ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දීමට ලැබෙන අවස්ථා මගහැර ගන්න එපා.
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දීමට ලැබෙන අවස්ථා මගහැර ගන්න එපා.

සැබෑ ප්‍රීතිය රඳා පවතින්නේ ක්‍රිස්තුස්වහන්සේ වෙතට ළංවීමට සහ අප වෙනුවෙන්ම සාක්ෂි දැරීමට ඇති අපගේ කැමැත්ත මතයි.

අදින් වසර පහකට පෙර, අපගේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන්ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සභාපතිවරයා ලෙස―එමෙන්ම මෙම කැපී පෙනෙන වර්ධනයේ සහ එළිදරව්වේ සමය සඳහා ස්වාමින්වහන්සේගේ කටහඬ ලෙස, අපි අපගේ දෑත් ඔසවා ස්ථිර කළා. ඔහු තුළින් අපට අසංඛ්‍යාත ආරාධනා ලැබී ඇති අතර අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි අපගේ ජීවිත කේන්ද්‍රගත කළහොත් අපට තේජාන්විත ආශිර්වාද ලැබෙන බවටත් පොරොන්දු වී තිබෙනවා.

2011 දී, මම මගේ සැමියා සමඟ බ්‍රසීලයේ සුන්දර කුරිටිබා හි ධර්මදූත නායකයන් ලෙස සේවය කරමින් සිටියදී, රැස්වීමක් අතරතුර මගේ දුරකථනය නාද වුණා. එය නිශ්ශබ්ද කිරීමට මම ඉක්මන් වන විට, ඒ ඇමතුම මගේ තාත්තාගෙන් බව මම දැක්කා. එයට පිළිතුරු දීම සඳහා මම ඉක්මනින් රැස්වීමෙන් පිටතට ගියා: “කොහොමද, තාත්තෙ!”

අනපේක්ෂිත ලෙස, ඔහුගේ කටහඬ හැඟීම්වලින් පිරී තිබුණා “කොහොමද, බොනී. මට ඔයාට යමක් කියන්න ඕනෙ. මට ඇල්ෂයිමර් රෝගය ඇති බව හඳුනාගෙන තියනවා.”

මගේ මනස ව්‍යාකූලත්වයකින් කැරකුණා, “ඉන්න! ඇල්ෂයිමර් රෝගය කියන්නෙ මොකක්ද?

තාත්තා ඒ වන විටත් මෙහෙම පැහැදිලි කරමින් සිටියා, “මගේ ශරීරය සෙමෙන් දුර්වල වෙනවා ඒත් මගේ මනස අවදියෙන් තියෙයි.”

මෙම දුක්ඛිත ප්‍රවෘත්තියේ ඇඟවුම් සමඟ පොරබැදීමට පටන් ගත් විට මගේ මුළු ලෝකයම වෙනස් වන බවක් මට දැනුණා. ඒත් ඒ අමතක නොවන දවසේ මගේ හදවතේ ස්ථිර තැනක් ගත්තේ ඔහුගේ අවසන් වාක්‍යයයි. “බොනී, ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්‍ෂි දැරීමට ලැබෙන අවස්ථාවක් කවදාවත් මගහරින්න එපා” කියා මගේ ආදරණීය පියා හදිසියෙන් වගේ කිව්වා.

මම තාත්තාගේ උපදෙස් ගැන කල්පනා කර යාච්ඤා කර තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරීමේ අවස්ථාවක් කිසිවිටෙකත් අත් නොහරින්න, යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි මම හොඳින් දන්නවාද කියා මම බොහෝ විට මගෙන්ම අසාගෙන තිබෙනවා.

