ප්‍රධාන සම්මන්ත්‍රණය
“තවද නුඹ මා තුළත්, මා නුඹ තුළත් වාසය කරන්නෙහිය; එමනිසා මා සමඟ ගමන් කරපන්න”
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


“තවද නුඹ මා තුළත්, මා නුඹ තුළත් වාසය කරන්නෙහිය; එමනිසා මා සමඟ ගමන් කරපන්න”

ඒවගේම, අප තුළ වාසය කරන බවට වූ ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දුව සත්‍යයි, ඒ වගේම එය නැවත පිහිටුවන ලද උන්වහන්සේගේ සභාවේ ගිවිසුම් රකින සෑම සාමාජිකයෙකුටම ලබා ගන්න පුළුවන්.

පුරාණ අනාගතවක්තෘ ඒනොක් විසින් පරණ ගිවිසුමෙහි විස්තර කර ඇති පරිදි දහම සහ ගිවිසුම් සහ අනගි මුතු ඇටය1 සයොනය පිහිටුවීමට මූලික වුණා.

සේවය කිරීමට ඒනොක්ගේ කැඳවීම පිළිබඳ ශුද්ධලියවිලිමය වාර්තාවේ මෙසේ කියවෙනවා: “තවද ඔහුට ස්වර්ගයෙන් හඬක් ඇසිණ, එය මෙසේ පැවසුවේය: ඒනොක්, මාගේ පුත්‍රය, මේ ජනතාව හට අනාවැකි කියමින්, තවද ඔවුන්ට—පසුතැවීමට කියව, … මක්නිසාද ඔවුන්ගේ හදවත් දැඩි වී ඇත්තේය, තවද ඔවුන්ගේ කන් ඇසීම දුර්වලය, තවද ඔවුන්ගේ ඇස්වලින් දුර බැලීමට නොහැකිය.”2

“තවද ඒනොක් මෙම වචන ඇසූ විට, ඔහු ස්වාමින්වහන්සේ ඉදිරියේ, තමාවම පොළොවට නැමී, තවද ස්වාමින්වහන්සේ ඉදිරියේ කතාකරමින්, මෙසේ කීවේය: මා ඔබවහන්සේ ඉදිරියේ අනුග්‍රහය ලබන්නේ මක්නිසාද, තවද මම ගැටවරයෙක් පමණි, තවද සියලුම ජනතාව මා එපා කරති; මක්නිසාද මා කතා කිරීමට දුර්වලයෙකි; එබැවින් මා ඔබේ සේවකයෙක්ද?”3

සේවය කිරීමට ඒනොක්ට ආරාධනා කරන අවස්ථාවේදී, ඔහුගේ පෞද්ගලික දුර්වලතා සහ සීමාවන් පිළිබඳව ඔහු දැඩි ලෙස දැන සිටි බව කරුණාවෙන් සලකන්න. අපගේ සභා සේවයේ යෙදී සිටින අප සියල්ලන්ටම එක් අවස්ථාවක හෝ තවත් අවස්ථාවක ඒනොක්ට සමාන බවක් දැනෙන්නට ඇතැයි මම හිතනවා. නමුත් ඒනොක්ගේ ආයාචනා ප්‍රශ්නයට ස්වාමින්වහන්සේගේ ප්‍රතිචාරය උපදේශාත්මක බවත් අද අප සෑම කෙනෙකුටම එය අදාළ වන බවත් මම විශ්වාස කරනවා.

