ප්‍රධාන සම්මන්ත්‍රණය
දේවසේවය
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දේවසේවය

විශේෂයෙන්ම අපට දේවසේවා පැවරුම් මගින් පවරා ඇති අය වෙත ප්‍රේමයෙන් ලඟා වී ගැලවුම්කරුවාණන් මෙන් ඔවුන්ට රැකවරණය ලබාදෙමු.

ආදරණීය සහෝදර සහෝදරියනි, මිතුරනි, ප්‍රධාන සම්මන්ත්‍රණයට ඔබව සාදරයෙන් පිළිගන්නවා!

පසුගිය ඔක්තෝම්බර් මාසයේ ප්‍රධාන සම්මන්ත්‍රණයෙන් පසු, ගොන්ග් සහෝදරිය සහ මම ඔබට ආචාර කිරීමටත් ඔබේ ශුභාරංචි අත්දැකීම් ගැන අසන්නටත් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය හරහා ඇවිද ගියා.

මෙක්සිකෝවේ සිටි අපගේ සාමාජිකයින් මෙහෙම කිව්වා, “හොයි එස් එල් තියෙම්පො ඩ මෙක්සිකෝ [දැන් මෙක්සිකෝවේ කාලයයි].”

රූපය
ගිලී සහ මේරි වැඩිහිටි ගොන්ග් සහ ගොන්ග් සහෝදරිය සමඟ

ගිලී සහ මේරි එංගලන්තයේ යහළුවන් බව අපි දැන ගත්තා. මේරි සභාවට සම්බන්ධ වූ විට, ඇයට ජීවත් වීමට තිබූ ස්ථානය අහිමි වෙලා තිබුණා. ගිලී මේරිට ඇය සමඟ ජීවත් වන ලෙස නොමසුරුව ආරාධනා කර තිබුණා. මහත් ඇදහිල්ලකින් ගිලී මෙහෙම කිව්වා, “ස්වාමින්වහන්සේ මා සමඟ සිටින බව මම කිසි විටෙකත් සැක කළේ නෑ.” වසර 47 කට පෙර ඇයට ඉගැන්වූ ධර්මදූතවරිය සමඟ ප්‍රීතිමත් නැවත හමුවීමක් ද මේ සම්මන්ත්‍රණයේදී ගිලීට ලැබී තිබුණා.

රූපය
ජෙෆ් සහ මෙලීසා වැඩිහිටි ගොන්ග් සහ ගොන්ග් සහෝදරිය සමඟ

ජෙෆ් සහ ඔහුගේ බිරිඳ මෙලිසා, ප්‍රධාන සම්මන්ත්‍රණයට සහභාගී වුණා, ඒ ජෙෆ් සහභාගී වුණු මුල්ම වතාවයි. ජෙෆ් වෘත්තීය බේස්බෝල් ක්‍රීඩකයෙක් (ඔහු බෝල රකින්නෙක්) එවගේම ඔහු දැන් නිර්වින්දන වෛද්‍යවරයෙක්. ඔහු මට මෙහෙම කිව්වා, “මට පුදුමයි, මම බව්තීස්ම වෙන්නයි යන්නෙ, මොකද ජීවත් වෙන්න හොඳම, අව්‍යාජ සහ අවංක ක්‍රමය තමයි ඒක කියලා මට හිතෙනවා.”

“ජෙෆ්ට අපේ ගෙදරට ‘සුදු කමිස’ අවශ්‍ය නැති බව” කියමින් මීට පෙර, මෙලිසා ජෙෆ්ට පැවරී ඇති දේවසේවා සහෝදරයාගෙන් සමාව අයැද තිබුණා. “මම විදිහක් සොයාගන්නම්” කියා එම දේවසේවයේ සහෝදරයා කිව්වා. දැන් ඔහු සහ ජෙෆ් හොඳ මිතුරන්. ජෙෆ්ගේ බව්තීස්මයේදී, ජෙෆ්, මෙලිසා සහ ඔවුන්ගේ දියණිය චාලට් ආදරය කරන පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් පිරිසක් මට මුණගැසුණා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් විදිහට, අපි උන්වහන්සේ කරන ආකාරයටම අන් අයට දේවසේවය කිරීමට උත්සාහ කරන්නේ, එම ජීවිත වෙනස් වීමට බලා සිටින නිසයි.

