ප්‍රධාන සම්මන්ත්‍රණය
සාමය ඇති කරන්නන් අවශ්‍යයි
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


සාමය ඇති කරන්නන් අවශ්‍යයි

විවාදය හෝ සමාදානවීම තෝරා ගැනීමට ඔබට ඔබේ තෝරාගැනීමේ නිදහස තිබෙනවා. දැන් සහ සෑම විටම සාමය ඇති කරන්නෙකු වීමට තෝරා ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ සමඟ සිටීම සතුටක්. මෙම පසුගිය මාස හය තුළ, ඔබ නිරතුරුවම මගේ මනසෙහි සහ මගේ යාච්ඤාවන් හි සිටියා. මම දැන් ඔබට කතා කරන විට ස්වාමින්වහන්සේ ඔබ අසනවාට කැමති වන දේ ශුද්ධාත්මයාණන් විසින් ඔබට සන්නිවේදනය කරනු ලැබේවා කියා මම යාච්ඤා කරනවා.

මීට වසර ගණනාවකට පෙර මගේ ශල්‍යකර්ම සීමාවාසික පුහුණුව අතරතුර, ඉතා ඉක්මනින් බෝවෙන සුළු අධික ලෙස ඇඟේ මස් දියවීමෙන් විනාශ වී ගිය කකුලක් කපා දැමූ ශල්‍ය වෛද්‍යවරයකුට මම උපකාර කළා. ඒ ශල්‍යකර්මය දුෂ්කර වුණා. එවිට, ආතතිය තවත් වැඩි කරමින්, කණ්ඩායමේ එක් අයෙකු දුර්වල කාර්යයක් ඉටු කළ අතර, ශල්‍ය වෛද්‍යවරයා කෝපයෙන් පුපුරා ගියා. ඔහුගේ කෝපය මැද, ඔහු විෂබීජවලින් පිරුණු ඔහුගේ තියුණු පිහිය විසි කළා. එය මගේ අත මත පතිත වුණා!

පාලනයෙන් තොර ශල්‍ය වෛද්‍යවරයා හැර—ශල්‍යාගාරයේ සිටි සියල්ලෝම—මෙම භයානක ශල්‍යකර්ම රීතිය කඩකිරීම නිසා භීතියට පත් වුණා. හොඳ වෙලාවට, මම ආසාදනයට ලක් වුණේ නෑ. නමුත් මෙම අත්දැකීම මා තුළ අමතක නොවන හැඟීමක් ඇති කළා. මගේ ශල්‍යාගාරයේ කුමක් සිදු වුවද, මගේ හැඟීම් කෙදිනකවත් පාලනයෙන් බැහැර කර නොගන්නා බවට ඒ පැයේදීම මම මටම පොරොන්දු වුණා. ඒ වගේම කවදාවත් කේන්තියෙන් කිසිම දෙයක්—එය තියුණු පිහියක් හෝ වචන හෝ වේවා විසි නොකරන බවට මම එදා පොරොන්දු වුණා.

දශක ගණනාවකට පසු දැන් පවා, මගේ අතේ පතිත වූ විශබීජ පිරුණු තියුණු පිහිය අපගේ සිවිල් සංවාදය සහ අද බොහෝ පෞද්ගලික සබඳතා ආසාදනය කරන විෂ සහිත මතභේදයට වඩා විෂ සහිත දැයි මම කල්පනා කරනවා. දෙකඩ වීම් සහ උද්‍යෝගිමත් එකඟ නොවීම් ඇති මෙම යුගයේ ආචාරශීලී බව සහ විනීත බව අතුරුදහන් වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

අසභ්‍ය කතා, වැරදි සෙවීම සහ අනෙක් අය ගැන නපුරු ලෙස කතා කිරීම සාමාන්‍ය දේවල් වී තිබෙනවා. බොහෝ පණ්ඩිතයන්, දේශපාලඥයන්, විනෝදාස්වාදය ලබාදෙන්නන් සහ වෙනත් බලපෑම් කරන්නන් නිරන්තරයෙන් අපහාස කරනවා. ඔවුන් සමඟ එකඟ නොවන ඕනෑම අයෙකුව හෙළා දැකීම, අපකීර්තියට පත්කිරීම සහ අපහාස කිරීම සම්පූර්ණයෙන්ම පිළිගත හැකි බව බොහෝ දෙනා විශ්වාස කරන නිසා මම බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටිනවා. ශෝකජනක හා තියුණු අදහස් වලින් තවත් කෙනෙකුගේ කීර්ති නාමයට හානි කිරීමට බොහෝ දෙනා උනන්දු වන බව පෙනෙනවා!

