ප්‍රධාන සම්මන්ත්‍රණය
ස්වාමින්වහන්සේ වෙතට නිර්දේශ වී
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්වාමින්වහන්සේ වෙතට නිර්දේශ වී

උන්වහන්සේගේ ආත්මය ඔබ සමඟ බහුල ලෙස තිබෙන ලෙස, “ස්වාමින්වහන්සේ වෙතට නිර්දේශ වීමට” දැන්ම එම ක්‍රියාවලිය ආරම්භ කරන්න.

සුභ උදෑසනක්, සහෝදර සහෝදරියනි. අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස, මෙම සම්මන්ත්‍රණය සඳහා ලෝකයේ සෑම කොනකින්ම පාහේ අන්තර්ජාලය හරහා එක්රැස් වීමට මම පෙරමග බලමින් සිටියා.

රූපය
ඩර්බන් දකුණු අප්‍රිකානු දේවමාළිගාව

මෙය අතිශය අසාමාන්‍ය වසරක් වුණා. මට නම් එය ආරම්භ වූයේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි ස්වාමින්වහන්සේට ශුද්ධවූ දේවමාළිගාවක් කැපකිරීම සඳහා පළමු සභාපතිත්වයෙන් ලැබුණ පැවරුමෙන්. එම ගොඩනැගිල්ලේ උදාරත්වය මට කිසිදා අමතක වෙන එකක් නෑ. එහෙත්, ඒ පසුබිමට වඩා, එම පූජනීය මන්දිරයට ඇතුළු වීමට මෙතරම් හොඳින් සූදානම්ව සිටි ජනතාවගේ ගෞරවය මම සැමවිටම අගය කරනවා. ස්වාමින්වහන්සේගේ ගෘහයක් කැපකිරීම යන: නැවත පිහිටුවීමේ ඔටුන්න හිමි එක් ආශිර්වාදයකට සහභාගි වීමට ඔවුහු සූදානමින් පැමිණියා. උන්වහන්සේ වෙනුවෙන් හා උන්වහන්සේගේ වන්දිගෙවීම වෙනුවෙන් හදවත ප්‍රේමයෙන් පුරවාගනිමින් ඔවුන් පැමිණියා. උත්කෘෂ්ට වීමට හේතු වන ශුද්ධ වූ නියෝග ලබාදීම ගැන ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේට ඔවුන් ස්තූතිවන්ත බවින් පිරී ඔවුන් පැමිණියා. ඔවුන් සුදුසුව පැමිණියා.

රූපය
ඩර්බන් දකුණු අප්‍රිකානු දේවමාළිගාවේ සිටින සාමාජිකයින්

දේවමාළිගා, ඒවා කොතැනක තිබුනත්, ලෝකයේ මාර්ග වලට වඩා ඉහළට නැගෙනවා. ලෝකයේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගේ සෑම දේවමාළිගාවක්ම— ඒවා 168 ම—සදාකාල ජීවනය පිළිබඳ අපගේ ඇදහිල්ලට සහ අපගේ පවුල් හා අපගේ ස්වර්ගික පියාණන් සමඟ එය ගතකිරීමේ ප්‍රීතියට සාක්ෂියක් ලෙස නැගී සිටිනවා. දේවමාළිගාවට පැමිණීම දේවත්වය හා සදාකාලික ශුභාරංචිය පිළිබඳ අපගේ අවබෝධය, සත්‍යය ඉගැන්වීමට හා ජීවත්වීමට ඇති අපගේ කැපවීම සහ අපගේ ස්වාමින්වහන්සේ හා ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට ඇති අපගේ කැමැත්ත වැඩි කරනවා.

රූපය
ස්වාමින්වහන්සේට ශුද්ධකම

සභාවේ සෑම දේවමාළිගාවකම පිටතින් “ස්වාමින්වහන්සේට ශුද්ධකම” යන ගැලපෙනම වචන තිබෙනවා. දේවමාළිගාව යනු ස්වාමින්වහන්සේගේ නිවස සහ ලෝකයෙන් වූ අභය භූමියක්. එම ශුද්ධ වූ බිත්ති තුළ නමස්කාර කරන අයව උන්වහන්සේගේ ආත්මය ආවරණය කරනවා. උන්වහන්සේගේ අමුත්තන් ලෙස අප ඇතුළු වන විට තිබිය යුතු ප්‍රමිතීන් උන්වහන්සේ නියම කරනවා.

