ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේගේ සංස්කෘතිය
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේගේ සංස්කෘතිය

අප එකිනෙකාගේ මෙලොව සංස්කෘතීන්ගෙන් හොඳම දේ අපට අගය කර යේසුස් ක්‍රිස්තුවහන්සේගේ ශුභාරංචියෙන් එන සදාකාලික සංස්කෘතියයේ පූර්ණ සහභාගීකරුවන් විය හැකියි.

අප ජීවත් වන්නේ සහ බෙදාගනු ලබන්නේ මොනතරම් විශිෂ්ට ලෝකයක්ද, රටවල් සිය ගණනක් සහ කණ්ඩායම් දහස් ගණනක් පුරා පැතිරී ඇති, සෑම එකකම සංස්කෘතියෙන් පොහොසත්—මිනිසුන්, භාෂාවන්, සිරිත් විරිත් සහ ඉතිහාසයන්හි විශාල විවිධත්වයකට නිවහනක්. මිනිසාට ආඩම්බර වීමට හා සැමරීමට බොහෝ දේ තිබෙනවා. නමුත් උගත් හැසිරීම්—එනම් අප වැඩෙන සංස්කෘතීන් විසින් නිරාවරණය කරනු ලබන දේවල්—අපගේ ජීවිතයට විශාල ශක්තියක් විය හැකි නමුත්, ඇතැම් විට එය සැලකිය යුතු බාධාවක් බවටද පත්විය හැකියි.

සංස්කෘතිය අපගේ චින්තනය හා හැසිරීම තුළ බෙහෙවින් අන්තර්ගත වී ඇති අතර එය වෙනස් කළ නොහැකි බවක් පෙනෙන්නට පුළුවන්. ඇත්තෙන්ම, සියල්ලටම පසු අපට දැනෙන බොහෝ දේ අපව නිර්වචනය කරන අතර අපට අනන්‍යතාව පිළිබඳ හැඟීමක් දැනෙයි. එය අපගේම සංස්කෘතීන් තුළ මිනිසා විසින් සාදන ලද දුර්වලතා හෝ අඩුපාඩු දැකීමට අපොහොසත් විය හැකි ප්‍රබල බලපෑමක් විය හැකි අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ පියවරුන්ගේ සම්ප්‍රදායන්, සමහරක් ඉවත දැමීමට මැලිවෙයි. කෙනෙකුගේ සංස්කෘතික අනන්‍යතාවය ඕනෑවට වඩා නිශ්චය කිරීම වටිනා—දේවභක්තික—අදහස්, ගුණාංග සහ හැසිරීම් පවා ප්‍රතික්ෂේප කිරීමට හේතු විය හැකියි.

සංස්කෘතික මිත්‍යා දෘෂ්ටියේ මෙම විශ්වීය මූලධර්මය විදහා දැක්වීමට උපකාරී වූ අපූරු මහතෙකු මම මීට වසර කිහිපයකට පෙර දැනසිටියා. මට ඔහුව මුලින්ම මුණගැසුණේ සිංගප්පූරුවේදී ඔහුගේ පවුලේ නිවාස බැහැදකීමේ ගුරුවරයා ලෙස කටයුතු කරන විටදීයි. සංස්කෘත හා දෙමළ මහාචාර්යවරයකු වූ ඔහු දකුණු ඉන්දියාවේ සිට පැමිණ සිටියා. ඔහුගේ අපූරු බිරිඳ සහ පුතුන් දෙදෙනා සභාවේ සාමාජිකයන් වූ නමුත් ඔහු කිසිවිටෙකත් සභාවට බැඳී හෝ ශුභාරංචියේ ඉගැන්වීම් වලට ඇහුම්කන් දී තිබුණේ නෑ. තම බිරිඳ සහ පුතුන් වර්ධනය වන ආකාරය ගැන ඔහු සතුටු වූ අතර ඔවුන්ගේ කටයුතු වලදී සහ සභාවේ වගකීම් වලදී ඔවුන්ට පූර්ණ සහයෝගය ලබාදුන්නා.

