ප්‍රධාන සම්මන්ත්‍රණය
දේවමාළිගා කාර්යය සහ පවුල් ඉතිහාසය—එකම කාර්යයකි
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දේවමාළිගා කාර්යය සහ පවුල් ඉතිහාසය—එකම කාර්යයකි

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ කේන්ද්‍රීය අවධානය වන්නේ මේ ජීවිතය සඳහා සහ සදාකාලිකත්වය සඳහා පවුල එක්සත් කිරීමයි.

මෙම “පූර්ණ වූ කාලයේ කාලපරිච්ඡේදයේ” (දහම සහ ගිවිසුම් 128:18) දේවමාළිගා ගොඩනැගෙමින් තිබෙන නිසා මම ඒ ගැන බොහෝ කෘතඥ වෙනවා. නැවත පිහිටුවීමේ මුල් දිනවල සිට, ඇදහිලිවන්ත ශුද්ධවන්තයින් දේවමාළිගා නියෝග සහ ගිවිසුම් ලබාගැනීම සඳහා බොහෝ කැපකිරීම් කර තිබෙනවා. ඔවුන්ගේ විශිෂ්ට ආදර්ශය අනුගමනය කරමින්, මෙක්සිකෝ නගරයේ සිට ගමන් කිරීමට බොහෝ ආර්ථික කැපකිරීම් දැරීමෙන් පසුව, මගේ ආදරණීය බිරිඳ, එව්ලියා සහ මම, අපගේ ආදරණීය දෙමාපියන් සමඟ 1975 දී මේසා ඇරිසෝනා දේවමාළිගාවට ගොස්, එහිදී සදාකාලික ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක් ලෙස මුද්‍රා වුණා. එදින, අපි ස්වාමින්වහන්සේගේ ගෘහයේ පූජකත්ව අධිකාරිය මගින් එක්සත් වූ විට, අපි සැබවින්ම ස්වර්ගයේ කුඩා දර්ශනයක් අත්වින්දා.

දේවමාළිගා වල කාර්යය සහ අරමුණ

වසර තුනක් වෙහෙස මහන්සි වී විශාල පරිත්‍යාගයකින් පසු ඔහයෝ ප්‍රාන්තයේ කර්ට්ලන්ඩ් හි ශුද්ධවන්තයින් අවසානයේ 1836 වසන්තයේ දී මෙම කාලපරිච්ඡේදයේ ඔවුන්ගේ අලංකාර පළමු දේවමාළිගාව අවසන් කළ ආකාරය වඩාත් හොඳින් අගය කිරීමට එම අත්දැකීම මට ඉඩ දී තිබෙනවා. එම වසරේම මාර්තු මාසයේදී, කැප කිරීමේ සේවය සඳහා දහසකට අධික පිරිසක් දේවමාළිගාවේ සහ එහි පිවිසුම් දොරටුවල රැස් වුණා. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඔහුට එළිදරව්වෙන් ලැබුණු කැපවීමේ යාච්ඤාව පිරිනැමීමට නැගිට සිටියා (බලන්න දහම සහ ගිවිසුම් 109). ස්වාමින්වහන්සේගේ දේවමාළිගාවට සුදුසු ලෙස ඇතුළු වන අයට ලැබෙන සුවිශේෂී ආශිර්වාද රාශියක් ඔහු එහි විස්තර කළා. ඉන්පසු ගායන කණ්ඩායම “The Spirit of God” [දිව්‍ය ආත්මයාණන්] යන ගීතිකාව ගායනා කළ අතර සභාව හොසන්නා ඝෝෂාව වෙනුවෙන් නැගී සිටියා “එමගින් නැගුණු බලය … ගොඩනැගිල්ලෙන් වහලය එසවීමට තරම් බලවත් වුණා (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 307).

