2010–2019
නොඇදහිලිවන්ත නොවී, ඇදහිලිවන්ත වන්න
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


නොඇදහිලිවන්ත නොවී, ඇදහිලිවන්ත වන්න

මෙයින් අදහස් කරන්නේ අප ලෝකයෙන් විසන්ධි වී ස්වර්ගය හා සම්බන්ධ වීමට සෑම දිනකම හිතාමතාම කාලය ගත යුතු බවයි.

තරුණ පිරිමි ළමුන්ගේ ප්‍රධාන සභාපති සුභාරංචි පුස්තකාල යෙදුම විවෘත කිරීමේ අදහසින් මම මගේ ස්මාර්ට් ජංගම දුරකථනය රැගෙන මගේ ඇඳ අසල පුටුවක වාඩිවී සිටියා. මම මගේ දුරකථනයේ අගුළු හැරිය අතර මම අධ්‍යයනය ආරම්භ කිරීමට ආසන්නව සිටියදී, රාත්‍රියේදී පැමිණ ඇති කෙටි පණිවුඩ සහ විද්‍යුත් තැපැල් පණිවිඩ සඳහා දැනුම් දීම් දුසිම් භාගයක් දුටුවා. “මම ඉක්මනින් එම පණිවිඩ පරීක්ෂා කර, පසුව ශුද්ධලියවිලි පද වලට යනවා” යැයි හිතුවා. හොඳයි, පැය දෙකකට පසුවත් මම තවමත් කෙටි පණිවිඩ, විද්‍යුත් තැපැල් පණිවිඩ, ප්‍රවෘත්ති කෙටිකතා සහ සමාජ මාධ්‍ය සටහන් කියවමින් සිටියා. වේලාව කීයදැයි මට වැටහුණු විට, මම දවසට සූදානම් වීමට දැඩි ලෙස වේගයෙන් කටයුතු කළා. එදින උදෑසන මගේ ශුද්ධලියවිලි අධ්‍යයනය මගහැරුණු අතර, ඒ නිසා මා බලාපොරොත්තු වූ අධ්‍යාත්මික පෝෂණය මට ලැබුණේ නෑ.

අධ්‍යාත්මික පෝෂණය

ඔබගෙන් බොහෝ දෙනෙකුට මෙය සම්බන්ධ කරගන්නට පුළුවන් කියා මට විශ්වාසයි. නවීන තාක්ෂණයෙන් අපට විවිධාකාරයෙන් ආශිර්වාද ලැබෙනවා. ඒවා අපිව මිතුරන් හා පවුලේ අය සමග, තොරතුරු සමග සහ ලොව පුරා වත්මන් සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති සමග සම්බන්ධ කරනවා. කෙසේවෙතත්, ඒවාට වඩාත් වැදගත් සම්බන්ධතාවය වන: ස්වර්ගය සමග අපගේ සම්බන්ධතාවයෙන් අපව ඈත් කළ හැකියි.

අපගේ අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන් පැවසූ දේ මම නැවත කියන්නම්: “අප ජීවත් වන්නේ සංකීර්ණ හා වඩ වඩාත් විවාදාත්මක ලෝකයක ය. සමාජ මාධ්‍ය නිරන්තරයෙන් පැවතීම සහ පැය 24 පුරා ප්‍රවෘත්ති චක්‍රයක් අපට නොවරදින පණිවිඩ මගින් පහර දෙයි. අසංඛ්‍යාත කටහඬවල් සහ සත්‍යයට පහර දෙන මිනිසුන්ගේ දර්ශනවාදයන් වෙන්කිරීමේ බලාපොරොත්තුවක් අපට තිබේ නම්, එළිදරව්ව ලැබීමට අප ඉගෙන ගතයුතුය.”

