ප්‍රධාන සම්මන්ත්‍රණය
මේ ආකාරයෙන් අපි ඔවුන්ව පරීක්ෂා කර බලන්නෙමු
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


මේ ආකාරයෙන් අපි ඔවුන්ව පරීක්ෂා කර බලන්නෙමු

(ආබ්‍රහම් 3:25)

අපගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ අපට ආඥා කරන ඕනෑම දෙයක් කිරීමට අපගේ කැමැත්ත සහ හැකියාව සඳහා සූදානම් වීමටත් අපවම පරීක්ෂා කර බලාගැනීමටත් කාලය දැන් එළඹ තිබෙනවා.

මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයට සූදානම් වීමේදී මගේ මනසට සහ හදවතට පැමිණ ඇති සිතුවිලි හා හැඟීම් බෙදාහදාගන්නා විට ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහය අප සැම වෙනුවෙන්ම ඉල්ලමින් මම යාච්ඤා කරනවා.

පරීක්ෂණ වල වැදගත්කම

පූර්ණ කාලීන සභා සේවයට මගේ කැඳවීමට පෙර දශක දෙකකට වැඩි කාලයක්, මම විශ්වවිද්‍යාල ගුරුවරයෙකු හා පරිපාලකයෙකු ලෙස සේවය කළා. සිසුන්ට තමන් වෙනුවෙන් ඉගෙනගන්නා ආකාරය ඉගෙනගැනීමට උපකාර කිරීම ගුරුවරයෙකු ලෙස මගේ මූලික වගකීම වුණා. මගේ කාර්යයේ වැදගත් අංගයක් වූයේ පරීක්ෂණ සඳහා සිසුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අදහස් නිර්මාණය කිරීම, ශ්‍රේණිගත කිරීම සහ ප්‍රතිපෝෂණය සැපයීමයි. පුද්ගලික අත්දැකීම් වලින් ඔබ දැනටමත් දන්නා පරිදි, පරීක්ෂණ කියන්නෙ සාමාන්‍යයෙන් සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියේ වඩාත්ම කැමති කොටසක් නොවේ!

නමුත් වරින් වර සිදුකරන පරීක්ෂණ ඉගෙනීමට අත්‍යවශ්‍ය වෙනවා. ඵලදායී පරීක්‍ෂණයක් මගින් නිශ්චිත විෂයක් පිළිබඳව අප දැනගත යුතු දේ, අප ඇත්තෙන්ම දන්නා දේ සමඟ සැසඳීමට උපකාරී වෙනවා; එය අපගේ ඉගෙනුම් හා සංවර්ධනය ඇගයීමට ලක්කළ හැකි ප්‍රමිතියක්ද සපයනවා.

ඒ හා සමානවම, ලෞකික පාසලේ පරීක්ෂණ අපගේ සදාකාලික දියුණුවේ අත්‍යවශ්‍ය අංගයක්. කෙසේවෙතත්, පරීක්ෂණය යන වචනය ඉංග්‍රීසියෙන් සම්මත කෘති වල ශුද්ධලියවිලි පාද වල එක් වරක්වත් සොයාගත නොහැකි වීම සිත්ගන්නා කරුණක්. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සදාකාලික ප්‍රීතියේ සැලැස්ම සහ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ ආශිර්වාද සෙවීමේ අපගේ හැකියාව පිළිබඳ අපගේ අධ්‍යාත්මික දැනුම, අවබෝධය සහ භක්තිය නිසි ලෙස නිරූපණය කිරීමේ විවිධ රටාවන් විස්තර කිරීමට ඒ වෙනුවට, ඔප්පු කිරීම, පරීක්ෂා කිරීම, සහ උත්සාහ කිරීම වැනි වචන යොදාගන්නවා.