“තවද ස්වාමින්වහන්සේ ඒනොක්ට මෙසේ කී සේක: ඉදිරියට ගොස් මා නුඹට ආඥා කළ ලෙස කරපන්න, තවද කිසිවෙක් නුඹට යමකින් අනින්නේ නැත. නුඹගේ මුඛය ඇරපන්න, තවද එය පුරවනු ලබන්නේය, තවද මම නුඹට කතා කළ යුතු දේ ලබාදෙන්නෙමි. …

“බලන්න මාගේ ආත්මය නුඹ මතය, එසේහෙයින් නුඹගේ සියලු වචන මම ස්ථිර කරන්නෙමි; තවද නුඹ ඉදිරියේ කඳු පලා යනු ඇත, තවද ගංගා වෙන මගක් ගනු ඇත; තවද නුඹ මා තුළත්, මා නුඹ තුළත් වාසය කරන්නෙහිය; එමනිසා මා සමඟ ගමන් කරපන්න.4

ඒනොක් අවසානයේ බලවත් අනාගතවක්තෘවරයෙකු වූ අතර ශ්‍රේෂ්ඨ කාර්යයක් ඉටු කිරීමට දෙවියන්වහන්සේගේ හස්තයෙහි ඇති මෙවලමක් බවට පත් වූ නමුත් ඔහු තම දේවසේවය ආරම්භ කළේ එසේ නොවේ! ඒ වෙනුවට, කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ හැකියාව තව තවත් තීව්‍ර වූයේ ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් සමඟ රැඳී සිටීමට සහ ඇවිදීමට ඉගෙන ගත් නිසයි.

ස්වාමින්වහන්සේ ඒනොක්ට දුන් උපදෙස් සහ අද ඔබට සහ මට එයින් අදහස් කළ හැකි දේ අපි එකට සලකා බලන විට මම ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය ඉල්ලා ඉතා ඕනෑකමින් යාච්ඤා කරනවා.

නුඹ මා තුළ වාසය කළ යුතු වන්නේය

ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සෑම කෙනෙකුටම උන්වහන්සේ තුළ වාසය කිරීමට ආරාධනා කරනවා.5 නමුත් අපි ඇත්තටම එසේ ඉගෙන ගෙන උන්වහන්සේ තුළ වාසය කරන්නේ කොහොමද?

වාසය කිරීම යන වචනයෙන් අදහස් කරන්නේ ස්ථිරව හෝ ස්ථාවරව සිටීම සහ යටත් නොවී විඳදරාගැනීමයි. වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් ක්‍රියාවක් ලෙස “වාසය කරනවා” යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියා පැහැදිලි කළා, “‘නැවතී සිටීමට—නමුත් සදහටම නැවතී සිටීමට.’ ලොව සිටින සියලු දෙනාටම ශුභාරංචියේ පණිවිඩය එයයි. එන්න, නමුත් රැඳී සිටීමට එන්න. විශ්වාසයෙන් සහ විඳදරාගැනීමෙන් එන්න. ඔබ උදෙසාත්, ඔබව අනුගමනය කරන සියලු පරම්පරාවන් උදෙසාත් ස්ථිරවම එන්න.”6 මේ අනුව, යහපත් සහ අයහපත් යන කාලවල් දෙකේදීම, ගැලවුම්කරුවාණන් තුළ සහ උන්වහන්සේගේ ශුද්ධ වූ අරමුණු කෙරෙහි අපගේ භක්තිය තුළ අපි ස්ථිරව සිටින නිසා අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ වාසය කරනවා.7

නැවත පිහිටුවන ලද ශුභාරංචියේ ගිවිසුම් සහ නියෝග හරහා උන්වහන්සේගේ වියගහ8 අප මතට ගැනීමට අපගේ ලෞකික තෝරාගැනීමේ නිදහස ක්‍රියාත්මක කිරීමෙන් අපි ස්වාමින්වහන්සේ තුළ වාසය කරන්නට පටන් ගන්නවා. අපට අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටි සහ ජීවමාන පුත්‍රයාණන් සමඟ ඇති ගිවිසුම් සම්බන්ධය යනු ඉදිරිදර්ශනයේ, බලාපොරොත්තුවේ, බලයේ, සාමයේ සහ කල්පවත්නා ප්‍රීතියේ උත්තරීතර මූලාශ්‍රයයි; එය අපගේ ජීවිත ගොඩනගා ගත යුතු ශක්තිමත්ම පදනමයි9.

පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ සමඟ අපගේ පුද්ගලික ගිවිසුම් බැඳීම ශක්තිමත් කිරීමට අපි අඛණ්ඩව උත්සාහ කිරීමෙන් අපි උන්වහන්සේ තුළ වාසය කරනවා. නිදසුනක් වශයෙන්, සදාකාලික පියාණන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ගේ නාමයෙන් අපි උන්වහන්සේට අවංකව යාච්ඤා කිරීම මගින් උන්වහන්සේලා සමඟ අපගේ ගිවිසුම් සම්බන්ධය ගැඹුරු කර ශක්තිමත් කරනවා.

ක්‍රිස්තුස්වහන්සේගේ වචන සැබවින්ම භුක්ති විඳීම තුළින් අපි උන්වහන්සේ තුළ වාසය කරනවා. ගැලවුම්කරුවාණන්ගේ දහම, ගිවිසුමේ දරුවන් ලෙස අපව උන්වහන්සේ වෙතට සමීප කරන10 අතර අප කළ යුතු සියල්ල එය අපට කියනවා.11

සක්‍රමේන්තු නියෝගයට සහභාගී වීමට උනන්දුවෙන් යුතුව සූදානම් වීමෙන්, අපගේ ගිවිසුම් පොරොන්දු සමාලෝචනය කිරීමෙන් සහ ආවර්ජනය කිරීමෙන් සහ අවංකව පසුතැවිලි වීම මගින් අපි උන්වහන්සේ තුළ වාසය කරනවා. සක්‍රමේන්තුවට සුදුසු ලෙස සහභාගී වීම, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මත ගැනීමට කැමැත්තෙන් සිටින බවත්, එම පූජනීය නියෝගයට සහභාගී වීමට අවශ්‍ය කෙටි කාලයෙන් පසු “සැමවිටම උන්වහන්සේව සිහි කිරීමට”12 උත්සාහ කරන බවටත්, අපි දෙවියන්වහන්සේට ලබාදෙන සාක්ෂියක්.

ඒවගේම අපි උන්වහන්සේගේ දරුවන්ට සේවය කරන විට සහ අපගේ සහෝදර සහෝදරියන්ට දේවසේවය කරන විට එමගින් දෙවියන්වහන්සේට සේවය කිරීමෙන් අපි උන්වහන්සේ තුළ වාසය කරනවා.13

ගැලවුම්කරුවාණන් මෙසේ කිව්වා, “මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම ඔබ සැමත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.”14

අපට ගැලවුම්කරුවාණන් තුළ රැඳී සිටිය හැකි බොහෝ ආකාරවලින් කිහිපයක් මම කෙටියෙන් විස්තර කර තිබෙනවා. ඒවගේම උන්වහන්සේගේ ගෝලයන් වශයෙන් ඉල්ලා සිටීමටත්, සෙවීමටත්, තට්ටු කිරීමටත්, අප කරන සෑම දෙයකදීම ක්‍රිස්තුස්වහන්සේව අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත් කළ හැකි වෙනත් අර්ථවත් ක්‍රම ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඉගෙන ගැනීමටත් මම දැන් අපි සෑම කෙනෙකුටම ආරාධනා කරනවා.

මා නුඹ තුළත්

ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ අනුගාමිකයන්ට දෙන පොරොන්දුව දෙයාකාරයි: අපි උන්වහන්සේ තුළ වාසය කරන්නේ නම්, උන්වහන්සේ අප තුළ වාසය කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම ක්‍රිස්තුස්වහන්සේට ඔබ සහ මා තුළ තනි තනිව සහ පෞද්ගලිකව රැඳී සිටින්න පුළුවන්ද? මෙම ප්‍රශ්නයට පිළිතුර තමයි, ඇත්තෙන්ම ඔව්!

ඔවුන්ගේ පීඩා නිසා නිහතමානී වීමට සලස්වා තිබූ දුප්පතුන්ට ඇල්මාගේ ඉගැන්වීම් සහ සාක්ෂි දැරීම් අපි මොර්මොන්ගේ පොතේ ඉගෙන ගන්නවා. ඔහුගේ උපදෙස් තුළ, ඔහු වචනය රෝපණය කළ යුතු හා පෝෂණය කළ යුතු බීජයකට සමාන කළ අතර, ඔහු “වචනය” විස්තර කළේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය, ධර්මදූතය සහ වන්දිගෙවීමටයි.

