ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේගේ වැනි සමබරතාවය
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේගේ වැනි සමබරතාවය

“උන්වහන්සේ නැගිට සුළඟට තරවටු කොට: නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙවයි මුහුදට කී සේක. එවිට හුළඟ නැවතී, මහත් නිශ්චලයක් විය” (මාර්ක් 4:39).

මම අවසන් වරට ප්‍රධාන සම්මන්ත්‍රණයේ කතා කළ පසු, මගේ බෑණා රයන් මට ට්වීට් පණිවිඩයක් පෙන්නුවා, එහි මෙහෙම කියනවා, “ඇත්තද? මේ මනුස්සයගෙ නම බ්‍රැග් ද—එහි තේරුම තමන්වම වර්ණනා කරන්නා නේද—ඔහු නිහතමානීකම ගැන කතා කරන්නේ නැද්ද? අපරාදෙ!” කණගාටුදායක ලෙස, ඒ බලාපොරොත්තු සුන්වීම දිගටම පවතිනවා.

රූපය
දොන් බ්‍රැග් පැසිපන්දු ක්‍රීඩකයෙකු ලෙස

මගේ ආදරණීය පියා ජනප්‍රිය පුහුණුකරු ජෝන් වුඩන් යටතේ UCLA හි සමස්ත-අමෙරිකා පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඔවුන් මගේ පියාගේ ජීවිත කාලය පුරාම සමීපව සිටි අතර, ඉඳහිට එම පුහුණුකරු සහ වුඩන් මහත්මිය රාත්‍රී ආහාරය සඳහා අපගේ නිවසට පැමිණියා. පැසිපන්දු ක්‍රීඩාව ගැන හෝ මගේ සිතේ ඇති වෙනත් දෙයක් ගැන මා සමඟ කතා කිරීමට ඔහු නිතරම කැමති වුණා. වරක් මම උසස් පාසලේ ජ්‍යෙෂ්ඨ වසරට ඇතුළත් වන විට ඔහුට මට දෙන්නට තියන උපදෙස් මොනවාදැයි මම ඔහුගෙන් ඇසුවා. සෑම විටම ගුරුවරයෙක් වූ ඔහු මෙහෙම කිව්වා, “ඔබේ පියා මට කිව්වා ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට සම්බන්ධ වුණා කියලා, ඉතින් මම දන්නවා ඔබට සැමවිටම ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තියෙයි. එම ඇදහිල්ල සමඟ සෑම අවස්ථාවකදීම සමබරව සිටීමට වග බලාගන්න. කුණාටුවකදී වුවත් හොඳ මිනිසෙකු වන්න.”

අවුරුදු ගාණක් තිස්සේ ඒ සංවාදය මගේ හිතේ තිබුණා. සෑම අවස්ථාවකදීම, විශේෂයෙන් විපත්ති සහ පීඩන අවස්ථාවන්හිදී සන්සුන්ව, සිසිල්ව සහ පාලනයකින් යුතුව සිටිය යුතු බවට වූ එම උපදේශය මා සමඟ නිතරම තිබුණා. පුහුණුකරු වුඩන්ගේ කණ්ඩායම් සමබරව ක්‍රීඩා කළ ආකාරය සහ ජාතික ශූරතා 10ක් ජයග්‍රහණය කිරීමෙන් ඔවුන් අත්විඳි විශිෂ්ට සාර්ථකත්වය මට දැකගත හැකි වුණා.

