ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්න
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්න

ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට ඔබ කැමතිද? ඔබේ ජීවිතයේ වැදගත්ම බලපෑම දෙවියන්වහන්සේ වීමට සැලැස්වීමට ඔබ කැමතිද?

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම සම්මන්ත්‍රණයේ පුදුමාකාර පණිවුඩ වලට සහ දැන් ඔබ සමඟ කථා කිරීමට ලැබීමට මට ලැබුණු වරප්‍රසාදයට මම කොතරම් ස්තූතිවන්ත වෙනවාද.

අවුරුදු 36 කට වැඩි කාලයක් මම ප්‍රේරිතයෙකු ලෙස කටයුතු කළ නිසා, ඊශ්‍රායෙලය එක්රැස් කිරීමේ මූලධර්මය මගේ අවධානයට ලක්වී තිබෙනවා. 1 ආබ්‍රරහම්, ඊසාක් සහ යාකොබ්ගේ දේවසේවයන් සහ නම් 2 ඇතුළුව, ඒ පිළිබඳ සෑම දෙයක්ම මා තුළ කුතුහලයක් ඇතිකර තිබෙනවා; ඔවුන්ගේ ජීවිත සහ භාර්යාවන්; දෙවියන්වහන්සේ ඔවුන් සමඟ ඇතිකරගත් සහ ඔවුන්ගේ පෙළපත පුරා 3 විහිදුනු ගිවිසුම; ගෝත්‍ර දොළොස විසුරුවා හැරීම; අපේ කාලයේ එය එක්රැස්වීම පිළිබඳ අනාවැකි රාශියක් ඒ අතර වෙනවා.

මම මෙම එක්රැස්වීම පිළිබඳ අධ්‍යයනය කර, ඒ ගැන යාච්ඤා කර, අදාළ සෑම ශුද්ධලියවිලි පදයක් තුළම භුක්තිවිඳ, මගේ තේරුම්ගැනීම වැඩි කරන ලෙස ස්වාමින්වහන්සේගෙන් ඉල්ලුවා.

ඒ නිසා මෑතකදී මාව නව අවබෝධයක් කරා ගෙනගිය විට මගේ සතුට ගැන සිතා බලන්න. ඊශ්‍රායෙලය යන වචනයේ එක් හෙබ්‍රෙව් අර්ථයක් “දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්න” බව හෙබ්‍රෙව් විශාරදයන් දෙදෙනෙකුගේ උපකාරයෙන් මම දැනගත්තා. 4 මේ අනුව ඊශ්‍රායෙලය යන නමෙන්ම අදහස් කරන්නේ දෙවියන්වහන්සේට ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ දිනන්නට ඉඩදීමට කැමති පුද්ගලයෙක් ගැනයි. එම සංකල්පය මගේ ආත්මය උනන්දු කරවනවා!

ඊශ්‍රායෙලයේ මෙම අර්ථ නිරූපණයට කැමැත්ත යන වචනය ඉතා වැදගත්. 5 අපි හැමෝටම අපේ තෝරාගැනීමේ නිදහස තියෙනවා. අපට ඊශ්‍රායෙලය වීමට, හෝ නොවීමට තෝරාගත හැකියි. අපට අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේට දිනන්නට හෝ පරදින්නට ඉඩදිය හැකියි. අපගේ ජීවිතයේ වඩාත්ම බලගතුම බලපෑම වීමට හෝ නොවීමට දෙවියන්වහන්සේට ඉඩදීමට අපට තෝරාගත හැකියි.