ඇල්මා මෙසේ කිව්වා, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ විශ්වාස කිරීමට පටන් ගන්න, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව මුදා ගැනීමට පැමිණෙන සේක, තවද එනම් ඔවුන්ගේ පාපයන් වෙනුවෙන් වන්දිගෙවීම සඳහා උන්වහන්සේ වේදනා විඳ මරණයට පත්වන සේක, එය මරණයෙන් නැවත නැගිටීම ගෙන එන්නේය, අවසාන සහ විනිශ්චය දවසේදී ඔවුන්ගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කරනු ලැබීමට සියලු මනුෂ්‍යයෝ උන්වහන්සේ ඉදිරියේ සිට ගන්නෝය.”15

ඇල්මා විසින් “වචනය” පිළිබඳ මෙම විස්තරය ලබා දීමෙන්, ඉන්පසු ඔහු හඳුනා ගන්නා ආශ්වාදජනක සම්බන්ධතාවය කරුණාකර සලකා බලන්න.

“තවද දැන් … නුඹලා මෙම වචන නුඹලාගේ හදවත් වල පැල කරනවාට මම ආශා වන්නෙමි, තවද එය වැඩි වීමට පටන් ගත් විට එසේම නුඹලාගේ ඇදහිල්ලෙන් පෝෂණය වන්නේය. තවද බලන්න, එය ගසක් බවට පත්වන්නේය, සදාකාල ජීවිතය වෙතට නුඹ තුළ පැන නගින්නේය. තවද එවිට එනම් නුඹගේ බර සැහැල්ලු වීමට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ප්‍රීතිය තුළින් අවසර දෙන සේක්වා. තවද මේ සියල්ල වුවත් කළ හැක්කේ, නුඹලා කැමති නම් පමණි.”16

අපගේ හදවත් තුළ රෝපණය කිරීමට අප උත්සාහ කළ යුතු බීජය තමයි ඒ වචනය—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය, ධර්මදූතය සහ දහම. ඒවගේම ඒ වචනය ඇදහිල්ලෙන් පෝෂණය වන විට එය සදාකාල ජීවනය දක්වා අප තුළ හටගන්නා ගසක් බවට පත්වෙන්න පුළුවන්.17

ලෙහිගේ දර්ශනයේ එම ගසේ සංකේතය කුමක්ද? මෙම ගස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නිරූපණයක් ලෙස සලකන්න පුළුවන්.18

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, එම වචනය අප තුළ තිබෙනවාද? ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචියේ සත්‍යයන් අපගේ හදවත් වල මාංසමය වගු වල ලියා තිබෙනවාද?19 අපි උන්වහන්සේ වෙතට පැමිණ ක්‍රම-ක්‍රමයෙන් උන්වහන්සේ හා සමාන වෙමින් සිටිනවාද? ක්‍රිස්තුස්වහන්සේගේ ගස අප තුළ වැඩෙනවාද? අපි උන්වහන්සේ තුළ “නව [ජීවින්]”20 වීමට උත්සාහ කරනවාද?21

සමහරවිට මෙම ආශ්චර්යමත් විභවය ඇල්මාව මෙසේ ඇසීමට පොළඹවන්නට ඇති: “නුඹලා ආත්මිකව දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින්නෙහු ද? නුඹලා උන්වහන්සේගේ ස්වරූපය නුඹලාගේ මුහුණේ ලබා ඇත්තෙහු ද? මෙම බලවත් වෙනස නුඹලා නුඹලාගේ හදවත් තුළ අත්දැක ඇත්තෙහු ද?”22

“තවද නුඹ මා තුළත්, මා නුඹ තුළත් වාසය කරන්නෙහිය” යන ස්වාමින්වහන්සේ ඒනොක්ට දුන් උපදෙස අප සැමවිටම මතක තබා ගත යුතුයි.23 ඒවගේම, අප තුළ වාසය කරන බවට වූ ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දුව සත්‍ය බවත්, එය නැවත පිහිටුවන ලද උන්වහන්සේගේ සභාවේ ගිවිසුම් රකින සෑම සාමාජිකයෙකුටම ලබා ගත හැකි බවත් මම සාක්ෂි දරනවා.

