ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ තුළ ඒකත්වයක් වී
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ තුළ ඒකත්වයක් වී

අපට ඒකත්වයක් වීමට බලාපොරොත්තු විය හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපගේ පෞද්ගලික පක්ෂපාතිත්වය තුළ සහ උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය තුළ සහ ඒ තුළින් පමණයි.

සභාපති ඩැලන් එච්. ඕක්ස් සඳහන් කර ඇති පරිදි, අද යෙරුසලමට ස්වාමින්වහන්සේගේ ජයග්‍රාහී ප්‍රවේශය සිදු වූ දිනය, ඒවගේම ගෙත්සෙමනෙ හි උන්වහන්සේගේ දුක් විඳීම සහ දින කිහිපයකට පසු කුරුසියේ මරණය සහ පාස්කු ඉරිදා උන්වහන්සේගේ මහිමාන්විත නැවත නැගිටීම සලකුණු කරන ශුද්ධ වූ සතියේ ආරම්භය සනිටුහන් කරන ගොක් ඉරිදා අදයි. අපව මුදවා ගැනීමට ක්‍රිස්තුස්වහන්සේ විඳදරාගත් දේ කිසිදා අමතක නොකිරීමට අපි අදිටන් කර ගනිමු.1 ඒවගේම, සොහොන පරදවා උන්වහන්සේ ලැබූ ජයග්‍රහණය සහ විශ්වීය මරණයෙන් නැවත නැගිටීමේ ත්‍යාගය ගැන මෙනෙහි කරන විට පාස්කු ඉරිදා අපට නැවත වරක් දැනෙන අතිමහත් ප්‍රීතිය කිසි විටෙකත් අපි නැති කර නොගනිමු.

උන්වහන්සේ බලා සිටි පීඩා සහ කුරුසියේ ඇණ ගැසීමට පෙර සවස, යේසුස්වහන්සේ තම ප්‍රේරිතවරුන් සමඟ පාස්කු භෝජන සංග්‍රහයකට එක් වුණා. මෙම අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේදී, පූජනීය මැදිහත්වීමේ යාච්ඤාවකදී, යේසුස්වහන්සේ තම පියාණන්ට මෙසේ ආයාචනා කළා: “ශුද්ධ වූ පියාණෙනි, අප ඒකත්වයක්ව සිටින්නාක් මෙන්ම ඔවුන්ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් [මගේ ප්‍රේරිතවරුන්ව] ඔබගේ නාමයෙන් ආරක්ෂා කළ මැනව.”2

පසුව, මුදු මොළොක් ලෙස, සියලු ඇදහිලිවන්තයන්ව ඇතුළත් කිරීමට ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ආයාචනය පුළුල් කළා:

“මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා කෙරෙහි විශ්වාසකරන්නවුන් ගැනත්;

“ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤා කරමි.”3

ඒකත්වයක් වීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සහ දෙවියන්වහන්සේගේ දරුවන් සමඟ උන්වහන්සේගේ ගණුදෙණුවේදී පුනරාවර්තනය වන තේමාවක්. ඒනොක්ගේ කාලයේ සයොනයේ නගරය සම්බන්ධයෙන්, “ඔවුන් එක් හදවතක් සහ එක් මනසක්ව”4සිටි බව කියවෙනවා. ප්‍රථමයෙන් තිබූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ මුල් ශුද්ධවන්තයින් ගැන, නව ගිවිසුමේ මෙසේ වාර්තා වෙනවා, “අදහාගත් සමූහයා එක සිතකින් හා එක ආත්මයකින් යුක්ත වූහ.”5

අපගේ මේ කාල පරිච්ඡේදය තුළ, ස්වාමින්වහන්සේ මෙසේ අවවාද කළා, “මම නුඹලා හට පවසන්නෙමි, ඒකත්වයක් වන්න; තවද නුඹලා ඒකත්වයක් නොවන්නේ නම්, නුඹලා මාගෙන් නොවන්නෝය.”6 මිසුරි හි මුල් ශුද්ධවන්තයින් සයොනයෙහි ස්ථානයක් පිහිටුවීමට අපොහොසත් වූයේ ඇයි ස්වාමින්වහන්සේ දුන් හේතු අතර, ඔවුන් “සෙලෙස්ටියල් රාජ්‍යයේ නීතියට අවශ්‍ය පරිදි, එක්සත්වීමට අනුකූළව එක්සත් වී නොමැත්තෝය”7 කියා උන්වහන්සේ පැවසුවා.