රූපය
බ්ලේන් ට්විචෙල්

මා මෙතෙක් දන්නා දක්ෂතම මිනිසෙකු වන, බ්ලේන් ට්විචෙල්, මගේ මාමණ්ඩි, මට විශාල පාඩමක් ඉගැන්වූවා. රස්බැන්ඩ් සහෝදරිය සහ මම ඔහුගේ ලෞකික ගමන අවසන් වීමට අවසන්ව තිබියදී ඔහුව බැලීමට ගියා. අපි ඔහුගේ කාමරයට ඇතුළු වන විට, ඔහුගේ සභානායකවරයා පිටත්ව යමින් සිටියා. අපි සභානායකවරයාට ආචාර කරන විට මම මෙහෙම හිතුවා, “මොනතරම් හොඳ සභානායකවරයෙක්ද? ඔහුගේ කොට්ටාශයේ ඇදහිලිවන්ත සාමාජිකයෙකුට දේවසේවය කරමින් ඔහු එතන හිටියා.”

මම බ්ලේන්ට මෙහෙම කිව්වා, “සභානායකවරයා පැමිණ ඔබ හමුවීම හරිම හොඳයි නේද?”

බ්ලේන් මා දෙස බලා ප්‍රතිචාර දැක්වූවා, “එය ඊට වඩා බොහෝ සෙයින් වැඩි දෙයක්. මගේ දේවමාළිගා නිර්දේශය සඳහා සම්මුඛ පරීක්ෂණයට මම සභානායකවරයාට එන්න කියා ඉල්ලා සිටියා. ස්වාමින්වහන්සේ වෙත මට නිර්දේශ වී යන්නට අවශ්‍යයි. ඉතින් ඔහු එය කළා!

“ස්වාමින්වහන්සේ වෙතට නිර්දේශ වී” යන වැකිය මගේ හදවතේ නැවතුනා. අපගේ සභා නායකයන් සමග නිතිපතා සම්මුඛ සාකච්ඡා පැවැත්වීම පිළිබඳව එය නව ඉදිරි දර්ශනයක් තැබුවා. දේවමාළිගා නිර්දේශයක් කෙතරම් වැදගත්ද යත්, සභාවේ මුල් දිනවල, 1891 වන තෙක්, සෑම දේවමාළිගා නිර්දේශයක්ම සභාවේ සභාපති විසින් අනුමත කළා. 1

යෞවනයන් හෝ වැඩිහිටියන් හට වේවා, ඔබගේ දේවමාළිගා නිර්දේශ සම්මුඛ සාකච්ඡාව යනු කළ යුතු හා නොකළ යුතු දේ ගැන නොවේ. නිර්දේශයක් යනු පිරික්සුම් ලැයිස්තුවක්, ශාලා අවසර පත්‍රයක් හෝ විශේෂ ආසන සඳහා ප්‍රවේශ පත්‍රයක් නොවේ. එයට වඩා උසස් හා ශුද්ධ වූ අරමුණක් තිබෙනවා. දේවමාළිගා නිර්දේශයක් සඳහා සුදුසුකම් ලැබීමට නම්, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ඉගැන්වීම් වලට අනුකූලව ජීවත් විය යුතුයි.

ඔබේ සම්මුඛ සාකච්ඡාවේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳව ඔබේ ප්‍රාණයේ ඇති ඔබේ පුද්ගලික ඇදහිල්ල සෙවීමට ඔබට අවස්ථාව ලැබෙනවා. නැවත පිහිටවූ ශුභාරංචිය පිළිබඳ ඔබේ සාක්ෂිය, ස්වාමින්වහන්සේ විසින් උන්වහන්සේගේ සභාව මෙහෙයවීමට ස්ථිර කර ඇති අයව ස්ථිර කිරීමට ඇති ඔබේ කැමැත්ත, ශුභාරංචියේ මූලධර්ම සඳහා ඔබේ ඇදහිල්ල, පවුල් වගකීම් සඳහා වූ ඔබේ කාර්යභාරය, සහ ඔබේ අවංකභාවය, පවිත්‍රබව, විශ්වාසවන්තබව, කීකරුකම, සහ ඥාණයේ වචනය තැබීම, දසයෙන් කොටස ලබාදීමේ නීතිය සහ සබත් දවසේ පරිශුද්ධභාවය පිළිබඳ ප්‍රකාශ කිරීමේ ආශිර්වාදය ඔබට ලැබෙනවා. ඒවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ කාර්යය සඳහා කැපවූ ජීවිතයක මූලික මූලධර්මයි.

