ප්‍රධාන සම්මන්ත්‍රණය
අසම්පූර්ණ අස්වැන්න
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අසම්පූර්ණ අස්වැන්න

ගැලවුම්කරුවාණන් අපගේ නිහතමානී පරිත්‍යාග පිළිගැනීමට සහ උන්වහන්සේගේ කරුණාව තුළින් ඒවා පරිපූර්ණ කිරීමට සූදානම්ව සිටිනවා. ක්‍රිස්තුස්වහන්සේ සමඟ, අසම්පූර්ණ අස්වැන්නක් නෑ.

කුඩා පිරිමි ළමයෙකු ලෙස, මා හැදී වැඩුණු නිරිතදිග මොන්ටානා හි අවුරුද්ද පුරා එක් එක් කාලවල නාටකාකාර වෙනස්කම් වලට ආදරය කිරීමට මම ඉගෙන ගත්තා. මගේ ප්‍රියතම කාලය සරත් සමයයි—ඒ කියන්නෙ අස්වැන්න නෙළන කාලය. අපි මාස ගණනක් මහන්සි වෙලා වැඩ කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට සරුසාර අස්වැන්නක් ලැබෙයි කියලා අපේ පවුලේ අය බලාපොරොත්තු වුණා ඒ වගේම යාච්ඤා කළා. කාලගුණය, සතුන්ගේ සහ බෝගවල සෞඛ්‍යය සහ ඔවුන්ට එතරම් පාලනයක් නොමැති තවත් බොහෝ දේ ගැන මගේ දෙමාපියන් කනස්සල්ලට පත්වුණා.

මම වර්ධනය වෙද්දි, ඊට සම්බන්ධ හදිසි අවශ්‍යතාවය ගැන මම තව තවත් දැනගත්තා. අපේ ජීවනෝපාය රඳා පැවතුණේ අස්වැන්න මත. අපි ධාන්‍ය අස්වැන්න නෙළීමට භාවිතා කරන උපකරණ ගැන මගේ පියා මට ඉගැන්නුවා. ඔහු යන්ත්‍ර සූත්‍ර කුඹුරට ගෙන ගොස්, කුඩා ධාන්‍ය තොගයක් කපා, හැකිතාක් ධාන්‍ය, රැඳවුම් ටැංකියට වැටෙන බවටත්, බොල්පොතු සමඟ පිටතට විසි නොවන බවටත් වග බලා ගැනීම සඳහා යන්ත්‍රය පිටුපස පරීක්ෂා කරන ආකාරය මම බලාගෙන සිටියා. ඔහු යන්ත්‍රය නැවත නැවතත් සකස් කරමින් මෙම අභ්‍යාසය කිහිප වතාවක්ම කළා. මම ඔහුත් එක්කම දිව යමින්, මම කරන්නේ කුමක්දැයි මම දන්නා සේ බොල්පොතු හරහා කකුළෙන් එහා මෙහා කළා.

යන්ත්‍රයේ සැකසුම ගැන ඔහු සෑහීමකට පත් වූ පසු, මම බිම තිබූ බොල්පොතු වල ධාන්‍ය ඇට කිහිපයක් සොයාගෙන ඒවා විවේචනාත්මක බැල්මකින් ඔහුට ඉදිරිපත් කළා. “එය හොඳටම ප්‍රමාණවත් ඒවගේම මේ යන්ත්‍රයට කරන්න පුළුවන් උපරිමය තමයි ඒ” කියලා මගේ තාත්තා මට කියපු දේ මට අමතක වෙන්නේ නැහැ. ඔහුගේ පැහැදිලි කිරීම ගැන සෑහීමකට පත් නොවූ මම මෙම අස්වැන්නේ අඩුපාඩු ගැන කල්පනා කළා.

ටික වේලාවකට පසු, සවස් වරුවේ කාලගුණය සීතල වූ විට, දකුණට ගමන් කරන ඔවුන්ගේ දිගු ගමනේ අතරමග පෝෂණය සඳහා සංක්‍රමණික හංසයන්, පාත්තයින් සහ තාරාවන් දහස් ගණනක් කෙත්වලට බැස යන ආකාරය මම දුටුවා. ඔවුන් අපේ අසම්පූර්ණ අස්වැන්නෙන් ඉතිරි වූ ධාන්‍ය කෑවා. දෙවියන්වහන්සේ එය පරිපූර්ණ කර තිබුණා. ඒ වගේම එක ඇටයක්වත් නැති වුණේ නැහැ.