කෝපය කිසි විටෙකත් ඒත්තු ගන්වන්නේ නෑ. සතුරුකම කිසිවෙකුව ගොඩනගන්නේ නෑ. විවාදයන් කිසිවිටෙක ආනුභාව ලත් විසඳුම් කරා ගෙන යන්නේ නෑ. කණගාටුවට කරුණක් තමයි, අපි සමහර විට අපගේම තරාතිරම් තුළ පවා විවාදාත්මක හැසිරීම් දකිනවා. තම සහකරුවා සහ දරුවන් හෑල්ලූවට ලක් කරන අය ගැනත්, අන් අයව පාලනය කිරීමට කෝපය භාවිතා කරන අය ගැනත්, පවුලේ සාමාජිකයන්ට “නිහඬතාවයෙන්” දඬුවම් කරන අය ගැනත් අපට අසන්නට ලැබෙනවා. හිරිහැර කරන යෞවනයින් සහ ළමයින් ගැනත් එමෙන්ම තම සගයන් අපකීර්තියට පත් කරන සේවකයින් ගැනත් අපට අසන්නට ලැබෙනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙය නොවිය යුතුයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අපි අන් අය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳ උදාහරණාත්මක විය යුතුයි—විශේෂයෙන්ම අපට මතභේද ඇති විට අපි එසේ විය යුතුයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකු හඳුනා ගැනීමට ඇති පහසුම ක්‍රමයක් තමයි, එම පුද්ගලයා අනෙක් මිනිසුන්ට කෙතරම් දයානුකම්පිතව සලකනවාද කියා බැලීම.

ගැලවුම්කරුවාණන් විසින් අර්ධගෝල දෙකෙහිම අනුගාමිකයන්ට උන්වහන්සේගේ දේශනාවලදී මෙය පැහැදිලි කළා. “සාමය ඇති කරන්නෝ ආශීර්වාද ලද්දෝය” කියා උන්වහන්සේ පැවසුවා.1 “යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවාපන්න.”2 ඉන්පසුව, ඇත්ත වශයෙන්ම, උන්වහන්සේ අප සෑම කෙනෙකුටම අභියෝග කරන අවවාදයක් ලබා දුන්නා, “නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා, නුඹලාට ශාප කරන්නන් උදෙසා ආශිර්වාද කරපල්ලා, නුඹලාට වෛර කරන්නන් උදෙසා යහපත කරපල්ලා, නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරපල්ලා.”3

උන්වහන්සේගේ මරණයට පෙර, ගැලවුම්කරුවාණන් තම ප්‍රේරිතවරුන් දොළොස්දෙනාට ආඥා කළේ උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කළාක් මෙන් එකිනෙකාට ප්‍රේම කරන ලෙසයි.4 ඉන්පසු උන්වහන්සේ මෙසේත් එකතු කළා, “ඔබ සැම එකිනෙකාට ප්‍රේම කරනවා නම්, ඔබ සැම මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.”5

ගැලවුම්කරුවාණන්ගේ පණිවිඩය පැහැදිලියි: උන්වහන්සේගේ සැබෑ ගෝලයන් තත්වය කෙතරම් දුෂ්කර වුවත්—අනෙක් අයව ගොඩනගනවා, ඔසවනවා, දිරිගන්වනවා, ඒත්තු ගන්වනවා, සහ ප්‍රබෝධමත් කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් තමයි සාමය ඇති කරන්නන්.6

