ප්‍රධාන සම්මන්ත්‍රණය
වෙනස පවත්වාගන්න
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


වෙනස පවත්වාගන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට සදාකාලික වෙනස්කම් කිරීමට ශක්තිය ලබාදී තිබෙනවා. අපි නිහතමානීව උන්වහන්සේ දෙසට හැරෙන විට, වෙනස් වීමට අපට ඇති හැකියාව උන්වහන්සේ වැඩි කරනවා.

සහෝදරියනි, ඔබ සමග සිටීමට ලැබීම ඇත්තටම සතුටක්.

රූපය
වෙළඳසැලකදී මුදල් ගෙවීම.

යමෙක් භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා වෙළඳපොළකට යන බව සිතන්න. අයිතමයේ වටිනාකමට වඩා ඇය මුදල් අයකැමිට ගෙවන්නේ නම්, අයකැමි ඇගේ ඉතිරි මුදල ලබාදෙනවා.

රූපය
ඉතිරි මුදල ලබාගැනීම

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් අපට ලැබෙන ඉමහත් ආශිර්වාද ගැන බෙන්යමින් රජ පුරාණ ඇමරිකාවේ තම ජනතාවට ඉගැන්වූවා. උන්වහන්සේ අහසත්, පොළොවත්, එමෙන්ම අපි භුක්තිවිඳින සියලුම සුන්දරත්වයත් මැවුවා. 1 උන්වහන්සේගේ ප්‍රේමණීය වන්දිගෙවීම තුළින්, පාපයෙන් සහ මරණයෙන් ගැලවීමට උන්වහන්සේ අපට මාර්ගයක් සපයනවා. 2 උන්වහන්සේගේ ආඥා උනන්දුවෙන් තබාගන්නා විට අප උන්වහන්සේට අපගේ කෘතඥතාව පෙන්වන විට, උන්වහන්සේ වහාම අපට ආශිර්වාද කරන අතර, අපව සැමවිටම උන්වහන්සේගේ ණයගැති බාවයෙහි තබනවා.

අපි විසින් උන්වහන්සේ හට නැවත ලබාදිය හැකි දේවල වටිනාකමට වඩා බොහෝ දේ උන්වහන්සේ අපට ලබාදෙනවා. ඉතින්, අපගේ පාප වලට ගණන් කළ නොහැකි මිලක් ගෙවූ උන්වහන්සේට අපට දිය හැක්කේ කුමක්ද? අපට උන්වහන්සේ හට වෙනසක් ලබාදිය හැකියි. අපට උන්වහන්සේ හට අපගේ වෙනස ලබාදිය හැකියි. එය චින්තනයේ වෙනසක්, පුරුද්දක් වෙනස් කිරීම හෝ අප ගමන් කරන දිශාවේ වෙනසක් විය හැකියි. අප සෑම කෙනෙකුටම වූ උන්වහන්සේගේ මිල කළ නොහැකි වන්දිය වෙනුවෙන්, ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ හදවතේ වෙනසක්. උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින වෙනස උන්වහන්සේගේ ප්‍රයෝජනය සඳහා නොව අපගේ යහපත උදෙසායි. එබැවින්, අප විසින් පිරිනමනු ලබන ඉතිරිය ආපසු ලබාගන්නා වෙළඳපොලේ ගැනුම්කරු මෙන් නොව, අපගේ කරුණාවන්ත ගැලවුම්කරුවාණන් අපෙන් ඉල්ලා සිටින්නේ එම ඉතිරිය අප සමග තබාගැනීමටයි.

බෙන්යමින් රජු පැවසූ වචන ඇසීමෙන් පසු, ඔහුගේ සෙනඟ කෑගසමින්, මෙසේ පවසමින් ඔවුන්ගේ හදවත් වෙනස් වී ඇති බව ප්‍රකාශ කළා, “අප තුළ බලවත් වෙනස්කමක් හෝ, අපගේ හදවත් වලින්, දුෂ්ඨ දේ කිරීමට ආශාවක් තවත් නැත. එහෙත් නොනවත්වා යහපත් දේ කරන්නේ ස්වාමි වූ සර්වබලධාරීන්ගේ ආත්මය නිසාය.” 3 ශුද්ධලියවිලි වල සඳහන් වන්නේ ඔවුන් වහාම පරිපූර්ණ වූ බව නොවෙයි, ඒ වෙනුවට, වෙනස් වීමට ඇති ඔවුන්ගේ ආශාව ඔවුන්ව ක්‍රියාවට නැංවූ බවයි. ඔවුන්ගේ හදවත වෙනස් කිරීම යන්නෙන් අදහස් කළේ ස්වාභාවික පුරුෂයා හෝ ස්ත්‍රිය ඉවත්කර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට උත්සාහ කරන විට ආත්මයාණන්ට යටත්වීමයි.