ඔබ වගේම මමත් බොහෝ විට මාසයේ පළමු ඉරිදා දිනයේ නැගිට ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරා තිබෙනවා. පාඩමක කොටසක් ලෙස ශුභාරංචිය සත්‍යයන් ගැන මම බොහෝ වාරයක් සාක්ෂි දී තිබෙනවා. මම ධර්මදූතයෙකු ලෙස නිර්භීතව සත්‍යය උගන්වා, ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය ගැන ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වුණත් මෙම ආයාචනය වඩාත් පුද්ගලික එකක් ලෙස මට දැනුණා! එය මට දැණුනේ, බොනී, ලෝකයට ඔබව අභිබවා යාමට ඉඩ නොදෙන්න! කියා පැවසීමක් වගේ. ගැලවුම්කරුවාණන් සමඟ ඔබේ ගිවිසුම්වලට ඇදහිලිවන්තව සිටින්න. සෑම දිනකම උන්වහන්සේගේ ආශිර්වාද අත්විඳීමට උත්සාහ කරන්න, ඒවගේම ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ බලය සහ සහභාගීත්වය ගැන ශුද්ධාත්මයාණන් තුළින් සාක්ෂි දීමට හැකියාව ඇති කරගන්න!”

අප ජීවත් වන්නේ වැටුණු ලෝකයකයි, එය අපේ අවධානය වෙනතකට යොමු කරමින් අපගේ ඇස් සහ හදවත් ස්වර්ගයට දෙසට නොව පහළට තල්ලු කරනවා. 3 නෙපි 11 හි නෙපිවරුන්ට මෙන්, අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අවශ්‍යයි. එතරම් ව්‍යාකූලත්වයකට හා විනාශයට මුහුණ දුන් මිනිසුන් අතර ඔබ සිටින බව ඔබට සිතා බලන්න පුළුවන්ද? ස්වාමින්වහන්සේගේ පෞද්ගලික ආරාධනය ඇසීම කෙබඳු වේවිද:

“නැගිට තවද මා වෙතට ඉදිරියට පැමිණෙන්න, එනම් නුඹලා නුඹලාගේ අත් මාගේ ඇළයට තබන්න, තවද එසේම එනම් මාගේ අත්වල සහ පාදවල ඇණ සලකුණු බලන්න, … මම සියලු පොළොවට දෙවියන්වහන්සේද ලෝකයේ පාපය උදෙසා මරණු ලැබූ බවද නුඹලා දැන ගන්නා පිණිසය.

“තවද ජන සමූහය පෙරට ගියහ … ඔවුහු එකිනෙකා බැගින් පෙරට ගියහ … තවද ඔවුන්ගේ ඇස් වලින් දකිමින් ඔවුන්ගේ අත්වලින් ස්පර්ශ කළෝය, තවද ඔවුන් උදෙසාම එය දුටුවෝය.”1

මෙම නෙපිවරුන් ඉතා උනන්දුවෙන් ඉදිරියට ගියේ උන්වහන්සේගේ ඇලයට තම දෑත් යවා උන්වහන්සේගේ අත්වල සහ පාදවල ඇණ සලකුණු අතගා බැලීමටයි, ඒ තුළින් මේ සිටින්නේ ක්‍රිස්තුස්වහන්සේම බවට ඔවුන්ට සාක්ෂියක් ලැබෙනවා. ඒ හා සමානව, අපි මේ වසරේ අලුත් ගිවිසුමේ අධ්‍යයනය කර ඇති බොහෝ ඇදහිලිවන්තයන්, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ගැන නොඉවසිල්ලෙන් බලා සිටියා. ඉන්පසු ඔව්හු තමන්ගේ කෙත්වලින්, වැඩ කරන ස්ථාන වලින් සහ කෑම මේසවලින් බැස ඇවිත් උන්වහන්සේ පසුපස ගොස්, උන්වහන්සේට තෙරපීගෙන, උන්වහන්සේ සමඟ හිඳගත්තා. ශුද්ධලියවිලිවල සිටින සමූහයා මෙන් එසේ සාක්ෂි දැරීමට අපිත් ආශාවෙන් ඉන්නවද? අප සොයන ආශිර්වාද ඔවුන්ගේ ඒවාට වඩා අඩු අවශ්‍යතා ඇති ඒවාද?

