ප්‍රධාන සම්මන්ත්‍රණය
පුද්ගලික සාමය සොයා ගැනීම
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


පුද්ගලික සාමය සොයා ගැනීම

ඔබට සාමය සොයා ගැනීමටත්, තවත් බොහෝ දෙනෙකුට එය සොයා ගැනීමට උදව් කිරීමටත්, එය බෙදා දීමටත් හැකි වේවායි මම යාච්ඤා කරනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයේ ආරම්භක සැසිවාරයේදී අපව ස්පර්ශ කළ දේවානුභාවයෙන් යුත් ඉගැන්වීම් වලින් සහ සුන්දර සංගීතයෙන් අපි ආශිර්වාද ලබා තිබෙනවා. ඔබගේ සහභාගීත්වය ගැන සහ ඔබේ ඇදහිල්ල ගැන අපි ඔබට ස්තූතිවන්ත වෙනවා

අපගේ තත්වයන් කුමක් වුවත්, පුද්ගලික සාමය සොයා ගැනීමේ ආශ්චර්යය ගැන මා ඉගෙන ගත් දේ ගැන අද මම කතා කරන්නම්. ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලුම දරුවන් සාමය සඳහා ආශා කරන බව ගැලවුම්කරුවාණන් දන්නා අතර, එය අපට ලබා දිය හැකි බව උන්වහන්සේ පැවසුවා. යොහන් පොතේ සටහන් කර ඇති යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචන ඔබට මතක ඇති: “ඔබ සැම වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය ඔබ සැමට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙල්ලා.”1

උන්වහන්සේ සාමය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද සහ එය ලබා දිය හැක්කේ කෙසේද කියා, උන්වහන්සේ කථා කළ එම වචන අසා සිටි අයගේ තත්වයන් මගින් හෙළි වුණා. ක්‍රිස්තුස්වහන්සේගේ දේවසේවයේ කූටප්‍රාප්තිය පිළිබඳ යොහන්ගේ වාර්තාවට සවන් දෙන්න. දරුණු නපුරු බලවේග උන්වහන්සේ මතට පැමිණෙමින් සිටි අතර ඉක්මනින්ම උන්වහන්සේගේ ගෝලයන් මතට පැමිණෙන්නට තිබුණා.

ගැලවුම්කරුවාණන්ගේ වචන මෙන්න:

“නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා රක්ෂා කරන්නහුය.

“මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙන සේක;

“ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටින සේක, නුඹලා තුළෙහි සිටින සේක.

“නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි.

“තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති; නුමුත් නුඹලා මා දකින්නහුය. මා ජීවත්වන බැවින් නුඹලාත් ජීවත්වන්නහුය.

“ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය.

“යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂා කෙරේද, මට ප්‍රේම කරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේම කරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේම කොට ඔහුට ප්‍රකාශ වන්නෙමියි කී සේක.

“ඉස්කාරියොත් නොවන යූදස් උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔබ ලෝකයාට ප්‍රකාශ නොවී අපට ප්‍රකාශ වන්නේ කුමක් නිසාදැයි උන්වහන්සේට කීවේය.

“යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂා කරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේම කරන සේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමුව.

“මට ප්‍රේම නොකරන්නා මාගේ වචන රක්ෂා නොකරයි. නුඹලා අසන වචනය මාගේ නොව මා එවූ පියාණන්වහන්සේගේය.

“මම නුඹලා සමග සිටියදීම මේ දේවල් නුඹලාට කීවෙමි.

“නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවන සේක.

“නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙල්ලා.”2

ගැලවුම්කරුවාණන්ගේ එම ඉගැන්වීමෙන් මම අවම වශයෙන් සත්‍යයන් පහක්වත් ඉගෙන ගෙන තිබෙනවා.

පළමුව, සාමයේ ත්‍යාගය දෙනු ලබන්නේ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට අපට ඇති ඇදහිල්ලෙන් පසුවයි. ස්වාමින්වහන්සේගේ සභාවේ ගිවිසුම් සාමාජිකයන් වන අප දැනටමත් කරන්නට පොරොන්දු වී ඇත්තේ කීකරුකමයි.