ආබ්‍රහම්ගේ මුනුබුරා වූ, යාකොබ්ගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් මොහොතකට අපි සිහිපත් කරමු. යාකොබ් පෙනියෙල් ලෙස නම් කළ ස්ථානයේ (එහි අර්ථය “දෙවියන්වහන්සේගේ මුහුණ”) 6 යාකොබ් බරපතල අභියෝගයකට මුහුණදුන්නා. ඔහුගේ තෝරාගැනීමේ නිදහස පරීක්ෂාවට ලක්වුණා. මෙම පොරබැදීම තුළින්, යාකොබ් තමාට වඩාත්ම වැදගත් වූ දේ කුමක්ද කියා ඔප්පු කළා. තම ජීවිතය තුළ දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්නට ඔහු කැමැත්තෙන් සිටින බව ඔහු පෙන්නුම් කළා. ඊට ප්‍රතිචාර වශයෙන් දෙවියන්වහන්සේ යාකොබ්ගේ නම ඊශ්‍රායෙලය ලෙස වෙනස් කළා, එහි අර්ථය “දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්න” යන්නයි. 7 ආබ්‍රහම්ගේ හිස මත ප්‍රකාශ කර ඇති සියලු ආශිර්වාද ඔහුගේද බව දෙවියන්වහන්සේ ඊශ්‍රායෙලයට පොරොන්දු වුණා. 8

කණගාටුවට කරුණක් නම්, ඊශ්‍රායෙලයේ පරම්පරාව දෙවියන්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් බිඳ දැමීමයි. ඔවුන් අනාගතවක්තෘවරුන්ට ගල් ගැසූ අතර දෙවියන්වහන්සේට ඔවුන්ගේ ජීවිත වල දිනන්නට ඉඩදුන්නේ නෑ. පසුව, දෙවියන්වහන්සේ ඔවුන්ව පොළොවේ සතර කොනේ විසිරුවා හැරියා. 9 යෙසායා වාර්තා කළ පරිදි දයානුකම්පිතව, පසුව ඔවුන්ව එක්රැස් කරන බවට උන්වහන්සේ පොරොන්දු වුණා: “මම ලුහුඬු මොහොතකට නුඹ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පා වලින් නුඹ නැවත කැඳවාගන්නෙමි.” 10

ඊශ්‍රායෙලය පිළිබඳ හෙබ්‍රෙව් අර්ථදැක්වීම මනසේ තබාගෙන, ඊශ්‍රායෙලය එක්රැස් කිරීම අමතර අර්ථයක් ගන්නා බව අපි සොයාගන්නවා. ඔවුන්ගේ ජීවිත වල දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට කැමති අයව ස්වාමින්වහන්සේ එක්රැස් කරනවා. ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම බලපෑම දෙවියන්වහන්සේ වීමට ඉඩදීමට තෝරාගන්නා අයව ස්වාමින්වහන්සේ එක්රැස් කරනවා.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ අනාගතවක්තෘවරුන් මෙම එක්රැස්වීම 11 ගැන පුරෝකථනය කර ඇති අතර එය දැන් සිදුවෙමින් පවතිනවා! ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීමට අත්‍යවශ්‍ය පෙරවදනක් ලෙස එය ලෝකයේ වැදගත්ම කාර්යය වෙනවා!

මෙම සහස්‍රයට පෙර එක්රැස්වීම මිලියන සංඛ්‍යාත ජනතාවක් සඳහා ඇදහිල්ල හා අධ්‍යාත්මික ධෛර්යය පුළුල් කිරීමේ තනි කතාවක්. එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් වශයෙන් හෝ “පසු-දවස්වල ගිවිසුමේ ඊශ්‍රායෙලයේ” 12 සාමාජිකයන් වශයෙන්, මෙම වැදගත් කාර්යයට ස්වාමින්වහන්සේට උපකාර කරන ලෙස අපව කැඳවා තිබෙනවා. 13

තිරය දෙපස ඊශ්‍රායෙලය එක්රැස් කිරීම ගැන කතා කරන විට, ඇත්තවශයෙන්ම අපි සඳහන් කරන්නේ ධර්මදූත, දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු ගැනයි. අපි සඳහන් කරන්නේ අප ජීවත් වන, වැඩ කරන සහ සේවය කරන අයගේ හදවත් තුළ ඇදහිල්ල හා සාක්ෂි ගොඩනැගීම ගැනයි. දෙවියන්වහන්සේ සමඟ ඔවුන්ගේ ගිවිසුම් ඇතිකරගැනීමට සහ තබාගැනීමට—තිරය දෙපසින් සිටින—ඕනෑම කෙනෙකුට, උදව් කරන්නට ඕනෑම දෙයක් අපි කරන විට, අපි ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට උදව් කරනවා.