ස්වාමින්වහන්සේගේ නීතීන් අනුව ජීවත් වීමට සහ යටහත් බව, නිහතමානීකම, ස්ථීරභාවය, නිර්මල ප්‍රේමය, ධෛර්යය, දයානුකම්පාව, සමාව දීම සහ කීකරුකම වැනි: උන්වහන්සේ ප්‍රේම කරන දෙයට ප්‍රේම කිරීමට ඔබ දරන උත්සහයේ ගැඹුරු, ආත්මික අභිප්‍රාය ඔබේ දේවමාළිගා නිර්දේශය පිළිඹිබු කරනවා. ඔබ එම පූජනීය ලේඛනයට ඔබේ නම අත්සන් කරන විට ඔබ එම ප්‍රමිතීන්ට කැපවෙනවා.

බව්තීස්මය, බලයෙන් සැරසීම, විවාහයන් සහ මුද්‍රා තැබීම් ඇතුළු සදාකාලික වැදගත්කමක් ඇති චාරිත්‍ර සහ නියෝග සමඟ ඔබේ දේවමාළිගා නිර්දේශය ඔබටත් අන් අයටත් ස්වර්ගයේ දොරටු විවෘත කරනවා.

“ස්වාමින්වහන්සේට වෙතට නිර්දේශ වීම” යනු ගිවිසුම් රකින පසු-දවස්වල ශුද්ධවන්තයෙකුගෙන් අපේක්ෂා කරන දේ මතක් කිරීමක්. මගේ මාමණ්ඩි වන බ්ලේන් එය දුටුවේ නිහතමානීව ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටින දවස සඳහා එය ඉතා වටිනා සූදානමක් ලෙසයි.

රූපය
දැවෙන පඳුර

මෝසෙස් හොරෙබ් කන්දට නැඟුණු විට යෙහෝවා ස්වාමින්වහන්සේ දැවෙන පඳුරකින් ඔහුට දර්ශනය වූ ආකාරය සලකා බලන්න. දෙවියන්වහන්සේ ඔහුට මෙහෙම කිව්වා, “මෙතැනට ළංනොවව. නුඹේ පාද වලින් නුඹේ වහන් ගළවව, මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකැයි කීසේක.” 2

දේවමාළිගාවේ දොරකඩ සපත්තු ගලවා දැමීම යනු අධ්‍යාත්මික වර්ධනයෙන් අපව ඈත් කරන ලෞකික ආශාවන් හෝ සැප සම්පත් අත්හැරීම, අපගේ වටිනා ලෞකිකත්වය පසෙකට දමමින්, කලහකාරී හැසිරීම් වලට වඩා ඉහළට නගිමින්, සහ ශුද්ධ වීමට කාලය සෙවීමයි.

දිව්‍යමය සැලැස්මට අනුව, අපගේ භෞතික ශරීරය දෙවියන්වහන්සේගේ මැවීමකි, අපගේ ආත්මය සඳහා දේවමාළිගාවකි එමෙන්ම එයට ගෞරවයෙන් සැලකිය යුතුයි. ප්‍රාථමික ගීතයේ “මගේ ශරීරය වඩාත්ම සැලකිලිමත් විය යුතු දේවමාළිගාවක්” යන වචන කෙතරම් සත්‍යද. 3 ස්වාමින්වහන්සේ නෙපිවරුන්ට දර්ශනය වූ විට, “ශුද්ධාත්මයාණන් ලැබීම කරණකොටගෙන පවිත්‍ර වන්න, මක්නිසාද නුඹලා අවසාන දවසේදී මා ඉදිරියේ කැළැල් රහිතවත් සිටින පිණිසය” ලෙස උන්වහන්සේ ආඥා කළා. 4 “ඔබවහන්සේට මනුෂ්‍යයන් කවරාකාර විය යුතුද?”5 ලෙස ස්වාමින්වහන්සේගෙන් ඇසූ විට, “මා මෙන්ම විය යුතුය” 5 ලෙස පිළිතුරු දුන්නා. “ස්වාමින්වහන්සේට වෙතට නිර්දේශ වීමට” අපි උන්වහන්සේ හා සමාන වීමට උත්සාහ කරනවා.

