ප්‍රධාන සම්මන්ත්‍රණය
පරීක්ෂා කර, ඔප්පු කර, ඔපදමා ඇත
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


පරීක්ෂා කර, ඔප්පු කර, ඔපදමා ඇත

අපගේ පරීක්ෂාවන්හිදී අපගේ ගිවිසුම් වලට අප විශ්වාසවන්ත බව ඔප්පුකරන විට ලැබෙන ලොකුම ආශිර්වාදය වන්නේ අපගේ ස්වභාවයේ ඇතිවන වෙනසයි.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අද ඔබ සමඟ කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ජීවිතය විශේෂයෙන් දුෂ්කර හා අවිනිශ්චිත බවක් පෙනෙන විට දිරිගැන්වීම ලබාදීම මගේ බලාපොරොත්තුවයි. ඔබගෙන් සමහරෙකුට, ඒ කාලය දැන් වෙන්න පුළුවන්. එසේ නොවේ නම්, එවැනි කාලයක් ඉදිරියට පැමිණෙයි.

එය අඳුරු දර්ශනයක් නොවෙයි. මේ ලෝකය මැවීමේදී දෙවියන්වහන්සේගේ අරමුණ නිසා—එය යථාර්ථවාදියි—නමුත් ශුභවාදීයි. එම අරමුණ නම් තම දරුවන්ට එය දුෂ්කර වූ විට යහපත තෝරාගැනීමට තමන්ට හැකියාවක් ඇති බව සහ ඒ සඳහා කැමැත්තක් ඇති බව ඔප්පුකිරීමට අවස්ථාව ලබාදීමයි. එසේ කිරීමෙන්, ඔවුන්ගේ ස්වභාවය වෙනස් වන අතර ඔවුන්ට උන්වහන්සේ හා සමාන විය හැකියි. ඒ සඳහා උන්වහන්සේ කෙරෙහි නොසැලෙන විශ්වාසයක් අවශ්‍ය බව උන්වහන්සේ දැනසිටියා.

මා දන්නා බොහෝ දේ ලැබුනේ මගේ පවුලෙන්. මට වයස අවුරුදු අටක් පමණ වන විට, මගේ පවුලේ පිටුපස ගෙවත්තේ වල් පැලෑටි අදින්නැයි මගේ බුද්ධිමත් මව මගේ සහෝදරයාගෙන් සහ මාගෙන් ඉල්ලා සිටියා. දැන්, එය සරල කාර්යයක් ලෙස පෙනුනත්, අපි ජීවත් වූයේ නිව් ජර්සි වලයි. එහි නිතරම වැස්සා. ඒ පස බර මැටි වගේ තිබුණා. වල් පැලෑටි එළවළු වලට වඩා වේගයෙන් වර්ධනය වුණා.

මගේ අතේ වල් පැලෑටි කැඩී ගොස්, ඒවායේ මුල් තද මඩේ සිරවෙද්දී මගේ කලකිරීම මට මතකයි. මගේ අම්මා සහ සහෝදරයා ඉක්මනින්ම ඔවුන්ගේ පේළි වල වඩා ඉදිරියෙන් සිටියා. මම උත්සාහ කළ තරමට මාව පසුබට වුණා.

“මේක ගොඩාක් අමාරුයි!” මම ඇඬුවා.

අනුකම්පාව දෙනවා වෙනුවට, මගේ මව සිනාසෙමින් මෙහෙම කිව්වා, “අනේ, හැල්, ඇත්තෙන්ම එය දුෂ්කරයි. එය එසේ විය යුතුයි. ජීවිතය කියන්නෙ පරීක්ෂණයක්.”

ඇගේ වචන සත්‍ය බවත් මගේ අනාගතය දක්වාම එය සත්‍යයක්ව පවතින බවත් ඒ මොහොතේදී මම දැනගත්තා.