ගැලවීමේ සැලැස්ම ගැන ලියූ ඔහු පුරාණ හා නූතන ශුද්ධලියවිලි වල ඔප්පු කිරීම, පරීක්ෂා කිරීම සහ උත්සාහ කිරීම යන වචන භාවිතා කරමින් අපගේ ලෞකික පරිවාසයේ එම අරමුණ විස්තර කර තිබෙනවා. “තවද ස්වාමින් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ ඔවුන්ට ආඥා කළ සියලුම දේවල් ඔවුන් කරන්නේ දැයි බැලීම පිණිස, මේ ආකාරයෙන් අපි ඔවුන්ව පරීක්ෂා කර බලන්නෙමු.” 1

ගීතාවලිය ලියූ දාවිත්ගේ මෙම ආයාචනය සලකා බලන්න:

“ස්වාමිනි, මා සෝදිසි කොට, මා පරීක්ෂා කළ මැනව; මාගේ හෘදයත් සිතත් විමසා බැලුව මැනව.

“මක්නිසාද ඔබගේ කරුණා ගුණය මාගේ ඇස් හමුයෙහිය; තවද මම ඔබවහන්සේගේ සත්‍යයෙහි පියනැගුවෙමි.” 2

එමෙන්ම 1833 දී ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “එසේහෙයින්, නුඹලාගේ සතුරන්ට බිය නොවන්න, මක්නිසාද මම මාගේ හදවතේ නියමයක් කර ඇත්තෙමියි, ස්වාමින්වහන්සේ පවසන සේක, එනම් නුඹලා සුදුසුදැයි සොයාගන්නා පිණිස, මරණය දක්වා වුවත්, නුඹලා මාගේ ගිවිසුමෙහි පවතින්නෙහුදැයි දැනගැනීමට, මම සියලු දේවලදී නුඹලාව පරීක්ෂා කර බලන්නෙමි.” 3

වර්තමානයේ පරීක්ෂා කිරීම සහ උත්සහ කිරීම

අපව විවිධාකාරයෙන් පරීක්ෂා කර, සෝදිසි කර, සහ විමසා බැලූ ගෝලීය වසංගතයක් මගින්, 2020 වන වසර සනිටුහන් කර තිබෙනවා. පුද්ගලයන් සහ පවුල් වශයෙන් අපිට අභියෝගාත්මක අත්දැකීම් වලින් පමණක් ඉගෙනගත හැකි වටිනා පාඩම් ඉගෙනගන්නට ලැබේ යැයි මම යාච්ඤා කරනවා. “දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය” සහ “උන්වහන්සේ [අපේ] පීඩාවන් [අපගේ] වාසි සඳහා කැප කරනු ඇත” යන සත්‍යය අප සියලුදෙනා වඩාත් හොඳින් පිළිගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. 4

අපගේ ජීවිතයේ පරීක්ෂා කිරීමේ හා සෝදිසි කිරීමේ තත්වයන්ට මුහුණදෙන විට, ඒවා කුමක් වුවත්, මූලික මූලධර්ම දෙකක් මගින් අපට මගපෙන්වා සහ ශක්තිමත් කළ හැකි වෙනවා: (1) සූදානම් වීමේ මූලධර්මය, සහ (2) ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව ඉදිරියට යාමේ මූලධර්මය.

පරීක්ෂාව සහ සූදානම

ගැලවුම්කරුවාණන්ගේ ගෝලයන් ලෙස, “අවශ්‍ය සියලු දේවල් සූදානම් කරන්න; තවද යාච්ඤාවේ නිවසක්, නිරාහාරයෙන් වූ නිවසක්, ඇදහිල්ලේ නිවසක්, ඉගෙනගන්නා වූ නිවසක්, මහිමයේ නිවසක්, පිළිවෙලින් වූ නිවසක්, දෙවියන්වහන්සේගේ නිවෙසක්, මෙන් වූ නිවසක් පිහිටුවාගන්න” ලෙස අපට ආඥා කර තිබෙනවා. 5

අපට මෙසේ පොරොන්දුවක්ද ලැබී තිබෙනවා, “නුඹලා සූදානම් වී ඇත්නම් නුඹලා බිය විය යුතු නොවන්නෝය.