මෑතකදී, අපේ මුනුබුරෙකුගේ බිරිඳක් ආත්මිකව අරගල කරමින් සිටියා. මම ඇයව “ජිල්” ලෙස හඳුන්වන්නම්. නිරාහාරව සිටීම, යාච්ඤාව සහ පූජකත්ව ආශිර්වාද තිබියදීත්, ජිල්ගේ පියා මිය යමින් සිටියා. ඇගේ පියා සහ ඇගේ සාක්ෂිය යන දෙකම අහිමි වේ යැයි බියෙන් ඇය තදින් අල්ලාගෙන සිටියා.

එක් සැන්දෑවක අගභාගයේදී, මගේ බිරිඳ, වෙන්ඩි නෙල්සන් සහෝදරිය මට ජිල්ගේ තත්වය පැවසුවා. ඊළඟ දවසේ උදේ ඇයගේ අධ්‍යාත්මික පොරබැදීමට මා දක්වන ප්‍රතිචාරය එක වචනයක් බව වෙන්ඩි ජිල් සමඟ බෙදාගැනීම පුදුමයට කරුණක් වුණා! ඒ වචනය තමයි දුර නොපෙනීම.

ජිල් පසුව වෙන්ඩිට පවසා තිබුණේ මගේ ප්‍රතිචාරයෙන් මුලදී ඇය කනස්සල්ලට පත්වූ බවයි. ඇය මෙහෙම කිව්වා, “මම බලාපොරොත්තු වුණේ තාත්තා වෙනුවෙන් ප්‍රාතිහාර්යයක් කරන බවට සීයා පොරොන්දු වෙයි කියලා. දුර නොපෙනීම යන වචනය ගැන ඔහුට කීමට පෙළඹවීමක් දැනුනේ ඇයිදැයි මම කල්පනා කළා.”

ජිල්ගේ පියා මියගිය පසු, දුර නොපෙනීම යන වචනය විටින් විට ඇගේ මතකයට නැඟුණා. දුර නොපෙනීම යන්නෙන් අදහස් කරන්නේ “ලඟ පමණක් දැකීම” බව ඊටත් වඩා ගැඹුරින් වටහාගැනීමට ඇය හදවත විවෘත කළා. එවිට ඇගේ සිතුවිලි වෙනස් වීමට පටන්ගත්තා. එවිට ජිල් මෙසේ පැවසුවා, “දුර නොපෙනීම යන වචනය මට නැවැත්වීමට, සිතීමට සහ සුවවීමට හේතු වුණා. ඒ වචනය දැන් මාව සමාදානයෙන් පුරවනවා මගේ දෘෂ්ටිකෝණය පුළුල් කර සදාකාලිකත්වය සෙවීමට එය මට මතක්කර දෙනවා. මෙහි දිව්‍යමය සැලැස්මක් ඇති බවත් මගේ තාත්තා තවමත් ජීවත්වන බවත් ආදරය කරන බවත් මා ගැන බලා සිටින බවත් එය මට මතක්කර දෙනවා. දුර නොපෙනීම මාව දෙවියන්වහන්සේ වෙතට මගපෙන්වූවා.”

අපේ වටිනා මිණිබිරිය ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. ඇගේ ජීවිතයේ මේ හද කම්පා කරවන කාලය තුළ, ඇගේ ජීවිතය සඳහා සදාකාලික ඉදිරිදර්ශනයක් සහිතව, ආදරණීය ජිල් තම පියා වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත වැලඳගැනීමට ඉගෙනගන්නවා. දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට තෝරාගැනීමෙන් ඇය සාමය සොයාගනිමින් ඉන්නවා.

අප එයට ඉඩදෙන්නේ නම්, ඊශ්‍රායෙලය පිළිබඳ මෙම හෙබ්‍රෙව් අර්ථ නිරූපණයට අපට උපකාර කළ හැකි බොහෝ ක්‍රම තිබෙනවා. මෙම සංකල්පය මනසේ තබාගෙන අපගේ ධර්මදූතවරුන් වෙනුවෙන් සහ ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට අප ගන්නා උත්සාහයන් සඳහා අපගේ යාච්ඤාවන් වෙනස් වන්නේ කෙසේදැයි සිතා බලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ සත්‍යතාවන් ලබාගැනීමට සූදානම්ව සිටින අය වෙත අපව සහ ධර්මදූතයින්ව යොමුකරනු ඇතැයි අපි බොහෝ විට යාච්ඤා කරනවා. දෙවියන්වහන්සේට ඔවුන්ගේ ජීවිත වල දිනන්නට ඉඩදීමට කැමති අය සොයාගැනීමට අප ආයාචනා කරන විට අපව යොමුකරන්නේ කා වෙතටද කියා මම කල්පනා කරනවා?