දෙවනුව, ශුද්ධාත්මයාණන්වහන්සේ පැමිණ අප සමඟ වාසය කරයි. අප දිගටම ඇදහිලිවන්තව සිටින විට ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරනු ඇති බව ස්වාමින්වහන්සේ පවසනවා. ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ සහකරුවා වන බවටත්, අපගේ හදවත් සහ මනස තුළ උන්වහන්සේගේ සැනසීම අපට දැනෙන බවටත් සක්‍රමේන්තු යාච්ඤාවේ ලබාදෙන පොරොන්දුව තමයි ඒ.

තෙවනුව, අප අපගේ ගිවිසුම් රකින විට, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ එකිනෙකා කෙරෙහි දක්වන ප්‍රේමය සහ අප කෙරෙහි දක්වන ප්‍රේමය අපට දැනිය හැකි බව ගැලවුම්කරුවාණන් පොරොන්දු වෙනවා. උන්වහන්සේලා සමඟ සදහටම වාසය කිරීමට අපට ආශිර්වාද ලැබෙන විට අපට එය දැනෙනවා සේම, අපගේ ලෞකික ජීවිතය තුළත් උන්වහන්සේලාගේ සමීපත්වය අපට දැනෙන්න පුළුවන්.

හතරවනුව, ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපැදීමට කීකරුකමට වඩා වැඩි යමක් අවශ්‍ය වෙනවා. අපි අපේ මුළු හදවතින්, ශක්තියෙන්, මනසින් සහ ආත්මයෙන් දෙවියන්වහන්සේට ප්‍රේම කළ යුතුයි.3

උන්වහන්සේට ප්‍රේම නොකරන අය උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ නෑ. එබැවින් ඔවුන්ට මෙලොව හා මතු පැමිණෙන ලෝකයේ සාමයේ දීමනාව ලැබෙන්නේ නෑ.

පස්වනුව, අපගේ පව්වල මිල ගෙවීමට තරම් ස්වාමින්වහන්සේ අපට ප්‍රේම කළ බව පැහැදිලියි, එවිට අපට උන්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල සහ අපගේ පසුතැවිල්ල තුළින්, උන්වහන්සේගේ වන්දිගෙවීමේ ප්‍රතිඵල තුළින්, “සියලු අවබෝධය ඉක්මවා යන”4 සාමයේ දීමනාව මේ ජීවිතයේ සහ උන්වහන්සේ සමඟ සදාකාලිකවත් ලබාගන්නට පුළුවන්.

ස්වාමින්වහන්සේ පොරොන්දු වූ සාමය ඔබගෙන් සමහරෙකුට, සමහර විට බොහෝ දෙනෙකුට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. පෞද්ගලික සාමය සහ ආත්මික සැනසීම සඳහා ඔබ යාච්ඤා කරන්නට ඇති. එහෙත් සාමය උදෙසා ඔබේ ආයාචනයට ස්වර්ගයන් නිහඬ බව ඔබට දැනෙන්නට පුළුවන්.

ඔබ සහ ඔබ ආදරය කරන අය සාමය සොයාගන්නවාට අකමැති ඔබේ ප්‍රාණයේ සතුරෙක් සිටිනවා. ඔහුට ඒ ගැන ප්‍රීති වන්නට බැහැ. ඔබ ලබනවාට ගැලවුම්කරුවාණන් සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ කැමති සාමය සොයා ගැනීමෙන් පවා ඔබව වැළැක්වීමට ඔහු ක්‍රියා කරනවා.

අප වටා වෛරය හා මතභේද වැපිරීමට සාතන් දරන උත්සාහයන් වැඩි වෙමින් පවතින බව පේනවා. ජාතීන් සහ නගර අතර, අසල්වැසි ප්‍රදේශවල, විද්‍යුත් මාධ්‍යවල සහ ලොව පුරා එය සිදු වන බවට සාක්ෂි අපි දකිනවා.

එහෙත් ශුභවාදී වීමට හේතුවක් තිබෙනවා: සෑම අලුත උපන් දරුවෙකු තුළම ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය තැන්පත් කර තිබෙනවා. එම විශ්වීය ත්‍යාගය සමඟ හරි දේ පිළිබඳ හැඟීමක්, ආදරය කිරීමට හා ආදරය ලැබීමට ආශාවක් ඇති වෙනවා. දෙවියන්වහන්සේගේ සෑම දරුවෙකු තුළම ඔහු හෝ ඇය ලෞකිකත්වයට පැමිණෙන විට යුක්තිය සහ සත්‍යය පිළිබඳ සහජ හැඟීමක් තිබෙනවා.

