2010–2019
සතුරා ජයගැනීම සඳහා බලය
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සතුරා ජයගැනීම සඳහා බලය

සාමය අප සොයාගන්නේ කෙසේද, අප කවුරුන්දැයි මතකතබාගැනීම සහ සතුරාගේ එම ක්‍රියාවන් තුන ජයගන්නේ කෙසේද?

සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් බවට පත්වීමටත්, ශුද්ධ දේවමාලිගාවේ ආශිර්වාද භුක්ති විඳීමටත් ඔබ අන් සියල්ලන්ටම උදව් කිරීම සහ අන් අයට උපකාර කිරීම වෙනුවෙන් ස්තූතියි. ඔබගේ යහපත් කමට ස්තූතියි. ඔබ පුදුම සහගතයි; ඔබ අලංකාරයි.

අපි දෙවියන්වහන්සේගේ දරුවන් බව ශුද්ධාත්මයාණන්ගේ ස්ථිරසාර බලපෑම තුලින් සම්පූර්ණයෙන් අපිට වටහාගැනීමට හැකිවීම මගේ යාච්ඤාවයි. “පවුල: ලෝකය සඳහා ප්‍රකාශය” මෙලෙස ආරම්භ වෙනවා: “සියලුම මනුශ්‍ය සංහතිය - පිරිමි සහ කාන්තාවන් - දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇත. හැමකෙනාම දේව දෙමව්පියන්ගේ ආදරණීය ආත්මික පුත්‍රයන් සහ දූවරුන් වන අතර, ඒ සෑම කෙනෙක්ටම දිව්‍යමය ස්වභාවයක් සහ දෛවයක් ඇත.”1 අපි “මෙම ශ්‍රේෂ්ට පසුදවස් වල කාර්ය සඳහා අත්තිවාරමෙහි කොටසක් වීම සඳහා සම්පූර්ණ වූ කාලය තුල ඉදිරියට ඒමට තෝරාගත් ආත්මයන්ය.”2 සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා: “මේ අන්තිම දවස්වල ඔබට හමුවන ඕනෑම දෙයකට සහ සියල්ල සඳහා ඔබව සූදානම් කිරීමට ආත්මික ලෝකයේ ඔබට උගන්වා ඇත (බලන්නද&ගි 138:56). එම ඉගැන්වීම ඔබ තුළම පවතී!”3

ඔබ දෙවියන්වහන්සේගේ තෝරාගත් දූ පුතුන්ය. සතුරා ජය ගැනීමට ඔබට බලය ඇත. කෙසේවෙතත්, සතුරා ඔබ කවුදැයි දැන සිටියි. ඔහු ඔබේ දිව්‍යමය උරුමය ගැන දන්නා අතර පහත සඳහන් ක්‍රියාවන් තුන භාවිතා කරමින් ඔබගේ භූමික හා ස්වර්ගීය හැකියාව සීමාකිරීමට උත්සාහ කරයි:

  • රැවටීම

  • බාධා කිරීම

  • අධෛර්යය කිරීම

රැවටීම

සතුරා රැවටීමේ මෙවලම මෝසෙස්ගේ කාලයේදී භාවිතා කළේය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට ප්‍රකාශ කළා:

“තවද බලන්න, මාගේ පුත්‍රය. …

මට ඔබ වෙනුවෙන් කාර්යයක් තිබේ, එමෙන්ම ඔබ මාගේ ඒකජාතක පුත්‍රයාණන්ට සමානය. ”4

මෙම තේජාන්විත දර්ශනයෙන් ටික කලකට පසු සාතන් මෝසෙස්ව රවටාගැනීමට උත්සාහ කළා. ඔහු භාවිතා කළ වචන සිත්ගන්නා සුළුයි: “මනුෂ්‍ය පුත්‍රයා වන මෝසෙස් මට නමස්කාර කරන්න.”5 රැවටීම සාතන්ට නමස්කාර කිරීමේ ආරාධනයෙන් පමණක් නොවේ, මෝසෙස් මනුෂ්‍ය පුත්‍රයෙකු ලෙස ඔහු විස්තර කළ ආකාරයටද රැවටීම සිදුවුණා. මතකද, ස්වාමින්වහන්සේ මෝසෙස්ට පැවසුවේ ඔහු ඒකජාතක පුත්‍රයාණන්ට සමානතාවයෙන් නිර්මාණය කරන ලද දෙවියන්වහන්සේගේ පුත්‍රයෙකු බවය.