දෙවියන්වහන්සේ සියලු හදවත් සහ මනස් තුළ ජයගන්නා තැන, එම ජනතාවව විස්තර කරනු ලබන්නේ “ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන් ලෙස; ඒකත්වයක් ලෙසයි.”8

මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන් මොර්මොන්ගේ පොතේ පුරාණ ජනයාට දර්ශනය වූ විට, අතීතයේදී බව්තීස්මය සහ වෙනත් කාරණා සම්බන්ධයෙන් ජනතාව අතර මතභේද පැවති බව උන්වහන්සේ අප්‍රසාදයෙන් යුතුව සඳහන් කළා. උන්වහන්සේ මෙසේ ආඥා කළා:

“මෙතෙක් තිබුණාක් මෙන්, එහි නුඹලා අතරෙහි විරුද්ධවාදිකම් නොතිබිය යුතුය, මාගේ දහමේ කරුණු සම්බන්ධව මෙතෙක් තිබුණාක් මෙන් එහි විරුද්ධවාදිකම් නොතිබිය යුතුය.

“මක්නිසාද සැබවක් සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් විවාදයේ ආත්මය ඇත්තා මා කෙරෙන් නොවන්නේය, එහෙත් යක්ෂයාගෙන් වන්නේය, ඔහු විවාදයේ පියා ය.”9

අපගේ අතිශය විවාදාත්මක ලෝකයේ, එමෙන්ම විශේෂයෙන් අපට “එක ස්වාමින්වහන්සේ කෙනෙක්, එක ඇදහිල්ලත්, එක බව්තීස්මයත්”10 තිබිය යුතු වන සභාව තුළ අපට සමගිය සාක්ෂාත් කරගත හැක්කේ කෙසේද? පාවුල් අපට ඒ සඳහා යතුර ලබා දෙනවා:

“මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳගත්තෝය.

“නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.”11

අපේ විවිධත්වය වැඩි වන අතර, සමහර අවස්ථාවලදී අපි සිටින්නේ වෙනත් පදනමක් මත හෝ වෙනත් නමක් යටතේ ඒකත්වයක් සේ එකතු වීමට නොහැකි තරම් අසමගියෙන්. අපට සැබවින්ම ඒකත්වයක් විය හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ පමණයි.

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඒකත්වයක් වීම සිදුවන්නේ එකිනෙකා බැගින්—අපි එක් එක්කෙනා අපෙන්ම පටන් ගනිමු. අපි මාංශයේ සහ ආත්මයේ ද්විත්ව ජීවීන් වන අතර සමහර විට අපි අපි තුළම යුද්ධ කරනවා. පාවුල් මෙසේ ප්‍රකාශ කළා:

“මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි;

“නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධ කරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.”12

යේසුස්වහන්සේද මාංසයෙන් හා ආත්මයෙන් යුත් මිනිසෙක්ව සිටියා. උන්වහන්සේ පරීක්ෂාවට ලක් වුණා; උන්වහන්සේ තේරුම් ගන්නවා; අප තුළ එකමුතුකම ඇති කර ගැනීමට උන්වහන්සේට උපකාර කරන්න පුළුවන්.13 එබැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව සහ ආලෝකය මත සිට, අපගේ ආත්මයට සහ ශුද්ධාත්මයාණන්ට භෞතික දේ කෙරෙහි ආධිපත්‍යය ලබා දීමට අපි උත්සාහ කරනවා. ඒවගේම අපි අසමත් වුණු විට, ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ වන්දිගෙවීම මගින්, පසුතැවිලි වීමේ ත්‍යාගය සහ නැවත උත්සාහ කිරීමේ අවස්ථාව අපට දී තිබෙනවා.