එම දරුවන් සඳහා පුද්ගලික සාමය සඳහා අපගේ ශුභවාදී බලාපොරොත්තුව පවතින්නේ ඔවුන්ව රැකබලා ගන්නා පුද්ගලයින් තුළයි. ඔවුන්ව ඇති දැඩි කරන සහ ඔවුන්ට සේවය කරන අය ගැලවුම්කරුවාණන්ගෙන් සාමයේ ත්‍යාගය ලබා ගැනීමට ක්‍රියා කර ඇත්නම්, ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික ආදර්ශයෙන් සහ උත්සාහයෙන්, සාමයේ උත්තරීතර ත්‍යාගය සඳහා සුදුසුකම් ලැබීමට එම දරුවාගේ ඇදහිල්ල දිරිමත් කරයි.

ශුද්ධලියවිලි වල පොරොන්දු වන්නේ එයයි, “දරුවෙකු යා යුතු මාර්ගයේ ඔහුව පුහුණු කරන්න. ඔහු වයසට ගිය පසු ඔහු එයින් ඉවත් නොවනු ඇත.”5 ඒ සඳහා එම දරුවාගේ රැකවරණය සහ පෝෂණය සම්බන්ධයෙන් වගකීම ඇති තැනැත්තා සාමයේ ත්‍යාගයට සුදුස්සෙකු වීම අවශ්‍ය වෙනවා.

කණගාටුවට කරුණක් තමයි, දේවානුභාවයෙන් යුත් දෙමාපියන්ගෙන්, සමහර අවස්ථා වල තනි දෙමාපියෙකුගෙන් හැදී වැඩුණු දරුවන්, ඔවුන් ජීවිත කාලය පුරාම ඇදහිල්ල සහ සාමය අනුව යාමෙන් පසුවත්, ශෝකයෙන් පිරුණු මාවතක යාමට තෝරාගැනීමේ වේදනාව අපි හැමෝටම දැනිලා තිබෙනවා.

ඒ ශෝකය ඇතිවෙන විටදී වුවත්, ස්වාමින්වහන්සේගෙන් තවත් ත්‍යාගයක් කෙරෙහි මගේ උපේක්ෂාව රැඳී තිබෙනවා. ඒ තමයි: උන්වහන්සේ තම විශ්වාසවන්ත ගෝලයන් අතර සාමය ඇති කරන්නන් බොහොමයක්ව ඇති කරනවා. ඔවුන්ට දෙවියන්වහන්සේගේ සාමය සහ ප්‍රේමය දැනී තිබෙනවා. ඔවුන්ගේ හදවත් තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ සිටින අතර, ඉබාගාතේ යන බැටළුවන් වෙත ළඟා වීමට ස්වාමින්වහන්සේට ඔවුන්ට මගපෙන්වන්න පුළුවන්.

මම එය මගේ ජීවිත කාලය පුරාම සහ ලොව පුරාම දැක තිබෙනවා. ඔබත් එය දැක ඇති. සමහර අවස්ථාවලදී, ඔබව ගලවා ගැනීමට ගෙන යන විට, එය අහම්බයක් ලෙස පෙනෙන්නට පුළුවන්.

එක පාරක් මම විනෝද ගමනක් යද්දි හම්බුන කෙනෙක්ගෙන් මම මෙහෙම ඇහුවා “ඔයාලගෙ පවුල ගැන මට පොඩ්ඩක් කියනවද?” ඇති වූ එම සංවාදය නිසා ඇයගේ වැඩිහිටි දියණිය අරගල කරමින් සිටින බව ඇය පැවසූ පසු ඇයගේ පින්තූරයක් බලන්නට පුළුවන් දැයි මම ඉල්ලා සිටියා. ඒ පිංතූරෙ ඉන්න ගැහැණු ළමයාගේ මූණෙ තිබූ යහපත් පෙනුමෙන් මම පුදුම වුණා. මට ඇයගේ විද්‍යුත් තැපැල් ලිපිනය ලබා ගත හැකිද කියා ඇසීමට මට පෙළඹවීමක් දැණුනා. ඒ දියණිය දෙවියන්වහන්සේ තමාට කිසිඳු පණිවිඩයක් ලබා දී ඇත්දැයි සිතමින් ඒ මොහොතේ අතරමං වී සිටියා. උන්වහන්සේට ඇය වෙනුවෙන් පණිවිඩයක් තිබුණා. ඒ තමයි: “ස්වාමින්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ හැමදාමත් එහෙමයි. ඔබ ආපසු පැමිණෙනවාට ගැලවුම්කරුවාණන් කැමතියි. ඔබට පොරොන්දු වූ ආශිර්වාද තවමත් එසේම තිබෙනවා.”

