ප්‍රධාන සම්මන්ත්‍රණය
මට ඇත්තෙන්ම සමාව ලැබී තිබේද?
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


මට ඇත්තෙන්ම සමාව ලැබී තිබේද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළ හා ඒ මගින්—සම්පූර්ණ සහ පරිපූර්ණ සමාව දීමේ පොරොන්දුව සෑම කෙනෙකුටම ලබා දී ඇත.

මීට වසර කිහිපයකට පෙර නැට්‍රෙස් සහෝදරිය සහ මම අයිඩහෝ වෙත පදිංචියට ගිය අතර එහිදී අපි නව ව්‍යාපාරයක් ආරම්භ කළා. එම කාර්යාලයේ දිවා රෑ ගෙවිලා ගියා. වාසනාවකට මෙන්, අපි ජීවත් වුනේ කාර්යාලයට බොහොම ලඟින්. සෑම සතියකම, ශෝනා සහ වයස අවුරුදු හයට අඩු අපේ දියණියන් තිදෙනා එකට දිවා ආහාරය ගැනීමට කාර්යාලයට පැමිණෙනවා.

අපේ පවුලේ දිවා ආහාරයෙන් පසු එවැනි එක් දිනක, අපගේ පස් හැවිරිදි දියණිය මිෂෙල් සටහන් කොළයක මට පුද්ගලික පණිවිඩයක් ලියලා මගේ කාර්යාල දුරකථනයට අමුණා ඇති බව මම දුටුවා.

ඒකෙ සරලව කියවුනේ “තාත්තේ මට ආදරේ කරන්න මතක තියාගන්න. ආදරණීය, මිෂෙල්.” කියලා. මෙය තරුණ පියෙකුට වඩාත්ම වැදගත් දේවල් ගැන බලවත් මතක් කිරීමක් වුණා.

සහෝදර සහෝදරියනි, අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සැමවිටම අපව සිහිපත් කරන බවත් උන්වහන්සේ අපට පරිපූර්ණ ලෙස ප්‍රේම කරන බවත් මම සාක්ෂි දරනවා. මගේ ප්‍රශ්නය මෙයයි: අපි උන්වහන්සේව මතක තබාගන්නවාද? ඒවගේම අපි උන්වහන්සේට ආදරය කරනවාද?

වසර ගණනාවකට පෙර මම ප්‍රාදේශීය සභා නායකයෙකු ලෙස සේවය කළා. අපේ තරුණ පිරිමි ළමයෙක් වූ ඩැනී හැම අතින්ම කැපී පෙනෙන කෙනෙක්. කීකරු, කාරුණික, යහපත්, ශ්‍රේෂ්ඨ හදවතක් ඇති කෙනෙක්. කෙසේ වෙතත්, ඔහු උසස් පාසලෙන් සමත් වූ පසු, ඔහු රළු පිරිසක් සමඟ ඇසුරු කිරීම ආරම්භ කළා. ඔහු මත්ද්‍රව්‍යවලට—විශේෂයෙන් මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍යට සම්බන්ධ වූ අතර, ඇබ්බැහි වීමේ සහ විනාශයේ ලිස්සන බෑවුම දිගේ ගමන් කළා. වැඩි කල් යන්නට මත්තෙන් ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහුව හඳුනාගත නොහැකි තරම් වෙනස් වී සිටියා. වඩාත්ම කැපී පෙනෙන වෙනස වූයේ ඔහුගේ ඇස්වල—ඔහුගේ ඇස්වල ආලෝකය අඳුරු වී තිබුණා. මම කිහිප වතාවක්ම ඔහුට කතාකිරීමට උත්සහ කළ නමුත් වැඩක් වුනේ නෑ. ඔහු උනන්දු වූයේ නැහැ.

මෙම අපූරු තරුණයා දුක් විඳ ඔහු ගත කළ ජීවිතයට වඩා වෙනස් ජීවිතයක් ගතකරනවා දැකීම දුෂ්කර වුණා! ඔහුට එයට වඩා තවත් බොහෝ දේ කළ හැකිව තිබුණා.