නමුත් මේ දිනවල සමබරතාවය ගැන වැඩි යමක් කතා කෙරෙන්නෙ නෑ, ඒවගේම කැලඹිලි සහ භේදකාරී කාලවලදී එය භාවිතා වන්නේ ඊටත් වඩා අඩුවෙන්. එය බොහෝ විට ක්‍රීඩාවේ සඳහන් වෙනවා—සමබර ක්‍රීඩකයෙකු සංකීර්ණ ක්‍රීඩාවකදී කලබල වෙන්නෙ නෑ, එහෙම නැත්නම් කණ්ඩායමක් සමබරතාවයෙන් හීන වුනොත් අවුල් වෙනවා. නමුත් මෙම අපූරු ගුණාංගය ක්‍රීඩාවෙන් ඔබ්බට විහිද යනවා. සමබරතාවය යොදාගැනීමෙන් ජීවිතයට විශාල බලපෑමක් වෙනවා, ඒවගේම දෙමාපියන්ට, නායකයින්ට, ධර්මදූතයින්ට, ගුරුවරුන්ට, සිසුන්ට, සහ ජීවිතයේ කුණාටු වලට මුහුණ දෙන සෑම කෙනෙකුටම එමගින් ආශිර්වාද ලැබෙන්න පුළුවන්.

අධ්‍යාත්මික සමබරතාවය අපට සන්සුන්ව සිටීමට සහ වඩාත්ම වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කිරීමට මෙන්ම විශේෂයෙන් අප පීඩනයට ලක්ව සිටින විට අපට ආශිර්වාද කරනවා. සභාපති හියු බී බ්‍රවුන් මෙසේ ඉගැන්වුවා, “දෙවියන්වහන්සේ කෙරෙහි සහ යහපත්කම අවසානයේ ජයගන්නා බවට වූ ඇදහිල්ල, දුෂ්කරතා හමුවේ මානසික සහ අධ්‍යාත්මික සමබරතාවයට දායක වෙනවා.”1

සභාපති රසල් එම්. නෙල්සන් අධ්‍යාත්මික සමබරතාවයට කදිම නිදසුනක්. එක් වරක්, එවකට වෛද්‍ය නෙල්සන් විසින් කිරීටක ධමනි බයිපාස් සැත්කමක් සිදු කරන විට, රෝගියාගේ රුධිර පීඩනය හදිසියේම පහත වැටුණා. වෛද්‍ය නෙල්සන් සන්සුන්ව තත්ත්වය තක්සේරු කළ අතර කණ්ඩායමේ එක් සාමාජිකයෙකු විසින් කලම්පයක් අහම්බෙන් ඉවත් කළ බව හඳුනා ගත්තා. එය වහාම ප්‍රතිස්ථාපනය කරන ලද අතර, වෛද්‍ය නෙල්සන් කණ්ඩායමේ එම සාමාජිකයාව සනසමින් මෙසේ කිව්වා, “මම තවමත් ඔබට ආදරෙයි” පසුව ඔහු විහිළුවට මෙන් මෙසේත් කිව්වා, “සමහර අවස්ථාවලදී මම ඔබට අනෙක් වෙලාවල් වලට වඩා ආදරෙයි!” සමබරව, වඩාත්ම වැදගත් දේ කෙරෙහි පමණක් අවධානය යොමු කරමින්—හදිසි අවස්ථාවට ආමන්ත්‍රණය කරමින්—හදිසි අවස්ථාවක් හැසිරවිය යුතු ආකාරය ඔහු පෙන්වා දුන්නා. සභාපති නෙල්සන් මෙසේ පැවසුවා: “එය අතිශයින්ම ස්වයං විනය පිළිබඳ කාරණයක්. ඔබේ ස්වාභාවික ප්‍රතික්‍රියාව තමයි, ‘මාව අයින් කරන්න, පුහුණුකරු! මට ගෙදර යන්න ඕනෙ.’ නමුත් ඇත්ත වශයෙන්ම ඔබට එසේ කරන්න බැහැ. ජීවිතයක් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මුළු ශල්‍ය කණ්ඩායමම මතයි. එබැවින් ඔබ වෙන කවරදාටත් වඩා සන්සුන්ව හා සැහැල්ලුවෙන් හා තියුණුව සිටිය යුතුයි.”2

ඇත්ත වශයෙන්ම, සමබරතාවට හොඳම උදාහරණය ගැලවුම්කරුවාණන්.