දෙවියන්වහන්සේ හෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි කිසිවිටෙකත් විශ්වාස නොකළ නමුත් දැන් උන්වහන්සේලා ගැනත් උන්වහන්සේලාගේ ප්‍රීතිය පිළිබඳ සැලැස්ම ගැනත් ඉගෙනගැනීමට ආශාවෙන් සිටින සමහර අය වෙත අපව යොමුකෙරෙයි. තවත් සමහරු “ගිවිසුමේ උපත ලැබූ” 14 අය විය හැකි නමුත් එතැන් පටන් ගිවිසුම් මාර්ගයෙන් ඉවතට ගොස් ඇති අය විය හැකියි. ඔවුන් දැන් පසුතැවිලිවීමට, නැවත පැමිණීමට හා දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට සූදානම් වී සිටිනවා විය හැකියි. විවෘත දෑත් සහ හදවත් වලින් ඔවුන්ව පිළිගැනීමෙන් අපට ඔවුන්ට සහාය විය හැකියි. අපව මෙහෙයවනු ලබන සමහරුන්ට ඔවුන්ගේ ජීවිතයේ යම් දෙයක් නැතිවී ඇති බව සැමවිටම හැඟෙන්නට ඇති. ඔවුන්ගේ ජීවිත තුළ දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට කැමති අයට ලැබෙන සම්පූර්ණත්වය හා ප්‍රීතිය සඳහා ඔවුන්ද ආශාවෙන් සිටිනවා.

විසිරුණු ඊශ්‍රායෙලය එක්රැස් කිරීම සඳහා වන ශුභාරංචි දැල පුළුල්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය මුළුමනින්ම වැලඳගන්නා සෑම පුද්ගලයෙකුටම එහි ඉඩකඩ තිබෙනවා. සෑම හැරී එන්නෙක්ම උපතින් හෝ දරුකමට හදාගැනීමෙන් දෙවියන්වහන්සේගේ ගිවිසුම් දරුවන්ගෙන් 15 කෙනෙකු බවට පත්වෙනවා. එම එක් එක්කෙනා දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ ඇදහිලිවන්ත දරුවන්ට පොරොන්දු වූ සියල්ලෙන් සම්පූර්ණ උරුමක්කරුවන් බවට පත්වෙනවා! 16

අප සෑමකෙනෙකුටම දිව්‍යමය හැකියාවක් තිබෙනවා මන්ද සෑමකෙනෙකුම දෙවියන්වහන්සේගේ දරුවෙක්. සෑමකෙනෙකුම උන්වහන්සේගේ දෑස් හමුවේ එක හා සමානයි. මෙම සත්‍යයේ ඇඟවුම් ගැඹුරුයි. සහෝදර සහෝදරියනි, මම කියන්නට යන දෙයට ඉතා උවමනාවෙන් සවන්දෙන්න. දෙවියන්වහන්සේ එක් ජාතියකට වඩා තවත් ජාතියකට ආදරය කරන්නේ නෑ. මේ කාරණය සම්බන්ධයෙන් උන්වහන්සේගේ මූලධර්ම පැහැදිලියි. “කළු, සුදු, වහල්ලා හෝ නිදහස් තැනැත්තා, පිරිමි සහ ගැහැණු” යන සැමටම තමා වෙතට එන ලෙස උන්වහන්සේ ආරාධනා කරනවා. 17

ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ සිටගැනීම ඔබගේ සමේ පැහැය මත තීරණය නොවන බව මම ඔබට සහතික වෙනවා. දෙවියන්වහන්සේ කෙරෙහි දක්වන ප්‍රසාදය හෝ අප්‍රසාදය රඳාපවතින්නේ දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ ආඥා කෙරෙහි ඇති ඔබගේ භක්තිය මත මිස ඔබේ සමේ වර්ණය මත නොවේ.