සතියකට පසු අනාගතවක්තෘවරයා දේවමාළිගාවේ ස්වාමින්වහන්සේගේ දර්ශනය වීම විස්තර කළ අතර ඔහු මෙසේ පැවසුවා:

“මක්නිසාද බලන්න, මම මෙම ගෘහය පිළිගන්නෙමි, තවද මාගේ නාමය මෙහිය; තවද මම මාගේ ජනතාවට මෙම ගෘහයේදී මම කරුණාවෙන් ප්‍රකාශ වන්නෙමි. …

“තවද මෙම ගෘහයේ කීර්තිය පිටස්තර දේශයන් හි විසිර යන්නේය; තවද මාගේ ජනතාවගේ හිස් මත වගුරුවන ආශිර්වාදයන් හි ආරම්භය මෙය වන්නේය” (දහම සහ ගිවිසුම් 110:7, 10).

මෙයින් සහ වෙනත් දර්ශනවලින් පසුව, මරණය රස නොවිඳ ස්වර්ගයට ගෙන යන ලද අනාගතවක්තෘ එලයිජා, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රි ඉදිරියේ පෙනී සිට මෙසේ පැවසුවා:

“බලන්න, ස්වාමින්වහන්සේ පැමිණීමට පෙර මහත් වූ භයංකාරී වූ දවසට පෙර [අනාගතවක්තෘ එලයිජා] පැමිණිය යුතු බව සාක්ෂි දැරූ—කාලය සම්පූර්ණත්වයට පැමිණ ඇත්තේය, එය මලාකිගේ මුඛයෙන් ප්‍රකාශ වී ඇත—

“පියවරුන්ගේ හදවත් දරුවන් වෙතටද, තවද දරුවන්ගේ හදවත් පියවරුන් වෙතටද හැරවීමටය, එනම් සියළුම පොළොව සාපයකින් පහර නොලබන පිණිසය—

“එසේහෙයින්, මෙම සහස්‍රයේ යතුරු නුඹලාගේ හස්තයන් වලට ඔප්පු කරන්නෙමි; තවද මේ මගින් ස්වාමින්වහන්සේගේ මහත් වූ සහ භයංකාර වූ දවස අත ලඟ, එමෙන්ම දොර ලඟ බව නුඹ දැනගන්නා පිණිසය” (දහම සහ ගිවිසුම් 110:14–16).

දේවමාළිගාව සහ පවුල් ඉතිහාසය

ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත් වෙත මුද්‍රා තැබීමේ යතුරු නැවත පිහිටුවීමෙන් පසු, තිරය දෙපස ගැලවීමේ කාර්යය අපගේ කාල පරිච්ඡේදය තුළ ආරම්භ වුණා (බලන්න 1 කොරින්ති 15:22, 29; දහම සහ ගිවිසුම් 128:8–18).

සභාපති බොයිඩ් කේ. පැකර් මෙසේ ඉගැන්වූවා “මෙම සංඥා සංසිද්ධිය ලෝකය විසින් නොසලකන ලද නමුත් එය මෙතෙක් ජීවත් වූ හෝ ජීවත් වන සෑම ප්‍රාණයකම ඉරණමට බලපානු ඇත. දේවල් නිහඬව සිදුවීමට පටන් ගත්තා. සභාව දේවමාළිගා ගොඩනගන සභාවක් බවට පත්වුණා.

“ස්වයංසිද්ධ යැයි සිතන ආකාරයට, ලෝකය එහෙන් මෙහෙන් එකතු වෙන්නට පටන් ගත්තා, පුද්ගලයන් සහ සංවිධාන සහ සමාජයන් පෙළපත් සෙවීමට උනන්දුවක් දැක්වූවා. කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ එලයිජාගේ දර්ශනය සිදු වූ දා සිට මේ සියල්ල සිදුවී තිබෙනවා” (The Holy Temple [1980], 141).