සභාපති හොවාර්ඩ් ඩබ්ලිව්. හන්ටර් සභාවේ 14 වන සභාපතිවරයා ලෙස ඔහුගේ පළමු ප්‍රධාන සම්මන්ත්‍රණයේ දේශනයට සවන්දුන් හැටි මට මතකයි. ඔහු මෙසේ කිව්වා: “සභාවේ සෑම සාමාජිකයෙකුම දේවමාළිගාවට ඇතුළු වීමට සුදුසුකම් ලැබීම මගේ හදවතේ ගැඹුරුම ආශාවයි. සෑම වැඩිහිටි සාමාජිකයෙකුම වර්තමාන දේවමාළිගා නිර්දේශයක් රැගෙන යාමට—සුදුසු නම්—එය ස්වාමින්වහන්සේව සතුටු කරනු ඇත.” 6 සීමිත භාවිත නිර්දේශයක් අපගේ වටිනා තරුණයින්ට පැහැදිලි මාවතක් සපයනු ඇතැයි මම එයට එකතු කරන්නට කැමතියි.

සභාපති නෙල්සන් සභාපති හන්ටර්ගේ වචන සිහිපත් කරමින් මෙසේ කිව්වා, “එදින, 1994 ජුනි 6, අප ගෙන යන දේවමාළිගා නිර්දේශය මගේ පසුම්බියේ වෙනස් දෙයක් බවට පත්වුණා. ඊට පෙර එය යම් දෙයක් සඳහා පමණක් වූ මාධ්‍යයක් වුණා. එය තිබුණේ ස්වාමින්වහන්සේගේ පූජනීය ගෘහයකට ඇතුළු වීමට මට ඉඩදීමටයි; නමුත් ඔහු එම ප්‍රකාශය කළ පසු, ඒ හේතුව අවසානයක් බවට පත්වුණා. එය දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකුට මගේ කීකරු වීමේ ලාංඡනය බවට පත්වුණා.” 7

රූපය
නාවූ දේවමාළිගාව

ඔබට තවමත් නිර්දේශයක් ලැබී නොමැති නම් හෝ ඔබේ නිර්දේශය අහෝසි වී ඇත්නම්, 1846 දී නව ශුද්ධවන්තයින් නාවූ දේවමාළිගා දොරකඩ පේළි ගැසී සිටගෙන සිටි ආකාරයටම 8 සභානායකවරයාගේ දොර ළඟ සිටගෙන සිටින්න. මගේ මුතුන් මිත්තනුත් එම ඇදහිලිවන්තයන් අතර සිටියා. ඔවුන් තම සුන්දර නගරය අතහැර බටහිර දෙසට යමින් සිටියද, දේවමාළිගාව තුළ ඔවුන් බලා සිටින පරිශුද්ධ අත්දැකීම් ඇති බව ඔවුහු දැන සිටියා. අයෝවා හි රග්ඩ් මාවතේ සාරා රිච් මෙසේ ලිව්වා, “එම දේවමාළිගාව තුළ අපට ලබාදී ඇති ඇදහිල්ල හා දැනුම නොතිබුණි නම්… අපගේ ගමන අඳුරේ පිම්මක් මෙන් වනු ඇත.” 9 දේවමාළිගාවේ පොරොන්දු වූ දේවානුභාවයෙන් හා සාමය නොමැතිව අප තනිවම මේ ජීවිතය ගතකරන්නේ නම් අපට මගහැරෙන එම දේ මෙයයි.

උන්වහන්සේගේ ආත්මය ඔබ සමඟ බහුල ලෙස තිබෙන ලෙසත්, එමෙන්ම උන්වහන්සේගේ ප්‍රමිතීන් ඔබට “හෘද සාක්ෂියේ සාමය” ගෙනෙන ලෙසත්, “ස්වාමින්වහන්සේ වෙතට නිර්දේශ වීමට” දැන්ම එම ක්‍රියාවලිය ආරම්භ කරන්න. 10

ඔබේ තරුණ නායකයින්, වැඩිහිටි ගණපූරණ සභාපති, සහන සමිතියේ සභාපති සහ දේවසේවා සහෝදර සහෝදරියන් ඔබට සූදානම් වීමට උපකාර කරනු ඇති අතර ඔබේ සභානායකවරයා හෝ ශාඛා සභාපතිවරයා ඔබට ආදරයෙන් මගපෙන්වනු ඇත.