පෙගී ඇගේ ස්වාමිපුරුෂයා වන ජෝන්, ඔවුන් විවාහ වී වසර 31 කට පසු බව්තීස්ම වීමට යන බව මට පැවසූ විට, වෙනස් වී තිබෙන්නේ කුමක්ද කියා මම ඇහුවා.

පෙගී මෙහෙම කිව්වා, “ජෝන් සහ මම එන්න, මා අනුගමනය කරන්න තුළින් නව ගිවිසුම ඉගෙන ගනිමින් සිටියා, ඊටපස්සෙ ජෝන් සභාවේ දහම ගැන මගෙන් ඇහුවා.”

පෙගී කිව්වා, “අපි ධර්මදූතයින්ට ආරාධනා කරමු” කියලා.

ජෝන් කිව්වා, “මගේ මිතුරාට එන්න බැරිනම්—ධර්මදූතයින් එන්න ඕනෙ නෑ” කියලා. වසර 10 කට වැඩි කාලයක්, ජෝන්ගේ දේවසේවා සහෝදරයා ඔහුගේ විශ්වාසවන්ත මිතුරා වී සිටියා. (මම හිතුවා, ජෝන්ගේ දේවසේවා සහෝදරයා අවුරුද්දකින්, දෙකකින් හෝ නවයකින් පසු පැමිණීම නැවැත්තුවා නම්?)

ජෝන් සවන් දුන්නා. ඔහු සැබෑ චේතනාවෙන් මොර්මොන්ගේ පොත කියෙව්වා. ජෝන්ට බව්තීස්ම වීමට එම ධර්මදූතයින් ආරාධනා කළ විට ඔහු හා කිව්වා. පෙගී මෙහෙම කිව්වා, “මම මගේ පුටුවෙන් වැටී අඬන්න පටන් ගත්තා.”

ජෝන් කිව්වෙ, “මම ස්වාමින්වහන්සේට ළං වූ විට මම වෙනස් වුණා” කියලයි. පසුව, ජෝන් සහ පෙගී ශුද්ධ වූ දේවමාළිගාවේ මුද්‍රා වුණා. පසුගිය දෙසැම්බරයේ ජෝන් වයස අවුරුදු 92 දී මිය ගියා. පෙගී මෙහෙම කියනවා, “ජෝන් හැම විටම හොඳ පුද්ගලයෙක්, නමුත් බව්තීස්ම වීමෙන් පසු ඔහු ලස්සන ආකාරයකින් වෙනස් වුණා.”

රූපය
ජෙනී සහ මෙබ්

ගොන්ග් සහෝදරියට සහ මට මෙබ් සහ ජෙනීව මුණගැසුණේ කොවිඩ් වසංගතය අතරතුර වීඩියෝවක් මාර්ගයෙන්. (කොවිඩ් වසංගතය අතරතුර වීඩියෝ මගින් අපට බොහෝ අපූරු යුවලයන් සහ පුද්ගලයන් හමු වූ අතර, ඒ සෑම කෙනෙක්ම ඔවුන්ගේ ස්ටේක සභාපතිවරයා විසින් යාච්ඤාපූර්වකව හඳුන්වා දුන් අයයි.)

මෙබ් සහ ජෙනීගේ ජීවිතවල තිබූ යම් ප්‍රශ්න නිසා ඔවුන්ගේ දේවමාළිගා විවාහය ආරක්ෂා වෙයිද, එසේ නම්, ඒ කොහොමද කියා කල්පනා කළ බව ඔවුන් කිව්වා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ ඔවුන්ගේ ගිවිසුම් බැඳීම් වලට ඔවුන්ට උපකාර කළ හැකි බව ඔවුන් විශ්වාස කළා.