එක් දිනක් ඔහුගේ ආශ්චර්යය ආරම්භ වුණා.

ඔහුගේ බාල සොහොයුරා ධර්මදූතයක් සඳහා පිටත්ව යාමට පෙර සාක්ෂිය බෙදා ගත් සක්‍රමේන්තු රැස්වීමට ඔහු සහභාගී වුණා. රැස්වීම අතරතුර ඩැනීට කාලයක් තිස්සේ නොදැනුණු දෙයක් දැනුණා. ස්වාමින්වහන්සේගේ ආදරය ඔහුට දැනුණා. අවසානයේ ඔහුට බලාපොරොත්තුවක් ඇති වුණා.

වෙනස්වීමට ආශාවක් තිබුණත්, ඩැනීට එය අපහසු දෙයක් වුණා. ඔහුගේ ඇබ්බැහිවීම් සහ ඒ සමඟ ඇතිවූ වරදකාරී හැඟීම ඔහුට දරාගත නොහැකි තරම් වැඩි වුණා.

එක දවසක් සන්ධ්‍යාවේ, මම තණකොළ කපමින් සිටින විට, ඩැනී ඔහුගේ මෝටර් රථය ඒ අසල අනපේක්ෂිත ලෙස නතර කළා. ඔහු බොහෝ සේ ඇබ්බැහිවීම සමඟ සටන් කරමින් සිටියා. මම යන්ත්‍රය ක්‍රියා විරහිත කළා, ඉන්පසු අපි ඉස්තෝප්පු පඩිපෙළේ එකට වාඩි වුණා. ඔහු තම හදවතේ හැඟීම් බෙදාගත්තේ එවිටයි. ඔහුට ඇත්තටම නැවත පැමිණීමට අවශ්‍ය වුණා. කෙසේ වෙතත්, ඔහුගේ ඇබ්බැහිවීම් සහ ජීවන රටාවෙන් ඉවත් වීම අතිශයින් දුෂ්කර වුණා. මෙයට තවත් එක් කරමින්, ඔහුට වරදකාරී හැඟීමක් ඇති වී තිබුණා, එතරම් දුර වැටීම ගැන ලැජ්ජාවක්ද තිබුණා. ඔහු මෙසේ ඇසුවා, “මට ඇත්තටම සමාව ලබාගන්න පුළුවන්ද? ඇත්තටම මට ආපසු ඒමට මාර්ගයක් තියෙනවද?”

ඔහුගේ මෙම සියලුම කනස්සල්ලන් ගැන හදවත විවෘත කර කතාකිරීමෙන් පසු අපි එකට ඇල්මා 36 වෙනි පරිඡ්චේදය කියෙවුවා:

“එසේය, මම මාගේ සියලු පාපයන්ද අයුතුකම්ද සිහිපත් කළමි. …

“එනම්, … මාගේ දෙවියන්වහන්සේගේ අභිමුඛය තුළට පැමිණීමේ එම සිතුවිල්ල මාගේ ප්‍රාණය වේදනාවෙන් ප්‍රකාශ කළ නොහැකි බියකට පත්කළේය” (පද 13–14).

එම පදවලින් පසුව, ඩැනී මෙහෙම කිව්වා, “මට හැඟෙන්නෙත් මේ ආකාරයටයි!”

අපි දිගටම කියෙව්වා:

“තවද එය මෙසේ සිදුවිය, එනම් මම මෙසේ වේදනාවෙන් විඳිමින් සිටියදී, මම මගේ බොහෝ පාපයන් සිහිවීමෙන් වේදනාවෙන් සිටියදී, බලන්න, මට එසේම මගේ පියා ජනතාවට දෙවියන්වහන්සේගේ පුත්‍රයෙකු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන අයෙකු ලෝකයේ පාපයට වන්දිගෙවීම උදෙසා පැමිණීම සම්බන්ධව අනාවැකි කියනවා සිහිපත් විය. …

“තවද අහෝ, කවර ප්‍රීතියක්, තවද කවර අපූරු වූ ආලෝකයක් මම දුටුවෙම්ද” (පද 17, 20).

