ප්‍රධාන සම්මන්ත්‍රණය
සයොනයේ සහෝදරියන්
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සයොනයේ සහෝදරියන්

ඊශ්‍රායෙලය එක්රැස් කිරීමේදී සහ සයොන ජනතාවක් නිර්මාණය කිරීමේදී ඔබ අත්‍යවශ්‍ය බලවේගයක් වනු ඇත.

මගේ ආදරණීය සහෝදරියනි, ලෝක ඉතිහාසයේ මේ අපූරු කාලය තුළ කතා කිරීමට ලැබීම මට භාග්‍යයක්. ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පොළොවට පැමිණෙන උත්කර්ෂවත් මොහොතට අපි සෑම දිනකම ළංවෙමින් සිටිනවා. උන්වහන්සේගේ පැමිණීමට පෙර සිදුවිය හැකි භයානක සිදුවීම් කිහිපයක් අපි දන්නවා, එහෙත් උන්වහන්සේ නැවත පැමිණීමට පෙර ඉටුවන මහිමාන්විත පොරොන්දු ගැන අපගේ හදවත් ප්‍රීතියෙන් හා විශ්වාසයෙන් පිරී යනවා.

ස්වර්ගික පියාණන්ගේ ආදරණීය දූවරුන් ලෙසත්, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යයේ දියණියන් ලෙසත්, 1 ඉදිරි මහා කාල වලදී ඔබ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරයි. ගැලවුම්කරුවාණන්, ඊනොක්ගේ නගරයේ ජනයා කළාක් මෙන් එක්රැස් වී ජීවත් වීමට සූදානම් වූ ජනතාවක් වෙතට පැමිණෙන බව අපි දන්නවා. එහි සිටි ජනයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් එක්සත් වූ අතර ඔවුන්ව සම්පූර්ණයෙන්ම පවිත්‍ර වී ස්වර්ගයට ගෙන යනු ලැබුවා.

ඊනොක්ගේ ජනයාට කුමක් සිදුවූවේද යන්න සහ කාලයාගේ ඇවෑමෙන් මෙම අන්තිම කාලපරිච්ඡේදයේදී කුමක් සිදුවේද යන්න පිළිබඳව ස්වාමින්වහන්සේ විසින් හෙළි කරන ලද විස්තරය මෙන්න:

“තවද පොළොව විශ්‍රාම ගන්නා දවස පැමිණේ, නමුත් එම දිනයට පෙර ස්වර්ගයන් අඳුරු වනු ඇත, තවද අන්ධකාරයේ තිරයකින් පොළොව වසාගනු ඇත; තවද ස්වර්ගයන් සෙලවෙනු ඇත, එමෙන්ම පොළොවද එසේ වන්නේය; තවද මනුෂ්‍ය දරුවන් අතර මහත් පීඩාවන් පැමිණෙනු ඇත, නමුත් මම මාගේ සෙනග ආරක්ෂා කරන්නෙමි;

“තවද මම ස්වර්ගයෙන් පහතට ධර්මිෂ්ඨකම එවන්නෙමි; තවද පොළොවෙන් පිටතට සත්‍ය ප්‍රකාශ කරන්නෙමි, ඒ මාගේ ඒකජාතක පුත්‍රයාණන් ගැනත්; මරණයෙන් ඔහුගේ නැවත නැගිටීම ගැනත්; එසේය, තවද සියලුම මනුෂ්‍යයන්ගේ නැවත නැගිටීම ගැනත් සාක්ෂි දැරීම පිණිසය; තවද මා විසින් සූදානම් කරන්නාවූ ශුද්ධ වූ නගරයකට, පොළොවේ සතර කොණින් මාගේ තෝරාගත්තවුන් එකතු කිරීම සඳහා, ජල ගැල්මක් මෙන් ධර්මිෂ්ඨකමින් සහ සත්‍යයෙන් පොළොව අතුගා දැමීමට මම සලස්වන්නෙමි, මන්ද ඒ මාගේ ජනතාව ඔවුන්ගේ ඉඟටි පටි බැඳ, තවද මාගේ පැමිණීමේ කාලය උදෙසා බලා සිටිනු පිණිසය; එසේම මාගේ කූඩාරම එහි වන්නේය, තවද එය සයොනය, නව යෙරුසලමක් ලෙස හඳුන්වනු ලබන්නේය.