දේවමාළිගා වසා දමා හෝ භාවිතයේ සීමිත කාලයක් අප අත්විඳිමින් සිටිනවා. සභාපති නෙල්සන්ට සහ ඔහුගේ පැත්තේ සේවය කරන අපට, දේවමාළිගා වැසීමට දේවානුභාවයෙන් ගත් තීරණය “වේදනාකාරී” සහ “කනස්සල්ලෙන් සුලු එකක්” වුණා. සභාපති නෙල්සන් තමාගෙන් මෙසේ ඇසුවා, “මම ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට කුමක් කියන්නද? සභාපති තෝමස් එස්. මොන්සන් දක්වා බ්‍රිගම් යන්ග්, විල්ෆර්ඩ් වුඩ්රෆ් සහ අනෙකුත් සභාපතිවරුන්ට මා කුමක් කියන්නද?” 11

දැන් අපි ක්‍රම ක්‍රමයෙන් හා කෘතඥපූර්වකව සීමිත පරිමාණයෙන් මුද්‍රා තැබීම් සහ බලයෙන් සැරසීම් සඳහා දේවමාළිගා නැවත විවෘත කරනවා.

කෙසේවෙතත්, දේවමාළිගාවට යාමට සුදුසු වීම අත්හිටුවා නෑ. ඔබට අවධාරණය කිරීමට මට ඉඩදෙන්න, ඔබට දේවමාළිගාවකට ප්‍රවේශයක් තිබුණත් නැතත්, ගිවිසුම් මාවතේ ස්ථිරව සිටීමට ඔබට වර්තමාන දේවමාළිගා නිර්දේශයක් අවශ්‍යයි.

රූපය
නවසීලන්තයේ කණ්ඩායමක්

පසුගිය වසරේ අගභාගයේදී රස්බැන්ඩ් සහෝදරිය සහ මම නවසීලන්තයේ රාජකාරියේ යෙදී සිටියදී තරුණ තනි වැඩිහිටියන් විශාල පිරිසක් සමඟ කතා කළා. ඔවුන්ට දේවමාළිගාවකට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාවක් තිබුණේ නෑ; හැමිල්ටන් හි තිබූ දේවමාළිගාව අලුත්වැඩියා වෙමින් පවතින අතර ඔවුන් තවමත් ඕක්ලන්ඩ්හි දේවමාළිගාව සඳහා බිම් කැඩීම වනතුරු බලා සිටිනවා. කෙසේවෙතත්, දේවමාළිගා නිර්දේශ අලුත් කිරීමට හෝ ලබාගැනීමට ඔවුන්ව දිරිමත් කිරීමට මට පෙලඹීමක් ඇති වුණා.

ඒවා දේවමාළිගාවේදී ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි වුවද, ඔවුන් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රව හා උන්වහන්සේට සේවය කිරීමට සූදානම්ව ඔවුන්වම ඉදිරිපත් කරයි. වර්තමාන දේවමාළිගා නිර්දේශයක් දැරීම සඳහා සුදුසු වීම විරුද්ධවාදියාගෙන් ආරක්ෂා වීමකි, මන්ද ඔබ ඔබේ ජීවිතය පිළිබඳව ස්වාමින්වහන්සේ කෙරෙහි දැඩි කැපවීමක් කර ඇති අතර ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ සමඟ සිටින බවට පොරොන්දුවක් දී තිබෙනවා.

අපි අපේ මුතුන්මිත්තන් සොයාගෙන ඔවුන්ගේ නම් නියෝගයන් සඳහා ඉදිරිපත් කරන විට අපි දේවමාළිගා වැඩ කරනවා. අපේ දේවමාළිගා වසා දමා ඇති අතරතුර, අපගේ පවුල් පිළිබඳ පර්යේෂණ කිරීමට අපට තවමත් හැකිවී තිබෙනවා. දෙවියන්වහන්සේගේ ආත්මය අපගේ හදවත් තුළ ඇතිව, ඔවුන්ව “ස්වාමින්වහන්සේ වෙතට නිර්දේශ කරනු ලැබීම” සඳහා අපි, නියෝජිතයන් ලෙස පෙනී සිටිනවා.

