2010–2019
ගැලවුම්කරුවාණන්ගේ සැබෑ අනුගාමිකයන්
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ගැලවුම්කරුවාණන්ගේ සැබෑ අනුගාමිකයන්

අපගේ ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ සුභාරංචිය අපගේ ජීවිත ගොඩනගා ගැනීමේ රාමුව බවට පත්වන විට අපට නොනැවසී පවතින ප්‍රීතියක් දැනෙන්නට පුළුවන්.

පැරණි ගිවිසුමේ හග්ගයි පොතේ තරමක් සැඟවී ඇත්තේ වැඩිහිටි හොලන්ඩ්ගේ උපදෙස් භාවිතා කළ හැකිවන්නට තිබූ පිරිසකගේ විස්තරයකි. ක්‍රිස්තුස්වහන්සේව ඔවුන්ගේ ජීවිතයේ, සහ ඔවුන්ගේ සේවයේ කේන්ද්‍රස්ථානයට නොතැබීමෙන් ඔවුන් වරදවාගෙන ඇත. ස්වාමින්වහන්සේගේ දේවමාළිගාව ගොඩනගනවා වෙනුවට ඔවුන්ගේ සුවපහසු නිවෙස්වල රැඳී සිටීම ගැන හග්ගයි මිනිසුන්ට තරවටු කරන විට සිතුවිලි උපදවන වචන පින්තූර පින්තාරු කරයි:

“මේ ගෘහය පාළුව තිබෙද්දීම ඇතුළත ලෑලිවලින් වසා තිබෙන ඔබ සැමගේ ගෙවල් වල වාසය කිරීමට ඔබ සැමට මෙය නිසි කාලයද?

“එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ මාර්ග සිතට ගන්න.

“ඔබ සැම බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; ඔබ සැම කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය.

“එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ මාර්ග සිතට ගන්න.”1

දෙවියන්වහන්සේගේ දේවලට වඩා සදාකාලික විපාකයක් නොමැති දේවලට ප්‍රමුඛතාවය දීමේ නිෂ්ඵලභාවය පිළිබඳ එම විස්තරයට ඔබ ආදරය කරන්නේ නැද්ද?

මෑතකදී මම සහභාගී වුණු පූජනීය රැස්වීමකදී ආපසු පැමිණි ධර්මදූතවරයෙක් තම දරුවන්ට මෙම අදහස මනාව සාරාංශ කළ පියෙක් උපුටා දක්වමින් මෙසේ කිව්වා, “අපට මෙහි අවශ්‍ය වන්නේ අඩු Wi-Fi හා වැඩියෙන් නෙපි ය!”

බටහිර අප්‍රිකාවේ අවුරුදු පහක් ජීවත් වූ මම, ස්වාභාවිකවම හා ලජ්ජාවෙන් තොරව සුභාරංචියට ප්‍රමුඛත්වය දුන් අයගේ උදාහරණ ඕනෑ තරම් දුටුවා. එවැනි එක් උදාහරණයක් වන්නේ ගානාවේ ටයර් අළුත්වැඩියා සහ රෝද තුලනය කිරීමේ ව්‍යාපාරයක නමයි. අයිතිකරු එය “ඔබේ අභිමත පෙළගැස්ම” ලෙස නම් කර තිබුණා.

අපගේ ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ සුභාරංචිය අපගේ ජීවිත ගොඩනගාගැනීමේ රාමුව බවට පත්වන විට අපට නොනැවසී පවතින ප්‍රීතියක්2 දැනෙන්නට පුළුවන්. කෙසේවෙතත්, එම රාමුව වෙනුවට, ලෝකයේ දේවල් බවට පත්වීම, සුභාරංචිය විකල්ප අතිරේකයක් ලෙස හෝ ඉරිදා දිනවල පැය දෙකක් සභාවට පැමිණීම වැනි දේවල් බවට පත්වීම පහසුයි. මෙය එසේ වූ විට, අපගේ වැටුප් “සිදුරු සහිත බෑගයකට” දැමීම හා සමාන වෙනවා.

