත,8 “යුද්ධයන්ද එමෙන්ම යුද්ධයන් පිළිබඳ කටකතාද, තවද මුළු පොළොවම කලබල වන්නේය, තවද අයුතුකම වැඩිවන්නේය.”9

මා කුඩා කාලයේදී, අවසාන දිනවල එම අනාවැකි මාව බියට පත් කළත්, මගේ ජීවිත කාලය තුළ දෙවන පැමිණීම නොපැමිණේවා කියා යාච්ඤා කිරීමට මා පෙළඹුනා, යම් සාර්ථකත්වයක් සමඟ තවමත් එසේ වී නැහැ. නමුත් දැන් මම යාච්ඤා කරන්නෙ ඊට විරුද්ධ දේ සඳහායි, අනාවැකි කී අභියෝග සහතික වුවත්,10 ක්‍රිස්තුස්වහන්සේ නැවත පාලනයට පැමිණෙන විට, උන්වහන්සේගේ සියලු මැවීම් “සුවසේ සැතපෙයි.”11

ලෝකයේ වත්මන් තත්ත්වයන් ඇතැමුන්ව භීතියට පත් කර තිබෙනවා. දෙවියන්වහන්සේගේ ගිවිසුම් දරුවන් වශයෙන්, මෙම කරදරකාරී කාලවලදී ඒ හරහා යා යුතු ආකාරය අප දැන ගැනීම සඳහා, අපි යම් යම් දේවල් පසුපස හඹා යාමට අවශ්‍ය නෑ. අපි බිය විය යුතු නැහැ.12 අධ්‍යාත්මිකව ජීවත් වීමට සහ ශාරීරිකව විඳදරාගැනීමට අප අනුගමනය කළ යුතු දහම සහ මූලධර්ම ජීවමාන අනාගතවක්තෘවරයෙකුගේ වචන වලින් සොයාගන්න පුළුවන්.13 “දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු අප අතර සිටීම සුළු දෙයක් නොවේ”14 කියා සභාපති එම්. රසල් බැලර්ඩ් ප්‍රකාශ කර ඇත්තේ ඒ නිසයි.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ සාක්ෂි දරා තිබෙනවා “දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඉගැන්වීමේ දිගුකාලීන රටාව, උන්වහන්සේ සෑම අනාගතවක්තෘවරයෙකුටම ආශිර්වාද කරන බවත් අනාවැකිමය උපදෙස් පිළිපදින අයට උන්වහන්සේ ආශිර්වාද කරන බවත් සහතික කරනවා.”15 එබැවින් ප්‍රධානම දෙය තමයි ජීවමාන අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීම.16 සහෝදර සහෝදරියනි, පැරණි විකට පොත් සහ සම්භාව්‍ය මෝටර් රථ මෙන් නොවේ, අනාවැකිමය ඉගැන්වීම් පැරණි වෙන තරමට වටිනාකම වැඩි වෙන්නෙ නෑ. ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් බැහැර කිරීමට අතීත අනාගතවක්තෘවරුන්ගේ වචන භාවිතා කිරීමට අප උත්සාහ නොකළ යුත්තේ ඒ නිසයි.17

ශුභාරංචි මූලධර්ම ඉගැන්වීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ භාවිතා කළ උපමා වලට මම කැමතියි. අද උදෑසන ඔබ සමඟ සැබෑ ජීවිත උපමාවක් බෙදා ගැනීමට මම කැමතියි.

දවසක් මම දවල්ට කන්න සභා මූලස්ථානයේ ආපන ශාලාවට ගියා. ආහාර බන්දේසියක් ලබා ගැනීමෙන් පසු, මම කෑම කාමරයට ඇතුළු වූ අතර පළමු සභාපතිත්වයේ සාමාජිකයින් තිදෙනාම අසුන්ගෙන සිටි මේසයක් සහ එක් හිස් පුටුවක් මම දැක්කා. මගේ අවම ආත්ම-විශ්වාසය නිසා එම මේසය අසලින් ඉක්මනින් ඉවතට ඇවිද යන්න මම පෙළඹුණා, එවිට අපගේ අනාගතවක්තෘ රසල් එම්. නෙල්සන්ගේ කටහඬ මට ඇසුණා, “ඇලන්, මෙතන හිස් පුටුවක් තිබෙනවා. ඇවිත් අපිත් එක්ක වාඩි වෙන්න.” ඉතින් මම එසේ කළා.