පරිපූර්ණත්වය ගැන උමතු වීම බොහෝ විට අපගේ ලෝකයේ සහ සභාවේ සංස්කෘතිය තුළ ඇති පරීක්ෂාවක්. සමාජ මාධ්‍ය, යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් සහ බොහෝ විට අපගේම ස්වයං විවේචනය, අප ප්‍රමාණවත් නොවන අතර කිසි විටෙකත් එසේ නොවනු ඇති බවට—ප්‍රමාණවත් නොවන හැඟීම් ඇති කරනවා. “එබැවින් ඔබ පරිපූර්ණ වන්න” යන ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය පවා ඇතැමුන් වරදවා වටහා ගන්නවා.1

ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණත්වය, පරිපූර්ණවාදයට සමාන නොවන බව මතක තබාගන්න.2 පරිපූර්ණවාදයට අපව අන් අය සමඟ සංසන්දනය කරන, ඉටු කළ නොහැකි ස්වයං-පරිපූර්ණ සම්මතයක් අවශ්‍ය වෙනවා. මෙය වරදකාරිත්වය සහ කාංසාව ඇති කරන අතර, අපව සෑම දෙයකින්ම ඉවත් කරගෙන හුදකලා වීමට අපට අවශ්‍ය වෙන්න පුළුවන්.

ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ වීම තවත් කාරණයක්. එය ගැලවුම්කරුවාණන් මෙන් වීමට—ශුද්ධාත්මයාණන් විසින් ප්‍රේමණීය ලෙස මගපෙන්වනු ලබන ක්‍රියාවලියක්. මෙම ප්‍රමිතීන් කාරුණික හා සියල්ල දන්නා ස්වර්ගීය පියෙකු විසින් සකසා ඇති අතර අපට වැළඳ ගැනීමට ආරාධනා කර ඇති ගිවිසුම්වල පැහැදිලිව අර්ථ දක්වා තිබෙනවා. දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප කවුරුන්ද යන්න සැමවිටම අවධාරණය කරමින්, වරදකාරිත්වයේ සහ ප්‍රමාණවත් නොවීම යන බරින් එය අපව නිදහස් කරනවා. මෙම ක්‍රියාවලිය අපව ඔසවන අතර සහ වඩා හොඳ වීමට අපව තල්ලු කරන අතරම, අපව මනිනු ලබන්නේ උන්වහන්සේව ඇදහිල්ලෙන් යුතුව අනුගමනය කිරීමට අප දරන ප්‍රයත්න වලින් අප පෙන්වන, දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අපගේ පුද්ගලික භක්තියෙන්. ගැලවුම්කරුවාණන් වෙතට පැමිණෙන ලෙස උන්වහන්සේගේ ආරාධනය අප පිළිගන්නා විට, අපගේ හොඳම දේ ප්‍රමාණවත් බවත්, ප්‍රේමණීය ගැලවුම්කරුවෙකුගේ කරුණාව අපට සිතාගත නොහැකි ආකාරවල වෙනසක් එහි ඇති කරන බවත් ඉක්මනින්ම අපට වැටහෙනවා.

ගැලවුම්කරුවාණන් පන්දහසක් පෝෂණය කළ විට මෙම මූලධර්මය ක්‍රියාත්මක වන ආකාරය අපට දකින්නට පුළුවන්.

“යේසුස්වහන්සේ ඇස් ඔසවා තමන් ළඟට මහත් සමූහයක් එන බව දැක: මොවුන්ට කන්ට දෙන්ට අපි කොතැනින් රොටි මිලේට ගනිමුදැයි පිලිප්ගෙන් ඇසූසේක. …

“පිලිප් උන්වහන්සේට උත්තරදෙමින්: එකිනෙකාට ටික ටිකවත් ලැබෙන පිණිස මසු දෙසියයක රොටිත් ඔවුන්ට මදියයි කීවේය.

“උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්වූ සීමොන් පේත්‍රැස්ගේ සහෝදරවූ අන්ද්‍රැ උන්වහන්සේට කථාකොට:

“යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටියි. නුමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය.”3

කිරීමට ඇති කාර්යය හමුවේ ඇති දේ දුක්ඛිත ලෙස ප්‍රමාණවත් නොවන බව දැන දැනමත් දරුවෙකුගේ ඇදහිල්ලෙන් එය ඉදිරිපත් කළ, මෙම තරුණ පිරිමි ළමයා ගැන ගැලවුම්කරුවාණන්ට කෙසේ හැඟෙන්නට ඇත්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද?