“තවද එනම් නුඹලා සතුරාගේ බලයෙන් බේරී යන පිණිස, නොකැළැල්ව සහ නිදොස්ව, ධර්මිෂ්ඨ ජනතාවක් ලෙස මා වෙතට රැස්වන පිණිසය.” 6

අපගේ ජීවිත හා නිවෙස් ලෞකිකව හා අධ්‍යාත්මිකව යන දෙයාකාරයෙන්ම සංවිධානය කිරීම හා සකස් කිරීම සඳහා මෙම ශුද්ධලියවිලි පරිපූර්ණ රාමුවක් සපයනවා. ලෞකිකභාවය පිළිබඳ අත්දැකීම් පරීක්ෂා කිරීම සඳහා සූදානම් වීමට අප දරන උත්සාහයන් වලදී, බුද්ධිමය, ශාරීරික, අධ්‍යාත්මික හා සමාජ සූදානමෙහි සමතුලිතතාවය ඇතිව—“ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණු” 7 ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි.

මීට මාස කිහිපයකට පෙර දහවල් කාලයේදී, සුසෑන් සහ මම අපේ ආහාර ගබඩා කිරීම සහ හදිසි සැපයුම් ලැයිස්තු ගත කළා. ඒ වන විට COVID-19 වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබූ අතරම, භූමිකම්පා මාලාවක් යූටාහි අපගේ නිවස සොලවා තිබුනා. අපේ විවාහයේ මුල් අවධියේ සිටම අනපේක්ෂිත අභියෝග සඳහා සූදානම් වීම පිළිබඳ අනාවැකිමය උපදෙස් පිළිපැදීමට අපි කටයුතු කර තිබුනා, එමනිසා වෛරසය හා භූමිකම්පා මධ්‍යයේ අපගේ සූදානම පිළිබඳ තත්වය “සෝදිසි කර බැලීම” හොඳ හා කාලෝචිත දෙයක් ලෙස පෙනුණා. මෙම කලින් දන්වා නොතිබූ පරීක්ෂණ පිළිබඳ අපේ ශ්‍රේණිය සොයාගැනීමට අපට අවශ්‍ය වුණා.

අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා. බොහෝ දේවල් වලදී, අපගේ සූදානම් වීමේ කටයුතු හරියටම හරි. කෙසේවෙතත්, වෙනත් සමහර දේවල් වලදී, අපි යම් විශේෂිත අවශ්‍යතා කාලෝචිත ආකාරයකින් හඳුනාගෙන නොමැතිව ඒවාට විසඳුම් ලබාදී නොතිබූ නිසා වැඩි දියුණු කිරීම් අවශ්‍ය වුණා.

ඒ වගේම අපි ගොඩක් හිනා වුණා. නිදසුනක් වශයෙන්, දශක ගණනාවක් තිස්සේ අපගේ ආහාර ගබඩාවේ තිබූ දුරස්ථ කොටසක ඇති අයිතම අපි සොයාගත්තා. අවංකවම, තවත් ගෝලීය වසංගතයක් මුදා හැරේ යැයි බියෙන් සමහර බහාලුම් විවෘත කර පරීක්ෂා කිරීමට අපි බියවුණා! නමුත් අප විසින් අන්තරායකර ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කළ බවත්, ලෝකයට සෞඛ්‍ය අවදානම තුරන් කළ බවත් දැනගැනීමට ඔබ සතුටු විය යුතුයි.