“තවද ස්වාමින්වහන්සේ ඊනොක්ට මෙසේ පැවසූ සේක: එවිට නුඹද එමෙන්ම නුඹගේ නගරයද එහි රැස්විය යුතු වන්නේය, තවද අපි අපගේ ළයට ඔවුන්ව ලබාගන්නෙමි, තවද ඔවුන් අපව දකින්නෝය; ඔවුන් අපේ උරහිසෙහිද අපි ඔවුන්ගේ උරහිසෙහිද වැටෙන්නෝය, තවද අපි එකිනෙකාව සිඹගන්නෙමු;

“තවද එහි මාගේ වූවන් වාසය කරන්නෙහුය, තවද එය සයොනය වන්නේය, එය මා මවන ලද සියලුම මැවීම් වලින් ඉවතට පැමිණෙන්නේය; තවද වසර දහසකින් යුත් කාලයක් පොළොව විශ්‍රාම ගන්නේය.” 2

ඔබ සහෝදරියන්, ඔබේ දියණියන්, ඔබේ මිණිබිරියන් සහ ඔබ පෝෂණය කළ කාන්තාවන් ගැලවුම්කරුවාණන් සමඟ තේජාන්විත ඇසුරට එක්වන මිනිසුන්ගේ සමාජයක් නිර්මාණය කිරීමේ හදවතේ රැඳී සිටිනු ඇත. ඊශ්‍රායෙලය එක්රැස් කිරීමේදී සහ නව යෙරුසලමේ සාමයෙන් වාසය කරන සයොන ජනතාවක් නිර්මාණය කිරීමේදී ඔබ අත්‍යවශ්‍ය බලවේගයක් වනු ඇත.

ස්වාමින්වහන්සේ සිය අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබට පොරොන්දුවක් දී ඇත. සහන සමිතියේ මුල් දින වලදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා සහෝදරියන්ට මෙසේ පැවසුවා “ඔබ ඔබේ වරප්‍රසාද අනුව ජීවත් වන්නේ නම්, දේවදූතයන් හට ඔබේ ආශ්‍රිතයන් වීම වළක්වා ගත නොහැක.” 3

එම පුදුමාකාර විභවය ඔබ තුළ පවතින අතර, ඔබ ඒ සඳහා සූදානම් වී සිටියි.

සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි මෙසේ පැවසුවා:

“සහෝදරියනි නුඹලා … අපගේ පියාණන්වහන්සේගේ දරුවන්ගේ සදාකාලික සතුට හා යහපැවැත්ම සඳහා වූ සැලැස්මේ දෙවන ස්ථානයක් ගන්නේ නැත. ඔබ එම සැලැස්මේ අත්‍යවශ්‍ය අංගයකි.

“ඔබ නොමැතිව එම සැලැස්ම ක්‍රියාත්මක විය නොහැකියි. ඔබ නොමැතිව එම මුළු වැඩසටහනම කලකිරීමට පත්වනු ඇත. …

“ඔබ සෑම කෙනෙකුම දිව්‍යමය අයිතියක් ඇතිව බලයෙන් සැරසුනු, දෙවියන්වහන්සේගේ දියණියකි.” 4

අපගේ වර්තමාන අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන් ගැලවුම්කරුවාණන්ගේ පැමිණීමට සූදානම් වීමේදී ඔබ ඉටුකරන කාර්යභාරය පිළිබඳ විස්තරයක් ලබාදී තිබෙනවා:

“භාර්යාවන්, මව්වරුන් සහ ආච්චිලා ලෙස; සහෝදරියන් සහ නැන්දලා ලෙස; ගුරුවරුන් සහ නායිකාවන් ලෙස; විශේෂයෙන්ම ආදර්ශයේ සහ ඇදහිල්ලේ භක්තිමත් ආරක්ෂකයින් ලෙස; කාන්තාවන්ට පවුල් වලට පමණක් නොව ස්වාමින්වහන්සේගේ සභාවටද ඇති බලපෑම මැනිය නොහැකියි.”