මෝසෙස්ව රැවටීමට ගත් උත්සාහයේදී විරුද්ධවාදියා නියත වුණා, නමුත් මෝසෙස් ඊට විරුද්ධ වුණා: “සාතන්, මා වෙතින් ඉවත්වන්න. මක්නිසාද මේ එකම දෙවි කෙනෙකුට පමණක් මම නමස්කාර කරන්නෙමි. ඒ මහිමයේ දෙවියන්වහන්සේය.”6 තමා දෙවියන්වහන්සේගේ පුත්‍රයෙකු බව මෝසෙස්ගේ මතකයේ තිබුණා.

ස්වාමින්වහන්සේ මෝසෙස්ට පැවසූ වචන ඔබටත් මටත් අදාළයි. අපව මවා ඇත්තේ දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් වන අතර, අපට කිරීමට උන්වහන්සේට වැඩක් ඇත. අපි සැබවින්ම කවුදැයි අමතක කරදැමීමෙන් සතුරා අපිව රැවටීමට උත්සාහ කරනවා. අප කවුරුන්ද යන්න අපට වැටහෙන්නේ නැත්නම්, අපට කවුරුන් විය හැකිද යන්න හඳුනාගැනීම අපහසුයි.

බාධා කිරීම

විරුද්ධවාදියා අපව ක්‍රිස්තුස්වහන්සේගෙන් සහ උන්වහස්නේගේ ගිවිසුම් මාර්ගයෙන් බාධා කිරීමට උත්සාහ කරනවා. වැඩිහිටි රොනල්ඩ් ඒ. රස්බන්ඩ් පහත සඳහන් දේ බෙදාගත්තා: “සතුරාගේ සැලසුම වන්නේ අධ්‍යාත්මික සාක්ෂිකරුවන්ගෙන් අපව බාධා කිරීමයි, ස්වාමින්වහන්සේගේ අභිප්‍රාය වන්නේ අපව දැනුවත් කිරීම හා උන්වහන්සේගේ වැඩ කටයුතුවල නිරත කරවීමයි.”7

අපේ කාලයේ, ට්විටර්, ෆේස්බුක්, රියලිටි ක්‍රීඩා සහ තවත් බොහෝ දේ මෙම බාධාකිරීම් වලට ඇතුළත් වෙනවා. මෙම තාක්‍ෂණික දියුණුව විශ්මයජනකයි, නමුත් අපි පරෙස්සම් නොවන්නේ නම්, අපගේ දිව්‍යමය හැකියාවන් සපුරාලීමෙන් ඒවා අපව වෙනතකට යොමුකළ හැකියි. ඒවා නිසිලෙස භාවිතා කිරීමෙන් ස්වර්ගයේ බලය ඉස්මතු විය හැකි අතර, තිරයෙන් දෙපසම විසිරී සිටින ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට අප උත්සාහ කරන විට හාස්කම් දැකීමට අපට ඉඩ සැලසෙයි.

අපගේ තාක්‍ෂණය භාවිතා කිරීමේදී සාමාන්‍ය නොවී ප්‍රවේශම් වෙමු.8 තාක්‍ෂණයෙන් අපව ගැලවුම්කරුවාණන් වෙතට ළං කරගත හැකි ක්‍රම, සහ උන්වහන්සේගේ දෙවන පැමිණීමට අප සූදානම් වෙමින් උන්වහන්සේගේ වැඩකටයුතු කරගෙන යාමට ඇති ආකාර දිගින් දිගටම සොයන්න.

අධෛර්යය කිරීම

අවසාන වශයෙන්, සතුරා අප අධෛර්යයට පත්වීමට ආශා කරනවා. අපි අන් අය සමග සන්සන්දනය කරන විට හෝ අපේම දෑ ඇතුළුව අපේක්‍ෂාවන්ට අනුව ජීවත් නොවන බව අපට හැඟෙන විට අපි අධෛර්යයට පත්විය හැකියි.

මගේ ආචාර්ය උපාධි පාඨමාලාව ආරම්භ කරන විට මට අධෛර්යයක් දැනුණා. එම වැඩසටහන පිළිගත්තේ එම වසරේ සිසුන් හතර දෙනෙකු පමණක් වන අතර අනෙක් සිසුන් ඉතා දක්ෂ වුණා. ජ්‍යෙෂ්ට කළමනාකරණ තනතුරු වල වැඩි පළපුරුද්දක් සහ වැඩි පරීක්ෂණ ලකුණු ඔවුන් සතුව තිබූ අතර ඔවුන් ඔවුන්ගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය පළකළා. වැඩසටහනේ මගේ පළමු සති දෙකෙන් පසු, අධෛර්යය වීම සහ සැකය පිළිබඳ හැඟීම් මාව යටපත් කරන්නට පටන්ගත්තා.