සභාපති හෙන්රි බී. අයිරින් මෙසේ උගන්වනවා: “සැබෑ හැරීම රඳාපවතින්නේ මහත් උත්සාහයකින් හා යම් වේදනාවකින්, ඇදහිල්ලෙන් නිදහසේ සෙවීම මතය. එවිට පවිත්‍ර කිරීමේ හා වෙනස් කිරීමේ ආශ්චර්යය ලබාදිය හැක්කේ … ස්වාමින්වහන්සේටය.” 4 අපව වෙනස් කිරීමට, ගැලවුම්කරුවාණන්ගේ හැකියාව සමඟ අපගේ උත්සාහය ඒකාබද්ධ කිරීමෙන්, අපි නව ජීවීන් බවට පත්වෙනවා.

මම තරුණ වියේදී, සදාකාල ජීවනය පිළිබඳ මගේ ඉලක්කය කරා ඉහළට, සිරස් මාවතක ගමන් කරන බව මම මවාගත්තා. මම යම්කිසි වැරැද්දක් කළ විට හෝ පැවසූ සෑම අවස්ථාවකම මට දැනුනේ මම මාවතෙන් ලිස්සා පහළට යන බවයි, එයින් සිදුවන්නේ මගේ ගමන නැවත මුල සිට ආරම්භ කිරීමට වීම පමණයි. එය හරියට ළමයින්ගේ නයා සහ ඉනිමඟ ක්‍රීඩාවේ ඉනිමඟ දිගේ ඉහළටම ගොස් ඔබව පහළට ගෙනයන කොටුවක පතිතවීමක් වගෙයි, එය ඔබව පුවරුවේ ඉහළ සිට පහළට ක්‍රීඩාවේ ආරම්භය දක්වා පහතට ඇද දමනවා! එය අධෛර්යමත් කරවන සුළුයි! නමුත් මම ක්‍රිස්තුස්වහන්සේගේ දහම 5 මගේ ජීවිතයේ දිනපතා ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට පටන්ගත් විට, මට බලාපොරොත්තුවක් ලැබුණා.

රූපය
වෙනස් කිරීමේ ක්‍රියාවලියට විඳදරාගැනීමද ඇතුළත් වේ

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට වෙනසක් සඳහා අඛණ්ඩ රටාවක් ලබාදී තිබෙනවා. උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන ලෙස උන්වහන්සේ අපට ආරාධනා කරන අතර එය පසුතැවිලි වීමට අපව පොලඹවන—ඇදහිල්ල සහ පසුතැවිල්ල හදවතේ වෙනස්කම ගෙන එනවා.” 6 අප පසුතැවිලි වී අපගේ හදවත් උන්වහන්සේ දෙසට හරවන විට, පරිශුද්ධ ගිවිසුම් ඇතිකරගැනීමට හා ඒවා අනුව ජීවත් වීමට අපට වැඩි කැමැත්තක් ලැබෙනවා. මෙම මූලධර්ම අපගේ ජීවිත කාලය පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමෙන් හා අපව වෙනස් කිරීමට ස්වාමින්වහන්සේට ආරාධනා කිරීමෙන් අපි අවසානය දක්වා විඳදරා ගන්නවා. අවසානය දක්වා විඳදරාගැනීම යන්නෙන් අදහස් වන්නේ අවසානය දක්වා වෙනස් වීමයි. සෑම අසාර්ථක උත්සාහයකින්ම මම නැවත මුල සිට ආරම්භ කළයුතු නැති බව මට දැන් වැටහෙනවා, නමුත් සෑම උත්සාහයකින්ම මම මගේ වෙනස් කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා.

