ප්‍රධාන සම්මන්ත්‍රණය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුවකිරීමේ බලය
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුවකිරීමේ බලය

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන්, පසුතැවිලි වීමෙන් හා ගිවිසුම් ඇතිකර ගැනීමෙන් අප උන්වහන්සේ වෙතට පැමිණෙන විට, අපගේ බිඳවැටීමට—හේතුව කුමක් වුවත්—එය සුවකළ හැකියි.

මෙම වසර ආරම්භයේ සිට, අපි බොහෝ අනපේක්ෂිත සිදුවීම් සමඟ කටයුතු කර තිබෙනවා. ලෝක ව්‍යාප්ත වසංගතය හේතුවෙන් ජීවිත හා ආදායම් අහිමිවීම ගෝලීය ප්‍රජාවට හා ආර්ථිකයට බරපතල ලෙස බලපා තිබෙනවා.

ලෝකයේ විවිධ ප්‍රදේශ වල භූමිකම්පා, ගිනි සහ ගංවතුර මෙන්ම කාලගුණය ආශ්‍රිත වෙනත් ව්‍යසනයන් නිසා, මිනිසුන්ට, ඔවුන්ගේ ජීවිත කවදා පෙර හා සමාන වේ දැයි සිතන, අසරණ, බලාපොරොත්තු රහිත, බිඳුණු සිත් ඇතිවී තිබෙනවා.

බිඳවැටීම පිළිබඳ පෞද්ගලික කතාවක් මම ඔබට කියන්නම්.

අපේ දරුවන් කුඩා කාලයේදී ඔවුන්ට පියානෝ පාඩම් ඉගෙනගැනීමට අවශ්‍ය බව තීරණය කළා. මගේ ස්වාමිපුරුෂයා වන රූඩි සහ මට අපේ දරුවන්ට මෙම අවස්ථාව ලබාදීමට අවශ්‍ය වූ නමුත් අපට පියානෝවක් තිබුණේ නෑ. අපට නව පියානෝවක් ලබාගත නොහැකි වූ නිසා රූඩි පාවිච්චි කළ පියානෝවක් සොයන්නට පටන්ගත්තා.

ඒ අවුරුද්දේ නත්තලට ඔහු පියානෝවකින් අප සියල්ලන් පුදුමයට පත්කළ අතර එම වසර ගණනාව පුරා අපේ දරුවන් වාදනය කිරීමට ඉගෙනගත්තා.

රූපය
පරණ පියානෝව

අපේ පුතුන් හැදී වැඩී නිවසින් පිටව යන විට, පැරණි පියානෝව දූවිලි බැඳෙමින් තිබුණ නිසා, අපි එය විකුණුවා. අවුරුදු කීපයක් ගෙවී ගිය අතර, අපි මුදල් ටිකක් ඉතිරි කරගෙන සිටියා. “මම හිතන්නේ අපට නව පියානෝවක් ලබාගත යුතු කාලය මෙයයි” දිනක් රූඩි පැවසුවා.

“අපි දෙදෙනාම වාදනය නොකරන නිසා අප නව පියානෝවක් මිලදී ගන්නේ ඇයි?” කියා මම ඇසුවා.

ඔහු මෙසේ පැවසුවා, “නමුත් අපට එය විසින්ම වාදනය කරන පියානෝවක් ලාබාගත හැකියි! අයිපෑඩයක් භාවිතා කිරීමෙන් ඔබට, ගීතිකා, ටැබර්නකල් ගීතිකා කණ්ඩායමේ ගීත, සියලුම ප්‍රාතමිකයේ ගීත, ඇතුළුව ගීත 4,000 කට අධික ප්‍රමාණයක් වාදනය කිරීමට පියානෝව වැඩසටහන්ගත කිරීමට පුළුවන්.”

ඇත්තටම කියනවනම්, රූඩි විශිෂ්ට විකිණුම්කරුවෙක්.

රූපය
නව පියානෝව

අපි ලස්සන එය විසින්ම වාදනය වන අලුත් පියානෝවක් මිලදී ගත් අතර දින කිහිපයකට පසු විශාල ශක්තිමත් මිනිසුන් දෙදෙනෙක් එය අපේ නිවසට භාරදුන්නා.