අද ගොක් ඉරිදා. ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ මරණයෙන් නැවත නැගිටීම වන මිහිපිට මෙතෙක් වාර්තා වී ඇති වඩාත් වැදගත්ම සහ අතිවිශිෂ්ටතම සිදුවීම සැමරීමට අපි සූදානම් වෙමින් සිටිනවා. අපට ගැලවුම්කරුවාණන්ට ගෞරව කළ හැකි හොඳම ක්‍රමයක් තමයි සාමය ඇති කරන්නෙකු වීම.7

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම මගින් වාද විවාද ඇතුළු—සියලු නපුර ජයගැනීමට අපට හැකියාව සලසා දී තිබෙනවා. ඒ ගැන වරද්ද ගන්න එපා: විවාදය නපුරුයි! “විවාදයේ ආත්මය” ඇති අය උන්වහන්සේ කෙරෙන් නොවන බවත්, “එහෙත් යක්ෂයාගෙන් [වන බවත්], ඔහු විවාදයේ පියා [බවත්], තවද ඔහු එකෙක් අනෙකා සමග කෝපයෙන් විවාද වීමට මනුෂ්‍යයන්ගේ හදවත් කළඹ[වන බවත්]” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළා.8 විවාදයන් ඇති කරන අය දැන හෝ නොදැන සාතන්ගේ නාට්‍යමය පොතෙන් පිටුවක් ලබා ගන්නවා. “කිසිම මිනිසෙකුට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට බැහැ.”9 අපගේ වාචික ප්‍රහාරවලින් සාතන්ට සහයෝගය දක්වමින්, ඉන්පසු අපට තවමත් දෙවියන්වහන්සේට සේවය කළ හැකි යැයි සිතන්නට බැහැ.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපි එකිනෙකාට සලකන ආකාරය ඇත්තෙන්ම වැදගත්! අපි නිවසේදී, සභාවේදී, රැකියාවේදී සහ අන්තර්ජාලයේදී අන් අය සමඟ සහ ඔවුන් ගැන කතා කරන්නේ කෙසේද යන්න ඇත්තෙන්ම වැදගත්. අද, මම අපෙන් ඉල්ලා සිටින්නේ අන් අය සමඟ උසස්, පරිශුද්ධ ආකාරයකින් කටයුතු කරන ලෙසයි. කරුණාකර හොඳින් සවන් දෙන්න. අපට වෙනත් පුද්ගලයෙකු ගැන පැවසිය හැකි “ගුණවත් වූද, ප්‍රේමනීය වූද, එමෙන්ම සම්භාවනීය වූ හෝ ප්‍රසංසාවට යෝග්‍ය වූ යමක් තිබේද”10—එය ඔහුගේ මුහුණට හෝ ඔහු නොමැති තැනක හෝ පැවසීම—අපගේ සන්නිවේදන ප්‍රමිතිය විය යුතුයි.

ඔබේ කොට්ඨාශයේ සිටින යුවළක් දික්කසාද වුවහොත් හෝ තරුණ ධර්මදූතවරයෙකු කලින් නිවසට පැමිණියහොත් හෝ යෞවනයෙකු ඔහුගේ සාක්ෂිය ගැන සැක කළහොත්, ඔවුන්ට ඔබේ විනිශ්චය අවශ්‍ය වෙන්නෙ නෑ. ඔවුන් අත්විඳිය යුත්තේ ඔබේ වචනවලින් සහ ක්‍රියාවෙන් පිළිබිඹු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමයයි.

සමාජ මාධ්‍යවල මිතුරෙකුට ඔබ විශ්වාස කරන සෑම දෙයක්ම කඩ කරන ප්‍රබල දේශපාලන හෝ සමාජීය අදහස් තිබේ නම්, ඔබ විසින් කෝපාවිෂ්ඨ, කැපුම් ප්‍රතිප්‍රහාරයක් ලබා දීමෙන් උදව්වක් වෙන්නෙ නෑ. අවබෝධයේ පාලම් ගොඩ නැගීම සඳහා ඔබෙන් බොහෝ දේ කළ යුතු වන නමුත් ඔබේ මිතුරාට අවශ්‍ය වන්නේ එයයි.