ගෙත්සෙමන උයනේදී, සිතාගත නොහැකි තරම් වේදනාවකින්, “දාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටී”3 යද්දීත්, “මගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා”4 යන සරල නමුත් ප්‍රතාපවත් ප්‍රකාශයෙන් උන්වහන්සේ විසින් දිව්‍ය සමබරතාවය ආදර්ශවත් කළා. සියලු මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම සක්‍රීය කිරීමේ දැවැන්ත පීඩනය යටතේ, යේසුස්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සමබරතාව තේරුම් ගැනීමට අපට උපකාර වන වැදගත් කොන්දේසි තුනක් පෙන්නුම් කළා. පළමුව, උන්වහන්සේ කවුදැයි උන්වහන්සේ විසින් දැන සිටි අතර උන්වහන්සේගේ දිව්‍ය මෙහෙවරට උන්වහන්සේ අවංක වුණා. ඊළඟට, ප්‍රීතිය පිළිබඳ විශාල සැලැස්මක් ඇති බව උන්වහන්සේ දැන සිටියා. අවසාන වශයෙන්, වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් විසින් අද ඉතා අලංකාර ලෙස ඉගැන්වූ පරිදි, උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළින්, පූජකවර නියෝග මගින් ඇති කරගන්නා පූජනීය ගිවිසුම් ඇතිකරගෙන, ඒවා පිළිපැදීමෙන්, ඇදහිලිවන්තව වියගහක් මෙන් උන්වහන්සේ හා සම්බන්ධ වන සියල්ලෝම ගැලවීම ලබන බව උන්වහන්සේ දැන සිටියා.

සමබරතාව නැතිවීම සහ සමබරව පවත්වා ගැනීම අතර වෙනස තේරුම් ගැනීමට, ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන් ගෙත්සෙමන උයනෙන් පිටව යන විට සිදු වූ දේ ගැන සිතන්න. යේසුස්වහන්සේව අත්අඩංගුවට ගැනීමට සොල්දාදුවන් ඉදිරියට පැමිණී විට, පේත්‍රැස්ගේ ප්‍රතිචාරය වූයේ ඔහුගේ සමබරතාවය නැති කරගෙන උත්තම පූජකයාගේ සේවකයා වූ මැල්කස්ගේ කන කපා දරුණු ලෙස පහර දීමයි. අනෙක් අතට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රතිචාරය වූයේ, මැල්කස්ව සුව කිරීම මගින් උන්වහන්සේගේ සමබරතාවය පවත්වා ගෙන සන්සුන්කාරී තත්වයක් ගෙන ඒමයි.5

අපගේ සමබරතාවය පවත්වා ගැනීමට අරගල කරන සහ සමහර විට අධෛර්යමත් වී ඇති අය, පේත්‍රැස්ගේ කතාවේ ඉතිරි කොටස සලකා බලන්න. මෙම සිදුවීමෙන් සහ ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔහුගේ ඇසුර ප්‍රතික්ෂේප කිරීමේ හද කම්පාවෙන් ටික වේලාවකට පසු6, පේත්‍රැස් ගැලවුම්කරුවාණන්ව හෙළා දුටු එම ආගමික නායකයන් ඉදිරියේම සිටගෙන, දැඩි ප්‍රශ්න කිරීම් මධ්‍යයේ ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය පිළිබඳ චතුර ලෙස සාක්ෂි දැරුවා.7

ඔබ කවුදැයි දැනගෙන ඔබේ දිව්‍යමය අනන්‍යතාවයට සත්‍යවන්ත වෙන්න

අපි ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් සමබරතාවයක අංග සලකා බලමු. ආරම්භ කිරීම සඳහා, අප කවුරුන්ද යන්න දැන ගැනීම මගින් සහ අපගේ දිව්‍ය අනන්‍යතාවයට සත්‍යවන්ත වීම මගින් සන්සුන් බව ගෙන එනවා. ක්‍රිස්තුස්වහන්සේගේ වැනි සමබරතාවයකට අවශ්‍ය වන්නේ අප අපව අන් අය හා සැසඳීමෙන් වැළකී සිටීම හෝ අප අප නොවන කෙනෙකු ලෙස පෙනී සිටීමෙන් වැළකී සිටීමයි.8 ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්වුවා, “මිනිසුන් දෙවියන්වහන්සේගේ චරිතය තේරුම් නොගන්නේ නම්, ඔවුන් තමන්වම තේරුම් නොගනිති.”9 අප ප්‍රේමණීය ස්වර්ගික පියෙකුගේ දිව්‍ය පුත්‍රයන් සහ දූවරුන් බව නොදැන අපට දිව්‍ය සමබරතාවයක් ඇති කරගන්නට බැහැ.

