2010–2019
දැනගැනීම, ආදරය කිරීම සහ වර්ධනය වීම
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දැනගැනීම, ආදරය කිරීම සහ වර්ධනය වීම

එවිට අපි වැඩි වැඩියෙන් උන්වහන්සේට සමාන වන පිණිස, මෙම උතුම් දේවසේවයේ අපගේ කොටස අප සැවොම වටහාගනිමු.

2016 දී දේවමාළිගා චතුරස්‍රයේ ගීතිකා කණ්ඩායම, නෙදර්ලන්තය සහ බෙල්ජියම නැරඹීමට පැමිණියා. එමෙන්ම මම එම ආකර්ෂණීය අවස්ථාවට සම්බන්ධවී සිටි බැවින්, ඔවුන්ගේ ඉදිරිපත්කිරීම දෙවරක් රසවිඳීමට මට අවස්ථාව ලැබුණා.

රූපය
යමේරුකා වාදකයා

එම ප්‍රමාණයේ ගායනා කණ්ඩායමක් තැන් තැන් වලට ගෙනයාම කෙතරම් විශාල කාර්යයක්ද යන්න ඔවුන්ගේ ඉදිරිපත්කිරීම් අතරතුර මම කල්පනා කරමින් සිටියා. ඔබේ අතේ පහසුවෙන් ගෙන යා හැකි වයලීනය, හොරණෑව හෝ වෙනත් උපකරණ සමඟ සැසඳීමේදී විශාල යමේරුකාවක් නැව්ගත කිරීම දුෂ්කර හා බොහෝ විට මිල අධික වන බවට මගේ මනස යොමු වුණා. නමුත් මෙම යමේරුකාවේ සැබෑ මැදිහත්වීම දෙස බැලූ විට, එයට පහරදෙන්නේ කිහිප වතාවක් පමණක් වන අතර අනෙක් කුඩා උපකරණ ප්‍රසංගයේ වැඩි කොටසක් සඳහා සම්බන්ධ වෙලා තියෙන බව මම වටහාගත්තා. යමේරුකාවේ ශබ්දය නොමැතිව ඉදිරිපත්කිරීම එක හා සමාන නොවන බව මට පෙණුනා, එබැවින් මෙම මහා යමේරුකාව මුහුද හරහා ගමන් කරවීමට උත්සාහය කළ යුතුවම තිබුණා.

රූපය
වාද්‍ය වෘන්දය සමග යමේරුකා වාදකයා

අපි එම යමේරුකාව මෙන්, ඉදිරිපත්කිරීමේ සුළු කාර්යභාරයක් කිරීමට තරම් පමණක් හොඳ බව සමහර විට අපිට හැඟෙන්නට පුළුවන්. නමුත් ඔබේ ශබ්දය මහා වෙනසක් ඇති කරන බව මම ඔබට කියන්නම්.

අපට සියලුම උපකරණ අවශ්‍යයි. අපෙන් සමහරු පහසුවෙන් ඉගෙනගන්නවා ඒ වගේම පාසලේදී ඉතා හොඳින් වැඩ කරනවා ඒ අතර තවත් සමහරුන්ට කලා කුසලතා තියෙනවා. සමහරු දේවල් සැලසුම් කරනවා සහ ගොඩනගනවා නැත්නම් උපස්ථාන කරනවා, ආරක්ෂා කරනවා හෝ අන් අයට උගන්වනවා. මේ ලෝකයට වර්ණ හා අරුතක් ගෙන ඒමට අපි සියල්ලන්ටම අවශ්‍යයි.

තමන් කිසිවෙකුටත් වැදගත්කමක් හෝ ප්‍රතිවිපාකයක් නොමැති බව විශ්වාස කිරීමට හෝ කිසිවක් නොමැති බව හැඟෙන අයට, ඔවුන් ලෝකයේ ඉහළින් සිටින බව හැඟෙන අනෙක් අයට සහ ඒ අතර සිටින ඕනෑම කෙනෙකුට මෙම පණිවිඩය ඇමතීමට මම කැමතියි.