විවාද සෑම අවස්ථාවකදීම ආත්මයාණන්ව එලවා දමනවා. අභියෝගයට ලක් කිරීම විවිධත්වයන් නිරාකරණය කිරීමේ මාර්ගය බවට වූ ව්‍යාජ මතය විවාද මගින් ශක්තිමත් කරනවා, නමුත් එය කිසිදිනෙක එසේ වන්නේ නෑ. විවාදය යනු තේරීමක්. සාමය ඇති කිරීම යනු තේරීමක්. විවාදය හෝ සමාදානවීම තෝරා ගැනීමට ඔබට ඔබේ තෝරාගැනීමේ නිදහස තිබෙනවා. දැන් සහ සෑම විටම සාමය ඇති කරන්නෙකු වීමට තෝරා ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.11

සහෝදර සහෝදරියනි, එක් පුද්ගලයෙක් සහ එක් අන්තර්ක්‍රියාවක් බැගින්—අපට ලෝකය ඇත්තෙන්ම වෙනස් කරන්න පුළුවන්. ඒ කොහොමද? අන්‍යෝන්‍ය ගෞරවයෙන් සහ ගෞරවාන්විත සංවාදයකින් අවංක වෙනස්කම් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න ආදර්ශනය කිරීමෙන් එය කරන්න පුළුවන්.

වෙනස්කම් ජීවිතයේ කොටසක්. මම සෑම දිනකම වැඩ කරන්නේ යම් ප්‍රශ්නයක් සැමවිටම එකම ආකාරයකින් නොදකින ස්වාමින්වහන්සේගේ කැපවූ සේවකයන් සමඟ. අපි සාකච්ඡා කරන සෑම දෙයක් ගැනම—විශේෂයෙන් සංවේදී කාරණා ගැන ඔවුන්ගේ අදහස් සහ අවංක හැඟීම් මට ඇසීමට අවශ්‍ය බව ඔවුන් දන්නවා.

රූපය
සභාපති ඩැලන් එච්. ඕක්ස් සහ සභාපති හෙන්‍රි බී. අයිරින්

මගේ උතුම් උපදේශකයන් දෙදෙනා වන සභාපති ඩැලන් එච්. ඕක්ස් සහ සභාපති හෙන්‍රි බී. අයිරින්, ඔවුන් තම හැඟීම් ප්‍රකාශ කරන ආකාරයෙන් ආදර්ශවත්—විශේෂයෙන් ඔවුන්ගේ අදහස් වෙනස් වන විටදී පවා එය එහෙමයි. ඔවුන් එසේ කරන්නේ එකිනෙකා කෙරෙහි පිවිතුරු ආදරයෙන්. ඔහු හොඳින්ම දන්නා බවත් එබැවින් ඔහුගේ ස්ථාවරය දැඩි ලෙස ආරක්ෂා කළ යුතු බවත් ඒ එක්කෙනෙක්වත් යෝජනා කරන්නේ නෑ. අනෙකා සමඟ තරඟ කිරීමට අවශ්‍ය බවට වුවත් කිසිඳු සාක්ෂියක් නෑ. ඒ සෑම කෙනෙක්ම පිවිතුරු ප්‍රේමයෙන්, “ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමයෙන්”12 පිරී ඇති නිසා, අපගේ සාකච්ඡා ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් විසින් මෙහෙයවෙනවා. මම මේ උතුම් මිනිසුන් දෙදෙනාට කෙතරම් නම් ආදරය කරනවාද ගෞරව කරනවාද!

පිවිතුරු ප්‍රේමය යනු විවාදයේ විෂහරණයයි. ආත්මාර්ථකාමී, ආරක්‍ෂාකාරී, උඩඟු සහ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන ස්වභාවික මිනිසා බැහැර කිරීමට අපට උපකාර කරන අධ්‍යාත්මික ත්‍යාගය පිවිතුරු ප්‍රේමයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකුගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ පිවිතුරු ප්‍රේමයයි.13 පිවිතුරු ප්‍රේමය සාමය ඇති කරන්නෙකුව නිර්වචනය කරනවා.