ලොව පුරා සිටින අපගේ කළු සහෝදර සහෝදරියන් ජාතිවාදයේ හා අගතියේ වේදනා විඳදරාගැනීම ගැන මම දුක්වෙනවා. අගතියේ ආකල්ප හා ක්‍රියාවන් අතහැර දැමීමට කටයුතු කරන ලෙස, අද මම සෑම තැනකම සිටින අපගේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ගෞරවය ප්‍රවර්ධනය කරන ලෙස මම ඔබෙන් අයැද සිටිනවා.

ජාතිය කුමක් වුවත් අප එක් එක්කෙනාගේ එම ප්‍රශ්නය එක හා සමානයි. ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට ඔබ කැමතිද? ඔබේ ජීවිතයේ වැදගත්ම බලපෑම දෙවියන්වහන්සේ වීමට සැලැස්වීමට ඔබ කැමතිද? උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ ආඥා සහ උන්වහන්සේගේ ගිවිසුම් වලට ඔබ දිනපතා කරන දෙයට බලපෑම් කිරීමට ඔබ ඉඩදෙනවාද? උන්වහන්සේගේ හඬට වෙනත් ඕනෑම දෙයකට වඩා ප්‍රමුඛතාවය ගැනීමට ඔබ ඉඩදෙනවාද? අනෙක් සෑම අභිලාෂයකට වඩා ප්‍රමුඛස්ථානය ගැනීමට උන්වහන්සේට අවශ්‍ය ඕනෑම දෙයකට ඉඩදීමට ඔබ කැමතිද? ඔබගේ කැමැත්ත උන්වහන්සේ තුළ ගිලදැමීමට ඔබ කැමතිද? 18

එවැනි කැමැත්තක් ඔබට ආශිර්වාද කරන්නේ කෙසේදැයි සලකා බලන්න. ඔබ අවිවාහක නම් සහ සදාකාලික සහකරුවෙක් සොයන්නේ නම්, “ඊශ්‍රායෙලයේ” වීමට ඇති ඔබේ ආශාව, කාව හා කෙසේද දැන හඳුනාගන්නවාද යන්න තීරණය කිරීමට ඔබට උපකාරී වෙයි.

ඔබ විවාහ වී සිටින්නේ ඔහුගේ හෝ ඇයගේ ගිවිසුම් කඩ කළ සහකරුවෙකු සමඟ නම්, ඔබේ ජීවිතය තුළ දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට ඔබ දක්වන කැමැත්ත දෙවියන්වහන්සේ සමඟ ඇති ඔබේ ගිවිසුම් නොවෙනස්ව පවතින්නට සලස්වයි. ගැලවුම්කරුවාණන් ඔබේ බිඳුණු හදවත සුවකරයි. ඔබ ඉදිරියට යා යුතු ආකාරය දැනගැනීමට උත්සාහ කරන විට ස්වර්ගයන් විවෘත වෙයි. ඔබ ඉබාගාතේ යෑමට හෝ පුදුම වීමට අවශ්‍ය නෑ.

ඔබට ශුභාරංචිය ගැන හෝ සභාව ගැන අවංක ප්‍රශ්න තිබේ නම්, දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට ඔබ තෝරාගන්නා විට, ඔබේ ජීවිතයට මඟපෙන්වන සහ ගිවිසුම් මාවතේ ස්ථිරව සිටීමට ඔබට උපකාර වන පරම සදාකාලික සත්‍යයන් සොයාගැනීමට සහ තේරුම්ගැනීමට ඔබව යොමු කෙරෙයි.

ඔබ පරීක්ෂාවන්ට මුහුණදෙන විට—ඔබ වෙහෙසට පත්ව සිටින විට හෝ තනිවම හෝ වරදවා වටහාගෙන ඇති විට එම පරීක්ෂාවන් පැමිණියද—දෙවියන්වහන්සේට ඔබේ ජීවිතයේ දිනන්නට ඉඩදෙන්නට තෝරාගන්නා විට සහ ඔබව ශක්තිමත් කරන ලෙස උන්වහන්සේගෙන් අයැද සිටින විට ඔබට රැස්විය හැකි ධෛර්යය ගැන සිතා බලන්න.