දිවා ආහාරය අවසන් වන විට, යමක් පොඩිකරන විශාල ශබ්දයක් ඇසීමෙන් මා පුදුමයට පත් වූ අතර, මම හිස ඔසවා බැලූ විට, සභාපති නෙල්සන් ඔහුගේ ප්ලාස්ටික් වතුර බෝතලය කෙළින් කර, පසුව එය සමතලා කර නැවත මූඩියෙන් වසා ඇති ආකාරය මම දැක්කා.

මට අසන්නට උවමනා වූ ප්‍රශ්නය පසුව සභාපති ඩැලන් එච්. ඕක්ස් ඇසුවා, “සභාපති නෙල්සන්, ඔබ ඔබේ ප්ලාස්ටික් වතුර බෝතලය සමතලා කළේ ඇයි?”

ඔහු මෙසේ පිළිතුරු දුන්නා, “මොකද එය ප්‍රතිචක්‍රීකරණ බහාලුම්වල එතරම් ඉඩක් ගන්නෙ නැති නිසා, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය හසුරුවන අයට එය පහසුයි.”

ඒ ප්‍රතිචාරය ගැන කල්පනා කර කර ඉද්දි මට ආයෙත් ඒ යම් දෙයක් පොඩි කරන සද්දයම ඇහුණා. මම මගේ දකුණු පැත්ත බැලුවම, සභාපති නෙල්සන් මෙන් සභාපති ඕක්ස් ද ඔහුගේ ප්ලාස්ටික් වතුර බෝතලය සමතලා කර තිබුණා. ඉන්පසු මට වම් පසින් යම් ශබ්දයක් ඇසුණු අතර, සභාපති හෙන්‍රි බී. අයිරින් ඔහුගේ ප්ලාස්ටික් වතුර බෝතලය සමතලා කරමින් සිටියා, ඔහු බෝතලය තිරස්ව තිබියදී එසේ කරමින් වෙනස් උපාය මාර්ගයක් අනුගමනය කළද, බෝතලය කෙළින් තබා එසේ කරනවාට වඩා වැඩි උත්සහයක් ඔහුට දරන්නට වුණා. මෙය දුටු සභාපති නෙල්සන්, බෝතලය වඩාත් පහසුවෙන් සමතලා කිරීම සඳහා බෝතලය කෙළින් ඉහළට තබා එසේ කිරීමේ තාක්ෂණය කාරුණිකව ඔහුට පෙන්වා දුන්නා.

එම අවස්ථාවේදී, මම සභාපති ඕක්ස් වෙත නැඹුරු වී හෙමින් මෙසේ ඇසුවා, “තමන්ගේ ප්ලාස්ටික් වතුර බෝතලය සමතලා කිරීම ආපනශාලාවේ නව ප්‍රතිචක්‍රීකරණ අවශ්‍යතාවයක්ද?”

සභාපති ඕක්ස් ඔහුගේ මුහුණේ සිනහවකින් යුතුව මෙසේ ප්‍රතිචාර දැක්වූවා, “අත්තටම, ඇලන්, ඔබ අනාගතවක්තෘවරයාව අනුගමනය කළ යුතුයි.”