මම මේ සිව් අවුරුදු වැඩසටහන සම්පූර්ණ කිරීමට මම පටන් ගන්නවානම්, සෑම අධ්‍යයන වාරයකදීම මෝර්මොන්ගේ පොත කියවීම අවසන් කළ යුතුය බවමම තීරණය කළා. ශුද්ධාත්මයාණන්වහන්සේ මට සියල්ල උගන්වන බවත්, සියල්ල මගේ මතකයට ගෙන එනු ඇති බවත් යන ගැලවුම්කරුවාණන්ගේ ප්‍රකාශය මා කියවූ සෑම දිනකම මම හඳුනාගත්තා.9 එය මා දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් ලෙස මම කව්ද කියාත්, අනෙක් අය සමග මාව සන්සන්දනය නොකරන්නටත්, මගේ දිව්‍යමය භූමිකාවේ සාර්ථක වෙන්නට ආත්ම ශක්තියත් මට ලබාදුන්නා.10

මාගේ ආදරණීය මිත්‍රවරුනි, කරුණාකර ඔබේ සතුට සොරකම් කිරීමට කිසිවෙකුට ඉඩනොදෙන්න. ඔබව අන් අය සමග සන්සන්දනය නොකරන්න. ගැලවුම්කරුවාණන්ගේ ආදරණීය වචන කරුණාකර මතක තබාගන්න: “ඔබ සැම වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය ඔබ සැමට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබ සැමගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.”11

ඉතින් අපි එය කරන්නේ කොහොමද? මෙම සාමය අප සොයාගන්නේ කෙසේද, අප කවුරුන්දැයි මතක තබාගැනීම සහ සතුරාගේ එම ක්‍රියාවන් තුන ජයගන්නේ කෙසේද?

පළමුව, පළමු සහ ශ්‍රේෂ්ට අණ පණත වන අපගේ මුළු හදින්මත්, උවමනාවෙනුත්, මනසිනුත්, සහ ශක්තියෙනුත් දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න මතකතබාගන්න.12 අප කරන සියළු දේ උන්වහන්සේ හා උන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි ඇති අපගේ ප්‍රේමයෙන් අප පෙලඹවිය යුතුය. උන්වහන්සේලාගේ ආඥා පවත්වාගනිමින්, අපි උන්වහන්සේලා කෙරෙහි අපගේ ප්‍රේමය වර්ධනය කරගන්නා විට, අපට සහ අන් අයට ප්‍රේම කිරීමේ හැකියාව වැඩිවෙනවා. අපි පවුලේ අයව, මිතුරන්ව සහ අසල්වැසියන්ව ගැලවුම්කරුවාණන් දකින ලෙස - දෙවියන්වහන්සේගේ පුතුන් සහ දූවරුන් ලෙස දකින නිසා එවිට අපි ඔවුන්ට සේවය කිරීමට පටන්ගනී.13

දෙවනුව, සෑම දිනකම, සෑම දිනකම, සෑම දිනකම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට යාච්ඤා කරන්න.14 දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපට දැනෙන්නේ සහ උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්විය හැක්කේ යාච්ඤාව තුලිනුයි. යාච්ඤාව තුළින් අපි කෘතඥතාව පළකළ හැකි අතර සහ අපගේ කැමැත්ත දෙවියන්වහන්සේගේ කැමැත්තට ඉදිරිපත් කරන්නට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය සහ සෑමදෙයක් තුලම මෙහෙයවෙන්නට මගපෙන්වීම ලබාගන්නට ඉල්ලන්නට පුළුවන්.

මම ඔබව මෙසේ දිරිමත් කරනවා “හදවතේ සියලු ශක්තිය සමග පියාණන්වහන්සේට යාච්ඤා කරන්න, ඒ කරණකොටගෙන නුඹලා මෙම ප්‍රේමය සමග පූර්ණවන පිණිසය, එනම් නුඹලා දෙවියන්වහන්සේගේ පුත්‍රයන් (දූවරුන්) බවට පැමිණීමටය; එවිට උන්වහන්සේ පෙනීසිටින විට අපි උන්වහන්සේ මෙන් වන්නෙමු.”15

තෙවනුව, සෑම දිනකම, සෑම දිනකම, සෑම දිනකම මෝර්මොන්ගේ පොත කියවන්න සහ අධ්‍යයනය කරන්න.16 මගේ මෝර්මොන්ගේ පොත අධ්‍යයනය මනසේ ප්‍රශ්නයක් තබාගෙන කළ විට වඩා හොඳ වෙනවා. ප්‍රශ්නයක් සමහ අපි කියවන විට, අපට එළිදරව්වක් ලැබිය හැකි අතර ජෝසෆ් ස්මිත් දිවැසිවරයාගේ ප්‍රකාශයේ සත්‍යය කථා කළ බව හඳුනාගත හැකිවෙනවා, “මොර්මොන්ගේ පොත පොළොව මත පොත් වලින් ඉතාමත් නිවැරදි පොත කියාද, වෙන කිසිම පොතක මූලධර්මයන්ට වඩා මේ පොත අනුව ජීවත්වෙමින් මිනිසෙකුට [හෝ කාන්තාවකට] දෙවියන්වහන්සේ වෙතට වඩා ලංවීමට හැකිය”17 මෝර්මොන්ගේ පොතෙහි ක්‍රිස්තුස්වහන්සේගේ වචන අඩංගු වන අතර ඒවා අප කවුරුන්දැයි මතක තබාගැනීමට උපකාරී වෙනවා.