“එවිට යේසුස්වහන්සේ රොටි ගෙන, ස්තුතිකොට, ඉඳගෙන උන්නවුන්ට බෙදා දුන්සේක; එසේම මසුන්ගෙන්ද ඔවුන්ට කැමති පමණ දුන්සේක.

“ඔවුන් තෘප්තියට පැමිණි කල: කිසිවක් නැති නොවන පිණිස ඉතිරිවූ කැබෙලි එකතු කරපල්ලායයි උන්වහන්සේ තම ගෝලයන්ට කීසේක.”4

එම නිහතමානී පරිත්‍යාගය ගැලවුම්කරුවාණන් විසින් පරිපූර්ණ කළා.

මෙම අත්දැකීමෙන් ටික කලකට පසු යේසුස්වහන්සේ තම ගෝලයන්ව ඔරුවක නැඟ ඉදිරියට යැව්වා. ඔවුන් ඉක්මනින්ම සොයාගත්තේ මධ්‍යම රාත්‍රියේ කුණාටු සහිත මුහුදක් මත ඔවුන් සිටින බවයි. දිය මතින් තමන් දෙසට යන අවතාර රූපයක් දුටු ඔවුහු බියට පත් වුණා.

“එහෙත් යේසුස්වහන්සේ එකෙනෙහිම ඔවුන්ට කථාකොට, ධෛර්යවන්ත වෙයල්ලා; මේ මමය; භය නොවෙල්ලායි කී සේක.

“පේත්‍රැස් උන්වහන්සේට උත්තර දෙමින්, ස්වාමිනී, ඒ ඔබවහන්සේ නම්, වතුර පිට ඔබ වෙතට එන්ට මට අණකළ මැනවයි කිවේය.

“වරෙන්නැයි, උන්වහන්සේ කී සේක. එවිට පේත්‍රැස් ඔරුවෙන් බැස, යේසුස්වහන්සේ වෙතට යන පිණිස, වතුර පිට පයින් ගියේය.

“නමුත් ඔහු සුළඟ දැක භය වී; ගිලෙන්නට පටන්ගෙන, ස්වාමිනී මා ගැළවුව, … මැනවයි මොරගැසුවේය.

“එකෙනෙහිම යේසුස්වහන්සේ අත දිගුකොට ඔහු අල්ලාගෙන ඇදහිලි මද තැනැත්ත කුමක් නිසා සැකවුයෙහි දැයි? කීසේක.”5

සහෝදර සහෝදරියනි, එය එම සංවාදයේ අවසානය නොවන්නට පුළුවන්. පේත්‍රැස් සහ ගැලවුම්කරුවාණන් අතින් අත අල්ලාගෙන නැවතත් නැව දෙසට ගමන් කරන විට, පේත්‍රැස් තෙත බරිත වී සමහර විට ඔහුට විශාල මෝඩකමක් දැනෙන විට, ගැලවුම්කරුවාණන් මෙවැනි දෙයක් පවසන්නට ඇති බව මම විශ්වාස කරනවා: “අනේ, පේත්‍රැස්, බිය වෙන්න එපා, කරදර වෙන්න එපා. මම ඔබ දකින ආකාරයටම ඔබට ඔබ දැකීමට හැකි නම්, ඔබේ සැකය පහව ගොස් ඔබේ ඇදහිල්ල වැඩිවෙයි. මම ඔබට ආදරෙයි, ආදරණීය පේත්‍රැස්; ඔබ බෝට්ටුවෙන් බැස්සා. ඔබේ පරිත්‍යාගය පිළිගන්න පුළුවන්, ඔබ පසුබට වුවත්, ඔබව ගැඹුරින් ඔසවා තැබීමට මම සැමවිටම ඉන්නවා, ඒවගේම ඔබේ පරිත්‍යාගය පරිපූර්ණ කරනු ලබනවා.

වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් මෙසේ ඉගැන්වුවා:

“උන්වහන්සේ ඔබගේ ශක්තිය බව ඔබ දකිනවාට, ඔබට දැනෙනවාට, සහ ඔබ දැනගන්නවාට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කැමති බව මම විශ්වාස කරනවා. උන්වහන්සේගේ උපකාරය ඇතුව, ඔබට කළ හැකි දේවල් වලට සීමාවක් නෑ. ඒ කියන්නේ ඔබේ හැකියාවන් අසීමිතයි. උන්වහන්සේ ඔබව දකින ආකාරයටම ඔබ ඔබව දැකීම උන්වහන්සේට අවශ්‍යයි. ඒවගේම ලෝකය ඔබව දකින ආකාරයට වඩා එය බෙහෙවින්ම වෙනස්. …

“උන්වහන්සේ වෙහෙසට පත් වූවන්ට බලය ලබා දෙනවා; ඒවගේම බල රහිත යැයි හැඟෙන අයට, උන්වහන්සේ ශක්තිය වැඩි කර දෙනවා.”6

අපගේ හොඳම නමුත් අසම්පූර්ණ පරිත්‍යාගය කුමක් වුවත්, ගැලවුම්කරුවාණන්ට එය පරිපූර්ණ කළ හැකි බව අප මතක තබා ගත යුතුයි. අපගේ ප්‍රයත්නයන් කෙතරම් නොවැදගත් ලෙස පෙනුනත්, අප කිසිවිටෙක ගැලවුම්කරුවාණන්ගේ බලය අවතක්සේරු නොකළ යුතුයි. ගැලවුම්කරුවාණන්ගේ උපකාරය මගින් ලබාදෙන කරුණාවේ සරල වචනයක්, කෙටි නමුත් අවංක දේවසේවයේ සංචාරයක් එසේත් නැතිනම් ආදරයෙන් ඉගැන්වූ ප්‍රාථමික පාඩමක් හරහා සැනසිල්ල ලබා දීමට, හදවත් මෘදු කිරීමට සහ සදාකාලික ජීවිත වෙනස් කිරීමට පුළුවන්. අපගේ අවුල් සහගත උත්සාහයන්ට අපව ප්‍රාතිහාර්යයන් කරා ගෙන යා හැකි අතර, එම ක්‍රියාවලියේදී අපට පරිපූර්ණ අස්වැන්නකට සහභාගී වෙන්න පුළුවන්.

බොහෝ විට, අපට වැඩි උත්සහයන් දැරීමට හේතු වන තත්වයන් තුළ අපව තබා තිබෙනවා. අපට එම කාර්යය ඉටු කිරීමට පුළුවන් කියා නොසිතෙන්න පුළුවන්. අප සමඟ සේවය කරන අය දෙස බලා අපට කිසි විටෙකත් ඒ වගේ කරන්නට බැරි බව අපට හැඟෙන්න පුළුවන්. සහෝදර සහෝදරියනි, ඔබට එසේ දැනෙනවා නම්, මා සමඟ සේවය කරන, මා පිටුපස සිටින සුවිශේෂ පිරිමින් සහ කාන්තාවන් දෙස බලන්න.

මට ඔබේ වේදනාව දැනෙනවා.

කෙසේවෙතත්, පරිපූර්ණවාදය යනු ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණත්වයට සමාන නොවන සේම, ස්වයං සංසන්දනය අනුකරණයට සමාන නොවන බව මම ඉගෙන ගත්තා. අපි අපිව අන් අය සමඟ සංසන්දනය කරන විට, එයින් ප්‍රතිඵල දෙකක් පැමිණෙන්න පුළුවන්. එක්කෝ අපි අන් අයට වඩා හොඳ යැයි අපි හිතනවා එවිට අපි අනිත් අයව විවේචනාත්මක ලෙස දකිමින් ඔවුන්ව විනිශ්චය කරන්න පෙළඹෙනවා, නැත්නම් අපි අන් අයට වඩා හොඳ මදි කියලා හිතනවා එවිට අපි කනස්සල්ලට, ස්වයං විවේචනයට සහ අධෛර්යයට පත් වෙනවා. අන් අය සමඟ අපව සංසන්දනය කිරීම ඵලදායී වෙන්නේ බොහොම කලාතුරකින්, එය අපිව ඔසවා තබන්නෙ නෑ, සමහර වෙලාවට එය මානසික අවපීඩනයටත් හේතු වෙනවා. ඇත්ත වශයෙන්ම, මෙම සැසඳීම් ආත්මිකව විනාශකාරී විය හැකි අතර, අපට අවශ්‍ය ආත්මික උපකාර ලැබීමෙන් අපිව වළක්වනවා. අනික් අතට, ක්‍රිස්තුස්වහන්සේට සමාන ගුණාංග විදහාපෙන්වන අප ගරු කරන අයව අනුකරණය කිරීම මගින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ අනුගාමිකයන් වීමට අපට උපදෙස් ලැබෙනවා, එමගින් අපව ඔසවා තබනවා සහ එය අපට උපකාරී වෙනවා.

