ප්‍රධාන සම්මන්ත්‍රණය
සෑම සිතුවිල්ලකම ක්‍රිස්තුස්වහන්සේව සොයන්න
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සෑම සිතුවිල්ලකම ක්‍රිස්තුස්වහන්සේව සොයන්න

පරීක්ෂාවට එරෙහිව සටන්කිරීම සඳහා ජීවිත කාලය පුරාම උද්යෝගය හා ඇදහිලිවන්තබව අවශ්‍ය වෙනවා. නමුත් ස්වාමින්වහන්සේ අපට උපකාර කිරීමට සූදානම් බව කරුණාකර දැනගන්න.

ගීතිකාකරු තම කාව්‍යමය ප්‍රශංසා ගීතිකාවේ මෙසේ ප්‍රකාශ කළා:

“අහෝ ස්වාමිනි, ඔබ මා විමසා බලා දැනගත් සේක.

“ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි.

“ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලන සේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක.” 1

මෙම කාව්‍යයේ අර්ථකථන සමාන්තරකරණයේදී, අපගේ ප්‍රාණයන්ගේ පැතිකඩයන් උන්වහන්සේ සත්‍ය ලෙසම දන්නා නිසා, ගීතිකාකරු ස්වාමින්වහන්සේගේ සර්වඥාණය පිළිබඳ දිව්‍යමය ගුණාංගයට ප්‍රශංසා කරනවා. 2 මේ ජීවිතයේ අපට අවශ්‍ය සියලු දේ ගැන දැනුවත්ව සිටින ගැලවුම්කරුවාණන් සෑම සිතුවිල්ලකදීම උන්වහන්සේව සොයාගැනීමටත් අපගේ මුළු හදවතින්ම උන්වහන්සේව අනුගමනය කිරීමටත්, අපට ආරාධනා කරනවා. 3 මෙය අපට උන්වහන්සේගේ ආලෝකයේ ගමන් කළ හැකි බවට පොරොන්දුව ලබාදෙන අතර උන්වහන්සේගේ මගපෙන්වීම අපගේ ජීවිතයේ අන්ධකාරයේ බලපෑම වළක්වනවා. 4

සෑම සිතුවිල්ලකින්ම ක්රිස්තුස්වාහන්සේව සෙවීම සහ මුළු හදවතින්ම උන්වහන්සේව අනුගමනය කිරීමට, අප අපගේ මනස හා ආශාවන් උන්වහන්සේ සමඟ පෙළගැස්වීම අවශ්‍ය වනවා. 5 ශුද්ධලියවිලි වල මෙම පෙළගැස්ම “ස්වාමින්වහන්සේ තුළ ස්ථිරව නැගී සිටීම” යනුවෙන් සඳහන් කරනවා. 6 මෙම ක්‍රියාමාර්ගයෙන් ගම්‍ය වන්නේ අප ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට අනුකූලව අපගේ ජීවිත අඛණ්ඩව පවත්වාගෙන යන අතර යහපත් දේ කෙරෙහි දිනපතා අවධානය යොමුකිරීමයි. 7 “එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ, දෙවියන්වහන්සේගේ සමාදානය” අපට අත්කරගත හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “තුළ [අපගේ] සිත්ද සිතිවිලිද ආරක්ෂා කරගැනීමෙනි.” 8 ගැලවුම්කරුවාණන් විසින්ම 1831 පෙබරවාරි සභාවේ වැඩිහිටියන්ට මෙසේ උපදෙස් දුන්නා, “නුඹලාගේ හදවත් තුළ මෙම දේවල් රැස්කරගන්න, තවද නුඹලාගේ මනස මත සදාකාලයේ ගැඹුර රැඳීමට ඉඩදෙන්න.” 9