තරුණ කාන්තාවන්ගේ තේමාව තුළ දේවානුභාවයෙන් යුත් වාක්‍ය ඛණ්ඩයක් තිබෙනවා, “මම පසුතැවිලිවීමේ ත්‍යාගය අගය කොට සෑම දිනකම දියුණු වීමට උත්සාහ කරමි.” 7 මෙම සුන්දර තෑග්ග අපිට අගය කිරීමට හැකිවන ලෙසටත්, වෙනසක් අපේක්ෂා කිරීමේදී අපිට චේතනාන්විතව සිටීමට හැකිවන ලෙසටත් මම යාච්ඤා කරනවා. සමහරවිට අප විසින් කළ යුතු වෙනස්කම් බරපතල පාපයන්ට සම්බන්ධ වෙනවා. නමුත් බොහෝවිට, අපි උත්සාහ කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගතිලක්ෂණ සමඟ පෙලගැසීමට අපගේ චරිතය ශෝධනය කිරීමටයි. අපගේ දෛනික තෝරාගැනීම් අපගේ ප්‍රගතියට හෝ අගතියට උපකාරී වෙනවා. කුඩා නමුත් ස්ථාවර, චේතාන්විත වෙනස් කිරීම් අපට වැඩිදියුණු වීමට උපකාරී වෙනවා. අධෛර්යමත් නොවන්න. වෙනස්වීම ජීවිත කාලය පුරාම සිදුවන ක්‍රියාවලියක්. වෙනස් වීමට අප දරන අරගල වලදී, ස්වාමින්වහන්සේ අප සමඟ ඉවසිලිවන්තව කටයුතු කිරීම ගැන මම කෘතඥ වෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට සදාකාලික වෙනස්කම් කිරීමට ශක්තිය ලබාදී තිබෙනවා. අපි නිහතමානීව උන්වහන්සේ දෙසට හැරෙන විට, වෙනස් වීමට අපට ඇති හැකියාව උන්වහන්සේ වැඩි කරනවා.

අපගේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමෙහි පරිවර්තනීය බලයට අමතරව, අප අපගේ උත්සාහය ඉදිරියට ගෙනයන විට ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උපකාර කරනවා. අප විසින් කළ යුතු වෙනස්කම් මොනවාද කියා දැනගැනීමට පවා උන්වහන්සේට උදව් කළ හැකියි. පූජකවරයේ ආශිර්වාද, යාච්ඤාව, නිරාහාරව සිටීම සහ දේවමාළිගාවට පැමිණීම තුළින් අපට උපකාර හා දිරිගැන්වීම් ලබාගත හැකියි.

ඒ හා සමානව, විශ්වාසවන්ත පවුලේ සාමාජිකයන්, නායකයින් සහ මිතුරන් වෙනස් වීමට අප දරන උත්සාහයට උපකාරී වෙනවා. මට වයස අවුරුදු අටක් වන විට, මගේ වැඩිමහල් සහෝදරයා වන ලී සහ මම අපේ මිතුරන් සමඟ අසල්වැසියෙකුගේ ගසක අතු වල සෙල්ලම් කිරීමට පුරුදුව සිටියා. එම ගසේ සෙවණෙහි සිටි අපගේ මිතුරන්ගේ ඇසුරත් සමඟ එකට සිටීමට අපි ප්‍රිය කළා. දිනක් ලී ගසෙන් වැටී ඔහුගේ අත කැඩී ගියා. කැඩුණු අතක් තිබීම නිසා ඔහුට තනිවම ගසට නැගීමට අපහසු වුනා. නමුත් ඔහු නොමැතිව ගසෙහි අප ගතකළ කාලය වෙනදා මෙන් නොවේ. ඉතින්, අපෙන් සමහරෙක් ඔහුව පිටුපසින් වාරුකරගෙන සිටි අතර තවත් සමහරෙක් ඔහුගේ අනිත් අතින් ඇද්දා, වැඩි වෙහෙසකින් තොරව, ලී හට නැවත ගසෙහි නැගීමට හැකිවුණා. ඔහුගේ අත තවමත් කැඩී තිබුනත් ඔහු සුවය ලබන විට ඔහු නැවතත් අප සමඟ සිටියා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ක්‍රියාකාරකමක් ලෙස අපගේ ගසෙහි සෙල්ලම් කිරීම පිළිබඳ මගේ අත්දැකීම් ගැන මම බොහෝ විට සිතුවා. ශුභාරංචි ශාඛා සෙවනෙහි, අපගේ ගිවිසුම් හා සම්බන්ධ බොහෝ ආශිර්වාද අපි භුක්තිවිඳිනවා. සමහරු ඔවුන්ගේ ගිවිසුම් වල ආරක්ෂාවෙන් වැටී ඇති අතර ශුභාරංචියේ ශාඛාවන්ගේ සුරක්ෂිතභාවය කරා ආපසු යාමට අපගේ උපකාරය අවශ්‍ය වෙනවා. ඔවුන්ට තනිවම නැවත පැමිණීම දුෂ්කර විය හැකියි. ඔවුන් අපගේ මිත්‍රත්වය භුක්තිවිඳින අතරතුර සුවපත් කරගැනීම සඳහා අපට ටිකක් මෘදු ලෙස ඇදගෙන ගොස් ටිකක් එසවිය හැකිද?