අපි තනි තනිව “ක්‍රිස්තුස්වහන්සේව පැළඳගත්තොත්”, පාවුල් පැවසූ ආකාරයට, අපට එකමුතු වී “ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය”14 බවට පත්වීමට බලාපොරොත්තු වෙන්න පුළුවන්. උන්වහන්සේගේ “පළමු හා ශ්‍රේෂ්ඨ ආඥාව”15 අපගේ පළමු හා ශ්‍රේෂ්ඨතම කැපවීම කරගැනීම “ක්‍රිස්තුස්වහන්සේව පැළඳීමට” නිසැකවම ඇතුළත් වන අතර, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නේ නම්, අපි උන්වහන්සේගේ ආඥා පිළිපදිනවා.16

ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ අපගේ සහෝදර සහෝදරියන් සමඟ එකමුතුකම වර්ධනය වන්නේ—පළමුවැන්නට නොවෙනස්ව සම්බන්ධ වූ—දෙවන ආඥාවට අප අවනත වන විටයි, ඒ තමයි අපට මෙන් අන් අයටත් ප්‍රේම කිරීම.17 ඒවගේම මේ දෙවන ආඥාවෙහි ගැලවුම්කරුවාණන්ගේ උසස් හා පරිශුද්ධ ප්‍රකාශනය වන—අප අපට ප්‍රේම කරන ආකාරයටම පමණක් නොව, උන්වහන්සේ අපට ප්‍රේම කළ ආකාරයටම එකිනෙකාට ප්‍රේම කිරීම, අප අනුගමනය කරන්නේ නම් ඊටත් වඩා පරිපූර්ණ එකමුතුවක් අප අතර ලැබෙනු ඇතැයි මම සිතනවා.18 සාරාංශයකින් කියනවා නම් “සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ අසල්වැසියාගේ උවමනාවන් සොයමින්, තවද සියලු දේවල් තුළ දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා ඒකායන අරමුණක් ඇතිව ක්‍රියා [කළ යුතුයි].”19

පළමු සභාපතිත්වයේ හිටපු උපදේශකයෙකු වූ සභාපති මැරියන් ජී. රොම්නි, කල් පවතින සාමය සහ එකමුතුකම ලබා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් මෙසේ පැවසුවා:

“තනි මිනිසෙක් සාතන්ට යටත් වන්නේ නම්, ඔහු මාංසයේ ක්‍රියාවලින් පිරී සිටින්නේ නම්, ඔහු තමා තුළම සටන් කරයි. දෙදෙනෙකු යටත් වුවහොත්, ඔවුන් එකිනෙකා තමන් තුළම සටන් කර එකිනෙකා සමඟ සටන් කරති. බොහෝ මිනිසුන් යටත් වන්නේ නම්, සමාජයක් විසින් මහත් ආතතියේ හා මතභේදයේ අස්වැන්න නෙළා ගනියි. රටක පාලකයන් යටත් වන්නේ නම්, ලොව පුරාම මතභේද පවතියි.”

සභාපති රොම්නි තවදුරටත් මෙසේ පැවසුවා: “මාංසයේ ක්‍රියා විශ්වීය ලෙස අදාළ වන පරිදි සාමයේ ශුභාරංචියද එසේමය. එක් මිනිසෙක් ඒ අනුව ජීවත් වන්නේ නම්, ඔහුට ඔහු තුළ සාමය ඇත. මිනිසුන් දෙදෙනෙකු ඒ අනුව ජීවත් වන්නේ නම්, ඔවුන් එකිනෙකා තුළ සහ එකිනෙකා සමඟ ඔවුන්ට සාමය ඇත. නගර වැසියන් ඒ අනුව ජීවත් වන්නේ නම්, එම ජාතියට දේශීය සාමයක් ඇත. ලෝක කටයුතු පාලනය කිරීමට ආත්මයේ ඵල භුක්ති විඳින ප්‍රමාණවත් ජාතීන් සිටින විට, එවිට පමණක්, තවදුරටත් යුධ බෙර වාදනය නොවනු ඇත, සහ සටන් කොඩි හකුළා ගනු ඇත. … (බලන්න Alfred Lord Tennyson, “Locksley Hall,” The Complete Poetical Works of Tennyson, ed. W. J. Rolfe, Boston: Houghton-Mifflin Co., 1898, p. 93, lines 27–28.)”20

