ප්‍රධාන සම්මන්ත්‍රණය
යුක්තිසහගත ලෙස කටයුතු කරන්න, කරුණාවට ප්‍රේම කරන්න, එමෙන්ම දෙවියන්වහන්සේ සමඟ යටහත්ව ගමන් කරන්න
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


යුක්තිසහගත ලෙස කටයුතු කරන්න, කරුණාවට ප්‍රේම කරන්න, එමෙන්ම දෙවියන්වහන්සේ සමඟ යටහත්ව ගමන් කරන්න

සාධාරණ ලෙස කටයුතු කිරීම යනු ගෞරවනීය ලෙස ක්‍රියා කිරීමයි. අපි දෙවියන්වහන්සේ සමඟ යටහත්ව ගමන් කිරීමෙන් දෙවියන්වහන්සේ සමඟ ගෞරවාන්විතව කටයුතු කරනවා. කරුණාවට ආදරය කිරීමෙන් අපි අන් අය සමඟ ගෞරවාන්විතව කටයුතු කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් සහ පසු-දවස්වල ශුද්ධවන්තයන් වශයෙන්, වඩා යහපත් දේ කිරීමටත් යහපත් වීමටත් අපි උනන්දු වෙනවා—ඒ වගේම උනන්දු වෙන්නට දිරිමත් කරනවා. 1 සමහරවිට, “මම ප්‍රමාණවත්ද?” කියා මම වගේම ඔබ කල්පනා කර ඇති. “මම තව කුමක් කළ යුතුද?” නැතහොත් “දෝෂ සහිත පුද්ගලයෙකු ලෙස, ‘දෙවියන්වහන්සේ සමඟ කිසිදා නොනවතින සතුටක වාසය කිරීමට’ මම සුදුසුකම් ලබන්නේ කෙසේද?” 2

පරණ ගිවිසුමේ අනාගතවක්තෘ මීකා මේ ආකාරයෙන් එම ප්‍රශ්නය ඇසුවා: “මම ස්වාමීන්වහන්සේ ඉදිරියට කුමක් රැගෙන ඇවිත් උසස්වූ දෙවියන්වහන්සේට වඳිම්ද?” 3 පාපයට වන්දිගෙවීම සඳහා අධික පූජාවන් පවා ප්‍රමාණවත් දැයි මීකා උපහාසාත්මක ලෙස කල්පනා කරමින් මෙසේ පැවසුවා: “දහස් ගණන් බැටළුවන්ටවත් දස දහස් ගණන් තෙල් ගංගා වලටවත් ස්වාමින්වහන්සේ ප්‍රසන්න වන සේක්ද? මාගේ කුලුඳුලා මාගේ ආත්මයේ පාපය නිසා දෙම්ද?” 4

පිළිතුර නැත. යහපත් ක්‍රියා පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. ගැලවීම උපයාගත නොහැකියි. 5 කරන්නට බැරි යැයි මීකා දැන සිටි දැවැන්තම පරිත්‍යාගයන්ට පවා, කුඩාම පාපය වුවත් මුදවාගත නොහැකි වුණා. අපි අපේම හැකියාවන් සහ සම්පත් මත රැඳීමෙන්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නැවත ජීවත්වීමේ අපේක්ෂාව බලාපොරොත්තු රහිත වෙනවා. 6