මෙබ් සහ ජෙනී නව දේවමාළිගා නිර්දේශ ලබාගෙන නැවතත් ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය විට මට දැනුණු සතුට විශාලයි. පසුව මෙබ් මරණාසන්නව සිටියා. මෙබ් සහ ජෙනී ස්වාමින්වහන්සේ සහ එකිනෙකා සමඟ ගිවිසුම් සබඳතා නැවත ඇති කරගත් අතර, ඔවුන් වටා සිටින බොහෝ දෙනෙකුගේ දේවසේවා ප්‍රේමය ඔවුන්ට දැනුණා.

මම යන සෑම තැනකම, අපගේ ගැලවුම්කරුවාණන් මෙන් දේවසේවය කරන සහ රැකබලා ගන්නා අයගෙන් මම කෘතඥපූර්වකව ඉගෙනගන්නවා.

රූපය
සැල්වදෝර්, වැඩිහිටි ගොන්ග් සහ ගොන්ග් සහෝදරිය සමඟ

පේරු වලදී, ගොන්ග් සහෝදරියට සහ මට සැල්වදෝර් සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ව මුණගැසුණා.1 සැල්වදෝර් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් අනාථ දරුවන්. එදා තමයි සැල්වදෝර්ගේ උපන් දිනය. ඇදහිලිවන්තව මෙම පවුලට සේවය කරන සභාවේ නායකයන් සහ සාමාජිකයන් මට ආශ්වාදයක් ලබා දෙනවා. “පියවරුන් අහිමි වූවන්ව සහ වැන්දඹුවන්ව බැහැදැකීමට,”2 “දුර්වල වූවන්ට උපකාරී වන්නට, පහතට වැටී ඇති අත් ඔසවන්නට, තවද දුර්වල දණහිස් සවිමත් කරන්නට”3 ඇති—“පිරිසිඳු සහ නොකිලිටි ආගම” මෙයයි.

හොංකොං හි, වැඩිහිටි ගණපූරණ සභාපතිවරයෙක් ඔවුන්ගේ ගණපූරණය අඛණ්ඩව සියයට 100ක් දේවසේවා සම්මුඛ සාකච්ඡා පවත්වන ආකාරය නිහතමානීව බෙදා ගත්තා. “අපි යාච්ඤාවෙන් යුතුව සහකාරත්වයන් සංවිධානය කරනවා, එවිට සෑම කෙනෙකුටම කෙනෙකුව රැකබලා ගැනීමට සහ තමාටත් එම රැකබලා ගැනීම ලබාගැනීමට හැකි වෙනවා” කියා ඔහු කිව්වා. “අපි නිතරම හැම සහකාරත්වයකින්ම ඔවුන් සේවය කරන අය ගැන අහනවා. අපි ලැයිස්තුවක් ලකුණු කරන්නේ නැහැ, අපේ මිනිස්සුන්ට සලකන දේවසේවකයින්ට අපි දේවසේවය කරනවා.”

රූපය
බොකොලෝ පවුල

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කිංෂාසා හි, ජනාධිපති බොකොලෝ සහ ඔහුගේ පවුලේ අය ප්‍රංශයේ සභාවට සම්බන්ධ වූ ආකාරය ඔහු බෙදාගත්තා. දිනක්, ඔහු තම ආදිපීතෘ ආශිර්වාදය කියවන විට, ඔහුගේ පවුලේ අය සමඟ ඩීආර් කොන්ගෝ වෙත ආපසු යාමට සහෝදර බොකොලෝට ආත්මයාණන් විසින් දිව්‍ය අනුභාවයක් ලබා දී තිබුණා. ඔවුන් නැවත ගියහොත් බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවන බව සහෝදර බොකොලෝ දැන සිටියා. ඒවගේම ඔවුන්ගේ සභාව වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව තවමත් කිංෂාසා හි ස්ථාපිත කර තිබුනේ නෑ.