සහෝදරයන් විසින් ප්‍රධාන සම්මන්ත්‍රණ වලදී ඒ හා සම්බන්ධ මාතෘකා පිළිබඳව මෑතකදී පුළුල්ව කතා කර නොමැති නිසා, හදිසි සැලසුම් සහ සැපයුම්, ආහාර ගබඩා කිරීම සහ පැය 72 ක කට්ටල තවදුරටත් වැදගත් නොවිය යුතු බව සමහර සභා සාමාජිකයන් සිතනවා. එහෙත් සූදානම් වීම සඳහා නැවත නැවත අවවාද කිරීම සභාවේ නායකයන් විසින් දශක ගණනාවක් තිස්සේ ප්‍රකාශයට පත්කර තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් අනාවැකිමය උපදෙස් වල අඛණ්ඩතාව ප්‍රබල පැහැදිලි ඉදිරිපත් කිරීමක් නිර්මාණය කරන අතර එය ඒකල ඉදිරිපත් කිරීම් වලට වඩා විශාල හඬක් සහිත අනතුරු ඇඟවීමේ පරිමාවක් නිර්මාණය කරනවා.

අභියෝගාත්මක කාලයන් තාවකාලික සූදානමෙහි ඇති අඩුපාඩු හෙළිකරනවා සේම, අධ්‍යාත්මික සාමාන්‍ය බවේ හා තෘප්තියේ අක්‍රමිකතාද දුෂ්කර පරීක්ෂාවන්හිදී ඒවායේ වඩාත් අහිතකර බලපෑම් වලට පහර ගසනවා. නිදසුනක් වශයෙන්, කන්‍යාවන් දස දෙනාගේ උපමාවෙන්, සූදානම කල්දැමීම අසාර්ථක පරීක්ෂණයකට හේතු වන බව අපි ඉගෙනගන්නවා. මනාලයා පැමිණෙන දිනයේදී ලබාදුන් විභාගයට සුදුසු පරිදි සූදානම් වීමට අනුවණ කන්‍යාවන් පස්දෙනා අසමත් වූ ආකාරය සිහිපත් කරන්න.

“නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙනයද්දී තමුන් සමග තෙල් නොගෙන ගියෝය:

“නුමුත් නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමග තමුන්ගේ භාජන වල තෙල් ගෙනගියෝය. …

“තවද මධ්‍යම රාත්‍රියේ: අන්න, මනමාලයා එනවා! ඔහුගේ පෙරමගට වරෙල්ලා යැයි හඬක් වූයේය.

“එවිට ඒ සියලු කන්‍යාවෝ නැගිට තමුන්ගේ පහන් හරිගැස්සුවෝය.

“එකල නුවණ නැත්තියෝ: අපේ පහන් නිවීගන යන නිසා නුඹලාගේ තෙලින් අපටත් දියල්ලා යැයි නුවණ ඇත්තියන්ට කීවෝය.

“නුමුත් නුවණ ඇත්තියෝ උත්තර දෙමින්: සමහරවිට අපටත් නුඹලාටත් මදිවෙයි: එසේ නොව විකුණන්නන් ළඟට ගොස්, නුඹලාටම මිලේට ගනිල්ලා යැයි කීවෝය.

“මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේය; සෑදී සිටියෝ ඔහු සමග සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසන ලද්දේය.

“පසුව අනික් කන්‍යාවොත් ඇවිත්: ස්වාමිනි, ස්වාමිනි, අපට දොර හැරිය මැනවයි කීවෝය.” 8

“නුමුත් ඔහු උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි, මම නුඹලා නාඳුනන්නෙමියි කීවේය.” 9

අවම වශයෙන් මෙම විභාගයේදී, අනුවණ කන්‍යාවන් පස්දෙනා තමන් වචනයට සවන්දෙන්නන් මිස ක්‍රියාත්මක කරන්නන් නොවන බව ඔප්පු කළා. 10