ස්වාමින්වහන්සේව සෙවීම සඳහා අප දිගින් දිගටම උත්සාහ කළද, නුසුදුසු සිතුවිලි අපගේ මනසට විනිවිද යා හැකියි. එවැනි සිතුවිලි වලට ඉඩදී රැඳී සිටීමට පවා ආරාධනා කළ විට, ඒවාට අපගේ හදවතේ ආශාවන් හැඩගස්වා ගත හැකි අතර, අප මේ ජීවිතයේ කුමක් වනු ඇත්ද යන්න සහ අවසානයේදී අපට සදාකාලයටම උරුම වන දේ කරා අපව ගෙන යනවා. 10 වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් වරක් මෙසේ කියමින් මෙම මූලධර්මය අවධාරණය කළා, “’ආශාවන්… ප්‍රතිඵලවල ශ්‍රේණිගත කිරීම් තීරණය කරයි, ‘බොහෝදෙනෙක් කැඳවනු ලබා ඇත, නමුත් තෝරාගනු ලබන්නේ ස්වල්පය දෙනෙකි.’” 11

අපගේ පුරාණ හා නූතන අනාගතවක්තෘවරුන් නිතරම අපට මතක්කර දී ඇත්තේ අපගේ අධ්‍යාත්මික කම්පනය නැතිවීම සහ ජීවිතයේ ව්‍යාකූලත්වයට පත්වීම, නොමග යාම සහ ජීවිතය ගැන කලකිරීමට පත්වීම වළක්වා ගැනීම සඳහා පරීක්ෂාවන්ට එරෙහි වන ලෙසයි.

රූපමය වශයෙන් ගත් කල, පරීක්ෂාවට යටත් වීම හරියට ලෝහ සහිත වස්තුවක් චුම්බකයක් වෙත ළඟා වීමක් වැනියි. චුම්බකයේ අදෘශ්‍යමාන බලය ලෝහ වස්තුව ආකර්ෂණය කර එය තදින් අල්ලා ගන්නවා. චුම්බකයට එහි බලය නැතිවන්නේ ලෝහ වස්තුව එයින් ඈතින් තැබූ විට පමණයි. එමනිසා, චුම්බකයට දුර ඇති ලෝහමය වස්තුවක් මත බලය යෙදවීමට නොහැකි වනවා සේම, අප පරීක්ෂාවට එරෙහි වන විට, එය මැකී ගොස් අපගේ මනස හා හදවත කෙරෙහි බලය නැති කරගන්නා අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ ක්‍රියාවන් කෙරෙහිද ඇති එහි බලය නැතිවී යනවා.

සභාවේ ඉතා ඇදහිලිවන්ත සාමාජිකයෙක් මීට කලකට පෙර මා සමඟ බෙදාගත් අත්දැකීමක් මෙම ප්‍රතිසමයත් සමගම මට මතක්වෙනවා. ඇය එක්තරා උදෑසනක අවදි වූ විට, අනපේක්ෂිත ලෙස තමා කිසිදිනෙක අත්විඳ නැති නුසුදුසු සිතුවිල්ලක් ඇයගේ මනසට ඇතුළු වූ බව මෙම සාමාජිකයා මට පැවසුවා. එය ඇයව බොහෝ ලෙස මවිතයට පත් කළද, තත්පරයකට බෙදීගිය තත්වයට එරෙහිව ඇය ප්‍රතිචාර දක්වා, තමාට සහ එම සිතුවිල්ලට “නැත!” කියා පවසමින්, අකමැති සිතුවිල්ලෙන් ඇගේ මනස වෙනතකට හරවා ඒ වෙනුවට හොඳ දෙයක් ආදේශ කළා. ඇය මට කීවේ ධර්මිෂ්ඨකමින් ඇයගේ ලෞකික තෝරාගැනීමේ නිදහස ක්‍රියාත්මක කරන විට එම සෘණාත්මක හා ස්වේච්ඡා සිතුවිල්ල වහාම අතුරුදහන් වූ බවයි.