එහෙත්, ඇදහිල්ලෙන්, තවත් බොහෝ අය මෙන්, බොකොලෝ පවුල ස්වාමින්වහන්සේගේ ආත්මය අනුගමනය කළා. කිංෂාසා හිදී, ඔවුන්, ඔවුන් අවට සිටි අයට දේවසේවය කරමින් ආශිර්වාද කළා, අභියෝග ජය ගත්තා, අධ්‍යාත්මික හා ලෞකික ආශිර්වාද ලබා ගත්තා. අද ඔවුන් තම රටේ ස්වාමින්වහන්සේගේ ගෘහයක් තිබීම ගැන සතුටු වෙනවා.4

හැරෙන්නෙකුට දේවසේවාවක් ලබාදිය හැක්කේ ආදර්ශයෙන්. තරුණ වියේදී ඔහු මුහුදු වෙරළේ ගිමන් හරිමින් දින ගත කළ බව ඔහු කිව්වා. දිනක් ඔහු මෙහෙම කිව්වා “විනීත පිහිනුම් ඇඳුමකින් සැරසී සිටින ආකර්ෂණීය ගැහැණු ළමයෙකුව මම දැක්කා.” පුදුමයට පත් වූ ඔහු, මෙතරම් ආකර්ෂණීය ගැහැණු ළමයෙකු මෙතරම් විනීත පිහිනුම් ඇඳුමක් අඳින්නේ මන්දැයි ඇසීමට ගියා. ඇය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකාවක් වූ අතර ඇය සිනහවකින් මෙසේ ඇසුවා, “ඔබ ඉරිදා සභාවට එන්න කැමතිද?” ඔහු හා කිව්වා.

වසර ගණනාවකට පෙර, අපි එකට පැවරුමක සිටියදී, වැඩිහිටි එල්. ටොම් පෙරී ඔහු සහ ඔහුගේ සහයකයා විසින් රළු බොස්ටන් හි අසල්වැසි ප්‍රදේශයක තනිව ජීවත් වූ සහෝදරියකට නිතිපතා දේවසේවය කළ ආකාරය බෙදා ගත්තා. වැඩිහිටි පෙරී සහ ඔහුගේ සහයකයා පැමිණි විට, එම සහෝදරිය ප්‍රවේශමෙන් උපදෙස් දුන්නේ, “ඔබේ දේවමාළිගා නිර්දේශය දොර යටින් තල්ලු කරන්න” කියායි. ඇය අගුල් කිහිපයක් හැර එම දොර විවර කළේ එම දේවමාළිගා නිර්දේශ දැකීමෙන් පසු පමණයි.5 ඇත්ත වශයෙන්ම, දේවසේවයේ සහකාරත්වයන් සඳහා දේවමාළිගා නිර්දේශ අවශ්‍යයි කියා නෙවේ මම කියන්නෙ. නමුත් ගිවිසුම් තබාගන්නා අය දේවසේවය කරන විට, නිවෙස් වල දොරගුළු හැරෙන බවත් හදවත් විවෘත වන බවත් සිතීමට මම කැමතියි.

වැඩිහිටි පෙරී ඒ සම්බන්ධව ප්‍රායෝගික උපදෙසක් ලබා දුන්නා. ඔහු මෙහෙම කිව්වා, “ගමන් කරන කාලය හොඳින් භාවිතා කළ හැකි පරිදි, භූගෝලීය වශයෙන් ආසන්න ස්ථාන වල, යාච්ඤාවෙන් තෝරාගත් සාධාරණ පැවරුම් සංඛ්‍යාවක් එම සහකාරත්වයන්ට ලබාදෙන්න.” ඔහු මෙසේ උපදෙස් දුන්නා, “හමුවීම් වැඩියෙන්ම අවශ්‍ය අයගෙන් පටන් ගන්න. පැමිණීම් පිළිගැනීමට සහ ඒවාට හොඳින් ප්‍රතිචාර දැක්වීමට බොහෝ දුරට ඉඩ ඇති අයගෙන් පටන් ගන්න.” ඔහු මෙසේ අවසන් කළා, “ඇදහිලිවන්ත අඛණ්ඩතාවය ප්‍රාතිහාර්යයන් ගෙන එයි.”