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ අනතුරු ඇඟෙව්වා, “එලඹෙන දිනයන්හිදී, මගපෙන්වීම, මෙහෙයවීම, සැනසීම සහ ශුද්ධාත්මයාණන්ගේ නිසැක ආනුභාවයෙන් තොරව ආත්මිකව බේරෙන්නට අපහසු වනු ඇත.1

මීට වසර ගණනාවකට පෙර සභාපති බොයිඩ් කේ. පැකර් අධික හිම පතනයක් නිසා එහි ස්වාභාවික වාසභූමියෙන් පිටත සිරවී සාගින්නෙන් පෙළෙන මුවන් රංචුවක් ගැන පැවසුවා. සමහර හොඳ මිනිසුන්, මුවන් බේරාගැනීමේ උත්සාහයක් ලෙස, පිදුරු ට්‍රක් රථ ප්‍රදේශය පුරා විසි කළා - සාමාන්‍යයෙන් මුවන් ඒවා කන්නේ නැත, නමුත් අවම වශයෙන් එමගින් ශීත සෘතුව හරහා මුවන්ට සිටින්නට ලැබෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා කළා. කණගාටුවට කරුණක් නම් බොහෝ මුවන් පසුව මිය ගොස් තිබීමයි. ඔවුන් පිදුරු අනුභව කර තිබුණත් එය ඔවුන්ව පෝෂණය නොකළ අතර ඔවුන් බඩ පුරවාගෙන බඩගින්නේ මැරුණා.2

තොරතුරු යුගයේ අපට බෝම්බ හෙලන බොහෝ පණිවිඩ මුවන්ට පිදුරු පෝෂණය කිරීමට අධ්‍යාත්මිකව සමානයි - අපට එය දවස පුරා ආහාරයට ගත හැකි නමුත් එය අපව පෝෂණය නොකරයි.

සැබෑ අධ්‍යාත්මික පෝෂණය අපට සොයාගත හැක්කේ කොතැනින්ද? බොහෝ විට එය සමාජ මාධ්‍යවල ප්‍රවණතාවක් නොවේ. ගිවිසුම් මාවතේ “[අපි] ඉදිරියටම ඇදෙන විට”, “යකඩ පොල්ල මත තදින් අල්ලාගෙන” සහ ජීවන වෘක්ෂයේ ඵලයේ පංගුකාරයන් වන විට අපට එය හමුවෙනවා.3 මෙයින් අදහස් කරන්නේ අප ලෝකයෙන් විසන්ධි වී ස්වර්ගය හා සම්බන්ධ වීමට සෑම දිනකම හිතාමතාම කාලය ගත යුතු බවයි.

ඔහුගේ සිහිනයේ දී, පලතුරු අනුභව කළ නමුත් විශාල හා ඉඩකඩ සහිත ගොඩනැගිල්ලේ බලපෑම වන, ලෝකයේ අහංකාරය නිසා පසුව එය අතහැර දැමූ අයුරු ලෙහි දුටුවා.4 යෞවනයන්ට පසුදිනවල සාන්තුවරයන්ගේ නිවසක හැදී වැඩීමට, නිවැරදි සභා රැස්වීම් හා පන්තිවලට සහභාගී වීමට, දේවමාළිගාවේ වත්පිළිවෙත් වලට පවා සහභාගී වීමට, පුළුවන්, නමුත් පසුව “තහනම් මාවත්වලට ගොස් අහිමි වීම” සිදුවිය හැකියි.5 මෙය සිදුවන්නේ ඇයි? බොහෝ අවස්ථාවන්හීදී, ඔවුන් අධ්‍යාත්මික චේතනා ඔස්සේ ගමන් කරමින් සිටියද, ඔවුන් සැබවින්ම හැරී නොතිබිය හැකිය. ඔවුන්ට කන්න දුන් නමුත් පෝෂණය වී නැත.