වසර ගණනාවකට පසු මවගේ ආදරණීය සිනහවට හේතුව පැහැදිලි වූයේ ස්වර්ගික පියාණන් සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයා මේ ලෝකය නිර්මාණය කිරීමේ සහ ආත්මීය දරුවන්ට ලෞකික ජීවිතයට අවස්ථාව ලබාදීමේ ඔවුන්ගේ අරමුණ ගැන කතා කරන විටයි:

“ඔවුන්ගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ ඔවුන්ට ආඥා කරන සෑම දෙයක්ම ඔවුන් කරන්නේ දැයි බැලීමට, අපි ඔවුන්ව මෙයින් පරීක්ෂා කර බලන්නෙමු;

“තවද ඔවුන්ගේ පළමු තත්වය තබන්නවුන්ව එකතු කරනු ලබන්නේය; තවද ඔවුන්ගේ පළමු තත්වය තබන්නේ නැති අයවළුන්ට ඔවුන්ගේ පළමු තත්වය තබන්නවුන් සමග එකම රාජධානියේ මහිමය ලබන්නට නොහැකිය; තවද ඔවුන්ගේ දෙවන තත්වය තබන්නවුන් හට ඔවුන්ගේ හිස් මත සදාකාලයෙන් සදාකාලයට මහිමය එකතු කරනු ලබන්නේය.” 1

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ඉදිරියෙහි තවදුරටත් නොසිටින විටදී දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට අප තෝරාගන්නා බව පරීක්ෂා කිරීමට සහ ඔප්පු කිරීමට ඔබත් මමත් එකඟ වුණා.

අපගේ ස්වර්ගික පියාණන්ගෙන් එවැනි ප්‍රේමණීය ආරාධනයක් ලැබුණද, ලුසිෆර් ආත්මික දරුවන්ගෙන් තුනෙන් එකක් ඔහුව අනුගමනය කිරීමට පෙළඹවූ අතර අපගේ වර්ධනය හා සදාකාලික සතුට සඳහා පියාණන්වහන්සේගේ සැලැස්ම ප්‍රතික්ෂේප කළා. සාතන්ගේ කැරැල්ල නිසා, ඔහුගේ අනුගාමිකයන් සමඟ ඔහු පලවාහැරියා. දැන් ඔහු මේ ලෞකික ජීවිතය තුළ ඔහුට හැකි තරම් ගණනක් දෙවියන්වහන්සේගෙන් ඈත් කිරීමට ඔහු උත්සාහ කරනවා.

එම සැලැස්ම පිළිගත් අප වැනි අය එසේ කළේ, අපගේ ගැලවුම්කරුවාණන් හා මිදුම්කරුවාණන් වීමට ඉදිරිපත් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති අපගේ ඇදහිල්ල නිසයි. අපට කුමන ආකාරයේ ලෞකික දුර්වලතා තිබුණත් කුමන නපුරු බලවේග අපට විරුද්ධ වුවත්, යහපත් බලවේග අති විශාල වනු ඇතැයි අප විශ්වාස කළ යුතුයි.

ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබව හඳුනනවා ඒවගේම ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේලාට අවශ්‍ය වන්නේ ඔබ උන්වහන්සේලා වෙත ආපසු ගොස් උන්වහන්සේලා හා සමාන වීමයි. ඔබගේ සාර්ථකත්වය උන්වහන්සේලාගේ සාර්ථකත්වයයි. මෙම වචන ඔබ කියවා හෝ අසා ඇති විට ශුද්ධාත්මයාණන් විසින් තහවුරු කරන ලද ආදරය ඔබට දැනී ඇති: “තවද බලන්න, මනුෂ්‍යයා වෙනුවෙන් අමරණීයත්වය සහ සදාකාලික ජීවිතය ගෙන ඒම—මේ මාගේ කාර්යය හා මාගේ මහිමයි.” 2

අපගේ මාර්ගය පහසු කිරීමට දෙවියන්වහන්සේට බලය තිබෙනවා. පොරොන්දු දේශයට ඔවුන්ගේ ගමනේදී උන්වහන්සේ ඊශ්‍රායෙල් ජනයාව මන්නා වලින් පෝෂණය කළා. ස්වාමින්වහන්සේ සිය ලෞකික දේවසේවයේදී රෝගීන් සුව කළා, මළවුන්ව නැඟිටවූවා, එමෙන්ම මුහුද නිසල කළා. උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමෙන් පසු, උන්වහන්සේ විසින් “බැඳ දමා සිටි අයට හිරගෙදර” විවෘත කළා. 3

උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ කෙනෙකු වන, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්, සිරගෙදරදී දුක්වින්දා එමෙන්ම අපගේ පුනරාවර්තන ඇදහිල්ලේ පරීක්ෂණ වලට අවශ්‍ය වන එමෙන්ම අපට ප්‍රයෝජනවත් වන පාඩමක් ඉගැන්වූවා: “ඔබව වළට හෝ මිනීමරුවන් අතට පත්කළහොත් මරණ දඬුවම ඔබ පිට පැමිණේ නම්; ඔබ ගැඹුරට හෙළනු ලැබුවහොත්; තරංග රැළ වැඩිවීම ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ නම්; දරුණු සුළං ඔබේ සතුරා බවට පත්වුවහොත්; අහස කළු පැහැය එක්රැස් කරන්නේ නම් සහ සියලු මූලද්‍රව්‍යයන් එකට එකතු වී මාර්ගය ආරක්ෂා කරයි නම්; සියල්ලටත් වඩා, නිරයේ හකු ඔබ පසුපසින් මුඛය විවර කරන්නේ නම්, මාගේ පුත්‍රය, මේ සියල්ල ඔබට අත්දැකීම් ලබාදෙන බවත් ඔබේ යහපත උදෙසා වන බවත් දැනගන්න.” 4

ප්‍රේමණීය හා සර්වබලධාරි දෙවි කෙනෙක් අපේ ලෞකික පරීක්ෂණය මෙතරම් දුෂ්කර වීමට ඉඩදෙන්නේ ඇයි කියා ඔබ සාධාරණ ලෙස සිතිය හැකියි. එයට හේතුව, උන්වහන්සේ ඉදිරියෙහි සදාකාලිකව පවුල් ලෙස ජීවත්වීමට හැකිවන පරිදි අප අධ්‍යාත්මික පිරිසිඳුකම හා පෞරුෂය වර්ධනය කර්ගත යුතු බව උන්වහන්සේ දැනසිටීමයි. එය සිදුකිරීම සඳහා, ස්වර්ගික පියාණන්වහන්සේ විසින් අපට ගැලවුම්කරුවෙකු හා උන්වහන්සේගේ ආඥාවන් තබන්නට අප වෙනුවෙන්ම ඇදහිල්ලෙන් තෝරාගැනීමටත්, පසුතැවිලි වී උන්වහන්සේ වෙතට පැමිණීමටත් බලය ලබාදුන්නා.

පියාණන්වහන්සේගේ ප්‍රීතිය පිළිබඳ සැලැස්මේ එහි කේන්ද්‍රයේ අප වඩ වඩාත් උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීම තිබෙනවා. සෑම දෙයකදීම, ගැලවුම්කරුවාණන්ගේ උදාහරණය අපගේ හොඳම මගපෙන්වීමයි. තමන්වහන්සේවම ඔප්පු කිරීමේ අවශ්‍යතාවයෙන් උන්වහන්සේ නිදහස් වුනේ නෑ. උන්වහන්සේ අපගේ සියලු පාප වලට වන්දිගෙවමින් ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලු දරුවන් වෙනුවෙන් විඳදරාගත්තා. ලෞකිකත්වයට පැමිණ ඇති හා පැමිණෙන සියලුදෙනාගේ දුක් වේදනා උන්වහන්සේට දැණුනා.

ඔබට කොතරම් වේදනාවක් දරාගත හැකිදැයි ඔබ කල්පනා කරන විට, උන්වහන්සේව සිහිකරන්න. ඔබව ඔසවන ආකාරය උන්වහන්සේ දැනගන්නා පිණිස, ඔබ දුක්විඳින දේ උන්වහන්සේද වින්දා. උන්වහන්සේ එම බර ඉවත් නොකරනු ඇත, නමුත් උන්වහන්සේ ඔබට ශක්තිය, සැනසීම සහ බලාපොරොත්තුව ලබාදෙනු ඇත. උන්වහන්සේ මාර්ගය දන්නා සේක. උන්වහන්සේ තිත්ත කුසලානයෙන් පානය කළ සේක. උන්වහන්සේ සියල්ලන්ගේම වේදනාවන් විඳදරාගත් සේක.