මම දේවමාළිගා දෙපාර්තමේන්තුවේ විධායක අධ්‍යක්ෂක ලෙස සේවය කරමින් සිටින විට, සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි විසින් නාවූ දේවමාළිගාව පිළිබඳව ස්වාමින්වහන්සේ පැවසූ මෙම ශුද්ධලියවිලි පදය ගැන සඳහන් කිරීම මට අසන්නට ලැබුණා: “මාගේ දේවමාළිගාවේ ක්‍රියාවන්, තවද නුඹලා හට නියම කරන ලද එම සියලු ක්‍රියාවන්, පවත්වාගෙන යන්නටත් තවද අවසන් නොවන ලෙසත් සැලකිලිමත් වන්න; තවද නුඹලාගේ උද්යෝගයන්, තවද නුඹලාගේ ප්‍රබල උත්සාහයන්, තවද ඉවසීම්, තවද නුඹලාගේ ක්‍රියාවන් දෙගුණ කරන්නටත් සලස්වන්න, තවද නුඹලා කෙසේවත් නුඹලාගේ ත්‍යාගයන් නැතිකර නොගන්නේයැයි, සේනාවල ස්වාමින්වහන්සේ පවසන සේක.” 12

දේවමාළිගාවේ අපගේ කාර්යය අපගේ සදාකාලික විපාකයට බැඳී තිබෙනවා. මෑතකදී අපව එම පරීක්ෂාවට ලක්කර තිබෙනවා. “උනන්දුවෙන්… නොපසුබට උත්සාහයෙන් හා ඉවසීමෙන්” දේවමාළිගා වල වැඩ කිරීමට ස්වාමින්වහන්සේ අපට ආරාධනා කර තිබෙනවා. 13 “ස්වාමින්වහන්සේ වෙතට නිර්දේශ වීම” සඳහා එම ගුණාංග අවශ්‍ය වෙනවා. අපි ආඥා පිළිපැදීමට කඩිසර විය යුතු අතර, අපගේ දේවමාළිගාවේ ගිවිසුම් කෙරෙහි අපගේ අවධානය නොපසුබස්නා විය යුතු අතර, ස්වාමින්වහන්සේ ඒවා ගැන දිගින් දිගටම උගන්වන දේ ගැන කෘතඥ විය යුතුයි, එමෙන්ම දේවමාළිගා සම්පූර්ණ ලෙසම නැවත විවෘත වන තෙක් අපි ඉවසිලිවන්ත විය යුතුයි.

අපගේ උත්සාහයන් දෙගුණ කිරීමට ස්වාමින්වහන්සේ අපව කැඳවා සිටින විට, අපි ධර්මිෂ්ඨකමින් වර්ධනය වන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිනවා. නිදසුනක් වශයෙන්, දේවමාළිගා නිර්දේශයක් ලබාගැනීමට සූදානම් වන අය සමඟ, විශේෂයෙන් අපගේ පවුලේ සාමාජිකයන් සමඟ ස්වාමින්වහන්සේගේ නිවස කෙරෙහි අපගේ ප්‍රේමය බෙදාගත හැකි වන ලෙස, අපගේ ශුද්ධලියවිලි අධ්‍යනය, අපගේ පවුල් ඉතිහාසය පිළිබඳ පර්යේෂණ සහ ඇදහිල්ලේ යාච්ඤා පුළුල් කරන්නට අපට පුලුවන්.

ඔබගේ ධර්මිෂ්ඨ උත්සාහයන් දෙගුණ කිරීමට ඔබ උත්සාහ කරන විට, පියාණන් වන දෙවියන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඔබගේ භක්තියෙන් ඔබ අලුත් වන බවක් ඔබට දැනෙනු ඇත, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබව මෙහෙයවීම බහුලව ඔබට දැනෙනු ඇත, එමෙන්ම ඔබගේ පරිශුද්ධ ගිවිසුම් වලට කෘතඥ වනු ඇති අතරම, ඔබ “ස්වාමින්වහන්සේ වෙතට නිර්දේශ වී ඇති” බව දැනගැනීමෙන් ඔබට සමාදානය දැනෙනු ඇති බවට, ස්වාමින්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දූතයෙකු ලෙස මම ඔබට පොරොන්දු වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.