මට නීති විද්‍යාලයේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ සිසුවෙක් වුණු මිතුරෙක් සිටිනවා. අධ්‍යයන වාරයක් අතරතුර, සෑම දිනකම ඔහු ඇතුල්වී ඇති සෑම පාඨමාලාවක් සඳහාම ඔහුගේ සටහන් සමාලෝචනය කිරීමට, සාරාංශ කිරීමට සහ ඔහුගේ සටහන් වලින් ඉගෙනගැනීමට සෑම් කාලය ආයෝජනය කළා. සෑම සතියකම අවසානයේ සහ සෑම මසකම ඔහු සිය සියලුම පන්ති සඳහා ඒ එකම රටාව අනුගමනය කළා. ඔහුගේ එම ප්‍රවේශය නිසා හුදෙක් තොරතුරු කටපාඩම් කරගන්නට නොව, නමුත් ඔහුට නීතිය ඉගෙනගැනීමට හැකිවුණා. ඒ වගේම අවසාන විභාග ළඟා වෙත්ම සෑම් සූදානම් වී සිටියා. ඇත්තවශයෙන්ම, අවසාන විභාග කාලය ඔහුගේ නීතිමය පුහුණුවේ අවම ආතතියෙන් යුත් එකක් බව ඔහු සොයාගත්තා. ඵලදායී හා කාලෝචිත ලෙස සූදානම් වීම සාර්ථක පරීක්ෂණයකට මගපාදනවා.

සෑම්ගේ නීති අධ්‍යාපනය පිළිබඳ ප්‍රවේශය, වර්ධනය හා සංවර්ධනය සඳහා ස්වාමින්වහන්සේගේ මූලික රටාවන්ගෙන් එකක් ඉස්මතු කරනවා. “ස්වාමින් වූ දෙවියන්වහන්සේ මෙසේ පවසන සේක: “මම මනුෂ්‍ය දරුවන් වෙතට පේලියෙන් පේලියට, අඥාවෙන් අඥාවට මෙහි ටිකක් එහි ටිකක් දෙන්නෙමි; තවද මාගේ උපදේශ වලට කන්දෙන්නාවූද, මගේ අඥාවන් ඇහුන්කම් දෙන්නන්ටද, ආශිර්වාද කරන්නෙමි, මක්නිසාද ඔවුන් ප්‍රඥාව ඉගෙනගන්නේය; ලබාගන්නාවූ තැනැත්තාට මම වැඩියෙන් දෙන්නෙමි.” 11

“[අපගේ] මාර්ග සිතට ගන්නටත්” 12 එමෙන්ම “[අප] ඇදහිල්ලෙන් සිටිනවාද කියා [අපවම] පරීක්ෂා කර බලන පිණිස, [අපවම] සෝදිසි කර බලන්නටත්” 13 මම අපි සෑම කෙනෙකුටම ආරාධනා කරනවා. මෙම මෑත මාස වල ජීවන රටා වෙනස්වීම් හා සීමාවන් තුළ අප ඉගෙනගත්තේ මොනවාද? අධ්‍යාත්මිකව, ශාරීරිකව, සමාජීයව, චිත්තවේගීයව හා බුද්ධිමය වශයෙන් අපගේ ජීවිත වල වැඩිදියුණු කළ යුත්තේ මොනවාද? අපගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ අපට ආඥා කරන ඕනෑම දෙයක් කිරීමට අපගේ කැමැත්ත සහ හැකියාව සඳහා සූදානම් වීමටත් අපවම පරීක්ෂා කර බලාගැනීමටත් කාලය දැන් එළඹ තිබෙනවා.