“1836 අප්‍රියෙල් 3 වැනි දින සිටම දරුවන්ගේ හදවත් තම පියවරුන් වෙත හැරෙන්නට පටන් ගෙන තිබෙනවා. ඉන් පසුව නියෝග තාවකාලික ඒවා නොව ස්ථිර ඒවා බවට පත්වුණා. මුද්‍රා තැබීමේ බලය අප සමඟ තිබුණා. කිසිම බලයක් වටිනාකමින් එය ඉක්මවා යන්නෙ නෑ. එම බලය ජීවතුන් අතර සිටින සහ මිය ගිය අය සඳහා නිසි අධිකාරියක් ඇතිව සිදු කරන ලද සියලුම නියෝග වලට හරය හා සදාකාලිකත්වය ලබා දෙනවා” (Preparing to Enter the Holy Temple [2002], 28–28).

හිතවත් සහෝදර සහෝදරියනි, ඕනෑම කාල පරිච්ඡේදයක දේවමාළිගා ඉදිකිරීම සහ ඒවා නිසි ලෙස භාවිතා කිරීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ සභාවේ ලකුණක් වී තිබෙනවා. 1893 දී සෝල්ට් ලේක් දේවමාළිගාව කැප කිරීමෙන් පසු, සභාපති විල්ෆර්ඩ් වුඩ්රෆ් විසින්, සභාවේ සාමාජිකයින්ට ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ වාර්තා සොයා ගැනීමටත්, හැකිතාක් දුරට අතීතයට ගොස් ඔවුන්ගේ පෙළපත් වාර්තා කිරීමටත්, දේවමාළිගාවට නම් ගෙන ඒමටත් දිරිමත් කළේ, එම නම් දේවමාළිගාවට රැගෙන විත් උත්කර්ෂවත් වීම සහ ගැලවීම සඳහා අවශ්‍ය නියෝග ඉටු කිරීමට හැකි වීම සඳහායි (බලන්න Teachings of Presidents of the Church: Wilford Woodruff [2004], 174).

පවුල් ඉතිහාසය සහ දේවමාළිගා කාර්යය—එකම කාර්යයකි

වසරකට පසුව (1894), එම සභාපති වුඩ්රෆ්ම යූටා හි පෙළපත් සමාජය නිර්මාණය කිරීම අධීක්ෂණය කළා. වසර සියයකට පසුව, 1994 දී, එවකට ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයෙකු වූ වැඩිහිටි රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා, “එම ඓතිහාසික වසරේ සිදුවීම් පවුලේ ඉතිහාස පර්යේෂණ සහ දේවමාළිගාවේ සේවය සභාවේ එකම කාර්යයක් ලෙස ස්ථාපිත කරන ලදි” (“The Spirit of Elijah,” Ensign, Nov. 1994, 85).

පවුල් ඉතිහාස කාර්යය

ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේම පවුල් ඉතිහාසය සුරක්ෂිත කිරීමටත්, අපගේ මුතුන් මිත්තන්ගෙන් ඉගෙන ගැනීමටත්, ඔවුන්ට සදාකාලික පවුලක් සමඟ ආශිර්වාද කරන, ගිවිසුම් මාවත දිගේ වර්ධනය වීමට ඔවුන්ට උපකාර කරන, ශුභාරංචියේ නියෝග ඔවුන්ට දේවමාළිගාවේදී ලබාගැනීම සඳහා අවශ්‍ය සැකසුම් සකස් කරන ලෙසත්, ස්වාමින්වහන්සේගේ සභාවේ සාමාජිකයෛන් වශයෙන් අපව උන්වහන්සේ දිරිමත් කරනවා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ කේන්ද්‍රීය අවධානය එයයි: එනම් මේ ජීවිතය සඳහා සහ සදාකාලිකත්වය සඳහා පවුල එක්සත් කිරීමයි.