අපි “ක්‍රිස්තුස්වහන්සේව පැළඳ සිටීමෙන්” මතභේද, එකඟ නොවීම් සහ ආරවුල් විසඳීමට හෝ ඉවත් කිරීමට හැකියාව ලැබෙනවා. බෙදීම ජය ගැනීම පිළිබඳ තරමක් නාටකාකාර උදාහරණයක් අපගේ සභා ඉතිහාසයේ දක්නට ලැබෙනවා. 1857 දී එංගලන්තයේ උපත ලද වැඩිහිටි බ්‍රිගම් හෙන්රි රොබට්ස් (සාමාන්‍යයෙන් බී. එච්. රොබට්ස් ලෙස හැඳින්වෙනවා), අද අපි හැත්තෑවරුන්ගේ සභාපතිත්වය ලෙස හඳුන්වන—හැත්තෑවරුන්ගේ පළමු මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු ලෙස සේවය කළා. වැඩිහිටි රොබට්ස් යනු නැවත පිහිටුවන ලද ශුභාරංචියේ සහ සභාවේ දුෂ්කර කාලවලදී වෙහෙස නොබලා ඒ වෙනුවෙන් නැගී සිටි ආරක්ෂකයෙක්.

රූපය
තරුණ බී. එච්. රොබට්ස්

කෙසේ වෙතත්, 1895 දී, සභාව තුළ වැඩිහිටි රොබට්ස්ගේ සේවය මතභේදයක් හේතුවෙන් අවදානමකට ලක් වුණා. යූටා ප්‍රාන්තයක් බවට පත් වූ විට එය සඳහා ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලද සම්මුතියේ නියෝජිතයෙකු ලෙස බී. එච්. සිටියා. පසුව, ඔහු එක්සත් ජනපද කොන්ග්‍රසයේ අපේක්ෂකයෙකු වීමට තීරණය කළ නමුත් පළමු සභාපතිත්වයට දැනුම් දීමක් හෝ ඔවුන්ගෙන් අවසරයක් ලබා ගත්තේ නෑ. පළමු සභාපතිත්වයේ උපදේශකයෙකු වන සභාපතිත්වයේ ජෝසෆ් එෆ්. ස්මිත්, ප්‍රධාන පූජකවර රැස්වීමකදී එම අසාර්ථකත්වය සඳහා බී. එච්. ව වාරණය කළා. වැඩිහිටි රොබට්ස් මැතිවරණයෙන් පැරදුනු අතර ඔහුගේ පරාජයට බොහෝ දුරට සභාපති ස්මිත්ගේ ප්‍රකාශයන් හේතු වූ බව ඔහුට හැඟුණා. සමහර දේශපාලන කතා සහ සම්මුඛ සාකච්ඡා වලදී ඔහු සභාවේ නායකයන්ව විවේචනය කළා. ඔහු සභාවේ ක්‍රියාකාරී සේවයෙන් ඉවත් වුණා. පළමු සභාපතිත්වයේ සහ දොළොස්දෙනාගේ මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් සමඟ සෝල්ට් ලේක් දේවමාළිගාවේ පැවති දීර්ඝ රැස්වීමකදී, බී. එච්. තමාව සාධාරණීකරණය කිරීමේදී නොසැලී සිටියා. පසුව, “සභාපති [විල්ෆර්ඩ්] වුඩ්රෆ් [වැඩිහිටි රොබට්ස්ට] තම තනතුර සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සති තුනක කාලයක් ලබා දුන්නා. ඔහු පසුතැවිලි නොවී සිටියහොත්, ඔවුන් ඔහුව හැත්තෑවරුන්ගෙන් නිදහස් කරනවා.”21