උසස් හා පරිශුද්ධ දේවසේවය6 පැමිණෙන්නේ අප “ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමය”7 සඳහා යාච්ඤා කර ආත්මයාණන්ව අනුගමනය කරන විටයි. සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ, වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිත්වයන්, දේවසේවා සහකාරීත්වයන් පැවරීම ඇතුළු දේවසේවා උත්සාහයන් අධීක්ෂණය කිරීමෙන් එය පැමිණෙනවා. දේවසේවයේ යෙදී සිටින පළපුරුදු සහෝදර සහෝදරියන් සමඟ වැඩ කිරීමට සහ ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කරුණාකර අපේ තරුණ ගැහැණු ළමුන්ට සහ තරුණ පිරිමි ළමුන්ට අවශ්‍ය අවස්ථා ලබා දෙන්න. අපගේ නැගී එන තරුණ පරම්පරාවට දේවසේවයේ යෙදෙන සහෝදර සහෝදරියන්ට දිව්‍ය අනුභාවය ලබාදීමට කරුණාකර ඉඩ දෙන්න.

සභාවේ සමහර ස්ථානවල අපට දේවසේවයේ පරතරයක් තිබෙනවා. දේවසේවය ලැබෙනවා කියනවා වෙනුවට බොහෝ දෙනෙක් කියන්නේ දේවසේවය ලබාදෙනවා කියලයි. පිරික්සුම් ලැයිස්තුවක් ගැන සැලකිලිමත් වීමට අපට අවශ්‍ය නෑ. නමුත් බොහෝ විට අපට සභා ශාලාවේ දී අවංක සුභ පැතීමක් හෝ වාහන නවත්වන ස්ථානයේ “මට ඔබට උදව් කළ හැකිද?” කියා ඇසීමට වඩා වැඩි යමක් අවශ්‍යයි. බොහෝ ස්ථානවල, සාමාජිකයින්ගේ නිවෙස්වලට ක්‍රමවත් ලෙස යාමෙන්, අපට ඔවුන් වෙත ළඟා වීමට, ඔවුන් සිටින ස්ථානය තේරුම් ගැනීමට සහ සබඳතා ගොඩනඟා ගැනීමට පුළුවන් වෙනවා. දේවානුභාවයෙන් ලැබෙන ආරාධනා ජීවිතය වෙනස් කරනවා. පරිශුද්ධ ගිවිසුම් ඇති කර ගැනීමට සහ ඒවා තබා ගැනීමට ආරාධනා අපට උපකාර වන විට, අපි ස්වාමින්වහන්සේට සහ එකිනෙකාට සමීප වෙනවා.

දේවසේවයේ සැබෑ ආත්මය තේරුම් ගත් අය පෙරට වඩා වැඩි යමක් කරන අතර, එය තේරුම් නොගත් අය අඩුවෙන් කරන බව කියනවා. අපගේ ගැලවුම්කරුවාණන් මෙන් අපි තව තවත් දේවල් කරමු. අපගේ ගීතිකාව පවසන පරිදි, එය “යුතුකමේ සහ ආදරයේ ආශිර්වාදයක්.”8

කොට්ඨාශ මන්ත්‍රණ සභා, වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති, කරුණාකර යහපත් එඬේරාණන්ට ඇහුම්කන් දී “නැති වූ දේ සෙවීමට, … පලවා හරින ලද දේ නැවත ගෙන ඒමට, … කැඩුණු දේ බැඳීමට, … අසනීප වූ දේ ශක්තිමත් කිරීමට”9 උදව් කරන්න. අපි උන්වහන්සේගේ තානායමේ සියල්ලන්ට ඉඩ සලසන විට අපට “නොදැනම දේවදූතයන්ට”10 ඉඩ ලබාදෙන්න පුළුවන්.11

දේවානුභාවයෙන් කරන ලද දේවසේවය පවුල්වලට සහ පුද්ගලයන්ට ආශිර්වාද කරනවා; එමගින් කොට්ඨාශ සහ ශාඛා ද ශක්තිමත් වෙනවා. ඔබේ කොට්ඨාශය හෝ ශාඛාව අධ්‍යාත්මික පරිසර පද්ධතියක් ලෙස සිතන්න. ඔලිව් ගස් පිළිබඳ මොර්මොන්ගේ පොතේ උපමාවේ ආත්මය තුළ, මිදි වත්තේ ස්වාමියා සහ ඔහුගේ සේවකයන් විසින් වටිනා පලතුරු ලබාගැනීමට සහ සියලු ගස් ශක්තිමත් කිරීම සඳහා එම ගස් වල ශක්තීන් සහ දුර්වලතා එකට එකතු කළා.12 මිදිවත්තේ ස්වාමියා සහ ඔහුගේ සේවකයෝ නැවත නැවතත් මෙසේ අසනවා, “මට තව කුමක් කළ හැකිද?”13 ඔවුන් එක්ව, දේවානුභාවයෙන්, ස්ථාවර දේවසේවයෙන් හදවත් සහ නිවෙස් වලට, කොට්ඨාශ සහ ශාඛා වලට ආශිර්වාද කරනවා.14