සභාපති නෙල්සන් එදින ආපනශාලාවේ ප්‍රතිචක්‍රීකරණය පදනම් කරගත් නව මූලධර්මයක් ප්‍රකාශ නොකළ බව මට විශ්වාසයි. නමුත් සභාපති නෙල්සන්ගේ ආදර්ශයට සභාපති ඕක්ස් සහ සභාපති අයිරින් දැක්වූ ඉක්මන් ප්‍රතිචාරයෙන්18, සහ යමක් සඳහා සම්බන්ධ වී සිටින අයට එය කිරීමට වඩා හොඳ මාර්ගයක් ඉගැන්වීමට වූ සභාපති නෙල්සන්ගේ අවධානයෙන් අපට ඉගෙන ගන්න පුළුවන්.19

වසර ගණනාවකට පෙර, වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් අපගේ දිනය සම්බන්ධයෙන් අනාවැකිමය වශයෙන් වැදගත් වන සමහර නිරීක්ෂණ සහ උපදෙස් බෙදා ගත්තා:

“ඉදිරි මාස සහ වසර වලදී, යම් යම් සිදුවීම් වලදී සෑම සාමාජිකයෙකුම, ඔහු [හෝ ඇය] පළමු සභාපතිත්වය අනුගමනය කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමට අවශ්‍ය වෙනවා. මත දෙකක් අතර තව දුරටත් නතර වීම සාමාජිකයින්ට අපහසු වෙයි. …

“… අනාවැකිමය උපදෙස් හමුවේ අනෙක් අයට කැමති පරිදි තෝරාගැනීමට ඉඩ දෙමින් තේරීම් පැහැදිලි වන පරිදි අපි වාර්තාවක් තබමු. …

“යේසුස්වහන්සේ කී ලෙස අත්තික්කා ගස්වල කොළ ඇතිවෙද්දි ‘ගිම්හානය ළඟයි’. … ගිම්හානය අප වෙත පැමිණ ඇති බව මෙසේ අනතුරු අඟවා ඇති නිසා, එවිට අපි රස්නය ගැන පැමිණිලි කළ යුතු නැහැ!”20

අත්තික්කා කොළ වැඩිපුර තියෙන, රස්නෙ වැඩි කාලෙක තමයි නැඟී එන පරම්පරාව හැදෙන්නේ. එම යථාර්ථය දැනටමත් නැඟී සිටින පරම්පරාවට වඩා බර වගකීමක් පටවනවා, විශේෂයෙන් අනාවැකිමය උපදෙස් අනුගමනය කිරීමේදී. දෙමාපියන් විසින් ජීවමාන අනාගතවක්තෘවරයාගේ උපදෙස් නොසලකා හරින විට, ඔවුන් තමන්ට පොරොන්දු වූ ආශිර්වාද නැති කර ගන්නවා පමණක් නොවේ, අනාගතවක්තෘවරයෙකු පවසන දේ නොවැදගත් බව හෝ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අධ්‍යාත්මික මන්දපෝෂණය ගැන සැලකිල්ලක් නොදක්වා අපට කැමති කැමති ආකාරයෙන් අනාවැකිමය උපදෙස් ලබා ගත හැකි බව ඔවුන් ඔවුන්ගේ දරුවන්ට උගන්වනවා.

වැඩිහිටි රිචර්ඩ් එල්. එවන්ස් වරක් මෙසේ නිරීක්ෂණය කළා: “හැසිරීම සහ අනුකූලතාව ගැන ඔවුන්ට මඳක් ලිහිල්ව සිතිය හැකි බව සමහර දෙමාපියන් වැරදි ලෙස සිතනවා … ඒ කියන්නෙ ඔවුන්ගේ පවුලට හෝ ඔවුන්ගේ පවුලේ අනාගතයට බලපාන්නේ නැතිව මේ මූලික කරුණු මත මඳක් ලිහිල්ව සිතිය හැකි බව. නමුත්, දෙමාපියෙක් ටිකක් දුරක් වැරදි මාර්ගයේ ගියොත්, දරුවන් දෙමාපියන්ගේ ආදර්ශය ඉක්මවා යාමට ඉඩ තිබෙනවා.”21