ඔබ මුහුණදෙන ඕනෑම පරීක්ෂණයකදී ඔබට සහය දැක්විය හැකි ආකාරය දන්නා ආදරණීය ගැලවුම්කරුවෙකු විසින්, ඔබව පෝෂණය කර සනසනු ලැබෙනවා. ඇල්මා මෙසේ ඉගැන්වූවා:

“තවද උන්වහන්සේ සියලු ආකාරයේ වේදනාවන් සහ පීඩාවන්ද, පරීක්ෂාවන්ද විඳිමින් ඉදිරියට යන සේක; තවද මෙය එනම් උන්වහන්සේ තමන්වහන්සේ මත උන්වහන්සේගේ ජනතාවගේ වේදනවාද, ලෙඩ රෝගද ගන්නා බව කී වචනය සම්පූර්ණ වන පිණිසය.

“තවද උන්වහන්සේ තමන්වහන්සේ වෙත මරණය ගන්නා සේක, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාවගේ මරණයේ බැමි ලිහිල් කරනු පිණිසය, තවද උන්වහන්සේ ඔවුන්ගේ දුර්වලකම් තමන්වහන්සේ මත ගන්නා සේක, එනම් උන්වහන්සේගේ සිත කරුණාවෙන් පිරෙන්නේය, මාංශයට අනුව, එනම් උන්වහන්සේගේ මාංශයට අනුව උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලකම් වලට අනුව උපකාර කිරීමට දැනගන්නා පිණිසය.” 5

උන්වහන්සේ ඔබට අනුබල දෙන එක් ක්‍රමයක් නම්, උන්වහන්සේව සිහිපත්කර උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙස ඔබට සැමවිටම ආරාධනා කිරීමයි. උන්වහන්සේ අපව මෙසේ දිරිමත් කරනවා:

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි”.

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; මක්නිසාද මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින්: නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය.” 6

උන්වහන්සේ වෙතට පැමිණිය හැකි මාර්ගය වන්නේ උන්වහන්සේගේ වචන මත පෝෂණය වීම, පසුතැවිල්ල වෙතට ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම, උන්වහන්සේගේ අධිකාරිත්වය ඇති සේවකයෙකු මගින් බව්තීස්ම වීමට හා ස්ථිර වීමට තෝරාගැනීම, සහ ඉන්පසු දෙවියන්වහන්සේ සමඟ ඔබේ ගිවිසුම් පවත්වාගැනීමයි. ඔබේ සහකරුවාණන්, සැනසිලිකරුවාණන් සහ මගපෙන්වන්නා ලෙස උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ව එවයි.

ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවට සුදුස්සෙකු ලෙස ජීවත් වන විට, ඔබට මාර්ගය නොපෙනෙන විට පවා ස්වාමින්වහන්සේට ඔබව ආරක්ෂාව වෙතට යොමුකළ හැකියි. මට නම්, උන්වහන්සේ බොහෝ විට ඊළඟට ගත යුතු ඊළඟ පියවර හෝ දෙක පෙන්වා තිබෙනවා. කලාතුරකින් උන්වහන්සේ මට මෑත අනාගතය පිළිබඳ දර්ශනයක් ලබාදී තිබෙනවා, නමුත් එම කලාතුරකින් ලැබෙන දර්ශන පවා මම එදිනෙදා ජීවිතයේදී කිරීමට තෝරාගන්නා දේට මගපෙන්වනවා.

ගැලවුම්කරුවාණන් මෙසේ පැහැදිලි කළා:

“නුඹට නුඹගේ ස්වභාවික ඇස් වලින්, වර්තමාන කාලය තුළදී, මෙම කාලයෙන් පසු පැමිණෙන්නාවූ එම දේවල් සම්බන්ධයෙන් නුඹගේ දෙවියන්වහන්සේගේ සැලැස්ම සහ මහත් පීඩාවෙන් පසුව පැමිණෙන මහිමය බැලිය නොහැකිය.