ඔබේ ලොකුම ආශාව වන්නේ දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීම නම්, ඊශ්‍රායෙලයේ කොටසක් වීම නම්, බොහෝ තීරණ පහසු වෙයි. බොහෝ ගැටළු ගැටළු නොවන ඒවා බවට පත්වේ! ඔබම ලස්සනට සැරසෙන්නේ කෙසේදැයි ඔබ දන්නවා. නැරඹිය යුතු හා කියවිය යුතු දේ, ඔබේ කාලය ගතකළ යුත්තේ කොතැනද, සහ ඇසුරු කළ යුත්තේ කා සමඟද යන්න ඔබ දන්නවා. ඔබට ඉටුකරගැනීමට අවශ්‍ය දේ ඔබ දන්නවා. ඔබ සැබවින්ම වීමට කැමති පුද්ගලයා කවුරුද කියා ඔබ දන්නවා.

දැන්, මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට ඇදහිල්ල හා ධෛර්යය අවශ්‍ය වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් පසුතැවිලි වීමට හා ස්වාභාවික මිනිසා ඉවත්කිරීමට අඛණ්ඩ, දැඩි අධ්‍යාත්මික වැඩක් අවශ්‍ය වෙනවා. 19 ශුභාරංචිය අධ්‍යනය කිරීමට, ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන වැඩියෙන් දැනගැනීමට සහ පුද්ගලික එළිදරව් කිරීම් වලට ප්‍රතිචාර දැක්වීමට පෞද්ගලික පුරුදු වර්ධනය කරගැනීමට නිරන්තර, දිනපතා උත්සාහයක් අවශ්‍ය වෙනවා.

ප්‍රේරිත පාවුල් අනාවැකි පැවසූ 20 මෙම අනතුරුදායක කාල වලදී, සාතන් තවදුරටත් දෙවියන්වහන්සේගේ සැලැස්මට එරෙහි ප්‍රහාර සැඟවීමට උත්සාහ කරන්නේ නෑ. ධෛර්යසම්පන්න නපුර බහුලව තිබෙනවා. එමනිසා, අධ්‍යාත්මිකව දිවි ගලවා ගතහැකි එකම ක්‍රමය නම් දෙවියන්වහන්සේට අපගේ ජීවිත තුළ දිනන්නට ඉඩදීම, උන්වහන්සේගේ හඬ ඇසීමට ඉගෙනගැනීම සහ ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට අපගේ ශක්තිය යෙදවීමයි.

දැන්, දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන මිනිසුන් ගැන ස්වාමින්වහන්සේට හැඟෙන්නේ කෙසේද? නෙපි එය හොඳින් සාරාංශ කළා: “උන්වහන්සේව ඔවුන්ගේ දෙවියන්වහන්සේ කරගන්නා අයට [ස්වාමින්වහන්සේ] ප්‍රේම කරන සේක. බලව, උන්වහන්සේ අපගේ පියවරුන්ට ප්‍රේම කළ සේක, උන්වහන්සේ ඔවුන් සමග ගිවිසුම් කළ සේක, එසේය ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සමඟ පවා; තවද උන්වහන්සේ උන්වහන්සේ කළ ගිවිසුම් මතකතබාගන්නා සේක.” 21

ස්වාමින්වහන්සේ ඊශ්‍රායෙල්වරුන් උදෙසා කුමක් කිරීමට කැමතිද? ස්වාමින්වහන්සේ පොරොන්දු වී ඇත්තේ උන්වහන්සේ “[අපේ] සටන් වලට, [අපේ] දරුවන්ගේ සටන් වලට සහ අපේ දරුවන්ගේ දරුවන්ගේත් [සටන් වලට] තුන්වන සහ හතරවන පරම්පරාව වෙනුවෙන් සටන් කරන බවය! 22