මිනිසුන්ට ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කිරීමට සහ පසුතැවිලි වන ලෙස මොරෝනි ඉල්ලා සිටි විට, සියලු අපවිත්‍රකම් වලින් මිදී, මුළු හදවතින්ම ගැලවුම්කරුවාණන් වෙතට එන ලෙස උන්වහන්සේ ඔවුන්ට අවවාද කළා. තවදුරටත්, ඔවුන් පරීක්ෂාවට හසුනොවන ලෙස, නොබිඳිය හැකි අධිෂ්ඨානයකින් යුතුව, දෙවියන්වහන්සේගෙන් ඉල්ලන පිණිස මොරෝනි ඔවුන්ට ආරාධනා කළා. 12 මෙම මූලධර්ම අපගේ ජීවිත තුළ ක්‍රියාත්මක කිරීම හුදු විශ්වාසයකට වඩා වැඩියි; මෙම දිව්‍ය මූලධර්ම වලට අපගේ මනස හා හදවත් සකස් කිරීම ඒ සඳහා අවශ්‍ය වෙනවා. එවැනි වෙනස් කිරීමකට ගැලවුම්කරුවාණන් කෙරෙහි විශ්වාසය තැබීමට අමතරව, දිනපතා හා නිරන්තර පෞද්ගලික උත්සාහයක් අවශ්‍ය වෙනවා, මන්ද අපගේ ලෞකික නැඹුරුවාවන් තනිවම අතුරුදහන් වෙන්නේ නෑ. පරීක්ෂාවට එරෙහිව සටන්කිරීම සඳහා ජීවිත කාලය පුරාම උද්යෝගය හා ඇදහිලිවන්තබව අවශ්‍ය වෙනවා. නමුත් අපගේ පුද්ගලික උත්සාහයන් සඳහා ස්වාමින්වහන්සේ අපට උපකාර කිරීමට සූදානම් බවත්, අවසානය දක්වා විඳදරාගන්නේ නම් අපූර්ව ආශිර්වාද පොරොන්දු වී ඇති බවත් කරුණාකර දැනගන්න.

ජෝසෆ් ස්මිත්ට සහ ලිබර්ටි බන්ධනාගාරයේ සිටින ඔහුගේ සෙසු සිරකරුවන්ට ඔවුන්ගේ සිතුවිලි හැර වෙනත් කිසිම දෙයකට නිදහසක් නොතිබූ විශේෂයෙන් දුෂ්කර කාලයකදී, ස්වාමින්වහන්සේ අප සියලුදෙනාටම විහිදෙන ප්‍රයෝජනවත් උපදෙස් හා පොරොන්දුවක් ඔවුන්ට දුන්නා:

“එසේම නුඹගේ ලය සියලු මනුෂ්‍යයන් [සහ කාන්තාවන්] වෙතට ප්‍රේමයෙන් පිරී තිබිය යුතුය, තවද ඇදහිල්ලේ ගෘහයේ සියල්ලන්ටම, තවද නුඹගේ සිතිවිලි නොකඩවා ගුණවත්වකමින් පිරී තිබේවා; එවිට නුඹගේ විශ්වාසය දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ශක්තිමත් වන්නේය; …

“ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹගේ නිරන්තර සහයකයා වන්නේය, තවද නුඹගේ සැරයටිය ධර්මිෂ්ඨකමේ සහ සත්‍යයේ වෙනස්නොවන සැරයටිය වන්නේය.” 13

එසේ කිරීමෙන් ශුද්ධ වූ සිතුවිලි අපගේ මනස අඛණ්ඩව අලංකාර කරනු ඇති අතර පිරිසිඳු ආශාවන් ධර්මිෂ්ඨ ක්‍රියාවන් කරා අපව ගෙන යනවා.