එමනිසා මා සමඟ ගමන් කරපන්න

ප්‍රේරිත පාවුල් ස්වාමින්වහන්සේව පිළිගත් ඇදහිලිවන්තයන්ට මෙසේ අවවාද කළා: “උන්වහන්සේ තුළ ගමන් කරපන්න.”24

ගැලවුම්කරුවාණන් තුළ සහ උන්වහන්සේ සමඟ ගමන් කිරීම අනුගාමිකත්වයේ වැදගත් පැති දෙකක් ඉස්මතු කරනවා: (1) දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වීම, සහ (2) අපව පියාණන්වහන්සේට සහ පුත්‍රයාණන්වහන්සේට සම්බන්ධ කරන පරිශුද්ධ ගිවිසුම් සිහි කිරීම සහ ඒවාට ගෞරව කිරීම.

යොහන් මෙසේ ප්‍රකාශ කළා:

“අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව.

“උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුළ නැත.

“නුමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද, ඔහු තුළ සැබෑවටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී තිබේ. අපි උන්වහන්සේ තුළ සිටින බව එයින් දනිමුව.

“උන්වහන්සේ තුළ පවතිමියි කියන තැනැත්තා විසින් උන්වහන්සේ හැසුරුණාක්මෙන් හැසිරිය යුතුය, උන්වහන්සේ ගමන් කළ ආකාරයටම ගමන් කළ යුතු වන්නේය.”25

“එන්න, මා අනුගමනය කරන්න”26 සහ “මා සමඟ ඇවිද යන්න”27 යනුවෙන් යේසුස්වහන්සේ අප සෑම කෙනෙකුටම ආරාධනා කරනවා.

අප ඇදහිල්ලෙන් ඉදිරියට යන විට සහ ස්වාමින්වහන්සේගේ ආත්මයේ28 නිහතමානිකම තුළ ගමන් කරන විට, අපට බලය, මගපෙන්වීම, ආරක්ෂාව සහ සාමයෙන් ආශිර්වාද ලැබෙන බව මම සාක්ෂි දරනවා.

සාක්ෂිය සහ පොරොන්දු

සියලුම ජීවමාන ප්‍රාණයන්ට ස්වාමින්වහන්සේ කරන ලද ආදරණීය ආයාචනයක් ඇල්මා මෙසේ විස්තර කරනවා:

“බලන්න, උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට ආරාධනාවක් යවන සේක, මක්නිසාද ඔවුන් දෙසට කරුණාවේ හස්තය දිගුව ඇත්තේය, තවද උන්වහන්සේ කියන සේක: පසුතැවිලි වන්න, තවද මම නුඹව බාරගන්නෙමි.

“… මා වෙතට එන්න, තවද නුඹලා ජීවනයේ ගසෙහි ඵල භුක්ති විඳින්නෙහුය; එසේය නුඹලා ජීවනයේ ආහාරද, ජීවනයේ ජලයද නොමිලේ කන්නාහුය, බොන්නාහුය.”29

ගැලවුම්කරුවාණන්ගේ ආයාචනයේ පරම විස්තීර්ණ බව මම අවධාරණය කරන්නම්. දැන් ජීවත් වන, මෙතෙක් ජීවත් වූ, සහ ඉදිරියට පොළොවේ ජීවත් වන සෑම පුද්ගලයෙකුටම උන්වහන්සේගේ කරුණාවෙන් හා දයාවෙන් ආශිර්වාද කිරීමට උන්වහන්සේ අපේක්ෂා කරනවා.