ඊළඟ මාස හය තුළ ඔබ ඔබේ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ඊශ්‍රායෙල් ගිවිසුම සඳහා දෙවියන්වහන්සේ පොරොන්දු වූ සියල්ල ලැයිස්තුවක් සාදන්නැයි මම ඔබව දිරිමත් කරනවා. මම හිතන්නේ ඔබ මවිතයට පත්වේවි! මේ පොරොන්දු ගැන මෙනෙහි කරන්න. ඔබේ පවුලේ අය සහ මිතුරන් සමග ඒ දේවල් ගැන කතා කරන්න. ඉන්පසු ඔබේ ජීවිතයේදී මෙම පොරොන්දු ඉටුවන තෙක් බලාසිටිමින් ජීවත් වෙන්න.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබේ ජීවිත තුළ දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට ඔබ තෝරාගන්නා විට, අපගේ දෙවියන්වහන්සේ “ප්‍රාතිහාර්යයන්ගේ දෙවියන්වහන්සේ කෙනෙකු” බව ඔබටම දැනෙයි. 23 ජනතාවක් වශයෙන්, අපි උන්වහන්සේගේ ගිවිසුම් දරුවෝයි, අපිව හඳුන්වනු ලබන්නේ උන්වහන්සේගේ නමිනුයි. මම ඒ ගැන සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන් ආමෙන්.

සටහන්:

  1. ප්‍රේරිතවරයෙකු ලෙස ගත කළ අවුරුදු 36 තුළ මා විසින් එවන ලද පණිවුඩ 800 කට වඩා වැඩි ගණනකින් 378 ක්වත් ඊශ්‍රායලය ගැන කතා කර ඇත්තෙමි.

  2. හෙබ්‍රෙව් භාෂාවෙන් ආබ්‍රම් යනු උතුම් නමකි එහි තේරුම වන්නේ “උත්කෘෂ්ඨ වූ පියා.” නමුත් දෙවියන්වහන්සේ එම නාමය ආබ්‍රහම් ලෙස වෙනස් කළ විට, එම නාමය ඊටත් වඩා වැදගත්කමක් උසුලයි, එහි අර්ථය “සමූහයක පියා” යන්නයි. ඇත්තවශයෙන්ම, ආබ්‍රහම් “බොහෝ ජාතීන්ගේ පියා” විය. (බලන්න උත්පත්ති 17:5; නෙහෙමියා 9:7.)

  3. යෙහෝවා දෙවි ස්වාමින්වහන්සේ ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇතිකරගත්තේ ලෝකයේ ගැලවුම්කරුවාණන් ආබ්‍රහම්ගේ වංශය තුළින් උපත ලබන බවත්, සමහර දේශයන් උරුම වන බවත්, සියලු ජාතීන් ආබ්‍රහම්ගේ පෙළපත තුළින් ආශිර්වාද ලබන බවත් ලෙසින්ය (see Bible Dictionary, “Abraham, covenant of”).

  4. See Bible Dictionary, “Israel.”

  5. ඊශ්‍රායෙලය යන වචනය දහස් වාරයකට වඩා වැඩි ගණනක් ශුද්ධලියවිලි වල සඳහන් වේ. එය යාකොබ්ගේ (ඊශ්‍රායෙල්ගේ) පුතුන් 12 දෙනෙකුට සහ දියණියන්ට අදාළ විය හැකිය (උත්පත්ති 35:23–26; 46:7 බලන්න). අද එය පෘථිවියේ ස්ථානයක් ලෙස භූගෝලීය වශයෙන් අදාළ විය හැකිය. නමුත් එහි ශුද්ධලියවිලිමය භාවිතය දෙවියන්වහන්සේට ඔවුන්ගේ ජීවිත වල දිනන්නට ඉඩදීමට කැමති අයට අදාළ වේ.

  6. බලන්න උත්පත්ති 32:30; උත්පත්ති 32:31 හි පෙනුවෙල් ලෙසද සඳහන් වේ.

  7. උත්පත්ති 32:28 බලන්න.

  8. උත්පත්ති 35:11–12 බලන්න.

  9. For further study, see Topical Guide, “Israel, Scattering of.”

  10. යෙසායා 54:7.

  11. බලන්න යෙසායා 11:11–12; 2 නෙපි 21:11–12; මොසායා 15:11.