“Choices for Eternity” [සදාකාලිත්වය සඳහා තේරීම්] යන ඔහුගේ කතාවේදී සභාපති නෙල්සන් අප කවුරුන්ද යන්න පිළිබඳ මෙම සදාකාලික සත්‍යයන් උගන්වා තිබෙනවා: අපි දෙවියන්වහන්සේගේ දරුවන්, අපි ගිවිසුමේ දරුවන්, සහ අපි ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්. ඉන්පසු ඔහු මෙසේ පොරොන්දු වුණා, “ඔබ මෙම සත්‍යයන් වැලඳ ගන්නා විට, අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ ශුද්ධ වූ අභිමුඛයේ සදාකාලිකව ජීවත්වීමේ ඔබගේ අවසාන ඉලක්කය කරා ළඟා වීමට උන්වහන්සේ ඔබට උපකාර කරයි.”10 අප සැබවින්ම ලෞකික අත්දැකීමක් ලබන, දිව්‍යමය අධ්‍යාත්මික ජීවීන්. අප කවුරුන්ද යන්න දැන ගැනීම සහ එම දිව්‍යමය අනන්‍යතාවයට සත්‍යවන්තව සිටීම ක්‍රිස්තුස්වහන්සේගේ වැනි සමබරතාවයක් වර්ධනය කරගැනීමේ පදනම වෙනවා.

දිව්‍ය සැලැස්මක් තිබෙන බව දැනගන්න

ඊළඟට, විශාල සැලැස්මක් ඇති බව මතක තබා ගැනීම අභියෝගාත්මක තත්වයන් තුළ ධෛර්යය සහ සමබරතාවය ඇති කරනවා. තමා කළ යුතු දේවල් “කලින් නොදැන”12 ස්වාමින්වහන්සේගේ ආඥා වලට කීකරු වූ විට නෙපිට “ගොස් කිරීමට”11 හැකි වූයේ ඔහු එය දැන සිටි නිසයි. අපි යම් යම් දේවල් දෙස සදාකාලික දෘෂ්ටිකෝණයකින් බලන විට සමබරතාවය ඇති වෙනවා. “නුඹලාගේ ඇස් ඔසවන්න”13මෙන්ම “තවද නුඹලාගේ මනස මත සදාකාලයේ ගැඹුර රැඳීමට ඉඩදෙන්න”14 කියා ස්වාමින්වහන්සේ තම ගෝලයන්ට උපදෙස් දී තිබෙනවා. සදාකාලික සැලැස්මක් තුළ අභියෝගාත්මක කාලයන් සැකසීමෙන්, පීඩනය - ආදරය කිරීමට, සේවය කිරීමට, ඉගැන්වීමට සහ ආශිර්වාද කිරීමට වරප්‍රසාදයක් බවට පත්වෙනවා. සදාකාලික දර්ශනයක් ක්‍රිස්තුස්වහන්සේට සමාන වූ සමබරතාවයක් ඇති කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සක්‍රීය කිරීමේ බලය සහ උන්වහන්සේගේ වන්දිගෙවීම ගැන දැනගන්න

අවසාන වශයෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ සක්‍රීය කිරීමේ බලය, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය මගින් අපට විඳදරාගැනීමට සහ ජයගැනීමට ශක්තිය ලබා දෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා අපට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කර ගත හැකි අතර එම ගිවිසුම තබාගැනීමෙන් අපට ශක්තිමත් වෙන්න පුළුවන්. අපගේ ලෞකික තත්වයන් නොසලකා, අපට ප්‍රීතියෙන් හා සන්සුන්ව ගැලවුම්කරුවාණන් වෙත බැඳී සිටින්න පුළුවන්.15 ඇල්මා 7 වෙනි පරිච්ඡේදය ක්‍රිස්තුස්වහන්සේගේ සක්‍රීය කිරීමේ බලය ගැන ලස්සනට උගන්වනවා. අපව පාපයෙන් මුදවා ගැනීමට අමතරව, මේ ජීවිතයේ අපගේ දුර්වලකම්, බිය සහ අභියෝග වලදී ගැලවුම්කරුවාණන්ට අපව ශක්තිමත් කරන්න පුළුවන්.