සමහර සභා සාමාජිකයන් විසින් මෙම දහම, මූලධර්ම, සහ මෙම සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දේශනා කූඩුව මත සහ ලෝකය වටා දේශීය සභාවන් තුළ නැවත නැවතත් ප්‍රකාශ කෙරෙන සාක්ෂි සත්‍ය බව පිළිගන්නවා—ඒත් තවමත් මෙම සදාකාලික සත්‍යයන් ඔවුන්ගේ ජීවිතවලට සහ ඔවුන්ගේ තත්වයන්ට විශේෂයෙන් අදාළ වන බව විශ්වාස කිරීමට අරගල කරන්න පුළුවන්. ඔවුන් අවංකව විශ්වාස කරන අතර වගකීමෙන් යුතුව සේවය කරනවා, නමුත් පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ මිදුම්කාර පුත්‍රයාණන්වහන්සේ සමඟ ඔවුන්ගේ ගිවිසුම් සම්බන්ධය තවමත් ඔවුන්ගේ ජීවිතවල ජීවමාන සහ වෙනස් කරවන යථාර්ථයක් බවට පත්ව නෑ.

ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්, මා විස්තර කිරීමට උත්සාහ කර ඇති ශුභාරංචි සත්‍යයන් ඔබ වෙනුවෙන් බව—තනි තනි වශයෙන් සහ පුද්ගලිකව ඔබ වෙනුවෙන් බව දැනගැනීමට සහ එලෙස දැනීමට හැකි වන බව මම පොරොන්දු වෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ප්‍රේමණීය සහ ජීවමාන ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බව මම ප්‍රීතියෙන් යුතුව සාක්ෂි දරනවා. අපි උන්වහන්සේ තුළ වාසය කරන්නේ නම්, උන්වහන්සේ අප තුළ වාසය කරයි.30 ඒවගේම අපි උන්වහන්සේ තුළ සහ උන්වහන්සේ සමඟ ගමන් කරන විට, බොහෝ ඵල ගෙන ඒමට අපට ආශිර්වාද ලැබෙයි. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න උත්පත්ති 5:18–24; දහම සහ ගිවිසුම් 107:48–57; මෝසෙස් 6–7.

  2. මෝසෙස් 6:27.

  3. මෝසෙස් 6:31.

  4. මෝසෙස් 6:32, 34; අවධාරණය කිරීම් සහිතයි.

  5. බලන්න යොහාන් 15:4–9.

  6. Jeffrey R. Holland, “Abide in Me,” Liahona, May 2004, 32.

  7. බලන්න යොහාන් 15:10.

  8. බලන්න මතෙව් 11:29–30.

  9. බලන්න හිලමන් 5.12.

  10. බලන්න 3 නෙපි 27:14–15.

  11. බලන්න 2 නෙපි 32:3.

  12. මොරෝනි 4:3; 5:2.

  13. බලන්න මොසායා 2:17.

  14. යොහාන් 15:10.

  15. ඇල්මා 33:22.

  16. ඇල්මා 33:23; අවධාරණය කිරීම් සහිතයි.

  17. බලන්න ඇල්මා 26:13.

  18. මම මෙම මූලධර්මය 2017 දී ආගමික දේශනයකදී පැහැදිලි කළෙමි:

    “අල්මා … ‘ඔවුන්ගේ සිනගෝගවලටත් ඔවුන්ගේ නිවෙස්වලටත් ඇතුළු වෙමින් සෙනඟට දෙවියන්වහන්සේගේ වචනය දේශනා කරන්න පටන්ගත්තේය. එසේය, ඔවුන් ඔවුන්ගේ වීදිවල පවා වචනය දේශනා කළෝය” (ඇල්මා 32: 1; අවධාරණය කිරීම් එකතු කර ඇත). ඔහු දෙවියන්වහන්සේගේ වචනය බීජයකට ද සමාන කළේය.