  12. See Encyclopedia of Mormonism (1992), “Covenant Israel, Latter-Day,” 1:330–31.

  13. අප ඊශ්‍රායෙලයේ රැස්වීමට සහභාගි වන විට, රැස්ව සිටින අයව විස්තර කිරීමට ස්වාමින්වහන්සේට අපූරු ක්‍රමයක් තිබේ. උන්වහන්සේ සාමූහිකව අපව හඳුන්වන්නේ උන්වහන්සේගේ “සුවිශේෂී වස්තුව” ලෙසයි (නික්මයාම 19:5; ගීතාවලිය 135:4), උන්වහන්සේගේ “ස්වර්ණාභරණ” ලෙසයි (මලාකි 3:17; දහම සහ ගිවිසුම් 101: 3) සහ “ශුද්ධ ජාතියක්” ලෙසයි (නික්මයාම 19:6; ද්විතීය කථාව 14:2; 26:18 ද බලන්න).

  14. මෙම වැකිය ආබ්‍රහම් සමඟ දෙවියන්වාන්සේ ඇතිකරගත් එම ගිවිසුම පිලිබඳ පවසයි, එය මෙසේ කියයි, “ඔබගේ වංශයේ පොළොවේ සියලු වර්ගයන්ට ආශිර්වාද ලැබේවා” (3 නෙපි 20:27). “ගිවිසුමේ උපත” යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු ඉපදීමට පෙර එම පුද්ගලයාගේ මව සහ පියා දේවමාළිගාවේ මුද්‍රා තබා ඇති බවයි.

  15. එවැනි පොරොන්දුවක් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට උගන්වා ඇත: “මෙම ශුභාරංචිය පිළිගන්නා බොහෝදෙනෙකුව ඔබගේ නාමයෙන් කැඳවනු ලබන අතර, ඔබේ වංශය ලෙස ගණන් ගනු ලැබේ, ඔවුන්ගේ පියා මෙන් නැඟිට ඔබට ආශිර්වාද කරනු ඇත” (ආබ්‍රහම් 2:10; තවත් බලන්න රෝම 8:14–17; ගලාති 3:26–29).

  16. සෑම විශ්වාසවන්ත සාමාජිකයෙකුටම පීතෘමූලික ආශිර්වාදයක් ඉල්ලා සිටිය හැකිය. ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන්, ආදිපීතෘවරුන් ඊශ්‍රායෙල් වංශයේ එම පුද්ගලයාගේ පෙළපත ප්‍රකාශ කරයි. එම ප්‍රකාශය අනිවාර්යයෙන්ම ඔහුගේ හෝ ඇයගේ ජාතිය, ජාතිකත්වය හෝ ජාන සැකැස්ම ප්‍රකාශ කිරීමක් නොවේ. ඒ වෙනුවට, ප්‍රකාශිත පරම්පරාව විසින් ඊශ්‍රායෙලයේ ගෝත්‍රය හඳුනාගනු ලබන අතර එම පුද්ගලයාට ඔහුගේ හෝ ඇයගේ ආශිර්වාදය ලැබෙනු ඇත.

  17. 2 නෙපි 26:33

  18. මොසායා 15:7 බලන්න. ඊශ්‍රායෙලයේ සිටීම හදවතේ ක්ලාන්තය සඳහා නොවේ. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ගේ වංශය සඳහා තබා ඇති සියලු ආශීර්වාද ලබාගැනීම සඳහා, අපට අපගේම අද්විතීය “ආබ්‍රහම් පරීක්ෂණය” ලබාදෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා ඉගැන්වූ පරිදි දෙවියන්වහන්සේ අපව පරීක්ෂා කරනු ඇත. (See recollection of John Taylor, in Teachings of Presidents of the Church: Joseph Smith [2007], 231.)

  19. මොසායා 3:19 බලන්න.

  20. 2 තිමොති 3:1–13 බලන්න.

  21. 1 නෙපි 17:40; අවධාරණය කිරීම් සහිතයි.

  22. දහම සහ ගිවිසුම් 98:37; තවත් බලන්න ගීතාවලිය 31:23; යෙසායා 49:25; දහම සහ ගිවිසුම් 105:14.

  23. මොර්මොන් 8:20