අපි ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන විට, ඇල්මාගේ ජනයා හිලාම් හි කළාක් මෙන්, අපට අපගේ බිය නිවා ගන්න පුළුවන්.16 තර්ජනාත්මක හමුදාවක් එක්රැස් වෙද්දී, ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්ත ගෝලයන් සමබරව ක්‍රියා කළා. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ උගන්වා තිබෙනවා: “ස්වාමින්වහන්සේව සහ උන්වහන්සේට පමණක් දිය හැකි ගැලවීම සිහි කරන ලෙස ඇල්මා ඇදහිලිවන්තයන්ට උපදෙස් දුන්නා (බලන්න 2 නෙපි 2:8). ගැලවුම්කරුවාණන්ගේ ආරක්‍ෂාකාරී බවෙහි රැකවරණය පිළිබඳ දැනුම නිසා මිනිසුන්ට ඔවුන්ගේම බිය දුරු කර ගැනීමට හැකි වුණා.17 මෙය සමබරතාවය විදහා දක්වනවා.

කුණාටුවක සිටින ශ්‍රේෂ්ඨ මිනිසා

කුණාටුවකදී ඉවසීම ගැන නෝවා අපට බොහෝ දේ ඉගැන්වූ නමුත් කුණාටුවකින් බේරෙන්නේ කෙසේද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වූයේ ගැලවුම්කරුවාණන්. කුණාටුවක සිටි ශ්‍රේෂ්ඨ මිනිසා උන්වහන්සේයි. තම ප්‍රේරිතවරුන් සමඟ දිගු දිනක ඉගැන්වීමෙන් පසු, ගැලවුම්කරුවාණන්ට විවේකයක් අවශ්‍ය වූ අතර ඔවුන් ගලීල මුහුදේ අනෙක් පැත්තට බෝට්ටුවකින් එගොඩ වෙමු යැයි යෝජනා කළා. ගැලවුම්කරුවාණන් විවේක ගත් විට දරුණු කුණාටුවක් ඇති වුණා. සුළඟ සහ රළ නිසා බෝට්ටුව ගිලී යාමේ තර්ජනයට ලක් වූ විට, ප්‍රේරිතවරුන් තම ජීවිතය ගැන බිය වීමට පටන් ගත්තා. ඒ වගේම මතක තියාගන්න, ඒ ප්‍රේරිතවරුන්ගෙන් කීපදෙනෙක් ඒ මුහුදේ කුණාටු ගැන හොඳින් දැන සිටි ධීවරයන්! එහෙත්, කනස්සල්ලෙන්, ඔවුන් ස්වාමින්වහන්සේව අවදි කර, “[ස්වාමීනි], අප විනාශවන බව ඔබ සලකන්නේ නැද්ද?” කියා උන්වහන්සේගෙන් ඇසුවා.18 එවිට, ආදර්ශමත් සමබරතාවයකින්, ගැලවුම්කරුවාණන් “නැගිට සුළඟට තරවටු කොට: නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙවයි මුහුදට [කිව්වා]. එවිට සුළග නැවතී, මහත් නිශ්චල [වුණා].”19