රූපය
මුල් සහ අතු බද්ධ කිරීම

දේවසේවයේ යෙදීම—එඬේරෙක් මෙන් සේවය කිරීම—අපගේ මිදිවත්ත “එක් ශරීරයක්”15—නැත්නම් පූජනීය වත්තක් බවට පත් කරනවා. අපේ වත්තේ සෑම ගසක්ම ජීවමාන පවුල් ගසක්. එහි මුල් සහ අතු එකිනෙකට බැඳී තිබෙනවා. දේවසේවය නිසා පරම්පරාවන් ආශිර්වාද ලබනවා. සේවය අවශ්‍ය වූ විට, ප්‍රඥාවන්ත සභානායකවරුන් සහ වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිත්වයන්, “දේවසේවා සහෝදර සහෝදරියන් කවුද?” කියා අසයි. කොට්ඨාශ මන්ත්‍රණ සභා සහ දේවසේවා සම්මුඛ සාකච්ඡා වලදී සිදුවන්නේ අභියෝග හෝ ගැටලු ගැන ඇසීම පමණක් නොවේ, නමුත් දැකීමට ඇස් සමඟ ඒවා දෙස බැලීමටත් උන්වහන්සේ කළාක් මෙන් ස්වාමින්වහන්සේගේ මෘදු කරුණාව ගැන ප්‍රසංසා කිරීමටත් අපෙන් ඉල්ලා සිටිනවා.

අපගේ ගැලවුම්කරුවාණන් යනු අපගේ පරිපූර්ණ ආදර්ශයයි.16 උන්වහන්සේ යහපත් නිසා උන්වහන්සේට යහපත කරමින් යන්න පුළුවන්.17 උන්වහන්සේ නැති වූ එක්කෙනාවත් එමෙන්ම ඉතිරි 99 ටත් ආශිර්වාද කරනවා. උන්වහන්සේ ලබා දෙන්නේ පුද්ගලාරෝපිත දේවසේවයක්. “මේවාගෙන් අවම දේ”18 අපි උන්වහන්සේ වෙනුවෙන් කරන විටත්, අපට මෙන් අපගේ අසල්වැසියාට ප්‍රේම කරන විටත්19, “මා ඔබට ප්‍රේම කළාක් මෙන්, එකිනෙකාට ප්‍රේම කරන්න20” සහ “ඔබ අතරේ ශ්‍රේෂ්ඨ වන යමෙක් වේ ද, ඔහු ඔබේ සේවකයා වන්න”21 යන දේවල් අනුගමනය කරන විටත් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමාන වෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දේවසේවය කරනවා. දේවදූතයන් දේවසේවය කරනවා.22 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් “එකිනෙකාට දේවසේවය කරනවා,”23 “ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වෙනවා, අඬන්නන් සමඟ අඬනවා,”24 “ධර්මිෂ්ඨත්වයට අදාළ දේවලින් [ජනතාව] පෝෂණය කරනවා,”25 “දුප්පතුන් සහ අගහිඟකම් ඇති අයව, රෝගීන් සහ පීඩිතයන්ව මතක තබාගන්නවා,”26 ඒවගේම අපගේ දේවසේවය තුළින් උන්වහන්සේගේ නාමය දැනගන්නට සලස්වනවා.27 අපි උන්වහන්සේ කරන ආකාරයට දේවසේවයේ යෙදෙන විට, අපි උන්වහන්සේගේ ආශිර්වාද හා උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් දකිනවා.28 අපට “වඩා විශිෂ්ට දේවසේවයක්” ලැබෙනවා.29