ස්වර්ගික පියාණන්වහන්සේගෙන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ලැබෙන ආශිර්වාද නොමැතිව අපට කිසිවිටෙකත් ප්‍රමාණවත් දේ කිරීමට හෝ අපට තනිවම සිටීමට නොහැකියි. සුභ පණිවිඩය නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා හා උන්වහන්සේ තුළින් අපට ප්‍රමාණවත් විය හැකියි. 7 දෙවියන්වහන්සේගේ කරුණාව තුළින්ද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා නැවත නැගිටීම තුළින්ද සියලු මිනිසුන් ශාරීරික මරණයෙන් ගැලවෙනවා. 8 එමෙන්ම අපි අපගේ හදවත් දෙවියන්වහන්සේ වෙතට හරවාගන්නේ නම්, අධ්‍යාත්මික මරණයෙන් ගැලවීම “[යේසුස්] ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින්… ශුභාරංචියේ නීති හා ආඥා වලට කීකරු වීමෙන්” සැමටම ලබාගත හැකියි. 9 දෙවියන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර හා නිර්මල ලෙස සිටීමට අපට පාපයෙන් මිදිය හැකියි. මීකා පැහැදිලි කළ ලෙස, “එම්බා මනුෂ්‍යය, යහපත කුමක්ද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; යුක්තිසහගත ලෙස කටයුතු කිරීමත් කරුණාවට ප්‍රේමවීමත්, නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත් ලෙසස හැසිරීමත් මිස ස්වාමින්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?” 10

අපගේ හදවත් දෙවියන්වහන්සේ වෙතට හැරවීම සහ ගැලවීම සඳහා සුදුසුකම් ලැබීම පිළිබඳ මීකාගේ මගපෙන්වීම අතර අන්තර් සම්බන්ධිත අංග තුනක් අඩංගු වෙනවා. යුක්තිසහගත ලෙස කටයුතු කිරීම යනු දෙවියන්වහන්සේ හා අන් අය සමඟ ගෞරවනීය ලෙස ක්‍රියා කිරීමයි. අපි දෙවියන්වහන්සේ සමඟ යටහත්ව ගමන් කිරීමෙන් දෙවියන්වහන්සේ සමඟ ගෞරවාන්විතව කටයුතු කරනවා. කරුණාවට ආදරය කිරීමෙන් අපි අන් අය සමඟ ගෞරවාන්විතව කටයුතු කරනවා. එබැවින් යුක්තිසහගත ලෙස ක්‍රියා කිරීම පළමු හා දෙවන ශ්‍රේෂ්ඨ ආඥාවන්හි ප්‍රායෝගික යෙදුමක්, “තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවිවූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව … [සහ] තට මෙන් තාගේ අසල්වාසියාට ප්‍රේම කරව.” 11

දෙවියන්වහන්සේ සමඟ යුක්තිසහගතව හා නිහතමානීව ගමන් කිරීම යනු, අයුතුකමෙන් අපේ අත හිතාමතාම ඉවත් කරගැනීම, උන්වහන්සේගේ නීතීන් අනුව ගමන් කිරීම සහ අව්‍යාජව ඇදහිලිවන්තව සිටීමයි. 12 යුක්තිසහගත පුද්ගලයෙක් පාපයෙන් ඉවතට හා දෙවියන්වහන්සේ වෙතට හැරී, උන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගෙන, එම ගිවිසුම් තබනවා. යුක්තිසහගත පුද්ගලයෙක් දෙවියන්වහන්සේගේ ආඥා වලට කීකරු වීමට තෝරාගන්නවා, වැරදි කරන විට පසුතැවිලි වෙනවා, ඒවගේම දිගටම උත්සාහ කරනවා.

මරණයෙන් නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේ නෙපිවරුන් බැලීමට ගිය විට, මෝසෙස්ගේ නීතිය උසස් නීතියක් මගින් ප්‍රතිස්ථාපනය කර ඇති බව උන්වහන්සේ පැහැදිලි කළා. උන්වහන්සේ ඔවුන්ට උපදෙස් දුන්නේ තවදුරටත් “නුඹලාගේ පූජාවන්, තවද නුඹලාගේ දවන පූජාවන්ද” නොකරන්න, නමුත් “බිඳුණු හදවතක් සහ පසුතැවුණු හදවතක්” පූජා කරන්න. උන්වහන්සේ මෙසේද පොරොන්දු වුණා, “බිඳුණු හදවතක් සහ පසුතැවුණු ආත්මයකින් මා වෙතට එන කවරෙකු වුවද, ඔහු ගින්නෙන් සහ ශුද්ධාතමයාණන්ගෙන් බෞතීස්ම විය යුතුය.” 13 බව්තීස්මයෙන් පසු ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය අප ලබාගෙන භාවිතා කරන විට, අපට ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර මිත්‍රත්වය භුක්තිවිඳිය හැකි අතර දෙවියන්වහන්සේ සමඟ නිහතමානීව ගමන් කළ යුතු ආකාරය ඇතුළුව, අප විසින් කළ යුතු සියල්ල ඉගෙනගත හැකියි. 14