අවසාන වශයෙන්, සෑම සතියකම, සෑම සතියකම, සෑම සතියකම යාච්ඤාශීලීව සක්‍රමේන්තුව ලබාගන්න. දේවත්වයේ බලය අපගේ ජීවිත තුළ ප්‍රකාශ වන්නේ සක්‍රමේන්තුව ඇතුලු, ගිවිසුම් සහ පූජකවර වත්පිළිවෙත් තුලින්ය.18 වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වූවා: “සක්‍රමේන්තුව පිළිබඳ වත්පිළිවෙත අවංකව පසුතැවිලි වීමට හා අධ්‍යාත්මිකව අලුත් වීමට කරන්නාවූ ශුද්ධවූ හා නැවත නැවත කරන ආරාධනයකි. සක්‍රමේන්තුවෙහි ලබාගැනීමේ ක්‍රියාව, ඒ තුලින්ම පමණක්, පව් කමා නොකරයි. නමුත් අපි හෘද සාක්ෂියට එකඟව මෙම ශුද්ධවූ වත්පිළිවෙතට බිඳුණු හදවතකින් හා පසුතැවුණු ආත්මයකින් සහභාගි වන විට පොරොන්දුව නම් ස්වාමින්වහන්සේගේ ආත්මය අප සමග සිටීම සැමවිටම අපට තිබිය හැකි බවයි.”19

අපි නිහතමානීව සක්‍රමේන්තුවට සහභාගි වනවිට, ගෙත්සෙමන නම් වූ පූජනීය උයනේදී යේසුස්වහන්සේ විඳි දුක් වේදනා සහ කුරුසියේ උන්වහන්සේගේ කළ පූජාව අපට මතක්කරයි. ස්වර්ගික පියාණන්ට උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්, අපගේ මිදුම්කරුවාණන් එවීම ගැන අපේ ස්තූතිය අපි පෙන්වන අතර, උන්වහන්සේගේ අණ පණත් පිළිපැදීමටත්, සෑම විටම උන්වහන්සේව මතක තබාගන්නටත් අපේ කැමැත්ත පෙන්වයි.20 සක්‍රමේන්තුව හා සම්බන්ධ අධ්‍යාත්මික ආලෝකයක් ඇත - එය පුද්ගලිකය, එය බලවත්ය, එය අවශ්‍යය.

මගේ මිත්‍රයිනි, අපගේ මුලු හදවතින්ම දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නට අපි උත්සහ කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරන විට, මොර්මොන්ගේ පොත අධ්‍යනය කරන විට සහ යාච්ඤාශීලීව සක්‍රමේන්තුව ලබාගන්නා විට, විරුද්ධකාරයාගේ රැවටිලිකාර ක්‍රියාවලින් ගොඩඑන්නටත්, අපගේ දිව්‍යමය හැකියාව අඩු කරන බාධාකිරීම් අවම කරගන්නටත්, සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ප්‍රේමය දැනීමට අපගේ හැකියාව අඩුකරන අධෛර්යවන්තකම් මගහරවා ගන්නටත්, ස්වාමින්වහන්සේගේ ශක්තිය සමග අපට හැකියාව ලැබෙන බව මම පොරොන්දු වෙනවා. දෙවියන්වහන්සේගේ පුතුන් හා දියණියන් වශයෙන් අප කවුරුන්ද යන්න පිළිබඳව පූර්ණ අවබෝධයකට අපි පැමිණෙනු ඇත.

සහෝදර සහෝදරියනි, මම මාගේ ප්‍රේමය ඔබ සමඟ බෙදාගනිමින් ස්වර්ගික පියාණන් ජීවත්වන බවත් යේසුස් ක්‍රිස්තුස් බවත් මම ඔබට ප්‍රකාශ කරමි. මම ඔවුන්ට ආදරෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව මෙම පොළොව මත දෙවියන්වහන්සේගේ රාජධානියයි. මෙසියස්වහන්සේගේ දෙවනි පැමිණීමට ඊශ්‍රායලය රැස්කිරීමට සහ ලෝකය සූදානම් කිරීම සඳහා අපට දිව්‍යමය කාර්යයක් පැවරී තියෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.