සභාව පුරා සිටින සාමාජිකයින්ට පුද්ගලික ​සාමය යන ස්වාමින්වහන්සේගේ ත්‍යාගය දැනී තිබෙනවා. උන්වහන්සේ වෙතට පැමිණීමට සහ එම සාමය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ එම අවස්ථා ලබාගැනීම සඳහා අන් අයට උපකාර කිරීමට, උන්වහන්සේ සෑම කෙනෙකුවම දිරිමත් කරනවා. ඔවුන් එම ත්‍යාගය අන් අයට ලබා දෙන්නේ කෙසේදැයි දැන ගැනීමට දේවානුභාවයක් සෙවීමට තෝරා ගනියි.

නැගී එන පරම්පරාව ඉන්පසු පැමිණෙන පරම්පරාවේ පෝෂකයින් බවට පත්වෙයි. මෙම ගුණ වීමේ බලපෑම ආශ්චර්යයක් ඇති කරයි. එය කාලයාගේ ඇවෑමෙන් පැතිරී වර්ධනය වෙයි, ඒවගේම පොළොව මත ස්වාමින්වහන්සේගේ රාජ්‍යය හෝසන්නා ඝෝෂාවෙන් උන්වහන්සේට ආචාර කිරීමට සූදානම් වෙයි. පොළොවේ සාමය ඇති වෙයි.

ගැලවුම්කරුවාණන් ජීවමාන බවත් උන්වහන්සේ මෙම සභාව මෙහෙයවන බවත් මම සහතිකවම සාක්ෂි දරනවා. මගේ ජීවිතය තුළ උන්වහන්සේගේ ආදරය සහ ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලුම දරුවන් කෙරෙහි උන්වහන්සේගේ ආදරය හා සැලකිල්ල මට දැනී තිබෙනවා උන්වහන්සේ වෙත පැමිණෙන ලෙස ගැලවුම්කරුවාණන්ගේ ආරාධනා කිරීම සාමයේ පිරිනැමීමක්.

සභාපති රසල් එම්. නෙල්සන් යනු මුළු පොළොවේම දෙවියන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයායි. ඔහු මෙසේ පවසා තිබෙනවා, “ලෝකයේ තත්ත්වය සහ ඔබේ පෞද්ගලික තත්වයන් කුමක් වුවත්, ඔබට සුභවාදීව සහ ප්‍රීතියෙන් අනාගතයට මුහුණ දිය හැකි බවට මගේ සහතිකය මම ඔබට ලබාදෙනවා.”6

මම ඔබට මගේ ආදරය ප්‍රකාශ කරනවා. ඔබගේ ශ්‍රේෂ්ඨ ඇදහිල්ල සහ ප්‍රේමය මිනිසුන් වෙත ළඟා වන අතර ස්වාමින්වහන්සේට හදවත් වෙනස් කිරීමට ඉඩ සලසනවා, එබැවින් සියලු අවබෝධය ඉක්මවා යන සාමයේ ත්‍යාගය අන් අයට පිරිනැමීමට ආශාවක් ඇති කරනවා.

ඔබට සාමය සොයා ගැනීමටත්, තවත් බොහෝ දෙනෙකුට එය සොයා ගැනීමට උදව් කිරීමටත්, එය බෙදා දීමටත් හැකි වේවායි මම යාච්ඤා කරනවා. ස්වාමින්වහන්සේ නැවත පැමිණෙන විට පුදුමාකාර අවුරුදු දහස් ගණනක සාමයක් ඇති වෙයි. මම ප්‍රීතියෙන් යුතුව සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.