ක්‍රිස්තුස්වහන්සේ නෙපිවරුන්ගේ දේවමාළිගාවට ඔවුන් වෙත ශාරීරිකව ගිය විට, උන්වහන්සේගේ ආරාධනය වූයේ දුරින් සිට උන්වහන්සේ දෙස බලන්න කියා නොවේ, නමුත් මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම්කරුවාණන්ගේ යථාර්ථය තමන්ටම දැනීම සඳහා උන්වහන්සේව ස්පර්ශ කර බැලීමයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ පුද්ගලික සාක්ෂියක් ලබාගැනීමට තරම් අපට උන්වහන්සේට ළං විය හැක්කේ කෙසේද? මේක මගේ තාත්තා මට උගන්නන්න හදන දෙයට අදාළ කොටසක් වෙන්න ඇති. ක්‍රිස්තුස්වහන්සේගේ ලෞකික දේවසේවයේදී උන්වහන්සේ සමඟ ගමන් කළ අයට මෙන් සමාන භෞතික සමීපත්වයක් අපිට භුක්ති නොවිඳිය හැකි වුවත්, ශුද්ධාත්මයාණන් තුළින් අපට උන්වහන්සේගේ බලය සෑම දිනකම අත්විඳින්න පුළුවන්! අපට අවශ්‍ය තරම් එය අත්විඳින්න පුළුවන්!

ලොව පුරා සිටින තරුණ ගැහැණු ළමුන් මට ක්‍රිස්තුස්වහන්සේව සෙවීම සහ උන්වහන්සේ ගැන දෛනික පුද්ගලික සාක්ෂියක් ලබා ගැනීම ගැන බොහෝ දේ උගන්වා තිබෙනවා. ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ ඥානය බෙදා ගැනීමට මට ඉඩ දෙන්න:

ලිවී ඇගේ මුළු ජීවිත කාලය පුරාම ප්‍රධාන සම්මන්ත්‍රණ නරඹලා තියෙනවා. ඇත්ත වශයෙන්ම, ඇගේ නිවසේ ඔවුන් සාම්ප්‍රදායිකව පවුලක් ලෙස සැසිවාර පහම නරඹනවා. අතීතයේදී, ලිවීට සම්මන්ත්‍රණය කියන්නෙ චිත්‍ර අඳින්න හෝ ඉඳහිට අනපේක්ෂිත නින්දකට ඇද වැටීමට කාලයක් වී තිබුණා. නමුත් පසුගිය ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය ඊට වඩා වෙනස් වුණා. එය ඇයට පුද්ගලික එකක් බවට පත්වුණා.

මෙවර ලිවී ක්‍රියාකාරී ලබන්නෙකු වීමට තීරණය කළා. ඇය ඇගේ දුරකථනයේ දැනුම්දීම් නිශ්ශබ්ද කළ අතර ආත්මයාණන්ගෙන් ලැබුණු හැඟීම් සටහන් කර ගත්තා. ඇය අසනවාට සහ කරනවාට දෙවියන්වහන්සේ කැමති වූ නිශ්චිත දේවල් ඇයට දැනුණු නිසා ඇය පුදුමයට පත් වුණා. මෙම තීරණය වහාම ඇගේ ජීවිතයේ වෙනසක් ඇති කළා.

දින කිහිපයකට පසු ඇගේ මිතුරන් ඇයට නුසුදුසු චිත්‍රපටයක් නරඹන්න ආරාධනා කළා. ඇය මෙසේ ආවර්ජනය කළා, “සම්මන්ත්‍රණයේ වචන සහ ආත්මය මගේ හදවතට නැවත පැමිණෙන බව මට දැනුණු අතර, මම ඔවුන්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා මටම ඇසුණා.” ඇගේ කොට්ඨාශයේදී ගැලවුම්කරුවාණන් පිළිබඳ ඇගේ සාක්ෂිය බෙදා ගැනීමට ද ඇයට ධෛර්යයක් තිබුණා.

මෙම සිදුවීම්වලින් පසු ඇය මෙසේ ප්‍රකාශ කළා, “පුදුම දේ තමයි, යේසුස් යනු ක්‍රිස්තුස්වහන්සේ බව මම විසින්ම සාක්ෂි දරන ආකාරය මට ඇසුණු විට, ශුද්ධාත්මයාණන් එය මා වෙනුවෙන් නැවත තහවුරු කරන බවක් මට හැඟුණා.”

ලිවී සම්මන්ත්‍රණ සති අන්තයේ මතුපිටින් පමණක් දේවල් ඉගෙන ගත්තෙ නෑ; ඇය මනස හා ආත්මය තුළට ගොස් එහි ගැලවුම්කරුවාණන්ව සොයා ගත්තා.