මම ඔහුට ශුභාරංචියේ මූලධර්ම ඉගැන්වීමට සහ අපගේ විශ්වාසයන් ඔහු සමඟ බෙදාගැනීමට ඉදිරිපත් වූ විට, ඔහු මුලින් එය ප්‍රතික්ෂේප කළා. එයට හේතුව සොයාගැනීමට මට යම් කාලයක් ගතවුණා: එසේ කිරීමෙන් ඔහු තම අතීතයට, ඔහුගේ ජනතාවට සහ ඔහුගේ ඉතිහාසයට ද්‍රෝහියෙකු වනු ඇතැයි ඔහුට හැඟුණා! ඔහු සිතන ආකාරයට, ඔහු තමාව, ඔහුගේ පවුලේ අය ඔහුට උගන්වා ඇති සෑමදෙයක්ම, ඔහුගේ ඉන්දියානු උරුමයම ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ මාස කිහිපය තුළ අපට මෙම කරුණු ගැන කතා කිරීමට හැකිවුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට වෙනස් දෘෂ්ටිකෝණයකින් ඔහුගේ දෑස් විවර කිරීමට හැකි වූ ආකාරය ගැන මට ගෞරවයක් දැනුණා (පුදුම නොවූවත්!).

මිනිසා විසින් සාදන ලද බොහෝ සංස්කෘතීන් වල, හොඳ සහ නරක, නිර්මාණාත්මක හා විනාශකාරී යන දෙකම දක්නට ලැබෙනවා.

අපේ ලෝකයේ බොහෝ ගැටළු ඔවුන්ගේ සංස්කෘතියෙන් පැන නගින විවිධ අදහස් හා සිරිත් විරිත් අතර ගැටුම් වල ප්‍රතිඵලයක්. නමුත් බොහෝ කලකට පෙර අප සැවොම සතුව තිබූ මුල් සංස්කෘතිය, පමණක් ලෝකය පිළිගන්නේ නම් සියලුම ගැටුම් හා ව්‍යාකූලත්වය ඉක්මනින් මැකී යයි. මෙම සංස්කෘතිය අපගේ මනුෂ්‍ය ජීවිතයට පෙර පැවැත්මට දිව යනවා. එය ආදම් සහ ඊනොක්ගේ සංස්කෘතියයි. එය කාලයාගේ ඇවෑමෙන් ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් මත පදනම් වූ සංස්කෘතිය වන අතර, එය අපේ කාලයේ නැවත වරක් සියලුම කාන්තාවන්ට සහ පිරිමින්ට ලබාගත හැකියි. එය අද්විතීයයි! එය සියලු සංස්කෘතීන් අතරින් ශ්‍රේෂ්ඨතම එක වන අතර එය පැමිණෙන්නේ දෙවියන්වහන්සේ විසින් රචිත හා ක්‍රිස්තුස්වහන්සේ විසින් මෙහෙයවන ලද සතුට පිළිබඳ මහා සැලැස්මෙන්. එය බෙදීමට වඩා එක්සත් කරවනවා. එය හානියට වඩා සුව කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපට උගන්වන්නේ ජීවිතයේ අරමුණක් ඇති බවයි. අප මෙහි සිටීම කිසියම් විශාල විශ්වීය අනතුරක් හෝ අත්වැරැද්දක් නොවේ! අපි මෙහි සිටින්නේ හේතුවක් ඇතුවයි.

මෙම සංස්කෘතිය පදනම් වී ඇත්තේ අපගේ ස්වර්ගික පියාණන් සිටින බවටත්, උන්වහන්සේ සැබෑ බවත්, අප එකිනෙකාට තනි තනිව ප්‍රේම කරන බවත් මතයි. අපි උන්වහන්සේගේ “කාර්‍යය සහ [උන්වහන්සේගේ] මහිමයයි.” 1 මෙම සංස්කෘතිය සමාන වටිනාකමක් ඇති සංකල්පය ඉදිරිපත් කරනවා. එහි කුලයේ හෝ පංතියේ පිළිගැනීමක් නෑ. අපි, ඇත්තෙන්ම, සහෝදර සහෝදරියන්, වචනාර්ථයෙන්ම— අපගේ ස්වර්ගීය දෙමව්පියන්ගේ ආත්මීය දරුවන්. සියලු සංස්කෘතීන් අතරින් ශ්‍රේෂ්ඨතම සංස්කෘතියේ කිසිඳු අගතියක් හෝ “අපි ඔවුන්ට එදිරිව” යන මානසිකත්වයක් නෑ. අපි සියල්ලෝම “අපියි.” අපි සියල්ලෝම “ඔවුනුයි.” අපි අපට, එකිනෙකාට, සභාවට සහ අපේ ලෝකයට වගකිව සහ වගවිය යුතු බව අපි විශ්වාස කරනවා. වගකීම සහ වගවීම අපගේ වර්ධනයේ වැදගත් සාධකයි.