මට එය තැබීමට අවශ්‍ය තැන ඔවුන්ට පෙන්වා මම මාර්ගයෙන් ඉවතට ගියා.

රූපය
පියානෝව ගෙන ඒම

එය ගොඩක් බර විශේෂ වර්ගයේ පියානෝවක් වූ අතර දොරටුවෙන් එය ඇතුලට ගැනීම සඳහා කකුල් ඉවත් කර ඔවුන් සමඟ ගෙන ආ රෝද සහිත රදවනය මත පියානෝව තැබීමට ඔවුන් සමත් වුනා.

අපේ නිවස මඳක් බෑවුමක පිහිටා තිබූ අතර, අවාසනාවකට එදිනට පෙර හිම වැටී තිබූ නිසාත්, අවට තෙත් සහ මඩ සහිත වුනා. සිදුවීමට යන්නේ කුමක්ද කියා ඔබට පෙනෙනවාද?

එම පිරිස පියානෝව කුඩා බෑවුම දිගේ ඉහළට ගෙන යද්දී එය ලිස්සා ගිය අතර මට විශාල ශබ්දයක් ඇසුණා. පියානෝව රෝද සහිත රඳවනයෙන් වැටී බිම වැදී ඇති අතර එය අපේ තණකොළ වල විශාල පෙදෙසක් පළුදු කර තිබුණා.

මම මෙසේ ඇහුවා, “අයියෝ, මාර වැඩේ. ඔබ හොඳින්ද?”

ස්තූතිවන්නට එම මිනිසුන් දෙදෙනාම හොඳින් සිටියා.

ඔවුන් පුළුල් වූ දෑසින් එකිනෙකා දෙස බලා, පසුව මා දෙස බලා, මෙසේ පැවසුවා, “අපට බොහොම කණගාටුයි. අපි එය නැවත සාප්පුවට ගෙන ගොස් අපගේ කළමනාකරු ලවා ඔබට කතා කරන්නම්.”

වැඩිකල් යන්නට මත්තෙන් කළමනාකරු රූඩි සමඟ නව පියානෝවක් ලබාදීමට කටයුතු කරමින් සිටියා. රූඩි කරුණාවන්ත සහ දයාන්විත කෙනෙකු නිසා, අලුත්වැඩියා කර එම පියානෝවම නැවත ගෙන ඒම කමක් නැති බව කළමනාකරුට පවසා තිබුණත්, කළමනාකරු තරයේ කියා සිටියේ අපට අලුත් එකක් ලැබෙනු ඇති බවයි.

රූඩි මෙසේ ප්‍රතිචාර දැක්වූවා, “එය එතරම් නරක විය නොහැකියි. එය සකසා ගෙන එන්න.”

කළමනාකරු මෙසේ පැවසුවා “ලී කැඩී තිබෙනවා, ලී කැඩී ගිය පසු එය කිසිවිටෙකත් පෙර පරිදි නාද වන්නේ නැහැ. ඔබට නව පියානෝවක් ලැබේවි.”

සහෝදරියනි සහ සහෝදරවරුනි, අපි සියල්ලෝම මෙම පියානෝව මෙන් නොවේද? ටිකක් කැඩුණු, ඉරිතලා හා හානිවූ විට, අප නැවත කිසිදිනෙක පෙර හා සමාන නොවනු ඇතැයි හැඟෙනවා. කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන්, පසුතැවිලි වීමෙන් හා ගිවිසුම් ඇතිකර ගැනීමෙන් අප උන්වහන්සේ වෙතට පැමිණෙන විට, අපගේ බිඳවැටීමට—හේතුව කුමක් වුවත්—එය සුවකළ හැකියි. ගැලවුම්කරුවාණන්ගේ සුවකිරීමේ බලය අපගේ ජීවිතයට ආරාධනා කරන මෙම ක්‍රියාවලිය, අපව යථා තත්වයට පත්කරනවා පමණක් නොව, අපව වෙන කවරදාටත් වඩා යහපත් කරවනවා. අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්, අලංකාර ලෙස නාද වන, නව පියානෝවක් මෙන් අප සැවොම හැඩගස්වා, සුවපත් කර සහ අපගේ අරමුණු සම්පූර්ණ කළ හැකි බව මම දන්නවා.