ගැලවුම්කරුවාණන් පියාණන්වහන්සේව අනුකරණය කළාක් මෙන් අපටත් අනුගමනය කිරීමට උන්වහන්සේ ආදර්ශයක් ලබා දුන්නා. උන්වහන්සේ තම ගෝලයෙකු වූ පිලිප්ට මෙසේ උපදෙස් දුන්නා: “පිලිප්, මා මෙපමණ කල් නුඹලා සමග සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය; එසේවී නම්-පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනවයි නුඹ කියන්නේ කෙසේද?”7

ඉන්පසු ඔහු මෙසේ ඉගැන්වූවේය, “සැබවක් සැබවක් නුඹලාට කියමි-මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය.”8

අපගේ උත්සාහයන් කෙතරම් නොවැදගත් ලෙස පෙනුනත්, අප අවංක නම්, ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ කාර්යය ඉටු කිරීමට අපව භාවිතා කරනවා. අපි සරලවම අපට කළ හැකි උපරිමය කර ඉතිරිය සම්පූර්ණ කිරීමට උන්වහන්සේව විශ්වාස කළහොත්, අපට අප වටා ඇති ප්‍රාතිහාර්යයන්ගේ කොටස්කරුවන් වෙන්න පුළුවන්.

වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් මෙසේ පැවසුවා, “ඔබ පරිපූර්ණ විය යුතු නෑ, නමුත් අපට ඔබව අවශ්‍යයි, මන්ද කැමත්ත ඇති සෑම කෙනෙකුටම යමක් කරන්න පුළුවන්.”9

ඒවගේම සභාපති රසල් එම්. නෙල්සන් මෙහෙම ඉගැන්වුවා, “ස්වාමින්වහන්සේ උත්සාහයට ප්‍රිය කරනවා.”10

ගැලවුම්කරුවාණන් අපගේ නිහතමානී පරිත්‍යාග පිළිගැනීමට සහ උන්වහන්සේගේ කරුණාව තුළින් ඒවා පරිපූර්ණ කිරීමට සූදානම්ව සිටිනවා. ක්‍රිස්තුස්වහන්සේ සමඟ, අසම්පූර්ණ අස්වැන්නක් නෑ. උන්වහන්සේගේ කරුණාව අප වෙනුවෙන් බවත්, උන්වහන්සේ අපට උපකාර කරන බවත්, අප පසුබට වන විට ගැඹුරින් අපව ගලවා ගන්නා බවත්, අපගේ අඩු පරිපූර්ණ උත්සාහයන් පරිපූර්ණ කරන බවත් විශ්වාස කිරීමට අපට ධෛර්යය තිබිය යුතුයි.

වපුරන්නාගේ උපමාවේ ගැලවුම්කරුවාණන් හොඳ බිමක සිටුවනු ලබන බීජ ගැන විස්තර කරනවා. සමහරු සිය ගුණයකින්ද, සමහරු හැට ගුණයකින්ද, තවත් සමහරු තිස් ගුණයකින්ද නිෂ්පාදනය කළා. එම සියල්ලක්ම උන්වහන්සේගේ පරිපූර්ණ අස්වැන්නේ කොටසක්.11

මොරෝනි සියල්ලන්ටම මෙසේ ආරාධනා කළා, “එසේය, ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න, … තවද උන්වහන්සේ තුළ පරිපූර්ණ වෙන්න, තවද නුඹලා විසින්ම සියලු අභක්තියෙන් වැළකී සිටිමින් නුඹලාගේ සියලු බලයෙන්ද මනසින්ද, ශක්තියෙන්ද දෙවියන්වහන්සේට ආදරය කරන්නේ නම්, එවිට උන්වහන්සේගේ අනුග්‍රහය නුඹලා උදෙසා සෑහෙන්නේය, උන්වහන්සේගේ කරුණාව කරණකොට ගෙන ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලා පරිපූර්ණ වන්නෝය.”12

සහෝදර සහෝදරියනි, අපගේ නිහතමානීම පරිත්‍යාගය පවා පරිපූර්ණ කිරීමට බලය ඇති ක්‍රිස්තුස්වහන්සේ ගැන මම සාක්ෂි දරනවා. අපි අපේ උපරිමය කරමු, අපට හැකි දේ ගෙන එමු, ඒවගේම ඇදහිල්ලෙන්, අපගේ පරිපූර්ණ නැති පරිත්‍යාගය උන්වහන්සේගේ පාමුල තබමු. පරිපූර්ණ අස්වැන්නේ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.