ප්‍රේමය, සැබෑ ක්‍රිස්තුස්වහන්සේ වැනි සැලකිල්ල මෙම සංස්කෘතියේ අත්තිවාරම් වෙනවා. අපගේ සෙසු මිනිසාගේ තාවකාලික හා අධ්‍යාත්මික අවශ්‍යතා ගැන අපට සැබෑ සැලකිල්ලක් දැනෙනවා, ඒවගේම එම හැඟීම් මත ක්‍රියා කරනවා. මෙය අගතිය සහ වෛරය දුරු කරනවා.

අනාගතවක්තෘවරුන්ට ලැබුණු පරිදි දෙවියන්වහන්සේගේ වචනය කේන්ද්‍රගත වී ඇති එළිදරව් කිරීමේ සංස්කෘතියක් අපි භුක්ති විඳිනවා, (එමෙන්ම ශුද්ධාත්මයාණන් මඟින් අප එකිනෙකාට පෞද්ගලිකවම එහි සත්‍ය අසත්‍ය බව දැනගත හැකියි). දෙවියන්වහන්සේගේ කැමැත්ත හා මනස සියලු මනුෂ්‍ය වර්ගයාට දැනගත හැකියි.

මෙම සංස්කෘතිය තෝරාගනීමේ නිදහසේ මූලධර්මය උසස් කරනවා. තෝරාගැනීමේ හැකියාව අපගේ සංවර්ධනයට සහ අපගේ සතුටට අතිශයින්ම වැදගත්. ඥාණවන්තව තෝරාගැනීම අත්‍යවශ්‍යයි.

එය ඉගෙනීමේ හා අධ්‍යනයේ සංස්කෘතියක්. අපි දැනුම හා ප්‍රඥාව සහ සෑම දෙයකින්ම හොඳම දේ සොයනවා.

එය ඇදහිල්ලේ හා කීකරුකමේ සංස්කෘතියක්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු අපගේ සංස්කෘතියේ පළමු මූලධර්මය වන අතර උන්වහන්සේගේ ඉගැන්වීම් හා අඥා වලට කීකරු වීම එහි ප්‍රතිඵලයයි. මේවා ස්වයං-ප්‍රවීණත්වයක් ඇති කරනවා.

එය යාච්ඥාවේ සංස්කෘතියක්. දෙවියන්වහන්සේ අපට ඇහුම්කන්දෙනවා පමණක් නොවේ, අපට උපකාර කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

එය ගිවිසුම් හා නියෝග වල, උසස් සදාචාර ප්‍රමිතීන්ගේ, පරිත්‍යාගයේ, සමාවදීමේ සහ පසුතැවීමේ සහ අපගේ ශරීරය නම් දේවමාළිගාව රැකබලා ගැනීමේ සංස්කෘතියක්. මේ සියල්ල දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ කැපවීම සාක්ෂි දරනවා.