ඊට පස්සේ මැඩී ඉන්නවා. ඇගේ පවුලේ අය සභාවට යාම නැවැත්වූ විට, මැඩී ව්‍යාකූල වූ අතර කුමක් කළ යුතු දැයි නොදැන සිටියා. සැලකිය යුතු දෙයක් අතුරුදහන් වී ඇති බව ඇයට වැටහුණා. එමනිසා, වයස අවුරුදු 13 දී මැඩී තනිවම සභාවට යාමට පටන් ගත්තා. තනිව සිටීම නිසා සමහර විට දුෂ්කරතාවයට හා අපහසුතාවයට පත් වුවත්, ඇයට සභාවේදී ගැලවුම්කරුවාණන්ව සොයා ගත හැකි බවත්, උන්වහන්සේ සිටින තැන සිටීමට ඇයට අවශ්‍ය බවත් ඇය දැන සිටියා. ඇය පැවසුවේ, “සභාවේදී මගේ ප්‍රාණයට දැණුනේ මම නිවසේ ඉන්නවා වගේ.”

තම පවුල සදාකාලිකව එකට මුද්‍රා වී ඇති බවේ කාරණය මැඩී තරයේ අල්ලාගෙන සිටියා. ඇය තම බාල සොහොයුරන්ව සභාවට ගෙන ඒමටත් ඔවුන් සමඟ නිවසේදී ශුද්ධලියවිලි අධ්‍යනය කිරීමටත් පටන් ගත්තා. අවසානයේ ඇගේ මවද ඔවුන් හා එක්වන්නට පටන් ගත්තා. ධර්මදූත සේවයක් කිරීමට ඇති ඇගේ ආශාව මැඩී ඇගේ මවට පැවසූ අතර ඇය සමඟ දේවමාළිගාවට යාමට ඇය සූදානම් දැයි ඇසුවා.

අද මැඩී ඉන්නේ MTC එකේ. ඇය සේවය කරමින් ඉන්නවා. ඇය ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරමින් ඉන්නවා. ඇගේ ආදර්ශය ඇගේ දෙමාපියන් දෙදෙනාවම නැවත දේවමාළිගාවට සහ නැවත ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමට උපකාරී වුණා.

ලිවී සහ මැඩී මෙන්, අපි ක්‍රිස්තුස්වහන්සේව සෙවීමට තෝරා ගන්නා විට, ආත්මයාණන්වහන්සේ විවිධ අවස්ථා වලදී උන්වහන්සේ ගැන සාක්ෂි දරනවා. අප නිරාහාරව සිටින විට, යාච්ඤා කරන විට, බලා සිටින විට සහ ඉදිරියට යන විට ආත්මයාණන්ගේ මෙම සාක්ෂි ලැබීම සිදුවෙනවා. දේවමාළිගාවේ නිතර නමස්කාර කිරීම, දිනපතා පසුතැවිලි වීම, ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම, සභාවට සහ සෙමනේරියට සහභාගී වීම, අපගේ ආදිපීතෘ ආශිර්වාද ගැන මෙනෙහි කිරීම, යෝග්‍ය ලෙස නියෝග ලබා ගැනීම සහ පූජනීය ගිවිසුම්වලට ගරු කිරීම තුළින් ක්‍රිස්තුස්වහන්සේට අපගේ සමීපභාවය වර්ධනය වෙනවා. මේ සියල්ල අපගේ මනස ආලෝකමත් කිරීමට ආත්මයාණන්ට ආරාධනා කරන අතර ඒවා අමතර සාමයක් සහ ආරක්ෂාවක් ගෙන එනවා. නමුත් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරීමේ පරිශුද්ධ අවස්ථා ලෙස අපි ඒවාට ගෞරව කරනවාද?

මම බොහෝ වාරයක් දේවමාළිගාවට ගොස් තිබෙනවා, නමුත් මම ස්වාමින්වහන්සේගේ ගෘහයේ නමස්කාර කරන විට, එය මාව සැමවිටම වෙනස් කරනවා. සමහර විට නිරාහාරව සිටින විට, සමහර වෙලාවට මට බඩගිනි දැනෙනවා, නමුත් තවත් අවස්ථා වල, මම අරමුණක් ඇතුව ආත්මයාණන් තුළ පෝෂණය වෙනවා. මම සමහර විට පුනරාවර්තනය වන සහ සාමාන්‍ය යාච්ඤා මුමුණනවා, නමුත් මම ස්වාමින්වහන්සේගෙන් උපදෙස් ලබාගැනීමට ආසාවෙන් ද යාච්ඤා කර තිබෙනවා.