පසුකාලීනව ප්‍රේරිතවරුන් වන හීබර් ජේ. ග්‍රාන්ට් සහ ෆ්‍රැන්සිස් ලයිමන් සමඟ පෞද්ගලික රැස්වීමකදී, බී. එච්. මුලදී නොසැලී සිටියද, ප්‍රේමය සහ ශුද්ධාත්මයාණන්වහන්සේ අවසානයේ ජය ගත්තා. ඔහුගේ ඇස්වලට කඳුළු ආවා. බී.එච්. සඳහා කරදරයක් වූ තේරුම් ගත හැකි යම් යම් අවමන් සහ හිත් රිදවීම් වලට ප්‍රතිචාර දැක්වීමට මෙම ප්‍රේරිතවරුන් දෙදෙනාට හැකි වුණා, ඒවගේම ඔවුන් සංහිඳියාව සඳහා හෘදයාංගම ආයාචනයක් සමඟ පිටත්ව ගියා. පසුදා උදෑසන, දීර්ඝ යාච්ඤාවකින් පසු, වැඩිහිටි රොබට්ස් විසින් වැඩිහිටි ග්‍රාන්ට් සහ වැඩිහිටි ලයිමන් වෙත තම සහෝදරයන් සමඟ නැවත එක්වීමට සූදානම් බව සටහනක් යැවුවා.22

පසුව ඔහු පළමු සභාපතිත්වය හමු වූ විට, වැඩිහිටි රොබට්ස් මෙසේ පැවසුවා, “මම ස්වාමින්වහන්සේ වෙතට ගියා ඒවගේම දෙවියන්වහන්සේගේ අධිකාරියට යටත් වන ලෙස උන්වහන්සේගේ ආත්මය තුළින් ආලෝකය සහ උපදෙස් ලබා ගත්තා.”23 දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඔහුගේ ප්‍රේමයෙන් පෙලඹී, බී. එච්. රොබට්ස් ඔහුගේ ජීවිතයේ අවසානය දක්වා ඇදහිලිවන්ත සහ දක්ෂ සභා නායකයෙකු ලෙස සිටියා.24

රූපය
වැඩිහිටි බී. එච්. රොබට්ස්

එකමුතුකම යන්නෙන් අදහස් කරන්නේ සෑම කෙනෙකුම “ඔහුගේ හෝ ඇයගේ ආකාරයට දේවල් කිරීම” හෝ ඔහුගේ හෝ ඇයගේ මාර්ගයේ යා යුතු බවට එකඟ වීම නොවන බව අපට මෙම උදාහරණයෙන් දකින්න පුළුවන්. අපි සියලු දෙනාම අපගේ උත්සාහයෙන් පොදු අරමුණට නැමෙන්නේ නැත්නම් අපට ඒකත්වයක් වෙන්නට බැහැ. බී. එච්. රොබට්ස්ගේ වචනවලින්, එහි අර්ථය වන්නේ, දෙවියන්වහන්සේගේ අධිකාරියට යටත් වීමයි. කන, ඇස, හිස, අත, පාද ලෙස—අපි ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ විවිධ සාමාජිකයන් වන නමුත්, විවිධ කාලවලදී විවිධ කාර්යයන් ඉටු කරන, සියල්ල එකම ශරීරයක්.25 එබැවින් අපගේ ඉලක්කය වන්නේ “ශරීරයෙහි කිසි භේදයකින් තොරව, අවයව එකිනෙක ගැන ඒකාකාරව [සැලකීමයි].”26

එකමුතුකමට සමානකමක් අවශ්‍ය නැත, නමුත් එයට සමගිය අවශ්‍යයි. අපට අපගේ හදවත් ආදරයෙන් බැඳ තබන්න පුළුවන්, ඇදහිල්ලෙන් හා දහමෙන් ඒකත්වයක් වෙන්න පුළුවන්, ඒවගේම විවිධ කණ්ඩායම් උදෙසා ප්‍රීති වන්න, විවිධ දේශපාලන කාරණා සම්බන්ධයෙන්, ඉලක්ක සහ ඒවා සාක්ෂාත් කර ගැනීමේ නිවැරදි මාර්ගය පිළිබඳ වාද විවාද සහ තවත් බොහෝ දේ ගැන එකඟ නොවී ඉන්න පුළුවන්. නමුත් අපට කිසිවිටෙකත්, එකිනෙකා කෙරෙහි කෝපයෙන් හෝ පිළිකුලෙන් එකඟ නොවී සිටීමට හෝ තර්ක කිරීමට බැහැ. ගැලවුම්කරුවාණන් මෙසේ කිව්වා:

“මක්නිසාද සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් විවාදයේ ආත්මය ඇත්තා මා කෙරෙන් නොවන්නේය, එහෙත් යක්ෂයාගෙන් වන්නේය, ඔහු විවාදයේ පියාය, තවද ඔහු එකෙක් අනෙකා සමග කෝපයෙන් විවාද වීමට මනුෂ්‍යයන්ගේ හදවත් කළඹවන්නේය.

“එකෙක් අනෙකා සමඟ කෝපයෙන් විරුද්ධ වීමට මනුෂ්‍යයන්ගේ හදවත් කැළඹවීම, මෙය මාගේ දහම නොවන්නේය; එහෙත් මාගේ දහම වන්නේ එවැනි දේ ඉවත් කළ යුතු බවයි.”27

වසරකට පෙර, සභාපති රසල් එම්. නෙල්සන් මෙම වචන සමඟ අපෙන් මෙසේ අයැද සිටියා: “අපි කාටවත් ජාතීන් හෝ අන් අයගේ ක්‍රියා හෝ අපගේම පවුල්වල සාමාජිකයන්ව පවා පාලනය කළ නොහැකියි. නමුත් අපට අපව පාලනය කරගන්න පුළුවන්. ආදරණීය සහෝදර සහෝදරියනි, අද මගේ කැඳවීම ඔබේ හදවතේ, ඔබේ නිවසේ, සහ ඔබේ ජීවිතයේ පවතින ගැටුම් අවසන් කිරීමටයි. එම නැඹුරුවාවන් කෝපයක්, තියුණු දිවක්, හෝ ඔබට රිදවූ කෙනෙකු කෙරෙහි අමනාපයක් හෝ වුවත්—අන් අයට රිදවීමට ඇති ඕනෑම සහ සියලු නැඹුරුවාවන් වළලන්න. අනෙක් කම්මුල හරවන ලෙසත්, [බලන්න 3 නෙපි 12:39] අපගේ සතුරන්ට ප්‍රේම කරන ලෙසත්, අපව නොසලකා හරින අය වෙනුවෙන් යාච්ඤා කරන ලෙසත් [බලන්න 3 නෙපි 12:44] ගැලවුම්කරුවාණන් අපට ආඥා කළා.”28

අපට ඒකත්වයක් විය හැකි වන්නේ,—එනම් ඇතුළතින් ඒකත්වයක්, නිවසේදී ඒකත්වයක්, සභාවේදී ඒකත්වයක්, අවසානයේ සයොනයේ ඒකත්වයක්, එමෙන්ම සියලු දේට වඩා පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ සමඟ ඒකත්වයක්—වීමට අපට බලාපොරොත්තුවක් තබාගත හැකි වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ පුද්ගලික පක්ෂපාතිත්වය තුළ සහ ඒ තුළින් පමණක්ම බව සහ උන්වහන්සේගේ ප්‍රේමය තුළින් බව මම නැවතත් කියනවා.

මම ශුද්ධ වූ සතියේ සිදුවීම් සහ අපගේ මිදුම්කරුවාණන්ගේ පරම ජයග්‍රහණය වෙත ආපසු යනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම උන්වහන්සේගේ දේවත්වය ගැන සහ උන්වහන්සේ සියල්ල ජයගත් බවට සාක්ෂි දරනවා. උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම, අපි ගිවිසුමෙන් උන්වහන්සේට බැඳී, අපට ද සියල්ල ජයගෙන ඒකත්වයක් විය හැකි බව සාක්ෂි දරනවා. උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම තුළින් අමරණීයත්වය සහ සදාකාලික ජීවිතය යථාර්ථයන් බවට සාක්ෂි දරනවා.

අද උදෑසන, මම උන්වහන්සේගේ සත්‍ය වූ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳව සහ එයින් අදහස් කරන සියල්ල ගැන සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.