විරුද්ධවාදියා ඔහුගේ බලපෑමේ උච්චතම අවස්ථාවෙහි සිටින කාලයකදී23 ඉටු කළ යුතු කාර්යභාරය වන, පසුදවස් වල පුරෝකථනය කළ කාර්යභාරය සඳහා නැගී එන පරම්පරාව සූදානම් කිරීමේ පූජනීය වගකීමක් ඇති පරම්පරාවක් ලෙස,22 අනාවැකිමය උපදෙස් පිළිපැදීමේ වැදගත්කම ගැන අපට ව්‍යාකූල මූලාශ්‍රයක් විය නොහැකියි. නැගී එන පරම්පරාවට “සතුරා [දුරින්] සිටින විට ඔහුව දැක, එවිට සතුරාගේ ප්‍රහාරයට ඔරොත්තු දීමට [ඔවුන්ට] සූදානම් විය හැකි වීමට” ඉඩ සලසන්නේ එම උපදේශයයි.24 අනාවැකිමය උපදෙස් වලට ප්‍රතිචාර වශයෙන් අප දක්වන කුඩා අපගමනය, නිහඬ නොසලකා හැරීම, හෝ මුමුණන විවේචනයන් අපට මෙම ගිවිසුම් මාවතේ බැම්මේ ඇවිදීමට අපව පෙළඹවූවත්, විරුද්ධවාදියාගේ බලපෑම නැගී එන පරම්පරාවේ ජීවිත වල විශාල වූ විට, එවැනි ක්‍රියාවන් ඔවුන්ට එම මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට තරම් බලපාන්න පුළුවන්. එවැනි ප්‍රතිඵලයක පරම්පරාගත මිල ඉතා ඉහළ යි.25

සභාපති රසල් එම්. නෙල්සන්ගේ උපදෙස් පිළිපැදීමට ඔබ දරන ප්‍රයත්නයෙන් අවම වී ඇති බව ඔබගෙන් සමහරෙකුට හැඟෙන්නට පුළුවන්. එය එසේ නම්, පසුතැවිලි වන්න; දෙවියන්වහන්සේගේ තෝරාගත් අනාගතවක්තෘවරයාගේ උපදෙස් අනුගමනය කිරීමට නැවත ආරම්භ කරන්න. බොළඳ කාටූන් වල අවධානය වෙනතකට යොමු කර ස්වාමින්වහන්සේගේ අභිෂේක ලත් අයව විශ්වාස කරන්න. නැවත වරක් “ඉශ්‍රායෙලයේ අනාගතවක්තෘවරයෙක් සිටින” නිසා ප්‍රීති වන්න.26

ඔබට විශ්වාස නැති වුවත්, අපට අවසාන දිනවල උණුසුමට ඔරොත්තු දිය හැකි අතර ඒවා තුළ පවා අපට සාර්ථක විය හැකි බවට මම සාක්ෂි දරනවා. අපි අන්තිම දවස්වල ශුද්ධවන්තයන් වන අතර, මේ ගෙවෙන්නේ උතුම් දවස්. විරුද්ධවාදියාගේ වර්ධනය වන අඳුර සහ ව්‍යාකූල කරන මීදුමට27, අපව පහත දමන්නට ඉඩ නොදෙන බවට විශ්වාසයක් ඇතුව, ඒ වෙනුවට අපටත් මුළු ලෝකයටත්, “දෙවියන්වහන්සේ මෙසේ කියන සේක”28 යැයි කීමට බලයක් ඇති තැනැත්තාගෙන් උපදෙස් හා මගපෙන්වීම් ලබා ගැනීමට හැකි, මේ කාලයේදී ලෝකයට පැමිණෙන්නට අපි ආසාවෙන් හිටියා. දෙවියන්වහන්සේ විසින් මරණයෙන් නැවත නැගිට වූ අනාගතවක්තෘවරයාගේ, ඉශ්‍රායෙල් හි ශුද්ධ වූ තැනැන්වහන්සේගේ29, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. සභාපති රසල් එම්. නෙල්සන් මෑතකදී බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ සිසුන්ට එම පුද්ගලික එළිදරව්මය අත්දැකීම අත්විඳීමට ආරාධනා කළා: “අපි සැබවින්ම ස්වාමින්වහන්සේගේ ප්‍රේරිතවරුන් සහ අනාගතවක්තෘවරුන් දැයි ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේගෙන් අසන්න. මේ පිළිබඳව සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් අපට එළිදරව් ලැබී ඇත්දැයි විමසන්න” (“The Love and Laws of God” [Brigham Young University devotional, Sept. 17, 2019], speeches.byu.edu). තවත් බලන්න නීල් එල්. ඇන්ඩර්සන්, “දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා,” ලියාහෝනා, මැයි 2018, 26: “සභාපති නෙල්සන්ගේ කැඳවීම දෙවියන්වහන්සේගෙන් බවට පුද්ගලික සාක්ෂියක් ලැබීමට පසුදවස් වල ශුද්ධවන්තයන් ලෙස අපට වරප්‍රසාදයක් තිබෙනවා.” අනාගතවක්තෘ අබිනාදිට ඇහුම්කන් දීමෙන් ඇල්මාගේ හැරවීමේ කතාව අනාගතවක්තෘවරයෙකු පිළිබඳ එළිදරව් අප සැමට ලබා ගත හැකි බවට තවත් සාක්ෂි සපයයි (බලන්න මොසායා 13: 55; 17:2).