මෙම ශුද්ධ වූ පුරුදු පිරික්සුම් ලැයිස්තුවක් ලෙස නොව, නමුත් සාක්ෂිකරුවෙකුගේ ගුණාංග කරගැනීම තුළ බලයක් තිබෙනවා. මේ ක්‍රියාවලිය ක්‍රම-ක්‍රමයෙන් සිදුවන නමුත් ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෛනික, ක්‍රියාකාරී සහභාගීත්වය සහ අරමුණු සහිත අත්දැකීම් සමඟ එය වර්ධනය වෙනවා. අපි උන්වහන්සේගේ ඉගැන්වීම්වලට අදාළව ක්‍රියා කරන විට, අපට උන්වහන්සේ පිළිබඳ සාක්ෂියක් ලැබෙනවා; අපි උන්වහන්සේ සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ සබඳතා ගොඩනගා ගන්නවා. අපි උන්වහන්සේලා වගේ වෙන්න පටන් ගන්නවා.

ස්වාමින්වහන්සේගේ හඬ ඇසීමට අපහසු වන තරමට විරුද්ධවාදියා බොහෝ ඝෝෂාවන් ඇති කරනවා. අපගේ ලෝකය, අපගේ අභියෝග, අපගේ තත්වයන් පහව යන්නේ නෑ, නමුත් අප පැහැදිලිවම “උන්වහන්සේට ඇහුම්කන් දීමට” ක්‍රිස්තුස්වහන්සේගේ දේවල් ගැන කුසගින්නෙන් හා පිපාසයෙන් සිටිය යුතුයි.2 සෑම දිනකම අපගේ ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ විශ්වාසය අවධානයට ගෙන එන අනුගාමිකත්වය සහ සාක්ෂිය පිළිබඳ ස්වයං මතකය අප නිර්මාණය කරගත යුතුයි.

මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු 11 කටත් වැඩියි, ඒත් එයාගේ වචන මා තුළ ජීවමානයි. “බොනී, ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දීමට ලැබෙන අවස්ථා මගහැර ගන්න එපා.” ඔහුගේ ආරාධනය පිළිගැනීමට මා හා එක්වන ලෙස මම ඔබට ආරාධනා කරනවා. සෑම තැනකම ක්‍රිස්තුස්වහන්සේව සොයන්න―උන්වහන්සේ එහි සිටින බව මම පොරොන්දු වෙනවා!3 සැබෑ ප්‍රීතිය රඳා පවතින්නේ ක්‍රිස්තුස්වහන්සේ වෙතට ළංවීමට සහ අප වෙනුවෙන්ම සාක්ෂි දැරීමට ඇති අපගේ කැමැත්ත මතයි.

අන්තිම දවස්වලදී, “සෑම දණහිසක්ම නැමෙනු ඇති බවත්, එමෙන්ම සෑම දිවක්ම යේසුස් යනු ක්‍රිස්තුස්වහන්සේ බව පාපොච්චාරණය කරන බවත්” අපි දන්නවා.4 මෙම සාක්ෂිය දැන් අපට සාමාන්‍ය සහ ස්වාභාවික අත්දැකීමක් බවට පත් වනු ඇතැයි මම යාච්ඤා කරනවා—ප්‍රීතියෙන් සාක්ෂි දීමට ඇති සෑම අවස්ථාවක්ම අපි ලබාගනිමු: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමානයි!

ඇත්තටම, මම උන්වහන්සේට කෙතරම් ප්‍රේම කරනවාද. “සදාකාල ජීවනය සහ අමරණීයභාවය [අප] සැමට යථාර්ථයක් බවට පත් කළ”5 උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම ගැන අප කොතරම් කෘතඥ වෙනවාද. මම අපගේ ගැලවුම්කරුවාණන්ගේ යහපත්කම සහ උතුම් තේජස ගැන උන්වහන්සේගේම ශුද්ධ වූ නාමයෙන් සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.