“ආදම් සහ ඒවගේ කාලයේ සිට සෑම ශුභාරංචි ප්‍රකාශනයකදීම මෙය සත්‍යයක් වී තිබේ. එහෙත් මෙම කාලපරිච්ඡේදයේ කාන්තාවන් වෙනත් ඕනෑම කාන්තාවකට වඩා වෙනස් වන්නේ මෙම කාලපරිච්ඡේදය වෙනත් ඕනෑම එකකට වඩා වෙනස් බැවිනි. මෙම කාලපරිච්ඡේදය වරප්‍රසාද සහ වගකීම් යන දෙකම ගෙන එයි.” 5

ඊනොක්ගේ නගරය හා සමාන වීමට සූදානම් වීම සඳහා ස්වාමින්වහන්සේ අපව මගපෙන්වන බව මෙම කාලපරිච්ඡේදයෙන් පැහැදිලි වෙනවා. සයොන ජනතාවකට එම පරිවර්තනය කෙසේ සිදුවේදැයි උන්වහන්සේ සිය ප්‍රේරිතවරු හා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් විස්තර කර තිබෙනවා.

වැඩිහිටි බෲස් ආර්. මැකොන්කි මෙසේ ඉගැන්වූවා:

“[ඊනොක්ගේ දවස්] දුෂ්ටකමේ හා නපුරේ දවසක්, අන්ධකාරයේ හා කැරැල්ලේ දිනයක්, යුද්ධයේ හා පාළුවේ දිනයක් වූ අතර, ජලයෙන් පොළොව පවිත්‍ර කිරීමට මඟ පෑදූ දිනයකි.

“කෙසේවෙතත්, ඊනොක්, ඇදහිලිවන්ත විය. ඔහු ‘ස්වාමින්වහන්සේව දැක’, එක් මිනිසෙක් තවත් කෙනෙකු සමඟ කතා කරන ලෙස උන්වහන්සේ සමඟ ‘මුහුණට මුහුණ’ කතා කළේය. (මෝසෙස් 7:4.) ලෝකයට පසුතැවිලිවීම සඳහා මොරගැසීමට ස්වාමින්වහන්සේ ඔහුව එවා, ‘කරුණාවෙන් හා සත්‍යයෙන් පිරිපුන්, පියාණන්වහන්සේ හා පුත්‍රයාණන්ගේ නාමයෙන්ද, පියාණන්වහන්සේ හා පුත්‍රයාණන්වහන්සේ ගැන සාක්ෂි දරන ශුද්ධාත්මයාණන්වහන්සේගේ නාමයෙන්ද’ බව්තීස්ම කිරීමට ඔහුට අණ කළා.’ (මෝසෙස් 7:11.) ඊනොක් ගිවිසුම් ඇතිකරගෙන සැබෑ ඇදහිලිවන්තයන්ගෙන් යුත් සභාවක් රැස් කළා, ඔවුන් සියල්ලෝම විශ්වාසවන්ත වුණා, ‘ස්වාමින්වහන්සේ පැමිණ තම සෙනඟ සමඟ වාසය කළා, තවද ඔවුන් ධර්මිෂ්ඨකමින් වාසය කළා,’ ඒ වගේම ඔවුන් ඉහළින් ආශිර්වාද ලැබුවා. ‘තවද ස්වාමින්වහන්සේ ඔවුන්ව සයොනය ලෙස හැඳින්වූ සේක, මක්නිසාද ඔවුන් එක් හදවතක් සහ එක් මනසකින් යුත් අය වූහ, තවද ඔවුන් ධර්මිෂ්ඨකමින් වාසය කළ අතර; ඔවුන් අතර දුප්පතුන් කිසිවෙක් නොසිටියෝය.’ (මෝසෙස් 7:18.) …

“ස්වාමින්වහන්සේ තම ජනතාව සයොනය ලෙස නම් කළ පසු, ඊනොක් විසින් නගරයක් ගොඩනැගූ බවත් එය ධර්මිෂ්ඨයන්ගේ නගරය, නැතහොත් සයොනය ලෙස නම් තැබූ බවත් ශුද්ධලියවිල්ලෙහි සඳහන් වේ;’ එම සයොනය ‘දෙවියන්වහන්සේ එය තම ලයට ලබාගත්තාවූද;” තවද එතැන් සිට “සයොනය පලාගියේය ලෙස කියමින් ඉදිරියට ගියාවූ’ එම සයොනය ‘ස්වර්ගය වෙතට ඔසවාගන්නා ලදි.’ (මෝසෙස් 7:19, 21, 69.) …