රූපය
තරුණ ක්‍රියාකාරකම්

ඊට වෙනස්, ශක්තිමත්, දීප්තිමත් හා විශ්වාසවන්ත තරුණ පසු කාලීන සාන්තුවරයන් දෙනෙකු මට හමුවී තියෙනවා. ඔබ දෙවියන්වහන්සේගේ පුතුන් හා දූවරුන් බවත්, ඔබට කළ යුතු කාර්යයක් උන්වහන්සේට ඇති බවත් ඔබ දන්නවා. ඔබ “ඔබේ මුළු හදවතින්ම, ශක්තියෙන්, මනසින් හා ශක්තියෙන්” දෙවියන්වහන්සේට ප්‍රේම කරනවා.6 ඔබේ අණ පණත් තැබීම සහ අන් අයට සේවය කිරීම, නිවසින් ආරම්භ කරනවා. ඔබ සෑම දිනකම ඇදහිල්ල, පසුතැවිලි වීම සහ වැඩිදියුණු වීම පුහුණු වෙනවා, එමගින් ඔබට අසීමිත ප්‍රීතියක් ගෙන එනවා. ගැලවුම්කරුවාණන්ගේ සැබෑ අනුගාමිකයන් ලෙස ඔබට ලැබෙන දේවමාළිගා ආශිර්වාද සහ වෙනත් අවස්ථාවන් සඳහා ඔබ සූදානම් වෙමින් සිටී. ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලය අත්විඳීමට අන් අයට ආරාධනා කරමින්, ඔබ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට උදව් කරනවා. ඔබ ස්වර්ගය හා සම්බන්ධයි.

රූපය
තරුණ දේවමාළිගා සංචාරය

ඔව්, ඔබ අභියෝගවලට මුහුණ දෙනවා. නමුත් සෑම පරම්පරාවක්ම එසේමයි. මේ අපේ දවස් වන අතර අප නොඇදහිලිවන්තව නොවේ, ඇදහිලිවන්තව සිටිය යුතුයි. අපගේ අභියෝග ගැන ස්වාමින්වහන්සේ දන්නා බව මම සාක්ෂි දරනවා, ඒ වගේම සභාපති නෙල්සන්ගේ නායකත්වය තුළින් උන්වහන්සේ ඒවාට මුහුණදීමට අපව සූදානම් කරනවා. අධ්‍යාත්මික මන්දපෝෂණයෙන් පෙළෙන මේ දවසේදී, අපගේ ගොඩනැගිලිවල අප කරන දෙයට සහය දක්වන,7 නිවාස කේන්ද්‍රීය සභාවක් සඳහා අනාගතවක්තෘවරයාගේ මෑත කාලීන කැඳවීම සැලසුම් කර ඇති බව මම විශ්වාස කරනවා.

නිවාස කේන්ද්‍රීය

නිවාස කේන්ද්‍රීය සභාවක් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ලොව පුරා නිවෙස් බෙහෙවින් වෙනස් විය හැකියි. ඔබ පරම්පරා ගණනාවක් තිස්සේ සභාවේ සිටින පවුලකට අයත් විය හැකියි. නැතහොත් ඔබේ පවුලේ සභාවේ එකම සාමාජිකයා ඔබ විය හැකියි. ඔබ විවාහක හෝ තනිකඩ, හෝ නිවසේ දරුවන් සමග හෝ නැතිව විය හැකියි.

ඔබගේ තත්වයන් කුමක් වුවත්, ඔබගේ නිවස සුභාරංචි ඉගෙනීමේ හා ජීවත්වීමේ කේන්ද්‍රස්ථානය බවට පත් කළ හැකියි. එයින් අදහස් කරන්නේ ඔබේ හැරීම හා අධ්‍යාත්මික වර්ධනය සඳහා පෞද්ගලික වගකීම භාර ගැනීමයි. එහි අර්ථය වන්නේ “ඔබේ නිවස ඇදහිලි අභය භූමියක් බවට පත් කිරීම” සඳහා සභාපති නෙල්සන්ගේ උපදෙස් අනුගමනය කිරීමයි.8

ආත්මික පෝෂණය අවශ්‍ය නොවන බව හෝ වඩාත් කපටි ලෙස එය බලා සිටිය හැකි බව විරුද්ධවාදියා ඔබට ඒත්තු ගැන්වීමට උත්සාහ කරයි. ඔහු අවධානය වෙනතකට යොමු කිරීමේ ප්‍රධානියා සහ කල්දැමීමේ කතුවරයායි. ඔහු හදිසියේ පෙනෙන නමුත් යථාර්ථයේ දී එතරම් වැදගත් නොවන වෙනත් දේවල් ඔබේ අවධානයට යොමුකිරීමට උත්සාහ කරයි. ඒ නිසා “අවශ්‍ය වන එක් දෙය” ඔබ අමතක කර, ඔබ “බොහෝ දේ ගැන කරදර වන” ලෙසට ඔහු කැමති වනු ඇත.9