ඔබ වැටීමෙන් තුවාල වී ඇත්නම්, කරුණාකර ඔබේ ගිවිසුම් සහ ඒවා ලබාදෙන ආශිර්වාද වෙත ආපසු යාමට ඔබට උදව් කිරීමට අන් අයට ඉඩදෙන්න. ඔබට ආදරය කරන අය වටා සිටින අතරතුර, සුව කිරීමට සහ වෙනස් කිරීමට ගැලවුම්කරුවාණන්ට හැකිවෙනවා.

මම අවුරුදු ගණනාවක් තිස්සේ දැක නැති මිතුරන් මට සමහර වෙලාවට හමුවෙනවා. සමහරවිට ඔවුන් කියනවා, “ඔබ කිසිසේත් වෙනස් වී නැහැ!” කියා. එය ඇසෙන සෑම අවස්ථාවකම මම මඳක් පැකිළෙනවා, මන්ද මම බලාපොරොත්තු වන්නේ වසර ගණනාවක් පුරා මම වෙනස් වී ඇති බවයි. මම ඊයේ සිට වෙනස් වී ඇතැයි සිතනවා! මම ටිකක් කාරුණික, විනිශ්චය අඩු, වඩා දයානුකම්පිත කෙනෙක් වී ඇති යැයි මම බලාපොරොත්තු වෙනවා. අන් අයගේ අවශ්‍යතාවන්ට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට මම බලාපොරොත්තු වෙනවා, මම තව ටිකක් ඉවසිලිවන්ත යැයි සිතනවා.

මම මගේ නිවස අසල කඳුකරයේ කඳු තරණය කිරීමට කැමතියි. බොහෝවිට, මම පයින් ගමන් කරන විට මගේ සපත්තුවට කුඩා ගලක් වැටෙනවා. අවසානයේදී, මම නතර වී මගේ සපත්තුවෙන් ගල ඉවත්කරනවා. මම නතර වී ගල ඉවත්කර කෝපයෙන් මිදීමට පෙර කොපමණ කාලයක් වේදනාව ඉහළ නැංවීමට ඉඩදී ඇත්ද යන්න පුදුමයට කරුණක්.

අපි ගිවිසුම් මාවතේ ගමන් කරන විට, සමහර විට දුර්වල පුරුදු, පව් හෝ නරක ආකල්ප ස්වරූපයෙන් අපේ සපත්තු වලට ගල් ඇතුළු වෙනවා. අපි ඉක්මනින්ම ඒවා අපේ ජීවිතයෙන් සොලවා ඉවත්කරන්නේ නම්, අපගේ මනුෂ්‍ය ගමන වඩාත් ප්‍රීතිමත් වෙනවා.

වෙනසක් පවත්වාගැනීමට උත්සාහ කිරීම අවශ්‍යයි. මම දැන් ඉවත් කළ කරදරකාරී හා වේදනාකාරී ගල් කැටය මගේ සපත්තුවට නැවත දැමීම සඳහා මාවත දිගේ නතර වීම මට සිතාගත නොහැකියි. ලස්සන සමනලයෙක් ඇගේ කෝෂය වෙත ආපසු යාමට තෝරාගන්නවාට වඩා, මට තවදුරටත් එය කිරීමට අවශ්‍ය වන්නේ නෑ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා අපට වෙනස් විය හැකි බවට මම සාක්ෂි දරනවා. අපට අපගේ පුරුදු සකස් කරගැනීමට, අපගේ සිතුවිලි වෙනස් කිරීමට සහ අපගේ චරිතය උන්වහන්සේ හා සමාන වීමට හැඩගස්වා ගතහැකියි. උන්වහන්සේගේ උදව්වෙන් අපට ඉතිරිය තබාගත හැකියි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.