“මක්නිසාද මහත් පීඩා වලින් පසු ආශිර්වාද පැමිණෙන්නේය.” 7

අපගේ පරීක්ෂාවන්හිදී අපගේ ගිවිසුම් වලට අප විශ්වාසවන්ත බව ඔප්පුකරන විට ලැබෙන ලොකුම ආශිර්වාදය වන්නේ අපගේ ස්වභාවයේ ඇතිවන වෙනසයි. අපගේ ගිවිසුම් පවත්වාගැනීමට අප තෝරාගැනීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ ආශිර්වාද අප තුළ ක්‍රියාත්මක විය හැකියි. අපගේ හදවත් ආදරය කිරීමට, සමාව දීමට සහ ගැලවුම්කරුවාණන් වෙතට පැමිණෙන ලෙස අන් අයට ආරාධනා කිරීමට මෘදු විය හැකියි. ස්වාමින්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය වැඩිවෙයි. අපගේ බිය පහවී යයි.

දැන්, පීඩා තුළින් එවැනි ආශිර්වාද පොරොන්දු වුවද, අපි පීඩා අපේක්ෂා කරන්නේ නෑ. මෙම ලෞකික අත්දැකීම් වලදී, අපව ඔප්පු කිරීමට, ගැලවුම්කරුවාණන් සහ වෙන කවරදාකටත් වඩා දැඩි ලෙස අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ මෙන් වීමට අපගේ පරීක්ෂාවන් සමත් වීමට අපට ඕනෑතරම් අවස්ථාවන් තිබෙනවා.

ඊට අමතරව, අන් අයගේ පීඩා අප දැක උපකාර කිරීමට උත්සාහ කළ යුතුයි. අපව දැඩි ලෙස පරීක්‍ෂාවට ලක්කරන විට එය විශේෂයෙන් දුෂ්කර වෙනවා. නමුත් අපි තවත් කෙනෙකුගේ බර ටිකක් හෝ ඔසවන විට, අපේ පිටුපස ශක්තිමත් වන බවත්, අඳුරේ ආලෝකයක් දැනෙන බවත් අපි සොයාගන්නවා.

මෙහිදී ස්වාමින්වහන්සේ අපගේ ආදර්ශකයාණන් වෙනවා. ගොල්ගොතා කුරුසියේ, දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් නොවන්නේ නම්, ඒ වන විටත් මරණයට පත්වන තරමටම මහත් වේදනාවක් අත්විඳි, උන්වහන්සේ තම මරණ දණ්ඩනය නියම කළ අය දෙස බලා තම පියාණන්වහන්සේට මෙසේ පැවසුවා, “ඔවුන්ට කමා වුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුහු නොදනිති.” 8 ජීවත් වන සියල්ලන්ම වෙනුවෙන් දුක් විඳිමින් සිටියදී, උන්වහන්සේ කුරුසියේ සිට යොහාන් සහ තමාගේම ශෝකයට පත් මව දෙස බලා ඇගේ අරගලයේදී ඇයට දේවසේවය කළා:

“එකල යේසුස්වහන්සේ තමන්ගේ මෑණියන්ද ළඟ සිටියාවූ තමන් විසින් ප්‍රේමකළාවූ ගෝලයාද දැක: ස්ත්‍රිය, මෙන්න, නුඹේ පුත්‍රයා! යැයි තමන් මෑණියන්ට කී සේක.

“එවිට උන්වහන්සේ ගෝලයාට කථාකොට: මෙන්න, නුඹේ මෑණියෝ! යැයි කී සේක. ඒ පැයේ පටන් ඒ ගෝලයා තමාගේ ගෙදරට ඇය පිළිගත්තේය.” 9

එම අතිශයින්ම පරිශුද්ධ දිනවල උන්වහන්සේගේ ක්‍රියාවන් මගින්, උන්වහන්සේ අප සෑම කෙනෙකුම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සිය ජීවිතය ලබාදුන් අතර, මේ ජීවිතයේ උපකාරය පමණක් නොව, ඉදිරි කාලය තුළ සදාකාල ජීවනයද ලබාදුන්නා.