ඔබ ජීවන මාවතේ කොතැනක සිටියත්, ඔබ එම මාවතේ ඔබ සිටිනවා කියා නොසිතන තරම් ඔබගෙන් සමහරෙකුට අධික බරක් දැනෙන්නට පුළුවන්. අන්ධකාරයෙන් ආලෝකයට පිවිසීමට මට ඔබට ආරාධනා කිරීමට අවශ්‍යයි. සුභාරංචි ආලෝකය උණුසුම සහ සුවය ලබාදෙන අතර ඔබ සැබවින්ම කවුරුන්ද යන්න සහ ඔබේ ජීවිතයේ අරමුණ කුමක්ද යන්න තේරුම්ගැනීමට උපකාරී වෙයි.

අපෙන් සමහරු තහනම් මාවත්වල ඇවිදිමින් එහි සතුට සොයාගැනීමට උත්සාහ කරමින් සිටී.

ප්‍රේමණීය ස්වර්ගික පියෙකු විසින් අනුගාමික මාවතේ ගමන් කිරීමට හා උන්වහන්සේ වෙතට නැවත යාමට අපට ආරාධනා කරනු ලබනවා. උන්වහන්සේ පරිපූර්ණ වූ ප්‍රේමයකින් අපිට ප්‍රේම කරයි.1

මාර්ගය කුමක්ද? මාර්ගය වන්නේ එකිනෙකාට සේවය කිරීමෙන් අප කවුරුන්ද යන්න තේරුම්ගැනීමට එකිනෙකාට උපකාර කිරීමයි.

මා හට, දේවසේවය යනු දිව්‍යමය ප්‍රේමය ක්‍රියාවට නැංවීමයි.2 ඒ ආකාරයෙන් ලබාදෙන්නා සහ ලබන්නා යන දෙදෙනාම පසුතැවිලි වීමට ආශාවක් ලබාගන්නා පරිසරයක් නිර්මාණය කරගන්නවා. වෙනත් වචන වලින් කිවහොත්, අපි දිශාව වෙනස් කර අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වී, සමාන වෙනවා.

නිදසුනක් වශයෙන්, අපගේ සහකරුට හෝ සහකාරියට හෝ දරුවන්ට ඔවුන්ට වැඩිදියුණු වියහැක්කේ කෙසේද කියා නිරන්තරයෙන් පැවසීමේ අවශ්‍යතාවක් නෑ; ඔවුන් දැනටමත් එය දන්නවා. මෙම ආදරයේ පරිසරය නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ ජීවිත වල අවශ්‍ය වෙනස්කම් කිරීමට හා වඩා හොඳ පුද්ගලයන් බවට පත්වීමට ඔවුන්ට බලය ලැබෙනවා.

මේ ආකාරයට පසුතැවීම දිනපතා පිරිපහදු කිරීමේ ක්‍රියාවලියක් බවට පත්වන අතර එයට දුර්වල හැසිරීම් ගැන සමාව ඉල්ලීමද ඇතුළත් විය හැකියි. විනිශ්චය කිරීමට ඉක්මන් වූ හෝ සවන් දීමට ප්‍රමාද වූ අවස්ථා මට මතකයි ඒ වගේම තාමත් ඒවා මම අත්දකිනවා. දවස අවසානයේදී මගේ පෞද්ගලික යාච්ඤාව අතරතුර පසුතැවිලිවී යහපත් වීමට ස්වර්ගයෙන් එන ප්‍රේමණීය උපදෙස් මට දැණෙනවා. මුලින්ම මගේ දෙමව්පියන්, සහෝදරයින් සහ සහෝදරියන් සහ පසුව මගේ බිරිඳ, දරුවන් සහ මිතුරන් විසින් නිර්මාණය කරන ලද ආදරණීය පරිසරය වඩා හොඳ පුද්ගලයෙකු වීමට මට උපකාර කර තිබෙනවා.

අපට වඩා හොඳින් කළ හැකි තැන අපි කවුරුත් දන්නවා. එකිනෙකාට නැවත නැවත මතක් කිරීමේ අවශ්‍යතාවයක් නෑ, නමුත් එකිනෙකාට ආදරය කිරීමේ හා දේවසේවයේ අවශ්‍යතාවයක් ඇති අතර එසේ කිරීමෙන් වෙනස් වීමට කැමති වාතාවරණයක් සපයනවා.

ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීමට පෙර ලෝක ඉතිහාසයේ මෙම අවසාන පරිච්ඡේදයේ අප සැබවින්ම කවුරුන්ද යන්න සහ අපගේ කාර්යභාරය කුමක්ද යන්න මෙම පරිසරය තුළම අපි ඉගෙනගනිමින් සිටිනවා.

ඔබ ඔබේ කොටස ගැන කල්පනා කරන්නේ නම්, ඔබට තනිව සිටිය හැකි සහ කුමන භූමිකාවක් කළ යුතු දැයි ඔබට දැනගැනීමට ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නට ස්ථානයක් සොයාගැනීමට මම ඔබට ආරාධනා කරනවා. ගිවිසුම හා දේවසේවය සඳහා අපගේ පාද වඩාත් ස්ථිරව තැබූ විට පිළිතුර ක්‍රම ක්‍රමයෙන් හා පසුව වඩාත් පැහැදිලිව පැමිණෙනු ඇත.

වචන යුද්ධයක් හා මතභේදයක් මධ්‍යයේ සිටියදී ජෝසෆ් ස්මිත් මුහුණ දුන් දුෂ්කරතා වලට සමාන දේ අප අත්විඳිමින් සිටින්නෙමු.” අපි ඔහුගේම ප්‍රකාශයෙන් කියවන විට, ඔහු නිතරම තමාගෙන් මෙසේ අසාගත්තා: “සිදුවිය යුත්තේ කුමක්ද? මේ සියලු අයගෙන් කවුද නිවැරදි; නැත්නම්, ඔවුන් සියල්ලෝම එකටම වැරදිද? ඔවුන්ගෙන් කිසිවෙකු නිවැරදි නම්, [එය] කුමක්ද, මම එය දැනගන්නේ කෙසේද?”3

යාකොබ්ගේ ලිපියෙන් ඔහු දැනගත් දැනුමෙන්, “නුමුත් ඔබ සැමගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.”4 ඉන්පසු “දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න” යන අධිෂ්ටානයට ජෝසෆ් පැමිණියා.5

ඔහුගේ ජීවිතයේ පළමු වතාවට ඔහු එවැනි උත්සාහයක් ගත් බව අපි තවදුරටත් කියවන්නට පුළුවන්, “මොකද, ඔහුගේ සියලු කරදර මධ්‍යයේ වුවද, ඔහු කිසිවිටෙකත් හඬනගා යාච්ඤා කිරීමට උත්සාහ කර තිබුනේ නෑ.”6

ඒ නිසා අපි මීට පෙර කවදාවත් නොකළ ආකාරයකින් අපගේ මැවුම්කරුවාණන් අමතන පළමු අවස්ථාව මෙය විය හැකියි.

ජෝසෆ්ගේ උත්සාහය නිසා, ස්වර්ගික පියාණන් සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔහුට පෙනී සිටිමින් ඔහුට නම කියා කතා කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් අප කවුරුන්ද යන්න පිළිබඳව අපට වඩාත් පැහැදිලි අවබෝධයක් ලැබී තියෙනවා.

ඔහුගේ යෞවන වියේදී “ඔහුගේ මිතුරන් විය යුතු සහ ඔහුට කාරුණිකව සැලකිය යුතු වූ අය විසින් ජෝසෆ්ට පීඩා කරනු ලැබූ බව අපිට තවදුරටත් කියවන්නට පුළුවන්.”7 ඒ නිසා අනුගාමිකයන් ලෙස ජීවත් වන බැවින් අපිටත් යම් විරුද්ධත්වයක් අපේක්ෂා කරන්නට පුළුවන්.

ඔබට දැනට වාද්‍ය වෘන්දයේ සාමාජිකයෙකු විය නොහැකි යැයි ඔබට හැඟේ නම් සහ පසුතැවීමේ මාවත ඔබට අපහසු යැයි පෙනේ නම්, කරුණාකර දැනගන්න අපි එය තබාගන්නේ නම් අපගේ උරහිස් වලින් බර උසුලනු ඇති අතර නැවත ආලෝකය ලැබෙනු ඇත. අප උන්වහන්සේ වෙතට ළඟාවන විට ස්වර්ගික පියාණන්වහන්සේ කිසිවිටෙකත් අපව අත් නොහරිනු ඇත. අපට වැටී නැගිටිය හැකි අතර අපගේ දණහිසෙන් කුණු ඉවත් කිරීමට උන්වහන්සේ අපට උපකාර කරනු ඇත.