අපි දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වී අපගේ මුළු හදවතින්ම යාච්ඤා කරන විට, දෙවියන්වහන්සේ අපට පිවිතුරු ප්‍රේමය ලබා දෙනවා.14

මෙම උතුම් දීමනාවෙන් ආශිර්වාද ලත් අය බොහෝ ඉවසිලිවන්තයි හා කරුණාවන්තයි. ඔවුන් අන් අයට ඊර්ෂ්‍යා නොකරන අතර ඔවුන්ගේ වැදගත්කම ගැනම සිතීමට හසු වී නෑ. ඔවුන් පහසුවෙන් කෝපයට පත් නොවන අතර අන් අය ගැන නරක ලෙස සිතන්නේ නෑ.15

සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමය යනු අද අපව රෝගී කරන විවාදයට පිළිතුරයි. එකිනෙකා මත බර ගොඩගැසීමට වඩා “එකිනෙකාගේ බර උසුලන්නට”16 පිවිතුරු ප්‍රේමය අපව පොලඹවනවා. ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමය අපට “සැමවිටම සහ සෑම දෙයකදීම—විශේෂයෙන්ම නොසන්සුන් අවස්ථාවන්හිදී පවා. දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස නැගී සිටීමට”17 ඉඩ සලසනවා. ක්‍රිස්තුස්වහන්සේගේ පුරුෂයන් සහ ස්ත්‍රීන් කථා කරන ආකාරය සහ ක්‍රියා කරන ආකාරය නිරූපණය කිරීමට—විශේෂයෙන් ගින්නක් යටතේ සිටින විට පවා. පිවිතුරු ප්‍රේමය අපට ඉඩ සලසනවා.

දැන් මම කතා කරන්නේ “ඕනෑම මිලක් යටතේ සාමය”18 ගැන නොවේ. මම කතා කරන්නේ ඔබ සක්‍රමේන්තුවට සහභාගී වන විට ඔබ කරන ගිවිසුමට අනුකූල වන ආකාරයට අන් අයට සැලකීම ගැනයි. ගැලවුම්කරුවාණන්ව නිතරම සිහි කිරීමට ඔබ ගිවිසුමක් ඇති කරගන්නවා. දැඩි ලෙස ආරෝපණය වී ඇති සහ විවාද වලින් පිරී ඇති අවස්ථාවන්හිදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේ කැමති දේ කීමට හෝ කිරීමට ධෛර්යය සහ ප්‍රඥාව ලබා ගැනීමට යාච්ඤා කරන්න. අපි සාමයේ කුමරුන්ව අනුගමනය කරන විට, අපි උන්වහන්සේගේ සාමය ඇති කරන්නන් බවට පත්වෙනවා.

මේ අවස්ථාවේ දී මෙම පණිවිඩය ඔබ දන්නා කෙනෙකුට සැබවින්ම උපකාරී වනු ඇති බව ඔබ සිතනවා ඇති. එය ඔහුට හෝ ඇයට ඔබට වඩාත් ප්‍රියමනාප වීමට උපකාර වෙයි කියා, සමහරවිට ඔබ බලාපොරොත්තු වෙනවා ඇති. එය එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා! නමුත් ඔබට සාමය ඇති කරන්නෙකු වීමට ඉඩ නොදෙන ආඩම්බරයේ හෝ ඊර්ෂ්‍යාවේ කැබලි තිබේදැයි බැලීමට ඔබ ඔබේ හදවත තුළ ගැඹුරින් සොයා බලනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙනවා.19

ඉශ්‍රායෙලය එක්රැස් කිරීමට සහ සදාකාලය පුරා පවතින සබඳතා ගොඩනැගීමට උපකාර කිරීම ගැන ඔබ බැරෑරුම්ව සිතනවා නම්, තිත්තකම පසෙකට දැමීමට දැන් කාලය පැමිණ තිබෙනවා. එය ඔබගේ මාර්ගය හෝ ඔබගේ මාර්ගය නොවන බව අවධාරණය කිරීම නැවැත්වීමට දැන් කාලය පැමිණ තිබෙනවා. ඔබ කලබල වේ යැයි බියෙන් අන් අයට ඉතා ප්‍රවේශමෙන් වැඩ කිරීමට පොළඹවන දේවල් කිරීම නතර කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා. ඔබේ යුධ අවි වළලන්නට දැන් කාලය පැමිණ තිබෙනවා.20 ඔබේ වාචික අවි ගබඩාව අපහාස හා චෝදනාවලින් පිරී තිබේ නම්, ඒවා ඉවත් කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා.21 ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ අධ්‍යාත්මිකව ශක්තිමත් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් ලෙස ඉදිරියට එයි.