එය දෙවියන්වහන්සේගේ නාමයෙන් ක්‍රියා කිරීමේ බලය, මෙන්ම දෙවියන්වහන්සේ තම දරුවන්ට ආශිර්වාද කිරීමේ බලය වන පූජකවරය විසින් පාලනය කරනු ලබන සංස්කෘතියක්. එමඟින් පුද්ගලයන්ට වඩා හොඳ පුද්ගලයන්, නායකයින්, මව්වරුන්, පියවරුන් සහ සහචරයින් බවට පත්වීමට ඉඩ සලසනවා—එය නිවස පවිත්‍ර කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන්, පූජකවරයේ බලයෙන්, යාච්ඤාවෙන්, ස්වයං-වැඩිදියුණු කිරීමෙන්, සැබෑ හැරීමෙන් සහ සමාව දීමෙන් තනන ලද, සියලු සංස්කෘතීන් අතර පැරණිතම සංස්කෘතිය වන මෙහි, සැබෑ ප්‍රාතිහාර්යයන් බහුලව තිබෙනවා.

එය ධර්මදූත සේවයේ සංස්කෘතියක්. ආත්මවල වටිනාකම විශිෂ්ටයි.

ක්‍රිස්තුස්වහන්සේගේ සංස්කෘතිය තුළ, කාන්තාවන් ඔවුන්ගේ නිසි හා සදාකාලික තත්වයට උසස් කරනු ලැබෙනවා. වර්තමාන ලෝකයේ බොහෝ සංස්කෘතීන් වල මෙන් ඔවුන් පිරිමින්ට යටත් වන්නේ නෑ, නමුත් මෙහි සහ ඉදිරි ලෝකයේ පූර්ණ හා සමාන හවුල්කරුවන් බවට පත්වෙනවා.

මෙම සංස්කෘතිය පවුලේ පරිශුද්ධභාවය සමඟ එකඟ වෙනවා. පවුල යනු සදාකාලයේ මූලික ඒකකයයි. පවුලේ පරිපූර්ණත්වය උදෙසා ඕනෑම කැපකිරීමක් වටිනවා, මන්ද, උගන්වා ඇති පරිදි, “නිවසේ අසාර්ථකත්වයට වෙනත් කිසිඳු සාර්ථකත්වයක් හිලව් කළ නොහැක.” 2 නිවස යනු අපගේ හොඳම වැඩ කටයුතු සිදුකරන ස්ථානය සහ අපගේ ලොකුම සතුට අත්කරගන්නා ස්ථානයයි.

ක්‍රිස්තුස්වහන්සේගේ සංස්කෘතිය තුළ, ඉදිරිදර්ශනය—හා සදාකාලික අවධානය සහ මගපෙන්වීම තිබෙනවා. මෙම සංස්කෘතිය කල්පවත්නා වටිනාකමක් ඇති දේවල් ගැන සැලකිලිමත් වෙනවා! එය සදාකාලික වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙන් එන අතර අපගේ පැවැත්මේ ඇයි, කුමක්ද සහ කොහේද යන්න පැහැදිලි කරනවා. (එය ඇතුළත් වේ, එහෙත් පිටත නොවේ.) මෙම සංස්කෘතිය අපේ ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් අදාළ කරගැනීමේ ප්‍රතිඵලයක් නිසා අපේ ලෝකයට බෙහෙවින් අවශ්‍ය සුවකිරීමේ ආලේපනයක් සැපයීමට එය උපකාරී වෙනවා.

මෙම උදාර හා උතුම් ජීවන රටාවේ කොටසක් වීම මොනතරම් ආශිර්වාදයක්ද! සියලු සංස්කෘතීන් අතරින් ශ්‍රේෂ්ඨතම සංස්කෘතියේ, කොටසක් වීමට නම්, වෙනසක් අවශ්‍යයි. ක්‍රිස්තුස්වහන්සේගේ සංස්කෘතියට පටහැනි අපගේ පැරණි සංස්කෘතීන් තුළ කිසිවක් ඇත්නම් එය අතහැර දැමිය යුතු බව අනාගතවක්තෘවරුන් උගන්වා තිබෙනවා. සියල්ල අතහැර දැමිය යුතුයි කියා එයින් අදහස් කරන්නේ නෑ. අප සමඟ අපේ ඇදහිල්ල, කුසලතා සහ දැනුම—අපේ ජීවිත වල සහ අපේ තනි සංස්කෘතීන්හි හොඳ සියල්ල රැගෙන, ශුභාරංචියේ පණිවුඩය තුළින් සභාවට “එයට එකතු කිරීමට” ඉඩදෙන්න කියා අප සියල්ලන්ටම ආරාධනා කර ඇති බවද, අනාගතවක්තෘවරුන් අවධාරණය කර තිබෙනවා. 3