පාපය උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කළ පරිත්‍යාගය සහ අධ්‍යාත්මික මරණයෙන් ගැලවීම, එවැනි බිඳුණු හදවතක් ඇති, පසුතැවුණු ආත්මයක් ඇති සියල්ලන්ට ලබාගත හැකියි. 15 බිඳුණු හදවතක් හා පසුතැවුණු ආත්මයක් මගින්, අපට ප්‍රීතියෙන් පසුතැවිලි වී අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට උනන්දු කරවනවා. අප එසේ කරන විට, අපට ගැලවුම්කරුවාණන්ගේ පිරිසිඳු කිරීම, සුවකිරීම සහ ශක්තිමත් කිරීමේ බලය ලැබෙනවා. අපි යුක්තිසහගතව හා දෙවියන්වහන්සේ සමඟ නිහතමානීව ගමන් කරනවා පමණක් නොව; ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරන ආකාරයට කරුණාවට ප්‍රේම කිරීමටද අපි ඉගෙනගන්නවා.

දෙවියන්වහන්සේ දයාව ප්‍රිය කරන අතර එහි භාවිතය ගැන අයදින්නේ නෑ. යොහෝවාට මීකාගේ වචන වලින්, “අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද?” එමෙන්ම “ඔබවහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළන සේක.” 16 දෙවියන්වහන්සේ මෙන් කරුණාවට ප්‍රේම කිරීම අන් අය සමඟ යුක්තිසහගත ලෙස කටයුතු කිරීම හා ඔවුන්ට හිරිහැර නොකිරීම හා බැඳී පවතිනවා.

අන්‍යයන්ට හිරිහැර නොකිරීමේ වැදගත්කම ක්‍රිස්තුස්වහන්සේට පෙර පළමුවන සියවසේ ජීවත් වූ යුදෙව් විශාරදයකු වූ වැඩිහිටි හිලෙල් පිළිබඳ කතාවකින් අවධාරණය කෙරෙනවා. මෝසෙස්ගේ පොත් පහ සහ ඒවායේ ආඥා 613 සහ ඊට සම්බන්ධ රබ්බිවරුන්ගේ ලියවිලි සමඟ ටෝරාහි සංකීර්ණතාව නිසා හිලෙල්ගේ ශිෂ්‍යයෙකු කෝපයට පත්වුණා. හිලෙල්ට එක පාදයකින් පමණක් සිටගෙන කළ හැකි කාලය පමණක් භාවිතා කරමින්, ටෝරා පැහැදිලි කරන ලෙස සිසුවා හිලෙල්ට අභියෝග කළා. හිලෙල්ට විශාල සමබරතාවයක් නොතිබුණද එම අභියෝගය භාරගත්තා. ඔහු ලෙවී කථාව උපුටා දක්වමින්, මෙසේ කිව්වා, “පළිගන්නේවත් නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේම කරපන්න.” 17 හිලෙල් මෙසේ අවසන් කළා: “ඔබට වෛරයක් ලෙස දැනෙන දේ, ඔබේ අසල්වැසියාට නොකරන්න. මෙය මුළු ටෝරා හි සියල්ලයි; ඉතිරිය විවරණයකි. ඉදිරියට ගොස් අධ්‍යනය කරන්න.” 18