ඔවුන්ගේ තණ්හාවෙන් යටපත්නොවන ලෙසත් මොරෝනි තම සෙනඟට මතක්කර දුන්නා. 14 තණ්හාව යන වචනයෙන් අදහස් කරන්නේ යම් දෙයකට ඇති දැඩි ආශාව සහ නුසුදුසු ආශාවයි. 15 යහපත කිරීම, කරුණාවන්ත වීම, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීම, වැනි තවත් දේවල් වලට වඩා පුද්ගලයෙකු ආත්මාර්ථකාමී ක්‍රියාවන් හෝ ලෞකික වස්තු කෙරෙහි අවධානය යොමුකිරීමට හේතුවන ඕනෑම අඳුරු සිතුවිලි හෝ නපුරු ආශාවන් එයට ඇතුළත් වෙනවා. එය බොහෝවිට ප්‍රකාශ වන්නේ ආත්මයේ වඩාත්ම ලෞකික හැඟීම් තුළින්. “අපවිත්‍රකම, සල්ලාලකම, … සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධය, සහ තවත් එවැනි දේවල්” වැනි හැඟීම් සමහරක් ප්‍රේරිත පාවුල් හඳුනාගත්තා. 16 තෘෂ්ණාවේ සියලු නපුරු අංශ වලට අමතරව, යම් වැරැද්දක් කිරීමට අපව පොළඹවන විට සතුරා එය අපට එරෙහිව රහස් සහ රැවටිලිකාර ආයුධය ලෙස භාවිතා කරන බව අපට අමතක කළ නොහැකියි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ප්‍රාණයන්ගේ ගැලවුම්කරුවාණන් වන ගැලවීමේ පර්වතය මත රඳා සිටින විට, සහ මොරෝනිගේ උපදෙස් පිළිපදින විට, අපගේ සිතුවිලි පාලනය කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩිවන බව මම සාක්ෂි දරනවා. අපගේ හදවත වෙනස් කරමින්, අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන කරමින්, අපගේ අධ්‍යාත්මික පරිණතභාවය වැඩිවන වේගයකින් වර්ධනය වන බව, මට සහතික විය හැකියි. මීට අමතරව, ශුද්ධාත්මයාණන්ගේ බලපෑම අපගේ ජීවිතයේ වඩාත් තීව්‍ර හා අඛණ්ඩ වෙනවා. ඉන්පසු, සතුරාගේ පරීක්ෂාවන් වලට, ටිකෙන් ටික, අප කෙරෙහි ඇති බලය නැතිවී යන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රීතිමත් හා වඩා පවිත්‍ර සහ කැපවූ ජීවිතයක් ලැබෙනවා.

කුමන හෝ හේතුවක් නිසා, පරීක්ෂාවට වැටී අධර්මිෂ්ඨ ක්‍රියාවන්හි නියැලී සිටින අයට, ආපසු යා හැකි මාර්ගයක් ඇති බවත්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් ඇති බවත් මම ඔබට සහතික වෙනවා. මීට වසර කිහිපයකට පෙර, විශාල පාපයක් කිරීමෙන් පසු ඔහුගේ ජීවිතයේ වඩා අමාරු කාලයක් ඔස්සේ ගමන් කරමින් සිටි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ආදරණීය සාමාජිකයෙකු හමුවීමට මට අවස්ථාව ලැබුණා. මම ඔහුව මුලින්ම දුටු විට, ඔහුගේ පෙනුමේ බලාපොරොත්තුවේ ආලෝකයක් සමග මුසුවූ, දුකක් ඔහුගේ දෑස් තුළ මට පෙනුණා. ඔහුගේ ප්‍රකාශයම නිහතමානී හා වෙනස් වූ හදවතක් පිළිබිඹු කළා. ඔහු කැපවූ කිතුනුවකු වූ අතර ස්වාමින්වහන්සේගෙන් බොහෝ ආශිර්වාද ලැබූ අයෙක් වුණා. කෙසේවෙතත්, ඔහු එක් නුසුදුසු සිතුවිල්ලකට ඔහුගේ මනස ආක්‍රමණය කිරීමට ඉඩදී ඇති අතර, එය අනෙක් ඒවාටද හේතු වී තිබුණා. ඔහු ක්‍රමානුකූලව මෙම සිතුවිලි වලට වැඩි වැඩියෙන් අවසර දෙන විට, වැඩිකල් නොගොස් ඒවා ඔහුගේ මනසෙහි මුල් බැස ඔහුගේ හදවතේ ගැඹුරට වැඩෙන්නට පටන්ගෙන තිබුණා. අවසානයේදී ඔහු මෙම නුසුදුසු ආශාවන් මත ක්‍රියා කළ අතර එමඟින් ඔහුගේ ජීවිතයේ වටිනාම දේවල් වලට එරෙහිව තීරණ ගැනීමට ඔහුව පොළඹවා තිබුණා. එම මෝඩ සිතුවිල්ලට මුල සිටම ඉඩක් ලබානොදුන්නේ නම්, අවම වශයෙන් යම් කාලයක් සඳහා වුවත්, ඔහුගේ ජීවිතයේ මෙතරම් දුකක් ගෙනදුන් පෙළඹවීම් වන—සතුරාගේ පරීක්ෂාවන්ට ඔහුට ගොදුරු නොවී සිටිය හැකිව තිබූ බව ඔහු මට පැවසුවා.