ඔප්පු කිරීම සහ ඉදිරියට ඇදීම

වරක් මම හදිසි අනතුරකින් මියගිය තරුණ ධර්මදූතයෙකුගේ අවමංගල්‍යයකට සහභාගි වුණා. එම ධර්මදූතවරයාගේ පියා එම රැස්වීමේදී කතා කළ අතර, ආදරණීය දරුවෙකුගෙන් අනපේක්ෂිත ලෙස ලෞකික වෙන්වීමක සිත් වේදනා විස්තර කළා. එම ධර්මදූතවරයාගේ පියා එම රැස්වීමේදී කතා කළ අතර, ආදරණීය දරුවෙකුගෙන් අනපේක්ෂිත ලෙස ලෞකික වෙන්වීමක සිත් වේදනා විස්තර කළා. නමුත් මේ යහපත් මිනිසා තම දරුවාගේ අභාවය සඳහා හේතු සහ වේලාව දෙවියන්වහන්සේ දන්නා බව තමා දැන සිටි බවත්, එය ඔහුට ප්‍රමාණවත් බවත් ප්‍රකාශ කිරීම මට සැමවිටම මතක තිබෙනවා. තමා සහ ඔහුගේ පවුලේ අය ශෝකජනක වුවත්, යහපත් බව ඔහු සභාවට කීවා; ඔවුන්ගේ සාක්ෂි නොසෙල්වී ස්ථිරව පැවතුනා. ඔහු සිය ප්‍රකාශය අවසන් කළේ මෙම ප්‍රකාශයත් සමඟයි: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සම්බන්ධයෙන් ගත් කළ, අපගේ පවුලේ සියල්ලන්ම එහි සිටින බව ඔබ දැනගැනීම මට අවශ්‍යයි. අප සියල්ලන්ම එහි සිටී.”

දයාබර ආදරණීයයෙකුගේ වියෝව හදවත කම්පා කරවන හා දුෂ්කර දෙයක් වුවද, මෙම ධෛර්ය සම්පන්න පවුලේ සාමාජිකයන් තමන් විඳින දුක් ගැහැට තුළින් සදාකාලික වැදගත්කම පිළිබඳ පාඩම් ඉගෙනගත හැකි බව ඔප්පු කිරීමට අධ්‍යාත්මිකව සූදානම්ව සිටියා. 14

ඇදහිලිවන්තභාවය යනු මෝඩකම හෝ උමතුව නොවේ. ඒ වෙනුවට, එය අපගේ ගැලවුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි, උන්වහන්සේගේ නාමය කෙරෙහි, සහ උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාස කිරීම හා අපගේ බලාපොරොත්තුව තැබීමයි. අපි “ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථීරත්වය ඇතිව, බලාපොරොත්තුවේ පරිපූර්ණ ආලෝකය ඇතිව, තවද දෙවියන්වහන්සේට හා සියලු මනුෂ්‍යයන්ට ප්‍රේමය ඇතිව ඉදිරියට ගමන් කරන විට,” 15 අපගේ සීමිත ලෞකික හැකියාවෙන් ඔබ්බට විහිදෙන සදාකාලික ඉදිරි දර්ශනයකින් හා දැක්මකින් අපට ආශිර්වාද ලැබෙනවා. අපිට “එකට එක්රැස් වී, තවද ශුද්ධ වූ ස්ථානයන්හි නැගී සිටින්නටත්” 16 සහ “ස්වාමින්වහන්සේගේ දවස පැමිණෙන තුරු නොසැලී සිටින්නටත්” 17 හැකියාව ලැබෙයි.

මම අයිඩහෝ–බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලයේ සභාපති ලෙස සේවය කරමින් සිටියදී, වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් අපගේ සතිපතා රැස්වීමක කතා කරන්නට 1998 දෙසැම්බර් මාසයේදී අපේ විශ්වවිද්‍යාලයට පැමිණියා. ඔහුගේ පණිවිඩය ලබාදීමට පෙර වැඩිහිටි හොලන්ඩ්ව හමුවීමට හා බැහැදැකීමට සුසෑන් සහ මම ශිෂ්‍ය කණ්ඩායමකට ආරාධනා කළා. අපි එකට ගතකළ කාලය අවසානයට ලංවෙද්දී මම වැඩිහිටි හොලන්ඩ්ගෙන් මෙහෙම ඇහුවා, “ඔබට මෙම සිසුන්ට එක දෙයක් පමණක් ඉගැන්විය හැකි නම්, එය කුමක්ද?”