සැමවිටම අන් අය සමඟ ගෞරවාන්විතව කටයුතු කිරීම කරුණාවට ප්‍රේම කිරීමේ කොටසක්. එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි බැල්ටිමෝර්හි ජෝන්ස් හොප්කින්ස් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ දශක ගණනාවකට පෙර මා අසා ඇති සංවාදයක් මේ. රෝගියෙකු වන ජැක්සන් මහතා ආචාරශීලී, ප්‍රසන්න මිනිසෙකු වූ අතර ඔහු රෝහල් කාර්ය මණ්ඩලය හොඳින් දැනසිටියා. ඔහුව මීට පෙර කිහිපවතාවක්ම මත්පැන් ආශ්‍රිත රෝග සඳහා රෝහල්ගත කර තිබුණා. මෙම අවස්ථාවේදී, ජැක්සන් මහතා මත්පැන් පානය කිරීම නිසා ඇති වූ අග්න්‍යාශයේ දැවිල්ල ලෙස හඳුනාගත හැකි රෝග ලක්ෂණ සඳහා නැවත රෝහලට පැමිණියා.

ඔහුගේ වැඩ මුරය අවසන් වන විට, වෙහෙස මහන්සි වී වැඩ කළ හා අගය කළ වෛද්‍යවරයකු වූ වෛද්‍ය කොහෙන් විසින් ජැක්සන් මහතා ඇගයීමට ලක්කළ අතර රෝහල් ගතකිරීම අවශ්‍ය බව තීරණය කළා. වෛද්‍ය කොහෙන් විසින්, මාරුවන ඊළඟ වෛද්‍යවරයා වන වෛද්‍ය ජෝන්ස්ව, ජැක්සන් මහතා පිළිගැනීමට සහ ඔහුගේ ප්‍රතිකාර අධීක්ෂණය කිරීමට පත්කළා.

වෛද්‍ය ජෝන්ස් කීර්තිමත් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වී ඇති අතර ඇයගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ කරමින් සිටියා. මෙම අමාරු පුහුණුව බොහෝවිට නින්ද නොලැබීම හා සම්බන්ධ වූ අතර එය වෛද්‍ය ජෝන්ස්ගේ සෘණාත්මක ප්‍රතිචාරයට හේතුවුණා. රාත්‍රියේ පස්වන වරටත් වූ ඇතුළත් වීම සමග ඇය වෛද්‍ය කොහෙන්ට හයියෙන් පැමිණිලි කළා. ජැක්සන් මහතා රැකබලාගැනීම සඳහා ඇයට පැය ගණනාවක් ගතකිරීමට සිදුවීම අසාධාරණ යැයි ඇයට හැඟුණේ, ඔහුගේ අවාසනාවන්ත තත්වය ඔහු විසින්ම කරගත් දෙයක් වූ බැවිනුයි.

වෛද්‍ය කොහෙන්ගේ ස්ථිර ප්‍රතිචාරය රහසක් මෙන් කතා කර කියා සිටියා. ඔහු මෙසේ කිව්වා, “වෛද්‍ය ජෝන්ස්, ඔබ වෛද්‍යවරයකු බවට පත්වුණේ, මිනිසුන් රැකබලාගැනීමට සහ ඔවුන් සුවකිරීමට වැඩ කිරීමටයි. ඔබ ඔවුන්ව විනිශ්චය කිරීමට වෛද්‍යවරයකු වුනේ නෑ. ඔබට ඒ වෙනස තේරෙන්නේ නැත්නම්, ඔබට මෙම ආයතනයේ පුහුණුවීමට අයිතියක් නෑ.” මෙම නිවැරදි කිරීමෙන් පසුව, වෛද්‍ය ජෝන්ස් රෝහල්ගතව සිටියදී ජැක්සන් මහතා ගැන දැඩි සැලකිල්ලක් දැක්වූවා.