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව බටහිර සමාජයක් හෝ ඇමරිකානු සංස්කෘතික සංසිද්ධියක් නොවේ. සැමවිටම අදහස් කළ පරිදි එය ජාත්‍යන්තර සභාවක්. එයටත් වඩා එය දිව්‍යමය සභාවක්. ලොව පුරා සිටින නව සාමාජිකයින් අපගේ දිනෙන් දින වර්ධනය වන පවුල තුළ පොහොසත්කම, විවිධත්වය සහ උද්දීපනය ගෙන එනවා. සෑම තැනකම පසු-දවස්වල ශුද්ධවන්තයන් තවමත් ඔවුන්ගේ උරුමය සහ වීරයන් සමරනවා, ගෞරව කරනවා, නමුත් දැන් ඔවුන්ද වඩා විශාල දෙයක කොටසක්. ක්‍රිස්තුස්වහන්සේගේ සංස්කෘතිය අප සැබවින්ම අපවම මෙන් දැකීමට උපකාරී වෙනවා, එලෙස ධර්මිෂ්ඨකමින් සමබර වූ සදාකාලික කාච හරහා දකින විට, එය සතුට පිළිබඳ මහා සැලැස්ම ඉටුකිරීමට ඇති හැකියාව වැඩි කිරීමට උපකාරී වෙනවා.

ඉතින් මගේ මිතුරාට සිදුවූයේ කුමක්ද? ඔහුට පාඩම් ඉගැන්වූ අතර පසුව සභාවට එකතු වුණා. එතැන් සිට ඔහුගේ පවුල ඕස්ට්‍රේලියාවේ සිඩ්නි දේවමාළිගාවෙහිදී සදාකාලයටම මුද්‍රා තබා තිබෙනවා. ඔහු සුළු දෙයක් අතහැර දමා—සෑම දෙයකම විභවය ලබාගත්තා. ඔහුට තවමත් ඔහුගේ ඉතිහාසය සැමරීමට, ඔහුගේ පෙළපත, සංගීතය හා නැටුම් හා සාහිත්‍යය, ඔහුගේ ආහාර, භූමිය සහ එහි ජනතාව ගැන ආඩම්බර විය හැකි බව ඔහු සොයාගත්තා. සිය දේශීය සංස්කෘතියේ හොඳම දේ සියලු සංස්කෘතීන් අතරට ඇතුළත් කිරීමේ කිසිඳු ගැටළුවක් නොමැති බව ඔහු සොයාගෙන තිබෙනවා. ඔහුගේ පැරණි ජීවිතයෙන් සත්‍යයට හා ධර්මිෂ්ඨකමට අනුකූල වන දේ ඔහුගේ නව ජීවිතයට ගෙන ඒම ශුද්ධවන්තයන් සමඟ ඇති ඔහුගේ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමට සහ ස්වර්ගීය සමාජයේ සියල්ලන් ලෙස එකමුතු වීමට පමණක් සහය වන බව ඔහු සොයාගත්තා.

ඇත්තවශයෙන්ම, අපගේ පුද්ගලික මෙලොව සංස්කෘතීන්ගෙන් හොඳම දේ අගය කළ හැකි අතර ඔවුන් සියල්ලන්ගේම පැරණිතම සංස්කෘතිය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙන් එන ප්‍රථම, මූලික, සදාකාලික සංස්කෘතියට තවමත් පූර්ණ ලෙස සහභාගී විය හැකියි. අප සියලුදෙනා බෙදාගන්නේ කෙතරම් පුදුමාකාර උරුමයක්ද. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. මෝසෙස් 1:39

  2. J. E. McCulloch, in Teachings of Presidents of the Church: David O. McKay (2011), 154.

  3. See Teachings of Presidents of the Church: George Albert Smith (2011), xxviii; Gordon B. Hinckley, “The Marvelous Foundation of Our Faith,” Liahona, Nov. 2002, 78–81.