  2. “අපට අනාගතවක්තෘවරයෙක් සිටී, නැතහොත් අපට කිසිවක් නැත. අනාගතවක්තෘවරයෙකු සිටීමෙන් අපට සියල්ල තිබේ” (Gordon B. Hinckley, “We Thank Thee, O God, for a Prophet,” Ensign, Jan. 1974, 122).

  3. “ඔවුහු අනාවැකියේ ආත්මය සහ එළිදරව් කිරීමේ ආත්මය තුළ අවිශ්වාස කිරීමට පටන්ගත්තෝය; තවද දෙවියන්වහන්සේගේ විනිශ්චයන් ඔවුන්ගේ මුහුණ දෙස බලා සිටියේය” (හිලමන් 4:23; තවත් බලන්න දහම සහ ගිවිසුම් 11:25). “අපි නිරන්තරයෙන් ගායනා කර එය එසේ කර ඇත්තෙමු, ‘දෙවියනි, මේ අවසාන දිනවල අපට මගපෙන්වීමට අනාගතවක්තෘවරයෙකු දීම ගැන අපි ඔබවහන්සේට ස්තූතිවන්ත වෙමු.’ ඒ සඳහා පසු සටහනක් තබා මෙසේ පවසන බොහෝ දෙනෙක් සිටිති: ‘අපගේම ආශාවන්ට සහ අපගේම අභිමතය පරිදි, ඔහු අපට මගපෙන්වයි”’ (Teachings of Presidents of the Church: Heber J. Grant [2002], 80).

  4. “සමහර අවස්ථාවලදී අපට තේරුම්ගත නොහැකි හෝ අපට අදාළ නොවන බව පෙනෙන උපදෙස්, හොඳින් යාච්ඤා කිරීමෙන් හා කල්පනා කිරීමෙන් පසුව අපට ලැබෙනු ඇත. උපදෙස් ඉවත නොදමන්න, නමුත් එය සමීපව තබා ගන්න. ඔබ විශ්වාස කරන කෙනෙකු ඔබට රත්තරන් අඩංගු බවට පොරොන්දු වී වැලි ලෙස පෙනෙන දෙයක් ඔබට ලබා දුන්නේ නම්, ඔබට එය ටික වේලාවක් ඔබේ අතේ තබාගෙන මෘදු ලෙස සොලවා බැලිය හැකිය. අනාගතවක්තෘවරයෙකුගේ උපදෙස් මත මම එය කළ සෑම අවස්ථාවකම, ටික වේලාවකට පසු රන් පෙති මතු වීමට පටන් ගත් අතර මම කෘතඥ වූවෙමි” (Henry B. Eyring, “Finding Safety in Counsel,” Ensign, May 1997, 26; see also 3 Nephi 1:13; Doctrine and Covenants 1:14).

