ප්‍රධාන සම්මන්ත්‍රණය
පිළිගැනීමේ පණිවිඩය
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


පිළිගැනීමේ පණිවිඩය

ප්‍රධාන සම්මන්ත්‍රණයට සහ ස්වාමින්වහන්සේගේ හඬ ඇසීමේ වරප්‍රසාදයට සාදරයෙන් පිළිගන්නවා.

ලොව පුරා සිටින මගේ ආදරණීය සහෝදරයනි සහ සහෝදරියනි, සහ මිතුරනි, මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයට මම මාගේ පෞද්ගලික පිළිගැනීම ඔබට පිරිනමනවා. අපගේ ස්වාමින්වහන්සේ හා ගැලවුම්කරුවාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කිරීමට කැමති විශාල ගෝලීය පවුලක් ලෙස අපි එක්රැස් වෙනවා. අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතියි.

මෙම පසුගිය වසර පොතක වාර්තා කළ යුතු එකක් වුණා. අප සෑම කෙනෙක්ම කලින් නොදැන සිටි දේවල් ඉගෙනගත් බවට සැකයක් නෑ. මා කලින් දැන සිටි සමහර පාඩම් මගේ හදවතේ නව හා උපදේශාත්මක ආකාර වලින් ලියවුණා.

නිදසුනක් වශයෙන්, ස්වාමින්වහන්සේ තම සභාව සම්බන්ධ කටයුතු මෙහෙයවන බව මම නිසැකවම දන්නවා. උන්වහන්සේ මෙසේ කිව්වා, “මම [ඔබට] මට මාගේ ස්වකීය කාර්යයන් කරගත හැකි බව පෙන්වමි.”1

බොහෝ විට, අප අපගේ උපරිමය කළ පසුත් තවමත් අභියෝගාත්මක අවස්ථාවන්හිදී උන්වහන්සේ මැදිහත් වී ඇති ආකාරය, මගේ උපදේශකයින් සහ මම කඳුළු සලන දෑසින් බලාසිට තිබෙනවා. අපි සැබවින්ම මවිතයට පත්වී හිඳ තිබෙනවා.

“බලන්න, මම මාගේ ක්‍රියාව එම කාලයේදී ඉක්මන් කරන්නෙමි” කියා උන්වහන්සේ පැවසූ විට උන්වහන්සේ අදහස් කළ දෙය මට දැන් හොඳට වැටහෙනවා.2 ගෝලීය වසංගතයක් තුළ පවා—උන්වහන්සේගේ කාර්යය වේගවත් කිරීම මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම නිසා මම නැවත නැවතත් ප්‍රීති වෙනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, සභාවේ ශක්තිය පවතින්නේ එහි සාමාජිකයින්ගේ උත්සාහයන් සහ දිනෙන් දින වර්ධනය වන සාක්ෂි තුළයි. සාක්ෂීන් වඩාත්ම පෝෂණය වන්නේ නිවසේදීයි. මෙම පසුගිය වසර තුළ, ඔබගෙන් බොහෝ දෙනෙක් ඔබගේ නිවෙස්වල ශුභාරංචිය අධ්‍යයනය කිරීම චමත්කාරජනක ලෙස වැඩිකර තිබෙනවා. මම ඔබට ස්තූතිවන්ත වන අතර, ඔබේ දරුවනුත් ඔබට ස්තූතිවන්ත වෙයි.

සෝල්ට් ලේක් දේවමාළිගාව ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. දේවමාළිගා සංකීර්ණයේ සිදුවන කාර්යයන් නැරඹීම සඳහා මට මගේ කාර්යාලයේ ඉදිරිපස අසුනක් තිබෙනවා.

රූපය
දේවමාළිගා සංකීර්ණයෙහි ඉදිකිරීම් කටයුතු

කම්කරුවන් පැරණි ගස් මුල්, ජලනල, විදුලි රැහැන් සහ කාන්දු වන දිය උල්පතක් ගලවා දමන ආකාරය මා දැක තිබෙනවා, ගැලවුම්කරුවාණන්ගේ උපකාරයෙන් අපගේ ජීවිතයේ පැරණි සුන්බුන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය ගැන මම එවිට කල්පනා කළා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පසුතැවීමේ ශුභාරංචියක්.3 ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම නිසා, උන්වහන්සේගේ ශුභාරංචිය අපට වෙනස් වීමට, වර්ධනය වීමට සහ වඩාත් පිරිසිඳු වීමට ආරාධනයක් ලබාදෙනවා. එය බලාපොරොත්තුව, සුවය සහ ප්‍රගතිය පිළිබඳ ශුභාරංචියක්. මේ අනුව, ශුභාරංචිය ප්‍රීතියේ පණිවිඩයක්! අප ඉදිරියට යන සෑම කුඩා පියවරක් ගැනම අපගේ ආත්මයන් ප්‍රීති වෙනවා.

ඊශ්‍රායෙලය එක්රැස් කිරීමේ කොටසක්, එමෙන්ම ඉතා වැදගත් කොටසක් වන්නේ, ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට උදව් කිරීම සඳහා, සුදුස්සන් වීමට හා කැමැත්තෙන් සිටිය යුතු ජනතාවක් වශයෙන් අපට ඇති වගකීමයි.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම යටතේ අපගේ නායකයින් විසින් ප්‍රවේශමෙන් සකස් කරන ලද පණිවිඩ වලට අපි සවන්දෙන විට, ඔබ තව තවත් සුදුසු වන පිණිස ඔබ ඔබේ ජීවිතයෙන් ඉවත් කළ යුතු සුන්බුන් හඳුනාගැනීමට යාච්ඤා කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා.

මම ඔබට ආදරෙයි, මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබට පුද්ගලිකවම අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් ප්‍රේම කරන බවට මම සාක්ෂි දරනවා. ඔබ ඉදිරියට ගන්නා සෑම පියවරකදීම ඔබට සහාය වීමට උන්වහන්සේලා සූදානම්. ප්‍රධාන සම්මන්ත්‍රණයට සහ ස්වාමින්වහන්සේගේ හඬ ඇසීමේ වරප්‍රසාදයට සාදරයෙන් පිළිගන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.