නිරන්තර අධ්‍යාත්මික පෝෂණය, ආදරණීය සබඳතා සහ යහපත් විනෝදාත්මක ක්‍රියාකාරකම් වලින් පිරි පවුලක තම පවුල හදා වඩා ගත් මගේ “යහපත් දෙමාපියන්ට”10 මම කොතරම් නම් ස්තූතිවන්ත වෙනවාද. මගේ යෞවන කාලයේදී ඔවුන් ලබාදුන් ඉගැන්වීම් මාව හොඳ මට්ටමක තබා තිබෙනවා. දෙමාපියනි, කරුණාකර ඔබේ දරුවන් සමග ශක්තිමත් සබඳතා ගොඩනගා ගන්න. ඔවුන්ට ඔබේ කාලයෙන් වැඩි කාලයක් අවශ්‍යයි, අඩුවෙන් නොවේ.

සභාවේ සහය ඇති

ඔබ එසේ කරන විට, ඔබට සහාය වීමට සභාව ඇත. සභාවේ අපගේ අත්දැකීම් වලට නිවසේදී සිදුවන අධ්‍යාත්මික පෝෂණය ශක්තිමත් කළ හැකියි. මේ වසරේ මේ දක්වා, ඉරිදා පාසලට සහ ප්‍රාථමිකයට සභාවේ සහයෝගය අපි දැක තිබෙනවා. ආරොනික් පූජකත්වයේ සහ තරුණියන්ගේ රැස්වීම් වලදීද අපි එයින් වැඩි ප්‍රමාණයක් දකිනවා. මෙම ජනවාරි ආරම්භයේ සිට මෙම රැස්වීම් සඳහා විෂයමාලාව තරමක් වෙනස් කරනු ලැබෙනවා. එය තවමත් සුභාරංචි මාතෘකා කෙරෙහි අවධානය යොමු කරනු ඇත, එමෙන්ම එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා හි සුභාරංචි මාතෘකා සමග ඒවා පෙළගැසෙනු ඇත. මෙය කුඩා වෙනසක් වන නමුත් එය තරුණ තරුණියන්ගේ අධ්‍යාත්මික පෝෂණයට විශාල බලපෑමක් කළ හැකියි.

සභාව සපයන වෙනත් ආකාරයේ සහයන් මොනවාද? සභාවේ අපට සෑම සතියකම ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ කැපවීම නැවත ස්ථාපිත කිරීමට උපකාරී වෙන සක්‍රමේන්තුව ලැබෙනු ඇත. එමෙන්ම සභාවේදී අපි මෙම ගිවිසුම් ඇති අනෙකුත් ඇදහිලිවන්තයන් සමග එකට එකතුවෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සෙසු ගෝලයන් සමග අප වර්ධනය කරන ප්‍රේමණීය සබඳතා අපගේම නිවස කේන්ද්‍ර කරගත් අනුගාමිකයන් වීමට ප්‍රබල උපකාරයක් විය හැකියි.

මට වයස අවුරුදු 14 දී මගේ පවුලේ අය අලුත් ප්‍රදේශයකට ගියා. දැන්, මෙය ඔබට දරුණු ඛේදවාචකයක් සේ පෙනෙන්නට නොතිබුණද, මගේ මනසෙහි, ඒ අවස්ථාවේදී එය විනාශකාරී අත්දැකීමක් වුණා. එහි තේරුම මා නොදන්නා අයගෙන් වටවී සිටීමයි. එයින් අදහස් කළේ මගේ කොට්ටාශයේ සිටින අනෙක් සියලුම තරුණයන් මට වඩා වෙනස් පාසලකට යන බවයි. ඒවගේම අවුරුදු 14 ක් වයසැති මගේ සිතින්, “මගේ දෙමාපියන් මට මෙය කරන්නේ කෙසේද?” කියා මම සිතුවා. මගේ ජීවිතය විනාශ වෙලා වගේ මට දැනුණා.