  5. බලන්න 2 නෙපි 4:17–18. “මාගේ දුර්වලකම නිසා මාව හෝ ඔහුගේ දුර්වලකම නිසා මාගේ පියාව හෝ, ඔහුට පෙර අයවද විනිශ්චය නොකරල්ලා; එහෙත් දෙවියන්ව්හාන්සේ හට ස්තූති කරන්න එනම් උන්වහන්සේ නුඹලා හට අපගේ දුර්වලකම් ප්‍රකාශ කළ සේක, එනම් නුඹලා අප සිටියාට වඩා වඩාත් ප්‍රඥාවන්තව ඉගෙන ගැනීමටය” (මොර්මොන් 9:31).

  6. දහම සහ ගිවිසුම් 3:6–8; තවත් බලන්න දහම සහ ගිවිසුම් 93:47.

  7. දහම සහ ගිවිසුම් 29:16.

  8. බලන්න දහම සහ ගිවිසුම් 84:97; තවත් බලන්න දහම සහ ගිවිසුම් 87:6.

  9. දහම සහ ගිවිසුම් 45:26, 27.

  10. බලන්න දහම සහ ගිවිසුම් 1:38.

  11. හොෂෙයා 2:18. “මක්නිසාද මම ස්වර්ගය වෙතින් මාගේ බලයෙන් සහ මහත් මහිමයෙන්, එහි වූ සියලු සේනාවන් සමඟ, එළිදරව් වන්නෙමි, තවද පොළොවේ මනුෂ්‍යයන් සමඟ වසර දහසක් ධර්මිෂ්ඨකමින් වාසය කරන්නෙමි, තවද දුෂ්ටයින් නැගී නොසිටින්නෝය” (දහම සහ ගිවිසුම් 29:11).

  12. බලන්න 1 නෙපි 22:16–17 තවත් බලන්න; දහම සහ ගිවිසුම් 59:23.

  13. “මක්නිසාද බලන්න ඔවුන් අනාගතවක්තෘවරුන්ගේ වචන ප්‍රතික්ෂේප කොට ඇත. කුමක් හෙයින්ද ඔහුට දේශයෙන් පිටතට පලා යාමට ආඥා කළ පසුව මාගේ පියා දේශය තුළ ජීවත් විය යුතු වූවා නම්, බලන්න ඔහුද එසේම නැසීමට තිබිණ”(1 නෙපි 3:18; තවත් බලන්න 2 නෙපි 26:3; දහම සහ ගිවිසුම් 90:5).

  14. M. Russell Ballard, “His Word Ye Shall Receive,” Liahona, July 2001, 65.

  15. Russell M. Nelson, “Ask, Seek, Knock,” Liahona, Nov. 2009, 82. “ජීවමාන අනාගතවක්තෘවරයාගේ අවවාදයට කීකරු වීමට වඩා කිසි මිනිසෙකුට වෙනත් ආකාරයකින් සතුටු විය නොහැක” (The Teachings of Lorenzo Snow, ed. Clyde J. Williams [1996], 86).

  16. “පුරාණ අනාගතවක්තෘවරුන් බැලිවේ හෝ සිතුවේ හෝ කතා කළේ හෝ කෙසේද කියා සිතනවාට වඩා අද හෝ හෙට සභාවේ මුලසුන දරන අය දෙස ඔබේ ඇස තබාගෙන ඔවුන් අනුව ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න” (The Teachings of Harold B. Lee [1996], 525).