ඉන්පසුව උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ට එය සමබරතාවය පිළිබඳ විශිෂ්ට පාඩමක් වුණා. උන්වහන්සේ මෙහෙම ඇහුවා, “නුඹලා භයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්ද?”20 උන්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් බවත්, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ අමරණීයභාවය සහ සදාකාල ජීවනය ගෙන ඒම සඳහා පියාණන්වහන්සේ විසින් උන්වහන්සේව එවන ලද බවත් ඔවුන්ට මතක් කර දුන්නා. ඒකාන්තයෙන්ම දිව්‍ය පුත්‍රයාණන් ඔරුවක නැසී යන්නේ නෑ. උන්වහන්සේ උන්වහන්සේගේ දේවත්වය ගැන දැන සිටි නිසාත්, ගැලවීමේ හා උත්කර්ෂවත් කිරීමේ සැලැස්මක් ඇති බවත්, එම සැලැස්මේ සදාකාලික සාර්ථකත්වය සඳහා උන්වහන්සේගේ වන්දිගෙවීම අත්‍යවශ්‍ය වන බවත් උන්වහන්සේ දැන සිටි නිසා උන්වහන්සේ දිව්‍යමය සමබරතාවය ආදර්ශමත් කළා.

අපේ ජීවිතයට සියලුම යහපත් දේවල් පැමිණෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ තුළින් හා උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින්. දයාවේ දිව්‍ය සැලැස්මක් ඇති බව දැනගෙන, අප කවුරුන්දැයි අප මතක තබාගෙන, ස්වාමින්වහන්සේගේ ශක්තියෙන් ධෛර්යය ලබාගන්නා විට, අපට සියල්ල කළ හැකියි. අපි සන්සුන්ව බව සොයාගනියි. ඕනෑම කුණාටුවකදී අපි හොඳ කාන්තාවන් සහ මිනිසුන් වෙයි.

අභියෝගාත්මක කාලවලදී අපට උපකාර කිරීම සඳහා පමණක් නොවේ, අන් අයට ආශිර්වාද කිරීමට සහ ඔවුන්ගේ ජීවිතවල කුණාටු හරහා ඔවුන්ට උපකාර කිරීමට ක්‍රිස්තුස්වහන්සේගේ සමබරතාවයේ ආශිර්වාදය අපි සොයමු. ගොක් ඉරිදා දිනට පෙර දින සවස, මම මෙසේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ප්‍රීතියෙන් යුතුව සාක්ෂි දරනවා. උන්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක. උන්වහන්සේ පමණක් අපගේ ජීවිතයට ගෙනෙන සාමය, සන්සුන්කම සහ ස්වර්ගීය සමබරතාවය ගැන මම සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. Hugh B. Brown, in Conference Report, Oct. 1969, 105.

  2. බලන්න Sheri Dew, Insights from a Prophet’s Life: Russell M. Nelson (2019), 66–67.

  3. Joseph Smith Translation, Luke 22:44 (in Luke 22:44, footnote b).

  4. ලූක් 22:42.

  5. බලන්න ලූක් 22:50–51; යොහාන් 18:10–11.

  6. බලන්න මතෙව් 26:34–35, 69–75.

  7. බලන්න ක්‍රියා 4:8–10; Neal A. Maxwell, “Content with the Things Allotted unto Us,” Ensign, May 2000, 74; Liahona, July 2000, 89: “අධ්‍යාත්මිකව පෙළගැස්වූ විට, අපි ‘සියල්ලෙහි තේරුම’ නොදන්නා විට පවා සමබරතාවයක් පැමිණිය හැකිය (1 නෙපිi 11:17).”

  8. බලන්න John R. Wooden, Wooden on Leadership, “Poise,” (2005), 50: “මම සමබරතාවය නිර්වචනය කරන්නේ තත්වය හෝ කාරණය කුමක් වුවත්, කලබල නොවී, ඉවතට විසිවීම හෝ අසමතුලිත නොවීම, සහ තමාටම සත්‍යවන්ත වීම ලෙසයි. මෙය පහසු යැයි හැඟිය හැකි නමුත්, අභියෝගාත්මක කාලවලදී සමබරතාවය යනු වඩාත්ම නොපැහැදිලි ගුණාංගයක් විය හැකිය. සමබරතාවය අඩු නායකයින්ට පීඩනයක් යටතේ භීතියක් ඇති විය හැකිය.