කෙසේ වෙතත්, අපගේ තරුණ තරුණියන්ගේ ක්‍රියාකාරකම් තුළින්, මගේ ඝණපූර්ණයෙහි අනෙක් සාමාජිකයන් සමග සබඳතා ගොඩනගාගැනීමට මට හැකි වූ අතර ඔවුන් මගේ මිතුරන් බවට පත්වුණා. ඊට අමතරව, සභානායකත්ව සහ ආරොනික පූජක උපදේශකයින්ගේ සාමාජිකයන් මගේ ජීවිතය ගැන විශේෂ උනන්දුවක් දැක්වීමට පටන්ගත්තා. ඔවුන් මගේ මළල ක්‍රීඩා ඉසව්වලට සහභාගි වුණා. ඔවුන් මට ලිව්වේ මම අද දක්වා තබාගෙන ඇති දිරිගන්වනසුලු සටහන්. මම විශ්ව විද්‍යාලයට ගිය පසුත් සහ මා ධර්මදූත සේවයක් සඳහා පිටත්ව ගිය පසුත් ඔවුන් මා සමග දිගටම සම්බන්ධතා පැවැත්වූවා. ඔවුන්ගෙන් එක් අයෙක් මම ගෙදර එන විට ගුවන් තොටුපලේ පවා සිටියා. මෙම යහපත් සහෝදරයින්ට සහ ඔවුන්ගේ ආදරය හා ඉහළ අපේක්ෂාවන්ගේ එකතුවට මම සදහටම ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මාව ස්වර්ගයට යොමු කළ අතර ජීවිතය දීප්තිමත්, සන්තෝෂවත් හා ප්‍රීතිමත් එකක් වුණා.

ගිවිසුම් මාවතේ ගමන් කරන විට ඔවුන් තනිවම නොසිටින බව නායකයින් සහ දෙමාපියන් වශයෙන් අපි තරුණයින්ට දැනගන්නට සලස්වන්නේ කෙසේද? පුද්ගලික සම්බන්ධතා ගොඩනගාගැනීමට අමතරව, තරුණ තරුණියන්ගේ ශක්තිය සඳහා සම්මන්ත්‍රණ සහ තරුණ කඳවුරුවල සිට සතිපතා ඝණපූර්ණ හෝ පන්ති ක්‍රියාකාරකම් දක්වා විශාල හා කුඩා රැස්වීම් වලට අපි ඔවුන්ට ආරාධනා කරනවා. ශක්තිමත්ව සිටීමට උත්සාහ කරන අන් අය සමග එකට සිටීමෙන් ලැබෙන ශක්තිය කිසි විටෙකත් අවතක්සේරු කරන්න එපා. සභානායකවරුනි සහ අනෙකුත් නායකයිනි, කරුණාකර ඔබේ කොටාශයේ සිටින දරුවන් සහ තරුණයින් පෝෂණය කිරීම කෙරෙහි අවධානය යොමුකරන්න. ඔවුන්ට ඔබේ කාලයෙන් වැඩි කාලයක් අවශ්‍යයි, අඩුවෙන් නොවේ.

ඔබ නායකයෙකු, අසල්වැසියෙකු, ඝණපූර්ණයක සාමාජිකයෙකු හෝ හුදෙක් සාන්තුවරයෙකු වේවා, යෞවනයෙකුගේ ජීවිතය ස්පර්ශ කිරීමට ඔබට අවස්ථාවක් තිබේ නම්, ඔහුට හෝ ඇයට ස්වර්ගය සමග සම්බන්ධ වීමට උදව් කරන්න. ඔබේ බලපෑම හරියටම එම තරුණ පුද්ගලයාට අවශ්‍ය “සභාවේ සහයෝගය” විය හැකියි.

සහෝදර සහෝදරියනි, මෙම සභාවේ ප්‍රධානියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේ අපගේ නායකයින්ට පෙළඹවීම් ලබාදෙන අතර අවසාන දිනවල අපට නොනැසී පැවතීමට අවශ්‍ය අධ්‍යාත්මික පෝෂණයට මගපෙන්වනවා. එම අධ්‍යාත්මික පෝෂණය අපට නොඇදහිලිවන්ත නොවී ඇදහිලිවන්තව සිටීමට උපකාරී වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.