මෙම කාර්යය කිරීමට හැකියාවක් නොමැති බවක් හැඟෙන ඔබ, ඔබ තනිවම නොවන බව දැනගත යුතුයි. සභාව විසින් සකස් කර ඇති සහ පවුල් ඉතිහාස මධ්‍යස්ථාන ලෙස අප දැන සිටි FamilySearch මධ්‍යස්ථානවල ඇති මෙවලම් වෙත අප සැමට හැරෙන්නට පුළුවන්. මෙම FamilySearch මධ්‍යස්ථාන නිර්මාණය කර ඇත්තේ ඕනෑම කෙනෙකුට පාහේ, සුළු උපකාරයකින්, ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ තොරතුරු සොයා ගැනීමටත්, ඒවා ස්වාමින්වහන්සේගේ ගෘහයට ගෙනයාමට හැකිවන පරිදි ඒවා නිසි ලෙස සංවිධානය කිරීමටත් හැකිවන පරිදියි. ඔබගේ කොට්ඨාශයේ හෝ ශාඛාවේ සිටින පවුල් ඉතිහාස උපදේශකයින් සම්බන්ධ කර ගන්න, ඔවුන් ඔබට සෑම පියවරකදීම මගපෙන්වයි.

අපි අනාගතවක්තෘවරුන්ගේ මගපෙන්වීම අනුගමනය කරමින් අපගේ පවුල් ඉතිහාසය සහ අපගේ මුතුන්මිත්තන් සඳහා දේවමාළිගාවේ නියෝග සිදු කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්නා විට, එය කිරීම නතර කිරීමට අපට අවශ්‍ය නොවන තරමට අපට මහත් ප්‍රීතියක් අත්විඳින්න පුළුවන්. ආත්මයාණන් අපගේ හදවත් තුළට ගලා එයි, එය කිරීමට අපගේ හැකියාවන් අවදි කරයි, සහ අප අපගේ මුතුන් මිත්තන්ගේ නම් සොයන විට අපට මගපෙන්වයි. නමුත් පවුල් ඉතිහාසය යනු නම්, දිනයන්, සහ ස්ථාන ගැන සොයාබැලීම පමණක් නොවන බව අපි මතක තබාගමු. එය පවුල් එක්සත් කිරීම සහ ශුභාරංචියේ නියෝග ඔවුන් වෙත දිගු කිරීමෙන් ලැබෙන ප්‍රීතියයි.

අපගේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන්ගේ ආනුභාව ලත් ඉගැන්වීමට මම ප්‍රිය කරනවා: “දේවමාළිගාව අපගේ ඇදහිල්ල සහ අධ්‍යාත්මික ධෛර්යය ශක්තිමත් කිරීමේ කේන්ද්‍රයේ පිහිටා ඇත්තේ ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ දහම දේවමාළිගාවේ හදවත වන නිසයි. දේවමාළිගාවේ උගන්වන සෑම දෙයක්ම, උපදෙස් සහ ආත්මයාණන් තුළින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ අවබෝධය වැඩි කරනවා. උන්වහන්සේගේ අත්‍යවශ්‍ය නියෝගයන් පූජනීය පූජකවර ගිවිසුම් තුළින් අපව උන්වහන්සේට බැඳ තබනවා. එවිට, අපි අපගේ ගිවිසුම් රකින විට, උන්වහන්සේගේ සුවය, ශක්තිමත් කිරීමේ බලය සමඟ උන්වහන්සේ අපව බලයෙන් සරසනවා” (“දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනම,” ලියහෝනා, නොවැ. 2021, 93).

නිසැකවම, දේවමාළිගා කාර්යය සහ පවුල් ඉතිහාසය සභාවේ එකම කාර්යයක්.

මම මේ සත්‍යයන් ගැන සාක්ෂි දරනවා. මෙම පාස්කු සමයේදී අප සිහිපත් කරන සහ අපගේ ගෞරවයට පාත්‍ර වන අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව මෙය බව මම දන්නවා. උන්වහන්සේ අපට ප්‍රේම කරන බවත්, අප අපගේ ගිවිසුම් රකින විට සහ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට, උන්වහන්සේගේ සුව කිරීමේ සහ ශක්තිමත් කිරීමේ බලය සමඟ උන්වහන්සේ අපව බලයෙන් සරසන බවත් මම දන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.