ජැක්සන් මහතා ඉන්පසු මියගොස් තිබුණා. වෛද්‍ය ජෝන්ස් සහ වෛද්‍ය කොහෙන් යන දෙදෙනාටම ඇත්තේ තාරීය වෘත්තීන්. එහෙත් ඇයගේ පුහුණුවේ තීරණාත්මක මොහොතක, වෛද්‍ය ජෝන්ස්ට යුක්තිසහගත ලෙස කටයුතු කිරීමට, කරුණාවට ආදරය කිරීමට සහ විනිශ්චය නොකර ජැක්සන්ව රැකබලා ගැනීමට, මතක්කර දිය යුතුව තිබුණා. 19

වසර ගණනාවක් පුරා, මම එම මතක් කිරීමෙන් ප්‍රයෝජන ලබාතිබෙනවා. දයාවට ප්‍රේම කිරීම යන්නෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ අපට දී ඇති දයාවට අප ආදරය කරන බව පමණක් නොවේ; දෙවියන්වහන්සේගේ දයාව අන් අයටත් ලබාදීම ගැන අපි සතුටු වෙනවා. එමෙන්ම අපි උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරනවා. “සියල්ලෝම දෙවියන්වහන්සේට එක හා සමානයි” 20 එමෙන්ම අප සැමට උපකාර කිරීමට හා සුවවීමට ආත්මික ප්‍රතිකාර අවශ්‍යයි. ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා: “නුඹලා එක් මාංශයක් අනෙකට වඩා උතුම් කොට සැලකිය නොයුතුය, හෝ එක් මනුෂ්‍යයෙකු අනෙකෙකුට වඩා උතුම් කොට සැලකිය නොයුතුය.” 21

යුක්තිසහගත ලෙස කටයුතු කිරීම සහ කරුණාවට ප්‍රේම කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිදර්ශනය කළා. උන්වහන්සේ පව්කාරයන් සමඟ නිදහසේ ඇසුරු කළා, ඔවුන්ට ගෞරවයෙන් හා සැලකිල්ලෙන් සැලකුවා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමේ ප්‍රීතිය ඉගැන්වූ අතර අරගල කළ අයව හෙළාදකිනවාට වඩා ඔසවා තැබීමට උත්සාහ කළා. තමන්වහන්සේට නුසුදුසු යැයි සිතන මිනිසුන්ට දේවසේවය කිරීම සම්බන්ධයෙන් තමාට දොස් පැවරූ අයව උන්වහන්සේ හෙළාදුටුවා. 22 එවැනි තමන්ම ධර්මිෂ්ඨ යැයි සිතාගැනීම උන්වහන්සේව අමනාප කරනවා ඒවගේම එය දැනටමත් එසේයි. 23

ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට නම්, පුද්ගලයෙකු දෙවියන්වහන්සේ හා අනෙක් මිනිසුන් සමඟ ගෞරවනීය ලෙස හැසිරෙමින්, යුක්තිසහගතව කටයුතු කළ යුතුයි. යුක්තිසහගත පුද්ගලයෙක් වචන වලින් සහ ක්‍රියාවෙන් සිවිල් වන අතර, පිටින් පෙනෙන ආකාරය හෝ විශ්වාසයේ වෙනස්කම් අව්‍යාජ කරුණාව හා මිත්‍රත්වය වළක්වන්නේ නැති බව පිළිගන්නවා. යුක්තිසහගත ලෙස කටයුතු කරන පුද්ගලයන්ට, “එකිනෙකාව හිරිහැර කරගැනීමට ආශාවක් නොමැතිවනු ඇත, එහෙත් සමාදානව ජීවත්වනු ඇත.” 24

ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට නම්, පුද්ගලයෙකු දයාවට ප්‍රේම කරයි. දයාවට ප්‍රේම කරන අය විනිශ්චය කරන්නේ නැත; ඔවුන් අන් අය කෙරෙහි අනුකම්පාව දක්වයි, විශේෂයෙන් වාසනාව අඩු අය කෙරෙහි; ඔවුන් කරුණාවන්තයි, කාරුණික හා ගෞරවනීයයි. ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, ආගමික බැඳීම, ලිංගික දිශානතිය, සමාජ ආර්ථික තත්ත්වය සහ ගෝත්‍රික, කුල හෝ ජාතික වෙනස්කම් වැනි ලක්ෂණ නොසලකා මෙම පුද්ගලයින් සෑම කෙනෙකුටම ආදරය හා අවබෝධයෙන් සලකයි. මේවා ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් අභිබවා යයි.

ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට නම්, පුද්ගලයෙකු දෙවියන්වහන්සේව තෝරාගෙන, 25 නිහතමානීව උන්වහන්සේ සමඟ ගමන් කර, උන්වහන්සේව සතුටු කිරීමට උත්සාහ කරයි, එමෙන්ම උන්වහන්සේ සමඟ ගිවිසුම් පවත්වයි. දෙවියන්වහන්සේ සමඟ නිහතමානීව ගමන් කරන පුද්ගලයන්, ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන් වෙනුවෙන් කර ඇති දේ මතක තබාගන්නවා.

මම ප්‍රමාණවත් ලෙස කරනවාද? මම තව කුමක් කළ යුතුද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් අප ගන්නා ක්‍රියාමාර්ගය මේ ජීවිතයේ හා සදාකාලික අපගේ සතුට සඳහා කේන්ද්‍රීය වෙනවා. අප ගැලවීම සුළුකොට තැකීම ගැන ගැලවුම්කරුවාණන් කැමති නෑ. අප පරිශුද්ධ ගිවිසුම් ඇතිකරගැනීමෙන් පසුව පවා, අපට “කරුණාවෙන් වැටී ජීවමාන දෙවියන්වහන්සේගෙන් වෙන්වීමට” හැකියාවක් තිබෙනවා. එමනිසා “පරීක්ෂාවට හසුනොවී සිටීමට” අපි “නිතරම අවධානයෙන් යාච්ඤා කළ යුතුයි.” 26

නමුත්, ඒ අතරම, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ලෞකික ගමනේ, අපගේ ගැලවීම හා උසස්වීම සඳහා ප්‍රමාණවත් දේ කර ඇත්දැයි කල්පනා කරමින්, අඛණ්ඩ අවිනිශ්චිතතාවය නිසා අප අඩපණ වනවාට කැමති නෑ. අප පසුතැවිලි වූ වැරදි වලින් ඒවා කිසිවිටෙකත් සුවනොවන තුවාල ලෙස සිතමින් 27 හෝ අප නැවත ඒවාට වැටීමට ඉඩ ඇති බවට ඕනෑවට වඩා බිය වනවාට, අප පීඩා විඳිනවාට උන්වහන්සේලා කිසිසේත් කැමති නෑ.

අපට අපේම ප්‍රගතිය තක්සේරු කළ හැකියි. අප යුක්තිසහගතව, දයාවට ආදරය කරන විට සහ අපගේ දෙවියන්වහන්සේ සමඟ නිහතමානීව ගමන් කරන විට “අප අනුගමනය කරන ජීවන මාර්ගය දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව” 28 වන බව අපට දැනගන්නට පුලුවන්. ස්වර්ගික පියාණන්වහන්සේගේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග අපගේ චරිතයට එකතු කරගන්නා අතර අපි එකිනෙකාට ප්‍රේම කරමු.

ඔබ මේ දේවල් කරන විට, ඔබ ගිවිසුම් මාර්ගය අනුගමනය කර “දෙවියන්වහන්සේ සමඟ කිසිදා නොනවතින සතුටක වාසය කිරීමට” සුදුසුකම් ලබයි. 29 ඔබගේ ආත්මයන් දෙවියන්වහන්සේගේ මහිමයෙන් හා සදාකාල ජීවනයේ ආලෝකයෙන් පිරී යයි. 30 ඔබව තේරුම්ගත නොහැකි ප්‍රීතියෙන් පිරී යයි. 31 දෙවියන්වහන්සේ ජීවත්වන බවත්, අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්, උන්වහන්සේ සිය දයාව සැමට ප්‍රේමයෙන් හා ප්‍රීතියෙන් ලබාදෙන බවත් මම සාක්ෂි දරනවා. ඔබ එයට ප්‍රේම කරන්නේ නැද්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.