අපෙන් සමහරෙකුට තුවාල සිදුවී ඇත, නමුත් ස්වාමින්වහන්සේගේ ප්‍රථමාධාර කට්ටලයට අපගේ සියලු තුවාල ආවරණය කිරීමට තරම් විශාල වෙළුම් පටි තිබේ.

ඉතින් ඒ තමයි ඒ ප්‍රේමය, පිවිතුරු නැත්නම් ක්‍රිස්තුස්වහන්සේගේ පිරිසිඳු ප්‍රේමය8 ලෙස හඳුන්වන දෙමාපියන් දරුවන්ටත් දරුවන් දෙමාපියන්ටත් දේවසේවය කරන්නට අපේ නිවෙස් වල තිබෙන්නට අවශ්‍ය එම පරිපූර්ණ ප්‍රේමය. ප්‍රේමය තුලින්, හදවත් වෙනස් වන අතර උන්වහන්සේගේ කැමැත්ත කරන්නට ආශාවන් උපදී.

අපගේ ස්වර්ගික පියාණන්ගේ දරුවන් සහ උන්වහන්සේ සභාවේ සාමාජිකයන් වශයෙන් අප එකිනෙකා සමග කටයුතු කිරීමේදී අවශ්‍ය වන්නේ එම ප්‍රේමයයි. එමඟින් අපගේ සංගීත භාණ්ඩ සියල්ලම අපගේ වාද්‍ය වෘන්දයට ඇතුළත් කිරීමට හැකි වන අතර එමඟින් ගැලවුම්කරුවාණන් නැවත පැමිණෙන විට ස්වර්ගයේ දේවදූත ගායනා කණ්ඩායම සමඟ තේජාන්විතව ඉදිරිපත් කිරීමට අපට හැකි වෙනවා.

අපගේ දෛනික ජීවිතය ගතකරන විට අපගේ වටපිටාව බැබළවීමට හා දීප්තිමත් කිරීමට අවශ්‍ය වන්නේ එම ආදරයයි. මිනිසුන් ආලෝකය දකින අතර ඒ වෙත ඇදී යනු ඇත. “පැමිණ, බලන්න, සහ එන්න, උදව් කරන්න, සහ පැමිණ නැවතී සිටින්න9 යනුවෙන් අන් අයව පොළඹවන ආකාරයේ ධර්මදූත සේවය එයයි. කරුණාකර, මෙම ශ්‍රේෂ්ට කාර්යය සහ එහි අපගේ කොටස පිළිබඳව ඔබේ සාක්ෂිය ඔබට ලැබුණු විට, “මක්නිසාද මම දර්ශනයක් දුටුවෙමි. මම එය දැන සිටියෙමි, දෙවියන්වහන්සේ එය දන්නා බව මම දැන සිටියෙමි, මට එය ප්‍රතික්ෂේප කළ නොහැකි විය” ලෙස කී අපගේ ආදරණීය අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ප්සමග අපි එකට ප්‍රීති වෙමු.10

මම කවුදැයි මම දන්නා බවත්, ඔබ කවුදැයි මම දන්නා බවත් මම ඔබට සාක්ෂි දෙනවා. අපි සියල්ලෝම අපට ප්‍රේම කරන ස්වර්ගික පියෙකුගේ දරුවන්. එමෙන්ම උන්වහන්සේ අපව මෙහි එව්වේ අසාර්ථක වීමට නොව උත්කර්ෂවත් ලෙස උන්වහන්සේ වෙතට යෑමටයි. මෙම ශ්‍රේෂ්ට දේවසේවයේ අපගේ කොටස අප සැවොම වටහාගැනීම සහ ගැලවුම්කරුවාණන් නැවත පැමිණෙන විට අපි උන්වහන්සේට සමානවීම මගේ යාච්ඤාවයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.