මෙම පද කියවන විට කඳුළු ගලා ආවා. ඔහු සොයමින් සිටියේ ඇල්මාගේ වැනි ප්‍රීතියක්!

ඇල්මා අසාමාන්‍ය ලෙස දුෂ්ටව සිටි බව අපි සාකච්ඡා කළා. කෙසේ වෙතත්, පසුතැවිලි වූ පසු, ඔහු ආපසු හැරී බැලුවේ නැහැ. ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කැප වූ අනුගාමිකයෙකු බවට පත්වුණා. ඔහු අනාගතවක්තෘවරයෙකු බවට පත්වුණා! ඩැනීගේ දෑස් විශාල වුණා. “අනාගතවක්තෘවරයෙක්?” ඔහු ඇහුවා.

මම සරලව මෙසේ පිළිතුරු දුන්නා ,“ඔව් අනාගතවක්තෘවරයෙක්. ඔයා කරදර වෙන්න එපා!”

ඔහු ඇල්මා තරම් පවු කර නොතිබුණත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළින් සෑම කෙනෙකුටම සම්පූර්ණ හා පරිපූර්ණ සමාව පිළිබඳ එකම පොරොන්දුව ලබා දෙන බව අපි සාකච්ඡා කළා.

ඩැනී දැන් තේරුම්ගත්තා. කළ යුතු දේ ඔහු දැනගත්තා: ඔහුට අවශ්‍ය ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා තමාටම සමාව දීමෙන් ඔහුගේ ගමන ආරම්භ කිරීමටයි.

ඩැනීගේ හදවතේ බලවත් වෙනස් වීම ප්‍රාතිහාර්යකට වඩා අඩු දෙයක් වුණේ නෑ. කාලයත් සමඟම ඔහුගේ මුහුණුවර වෙනස් වූ අතර ඔහුගේ ඇස්වල දීප්තිය නැවත පැමිණියා. ඔහු දේවමාළිගාවට යාමට සුදුසු වුණා! අවසානයේ ඔහු නැවත පැමිණියා!

මාස කිහිපයකට පසු, මම ඩැනීගෙන් ඔහු පූර්ණ කාලීන ධර්මදූතයක් සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට කැමතිද කියා ඇසුවා. ඔහුගේ ප්‍රතිචාරය පුදුම වූ කම්පනකකින් හා ගෞරවය සහිත බියකින් යුතු එකක් වුණා

ඔහු මෙසේ කියා සිටියා, “මම ධර්මදූතයක සේවය කිරීමට කැමතියි, නමුත් මා සිටි තැන සහ මා කළ දේවල් ඔබ දන්නවා! මම හිතුවේ මම සුදුසු නෑ කියලා.”

මම මෙසේ පිළිතුරු දුන්නා: “ඔබ හරි වෙන්න පුළුවන්. නමුත් ඉල්ලීමක් කිරීමේ කිසිම වරදක් නෑ. ඔබට අවසර ලැබේනවා නම්, අඩුම තරමින් ඔබ ස්වාමින්වහන්සේට සේවය කිරීමට අවංක ආශාවක් ප්‍රකාශ කළ බව ඔබට දැනගන්නට හැකි වෙනවා.” ඔහුගේ දෑස් ආලෝකමත් වුණා. ඔහු මෙම අදහසින් සතුටට පත්වුණා. ඔහුට නම් මෙය සාර්ථක විය නොහැකි දෙයක් වුවත් එම අවස්ථාව ගැනීමට ඔහු කැමති වුණා.

සති කීපයකට පසු, ඔහුව පුදුමයට පත් කරමින්, තවත් ප්‍රාතිහාර්යක් සිදු වුණා. ඩැනීට පූර්ණ කාලීන ධර්මදූත සේවයක් කිරීමට කැඳවීමක් ලැබුණා.