“ස්වාමින්වහන්සේ විසින් සයොනය නැවතත් ගෙන එන විට, ස්වර්ගය වෙතට ඔසවාගත් මෙම සයොනයම නැවත පැමිණෙනු ඇත, තවද එවිට එහි වාසය කරන්නන් එවිට ගොඩනැගෙන නව යෙරුසලම සමග එකට එක් වන්නෝය.” 6

අතීතය පෙරවදනක් නම්, ගැලවුම්කරුවාණන් පැමිණෙන අවස්ථාවේදී, දෙවියන්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් කෙරෙහි ගැඹුරින් කැපවී සිටින දියණියන් උන්වහන්සේ පැමිණෙන විට ඔහුව පිළිගැනීමට සූදානම්ව සිටින අයගෙන් අඩකට වඩා වැඩි වෙනවා. එනමුත් සංඛ්‍යා කුමක් වුවත්, එම සයොනය සඳහා සූදානම් වූ ජනතාව අතර සමගිය ඇතිකිරීමට ඔබ දක්වන දායකත්වය අඩකට වඩා බොහෝ වැඩි වෙනවා.

එය එසේ වනු ඇතැයි මා විශ්වාස කරන්නේ මන්දැයි මම ඔබට කියන්නම්. මොර්මොන්ගේ පොත සයොනයේ ජනයා පිළිබඳ විස්තරයක් සපයනවා. නැවත නැඟිටුවනු ලැබූ ගැලවුම්කරුවාණන් විසින් ඔවුන්ට උගන්වා, ආදරය කර, ආශිර්වාද කිරීමෙන් පසුව: “එනම් මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රේමය ජනතාවගේ හදවත් තුළ තිබුණ හෙයින් එහි දේශයේ විවාදයන් නොවුනු” බව ඔබට මතක ඇති. 7

ස්වර්ගික පියාණන්ගේ දූවරුන්ට මතභේද දුරු කිරීමට සහ ඔවුන්ගේ දෙවියන්වහන්සේට ඇති ප්‍රේමයෙන් සහ ඔවුන් සේවය කරන අය තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් ධර්මිෂ්ඨකම ප්‍රවර්ධනය කිරීමට තෑග්ගක් ඇති බව මට මගේ අත්දැකීම් උගන්වා තිබෙනවා.

අපේ කුඩා කාලයේ නිවසේදී අපේ කුඩා ශාඛාව හමුවූ විට මම තරුණ වියේදී එය දුටුවා. මගේ සහෝදරයා සහ මම එකම ආරොනික පූජත්වය දරන්නන් වූ අතර, මගේ පියා එකම මෙල්කිසදෙක් පූජකත්වය දරන්නා වුණා. ශාඛාවේ සහන සමිතියේ සභාපතිවරිය හැරී ආ අයෙක් වූ අතර, ඇගේ ස්වාමිපුරුෂයා සභාවේ සේවය ගැන සිටියේ සතුටින් නොවේ. සාමාජිකයන් සියල්ලන්ම ඔවුන්ගේ නිවෙස් වල පූජකත්වයක් නොමැති වැඩිමහල් සහෝදරියන් වුණා. මගේ අම්මා සහ ඒ සහෝදරියන් එකිනෙකාට ආදරය කිරීම, ඔසවා තැබීම සහ රැකබලා ගැනීම මම බලාගෙන හිටියා. සයොනය පිළිබඳ පූර්ව දර්ශනයක් මට එවිට ලබාදුන් බව මට දැන් වැටහෙනවා.

විශ්වාසවන්ත කාන්තාවන්ගේ බලපෑම පිළිබඳ මා හට ඉගැන්වීම නිව් මෙක්සිකෝවේ ඇල්බකර්කිහි සභාවේ කුඩා ශාඛාවක් දක්වාම දිගටම පැවතුනා. ශාඛා සභාපතිගේ බිරිඳ, දිස්ත්‍රික් සභාපතිගේ බිරිඳ සහ සහන සමිතියේ සභාපතිවරිය සෑම නවකයෙකුගේම සහ හැරී එන්නෙකුගේම හදවත උණුසුම් කරන අයුරු මම බලාසිටියා. මම ඇල්බකර්කි නුවරින් පිටත්ව ගිය ඉරිදා, එහි සහෝදරියන්ගේ බලපෑම නිරීක්ෂණය කිරීමෙන් වසර දෙකකට පසුව, පළමු ස්ටේකය නිර්මාණය වුණා. දැන් ස්වාමින්වහන්සේ විසින් එහි දේවමාළිගාවක් තබා තිබෙනවා.