  17. “මියගිය අනාගතවක්තෘවරුන්ගේ සොහොන් අලංකාර කරන අය එය ආරම්භ කරන්නේ දැන් ජීවතුන් අතර සිටින අයට ගල් ගැසීමෙන්” බව සභාපති ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල් වරක් නිරීක්ෂණය කළේය” (The Teachings of Spencer W. Kimball, ed. Edward L. Kimball [1982], 462). “අපට ඇසීමට, මෙනෙහි කිරීමට සහ අනුගමනය කිරීමට හැකි වැදගත්ම වචන වන්නේ අපගේ ජීවමාන අනාගතවක්තෘවරයා හරහා හෙළිදරව් වූ වචනයි” (රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, “මාගේ ප්‍රාණයේ දේවල්,” ලියහෝනා, 2021 නොවැ., 40).

  18. “සභාවේ සභාපතිවරයාගේ වදන් තුළින් ප්‍රකාශ කරන ලද ස්වාමින්වහන්සේගේ උපදෙස් අපට ඇසෙන විට, අපගේ ප්‍රතිචාරය ධනාත්මක සහ ඉක්මන් විය යුතුය” (M. Russell Ballard, His Word Ye Shall Receive,” Liahona, July 2001, 65).

  19. “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව සැමවිටම මෙහෙයවනු ලැබුවේ ජීවමාන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් විසිනි. ලෞකික සහ මිනිස් අසම්පූර්ණකමට යටත් වුවද, ආත්මිකව ජීවිතයට තර්ජනයක් වන බාධක මඟහරවා ගැනීමට සහ අපගේ අවසාන, අවසාන, ස්වර්ගීය ගමනාන්තය වෙත මරණයෙන් පසු ආරක්ෂිතව ගමන් කිරීමට අපට උපකාර කිරීමට ස්වාමින්වහන්සේගේ සේවකයෝ දේවානුභාවයෙන් සිටිති” (M. Russell Ballard, “God Is at the Helm,” Liahona, Nov. 2015, 24).

  20. Neal A. Maxwell, “A More Determined Discipleship,” Ensign, Feb. 1979, 69, 70.

  21. Richard L. Evans, “Foundations of a Happy Home,” in Conference Report, Oct. 1964, 135–36.

  22. බලන්න දහම සහ ගිවිසුම් 123:11; තවත් බලන්න Robert D. Hales, “Our Duty to God: The Mission of Parents and Leaders to the Rising Generation,” Liahona, May 2010, 95–98.

  23. බලන්න දහම සහ ගිවිසුම් 52:14.

  24. දහම සහ ගිවිසුම් 101:54.

  25. බලන්න මොසායා 26:1–4.

  26. 2 රාජාවලිය 5:8.

  27. “ඔහුට ඒවා ලැබෙන ආකාරයට, ඔහු නුඹලාට දෙනු ලබන, ඔහුගේ සියලු වචන සහ ආඥාවන්ට නුඹලා ඇහුම්කන් දෙන්නෙහුය. මක්නිසාද මෙම දේවල් කිරීම මගින් … තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ අන්ධකාරයේ බලය නුඹලා ඉදිරියෙන් පලවාහරින සේක, තවද නුඹලාගේ යහපත සහ උන්වහන්සේගේ නාමයේ මහිමය උදෙසා ස්වර්ග සෙලවෙන්නට සලස්වන සේක” (දහම සහ ගිවිසුම් 21:4, 6). “ස්වාමින්වහන්සේගේ නියෝජිතයා ලෙස පෙනී සිටින තැනැත්තාගේ ඉගැන්වීම් පිළිපදින හෝ උපදෙස් හෝ වදන් ලබා ගත් කිසිම මිනිසෙක් කිසිදා නොමඟ ගියේ නැත” (Doctrines of Salvation: Sermons and Writings of Joseph Fielding Smith, ed. Bruce R. McConkie [1998], 243).

  28. එසකියෙල් 3:27. “මක්නිසාද නුඹලා ඔහුගේ වචන, සියලු ඉවසීමෙන් සහ ඇදහිල්ලෙන්, මගේ ස්වකීය මුඛයෙන් සේම ලබාගන්නෙහුය” (දහම සහ ගිවිසුම් 21:5).

  29. බලන්න 1 නෙපි 22:20–21; තවත් බලන්න 3 නෙපි 20:23.