වාසනාවකට මෙන්, ලූක්ගේ ශුභාරංචියේ සඳහන් ප්‍රසිද්ධ උපමාවේ නාස්තිකාර පුත්‍රයා මෙන් “ඔහු තමාම වෙතට පැමිණ” එම බියකරු සිහිනයෙන් අවදි වී තිබුණා. 17 ඔහු ස්වාමින්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය අලුත් කළ අතර සැබෑ වින්දනයක් දැනුණු අතර අවසානයේ ස්වාමින්වහන්සේ වෙතට පැමිණීමට ආශාවක් ඇතිකරගත්තා. ගැලවුම්කරුවාණන් අප කෙරෙහි ඇති මුදවාගැනීමේ ආදරය එදින අප දෙදෙනාට දැනුණා. අපගේ කෙටි සංචාරය අවසානයේදී, අප දෙදෙනාම හැඟීම් වලින් යටපත් වූ අතර, අද දක්වාම, ඔහු මගේ කාර්යාලයෙන් ඉවත්ව යන විට ඔහුගේ මුහුණෙහි ඇති වූ ප්‍රීතිය මට මතකයි.

මගේ ආදරණීය මිත්‍රවරුනි, අපගේ ජීවිතයේ බොහෝවිට අනපේක්ෂිත ලෙස පැමිණෙන කුඩා පරීක්ෂාවන්ට අප විරුද්ධ වන විට, බරපතළ වැරදි වලින් වැළකී සිටීමට අප වඩා හොඳින් සන්නද්ධ වෙනවා. සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල් පැවසූ පරිදි: “විශාල එකකට දොර අරින, කුඩා වරදකට යටත් නොවී යමෙකු ගැඹුරු වරදට පිවිසෙන්නේ කලාතුරකිනි. … පිරිසිඳු කෙතක් හදිසියේම වල් ගස් වලින් පිරෙන්නේ නැත.” 18

ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මිහිපිට තම දිව්‍යමය මෙහෙවර ඉටුකිරීමට සූදානම් වෙමින් සිටියදී, අපගේ සදාකාලික අරමුණ සාක්ෂාත් කරගැනීමෙන් අපව වළක්වන සෑමදෙයකටම නිරන්තරවම ස්ථිර ලෙස විරුද්ධ වීමේ වැදගත්කම ආදර්ශමත් කළා. ඔහුගේ ධර්මදූතයෙන් ඔහුව වෙනතකට හැරවීමේ උත්සාහයක් වශයෙන් වූ, සතුරාගේ අසාර්ථක ප්‍රහාර කිහිපයකින් පසු, ගැලවුම්කරුවාණන් යක්ෂයාව තරයේ ප්‍රතික්ෂේප කරමින් මෙසේ කිව්වා: “සාතන් අහක්ව යව. … එකල යක්ෂයා උන්වහන්සේ අත්හැර ගියේය; බලව, දේවදූතයෝ ඇවිත් උන්වහන්සේට දේවසේවය කළෝය.” 19