මම බොස්ටන් අසල පදිංචියට ගියා, එහිදී මම ප්‍රාන්ත දෙකක් පුරා විහිදී තිබූ කුඩා ශාඛාවන් සඳහා දිස්ත්‍රික්ක සභාපතිත්වයේ සේවය කළා. හදවත් මෘදු කිරීමට උපකාර කළ කාන්තාවන්ගේ ආදරය හා සමාව දීමෙන් කිහිප වතාවක් විසඳා ඇති, මතභේද එහි ඇතිවුණා. මම බොස්ටන් වලින් පිටත්ව යන ඉරිදා, පළමු සභාපතිත්වය විසින් මැසචුසෙට්ස් හි පළමු ස්ටේකය සංවිධානය කළා. දිස්ත්‍රික්ක සභාපතිවරයා කාලයක් වාසය කළ ස්ථානයට ආසන්නව දැන් එහි දේවමාළිගාවක් තිබෙනවා. ඇදහිලිවන්ත සහ ආදරණීය බිරිඳකගේ පෙළඹවීම මගින්, සභාවේ ක්‍රියාකාරකම් වලට ඔහුව ගෙනැවිත් ඇති අතර පසුව ඔහු ස්ටේක සභාපතිවරයෙකු ලෙස සේවය කිරීමට කැඳවනු ලැබූ අතර පසුව ධර්මදූත සභාපතිවරයෙකු ලෙසද ඔහු සේවය කළා.

සහෝදරියනි, ඔබට විශේෂ ත්‍යාග සමඟ දෙවියන්වහන්සේගේ දූවරුන් වීමේ ආශිර්වාදය ලැබී තිබෙනවා. අන් අයව පෝෂණය කිරීමටත්, සයොන සමාජයක එකට ජීවත්වීමට සුදුසුකම් ලබන ප්‍රේමය හා පාරිශුද්ධ භාවය කරා ඔවුන්ව ඔසවා තැබීමටත්, ඔබ ආත්මික හැකියාවක් සමග ලෞකික ජීවිතයට ගෙන ආවා. ස්වර්ගික පියාණන්ගේ දියණියන් සඳහා පළමුවෙන්ම විශේෂයෙන් සභාවේ සංවිධානයක් වන සහන සමිතියේ එහි ආදර්ශ පාඨය ලෙස “නිර්මල ප්‍රේමය කිසිවිටෙකත් අසාර්ථක නොවේ” ලෙස තිබීම අහඹුවක් නොවේ.

නිර්මල ප්‍රේමය යනු ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමයයි” උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීමේ සම්පූර්ණ ප්‍රතිඵල ඔබටත්, ඔබ ආදරය කරන හා සේවය කරන අයටත්, දිව්‍යමය ත්‍යාගය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ බලාසිටි සහ පොරොන්දු වූ සයොනයෙහි එම සමාජයේ ජීවත් වීමට ලැබීම සඳහා සුදුසුකම් ලබාදෙයි. එහිදී ඔබ සයොනයෙහි සහෝදරියන් වනු ඇත, ස්වාමින්වහන්සේ සහ ඔබ ආශිර්වාද කළ අය විසින් පුද්ගලිකව ආදරය ලබනු ඇත.

ඔබ පොළොවේ ස්වාමින්වහන්සේගේ රාජ්‍යයේ පුරවැසියන් බව මම සාක්ෂි දරනවා. ඔබ ප්‍රේමණීය ස්වර්ගික පියෙකුගේ දියණියන් වන අතර, ඔබ අන් අයට ආශිර්වාද කිරීම සඳහා භාවිතා කරන බවට පොරොන්දු වූ අද්විතීය තෑගි සමඟ ඔබව ලෝකයට එවා තිබෙනවා. ස්වාමින්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ඔබව අතින් මෙහෙයවන බවට මම ඔබට පොරොන්දු වෙනවා. උන්වහන්සේගේ පොරොන්දු වූ සයොනය බවට පත්වීමට උන්වහන්සේගේ සෙනඟ සූදානම් කිරීමට උන්වහන්සේට උදව් කරන විට උන්වහන්සේ ඔබේ මුහුණ ඉදිරියෙහි ගමන් ගනී. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.