    “‘දැන්, නුඹ බීජයක් නුඹගේ හදවතෙහි පැල කිරීමට ස්ථානයක් දෙන්නේ නම්, බලන්න එය සත්‍ය බීජයන් හෝ යහපත් බීජයක් වන්නේ නම්, එය නුඹලාගේ අවිශ්වාසයෙන් පිටතට නොදමන්නේ නම්, නුඹ එසේ කරන්නේ නම් නුඹ ස්වාමින්වහන්සේගේ ආත්මයට විරුද්ධ වන්නෙහිය, බලන්න එය නුඹගේ පපුව තුළ වර්ධනය වන්නට පටන් ගන්නේය; තවද මෙම වර්ධනය වන චලනයන් නුඹට දැනෙන විට, නුඹ නුඹ තුළම මෙසේ කියාගන්නෙහිය—මෙය යහපත් බීජයක් විය යුතුම වන්නේය, හෝ එනම් වචනය යහපත් ය, මක්නිසාද එය මාගේ ප්‍රාණය විශාල කිරීමට පටන් ගන්නේය; එසේය, එය මාගේ තේරුම් ගැනීම ආලෝකමත් කිරීමට පටන් ගන්නේය, එසේය එය මා හට රසවත් වීමට පටන් ගන්නේය’ (ඇල්මා 32:28, අවධාරණය කිරීම් සහිතයි).

    “විශේෂිත දෙය නම්, යහපත් බීජයක් ගසක් බවට පත්වන්නේ එය හදවතේ රෝපණය කර වර්ධනය වීමට, පැළ වීමට සහ වැඩීමට පටන් ගැනීමෙන්.

    “‘තවද බලන්න, ගස වර්ධනය වීමට පටන් ගත් විටම, නුඹ කියනු ඇත්තෙහිය: එය අපි බලවත් සැලකිල්ලකින් පෝෂණය කරමු, එනම් එහි මුල් ඇදෙනු පිණිසය, එනම් එය වර්ධනය වෙමින් තවද අප හට ඵලයන් ගෙන ඒමටය. තවද දැන් බලන්න නුඹලා එය බලවත් සැලකිල්ලකින් පෝෂණය කරන්නේ නම් එය මුල් අදිනු ඇත, තවද වර්ධනය වෙමින්, තවද ඵලයන් පෙරට ගෙන එන්නේය.

    “‘එහෙත් නුඹ ගස නොසලකා හරින්නේ නම්, තවද එහි පෝෂණය සම්බන්ධව සිතන්නේ නොමැති නම්, බලන්න එහි කිසි මුලක් නොමැති වන්නේය; තවද හිරුගේ රෂ්මිය පැමිණි විට තවද එය දවාලන්නේය; එහි මුල් නොමැති නිසා වියළී යන්නේය, තවද නුඹ එය උගුල්ලා පිටතට දමන්නේය.

    “‘දැන්, මෙය බීජය අයහපත් නිසා නොවේ, නැතහොත් එහි ඵලය ප්‍රිය උපදවන්නේ නැති නිසා නොවේ; එහෙත් ඒ නුඹගේ පොළොව නිසරු නිසාය, තවද නුඹ ගස පෝෂණය නොකරන නිසාය, එසේහෙයින් නුඹට එහි වූ ඵලය ලබාගත නොහැකි වන්නේය.

    “‘තවද මෙසේ නුඹ වචනය පෝෂණය නොකර ඇදහිල්ලේ ඇසින් එහි වූ ඵල බලමින් නොසිටින්නේ නම් නුඹට කිසි දවසක ජීවනයේ ගසෙහි ඵල නෙලා ගැනීමට නොහැකි වන්නේය.

    “‘එහෙත් නුඹ වචනය පෝෂණය කරන්නේ නම්, එසේය, එය වර්ධනය වීමට ආරම්භ වූ විට ගස පෝෂණය කරන්නේ නම්, නුඹගේ ඇදහිල්ලෙන් සහ බලවත් උද්‍යෝගයෙන් තවද ඉවසිල්ල සමඟ එහි වූ ඵලය දෙස බලමින්, එය මුල් බැස ගන්නේය; තවද බලන්න, එය සදාකාලික ජීවනය වෙත පැන නගින්නාවූ ගසක් වන්නේය’ (ඇල්මා 32:37–41; අවධාරණය කිරීම් සහිතයි). …

    “ … ලෙහිගේ සිහිනයේ කේන්ද්‍රීය ලක්ෂණය වන්නේ ජීවන වෘක්ෂයයි—‘දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ’ නිරූපණය යි (1 නෙපි 11:21–22).