භයානක පීඩා වලදී විශ්වාසවන්ත බව ඔප්පුකිරීම තුළින් මිනිසුන් විශාල උසකට නැඟී සිටිනු මම දැක තිබෙනවා. අද සභාව පුරා එවැනි උදාහරණ තිබෙනවා. විපත්තියේදී මිනිසුන්ව දණහිසට තල්ලු කරනු ලබනවා. ඔවුන්ගේ විශ්වාසවන්ත විඳදරාගැනීම හා උත්සාහය නිසා, ඔවුන් වඩාත් අපගේ ගැලවුම්කරුවාණන් හා අපගේ ස්වර්ගික පියාණන් හා සමාන වෙනවා.

මම මගේ මවගෙන් තවත් පාඩමක් ඉගෙනගත්තා. ගැහැණු ළමයෙකු ලෙස ඇයට ඩිප්තෙරියා රෝගය වැළඳී මියයන්නට ආසන්නව ඉඳලා තිබෙනවා. පසුව ඇයට කොඳු ඇට පෙළේ මෙනින්ජයිටිස් වැළඳී තිබෙනවා. ඇගේ පියා තරුණ වියේ මියගොස් තිබෙනවා, ඒ නිසා මගේ මව සහ ඇගේ සහෝදරයන් ඔවුන්ගේ මවට උපකාර කළා.

ඇගේ මුළු ජීවිත කාලය පුරාම, රෝගාබාධ වල ප්‍රතිඵල ඇයට දැනුණා. ඇගේ ජීවිතයේ අවසන් වසර 10 තුළ ඇයට විවිධ සැත්කම් අවශ්‍ය වුණා. නමුත් ඒ හැමදෙයක්ම තුළින්, ඇය ඇඳේ සිටියදී පවා, ඇය ස්වාමින්වහන්සේට විශ්වාසවන්ත බව ඔප්පු කළා. ඇගේ නිදන කාමරයේ බිත්තියේ ඇති එකම පින්තූරය ගැලවුම්කරුවාණන්ගේ. ඇගේ මරණ මංචකයේදී ඇය මට පැවසූ අවසාන වදන් මෙසේයි: “හාල්, ඔබට හෙම්බිරිස්සාවක් එනවා වගෙයි ඔයා කතා කරනවා ඇහෙන්නෙ. ඔබ ඔබ ගැනම සැලකිලිමත් විය යුතුයි.”

ඇගේ අවමංගල්‍යයේදී අවසන් කථිකයා වූයේ වැඩිහිටි ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල්. ඇයගේ පීඩා සහ විශ්වාසවන්තකම ගැන යමක් පැවසීමෙන් පසු ඔහු මෙසේ පැවසුවා: “මිල්ඩ්‍රඩ්ට මෙතරම් කාලයක් දුක් විඳීමට සිදුවූයේ ඇයි කියා ඔබගෙන් සමහරෙක් කල්පනා කරනවා ඇති. මම ඔබට කියන්නම් ඒ ඇයි කියලා. එයට හේතුව ස්වාමින්වහන්සේට තව ටිකක් ඇයව ඔපදැමීමට අවශ්‍ය වුණා.”

ඔවුන් ස්ථිර ඇදහිල්ලෙන් බර දරා සිටින සහ ස්වාමින්වහන්සේ තව ටිකක් ඔපදැමීමට උත්සාහ කරන විට අන් අයට ඒවා දරාගැනීමට උපකාර කරන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ විශ්වාසවන්ත සාමාජිකයන් බොහෝ දෙනෙකුට මම මාගේ කෘතඥතාව පළකරනවා. ඔවුන් සහ ඔවුන්ගේ පවුල් එවැනිම වූ ඔපදැමීම් විඳගන්නා අතර අන් අයට උපකාර කරන ලොව පුරා රැකබලාගන්නන්ට සහ නායකයින්ට මම මගේ ආදරය හා ප්‍රසාදය පලකරනවා.

අපි සැවොම, අපට ප්‍රේම කරන පියාණන්වහන්සේ කෙනෙකුගේ දරුවන් බවට මම සාක්ෂි දරනවා. අප සෑම කෙනෙක් කෙරෙහිම වූ සභාපති නෙල්සන්ගේ ආදරය මට දැනෙනවා. අද ලෝකයේ ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා ඔහුයි. මම සාක්ශි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.