ඔහු මෙසේ පිළිතුරු දුන්නා:

“පරස්පරතාවය දෙසට වෙන කවරදාටත් වඩා විශාල ගමනක් අපි දකිනවා. පසු-දවස්වල ශුද්ධවන්තයන් ලෙස මැද බිම් විකල්ප අපෙන් ඉවත් කරනු ලැබෙයි. මාර්ගයේ මැද කොටස ඉවත් කරනු ලැබෙයි.

“ඔබ ගංගාවක ධාරාවෙහි ජලය හබල්ගාන්නේ නම්, ඔබ කොහේ හෝ යාවි. සරලව එම ධාරාව ඔබව රැගෙන යන ඕනෑම තැනකට ඔබ යා හැකියි. එම දියපාර සමඟ යෑම, වඩදිය බාදිය අනුගමනය කිරීම, ධාරාවේ ගසාගෙන යාම අපට සුදුසු වන්නේ නෑ.

“තේරීම් කළ යුතුයි. තේරීමක් නොකිරීමත් තේරීමකි. දැන් තෝරාගැනීමට ඉගෙනගන්න. ”

ඔහු මගේ ප්‍රශ්ණයට පිළිතුරු දුන් දා සිටම, එම අවුරුදු 22 පුරාවට සමාජීය ප්‍රවණතා සහ සිදුවීම් තුළින් එම පරස්පරතාවයේ වැඩිවීම පිළිබඳ වැඩිහිටි හොලන්ඩ්ගේ ප්‍රකාශය අනාවැකිමය විදියට ඔප්පු වී තිබෙනවා. ස්වාමින්වහන්සේගේ හා ලෝකයේ මාර්ග අතර පුළුල් වන වෙනස පුරෝකථනය කරමින්, නැවත පිහිටුවන ලද සභාවේ එක් අඩියකුත්, ලෝකයේ එක් අඩියකුත් සුවපහසු ලෙස තබාගෙන ගත කළ කාලය ඉක්මනින් අතුරුදහන් වන බව වැඩිහිටි හොලන්ඩ් අනතුරු ඇඟෙව්වා. ස්වාමින්වහන්සේගේ මෙම සේවකයා විසින් තෝරාගැනීමට, සූදානම් වීමට හා ගැලවුම්කරුවාණන්ගේ කැපවූ ගෝලයන් බවට පත්වීමට තරුණ තරුණියන්ව දිරිමත් කළා. ඔහු ඔවුන්ගේ ජීවිත වල අත්දැකීම් පරීක්ෂා කරමින්, සෝදිසි කරමින් සහ විමසා බැලීම තුළින් සූදානම් වීමට හා ඉදිරියට යාමට ඔවුන්ට උදව් කළා.

පොරොන්දුව සහ සාක්ශිය

අපව පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රීතිය පිළිබඳ ශ්‍රේෂ්ඨ සැලැස්මේ මූලික කොටසක්. ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ලෙන් යුතුව අප සූදානම් වෙමින් ඉදිරියට යන විට, ලෞකිකත්වය පිළිබඳ අවසාන පරීක්ෂණයෙන් අප සැමට එකම ශ්‍රේණියක් ලබාගත හැකි බවට මම පොරොන්දු වෙනවා: “යහපත් වූ විශ්වාස වූ දාසය, ඒ යහපතය: ස්වල්ප දේ මත නුඹ විශ්වාස වූවෙහිය, බොහෝ දේ කෙරෙහි මම නුඹ අධිපති කරමි: නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙයන්න.” 18

සදාකාල පියාණන් වන දෙවියන්වහන්සේ අපගේ පියාණන්වහන්සේ බව මම සාක්ෂි දෙනවා. අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ එකම සහ ජීවමාන පුත්‍රයාණන්. ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ නාමයෙන් මෙම සත්‍යයන් ගැන මම ප්‍රීතියෙන් යුතුව සාක්ෂි දරනවා, ආමෙන්.