මගේ සහෝදර සහෝදරියනි, අපගේ මනසට එන නුසුදුසු සිතුවිලි වලට, ඒවා පැමිණෙන පළමු අවස්ථාවේම, ගැලවුම්කරුවාණන්ගෙන් ශක්තිය හා ධෛර්යය ලබාගෙන “නැත” සහ “මෙතනින් පහව යන්න” ලෙස කීමට අපට හැකිවුවහොත්, කුමක් සිදුවේදැයි ඔබට සිතාගත හැකිද? අපගේ හදවත් වල ඇති ආශාවන්ට ඇතිවන බලපෑම කුමක්ද? එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ ගැලවුම්කරුවාණන් සමඟ සමීපව සිටිමින් ශුද්ධාත්මයාණන්ගේ අඛණ්ඩ බලපෑම අපගේ ජීවිත වලට ඉඩදෙන්නේ කෙසේද? යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමෙන්, පවුල් ගැටලු සහ එකඟ නොවීම්, නිෂේධාත්මක හැඟීම් සහ නැඹුරුවාවන්, අයුක්තිය සහ අපයෝජනයන් සිදුකිරීම්, නපුරු ඇබ්බැහි වීමෙන් වහල්භාවයට පත්වීම් සහ ස්වාමින්වහන්සේගේ ආඥාවන්ට පටහැනි වෙනත් බොහෝ දේ අපට වළක්වා ගැනීමට හැකිවන බව මම දන්නවා.

මේ වසරේ අප්‍රියෙල් මාසයේදී ඔහු දුන් ඓතිහාසික හා සිත්ගන්නාසුලු පණිවුඩයේදී, අපගේ ආදරණීය අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන්, “උන්වහන්සේට සවන්දීමට”, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සවන්දීමට සහ උන්වහන්සේගේ ආඥා වලට කීකරු වීමට කැමති සියල්ලන්ට, පරීක්ෂාවන්, අරගල සහ දුර්වලතා සමඟ කටයුතු කිරීමට බලය සහ වර්තමාන කැලඹීම් මධ්‍යයේ වුවද ප්‍රීතිය දැනීමේ හැකියාව වැඩිවන බවට, අමතර ආශිර්වාද ලබාදෙන බවට පොරොන්දුවක් දුන්නා. 20

අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා දුන් පොරොන්දු ගැලවුම්කරුවාණන් විසින්ම දුන් පොරොන්දු බව මම ඔබට සාක්ෂි දරනවා. අපගේ ජීවිතයේ අසතුටට හේතු වියහැකි සෑම දෙයකටම “එපා” සහ “නුඹ මාගෙන් පහව යන්න” යැයි පැවසීමට ශක්තිය හා ධෛර්යය ලබාගැනීම සඳහා සෑම සිතුවිල්ලකම “උන්වහන්සේට සවන්දෙන්න” සහ මුළු හදවතින්ම උන්වහන්සේව අනුගමනය කරන්නැයි මම අප සැමට ආරාධනා කරනවා. අපි එසේ කරන්නේ නම්, අපව ශක්තිමත් කිරීමට සහ සැනසීමට ස්වාමින්වහන්සේ සිය ශුද්ධාත්මයාණන්ව තව ටිකක් වැඩියෙන් එවන බවත් එමගින් අපිට ස්වාමින්වහන්සේගේ හදවතේ පුද්ගලයන් බවට පත්විය හැකි බවත් මම පොරොන්දු වෙනවා. 21

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වන බවත් උන්වහන්සේගේ තුළින්, අපට සතුරාගේ නපුරු බලපෑම් ජයගෙන උන්වහන්සේ සමඟ සහ ස්වර්ගයේ සිටින අපගේ ආදරණීය පියාණන්වහන්සේ ඉදිරියේ සදාකාලිකව ජීවත් වීමට සුදුසුකම් ලැබිය හැකි බවටත් මම මගේ සාක්ෂිය බෙදාගන්නවා. මම මේ සත්‍යයන් ගැන සාක්ෂි දරන්නේ ඔබ වෙනුවෙන් හා උන්වහන්සේගේ නාමයට මහිමය, ගෞරවය හා ප්‍රශංසාව මා විසින් සදහටම ලබාදෙන, අපගේ සුන්දර ගැලවුම්කරුවාණන් කෙරෙහි මා තුළ ඇති සියලු ප්‍රේමයෙන්. මම මේ දේවල් පවසන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.