    සමබරතාවය යන්නෙන් අදහස් කරන්නේ තත්වය කෙතරම් නරක හෝ හොඳ වුවත් ඔබේ විශ්වාසයන් තදින් අල්ලාගෙන ඒවාට අනුකූලව ක්‍රියා කිරීමයි. සමබරතාවය යන්නෙන් අදහස් කරන්නේ ඉරියව්වෙන් හෝ මවාපෑමෙන් හෝ වැළකී සිටීම, ඔබව අන් අය සමඟ සංසන්දනය කිරීමෙන් සහ ඔබ නොවන කෙනෙකු ලෙස ක්‍රියා කිරීමෙන් වැළකී සිටීමයි. සමබරතාවය යනු ඕනෑම අවස්ථාවක නිර්භීත හදවතක් තිබීමයි.”

  9. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 40.

  10. Russell M. Nelson, “Choices for Eternity” (worldwide devotional for young adults, May 15, 2022), broadcasts.ChurchofJesusChrist.org.

  11. 1 නෙපි 3:7.

  12. 1 නෙපි 4:6.

  13. යොහාන් 4:35.

  14. දහම සහ ගිවිසුම් 43:34; තවත් බලන්න James E. Faust, “The Dignity of Self,” Ensign, May 1981: “පරිශුද්ධත්වය සෙවීමේදී ඉහළට බැලීමෙන් ආත්ම ගෞරවය බෙහෙවින් වැඩි දියුණු වේ. යෝධ ගස් මෙන් අපි ආලෝකය වෙත ළඟා විය යුතුය. අපට දැනගත හැකි වැදගත්ම ආලෝක ප්‍රභවය වන්නේ ශුද්ධාත්මයාණන්ගේ දීමනාවයි. එය අභ්‍යන්තර ශක්තියේ සහ සාමයේ උල්පතයි.”

  15. බලන්න Russell M. Nelson, “Joy and Spiritual Survival,” Liahona, Nov. 2016:“අපට දැනෙන ප්‍රීතියට, අපගේ ජීවිතයේ තත්වයන් සමඟ තිබෙන්නේ කුඩා සම්බන්ධයක්, ඒවගේම අපගේ ජීවිතයේ අවධානය සමඟ එයට සියලු සම්බන්ධතා තිබෙනවා.”

  16. බලන්න මොසායා 23:27–28.

  17. David A. Bednar, “Therefore They Hushed Their Fears,” Liahona, May 2015, 46–47.

  18. See Jeffrey R. Holland, Our Day Star Rising: Exploring the New Testament with Jeffrey R. Holland (2022), 61–62: “තවද, මොවුන් ඔහු සමඟ නැවේ සිටි පළපුරුදු මිනිසුන්ය—මුල් දොළොස් දෙනාගෙන් එකොළොස් දෙනෙක් ගලීලියානුවන් වූහ (යූදස් ඉස්කාරියොත් පමණක් යුදෙව් ජාතිකයෙකි). ඒ එකොළොස් දෙනාගෙන් හය දෙනෙක් ධීවරයෝ වූහ. ඔවුන් ජීවත් වුණේ මේ ජලයේ ය. ඔවුන් එහි මසුන් ඇල්ලීමෙන් තම ජීවිකාව කරගෙන ගොස් ඇත. ඔවුන් කුඩා කාලයේ සිටම එහි සිටියහ. ඔවුන්ගේ පියවරුන් ඔවුන් ඉතා කුඩා කාලයේදී දැල් අලුත්වැඩියා කිරීමට සහ ඔරුවේ අලුත්වැඩියා කිරීමට ඔවුන්ට ඉඩ දී ඇත. ඔවුන් මේ මුහුද දනිති; ඔවුන් සුළඟ ද රළ ද දනිති. ඔවුන් අද්දැකීම් ලත් මිනිසුන් වුවත්—ඔවුන් බිය වූහ. ඔවුන් බිය වන්නේ නම්, මෙය ඉතා දරුණු කුණාටුවකි.

  19. බලන්න මාර්ක් 4:35–39.

  20. මාර්ක් 4:40.