ප්‍රධාන සම්මන්ත්‍රණය
ඉදිරියට ගමන් කිරීම
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඉදිරියට ගමන් කිරීම

ස්වාමින්වහන්සේගේ කාර්යය ක්‍රමානුකූලව ඉදිරියට යමින් තිබෙනවා.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 190 වන අර්ධ වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණය ආරම්භ කරන විට ඔබ සමඟ සිටීමට ලැබීම මොනතරම් ප්‍රීතියක්ද. ඔබගේ නිවෙස් වල හෝ ඔබ සිටින ඕනෑම තැනක අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් සහ වෙනත් සභා නායකයින්ගේ පණිවිඩ වලට සවන්දීමට ඔබ සමග එකතු වීමට මම කැමතියි.

ලොව පුරා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ගේ එක්රැස්වීමක් ලෙස එකට සම්බන්ධ වීමට අපට ඉඩ සලසන තාක්‍ෂණය ගැන අපි කෙතරම් කෘතඥ වෙනවාද. පසුගිය අප්‍රියෙල් මාසයේ පැවති ප්‍රධාන සම්මන්ත්‍රණය ඊට පෙර කිසිඳු එකක් නැරඹුවාට වඩා වැඩි පිරිසක් නරඹා ඇති අතර, එය නැවත සිදුවනු ඇතැයි සෑම අපේක්ෂාවක්ම අප සතුව තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ, ගෝලීය වසංගතයක්, දරුණු ලැව්ගිනි සහ වෙනත් ස්වාභාවික විපත් අපේ ලෝකය උඩු යටිකුරු කර තිබෙනවා. මේ කාලය තුළ ඔබ ආදරය කළ කෙනෙකු අහිමි වූ ඔබ එක් එක්කෙනා සමග මම දුක්වෙනවා. ඒවගේම දැනට දුක් විඳින සියලුදෙනා වෙනුවෙන් මම යාච්ඤා කරනවා.

මේ අතර, ස්වාමින්වහන්සේගේ කාර්යය ක්‍රමානුකූලව ඉදිරියට යමින් තිබෙනවා. සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ සහ සූම් රැස්වීම් මධ්‍යයේ, අපි සමහර දේවල් වෙනස් ලෙස හා සමහරවිට වඩාත් ඵලදායී ලෙස කිරීමට ඉගෙනගෙන තිබෙනවා. අසාමාන්‍ය කාල වලදී අසාමාන්‍ය ප්‍රතිවිපාක ලැබිය හැකියි.

අපගේ ධර්මදූතයින් සහ ධර්මදූත නායකයින් සම්පත්දායක, ඔරොත්තු දීමේ සහ සැබවින්ම විශිෂ්ට වී තිබෙනවා. බොහෝ ධර්මදූතවරුන්ට ඔවුන්ගේ වැඩ කටයුතු සඳහා නව, නිර්මාණාත්මක ක්‍රම සොයාගැනීමට සිදුවී ඇතත්, බොහෝ ධර්මදූත වල කිසිඳු දිනකට වඩා ඉගැන්වීම් සිදුකර ඇති බව වාර්තා වී තිබෙනවා.

අපට යම් කාලයකට දේවමාළිගා වැසීමට සිදු වූ අතර සමහර ඉදිකිරීම් ව්‍යාපෘති කෙටි කාලයක් ප්‍රමාද වූ නමුත් දැන් ඒවා සියල්ලම ඉදිරියට යමින් තිබෙනවා. 2020 දිනදර්ශන වර්ෂයේදී, අප නව දේවමාළිගා 20 ක් සඳහා බිම් බිඳ දමනවා!

පවුල් ඉතිහාස කටයුතු ඉතා වැඩි ලෙස වැඩිවී තිබෙනවා. බොහෝ නව කොට්ටාශ සහ ස්ටේක නිර්මාණය කර තිබෙනවා. ඒවගේම රටවල් 150 ක ව්‍යාපෘති 895 ක් සඳහා සභාව විසින් වසංගත මානුෂීය ආධාර ලබාදී ඇති බව වාර්තා කිරීම සතුටට කරුණක්.

බොහෝ නිවෙස් වල වැඩිවූ, ශුභාරංචිය අධ්‍යයනය කිරීම, ප්‍රබල සාක්ෂි සහ පවුල් සබඳතා වලට හේතු වී තිබෙනවා. එක් මවක් මෙසේ ලිව්වා: “සෑම ඉරිදාවකම අපි සූම් රැස්වීම් සඳහා රැස්වන විට අපේ දරුවන් හා මුණුබුරන් සමඟ අපට බොහෝ සමීප බවක් දැනෙනවා. සෑම කෙනෙකුම එන්න, මා අනුගමනය කරන්න පිළිබඳ අදහස් ලබාදෙන්නට ඉදිරිපත් වෙනවා. අපේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කරන යාච්ඤා වෙනස් වී තිබෙන්නේ ඔවුන්ට අවශ්‍ය දේ අපි හොඳින් වටහාගෙන සිටින නිසායි.”

ජනතාවක් වශයෙන් අප මෙම සුවිශේෂී කාලය අධ්‍යාත්මිකව වර්ධනය වීමට යොදාගන්නා ලෙස මම යාච්ඤා කරනවා. අප මේ ලෝකයට පැමිණියේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට, නිතිපතා පසුතැවිලි වීමට, ඉගෙනීමට හා දියුණු වීමට තෝරාගන්නේද යන්න බැලීමට පරීක්ෂාවට ලක්වීමටයි. අපගේ ආත්මයන් දියුණු වීමට බලා සිටිනවා. ඒවගේම ගිවිසුම් මාවතේ ස්ථිරව සිටීමෙන් අපි එය උපරිමයෙන් කරනවා.

මේ සියල්ල තුළින් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කරනවා! උන්වහන්සේලා අපි ගැන සැලකිලිමත් වෙනවා. උන්වහන්සේලා සහ උන්වහන්සේලාගේ ශුද්ධ වූ දේවදූතයන් අපව රැකබලා ගන්නවා. 1 එය සත්‍යයි කියා මම දන්නවා.

ස්වාමින්වහන්සේ සිය සේවකයන්ට බෙදාගැනීම සඳහා දේවානුභාවයෙන් දුන් වචන ඇසීමට අප එක්රැස්ව සිටින විට, ස්වාමින්වහන්සේ දුන් පොරොන්දුවක් ගැන මෙනෙහි කරන්නැයි මම ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා “ක්ෂණික සහ බලවත් වූද, යක්ෂයාගේ සියලු ප්‍රයෝගයන් සහ උගුල් දෙකඩ කරන්නා වූද, දෙවියන්වහන්සේගේ වචනය මත අල්ලාගෙන සිටින කවරෙකුව වුවද, එම ක්‍රිස්තුස්වහන්සේගේ [අනුගාමිකයාට] අවහිර සහ පටු මාර්ගය හරහා මගපෙන්වනු ලබන්නේය.” 2

මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ කරන දෙවියන්වහන්සේගේ වචනය තදින් අල්ලා ගැනීමට ඔබ තෝරාගන්නා ලෙස මම යාච්ඤා කරනවා. එමෙන්ම ඔබ කෙරෙහි ඇති ස්වාමින්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය ඔබට දැනෙන ලෙස මම යාච්ඤා කරනවා, 3 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.