අපි ශාරීරිකව වෙහෙසට පත් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ සේවයේදී අපි “යහපත්කම කිරීමෙන් වෙහෙසට පත් වෙන්නේ නෑ.”30 අපි කඩිසරව අපගේ උපරිමය කරනවා, අපි ශක්තියට වඩා වේගයෙන් දුවන්නේ නෑ, නමුත් ප්‍රේරිත පාවුල් උගන්වන පරිදි, “දෙවියන්වහන්සේ සතුටු සිතින් දෙන්නාට ප්‍රේම කරන”31 බව විශ්වාස අපි විශ්වාස කරමු.32 මන්ද දෙවියන්වහන්සේ “වපුරන්නාට බීජද කෑමට රොටිද සපයාදෙන්නාවූ තැනන්වහන්සේ නුඹලාට වැපිරීම පිණිස බීජ සපයාදී, වැඩිකොට, නුඹලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනය කරන සේක.”33 වෙනත් වචනවලින් කිවහොත්, දෙවියන්වහන්සේ “සියලු ත්‍යාගවන්තකම සියලු ආකාරයෙන් පොහොසත්” කරනවා.34 “බොහෝ ලෙස වපුරන අය බොහෝ සෙයින් නෙළාග[න්නවා].”35

මෙම පාස්කු සමයේ අප කොතැනක සිටියත්, අපගේ ගැලවුම්කරුවාණන් මෙන්, විශේෂයෙන්ම අපට ප්‍රේමය ලබාදීමට සහ දේවසේවය ලබාදීමට වරප්‍රසාද ලැබී ඇති අය වෙත ළඟා වී ඔවුන්ට රැකවරණය දෙමු. එසේ කිරීමෙන්, අපට උන්වහන්සේ හා සමාන වෙමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කැමති ලෙස උන්වහන්සේගේ අනුගාමිකයන් වෙමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ එකිනෙකාට ළං වෙන්නට පුළුවන් වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ගොන්ග් සහෝදරිය සහ මම වැඩිහිටි එන්රිකේ සහ රූත් ෆැලබෙල්ලා සහෝදරිය සමඟ මෙම සංචාරය සඳහා එක්විය. සැල්වදෝර් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් දැන් මෙම පෙර ඡායාරූපවලට වඩා වයසින් වැඩි නමුත් තවමත් විශ්වාසවන්ත කරුණාවෙන් සේවය කරන සහෝදර සහෝදරියන්ගේ සැලකිලිමත් ප්‍රජාවක කොටසකි.

  2. යාකොබ් 1:27.

  3. දහම සහ ගිවිසුම් 81:5.

  4. ජනාධිපති බොකොලෝ සහ ඔහුගේ පවුලේ අයගේ ඡායාරූපය, ගොන්ග් සහෝදරිය සහ මම ඔවුන්ව මුණගැසුණු කාලය දක්වා දිව යයි.

  5. බලන්න L. Tom Perry, “Strive to Be Temple Worthy” (Ricks College devotional, Sept. 19, 1989), byui.edu/devotionalsandspeeches.

  6. බලන්න රසල් එම්. නෙල්සන්, “දේවසේවය,” ලියහෝනා, මැයි 2018, 100.

  7. බලන්න මොරෝනි 7:47–48; තවත් බලන්න 4–8 පද.

  8. “Have I Done Any Good?,” Hymns, no. 223.

  9. එසකියෙල් 34:16. එසකියෙල් 34 හි, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් එඬේරුන්ට දැඩි ලෙස අනතුරු අඟවන්නේ බැටළුවන් රැකබලා ගැනීම හෝ පෝෂණය නොකළ විට ඇති වන ප්‍රතිවිපාක ගැන ය.

  10. හෙබ්‍රෙව් 13:2.

  11. තවත් බලන්න ලූක් 2:7; 10:33–34.

  12. මෙම තේමාව 17–18, 20, 24, 75 පද ඇතුළුව යාකොබ් 5 පුරා දක්නට ලැබේ. 28 වන පදය අපට මතක් කර දෙන්නේ, “තවද එය මෙසේ සිදුවිය එනම් මිදිවත්තේ ස්වාමියා සහ මිදිවත්තේ ස්වාමියාගේ සේවකයා මිදිවත්තේ සියලුම ඵල පෝෂණය කළ බවය” (අවධාරණය කිරීම් එකතු කර ඇත).