හග්ගයි අපට කියන්නේ කැපවීමෙන්, ඕස්ට්‍රේලියාවේ අප පවසන පරිදි, සුභාරංචිය ජීවත්වීම පිළිබඳව “සාධාරණ සත්‍යවන්තයෙකු” වීමටයි. මිනිසුන් තමන් කියන දේ ලෙස ඉන්නා විට ඔවුන් සාධාරණ සත්‍යවන්තයන් වෙනවා.

රග්බි ක්‍රීඩා කිරීමෙන් සාධාරණ සත්‍යවන්තයෙකු වීම සහ මගේ කැපවීම ලබාදීම ගැන මම ටිකක් ඉගෙනගත්තා. මම අමාරුවෙන්ම ක්‍රීඩා කරන විට, මගේ සියල්ල ලබාදුන් විට, මගේ ක්‍රීඩාවේ සතුට වැඩි වන බව මම ඉගෙනගත්තා.

රූපය
වැඩිහිටි වින්සන් ඔහුගේ රග්බි කණ්ඩායමත් සමග

මගේ ප්‍රියතම රග්බි වර්ෂය උසස් පාසලෙන් පසු වසරයි. මා සාමාජිකයෙකු වූ කණ්ඩායම දක්ෂ හා කැපවූ අය වුණා. අපි තමයි ඒ අවුරුද්දේ ශූර කණ්ඩායම. කෙසේවෙතත්, දවසක් අපිට පහත් මට්ටමේ කණ්ඩායමක් සමග ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර, ක්‍රීඩාවෙන් පසුව අප සියලු දෙනාටම විශාල, වාර්ෂික විද්‍යාලීය නැටුමට සහභාගී වෙන්නට දිනයන් තිබුණා. මෙය පහසු ක්‍රීඩාවක් වෙන නිසා, තුවාල වලින් මාව ආරක්ෂා කරගන්නට උත්සාහ කළ යුතු බවත් එවිට මට නර්තනය සම්පූර්ණයෙන්ම රස විඳිය හැකි බවත් මම හිතුවා. ඒ ක්‍රීඩාවේදී, අපි වෙනදා තරම් දැඩි සම්බන්ධතා වලදී කැපවී නොසිටි අතර අපි පරාද වුණා. තත්වය වඩාත් නරක අතට හරවමින්, මම තරඟය අවසන් කළේ ඉතා ඉදිමුණු, මහත තොල්වලින් වන අතර එය මගේ විශාල දිනය සඳහා මගේ පෙනුම වැඩි දියුණු කළේ නෑ. සමහරවිට මට යමක් ඉගෙනගන්නට අවශ්‍ය වෙන්නට තියෙන්නට ඇති.

මම සම්පූර්ණයෙන්ම කැපවී ක්‍රීඩා කළ පසුකාලීන ක්‍රීඩාවකදී ඊට වඩා වෙනස් අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවුණා. එක් අවස්ථාවක මම සම්බන්ධතාවයකට සැබෑ අභිප්‍රාය ඇතිව දිව ගියා; ඒ වෙලේම මගේ මුහුණේ යම් වේදනාවක් මට දැණුනා. මම වේදනාවෙන් සිටිනවා යැයි විපක්ෂයට කිසිවිටෙකත් ඉඩහැරිය නොයුතු බව මගේ පියා විසින් උගන්වා ඇති හෙයින් මම දිගටම ක්‍රීඩාව ක්‍රීඩා කළා. එදින රාත්‍රියේ, කෑමට උත්සාහ කරන අතරතුර, මට කෑමට නොහැකි බව මට පෙනීගියා. ඊළඟ දවසේ උදේ මම රෝහලට ගියා, එහිදී එක්ස් කිරණ මගින් මගේ හක්ක කැඩී ඇති බව තහවුරු වුණා. ඊළඟ සති හය පුරාම මගේ මුඛය රැහැන් වලින් වසා තැබුණා.

ඉදිමුණු තොල් සහ කැඩුණු හකු පිළිබඳ මෙම උපමාවෙන් පාඩම් ඉගෙනගත්තා. සති හයක් තුළ ඝන ආහාර සඳහා සෑහීමකට පත් නොවූ තෘෂ්ණාවන් පිළිබඳ මගේ මතකයන් තිබියදීත්, මට දියර පමණක් පානය කළ හැකි වුවත්, මගේ කැඩුණු හකු ගැන මට කිසිදු කණගාටුවක් දැනුනේ නැත්තේ මට හැකි සියළු දේ කිරීමෙන් එය සිදුවුණු නිසායි. නමුත් ඉදිමුණු තොල් ගැන මට කණගාටුවක් තිබුණා, මොකද එය සංකේතවත් කළේ මා පසුපසට යාමයි.