    “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමකෙනෙකුම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය’ (යොහාන් 3:16).

    “ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත, ජීවිතය සහ වන්දිගෙවීමේ පරිත්‍යාගය යනු දෙවියන්වහන්සේගේ දරුවන් කෙරෙහි දක්වන ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශනයයි. නෙපි සාක්ෂි දුන් පරිදි, මෙම ප්‍රේමය ‘සියලු දෙයට වඩා ආශා විය යුතුය’ සහ ‘ප්‍රාණයට බෙහෙවින් ප්‍රීතිදායකය’ (1 නෙපි 11:22–23; තවත් බලන්න 1 නෙපි 8:12, 15). 1 නෙපි 11 වෙනි පරිච්ඡේදයේ ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය, දේවසේවය සහ පරිත්‍යාගය සඳහා සංකේතයක් ලෙස ජීවන වෘක්ෂය—‘දෙවියන්වහන්සේගේ නිහතමානිත්වය’ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරයි (1 නෙපි 11:16). මෙම ගස ක්‍රිස්තුස්වහන්සේගේ නිරූපණයක් ලෙස සලකන්න පුළුවන්.

    “ගස මත ඇති ඵල ගැන සිතීමේ එක් ක්‍රමයක් නම් ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ ආශිර්වාද වල සංකේතයක් ලෙස සිතීමයි. මෙම ඵල විස්තර කර ඇත්තේ ‘යමෙකු සතුටු කළ හැකි’ [ නෙපි 8:10] ලෙස සහ ඉමහත් ප්‍රීතියක් සහ එම ප්‍රීතිය අන් අය සමඟ බෙදා ගැනීමට ඇති ආශාව ගෙන දෙන ඵලයක් ලෙසය.

    “සැලකිය යුතු කරුණක් නම්, ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස සැමට ආරාධනා කිරීම, (බලන්න මොරෝනි 10:32) යන මොර්මොන්ගේ පොතේ ප්‍රධාන තේමාව, ලෙහිගේ දර්ශනයේ ප්‍රමුඛ වේ (බලන්න 1 නෙපි 8:19)” (“The Power of His Word Which Is in Us” [address given at seminar for new mission leaders, June 27, 2017], 4–5).

  19. බලන්න 2 කොරින්ති 3:3.

  20. 2 කොරින්ති 5:17.

  21. ඇල්මාගේ විස්තර කිරීම අපට උගන්වන්නේ අපගේ හදවත් තුළ බීජ රෝපණය කරන බවට විශ්වාස කිරීමට ඇති ආශාව, ඇදහිල්ලේ බීජය පෝෂණය කරමින් ජීවන වෘක්ෂය පැළ කරන බවත්, ගස පෝෂණය කිරීමෙන් “මිහිරි සියල්ලට වඩා මිහිරි” ගසේ ඵල නිපදවන බවත්ය (ඇල්මා 32 :42) සහ “දෙවියන්වහන්සේගේ සියලු දීමනා අතරින් ශ්‍රේෂ්ඨතම දීමනාව” බවය (1 නෙපි 15:36).

  22. ඇල්මා 5:14.

  23. මෝසෙස් 6:34; අවධාරණය කිරීම් සහිතයි.

  24. කොලොස්සි 2:6.

  25. 1 යොහාන් 2:3–6; අවධාරණය කිරීම් සහිතයි.

  26. ලූක් 18:22.

  27. මෝසෙස් 6:34.

  28. බලන්න දහම සහ ගිවිසුම් 19:23.

  29. ඇල්මා 5:33–34; අවධාරණය කිරීම් සහිතයි.

  30. බලන්න යොහාන් 15:5.