අපේ මේ ගවේශණය සඳහා දේවමාළිගාවට උදව් කරන්න පුළුවන්. එහිදී අපට සියලු විවාද ඇති කරන්නා වන සාතන්ව පරාජය කිරීමට අපට හැකියාව ලබා දෙන, දෙවියන්වහන්සේගේ බලය සමඟ බලයෙන් සැරසෙන්න පුළුවන්.22 ඔහුව ඔබේ සබඳතාවලින් ඉවත් කරන්න! අප වරදවා වටහා ගැනීමක් සුව කරන සෑම අවස්ථාවකම හෝ අමනාප වීම ප්‍රතික්ෂේප කරන සෑම අවස්ථාවකම අපි විරුද්ධවාදියාට තරවටු කරන බව සිහියේ තබාගන්න. ඒ වෙනුවට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන්ගේ ලක්ෂණය වන මෘදු දයාව අපට පෙන්වන්න පුළුවන්. සාමය ඇති කරන්නන් විරුද්ධවාදියාව නිෂ්ප්‍රභා කරනවා.

සෙනඟක් වශයෙන් අපි කන්ද මත සැබෑ ආලෝකයක් බවට පත් වෙමු—“සැඟවිය නොහැකි”23 ආලෝකයක් බවට පත් වෙමු. සංකීර්ණ ප්‍රශ්න විසඳීමට සාමකාමී, ගෞරවනීය ක්‍රමයක් සහ එකඟ නොවීම් විසඳීමට ප්‍රබුද්ධ ක්‍රමයක් ඇති බව අපි පෙන්වා දෙමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයින් ප්‍රකාශ කරන පිවිතුරු ප්‍රේමය ඔබ විදහා දක්වන විට, ස්වාමින්වහන්සේ ඔබගේ උසස්ම පරිකල්පනයෙන් ඔබ්බට ඔබගේ උත්සාහයන් උත්කර්ෂයට නංවනවා.

ශුභාරංචි දැල යනු ලොව විශාලතම දැලයි. “කළු, සුදු, වහල්ලා හෝ නිදහස් තැනැත්තා, පිරිමි සහ ගැහැණු” යන සැමටම තමා වෙතට එන ලෙස දෙවියන්වහන්සේ ආරාධනා කර තිබෙනවා.24 එහි සෑම කෙනෙකුටම ඉඩ තිබෙනවා. කෙසේ වෙතත්, කිසිඳු ආකාරයක අගතියක්, හෙළා දැකීමක් හෝ මතභේදයකට එහි ඉඩක් නෑ.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අනෙක් අයව ගොඩනගමින් තම ජීවිතය ගත කරන අයට හොඳම දේ තවම පැමිණෙන්න තිබෙනවා. ඔබ අන්‍යයන්ට සලකන ආකාරය අනුව ඔබේ අනුගාමිකත්වය විමසා බලන ලෙස අද මම ඔබට ආරාධනා කරනවා. ඔබගේ හැසිරීම උතුම්, ගෞරවනීය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකුගේ නියෝජිතයෙකු වන පරිදි සැකසීමට අවශ්‍ය විය හැකි ඕනෑම ගැලපීමක් කිරීමට මම ඔබට ආශිර්වාද කරනවා.

කලහකාරී බව අයැදීම මගින්ද, සතුරුකම අවබෝධය මගින්ද, විවාදය සාමය මගින්ද ප්‍රතිස්ථාපනය කිරීමට මම ඔබට ආශිර්වාද කරනවා.

දෙවියන්වහන්සේ ජීවමානයි! යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයි. උන්වහන්සේ මෙම සභාවේ ප්‍රධානියා ලෙස පෙනී සිටිනවා. අපි උන්වහන්සේගේ සේවකයින්. උන්වහන්සේගේ සාමය ඇති කරන්නන් වීමට උන්වහන්සේ අපට උපකාර කරයි. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.