දරුණු පීඩා අප වෙත පැමිණි විට, එය දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ගැඹුරු කිරීමට, වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහ අන් අයට සේවය කිරීමට කාලය බව සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා තිබෙනවා. එවිට උන්වහන්සේ අපගේ බිඳුණු හදවත් සුවකරනවා. උන්වහන්සේ අපට පුද්ගලික සාමය සහ සැනසීම ලබාදෙනවා. එම මහත් දීමනා මරණයෙන් පවා විනාශ වෙන්නේ නෑ.” 1

යේසුස්වහන්සේ මෙසේ පැවසුවා:

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; මක්නිසාද මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින්: නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය.

“මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය” (මතෙව් 11:28–30).

රූපය
අපගේ ගැලවුම්කරුවාණන්, වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

උන්වහන්සේ වෙතට පැමිණීමෙන් බිඳීයාම සුවකිරීමට නම්, අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කළ යුතුයි. “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීම යන්නෙන් අදහස් වන්නේ උන්වහන්සේ මත සම්පූර්ණයෙන්ම රඳා සිටීමයි—උන්වහන්සේගේ අසීමිත බලය … සහ ප්‍රේමය කෙරෙහි විශ්වාසය තැබීමයි. උන්වහන්සේගේ ඉගැන්වීම් විශ්වාස කිරීමද ඊට ඇතුළත්. එයින් අදහස් කරන්නේ අප සියල්ල තේරුම් නොගත්තද, උන්වහන්සේ එය තේරුම්ගන්නා බව විශ්වාස කිරීමයි. උන්වහන්සේ අපගේ සියලු වේදනා, දුක් පීඩා සහ දුර්වලතා අත්විඳ ඇති හෙයින්, අපගේ දෛනික දුෂ්කරතා වලින් වඩා ඉහළට නැගීමට අපට උපකාර කරන්නේ කෙසේදැයි උන්වහන්සේ දන්නා සේක.” 2

අප උන්වහන්සේ වෙතට පැමිණෙන විට, “අපට ප්‍රීතිය, සාමය සහ සැනසිල්ල ලැබිය හැකියි. ජීවිතය පිළිබඳ [දුෂ්කර හා අභියෝගාත්මක] සියල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් නිවැරදි කළ හැකියි.” 3 උන්වහන්සේ අපට මෙලෙස උපදෙස් දී තිබෙනවා, “සෑම සිතුවිල්ලකදීම මා වෙත බලන්න, සැක නොසිතන්න, බිය නොවන්න”(දහම සහ ගිවිසුම් 6:36).

මොර්මොන්ගේ පොතෙහි ඇල්මා සහ ඔහුගේ ජනතාව ඔවුන් මත පැටවූ බරින් මිරිකී සිටින විට, ජනතාව සහනය ඉල්ලා සිටියා. ස්වාමින්වහන්සේ ඔවුන්ගේ බර නිදහස් කළේ නෑ; ඒ වෙනුවට උන්වහන්සේ ඔවුන්ට මෙසේ පොරොන්දු වුණා:

“තවද මම එසේම නුඹලාගේ උරහිස් මත තැබුවාවූ බර අඩුකරන්නෙමි, එනම් නුඹලාට ඒවා නුඹලාගේ පිට මත තිබෙනවා දැනෙන්නේ නැත, නුඹලා වහල්භාවයේ සිටියේ වුවත්; තවද මම මෙය කරන්නේ, එනම් නුඹලා මින්පසු මා උදෙසා සාක්ශියක්ව සිටීමටය, තවද එනම් නුඹලා සත්‍යයෙන්ම එනම් මම ස්වාමි වූ දෙවියන්වහන්සේ බව දනගැනීමටය, මම මාගේ ජනතාවගේ පීඩාවේදී බැහැදකින්නෙමි.

“තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් මත පටවනු ලැබූ බර සැහැල්ලු කරනු ලැබීය: එසේය ස්වාමින්වහන්සේ ඔවුන්ව එනම් ඔවුන්ගේ බර දැරීමට ලෙහෙසි වීමට ශක්තිමත් කළ සේක, තවද ඔවුහු ප්‍රීතිමත්ව සහ ඉවසිල්ලෙන් ස්වාමින්වහන්සේගේ සියලු කැමැත්තට යටත් වූහ” (මොසායා 24:14–15).

සුවකිරීමට සහ බර සැහැල්ලු කිරීමට ගැලවුම්කරුවාණන්ට ඇති හැකියාව පිළිබඳව, වැඩිහිටි ටැඩර්. කැලිස්ටර් මෙසේ උගන්වා තිබෙනවා:

“වන්දිගෙවීමේ ආශිර්වාද වලින් එකක් වන්නේ ගැලවුම්කරුවාණන්ගේ උපකාරක බලය අපට ලැබීමයි. ස්වාමින්වහන්සේගේ සුවකිරීමේ හා සන්සුන් කිරීමේ බලපෑම ගැන යෙසායා නැවත නැවතත් කතා කර තිබෙනවා. ගැලවුම්කරුවාණන් ‘දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවනක්ව’ සිටි බව ඔහු සාක්ශි දුන්නා (යෙසායා 25:4). ශෝකයට පත්වන අය සම්බන්ධයෙන්, යෙසායා ප්‍රකාශ කළේ ගැලවුම්කරුවාණන් හට ‘වැලපෙන සියල්ලන් සැනසිමට’ ද (යෙසායා 61:2), ‘සියලු මුහුණු වලින් කඳුළු පිසදැමීමට’ ද (යෙසායා 25:8; එළිදරව් 7:17 ද බලන්න); යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්නට (යෙසායා 57:15); සහ බිඳුණු සිත් ඇත්තන් සුවකිරීමට (යෙසායා 61:1; තවත් බලන්න ලූක් 4:18; ගීතාවලිය 147:3) බලය ඇති බවයි. ‘අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නමැති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නමැති වස්ත්‍රයක් හුවමාරු කිරීමට තරම්’ උන්වහන්සේගේ උපකාරක බලය පුළුල්ය (යෙසායා 61:3).

“එම පොරොන්දු තුළ අපට කොපමන බලාපොරොත්තු තබාගත හැකිද! … උන්වහන්සේගේ ආත්මය සුව කරන සේක; එය පවිත්‍ර කරන සේක; එය සනසන සේක; එය බලාපොරොත්තු රහිත හදවත් තුළට නව ජීවයක් ලබාදෙන සේක. ජීවිතයේ අවලස්සන හා කුරිරු මෙන්ම කමකට නැති සියල්ලම උත්තරීතර හා තේජාන්විත තේජසකට පරිවර්තනය කිරීමේ බලය එයට ඇත. මරණයේ අළු සදාකාලික සුන්දරත්වයට පරිවර්තනය කිරීමේ බලය උන්වහන්සේට ඇත.” 4

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ප්‍රේමණීය ගැලවුම්කරුවාණන්, මිදුම්කරුවාණන්, සහ අපගේ ප්‍රධාන සුව කරන්නාණන් සහ විශ්වාසවන්ත මිතුරා බව මම සාක්ෂි දරනවා. අප උන්වහන්සේ වෙතට හැරුණු විට, උන්වහන්සේ අපව සුවකර නැවත සම්පූර්ණ කරනවා. මෙය උන්වහන්සේගේ සභාව බව සහ උන්වහන්සේ නැවත වරක් මෙම පොළොව මත බලය හා මහිමයෙන් රජකම් කිරීමට සූදානම් වෙමින් සිටින බවට මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. Russell M. Nelson, “Jesus Christ—the Master Healer,” Liahona, Nov. 2005, 87.

  2. Faith in Jesus Christ,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.

  3. Preach My Gospel: A Guide to Missionary Service, rev. ed. (2018), 52, ChurchofJesusChrist.org.

  4. See Tad R. Callister, The Infinite Atonement (2000), 206-7.