ඩැනී ධර්මදූත සේවයට ගොස් මාස කිහිපයකින් මට දුරකථන ඇමතුමක් ලැබුණා. ඔහුගේ සභාපතිවරයා සරලව පැවසුවේ, “මේ තරුණයාට කුමක්ද වෙලා තිබෙන්නේ? මා දැක ඇති ඇදහිය නොහැකිම ධර්මදූතයා ඔහුයි!” මෙම සභාපතිවරයාට නූතන බාල ඇල්මා මුණගැසී තිබුණු බව ඔබට පෙනෙනවා නේද.

වසර දෙකකට පසු, ඩැනී තම මුළු හදවතින්ද, බලයෙන්ද, මනසින්ද සහ ශක්තියෙන්ද ස්වාමින්වහන්සේට සේවය කර ගෞරවයෙන් නිවසට පැමිණියා.

සක්‍රමේන්තු රැස්වීමේදී ධර්මදූතවරයෙකු ලෙස ඔහුගේ සාක්ශියෙන් පසුව, මම ආපසු නිවසට ගිය විගස, ඉදිරිපස දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණා. දෑස්වල කඳුළුත් සමඟ ඩැනී එහි සිටගෙන සිටියා. “මොහොතකට අපට කථාකරන්න පුළුවන්ද” කියා ඔහු ඇසුවා අපි එලියට ගියේ පෙර ආලින්දයේ ඒ පඩිපෙළ ළඟටයි.

“සභාපතිතුමනි, ඔබ හිතනවාද මට ඇත්තටම සමාව ලැබුණා කියලා?” ඔහු ඇසුවා.

දැන් මටත් කඳුළු එන්නට වුණා. ගැලවුම්කරුවාණන් ගැන ඉගැන්වීමට සහ සාක්ෂි දැරීමට තම සියලු කැපකිරීම් කළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කැපවූ අනුගාමිකයෙක් මා ඉදිරියෙහි සිටියා. ඔහු ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ සුව කිරීමේ සහ ශක්තිමත් කිරීමේ බලයේ ප්‍රතිමූර්තිය වුණා.

මම මෙසේ, පැවසුවා “ඩැනී! ඔබ කණ්ණාඩියෙන් බැලුවද? ඔබ ඔබේ දෑස් දුටුවද? ඒවා ආලෝකයෙන් පිරී තිබෙනවා, ඔබ ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන් බැබළෙනවා. ඇත්තෙන්ම ඔබට සමාව ලැබී තිබෙනවා! ඔබ ගොඩක් අපූරු කෙනෙක්. දැන් ඔබ කළ යුත්තේ ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යාමයි. ආපසු හැරී බලන්න එපා! ඇදහිල්ලෙන් යුතුව ඊළඟ නියෝගය දෙස බලා සිටින්න.”

ඩැනීගේ ප්‍රාර්තිහාර්යය අදටත් සිදු වෙනවා. ඔහු දේවමාළිගාවේදී විවාහ වී නැවත විශ්ව විද්‍යාලයට ගොස් එහිදී ඔහු ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තා. ඔහු තම කැඳවීම්වලදී ගෞරවයෙන් හා උසස් බවින් ස්වාමින්වහන්සේට දිගටම සේවය කරනවා. වැදගත්ම දෙය නම් ඔහු ඇදහිය නොහැකි ස්වාමිපුරුෂයෙකු සහ ඇදහිලිවන්ත පියෙකු බවට පත්වීමයි. ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්ත අනුගාමිකයෙක්.

සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූයේ, “[ගැලවුම්කාරුවාණන්ගේ] අසීමිත වන්දිගෙවීම නොමැතිව, සියලු මනුෂ්‍ය වර්ගයා ආපසු හැරවිය නොහැකි ලෙස අහිමි වනු ඇත” කියායි.1 ඩැනී මංමුළා වුණේ නැහැ, ස්වාමින්වහන්සේට අපිත් ඒසේමයි. උන්වහන්සේ අපව ඔසවා තැබීමට, අපව ශක්තිමත් කිරීමට සහ අපට සමාව දීමට දොර ළඟ සිටගෙන සිටිනවා. උන්වහන්සේ සැමවිටම අපට ආදරය කිරීමට මතක තබාගන්නවා!