අපේ සියල්ල ලබාදීම යන්නෙන් අදහස් කරන්නේ අප නොකඩවා ආශිර්වාද ලබා ඇති බව හෝ සැමවිටම සාර්ථක වනු ඇති බව නොවෙයි. නමුත් එයින් අදහස් කරන්නේ අපට ප්‍රීතිය ලැබෙන බවයි. ප්‍රීතිය යනු නොවරදින සතුටක් හෝ තාවකාලික සතුටක් නොවේ. ප්‍රීතිය නොනැසී පවතින අතර, එය පදනම්වී ඇත්තේ අපගේ උත්සාහයන් ස්වාමින්වහන්සේ විසින් පිළිගැනීම මතය.3

එවැනි පිළිගැනීමකට උදාහරණයක් වන්නේ ඔලිවර් ග්‍රෙන්ජර්ගේ කතාවයි. සභාපති බොයිඩ් කේ. පැකර් ප්‍රකාශ කළ ආකාර්යට: “සාන්තුවරයන් කර්ට්ලන්ඩ් සිට පලවා හරින විට… ඔලිවර්ට තම දේපළ විකුණා දැමීමට හැකි වූයේ සුළු මුදලකටයි. ඔහුට සාර්ථක වීමට වැඩි අවස්ථාවක් තිබුණේ නෑ. ඒ වගේම, ඇත්තෙන්ම ඔහු සාර්ථක වුණේ නැහැ!”4 පළමු සභාපතිත්වය විසින් ඔහුට පැවරී තිබුණේ දුෂ්කර හා කළ නොහැකි කාර්යයක් කිරීමටයි. නමුත් මෙම වචන වලින් ඔහු දැරූ අසාර්ථක උත්සාහයන් ගැන ස්වාමින්වහන්සේ ඔහුට ප්‍රශංසා කළ සේක:

“මගේ සේවක ඔලිවර් ග්‍රෙන්ජර් මට මතකයි; ස්වාමින්වහන්සේ ඔහුට මෙසේ කී සේක: නියත වශයෙන්ම ඔහුගේ නාමය පරම්පරාවෙන් පරම්පරාවට පරිශුද්ධව මතකයේ රැඳෙනු ඇත.

“එබැවින්, මාගේ සභාවේ පළමු සභාපතිත්වය මුදවා ගැනීම සඳහා ඔහු ඉතා ඕනෑකමින් සටන් කිරීමට ඉඩදෙන්න. ඔහු වැටෙන විට ඔහු නැවත නැඟිටින්නේය. මක්නිසාද ඔහුගේ පරිත්‍යාගය ඔහුගේ වැඩිවීමට වඩා මට පරිශුද්ධ වනු ඇත” කියා ස්වාමින්වහන්සේ කී සේක”5

එය අප සියල්ලන්ටම සත්‍ය විය හැකිය - එය අපගේ සාර්ථකත්වයන් නොව, නමුත් අපගේ පරිත්‍යාගය සහ උත්සාහය ස්වාමින්වහන්සේට වැදගත් වේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙකුගේ තවත් උදාහරණයක් වන්නේ බටහිර අප්‍රිකාවේ කෝට් ඩ’අයිවෝරියේ සිටින අපගේ හිතවත් මිතුරෙක් පිළිබඳවයි. මෙම අපූරු, විශ්වාසවන්ත සහෝදරිය අඛණ්ඩ කාලපරිච්ඡේදයක් තුළ තම ස්වාමිපුරුෂයාගෙන් දරුණු චිත්තවේගීය හා ශාරීරික හිංසනයකට ලක්වූ අතර අවසානයේදී ඔවුන් දික්කසාද වුණා. ඇය කිසිවිටෙකත් ඇගේ ඇදහිල්ල හා යහපත්කම ගැන නොසැලකිලිමත් නොවූ නමුත් ඔහු ඇයට දැක්වූ කුරිරුකම නිසා ඇය දිගු කලක් තිස්සේ දැඩි වේදනාවට පත්වුණා. සිදුවූ දේ ඇගේම වචන වලින් ඇය විස්තර කළා:

“මම ඔහුට සමාව දුන් බව කිව්වත්, මම නිතරම නිදාගත්තේ තුවාලයකින්; ඒ තුවාලයත් එක්ක මම මගේ දවස් ගතකළා. එය මගේ හදවතේ පිළිස්සීමක් මෙන් වුණා. එය මගෙන් ඉවතට ගන්නා ලෙස මම බොහෝ විට ස්වාමින්වහන්සේට යාච්ඥා කළ නමුත් එය කොතරම් නරකද කියනවා නම් මම මගේ ජීවිතයේ ඉතිරි කාලය ඒ සමග ගතකිරීමට යන බව මම තරයේ විශ්වාස කළා. තරුණ වියේදී මගේ මව අහිමි වූවාට වඩා එය රිදුම් දුන්නා; මට මගේ තාත්තාව සහ පුතා පවා අහිමි වූවාට වඩා එය රිදුම් දුන්නා. එය මගේ හදවත පුළුල් කර ආවරණය කරන බවක් පෙනෙන්නට තිබූ අතර, ඕනෑම වේලාවක මා මියයනු ඇතැයි යන හැඟීම මට ලබාදුන්නා.

“තවත් අවස්ථාවක ගැළවුම්කාරයාණන් මගේ තත්වය තුළ කුමක් කරනු ඇත්දැයි මම මගෙන්ම විමසා සිටියා, ‘ස්වාමීනි, මට මෙය ඕනෑවට වඩා වැඩියි.’

“එක දවසක් උදේ මම මගේ හදවතේ මේ හැම වේදනාවක්ම දැනගෙන, මගේ ආත්මයේ එය සොයාගෙන ගැඹුරටම ගියා. එය කොතැනකවත් සොයාගත නොහැකි වුණා. මට වේදනාවක් දැනීමට ඇති සියලු හේතු සමාලෝචනය කිරීමට මගේ මනස ඉක්මනින්ම සමත් වූ නමුත් මට වේදනාව දැනුනේ නෑ. මගේ හදවතේ වේදනාව දැනේවිදැයි බැලීමට මම මුළු දවසම බලා සිටියා; මට එය දැනුනේ නෑ. ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය මා වෙනුවෙන් වැඩ කිරීම ගැන මම දණගසා දෙවියන්වහන්සේට ස්තූති කළා.”6

මෙම සහෝදරිය දැන් ඇයට ගැඹුරින් ආදරය කරන අපූරු, විශ්වාසවන්ත මිනිසෙකුට සතුටින් මුද්‍රා වී ඇත.

ඉතින් අපි ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් නම් අපගේ ආකල්පය කුමක් විය යුතුද? හග්ගයි යෝජනා කළ පරිදි “[අපගේ] මාර්ග සලකා බලන විට” අපට ලැබිය යුතු සුභාරංචිය කුමක්ද?

ලැමෝනි රජුගේ පියා පෙන්වූ නිවැරදි ආකල්පයේ ආදර්ශයට මම කැමතියි. තම පුතා ලාමන්වරුන් විසින් වෛර කරන - නෙපිවරයෙකු වන ඇමොන් සමග සිටිනු දැකීම ගැන ඔහු මුලින් වූ කෝපය ඔබට මතක ඇති. ඔහු ඇමොන් සමග පොරබැදීමට කඩුව ඇදගත් අතර එසැනින්ම ඇමොන්ගේ කඩුව ඔහුගේ උගුරෙ මත ඇතිබව දැනගත්තා. “දැන් රජු ඔහු තම ජීවිතය නැති කරතියි බියවී මෙසේ කීවේය: නුඹ මාව ගලවන්නේ නම් නුඹ ඉල්ලන්නාවූ කවරදෙයක් වුවත් රාජධානියෙන් භාගයක් වුවත් මම නුඹට දෙන්නෙමි.”7

ඔහුගේ පිරිනැමීම සැලකිල්ලට ගන්න - ඔහුගේ ජීවිතය වෙනුවන් ඔහුගේ රාජධානියෙන් අඩක්.

