ප්‍රධාන සම්මන්ත්‍රණය
සාමයේ ශුභාරංචිය දේශනා කිරීම
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


සාමයේ ශුභාරංචිය දේශනා කිරීම

දෙවියන්වහන්සේට සවන්දෙන සියල්ලන් සමඟ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය සහ සාමය බෙදාගැනීමේ පරිශුද්ධ වගකීම අපට තිබෙනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ප්‍රධාන සම්මන්ත්‍රණයට ඔබව සාදරයෙන් පිළිගන්නවා! මම අද දවස එනකල් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා. මම ඔබ වෙනුවෙන් සෑම දිනකම යාච්ඤා කරනවා. මෙම සම්මන්ත්‍රණය ඔබ සෑම කෙනෙකුටම අධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇතිකරන කාලයක් වේවායිද මම යාච්ඤා කළා.

පසුගිය සම්මන්ත්‍රණයේ සිට, ලෝකයේ දුෂ්කරතා දිගටම පැවතෙනවා. මේ ගෝලීය වසංගතය තවමත් අපගේ ජීවිත වලට බලපානවා. ඒ වගේම දැන් අහිංසක මිනිසුන්, කාන්තාවන්, සහ ළමයින් මිලියන ගණනක් මත භීෂණ වැස්සක් වපුරන අරගලයකින් ලෝකය කම්පා වී තිබෙනවා.

අපේ දවසේදී යුද්ධයන්ද එමෙන්ම යුද්ධයන් පිළිබඳ කටකතා ඇසෙන බවද, එමෙන්ම මුළු පොළොවම කලබල වන බවද, අනාගතවක්තෘවරුන් දැක තිබෙනවා.1 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් වශයෙන්, අපි ජාතීන්ගේ නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ මතභේද වලට සාමකාමී විසඳුම් සොයාගන්නා ලෙසයි. අවශ්‍යතා ඇති අය වෙනුවෙන් යාච්ඤා කරන ලෙසත්, විපතට පත්වූවන්ට උපකාර කිරීම සඳහා ඔවුන්ට කළ හැකි දේ කරන ලෙසත්, ඕනෑම සුවිශාල ගැටුමක් අවසන් කිරීම සඳහා ස්වාමින්වහන්සේගේ උපකාරය සොයන ලෙසත් අපි සෑම තැනකම සිටින ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අදට වඩා වෙන කවරදාකවත් අවශ්‍ය වී නෑ. මතභේද ගැලවුම්කරුවාණන් නැගී සිටි සහ ඉගැන්වූ සියල්ල උල්ලංඝනය කරනවා. මම ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුන්වහන්සේට ප්‍රේම කරන අතර උන්වහන්සේගේ ශුභාරංචිය සාමය සඳහා ඇති එකම ස්ථිර විසඳුම බවට සාක්ෂි දරනවා. උන්වහන්සේගේ ශුභාරංචිය සාමයේ ශුභාරංචියක්.2

ලෝකයේ බොහෝ දෙනෙක් බියෙන් තුෂ්නිම්භූතව සිටින විට එකම පිළිතුර උන්වහන්සේගේ මේ ශුභාරංචියයි.3 “නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශ කරන්න”4 ලෙස තම ගෝලයන්ට ස්වාමින්වහන්සේගේ උපදෙස් අනුගමනය කිරීමේ හදිසි අවශ්‍යතාවය මෙය අවධාරණය කරනවා. දෙවියන්වහන්සේට සවන්දෙන සහ උන්වහන්සේට ඔවුන්ගේ ජීවිත තුළ ජයගැනීමට ඉඩදෙන සියල්ලන් සමඟ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය සහ සාමය බෙදාගැනීමේ පරිශුද්ධ වගකීම අපට තිබෙනවා.

දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගත් සෑම පුද්ගලයෙක්ම අන් අය ගැන සැලකිලිමත් වීමටත් අවශ්‍යතා ඇති අයට සේවය කිරීමටත් පොරොන්දු වී තිබෙනවා. අපිට දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පෙන්වන්න පුළුවන්, ඒවගේම “[අප තුළ] තිබෙන බලාපොරොත්තුව”5 ගැන අසන අයට ප්‍රතිචාර දැක්වීමට අප සෑම කෙනෙකුටම සූදානම්ව සිටින්න පුළුවන්. ඊශ්‍රායෙල් සෙනඟ එක්රැස් කිරීමේදී අප සෑම කෙනෙකුටම ඉටුකිරීමට කාර්යභාරයක් තිබෙනවා.