දෙවියන්වහන්සේගේ දරුවන් කෙරෙහි ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමයේ ඇදහිය නොහැකි විදහා දැක්වීමක් මොර්මොන්ගේ පොතෙහි සටහන් කර තිබෙනවා: “එනම්, මෙසේ යේසුස්වහන්සේ කථාකළ විට, උන්වහන්සේ නැවතත් උන්වහන්සේගේ දෑස් ජන සමූහයා දෙසට හෙලූහ, තවද ඔවුන් කඳුළු හෙළනු දුටුසේක, තවද ඔවුන් සමඟ ටික වේලාවක් උන්වහන්සේට නැවතීමට ඇසීමට මෙන් ඔවුහු උන්වහන්සේ දෙස ස්ථීරව බලා සිටියහ” (3 නෙපි 17:5).

ගැලවුම්කරුවාණන් ඒ වන විටත් මුළු දවසම මිනිසුන්ට සේවය කර තිබුණා. ඒ වුණත්, උන්වහන්සේට කිරීමට තවත් බොහෝ දේ තිබුණා— උන්වහන්සේගේ වෙනත් බැටළුවන් බැලීමට නියමිතව තිබුණා; උන්වහන්සේ තම පියා වෙත යාමට නියමිතව තිබුණා.

මෙම වගකීම් නොතකා, තමන් තව ටිකක් වේලා කල්ගත කරනවාට ජනතාව කැමති බව උන්වහන්සේ වටහා ගත්තා. එවිට, ගැලවුම්කරුවාණන්ගේ හදවත දයාවෙන් පිරී ඇති අතර, ලෝක ඉතිහාසයේ විශාලතම ප්‍රාතිහාර්යයන්ගෙන් එකක් සිදු වුණා:

උන්වහන්සේ නැවතී සිටියා.

උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළා.

උන්වහන්සේ ඔවුන්ගේ දරුවන් එකිනෙකාට දේවසේවය කළා.

උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළා; උන්වහන්සේ ඔවුන් සමඟ හැඬුවා.

ඒවගේම උන්වහන්සේ ඔවුන්ව සුවපත් කළා. (බලන්න 3 නෙපි 17.)

උන්වහන්සේගේ පොරොන්දුව සදාකාලිකයි: උන්වහන්සේ අපවත් සුවපත් කරනවා.

ගිවිසුම් මාර්ගයෙන් ඉවතට ගිය අයට, සෑම විටම බලාපොරොත්තුවක් ඇති බවත්, සෑම විටම සුවයක් ඇති බවත්, සෑම විටම ආපසු යාමට මාර්ගයක් ඇති බවත් කරුණාකර දැනගන්න.

උන්වහන්සේගේ සදාකාලික බලාපොරොත්තුවේ පණිවිඩය කරදරකාරී ලෝකයක ජීවත් වන සියල්ලන්ටම සුවය ගෙනෙන ආලේපනයක්. යේසුස්වහන්සේ මෙසේ ඉගැන්වුවා, “මාර්ගයද, සත්‍යද, ජීවනයද මම වෙමි” (යොහාන් 14:6).

සහෝදර සහෝදරියනි, උන්වහන්සේව සෙවීමටත්, උන්වහන්සේට ප්‍රේම කිරීමටත්, සැමවිටම උන්වහන්සේව සිහිපත් කිරීමටත් අපි මතක තබාගමු.

දෙවියන්වහන්සේ ජීවමාන බවත්, උන්වහන්සේ අපට ප්‍රේම කරන බවත් මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් බව මම සාක්ෂි දරනවා. බලවත් සුවදායකයාණෝ උන්වහන්සේයි. මගේ මිදුම්කරුවාණන් ජීවත් වන බව මම දන්නවා! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. Russell M. Nelson, “Prepare for Blessings of the Temple,” Ensign, Mar. 2002, 21.