  13. මිදිවත්තේ ස්වාමියා දෙවතාවක් මෙසේ අසයි, “මගේ මිදි වත්ත වෙනුවෙන් මට මීට වඩා කුමක් කළ හැකිද?” (යාකොබ් 5:41, 49; අවධාරණය කිරීම් එකතු කර ඇත) සහ වරක්, “මගේ මිදි වත්තේ මට මීට වඩා කුමක් කළ හැකිද?” (යාකොබ් 5:47; අවධාරණය කිරීම් සහිතයි).

  14. මොසායා 18:21 සහ මතෙව් 25:40 තුළින් ලැබූ ආත්මයෙන්.

  15. යාකොබ් 5:74 බලන්න: “තවද ඒවා එක් ශරීරයක් මෙන් සමානත්වයට පැමිණ” තවද, ඵලයන් සමාන විය”; එමෙන්ම උදාහරණයක් ලෙස 1 කොරින්ති 12:12: “මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇතුවාක්මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වූවත් එක ශරීරයක්ව තිබෙන්නාක්මෙන්ද, ක්‍රිස්තුස්වහන්සෙත් එසේව සිටිනසේක.”

  16. අපගේ ගැලවුම්කරුවාණන් දේවසේවක කළ ආකාරය පිළිබඳ උදාහරණවලින් ශුද්ධලියවිලි පද පිරී තිබේ. නිදසුනක් වශයෙන්, දැඩි සෙනඟ මැද, එම ස්ත්‍රිය ඔහුගේ වස්ත්‍රයේ වාටිය ස්පර්ශ කරන මොහොතේ ඔහුට එය දැනුණු අතර, ඇය වෙත ගලා ගිය සුවදායක ප්‍රවාහයක් උන්වහන්සේට දැනුණේය (බලන්න මාර්ක් 5:24–34). එසේත් නැතිනම්, “කෑම කන්ටවත් අවකාශ නැති තරමට” (මාර්ක් 6:31), යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් ශාරීරිකව වෙහෙසට පත් වී විවේක ගැනීමට ස්ථානයක් සොයමින් සිටියෝය. එහෙත්, එඬේරෙකු නොමැති සමූහයක් දැක, අපගේ ගැලවුම්කරුවාණන් ඔවුන්ව සුව කර, උගන්වා, පෝෂණය කළේය. උන්වහන්සේ පසුව රොටි සහ මාළු මළු පිරෙන තෙක් එකතු කළේය (බලන්න මාර්ක් 6:31–44).

  17. බලන්න ක්‍රියා 10:38.

  18. බලන්න මතෙව් 25:35–40.

  19. බලන්න මාර්ක් 12:31.

  20. යොහාන් 13:34.

  21. මතෙව් 20.26; තවත් බලන්න ලූක් 22:26–27.

  22. උදාහරණ සඳහා බලන්න, මතෙව් 4:11; ලූක් 22:42–44; ක්‍රියා 10:1–7; 12:5–11; 2 නෙපි 32:3; මොරෝනි 7:22, 29–30.

  23. 3 නෙපි 26:19.

  24. රෝම 12:15; තවත් බලන්න මොසායා 18:9.

  25. මොසායා 23:18.

  26. දහම සහ ගිවිසුම් 52:40.

  27. බලන්න ආබ්‍රහම් 1:19.

  28. ක්‍රියා 26:16 කථා කරන්නේ ස්වාමින්වහන්සේගේ දේවල් සම්බන්ධයෙන් “දේවසේවකයෙකු සහ සාක්ෂිකරුවෙකු” වීම ගැනයි.

  29. හෙබ්‍රෙව් 8:6.

  30. දහම සහ ගිවිසුම් 64:33; තවත් බලන්න යොහාන් 37:34.

  31. බලන්න මොසායා 4:27.

  32. 2 කොරින්ති 9:7.

  33. 2 කොරින්ති 9:10.

  34. 2 කොරින්ති 9:11.

  35. 2 කොරින්ති 9:6.