ධර්දූමත සේවයක් සඳහා සූදානම් වී සේවය කරන ලෙස සුදුසු, හැකියාව සහිත සෑම තරුණයෙකුගෙන්ම ස්වාමින්වහන්සේ ඉල්ලා ඇති බව අද මම තරයේ තහවුරු කරනවා. පසුදවස් වල ශුද්ධවන්ත තරුණයන් සඳහා, ධර්මදූත සේවය පූජකවරයේ වගකීමක්. තරුණයෙනි, පොරොන්දු වූ ඊශ්‍රායෙලයේ එක්රැස්වීම පැවැත්වෙන මේ කාලය සඳහා ඔබව වෙන්කර තිබෙනවා. ඔබ ධර්මදූත වල සේවය කරන විට, මෙම පෙර නොවූ විරූ සිදුවීමෙහි ඔබ ප්‍රධාන භූමිකාවක් ඉටුකරනවා!

තරුණ සහ දක්ෂ සහෝදරියන් වන ඔබ සඳහා, ධර්මදූතයක් යනු බලවත්, නමුත් විකල්ප අවස්ථාවක්. අපි ධර්මදූත සහෝදරියන්ට ආදරෙයි, ඒවගේම ඔවුන්ව මුළු හදවතින්ම සාදරයෙන් පිළිගන්නවා. ඔබ මෙම කාර්යයට දායක වන අයුරු විශිෂ්ටයි! ඔබ ධර්මදූත සේවයක් කරනවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය දැයි දැනගැනීමට යාච්ඤා කරන්න, එවිට ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ හදවතට සහ මනසට ප්‍රතිචාර දක්වයි.

හිතවත් තරුණ මිත්‍රවරුනි, ඔබ සැම ස්වාමින්වහන්සේට ඉතා වැදගත්. ඊශ්‍රායෙල් සෙනඟ එක්රැස් කිරීමට උපකාර කිරීම සඳහා උන්වහන්සේ මේ දක්වා ඔබව රඳවා තබාගෙන තිබෙනවා. එය හැරවීම සඳහා සේවයක් හෝ සේවා ධර්මදූතයක් වේවා, ධර්මදූතයක සේවය කිරීමට ඔබ ගත් තීරණය ඔබට සහ තවත් බොහෝ දෙනෙකුට ආශිර්වාද කරයි. ඔවුන්ගේ තත්වයන් ඉඩදෙන විට සේවය කිරීමට ජ්‍යෙෂ්ඨ යුවලයන්වද අපි සාදරයෙන් පිළිගන්නවා. ඔවුන්ගේ උත්සාහයන් සරලවම ආදේශ කළ නොහැකි තරම්.

සියලුම ධර්මදූතයින් ගැලවුම්කරුවාණන් ගැන උගන්වමින් සාක්ෂි දරනවා. ලෝකයේ අධ්‍යාත්මික අන්ධකාරය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය වෙන කවරදාටත් වඩා අවශ්‍ය බව සනාථ කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය ගැන දැනගැනීමට සෑම කෙනෙකුම අවස්ථාව ලැබිය යුතුයි. “සියලු අවබෝධය [පසුකර යන]”6 බලාපොරොත්තුව සහ සාමය සොයාගත හැක්කේ කොතැනින්දැයි දැනගැනීමට සෑම පුද්ගලයෙක්ම සුදුසුයි.

මෙම සම්මන්ත්‍රණය ඔබට සාමයේ සහ අධ්‍යාත්මික භුක්තිවිඳීමේ මංගල්‍යයේ කාලයක් වේවා. මෙම සැසිවාරයන් වලදී ඔබට පුද්ගලික එළිදරව් සෙවීමට සහ ලබාගැනීමට හැකිවේවා, මම මෙසේ යාච්ඤා කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.