නමුත් පසුව, සුභාරංචිය තේරුම්ගැනීමෙන් පසු ඔහු තවත් යෝජනාවක් කළා. “රජු කීවේය: එනම් නුඹ විසින් කථා කළ මෙම සදාතන ජීවනය ලබාගැනීමට මම කුමක් කළ යුතුද? එසේය මම දෙවියන්වහන්සේගෙන් ඉපදීමටද, මෙම නපුරු ආත්මයමාගේ හදවතෙන් උදුරා දැමීමට, තවද උන්වහන්සේගේ ආත්මය ලබාගැනීමට එනම් මම ප්‍රීතියෙන් පූර්ණ වීමටද, එනම් අන්තිම දවසේදී මා ඉවතට නොදැමීමට මම කුමක් කළ යුතුද? බලන්න ඔහු කීවේය, මම මට අයත් සියළු දේ දෙන්නෙමි, එසේය, එනම් මම මෙම බලවත් ප්‍රීතිය ලබාගන්නා පිණිස මම මාගේ රාජධානිය අත්හරින්නෙමි.”8

මේ වතාවේ, ඔහු සිය මුළු රාජ්‍යයම අත්හැරීමට සූදානම්ව සිටියේ, ඔහු සතුව තිබූ සියල්ලටම වඩා සුභාරංචිය වටින බැවිනි! ඔහු සුභාරංචිය ගැන සාධාරණ සත්‍යවන්තයෙකු වුණා.

ඉතින්, අප එක් එක්කෙනාගේ ප්‍රශ්නය නම්: අපිත් සුභාරංචිය ගැන සාධාරණද සත්‍යවන්තයෝද? මොකද අර්ධ සිතකින් සිටීම සාධාරණ සත්‍යවන්තයෙකු වීම නොවේ! ඇල්මැරුණු අයට ප්‍රශංසා කිරීම සඳහා දෙවියන්වහන්සේ ප්‍රසිද්ධ නැත.9

නිධානයක්, විනෝදාංශයක්, තත්වයක්, සමාජ මාධ්‍යයක්, වීඩියෝ ක්‍රීඩාවක්, ඕනෑම ක්‍රීඩාවක්, ප්‍රසිද්ධ පුද්ගලයකු සමග ඇසුරක් යන දේවල් වැනි සදාකාල ජීවනයට වඩා වටිනා දෙයක් මිහිපිට නැත. එබැවින් සෑම පුද්ගලයෙකුටම ස්වාමින්වහන්සේගේ උපදෙස නම් “ඔබේ මාර්ග සලකාබලන්න” යන්නයි.

මගේ හැඟීම් නෙපිගේ වචනවලින් වඩාත් හොඳින් ප්‍රකාශ වෙනවා: “මම පැහැදිලි බවෙහි මහිමවෙමි; මම සත්‍යයෙහි මහිමවෙමි; මම මගේ යේසුස් වහන්සේ කෙරෙහි මහිම වෙමි, මක්නිසාදයත් උන්වහන්සේ මාගේ ප්‍රාණය නිරයෙන් මුදවාගෙන ඇති සේක.”10

උන්වහන්සේගේ සියල්ල අප උදෙසා දුන් උන්වහන්සේගේ අපි සැබෑ අනුගාමිකයන්ද? අපගේ මිදුම්කරුවාණන් සහ පියාණන් සමග අපගේ උපදේශකයා කවුද? උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයෙහි පරම කැපවීමෙන් කටයුතු කර දැන් උන්වහන්සේගේ ප්‍රේමය, දයාව හා සදාකාලික ප්‍රීතිය අපට ලබාගැනීමට උන්වහන්සේ තුළ ඇති ආශාව නිසාද? මෙම වචන අසන සහ කියවන සියල්ලන්ගෙන් මම ආයාචනා කරන්නේ: කරුණාකර, කරුණාකර ඔබ නොපවතින, අනාගත වේලාවක ඒ වෙත ළඟා වන තුරු ඔබේ සම්පූර්ණ කැපවීම කල් නොදමන්න. දැන්ම සාධාරණ සත්‍යවන්තයෙකු වී එම ප්‍රීතිය දැනෙන්න! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.